දිනන කඳුලු
රශ්මිකාගේ දෙනෙත කඳුලින්ම සේදි ගොසිනි. මෙලෙසින් හඬමින් වැළපෙමින් කොට්ටය බදාගෙන දැන් පැය කිහිපයක් තිස්සේම දුක් වුවද තවමත් සිතට සැනසීමක් නම් නොවේ. මෙය දරන්නට හැකි වේදනාවක් නොවේ...අම්මාගෙන්ද තාත්තාගෙන් ද සිත සැනසෙන වදනක් බලාපොරොත්තු විය නොහැකිය. සැබැවින්ම ඔවුන්ගේ මුවින්ද පිටවූයේ අවලාද ඇනුම් බැනුම් පමණකි. ඔව්....එය එසේ වීම වරදක් නැත. වරද තමාගේ බව රශ්මිකා හොඳාකාරවම දැන සිටියාය.
දේවක හා ප්‍රේමයෙන් බැඳුනේ තමාමය. තම තනි කැමැත්තටය. සුලු සුලු අඩුපාඩුකම් යැයි සිතිය හැකි දෑ ඔහු තුළින් දුටු බව සත්‍යකි. නමුත් අවුරුදු පහක් දක්වා මේ ප්‍රේම වෘතාන්තයට තිත නොතබා ඇදහෙන ආවේ තමාගේ වැඩි උවමනාවටම බවද රශ්මිකා මැනැවින් දැන සිටියාය. මෙතෙක් කල් එලෙසින් රැකගෙන උන් ප්‍රේමයට තිත තබන්නට දේවකට දැඩි ලෙසින්ම අවශ්‍යතාවයක් ආවේ මන්දැයි රශ්මිකාට සිතාගන්නට වත් නොහැකි විය.
" රශ්මි.., කියන දේ තේරුම් ගන්න...අපි දෙන්න ගැළපෙන්නෙ නෑ...මට මේක එපා වෙලා තියෙන්නෙ. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..."
දේවක අවසන් වරට ගත් දුරකතන ඇමතුමේදීද එලෙසින් පැවසුවා හැර සම්බන්ධය නතර කිරීමට පැහැදිලි හේතුවක් පවසා සිටියේ නැත. එදිනට පසු දේවක සම්බන්ධ කරගත හැකි සෑම මාර්ගයක්ම ඔහු විසින් අහුරා දමා තිබිනි. ජංගම දුරකතන අංකය මාරු කරගත් දේවක රශ්මිකා තම මුහුණුපොතෙන්ද අවහිර කර තිබුණි. දින ගණනක් තිස්සේ දුක දරාගනිමින් හඬන වැළපෙන රශ්මිකා තමා විසින් මුහුණු පොතට එක් කර ඇති තමාගේත් දේවකගේත් ඡායාරූප වරින් වර බලමින් අතීතය සිහි කළාය. ඒ ඡායාරූප යටින් ඇති තම යහළු යෙහෙළියන්ගේ අපමණ සුබ පැතුම් සහ ආදරණීය වදන් එදා ඇති කල සතුට යළිත් රශ්මිකාගේ සිතේ ඇති කලේ නැත.
දේවකගේ නිවසින් මේ සම්බන්ධයට වැඩි පෙරැත්තයක් නොමැතිවම අවසර ලබා දී තිබුණද රශ්මිකාගේ දෙමව්පියන් මේ සම්බන්ධයට කැමති වූයේ ඇගේ හිතුවක්කාර පිළිවෙත නිසාමය. ඉහළ පෙලේ රැකියාවන් වල නියුතු වූ රශ්මිකාගේ දෙමව්පියන් එතරම් වත්පොහොසත්කම් නැති දේවකගේ පවුලට තම එකම දියණිය විවාහ කරදෙන්නට සිතුවේ රශ්මිකාගේ දැඩි පිළිවෙත් නිසා ඇයට හානියක් වේ යැයි බියෙනි. ඒ හැරෙන්නට නිතර කෝපයට පත් වන පිළිවෙලක් නැති දේවකගේ හැසිරීමද ඔවුන්ගේ සිත් ගත්තේ නැත.
පෙර මෙන් දින කිහිපයකට පසුව හෝ දේවකගේ කෝපය නිවී යළිත් තමාට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි රශ්මිකාගේ සිහින කැඩි බිඳී සුන් වී ගියේ දේවකගේ නිවසින් තම දෙමව්පියන් අමතා කියා තිබූ පණිවිඩය නිසාවෙනි.
"ඕන්න අපි කියන දේනෙ අහන්න බැරි උනේ. දැන් ඔය මහලොකු මනමාලයගෙ ගෙදරින්ම පණිවිඩේ එවල තියෙන්නෙ... දැන් තමා තේරිල තියෙන්නෙ ගැළපෙන්නෙ නැති විත්තිය. ඒකත් උන්ගෙ වැරදි නෙවේ මෙහෙ වැරදි කියලනෙ කියන්නෙ..."
දෙමව්පියන්ගේ ඇනුම් බැනුම් වලින් රශ්මිකාගේ සිත තව තවත් බ්ඳී යන්නට විය. මෙතරම් දරුණු තීරණයක් දේවක විසින් ගනු ඇතැයි රශ්මිකා මොහොතකට හෝ නොසිතුවාය. ඇයට ඇතිවූ දුක වේදනාව මෙන්ම ලැජ්ජාව කඳුලින් පිට කරන්නට නොහැකි තරම් දරුණු විය. කාමරයට වී නොකා නොබී හැඬූ කඳුලින් ගත කල දින ගණනකට පසු රශ්මිකා යම් තාක් දුරට යථා තත්වයට පත් වූවේ තම මවගේ ආදරය නිසාය. තමා කෙතරම් හිතුවක්කාර කම් කලද අවසනදී තම පිහිටට සිටියේ තමාගේ දෙමවිපියන්ම පමණක් බව රශ්මිකා හොඳින් තේරුම් ගත්තාය. කෙතරම් සාමාන්‍ය අයුරින් දින ගෙවන්නට උත්සාහ කලද රශ්මිකාගේ සිතෙහි වූයේ සුව කල නොහැකි තරමේ තුවාලයකි. ඒ වේදනාව පිට කිරීම්ට මව්පියන්ට රහසින් හඬා වැළපුනත් සිතෙහි පීඩනය අඩු කිරීමට එය ප්‍රමානවත් නොවීය.
සියලු ප්‍රශ්න ගැටළු අමතක කර දමන්නට දුරකතනයට ඇබ්බැහි වූ රශ්මිකා දවසේ වැඩි කාලයක් මුහුණුපොතෙහි සැරිසරන්නට වූවාය. නමුත් තමාත් දේවකත් හඳුනන ඇතැම් යහලු යෙහෙළියන් ඒ වන විටත් සියළු තතු දැන සිටි නමුත් නිතර නිතර පණිවිඩ එවමින් ඒ ගැන නැවත නැවතත් වීමසීම රශ්මිකාගේ හද තවත් පාරවන්නක් විය. දේවක ඒ වන විටත් රට හැර ගොස් ඇති බවද රශ්මිකා දැනගත්තේ මිතුරු මිතුරියන්ගෙනි.
රශ්මිකා තම සිතට නැගෙන දුක වේදනාව තම මුහුණුපොතේ ගිණුමේ අකුරු කරන්නට වූයේ දුක බෙදා ගන්නට සිතැඟි පවසන්නට කිසිවකුත් නොමැති වූ තැනය. තමා දන්නා හඳුනන මෙන්ම නොදන්නා බොහෝ පිරිසක්ද මේ සියල්ල දකින බව ඇයට සිහිපත් වූයේ නැත. දේවක තමා අතහැර ගිය බව කියමින් ඔහුගේ යළි පැමිණීම බලාපොරොත්තුවෙන් මුහුණුපොතෙහි එක් කරන සටහන් වලට රශ්මිකාට ලැබුනේ විශාල ප්‍රතිචාර ගොන්නකි. ඇය හඳුනන පිරිස මෙන්ම නොහඳුනන පිරිසද බොහෝ දෙනෙක් තම සටහන් වලට බොහෝ සේ දුකින් ප්‍රතිචාර දක්වනු දැකීමෙන් තමා තනිව නැතැයි යන හැඟීමක් රශ්මිකා තුළ ඇතිවන්නට විය. ඒ අතරතුරෙහි රශ්මිකාගේ දුක් ගැනවිල්ල ගැන ප්‍රශ්න කරමින් ලැබෙන කෙටි පණිවිඩ ප්‍රමාණයද වැඩි වන්නට විය. රශ්මිකා තමා හඳුනන මෙන්ම නොහඳුනන අය සමඟම ඉඩ ලැබෙන හැම මොහොතකදීම තම ජීවිත කතාව බෙදාගත්තේ කිසිදු සොයා බැලීමකින් තොරවමය. මුහුණුපොතෙන් හමුවී තම දුක සැප බෙදාගන්නට හවුල් වන මිතුරු මිතුරියන් ගැන රශ්මිකාට ඇති වූයේ මහත් විශ්වාසයකි. ඉඳහිට තමා වෙනුවෙන් දුක් වන යහළු යෙහෙළියන්ට පොදුවේ ස්තූති කරමින් මුහුණුපොතේ අකුරු අමුණන්ටද රශ්මිකා අමතක නොකළාය.
මුහුණු පොතින් ලැබෙන මිතුරු ඇරයුම් වල වැඩි ප්‍රමාණයක් නොහඳුනන පිරිමි පාර්ශවයෙන් වූවත් රශ්මිකා කිසිදු සොයාබැලීමකින් තොරව්ම ඒ සියළු දෙනා ගිණුමට ඇතුල් කරගත්තාය. කල් ගත වෙත්ම රශ්මිකාගේ දුක සැප ඇසූ බොහෝ නොදන්නා පිරිමි පාර්ශව විසින් ඇයට අයුතු යෝජනා ගලා එන්නට පටන් ගත්තේ රශ්මිකා බියට පත් කරවමිනි. ඒ ඒ අයවලුන්ගේ මුහුණුපොත පරික්ෂා කල යුතු බව පවා රශ්මිකාට සිහි වූයේ ඒ මොහොතේදීය. බොහෝ මුහුණුපොත් පරික්ෂා කර බලන විට ඒ කිසිවකුත් තමා නොදන්නා සේම ඒවා බොහෝමයක් පාවිච්චි කරන්නාගේ අනන්‍යතාවක් පවා තහවුරු කර ගත නොහැකි ගිණුම් බව රශ්මිකාට අවබෝධ වන්නට විය.
තමා මෝඩ අයුරින් ක්‍රියා කල බව හැඟුනු රශ්මිකා තමාට බලපෑම් කරන පුද්ගලයින් තම මුහුණුපොතෙන් අවහිර කරන්නට වූයේ සිතේ ඇතිවූ කලකිරීමත් සමඟය. තමා මිතුරු මිතුරියන් ලෙස සිතා විශ්වාස කර ඇත්තේ කිසිලෙසකින් හෝ ඇසුරු නොකල යුතු පිරිස්මය. එකින් එක ඔවුන්ව අවහිර කිරිමෙන් පසු රශ්මිකාගේ සිතට ඇති වූයේ සහනයකි.
නිවසටම මුළුගැන්වී උන් රශ්මිකා නගරයට ගොස් තමාට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් ගෙන ඒමට සිතුවේ වෙනසක් අවශ්‍ය බව තම සිතටද දැනුන බැවිනි. දින ගණනක් නිවසටම වී දුකෙන් කාලය ගත කල තම දියණිය නගරයට ගොස් ඒමට සූදානම් වීම පවා මවගේ සිතට සැනසිල්ලක් ඇති කරන්නට හේතු විය. ඇය තම සැමියාටද දියණියගේ වෙනස පිළිබඳව සැලකරේ සතුටු සිතිනි.
" අපේ මහත්තය..., ඔන්න දෝනි අද ටවුමට යන්න ලෑස්ති... දැන් පරණ දේවල් ටික ටික අමතක කරලද කොහෙද...මගෙ හිතට නම් හරි සැනසීමයි..."
රශ්මිකාගේ පියා මඳ සිනාවකින් යුතුව හිස සලා තම බිරිඳ කී දෙය අනුමත කලේය.
නගරයට ගිය රශ්මිකා කඩසාප්පු කිහිපයක ඇවිදිමින් තමන්ට අවශ්‍ය දෑ සියල්ල මිළදී ගත්තාය. ආපසු නිවසට පැමිණීම සඳහා බස් රථයකට ගොඩ වූවත් ඉඳගැනීමට අසුනක් හිමි නොවූයේ බස් රථය තුළ සෙනඟ පිරී සිටි බැවිනි. අසුන් දෙකක් දෙපසින් අල්ලාගත් රශ්මිකා කල්පනාබර නෙතින් කවුළුවෙන් එපිට බලා සිටියාය. බස් රථය ගමන් ආරම්භ කරන්නට විය. බසයේ සිටගෙන සිටින සෙනඟ අතරේ තමාට මඳක් එහායින් අනික් පස හැරී සිටින තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙක් බර කතාබහක යෙදී සිටිනු ඇසුනද රශ්මිකාගේ අවධානය ඒ දෙසට යොමු වූයේ නැත. එහෙත් මොහොතකින් තමාගේ නම ඒ තරුණියන් දෙදෙනාගේ මුවින් පිටවනු ඇසෙත්ම රශ්මිකා කල්පනාවෙන් මිදී පියවි සිහියට පැමිණියාය. රශ්මිකා ඔවුන්ගේ කතාබහට හීන්සීරුවේ සවන් දුන්නේ ඔවුන් මේ කතා කරන්නේ තමා පිළිබඳවදැයි දැන ගැනීම පිණිසය.
" කොල්ලා දාලා ගියා කියල තමා ඔය වැළපෙන්නෙ...හිනත් යනවා තාරුකා..මෝඩ කම තමා... හැමදාම මොකක් හරි අඳෝනාවක් එෆ් බී දානවා..."
" අනේ ඔව් මමත් දැක්කා... ඔයත් දාල තිබ්බෙ හිත හදාගන්න කිය කිය..."
" හිහ්..හිහ්...වෙන මොනව කරන්නද අනේ... අපි ඕවට උපදෙස් දෙන්න ගියොත් අපි තමා නරක මිනිස්සු වෙන්නෙ..."
තරුණියන් දෙදෙන සිනහසෙමින් කතා කරන සියල්ලට කන් යොමා සිටි රශ්මිකාගේ ඉහමොළ රත් වන්නට විය. සැබෑවටම ඔවුන් කතා කරනුයේ තමා පිළිබඳවමය. ඔවුන්ට නොදැනෙන්නට හිස හරවා බැලූ රශ්මිකාට එය සත්‍යක් බවක් පසක් වූයේ ඔවුන් දෙදෙනා තම පාසල් කාලයේ ඇසුරු කල මිතුරියන් බව හැඳිනගත් පසුවය.
රශ්මිකා නිවසට පැමිණියේ සිහිනයෙන් මෙනි. තමා දන්නා හඳුනන අයත් මෙලෙස තම දුකට සිනහසෙමින් සරදම් කරන්නේ නම් මෙතෙක් තමා වෙනුවෙන් දුක් වන බව හැඟවූ නොදන්නා පිරිස ගැන කවර කතාද...! රශ්මිකාගේ සිතට සියුම් ලැජ්ජාවක් දැනෙමින් තිබුණි.තමාගේ පෞද්ගලික ජීවිතයේ කොතරම් දෑ ඉතාමත් අපරික්ශාකාරි ලෙස සමාජ මාධ්‍යන් තුල බෙදා හැරියාදැයි ඇය තමා ගැනම කළකිරීමෙන් යුතුව සිතා බැලුවාය.
දුරකතනය අතට ගත් රශ්මිකා තමාගේ මුහුණුපොත් පිටුව විවෘත කර පසුගිය කාලයේ තමා කල අනුවන කම් එකින් එක සොයා බැලුවාය. තමා හැර ගිය කෙනෙකුන් වෙනුවෙන් දුක් වෙමින් තමා තවත් කරදරයට පත් වීමට මඟ පාදාගෙන ඇතිබව රශ්මිකා හින්සීරුවේ තේරුම් ගත්තාය.
තම මුහුණුපොත් ගිණුම පිරික්සමින් සිටියදී රශ්මිකාට කෙටි පණිවිඩයක් ලැබුණු බවට සංඥාවක් ලැබිනි. තවත් නොදන්නා කෙනෙක්දැයි පිරික්සීමට ගිය රශ්මිකාට ඒ පණිවිඩය එවා තිබුනේ පාසල් සමයේ මිතුරකු බව දැක ගන්නට හැකි විය.
" තවත් එක්කෙනෙක්..බොරුවට දුක අහන්න වෙන්නැති..."
සෝපාහාස සිනාවකින් යුතුව තමාටම පවසා ගත්තද රශ්මිකාට අතීතයද සිහිපත් වී සිහින් රිදුමක් සිතට දැනෙන්නට විය. පණිවිඩය එවා තිබුනේ සදීප නැමැති තමාගේ පාසල් කාලයේ මිතුරෙකි. එහෙත් ඔහු ඒ කාලයේ මිතුරුකමට එහා ගිය අදහසකින් තමා ඇසුරු කල බව අනෙක් මිතුරු මිතුරියන්ට පවා රහසක් වූයේ නැත. කඩවසම් රූපයකින් හා ඉතාමත් හොඳ ගතිගුණ වලින් හෙබි ඔහුට තම සිත නොබැඳුනේ මන්දැයි රශ්මිකාට දැන් ඇතිවනුයේ පුදුමයකි. ඔහුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වුවද සිතේ ඇති කැමැත්ත සඟවා ගත් ඔහු කිසි දිනෙක තමාට කරදර කලේ නැත. මෙතෙක් කල් තම මුහුණුපොතේ නොසිටි ඔහු හදිසියේ පණිවිඩයක් එවීම එක් අතකින් රශ්මිකාගේ සිත සතුටු කරන්නටත් එක් අතකින් දුකට පත් කරන්නටත් හේතුවක් විය. සමහර විට අනෙක් අය කලාක් මෙන් ඔහුත් තමා වෙනුවෙන් දුක් වී තමා නැති තැන උපහාසයට සිනා සෙන්නට සිතා සිටිනවා විය හැකිය. කෙසේ වෙතත් රශ්මිකාගේ සියුමැලි සිතට කලක් ම්තුරෙකු වී උන් සදීප මඟහරින්නට නොහැකි විය.
සදීප සමඟ පණිවිඩ හුවමාරු කරගත් රශ්මිකාට පෙර සිටි ලබැඳි මිතුරා තවමත් අහිමිව නැති බව හැඟීනි. තමා වෙනුවෙන් ව්‍යාජ ලෙස දුක් වී මිතුරුකම් පෑ අයගේ උපහාසාත්මක වදන් සදීපගේ කනටද වැටී තිබුණු බව රශ්මිකාට දැන ගන්නට හැකි විය. සදීප රශ්මිකාට උපදෙස් දුන්නේ තරමක කෝපයකින්ද යුතුවය. මුහුණුපොතෙහි අනවශ්‍ය ලෙස තම පෞද්ගලික තොරතුරුත් තමාගේ බිඳවැටීම් අතීත සැමරුම් දිග හැර කරගත් මෝඩකම් වලට සදීපගෙන්ද ලැබුනේ යහපත් ප්‍රතිචාර නොවේ. ව්‍යාජ දුක් ගන්නවුන් වෙනුවට සදීප රශ්මිකාට සැබෑම මිතුරෙකු විය. අතීත සිදුවීම් කිසිවක් හාර හාරා ප්‍රශ්න කරන්නට නොගිය ඔහු යළි නැඟී සිටින්නට රශ්මිකාගේ සිත සවිමත් කළේය. ඒ කෙසේ වුවත් ව්‍යාජ මිතුරුකම් වලින් බැට කා සිටි රශ්මිකා සදීප වුවද ඇසුරු කලේ අතේ දුරිනි.
රශ්මිකා හඬා වැලපෙමින් ගත කරන ජීවිතය අතහැර දෑම්මාය. තම කඳුලු දෙස බලා සැබෑවටම දුක් වන්නේ තම දෙමවිපියන් පමණක් බව ඈ තේරුම් ගත්තාය. ගේදොර වැඩ කිරීමෙන් දෙමව්පියන්ට උදව් කිරීමෙන් කාර්යබහුල වී දුක අමතක කිරීමේ උත්සාහයක නියුතු වූවාය. එහෙත් රාත්‍රියේ නින්දට යන මොහොතේ හෝ දේවකගේත් තමාගේත් අතීතය සිහිපත් වීමෙන් ඇයගේ සිතේ වූ වේදනාව දිය යට වූ රබර් බෝලයක් මෙන් පිටතට පනින්නට විය. සිතෙහි ඇති වේදනාවන් සදීපට හෝ කියා සිත නිදහස් කර ගැනීමට වරෙක සිතුනත් පෙර සිදුවීම් නිසා ඇය එයටද බිය වූවාය.
ගේ දොර අස් අස් කරමින් සිටි එක් දිනෙක රශ්මිකාට පරණ බෑගයක තිබී තමාගේ පාසල් කාලයේ දින පොතක් හමුවූයේ අහම්බෙනි. සියලු වැඩ පසෙක දැමූ ඈ දූවිලි බැඳී පරන පැහැ ගෙන තිබූ දින පොතද රැගෙන ඇඳෙහි හිඳ ගත්තේ එය බැලීමට ඇති වූ උවමනාවෙනි. රශ්මිකා කිසි දිනක දින පොතක් ලීවේ නැත. තමාට ලැබුණු දිනපොත් වල හිතට නැඟෙන කවි , කතා කුරුටු ගෑමට ඈ පුරුදුව සිටියාය. දින පොත පෙරළා බැලූ රශ්මිකා පාසල් කාලයේ තමා ලියූ ඇතැම් කවි, නිසඳැස් කිහිපයක් කියවා බැලුවාය. එකල සාහිත්‍ය සංගමයේද ලේඛම් තණතුර දැරූ තමා පාසල් මට්ටමේ සාහිත්‍ය තරඟ වලින් කොතරම් නම් ජයග්‍රහණ ලැබුවේදැයි රශ්මිකා සිහින් සිනාවකින් යුතුව සිහිපත් කලාය. එහෙත් කාලයේ ඇවෑමෙන් තමාගේ ඒ දක්ෂතා සියල්ල යටපත් වූ බවද ඈ සිහිකලේ සුසුමක් හෙලමිනි.
දිනපොත මේසය මතට දැමූ රශ්මිකා විගසින් ගේ දොර අස්පස් කර දැමුවාය. ඇගේ සිතේ යම් අදහසක් පැන නඟිමින් තිබිනි. වහා වැඩ කටයුතු නිම කල රශ්ම්කා ඇඟපත සෝදා තේ කෝප්පයක්ද සාදාගෙන කාමරයට ඇතුළු වූයේ නැවුම් අදහසක් සිතේ රඳවාගෙනය. කාමරයේ වූ මේසය මත ඇති අලුතෙන්ම ලැබුණු දින පොත් කිහිපයෙන් එකක් ගත් ඈ පුටුව ඇද මේසය ඉදිරිපිට වාඩි වූවාය. තම සැඟවී ගිය හැකියාවන් ඉස්මතු කරගන්නට මීටත් වඩා හොඳ කාලයක් නැතැයි ඈ සිතුවාය.
විනාඩි කිහිපයක ඇවෑමෙන් රශ්මිකාගේ දින පොතේ පිටුවක නිර්මාණශීලි පදපේලි කිහිපයක් සටහන් විය. දේවකගේ ආදරයෙන් හෙම්බත් වී සිටි ඈ තම දුක වේදනාව කවියට නඟන්නට වූවාය. අවසානයේ තම සිතෙහි සිර කරගෙන උන් සිතුව්ලි වේදනා සියල්ලටම මද අස්වැසිල්ලක් ලැබුණ බව ඇයට දැනුනි. ක්ෂණිකව නැඟුනු සිතිව්ල්ලක් හේතුවෙන් ජංගම දුරකතනය අතට ගත් රශ්මිකා මුහුණුපොතට එබුනාය. දින කිහිපයක සිට මුහුණුපොතේ තබන සටහන් වලට විරාමයක් ලැබුනේ සදීපගේ ඔවදන් නිසාමය. ඒ දින කිහිපයට තමා වටේ සිටි සැමට තමා අමතක වී ගොස් ඇති සැට්යකි. මින් පසු දුක් ගැනවිලි කියමින් මුහුණුපොතේ හඬා වැටෙන්නට උවමනා නැත. ඒ සියලු වේදනාවන් කැටි කොට තමාගේ නිර්මාණශීලී අදහස් එලියට දමන්නට රශ්මිකා තීරණය කලාය.
.............................. .............................. ................
මෙතෙක් වේලා අතීතාවර්ජනයේ යෙදී උන් රශ්මිකා පියවි ලොවට පිවිසියේ සම්මන්ත්රණ ශාලාවේ වේදිකාවේ උන් නිවේදකයා විසින් තමාගේ නම කියනු ඇසීමෙනි.
" නිර්දේශිත ග්‍රන්ත අතුරින් මෙවර රන් සම්මානය දිනා ගනු ලබන්නේ.... රශ්මිකා නාරංගොඩ මහත්මිය විසින් රචිත " දිනන කඳුලු " නවකතාවයි..."
ප්‍රීතියෙන් අත්පොලසන් දෙමින් තම යාබද අසුනේ හිඳගෙන උන් තම සැමියා වන සදීපගේ වත දෙස ආදරයෙන් බැලූ රශ්මිකා වේදිකාව වෙත පිවිසියේ තම සම්මානය ලබා ගැනීමටයි.
එදා මෙදාතුර තම ජීවිතයේ කොතෙක් නම් වෙනස්කම් වන්නට ඇතිද...රශ්මිකා තමාට අතහිත දුන් දෙමව්පියන් සහ ආදරණීය සැමියාගේ ආශිර්වාදය පිළිබඳව වේදිකාවේදී මුළු සම්මන්ත්රණ ශාලාවටම ඇසෙන්නට පවසන්නට අමතක කලේ නැත.
සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සම්මන්ත්රන ශාලාවෙන් පිටතට පැමිණි රශ්මිකා තම දෙමව්පියන්ගෙන් සමු ගත්තේ සදීප සමඟින් යා යුතු තවත් වැදගත් ගමනක් ඇති බැවිනි. දෙමව්පියන් ඔවුන්ගේ වාහනයට නැඟී සමුගත් පසුව රශ්මිකාත් සදීපත් තම වාහනය නඟුනේ පිටත් වීම සඳහාය.
" රශ්මි අදම යන්න ඕනද මං අහන්නෙ...මහන්සි නැද්ද ඔයාට...?"
" මහන්සි කියලා බෑ සදීප...මට ජීවන්තිගෙ ගෙදර යන්නම ඕන. සම්මානෙ ලැබෙයි කියල මට විශ්වාසෙ තිබුන හින්ද තමා මම අදම යන්න හිතන් හිටියෙ...එයාව අමතක කරල බෑ සදීප...මම ලිව්වෙ එයාගෙ කතාව...එයා මං ගැන විශ්වාස කරලා එයාගෙ ජීවිත කතාව ලියලා එව්වෙ...අනික මම කෝල් එකකුත් දුන්නා. එයා බලාගෙන ඇති..."
සදීප සිනාසෙමින් රශ්මිකාගේ කතාව අනුමත කළේය. සැබවින්ම සදීපද රශ්මිකාගේ හොඳ පාඨකයෙකි. රශ්මිකා මුහුණුපොතේ නිර්මාණ පලකරන්නට පටන් ගත් දා පටන් එයට සහයෝගය දුන්නේ ඔහුයි. බිඳී ගිය ප්‍රේමයේ නටඹුන් සිහිපත් කරමින් කවි ගී ලියන රශ්මිකාට එයින් බැහැර මාතෘකා සොයා දෙමින් ලියන්නට දිරිගැන්වූයේ ඔහුයි. කවී ගී ලියා නොනැවතුනු රශ්මිකා කෙටි කතා සහ නව කතා ලියන්නට පටන් ගත්තේද සදීපගේ අනුදැනුම මතයි. රශ්මිකාගේ දක්ශතාවය නිර්මාණශීලි භාවය නිසාම කෙට් කලක් ගත වෙත්ම ඈ වටා පාඨකයින් විශාල සංඛ්‍යාවක් රොක් වෙන්නට විය. කළෙක තමාගේ අඬවැඩියාවන් ගැන කියමින් තමා නැති තැන උපහාසයට සිනහසුන බොහෝ පිරිස් දැන් දැන් තමා නැති තැනද තමාගේ හැකියාව ගැන කතා බහ කරන බව රශ්මිකාට දැන ගන්නට ලැබිණි. සදීප හා ගොඩනැඟුන මිතුරු කම ප්‍රේමයක් දක්වා දුර දිග ගියේත් දෙමව්පිය ආශිර්වාද මැද දෙදෙනා විවාහපත් වූයේත් ඒ අතරතුරදීමය.
රශ්මිකා මුහුණුපොතේ ජනප්‍රිය ලේඛිකාවක් වූයේ ඉතාමත් කෙටි කලෙකිනි. සදීපගේ දැඩි උනන්දුව නිසාම මුද්‍රිත මාධ්‍යට පිවිසෙන්නට රශ්මිකාට හැකියාව ලැබිණි.
ජීවන්තී යනු මුහුණුපොතේ රශ්මිකාගේ කතා කියවන පාඨකයෙක් විය. තම ජීවිතයේ අඳුරු කතාව ජීවන්ති විසින් රශ්මිකාට ලිපියකින් යොමු කලේ රශ්මිකාගේ නිර්මාණශීලිත්වයෙන් එය පොතක් කරන්නට ඇරයුම් කරමිනි. රශ්මිකා ඒ ඉල්ලීම පිළිගත්තේ ඉතා නිහතමානී ලෙසිනි. සැබවින්ම ජීවන්තිගේ කතාව රශ්මිකාහේ සිත සලිත කරන්නට සමත් විය. තම පෙම්වතා සමඟ හිතුමතයට විවාහ වී ඔහුගේ අඩම්තේට්ටම් වලට ලක් වෙමින් දුක්බර ජීවිතයක් ගත කල ජීවන්තී මේ වන විටත් හදිසි අනතුරකින් ඔත්පලව සිටින තම සැමියා අත් නොහැර ස්වයංරැකියාවක්ද කරමින් ආදරයෙන් ඔහු බලා ගනියි. ඇයට ශක්තියක් වන්නට ඇයට උදව් කරන්නට රශ්මිකා තුල වූයේ බලවත් උනන්දුවකි. තමා විසින් ලියන ලද ජීවන්තිහේ කතාව සම්මාන උළෙලට ඉදිරිපත් කල දා පටන් ඇය රශ්මිකා දකින්නට යන්නට නොඉවසිල්ලෙන් උන්නාය. මේ උදා වී ඇත්තේ ඒ මොහොතයි.
කොළඹින් තරමක් දුරට වන්නට වූ ජීවන්තිගේ නිවස සොයා යනවිට තරම්ක් හවස් වී තිබුණි. සදීපගේ අදහසට අනුව සුපිරි වෙළඳ සැලකින් ජිවන්තිගේ නිවසට අවශ්‍ය බඩු රාශියක්ද මිළදී ගන්නට රශ්මිකා අමතක නොකලාය. නිවසට ලන් වන විට රශ්මිකා විසින් ජීවන්තිට දුරකතන ඇමතුමක් දුන් බැවින් ඔවුන් පිළිගැනීමට ජීවන්ති පාර අසලට පැමිණ සිටියාය. තවමත් අඩක් නිමවෙමින් තිබූ නිවසේ මිදුලෙහි වාහනය නතර කල සදීප රශ්මිකාත් සමඟින් වාහනයෙන් පිටතට ආහ. අත වූ සම්මානය ජීවන්ති අතට දුන් රශ්මිකා මහත් සෙනෙහසින් ඈ වැළඳගත්තාය. ඒ සුහදත්වය දරාගත නොහැකි තැන ජීවන්තිගේ දෑසින් කඳුලු කඩා හැලෙන්නට විය.
" අක්කා අඬන්නෙ ඇයි...? මේ සම්මානෙ ලැබෙන්න ඕන අක්කටම තමා...මේක අක්කගෙ කතාව..මම කරේ ඒක ලස්සනට ලියපු එක...අක්ක වගේ ගෑණු මේ ලෝකෙ හරිම අඩුයි..."
දෙදෙනා පිළිසඳරේ යෙදෙන අතරතුර සදීප ජිවන්ති වෙනුවෙන් මිළදීගත් බඩු සියල්ල නිවසේ සාලයට ගෙන ගොස් තබුවේය. නිවසට අවශ්‍ය සියල්ල සහිත බඩු කන්දරාව දුටු ජීවන්තී නැවතත් රශ්මිකාටත් සදීපටත් පින් දෙමින් හඬා වැටුණාය.
" අනේ අක්කේ අඬන්නෙපා...දැන් ඇති ඉතින්..."
"ඔව් ඔව් අපිට මහන්සියි..තේ එකක් වත් දෙන්නෙ නැද්ද අක්කා අඬ අඬ ඉන්නේ..."
සදීප සිනාසෙමින් විහිළු කරේ තත්වය සමනය කිරීමටයි. එයින් මුවඟට සිනහවක් නඟා ගත් ජීවන්තී සංග්‍රහයක් කිරීමට නිවසට යන්නට
සූදානම් වූවත් රශ්මිකා ඊට පෙර ජීවන්තිගේ සැමියාගේ සුව දුක් විමසන්නට වූවාය.
"යං නංගි...කාමරේ ඉන්නව...ඇඳේම තමා ඉතින්...කතා කරන්නත් බෑ ..අත පය පනත් නෑ...ඔහේ බලාගෙන අඬ අඬ ඉන්නව..."
මැදි වයසේදීම අනතුරට ලක් වී අතිශය දුක්ඛිත ජීවිතයක් ගත කරන ජීවන්තිගේ සැමියා දුටු විට සදීපත් රශ්මිකාටත් ඇති වූයේ අපමණ වේදනාවකි. ඔහුගේ වැරදි වලට මේ භවයේදීම දඬුවම් ලැබී ඇති සෙයකි. නමුත් ඔහුගේ පෙර වාසනාවකට අත් නොහැර ළඟ රැඳුනු ජීවන්ති වැනි බිරිඳක් හිමිව තිබිණි.
හෝරා කිහිපයකින් ජීවන්තිගේ නිවසින් නික්මුණු රශ්මිකාත් සදීපත් ආපසු නිවස කරා එමින් සිටියහ.
" රශ්මි...ඔයාට අප්සට්ද ජීවන්තිගෙ හස්බන්ඩ් ගැන...දුකයිද...?"
නිහඬතාව බිඳිමින් සදීප රශ්මිකාගෙන් ප්‍රශ්න කළේය.
"හ්ම්ම්... දුකයි තමා සදීප...කවුරු උනත් මනුස්සයෙක්නෙ....එයා කරපු දේවල් එයාට පල දුන්නා.... ඒ දේවක නෙවේ වෙන කෙනෙක් උනා නම් ඒත් මට දුකයි තමා. මම ඔයාට කලින්ම කිව්වනෙ...ජීවන්ති මහත්තයගෙ විස්තර කියල එවනකොටම ජීවන්ති කියන දේවකත් මං දන්න දේවකමද කියල මට සැක හිතුනා කියලා..."
සිහින් සිනාවක් නඟමින් හිස සෙලවූ සදීප රශ්මිකා කී දේ අනුමත කළේය.
" එහෙනම් නෝනේ ඔන්න පොරොන්දු උන විදිහට ඊළඟ සම්මානෙට අපි දෙන්නගෙ කතාව ලියන්න වෙයි..."
එක් අතක් රශ්මිකාගේ හිස මත තබා ඇගේ හිස ආදරයෙන් අතගාමින් සිනහසෙමින් සදීප කී කතාවට රශ්මිකා සිනහසෙමින් එකඟ වූයේ සියළු දුක් දොම්නස් අමතක කරමිනි.
නිමි.
පුෂ්පිකා විජේරත්න.