අකුණු. ( කෙටි කතාව )
රාධිකා කවමදාවත් තිවංකට පෙනෙන්න ඇඬුවෙ නෑ. ඔව්... එදත්...! ගුවන්තොටුපලෙන් උදේ හතකුත් ගාණකට ගුවන් යානයට නැඟිලා දුරකට යන වෙලාවෙවත් රාධිකාගෙ ඇස් වලින් කඳුලක් වැටුනෙ නෑ... ඔව්...ඒ ඇස් වලින්...හිතෙන් නෙවෙයි...! අලුත් ජීව්තයකට අලුත් අනාගතේකට අලුත් පාරක් හොයාගෙන යන තිවංකට හිනාවෙලා ආශිර්වාද කරා හැරෙන්න තමන්ගේ ඇස් වලින් කඳුලු වට්ටලා සුබ ගමන මූසල කරන්න රාධිකාට ඕන උනේ නෑ. තිවංක විදෙස් රටකට යන්න ඕන කියපු දවසෙමයි රාධිකාගෙ හිත ඇතුලෙන් පළවෙනි අකුණ කෙටුවෙ. එච්චර ලොකු කාලයක් එච්චර ලොකු දුරක් ඈත් වෙලා ඉන්නෙ කොහොමද කියල රාධිකාට හිතුනත් මුවින් එක වචනයක් පිටවුනේ නෑ. හිතේ තියන ආදරේ බැඳීම් වෙනුවෙන් තිවංකගෙ දියුණුවට අකුල් හෙලන්න රාධිකාට හිත දුන්නෙ නෑ. දුරක හිටියත් බැඳීම් නැති වෙන්නෙ නැති බව හිතලා රාධිකා හෙමීට හිත හදාගත්තා.
විවාහ වෙලා අවුරුද්දකුත් ගත වුන තැන තිවංක විදෙස් ගත වුන එක රාධිකාගෙ දෙමව්පියන්ට නම් ඒ හැටි සතුටක් උනේ නෑ. තිවංකත් රාධිකත් ජීවත් වුන නිවසේ තනියම ඉන්නවට වඩා ගෙදර ඇවිත් ඉන්න එක වැඩිය හොඳ බව රාධිකාගේ අම්මා පුන පුනා කීවත් තිවංකගෙත් තමන්ගෙත් සුන්දර මතක කැටිවුන තමන්ගෙ නිවස දාල යන්න රාධිකාට හිත දුන්නෙ නෑ. ලඟ පාතම අම්මලා ඉන්න නිසා රාධිකාට බයක් දැනුනෙත් නෑ. කොහොම උනත් රාධිකාගේ දෙමව්පියො නිතර දෙවේලෙ රාධිකාගෙ නිවසෙම ගත කරන්න හුරුවුනේ තමන්ගෙ දරුවා තනි කරන්න තියන අකමැත්තට. තිවංකගෙ දෙමව්පියො හිටියෙ ටිකක් දුර උනත් පුළුවන් හැටියෙ රාධිකාව බලල යන්න ඒ උදවිය අමතක කලෙත් නෑ.
මුල්ම කාලේ තිවංකගෙන් නිතර නිතර ඇමතුම් ලැබුණත් කාර්යබහුලත්වය නිසාම අකමැත්තෙන් උනත් ඇමතුම් වලට කාලය සීමා කරන්න තිවංකට සිද්ධ වුනා. රාධිකා රැකියාවෙන් මිදිලා හැම හවස් වරුවකම වගේ ලහි ලහියෙ නිවසට ඇවිත් සේරම වැඩකටයුතු අහවර වුනාම දුරකතනය දිහාම බලන් හිටියෙ කොයි මොහොතක හරි තිවංකගෙන් ඇමතුමක් ලැබෙයි කියලා. සමහර වෙලාවට ඇමතුම් ගන්න නොලැබෙන බව කලින්ම තිවංක දැනුම් දුන්නත් රාධිකා පුරුද්දට වගේ මඟ බලන් හිටියා. ඇමතුමක් නොලැබෙන තැනදි සුසුමක් හෙලල හිත හදාගන්න රාධිකා, එළියට එන්න හදන කඳුළු වලට ඉඩ නොදී මුණ කොට්ටයට තද කරගත්තා.
දෙන්නම එකතු වෙලා එකට ගත කරපු ජීවිතය රාධිකාගේ හිතේ හැමතිස්සෙම හොල්මන් කරා. යන එන හැම තැනකදිම පරණ මතක අලුත් වෙද්දි හමුවෙන දකින හැම කෙනාගෙන්ම ලැබුණ එකම ප්රශ්න ගණනාව රාධිකාට කටපාඩම් උනා.
"මහත්තයා මොකද කරන්නෙ ? "
"කොහෙද රට...මොකද කරන්නෙ...කවදද එන්නෙ... කොච්චර කල්ද ගිහින්...?"
රාධිකා රොබෝ කෙනෙක් වගේ එකම උත්තර ටික හැමෝටම කියාගෙන ගියා. පාඩම් කරගෙන ගිහින් විභාගෙට උත්තර ලියනවා වගේ ලේසියෙන් උත්තර දුන්නත් ඒ ප්රශ්න රාධිකාගේ ඔලුවට වෙහෙසක් එක් කරා.
ගෙදර දොරේ මහලොකු වැඩපලක් නොතිබුණ නිසා රාධිකා හැමදාමත් රැකියාවට නියමිත වෙලාවට වාර්තා කලා. නිවසේ ඉවුම් පිහුම් දරුවන්ගෙ වැඩ සැමියගෙ වැඩ සේරම එකලාසයක් කරලා පරක්කු වෙලා වැඩට එන පිරිස අතරෙ රාධිකාට එහෙම අපහසුවක් තිබුණෙ නෑ. සමහර වෙලාවට පැවරුන වැඩක් තමන්ගෙම පහසුව වෙනුවෙන් හවස් වෙන තෙක්ම ඉඳල අවසන් කරල යන්නත් රාධිකා දෙපාරක් හිතුවෙ නෑ.
" මිනිහත් රටනෙ....රෑට රෑවෙලා එන්නෙ රස්සාවට යනව කියල මොන මඟුලෙ යනවද කවුද දන්නෙ...! "
රෑ බෝවෙලා ගෙදරට එන එහෙමත් දවසක හන්දියෙ කඩපිල ලඟ පිරිසක් ඒ විදිහෙ කතාවක් කියල තියන බව රාධිකාගෙ අම්මා කියපු වෙලාවෙ රාධිකාගෙ හිත ඇතුලෙන් අකුණක් පිපුරුවා.
" ඔයාට නම් මොකද කරන්න වැඩක් තියනව කියලද. මහත්තයත් නෑ දරුවොත් නෑ... ජොලියෙ කාල බිලා ඉන්නවා...අපිට ඒ වගේද ඉතින්..."
කාර්යාල මිතුරියක් ඉස්සරවෙලාම එහෙම කිව්ව දවසෙ රාධිකාගෙ හිතේ ආයෙමත් අකුණක් පිපුරුවා.
" රාධිකාගේ හස්බන්ඩ් මොකද කරන්නෙ...?"
පුරුදු ප්රශ්නෙම ආයෙමත් වතාවක් රාධිකාට යොමු වුනේ ආයතන කළමනාකරුගෙන්.
" හස්බන්ඩ් රට සර්...! "
ඔලුව උස්සලා රාධිකා දිහා බලපු කළමණාකරුගෙ මුවින් ඊළඟට පරණ පුරුදු ප්රශ්න ටිකම ඇහෙනකොට රාධිකා කටපාඩමින් වගේ උත්තර දීගෙන දීගෙන ගියා.
" මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් දාල හස්බන්ඩ් කොහොම රට ගියාද මන්දා..."
හුරුපුරුදු ප්රශ්න ටික අවසානයෙ අලුත් ප්රශ්නයක් කනට වැටෙනකොට රාධිකාගේ හිත ඇතුලෙ අලුතින් අකුණක් පිපුරුවා.
කළමණාකරුගෙ දිළිසෙන ඇස් දෙක රාධිකාගෙ ඇඟ පුරා දුවනකොට ඒ නොදැක්ක ගාණට එතැනින් ඉවත් වෙලා ගියත් රාධිකාගේ ඔලුව ඇතුලෙන් රතු එළියක් දැල්වෙමින් තිබුණා.
හවස් වරුවෙ ලහි ලහියෙ නිවසට දුවගෙන එන රාධිකා කියන්න තියන හැමදේම කියල හිත සැහැල්ලු කර ගන්න තිවංකගෙ ඇමතුමක් ලැබෙනකන් මඟ බලාගෙන හිටියා. රෑ අඳුර එබිකම් කරන වෙලාවට තිවංකගෙ මූණ දුරකතන තිරයෙන් දකිනකොට රාධිකාගේ හිත ආයෙමත් පහුබහිනවා. මහන්සිය නිදිමත බේරෙන ඇස් දෙක අමාරුවෙන් ඇර ගෙන විනාඩි පහකට හරි තමන්ට ඇමතුමක් ගන්න තිවංකට තමන්ගෙ කාර්යාලයේ ප්රශ්න කියල තවත් වෙහෙස කරවන්න රාධිකාගෙ හිත අදි මදි කරා. සේරම ප්රශ්න හිත අස්සෙ හංඟගන්න රාධිකා ලස්සන හිනාවක් මූණට එක්කරගෙන ඒ මොහොතෙ තිවංකත් එක්ක ජීවත් වුනා. කතා කරන අතරතුරම දෑස් පියවෙලා නින්දට යන තිවංක දිහා බලාගෙන සුසුමක් හෙලන රාධිකා දුරකතන ඇමතුම විසන්ධි කරලා කොට්ටයට මුණ තද කරගත්තා.
ආයෙමත් දවසක හිතේ තදකරගෙන ඉන්න හැම දෙයක්ම කියන්න හිතාගෙන තිවංකගෙ ඇමතුමට සම්බන්ධ උනත් රාධිකාගෙ මුව ආයෙමත් ගොළුවුනා. කියන්න තියන හැමදේටම විසඳුම එකම දෙයක් නිසා හැම දුකක්ම හිතේ තියාගෙන රාධිකා එකම ප්රශ්නයක් හැමදාම තිවංකගෙන් ඇහුවා.
" ඔයා කවද්ද එන්නෙ...? "
" දැන්ම ඇවිත් බෑනෙ තව ටිකක් ඉවසලා ඉන්න..."
හැමදාම අහපු ප්රශ්නෙට හැමදාම දෙන උත්තරේ අවුරුදු හතක් තිස්සෙම වෙනසක් නොවුන එක ගැන රාධිකා කවදාවත් ප්රශ්න කලේ නෑ.
තිවංක කාර්යබහුල වෙන්න වෙන්න ලැබෙන ඇමතුම් ප්රමාණය අඩු උනා. වැඩ කරන අතරතුර ලැබෙන පුංචි විවේකයේ කෑම කන අතරතුර විනාඩ්යක් දෙකක් කතා බහ කරත් රාධිකාත් කාර්යාලයේ වැඩ කරන නිසා බොහෝ වෙලාවට ඒ ඇමතුම් මඟ හැරුනා.
රාධිකා මිතුරු මිතුරියන්ගෙන් ඈත් වුනා. ඒ හැම කෙනෙක්ම තමන්ගෙ පෙම්වතා හෝ සැමියා එක්ක ගත කරන ජීවිතේ ගැන කතා කරන වෙලාවට රාධිකා ගොළුවුනා. මගුල් උත්සව ප්රිය සම්භාෂණ වගේම පිරිස එකතුවෙන කොයි තැනත් මඟ හරින්න රාධිකා දෙපාරක් හිතුවෙ නෑ. පිරිස ගැවසෙන හැම තැනකම තනිකම වැඩිපුර දැනෙන බව රාධිකාට තේරුම් ගියා. හැමතැනින්ම නැඟෙන එකම ප්රශ්න ටික පිටින් බලන කෙනෙකුට සාමාන්යයි වගේ පෙනුනට රාධිකාගේ හිතේ පීඩනය දෙගුණ තෙගුණ කරන්න ඒවට පුළුවන් උනා. ඒ ප්රශ්න වලින් බේරෙන්න ඕන නිසාම හැමදෙයක්ම මඟහරින එක හොඳම දේ කියල රාධිකා තීරණය කලා.
විදේශගත වෙලා හිටපු ගමේම කෙනෙක් උන සමන්ත ලංකාවට ආපු ආරංචිය රාධිකාගෙ කන් වලටත් වැටුණා. ඔහුත් හිටියෙ තිවංක ඉන්න රටේම වුනත් එකම ප්රදේශයෙ නෙවෙයි වෙන්න ඇති කියල රාධිකා හිතුවෙ එහෙම දැනන් හිටිය නම් තිවංක ඒ ගැන තමන්ට කියන බව දන්න නිසයි.
තවත් දින කීපයකින් නිවාඩු පාඩුවෙ රාධිකා තමන්හෙ අම්මත් එක්ක ගෙදරට වෙලා ඉන්න මොහොතක සමන්තගෙ අම්මා තමන්ගෙ ගේ දිහාවට එනවා දැකපු රාධිකා ටිකක් නොසන්සුන් උනා. ඒ වෙනකොටත් මාසයකින් විතර තිවංකගෙන් කෙටි පණිවිඩ කීපයක් හැරෙන්න රාධිකාට ඇමතුමක් නොලැබුන තරම්.
රාධිකාගේ අම්මත් එක්කත් ටික වෙලාවක් කතා කර කර හිටපු සමන්තගෙ අම්මා රාධිකා දිහාවට හැරුනෙ ලොකු කතාවක් කියන්න බව රාධිකාට තේරුණා.
" දුවේ..., මේව කිව්වයි කියල කලබල වෙන්නෙපා. තිවංක පුතා ලඟදි කතා කරේ එහෙම නැද්ද...?
" ඇ...ඇයි නැන්දෙ...? වැඩ නිසා තිවංක කතා කරනව ටිකක් අඩුයි..."
" හ්ම්ම්...මේවා කතා බහ කරල විසඳගන්න කලබල නොවී. අපෙ පුතා කීප වාරයක් දැකල තියනව තිවංක පුතා ලංකාවෙන් ගිය ගෑණු පරානයක් එක්ක එහෙ මෙහෙ ඇවිදිනවා. පුතාට ආරංචි උන හැටියට නම් දෙන්නත් එක්ක පවුල් කනවලු එහෙ...කෝකටත් ඩිංගක් හොයල බලන්න දුවේ..."
සමන්තගෙ අම්මා කියපු කතාවෙන් රාධිකා අන්දමන්ද වෙලා එතැනම බිම ඉන්දවුණා. ලොකු අකුණක් හිස මුදුනෙ ඉඳන් දෙපතුල වෙනකන් ඇඟ පසාරු කරගෙන ගියා වගේ රාධිකා සලිත වෙලා ගියා.
.....................................................
අවුරුදු ගාණකින් තමන් ඉස්සරහට හිනාවෙවි එන තිවංකගෙ සුන්දර මුහුණ වෙනදාටත් වඩා ලස්සනට රාධිකාට පෙනුනා. කී දෙනෙක් කීයක් නම් කතා කිව්වත් තිවංක කවදාවත් තමන්ට වැරැද්දක් නොකරන බව දැනන් හිටපු රාධිකා හැමදාමත් බලන් හිටියෙ තිවංක තමන් ළඟට ආපහු එනකන්. ඉතිං ඒ මොහොත මේ වෙද්දි උදාවෙලා කියලා රාධිකාට දැනුනා.
රාධිකාට මහ හඬින් ඇඬුනා. කවාදවත් තිවංක ඉස්සරහ කඳුලක් හෙලලා තමන්ගෙ දුක නොකීව රාධිකා මහ හඬින් අඬාගෙන තිවංකට තුරුලු උනා.
" තිවංක ...තිවංක...මම ..මම දැනන් හිටියා ඔයා එනවා කියලා...මම දැනන් හිටියා ඔයා මට බොරු කරන්නෙ නෑ කියලා...මම දැනන් හිටියා මිනිස්සු කියන්නෙ බොරු කියලා..."
හිතේ තියන ඔක්කොම දුක් ගැනවිලි කියමින් මහ හඬින් වැළපෙමින් හැමදාමත් වගේ වාට්ටුවට එන දොස්තර මහත්තය බදාගෙන වැලපෙන රාධිකා සන්සුන් කරන්න හෙදියො දෙන්නෙක් ඉක්මන් ගමනින් රාධිකාගෙ ඇඳ ළඟට ආවා.
නිමි.
පුෂ්පිකා විජේරත්න.