2013 ඇමරිකානු තානාපති කාර්යාලය
ශ්රී ලංකාව. වෙලාව සවස 6.30
මම තානාපතිතුමාගේ ඔෆිස් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා. ඒ වෙනකොටත් පස් දෙනෙක් විතර තානාපතිතුමාව වටකරගෙන ඉන්නවා. හතර වටෙන් ෆෝන් රිං වෙනවා. ඔෆිස් එක ඇතුලේ වෙනම යුද්ධයක්. වීඩියෝ ස්ක්රීන් එකේ CIA ඩිරෙක්ටර්ගේ මූන පේනවා. තව පැත්තකින් රාජ්ය දෙපාර්තමෙන්තුවේ ලේඛම් කතා කරනවා.
එඩී මොන මගුලක්ද මෙතන වෙන්නේ. මම ඔෆිස් එක දෙවනත් වෙන්න බෙරිහන් දුන්නා.
ෆ්රෑන්ක්. අපි තුන්වෙනි ලෝක යුද්දේ පටන්ගන්න යන්නේ!
තානාපතිතුමාගේ උත්තරේට මම උඩ ගිහින් වැටුනා.
එඩී මට තමුසේ එක්ක කතා කරන්න ඕනි. දැන්මම! එහෙම කියලා මම මේසේ ඉස්සරහා තියෙන පුටුව ඇදලා ඉඳගත්තා. තානාපතිතුමා මගේ මූන දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. හැමෝම කරන වැඩ නතර කරලා ගල් වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. අපි දෙන්නගේ ඇස් දෙක එකට මුනගැහුනා. දන්නෙම නැතුව මම අතීතෙට ගියා. අපි දෙන්න මුලින්ම මුනගැහුනේ පැනමාවෙදී. ඒ කාලේ එඩී වැඩ කලේ මගේ යටතේ.තරුණයෙක් විදියට එඩීට හොඳ ජවයක් තිබුනා. හැබැයි ඒ වගේම මිනිහට ලොකු දේශපාලන පසුබිමක් තිබුනා. ඒකෙන් එඩීගේ වෘතීය ජීවිතේ පොඩි කාලෙකින් උඩටම ආවා. ජනාධිපතිතුමා අවුරුදු හතරකට කලින් එඩීව ලංකාවේ තානාපති විදියට පත් කරලා එව්වා. එඩී මාව එයාගේ දේශපාලන උපදේශකවරයා විදියට පත්කරගත්තා.
ලේඛම් තුමා මට පොඩි වෙලාවක් දෙන්න. මම පුලුවන් තරම් ඉක්මනට ආපහු සම්බන්ධ වෙන්නම්. එහෙම කියලා එඩී ස්ක්රීන් එක ඕෆ් කලා. ඊට පස්සේ මිනිහා ඔෆිස් එකේ ඉන්න කට්ටියට එලියට යන්න කියලා අතින් සිග්නල් එකක් දුන්නා. හැමෝම තම තමන් කරන වැඩ නතර කලා ඔෆිස් එකෙන් එලියට ගියා. අපි දෙන්න විතරක් ඔෆිස් එක ඇතුලෙ තනි වුනා.
එඩී මොන රෙද්දක්ද මෙතන වෙන්නේ? මම ආයෙත් ඇහුවා.
ෆ්රෑන්ක්. අපි ආපහු හැරෙන්න බැරි අඩියක් ඉස්සරහට තියන්න හදන්නේ. තමුසේ දන්නවනේ අද හවස චීන රතු හමුදාවේ අණදෙන නිලධාරියා ජෙනරල් ෆූ චං ලංකාවට එනවා කියලා. හරියට තව පැය බාගයකින් ජෙනරල්ගේ ෆ්ලයිට් එක බානවා.
ඔව් මම ඒක දන්නවා.
අපි ජෙනරල් ෆූගේ ස්කොඩ් එකට ඩ්රෝන් ඇටෑක් එකක් කරන්න හදන්නේ. දැනටමත් ඩ්රෝන් එක තියෙන්නේ ලංකාවේ මුහුදු සීමාව ඇතුලේ.
වට් ද ෆක්....! මම ඔලුවේ අත ගහගත්තා.
එඩී තමුසේ මේ විහිලුවක් නේද කරන්නේ?
නෑ ෆ්රෑන්ක්. මෙතන කිසිම විහිලුවක්. නෑ. මේක තමයි අපිට හම්බවෙන හොඳම ශොට් එක. මේ වගේ චාන්ස් එකක් අපිට කවදාවත් හම්බවෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ගුවන් ආරක්ශණ පද්ධතියෙන් කිසිම කරදරයක් නැතුව රිංගලා එන්න පුලුවන්. අනික ජෙනරල් ෆූ චීනෙං එලියට එන්නේ අවුරුදු ගානකට පස්සේ. මිනිහව ඉවර කරනවා කියන්නේ සර්පයගේ ඔලුවෙන්ම කපලා දානවා කියන එකට. ජෙනරල් ෆූ නැතිවුනොත් රතු හමුදාව කෑලි වලට කැඩෙනවා.
ඒත් මොන පදනමකින්ද අපි ජෙනරල් ෆූට මේ ඇටෑක් එක කරන්නේ? ඒකට අපිට සාධාරණ හේතුවක් තියෙන්න ඕනිනේ.
ෆ්රෑන්ක්. තමුසෙට මතකද මීට සති තුනකට කලින් අපේ බැලස්ටික් සබ්මැරීන් එකක් දකුණු චීන මුහුදෙදී අතුරුදහන් වුන හැටි. ඒක නිකම්ම අතුරුදන් වුනේ නෑ. ඒකට තව චීන සබ්මැරීන් එකකින් ඇටෑක් කලා. මේ ඇටෑක් එකට ඕඩර් එක ඇවිත් තියෙන්නේ ජෙනරල් ෆූගෙන්. බීජිං වල ඉන්න අපේ මිනිහෙක්ගෙං මේ තොරතුර තහවුරු වුනා.
ෆක්.!! කාගේ නියෝග උඩද මේ ඇටෑක් එක වෙන්නේ? එඩී මේක පිස්සුවක්. මම ටයි එක පහලට අදිනගමන් එඩී දිහා බැලුවා.
ජනාධිපති තුමාගේ නියෝග උඩ. ජනාධිපතිතුමා චීන අධිරාජ්යට විරුද්ධව පලවෙනි උන්ඩේ තියන්න හදන්නේ. එඩී නැගිට්ලා ගිහින් ඔෆිස් එකේ මුල්ලක තියෙන ෆ්රිජ් එක ඇරලා වතුර බෝතලයක් එලියට අරගෙන කටට හලාගත්තා.
පළවෙනි උණ්ඩේ පත්තු කරන්න හරිම ලේසියි. පස්සේ පත්තුවෙන අනිත් උණ්ඩ වලට තව කී දාහක් බිලි වෙයිද එඩී. ඉරාකෙදී ඒ විදියට තියපු උණඩයකින් මගේ පුතා සදහටම මට නැති වුනා. ඒක කියනකොට එකපාරටම මගේ කටහඬ වෙනස් වුනා. දන්නෙම නැතුව මගේ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා. මට මගේ කොල්ලව මතක් වුනා. ඔව්. මගේ කොල්ලත් අනිත් හැම ඇමෙරිකන් කොල්ලෙක්ම වගේම මැරීන් කෙනෙක් වෙන්න හීන දැක්කා. මම එයාගේ හීනෙට ඉඩ දුන්නා. එයා මීට අවුරුදු හතරකට කලින් ඉරාකේදී වෙඩි වැදිලා මැරුනා. ඒ නිසා තාත්තා කෙනෙක් විඳපු දරුණුම වේදනාව මම විඳිනවා. මම ආපහු පියවි සිහියට ආවා. මගේ ඇඟ කේන්තියෙන් ගැහෙන්න ගත්තා..
එඩී. ජනාධිපති කියන්නේ එහෙම් පිටිම්ම පිස්සෙක්. ඒ මිනිහ තනිකරම ලේ පිපාසාවෙන් ඉන්න යකෙක්. වියට්නාම යුද්දෙදී මම මිනිහා එක්ක වැඩ කලා. මිනිහා අහිංසක මිනිස්සුන්ගේ ගම් පිටින් ගිනි තිබ්බා. මිනිහා දේශපාලනේට ආවේ කොහොමද කියන්න මට වඩා හොඳට තමුසේ දන්නවා. මේක එක මිනිහෙක්ගේ උද්දච්චකම නිසා වෙන විනාසයක්. එඩී මම වැඳලා කියන්නේ. අපි මේ ලෝකේ අනාගත පරම්පරාවට වග කියන්න ඕනි.ඒ නිසා කරණාකරලා මේ පිස්සුව නවත්තලා දානවා.
මගේ කතාව නිසා එඩීට සෑහෙන්න කේන්ති ගියා. ෆ්රෑන්ක්. කරුණාකරලා තමුසෙගේ කට පරිස්සම් කරගන්නවා. තමුසෙට කිසිම දෙයක් කරන්න බැහැ. හැම දෙයක්ම තීරණය වෙලා ඉවරයි. තමුසේ හිතන්නේ මේක මේ හදිස්සියේ ගත්ත තීරණයක් කියලද?නෑ. ජනාධිපතිතුමා පත්වුනු පලවෙනි දවසේ ඉඳන්ම චීනෙට විරුද්ධව යුද්දෙකට ලෑස්ති වුනා. පහුගිය කාලේ ආරක්ශක වියදම් වැඩි කලේ නිකමට කියලද තමුසේ හිතන්නේ. ඇෆ්ගනිස්තානේ ඉන්න හමුදාව එකපාර එලියට ගත්තේ මොකටද? UN එකෙන් අයින් වුනේ ඇයි? අපිට කාලය ගැන ප්රශ්ණයක් විතරයි තිබ්බේ. අපි බලාපොරොත්තුවෙන් හිටපු කාලය දැං ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොටත් එයා ක්රාෆ්ට් කැරියර් තුනක් ඉන්දියන් සාගරයට ඇතුලු වෙලා තියෙන්නේ. සබ්මැරීන් ෆ්ලීට් එකක් උතුරු චීන මුහුදට ළඟින් ස්ථානගත වෙලා ඉවරයි. පැය විසි හතරක් ඇතුලත මැනිලා වලට මැරීන් ඩිවිශන් දෙකක් ගේනවා. අනිත් පැත්තෙන් තව යුනිට් දෙකක් ඉන්දියන් එයා බේස් වල රඳවලා තියන්න හදන්නේ.
ෆක්. ඉන්දියාව කාගේ පැත්තෙද?මම හරස් ප්රශ්ණයක් ඇහුවා.
ඉන්දියාව අපේ පැත්තේ.
එතකොට රුසියාව.
දැන්ම කියන්න අමාරුයි. සමහරවිට නිශ්ක්රීය වෙයි. නැත්තං චීනේ පැත්ත ගනියි. එඩී තව වතුර උගුරක් බිව්වා.
ලංකාවට මොකද වෙන්නේ?? මම ඇහුවා.
ලංකාව දැනටමත් පැත්තක් තෝරගෙන ඉවරයිනේ. තමුසේ මට වඩා ඒ ගැන දන්නවනේ.
ෆක්. ෆක් ෆක්. මම කෑගහන ගමන් හයියෙන් මේසෙට ගැහුවා. මේක මහ පිස්සුවක්. මම පුටුවෙන් නැගිට්ටා. හදිස්සියේම එඩීගේ ෆෝන් එක රිං වුනා. එඩී සාක්කුවෙන් ෆෝන් එක එලියට ඇදලා ස්ක්රීන් එක දිහා බැලුවා.
ෆ්රෑන්ක් මට මේක ගන්න වෙනවා. එහෙම කියලා එඩී ෆෝන් එක කනේ තියාගෙන පැත්තකට ගියා.
කියන්න පැටියෝ.... ඕ ශිට්! මට සාශගේ ස්විමිං ප්රැක්ටිස් එක අමතක උනා. මම ටිකක් බිසී. මම ඉක්මනට ඩ්රයිවර්ව එවන්නම්. කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න.
එඩී ෆෝන් එක කට් කරලා මගේ දිහා බැලුවා.
සොරි. අපි කොතනද හිටියේ? එඩී ඇහුවා. ඒ එක්කම දොර ඇරගෙන මිනිහෙක් ඇතුලට ආවා. ඒ එන්නේ ජොනතන්. මිනිහා වැඩකරන්නේ පෙන්ටගනයට.
මහත්තුරුනි අපිට රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ. තව විනාඩි විස්සකින් ජෙනරල්ගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. තානාපතිතුමා අපි දැම්මම මෙහෙයුම් මැදිරිය එක්ක සම්බන්ධ වෙන්න ඕනි.
ආයෙත් ස්ක්රීන් එක ඔන් වුනා. එක කොටුවක CIA ඩිරෙක්ටර් ඔෆිස් එකේ ඉඳන් සිගැරට් එකක් පත්තු කරගෙන ඉන්න හැටි පේනවා. තවත් කොටු හතරක මිනිස්සු හතර දෙනෙක්ගේ මූනු පේන්න ගත්තා. එක්කෙනෙක් රාජ්ය දෙපාර්තමෙන්තුවේ ලේඛම්. අනිත් කෙනා ජෙනරල් මැක් ආතර්. කෙලවරේම කොටුවේ ඉන්න ගෑනු කෙනා ධවල මන්ධිරයෙන්. අන්තොමයා සෙනට් එකේ නීති උපදේශිකාවක්.
ජොනතන්. අපිට තව කොච්චර වෙලාවක් තියෙනවද?? CIA ඩිරෙක්ටර්ගේ ගැඹුරු කටහඩ කාඹරේ දෝංකාර දුන්නා.
තව විනාඩි විස්සකින් ජෙනරල් ෆූගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. ජෙනරල්ව පිලිගන්නේ ලංකාවේ ආරක්ශක ලේඛම්. එතන පොඩි උත්සවයක් තියලා විනාඩි දහයකට පස්සේ ජෙනරල්ව අරගත්ත ස්කොඩ් එක එයාපෝට් එකෙන් පිටත් වෙනවා.ජෙනරල්ගේ ස්කොඩ් එක යන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ ඒ නිසා අපිට සිවිල් වැසියන්ගේ ජීවිත හානිය අවම කරගන්න පුලුවන්. විනාඩි තිහකින් ජෙනරල්ගේ ස්කොඩ් එක ගාලුපාරට ඇතුලු වෙනවා. ගාලු පාරට ඇතුලු වුනාට පස්සේ අපිට ජෙනරල්ගේ ස්කොඩ් එකට ඇටෑක් කරන්න පුලුවන්. ඉස්සරහින් ජීප් හතරක් යනවා. පිටිපස්සෙන් ජීප් හතරක් යනවා. මැද තියෙන කාර් දෙකෙන් එකක ජෙනරල් ඉන්නවා. මේ වෙනකොට ග්රවුන් ඔපරටිව්ස්ලා අදාල තැන් වලට ගිහින් ඉන්නේ. දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.
හොඳටම ඇති. මට තවත් මෙතන ඉන්න බැහැ. මම දමලා ගහලා ඔෆිස් එකෙන් එලියට ආවා. කියාගන්න බැරි කලකිරීමක් එක්ක කේන්තියක් හිතට ආවා. මම ලිෆ්ට් එකට නැග්ගා. තත්පර කීපයකින් ලිෆ්ට් එකේ දොර ඇරුනා. මම ඉන්නේ දෙවනි තට්ටුවේ. දෙවනි තට්ටුවේ තමයි මගේ ඔෆිස් එක තියෙන්නේ. ඔෆිස් එකේ කවුරුවත් පේන්න නැහැ. මම ටයි එක ගලවන ගමන් කැබින් එක ඇතුලට ගියා. ටයි එක මේසේ උඩට විසි කරලා පුටුවෙන් ඉඳගත්තා. මේසේ ලාච්චුව ඇරලා විස්කි බෝතලයක් එලියට ගත්තා. ඊට පස්සේ විස්කි බෝතලේ මූඩිය ඇරලා අමුවෙන්ම උගුරු දෙකක් ගිලලා දැම්මා.
විස්කි වල සැරට උගුර කඩාගෙන යනහැටි දැනුනා. මම බෝතලේ මේසේ උඩින් තියලා කල්පනා කරන්න පටන් ගත්තා. මගේ මේසේ අන්තිම අපිලිවෙලයි. හැම තැනම ෆයිල් ගොඩගැහිලා. පැත්තකින් කෙවින්ගේ පින්තූරයක් තියෙනවා. ඉරාකෙදී ගත්ත ෆොටෝ එකක්. මම කෙවින්ගේ ෆොටෝ එක අතට ගත්තා. කැමා කිට් එකට මිනිහා පුදුම ලස්සනයි. මගේ කොල්ලා. මගේ ලස්සන කොල්ලා. මම ෆොටෝ එක ආදරෙන් අතගෑවා.
මේ පිස්සුව නතර කරලා දාන්න ඕනි. ඔව්. මේ කාලකණ්නි සෙල්ලම ඉවරයක් කරලා දාන්න ඕනි. ඒත් කොහොමද මම මේක ඉවර කරන්නේ? මේ සෙල්ලම ඉවර කරන්න පුලුවන් එකම එක මිනිහෙක්ට විතරයි. මම සාක්කුවේ තියෙන ෆෝන් එක එලියට අරගෙන නම්බර් එකක් ඩයල් කලා.
හෙලෝ! අනිත් පැත්තෙන් ගැඹුරු කටහඬක් ඇහුනා.
ප්රොෆෙසර් හුසේන්. ලොකු ප්රශ්ණයක් තියෙනවා. හැබැයි මේ ප්රශ්නේ විසඳන්න ඕනි කොහොමද කියලා මම දන්නවා.
......................................................
වෙලාව හතයි තිහයි. දැනටමත් ජෙනරල්ගේ ස්කොඩ් එක පිටත් වෙලා ඇති. මට එඩීගේ ඔෆිස් එකට යන්න හිතක් නැහැ. ඒත් මේ වෙලාවේ එතන ඉන්න ඕනි. මම නැගිටලා පුලුවන් තරම් වේගෙන් ඔෆිස් එකෙන් එලියට ආවා. ලිෆ්ටෙක එන්න වෙලා යන නිසා මම පඩිපෙල දිගේ උඩට දිව්වා.
විනාඩි පහකින් මම උඩ තට්ටුවට ආවා. මගේ ශර්ට් එක දාඩියෙන් පෙඟිලා. එඩීගේ ඔෆිස් එක එකම යුද්ද පිටියක්. මිනිස්සු පිස්සු හැදිලා වගේ එහේ මෙහේ දුවනවා. මම දොර ඇරගෙන ඇතුලට ආවා.
තව විනාඩි හතකින් ස්කොඩ් එක ගාලු පාරට එනවා. ජොනතන් කෑගැහුවා. එඩී පුටුවට වෙලා කල්පනා කරනවා.
ඩ්රෝන් එක තියෙන්නේ ගාලුපාරට උඩින්. හැම දෙයක්ම ලෑස්තියි. පයිලට් වෙපන් සිස්ටම් එක ඔන් කරලා තියාගෙන ඉන්නේ. ජෙනරල් මැක් ආතර්ගේ කටහඬ දෝංකාර දුන්නා.
අපිට ස්කොඩ් එකේ විශුවල් ගන්න පුලුවන්ද? එඩී ටෙක්නීශියන්ගෙන් ඇහුවා.
විශුවල් තත්පර පහකින් එනවා. හතරයි. තුනයි දෙකයි එකයි.
ඒ එක්කම ස්ක්රීන් එක එලියවැටුනා. ස්ක්රීන් එකේ වාහන පෝලිමක රූපයක් පේනවා. මැදින් කාර් තුනක් යනවා. දෙපැත්තෙන් ජීප් හතර ගානේ තියෙනවා.
කොහොමද කාර් තුනක් වුනේ? එඩී එකපාරටම කෑගැහුවා.
හදිස්සියේම ප්ලෑන් එකේ වෙනසක් වෙලා තියෙනවා. මේ කාර් එක දැං ආපු එකක්! ජොනතන් උත්තර දුන්නා.
හදිස්සියේම එඩීගේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා.
මොකාද මේ? එහෙම කියන ගමන් එඩී ෆෝන් ලවුඩ්ස් පීකර් දැම්මා.
ලින්ඩා. මම තමුසෙට කිව්වා නේද කිසිම කෝල් එකක් එවන්න එපා කියලා! එඩී කෑ ගැහුවා.
සර්. මේක හදිස්සියක්. නැශනල් ඉන්ටලිජන්ස් ඩිරෙක්ටර් ප්රොෆෙසර් හුසේන් ලයින් එකේ ඉන්නවා.
ලින්ඩා කියපු කතාවට මුලු ඔෆිස් එකම එකපාරට නිශ්ශබ්ධ උනා.
හුසේන් ? ෆක්! ලයින් එක ට්රාන්සර් කරනවා.
ආයුබෝවන් තානාපතිතුමා. හුසේන්ගේ කටහඬ ඔෆිස් එක පුරා දෝංකාර දුන්නා.
ආයුබෝවන් මිස්ට හුසේන්. මම මේ වෙලාවේ ගොඩක් වැදගත් මීටින් එකක් ඉන්නේ. කරුණාකරලා මට පුලුවන් තරම් කෙටියෙන් ඔබතුමාගේ අවශ්යතාවය කියන්න.
සර් අපි මේක කෙලින් කතා කරමු. අපි දෙන්නම වැඩිහිටියෝ. ඒ නිසා බයිලා එපා. කරුණාකරලා ඔබතුමා ඔය කරන්න යන නාඩගම නතරකරන්න.
ඔෆිස් එකේ කට්ටිය මූනෙන් මූන බලාගත්තා. වීඩියෝ කන්ෆරන්ස් එකේ ඉන්න රාජ්ය නිලධාරියෝ ටික කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
හුසේන්. තමුසේ මොනවා ගැනද මේ කියන්නේ?
එඩී. මම දන්නවා තමුසෙල ජෙනරල් ෆූගේ ස්කොඩ් එකට ඩ්රෝන් ඇටෑක් එකක් කරනවා කියලා. මට කවුරු කාව මැරුවත් කමක් නැහැ. ඒක තමුසෙලගේ දෙයක්. එකම දෙයයි තියෙන්නේ. මගේ රටේ ඉඳන් තමුසෙලට ඕනි සෙල්ලම් නටන්න බැහැ. තමුසෙලා වෙන ඕන දිහාවක ඉඳන් සෙල්ලම් දානවා. මෙහේ බැහැ.
එඩී ඔලුව උස්සලා එක පාරටම මගේ දිහා බැලුවා. යූ මදර් ෆකර්!!
එඩී අපහු ෆෝන් එකට මූන ලං කරලා කතා කලා.
හුසේන්. මේක අහගන්නවා. දැං මේක කාටවත් නතර කරන්න බැහැ. තමුසෙටවත් ජනාධිපතිටවත් අඩුම තරමේ චීනෙටවත් බැහැ. මේක වෙනවා. තමුසෙලට ඉක්මනට පැත්තක් තෝරගන්න වෙනවා. මතක ඇතුව හොඳ පැත්තක් තෝරගන්නවා. තවම පරක්කු නැහැ.
විනාඩි පහයි. ජොනතන් ඇඟිලි පහ එඩී දිහාවට දික් කලා.
හොඳයි. එඩී තමුසේ එහෙනම් මට වෙන විකල්පයක් ඉතිරි කරන්නේ නැහැ. රයිට්. අපි ඒ විදියට වැඩේ කරමු. ගුඩ්ලක් එඩී. ආහ් සොරි. එකක් අමතක උනා. තමුසෙගේ වයිෆ්නුයි දුවයි දෙන්නා ඉන්නවා. ඉන්න මම ෆෝම් එක දෙන්නම්.
ෆෝන් එක වෙන අතකට මාරු වුනා.
එඩී! පැටියෝ. මොන මගුලක්ද මේ වෙන්නේ??? වෙව්ලන ගෑනු කටහඬක් ෆෝන් එකෙන් දෝංකාර දුන්නා. එඩීගේ මූන එකපාරටම දම් පාට වුනා.
පැටියෝ ඔයා කොහෙද ඉන්නේ? එඩීට කෑගැහුනා.
දන්නෑ. අපි දෙන්නා කාර් එක එනකන් හිටියේ. පාරවල් වහලා නිසා ඩ්රයිවර්ට අපිව ගන්න එන්න පරක්කු වෙනවා කිව්වා. අපේ ආරක්ශාව ගැන ප්රශ්නයක් තියෙනවා කියලා හදිස්සියේම මිස්ටර් හුසේන් ඇවිත් අපිව ගෙදරට එක්කගෙන යන්නම් කියලා කිව්වා. මට ඉන්න තැන හරියට පැහැදිලි නැහැ. මම හිතන්නේ අපි ඉන්නේ ගාලුපාරේ වෙන්න ඕනි. ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි ලොකු ස්කොඩ් එකක් යනවා. තව කාර් එකක් පේන්න තියෙනවා
ෆාක්! එඩී හයියෙන් මිට මොළවලා මේසෙට පාරක් ගැහුවා. ෆෝන් එක හුසේන්ට දෙන්න.
කියන්න එඩී! හුසේන් බොහොම ඉවසීමෙන් කතා කලා.
යූ මදර් ෆකර්! මම තමුසෙව විනාස කරනවා. තමුසෙට තව තත්පර දහයක් දෙනවා. තමුසේ ඔතනින් මගේ ගෑනිවයි ලමයවයි එලියට ගන්න ඕනි. නැත්තං!
නැත්තං මොනවා කරන්නද?? එඩී. තමුසේ මට තර්ජනය කරන්න විතරක් එන්න එපා. තමුසෙට පුලුවන් දේ තමුසේ කරනවා. මට කරන්න පුලුවන් දේ මම කරලා තියෙන්නේ. තමුසෙට තව ලොකු වෙලාවක් නැහැ. ආ. අමතක උනා. මගෙන් සුබපැතුම්. තුන්වෙනි ලෝක යුද්දෙන් මැරුණු පළවෙනි ඇමෙරිකන් පුරවැසියෝ දෙන්නා විදියට තමුසෙගේ දරුවයි නෝනයි ඉතිහාසගත වෙයි. ෆෝන් එක කට් වුනා.
හැමෝම තක්බීරි වෙලා බලාගෙන හිටියා.
සර් තව විනාඩි දෙකයි. ජොනතන් කෑගැහුවා.
හූද හෙල් ඊස් දැට්? වීඩියෝ ස්ක්රීන් එකෙන් CIA ඩිරෙක්ටර්ගේ කටහඬ ඇහුනා.
ඒ එක්කම සෙනට් එකෙන් පත් කරලා තියෙන නීති උපදේශිකාව කතා කරන්න පටන් ගත්තා.
මහත්වරුණි මම හිතන්නේ අපිට අලුත්ම විදියේ තත්වයක් උද්ගත වෙලා තියෙනවා. කිසිම ඇමෙරිකන් පුරවැසියෙක්ට හානි නොවෙන්න තමයි මේ මෙහෙයුම් කරන්න නීතිමය අවසරය ලැබිලා තියෙන්නේ. හැබැයි දැන් තත්වය වෙනස්. ඒ නිසා මට මේකට නීතිමය අනුමැතිය දෙන්න බැහැ. අපිට ජනාධිපතිගෙන් ආපහු නියෝගයක් ගන්න වෙනවා. එතකන් මේ මෙහෙයුම නතර කරන්න කියලා මම ජෙනරල්ගෙන් ඉල්ලාසිටිනවා.
ජෙනරල් මැක් ආතර් නළල අතගාන්න පටන්ගත්තා. ඉන් පස්සේ කැමර් එක දිහා බලලා කතා කරන්න පටන් ගත්තා.
කැමිලා අපිට ඒ තරම් වෙලාවක් නැහැ. අපි දැන්ම තීරණයක් ගන්න ඕනි.
ජෙනරල් මේක මගේ පවුල සම්බන්ධ ප්රශ්නයක්. එඩී කෑගැහුවා
තමුසෙලා මේ ඔපරේශ්න් එක ලීක් කලා. මේක තමුසේ පටන්ගත්ත අවුලක් එඩී. CIA ඩිරෙක්ටර්ගේ කටගඬ ඇහුනා.
තමුසෙලා කාටවත් බැරිනම් මම ජනාධිපතිට කතා කරන්නම්. මට ජනාධිපතිතුමාව අරං දෙනවා. දැන්මම! එඩී ටෙක්නීශියන්ට කෑගැහුවා.
.........................................................
තත්පර කීපයක් ගෙවිලා ගියා. ෆෝන් එක රිංස් යන සද්දේ ලවුඩස්පීකර් එකෙන් ඇහෙනවා. උස්සන්නේ නැහැ. එඩීගේ ශර්ට් එක දාඩියට පෙඟිලා ඇඟට ඇලිලා.
කමෝන්. කමෝන්. එඩී නියපොතු හපනවා.
හෙලෝ! ජනාධිපතිතුමාගේ කටහඬ ඇහුනා.
ජනාධිපතිතුමා. මම එඩ්වින් රසල් කතා කරන්නේ.
එඩී. මොකද හදිස්සියේම?
ජනාධිපතිතුමා අපිට ප්රශ්ණයක් තියෙනවා. ඔරේශන් කොන්ඩෝර් දන්මම නතර කරන්න ඕනි. එතන ඇමෙරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉන්නවා. සර්. මම ආයෙත් කියනවා. මේ ඇටෑක් එක නතර කරන්න වෙනවා.
එඩී මොන මගුලක්ද ඔතන වෙන්නේ??
සර්. මගේ වයිෆ්නුයි දරුවයි ස්කොඩ් එකේ එක වාහනයක ඇතුලේ හිරවෙලා ඉන්නේ.
කොහොමද එහෙම එකක් වුනේ? මොන මගුලක්ද තමුසේ කියවන්නේ?
සර්. ප්ලීස්. මේ ඇටෑක් එක නතර කරන්න. අයිම් බෙයිං යූ... ප්ලීස්.
එඩී. අපි මේ කරන්න හදන්නේ ඉතිහාසය අලුතෙන් ලියන එක. අපිට මේ වෙලාවේ ආපහු හැරෙන්න බැහැ. මට සමාවෙන්න.
සර්. ඔබතුමා මේ වෙලාවේ මේ ඇටෑක් එක නතර කලේ නැත්තම් ඔබතුමාට ගොඩක් ලොකු ප්රශ්ණ වලට මූනදෙන්න වෙයි.
එඩී කරුණාකරලා තමුසේ කතා කරන්නේ කාටද කියලා මතක තියාගන්නවා.
සර්. මම දන්නවා කාටද කතා කරන්නේ කියලා. මේක දැන් නතර වුනේ නැත්නම්, ඔබතුමා වියට්නාමෙදි කරපු යුද අපරාධ එකින් එක ජාත්යන්තර අධිකරණයට ගේනවා. සර්. එහෙම උනොත් ඒක සර්ට ලොකු ප්රශ්ණයක් වෙයි. එඩීගේ මූනෙන් ගින්දර පිටවෙනවා වගේ පෙනුනා.
තමුසේ මට තර්ජනය කරනවද?? ජනාධිපතිගේ කටහඬ තීව්ර උනා.
සර් කැමති විදියකට හිතාගන්න. හැබැයි මගේ පවුලට මොන විදියකින් හරි අනතුරක් උනොත් ඔබතුමාගේ දේශපාලන ජීවිතේ විනාස කරනවා. ඒක පොරොන්දුවක්. මට ඒක කරන්න පුලුවන් කියලා ඔබතුමා හොඳටම දන්නවනේ.
අනිත් පැත්තෙන් කිසිම ප්රතිචාරයක් ලැබුනේ නැහැ. ඔරලෝසුවේ තත්පර කට්ට ඔහේ කැරකෙනවා.
තව තත්පර තිහයි. ජොනතන් කෑගැහුවා.
මේ ශොට් එක මිස් උනොත් ආයේ කිසිම වෙලාවක මේ ටාගට් එක ගන්න බැහැ. දැන් ඔපරේශන් එක එලිවෙලා ඉවරයි. සර් මට ඔබතුමාගේ නියෝග ඕනි. අපි පහර දෙනවද නැද්ද? ජෙනරල් මැක් ආතර්ගේ කටහඬ අවදි උනා.
තවත් තත්පර කීපයක් ගෙවිලා ගියා.කිසිම සද්දයක් නැහැ. ඔෆිස් එකෙන් ඇහෙන්නේ මිනිස්සුන්ගේ පපු ගැහෙන සද්දේ විතරයි.
අන්තිමට ජනාධිපතිතුමාගේ කඩහඬ ෆෝන් එකෙන් පිටවුනා.
හොඳයි. මේ තියෙන තත්වය එක්ක අපිට ඇමෙරිකන් රාජ්ය ත්රාන්ත්රිකයෙක්ගේ පවුලේ අයව අනතුරේ දාන්න බැහැ. අපි මේක සැලසුම් කලේ කිසිම ඇමෙරිකන් පුරවැසියෙක්ට හානියක් නොවෙන්න. දැන් තියෙන තත්වයත් එක්ක අපිට මෙහෙයුම කරන්න නීතිමය ප්රශ්ණයක් ඇතිවෙනවා. ඒ නිසා මෙහෙයුම නතරකරන්න කියලා මම නියෝග දෙනවා.
හොඳමයි ජනාධිපතිතිමනි! ජෙනරල් මැක් ආතර් රිසිවර් එකක් අරගෙන කනේ තියාගත්තා.
මෙහෙයුම නතර කරන්න! මම ආයෙත් කියනවා මෙහෙයුම නතර කරන්න.
ඒ අතරේ ජනාධිපතිගේ කටහඬ ආයෙත් ඇහුනා.
එඩී. මේ මාසේ අන්තිම වෙනකොට මට තමුසෙගේ අස්වීමේ ලිපිය ලැබෙන්න සලස්වනවා. මේ අවුල කොහොමද වුනේ කියලා මට රිපෝට් එකක් ඕනි! ෆෝන් එක කට් වුනා. ඔෆිස් එකේ හැමෝම වැඩ නතර කරලා මගෙ දිහා බැලුවා.
එඩී පුටුවෙන් නැගිටලා මං ලඟට ඇවිදගෙන ආවා. ඉන් පස්සේ මිනිහා මගේ ඉස්සරහින් හිටගෙන මූන දිහා එක එල්ලේ බලාගෙන හිටියා. එඩීගේ ඇස් වලින් ගින්දර විසිවෙනවා.
ෆ්රෑන්ක්. උඹ මාව විනාස කලා. උඹ මගේ ගෑනිවයි දරුවවයි බිල්ලට තිබ්බා. ඉක්මනට හොඳ ලෝයර් කෙනෙක්ව හොයාගන්නවා. ඇමෙරිකන් රජයේ රහස් එලිකිරීම ඔත්තු බැලීම, සහ කුමන්ත්රණ කීරීම සම්බන්ධයෙන් උඹව මේ මොහොතේ ඉඳන් අත්අඩංගුවට ගන්නවා.
මම හයියෙන් හුස්මක් පිට කලා. ස්ක්රීන් එකේ තවමත් වාහන පෝලිම ඉස්සරහට යන හැටි පේනවා. මම ඇස් දෙක පියාගත්තා. එකපාරටම කෙවින්ගේ රූපේ මට ඈතින් මැවිලා පෙනුනා. පළවෙනි පාරට කෙවින් ඉරාකෙට යන්න කලින් අයාපෝර්ට් එකේදී මාවයි ඇන්ඩ්රියාවයි ඇවිත් බදාගත්ත හැටි මට චිත්රයක් වගේ මැවිලා පෙනුනා.
තාත්තේ. අපි ඉරාකෙදී හම්බවෙමු. මම ඉක්මනට ඔයාව බලන්න එනවා.
පරිස්සමින් කෙවින්. මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා.
Nisal Ekanayake