පරිත්යාගය
පරිත්යාගය
මෙය නම් අදහන්නට හැකි දෙයක් නොවේ..! ඈ මා හැර ගොසිනි. ජීවිතයත් මරණයත් අතරේ සටන් කරමින් සිටි මා යළිදු නව ජීවයකින් නැගී සිටින විට ඈ මා අමතක කොට හැර ගොස් බව කෙසේ නම් අදහන්නද. දැන් මා ජීවත් වීමේ අරමුණ කුමක්ද... ඉදිරි මුළු ජීවිත කාලයම මා මනසින් ගොඩනැඟුවේ ඈ සමඟ එක්ව යන ගමනකි. එහෙත් දැන්..!
තාරුකා..! ඒ ඇයයි. ඒ තාරුකා වන් දෑස මට හමුවූයේ රැකියාවට යන අතරතුරුය. දහසක් මඟීන් ගැවසෙන නගරයේත් ,බසයක් එනතුරු බලා සිටින නැවතුමේත් ,තැලී පොඩිවී නානාප්රකාර මිනිසුන් සමඟ බස් රථයේ ගමන් කරද්දීත් මා සෙව්වේ ඒ දෑසමය. මාසයක්...,දෙකක්..,තුනක් ගතවන විට ඒ දෑසටද මා හසු වූ බව මම දැන ගතිමි. නිහඬව දෑසින් ගලා ගිය පෙම් කතාව, අවසනදී පොල් පැටවූවාක් ලෙස මගීන් පටවාගගෙන යන බස් රථයක එල්ලී සිටියදී මඟීන් අතුරින් තල්ලු වී මා දෙසට නොදැනුවත්වම පැමිණි ඇගේ කනට කොඳුරා කියන්නට මට හැකි විය. ඇය සිනාසුනාය. වදනක් හෝ කීවේ වත් මා දෙස බැලුවේ වත් නැති ඈ අහක බලාගෙන දෙතොල් අතරින් සිනහව තද කරගෙන සිටිනු මම දුටුවෙමි. ඒ සිනහව මගේ හිතේ බලාපොරොත්තු දල්වන්නට විය. ඇයට පෙර බැසයෙන් බසින්නට සිටි මම ඊට පෙර ඇගේ කනට කොඳුරා " හෙට හෝල්ට් එකේදී කියන්න" යැයි කියා බැස ගියෙමි.
එකම නගරයේ එකම බසයේ එකම නැවතුමේ දෙතැනක උන් අපි පසුදා ඇගේ පිළිතුරෙන් පසු එක්ව ගමන් අරඹන්නට වූයෙමු.
මට වැරදුනා යැයි අදටත් සිතිය නොහැක. ඈ සැබැවින්ම මා හඳුනාගත්තාය. මාද එසේමය. අප දෙදෙනාගේ රුචි අරුචිකම් , සිතිවිලි , බලාපොරොත්තු සමහර තැන් වලදී වෙනස් වුවත් එකිනෙකාට ගරු කරමින් ඉවසන්නට අප දෙදෙනාටම හැකි විය.
තුන් අවුරුද්දක්..! ඔව් තුන් අවුරුද්දක් අප එක්ව ගමන් කෙළෙමු. මව්පිය ආශිර්වාදය දෙපසින්ම අප වෙත ලැබුනු දා මට වඩා සතුටු වූයේ ඇයයි. ඇයට උන්නේ මව පමණි. ඇය මා ඇගේම පුතකු ලෙස පිළිගත්තාය. ඉඳින් අප බැඳීම තව තවත් ශක්තිමත් විය. මා ඇයට වැරැද්දක් නොකෙළෙමි. ඇයව හැම විට රැකගත්තෙමි. වැරැද්ද වූයේ හදිසියේ මා හට ඇති වූ අසනීපයද..! ඈ මා හැර ගියේ ඒ නිසාමද..! මෙතරම් තේරුම් ගැනීමකින් මට පෙම් කල ඈ සැබැවින්ම සිව් වසරක පෙම් කතාවට තිත තැබුවේ මගේ රෝගය නිසාමද.
මගේ රෝගය උත්සන්න වන තුරු මා වත් දැන උන්නේ නැත. මුලින් ඇරඹියේ ගනන් නොගත හැකි මට්ටමේ කොන්දේ වේදනාවකිනි. සත්තකින්ම මා එය මෙවැනි රෝගයක් බව නොදැන උන්නෙමි. ඇයට තබා මගේ මවට වත් කියන්නට තරම් දෙයක් කියා වත් නොසිතුවෙමි. කවුරුත් කරනා මෙන් තෙල් බෙහෙත් පිහිට පැතීමි. එය සුව විය. එහෙත් නැවත නැවත මතු විය. මා කැළඹෙන්නට පටන් ගත්තේ අනෙකුත් රෝග ලක්ෂණ මතු වෙද්දීය.
මම අලස වූයෙමි. එහෙත් යහපත් නින්දක්ද නොලැබුවෙමි. අත් පා ඉදිමෙන බව මට පෙනෙන්නට විය. සම ඉරිතලා යන්නට විය. ඇගේ නෙතට පහසුවෙන්ම මේ සියල්ල හසු විය.
" ඔයාට මොකුත් අසනීපයක්ද කැලුම්..? ඇදිල ගිහිල්ලනෙ. අපි බෙහෙත් ටිකක් ගන්න යමුකො අසනීපයක් නම්.."
ඈ මෙන්ම අම්මාද ඒ පිළිබඳව විමසන්නට වූවත් මා එතරම් ලොකුවට ඒ පිළිබඳ සිතන්නට නොගියෙමි. ඇය මාගේ මව සමඟද කතා කලාය. නිතර නිතර බෙහෙත් ගන්නට යමු යි කියමින් ඇවිටිලි කලාය. ඇතැම්වට මට එය කරදරයක් බවද හැඟුනි.
රෝගය පිළිබඳව රතු එළියක් මගේ හිසේ දැල්වෙන්නට පටන් ගත්තේ නිතර නිතර මුත්රා පහ කරන්නට වැසිකිළි යන්නට වූ විටය. මූත්රා සමඟ රුධිරය පහ වන විට මා තැතිගත්තෙමි. නැවත නැවතත් එය සිදු විය. මේ කෙබඳු රෝගයක් විය හැකිද. ඇයට පවා ඒ පිළිබඳව කීමට මම බිය වුනෙමි. කිසිවකුට කිසිත් නොකියා තනිවම වෛද්යවරයකු හමුවන්නට ගියෙමි.
වෛද්ය පරීක්ෂණ වලට යොමු වන්නට පෙර ඇයටත් නිවසටත් ඒ ගැන කියන්නට සිදු විය. පරීක්ෂණ වල ප්රථිපල පැමිණි දින මට කිසිදා අමතක නොවේ. ඇය හැඬුවාය. මගෙ මව බදාගෙන හැඬුවාය. මගේ වකුගඩු දෙකම නරක් වී ගොසිනි. ප්රථිකාර කොට සුව වන්නට කල් ගොස් වැඩිය. නැවත නිරෝගී වකුගඩුවක් බද්ධ කල යුතුව තිබිණි. එය පහසු කාර්යක් නොවේ. නිරෝගි අයෙකුගෙන් වකුගඩුවක් ලබා ගත යුතුය. පින් තකා ස්ව කැමැත්තෙන් පරිත්යාග කරන්නෙක් නොවේ නම් මුදලට හෝ ලබා ගත යුතුය. ඒ සඳහා විශාල මුදලක් අවශ්ය වනු ඇත. මගේ හිස යකාගේ කම්මල මෙන් විය. මේ සියල්ල මගේ අසරණ දෙමව්පියනුත් තාරුකාත් දරාගන්නේ කෙසේද...
එහෙත් ඔවුන් ඒවා දරාගත්හ. ඒ සියළු වගකීම් ඔවුන් කර මතට ගත්හ. ඒ කාලය තුල මා අසනීපව රෝහල් ගත කල වාර අපමණය. ඔව්...ඒ සෑම මොහොතකදීත් ඈ මා සමඟ උන්නාය. මගේ හිත හැදුවාය. අවසන මට දීර්ඝ කාලීනව රෝහල් ගත වන්නට සිදුවිය. ඈ නිතර මා බැලීමට පැමිණියාය. මගේ හිත හැදුවාය.
" ඔයා බයවෙන්න එපා. ඔයාට ඉක්මනින් මැච් වෙන වකුගඩුවක් අපි හොයාගන්නවා .බය නැතිව ඉන්න..."
ඈ නිතර කීවාය. අවසනදී එයද සිදුවිය. එක් සවසක තාරුකාත් ඇගේ මවත් මගේ අම්මාත් තාත්තාත් මා හමුවට ආහ.
" ඔයාට හරියන වකුගඩුවක් හම්බුනා කැලුම් .දැන් ඉක්මනට ඔයාව සනීපකරගන්න පුළුවන්..."
ඈ කීවේ සතුටු කඳුලු මැදිනි. ජීවිතය අත් හැර දා උන් මම ප්රීති වීමි. තව දුරටත් බලාපොරොත්තු ඇති කර ගත්තෙමි. සිහින දැක්කෙමි.
එහෙත් සිදු වූයේ කුමක්ද...අසාධ්ය තත්වයේ උන් මා සැත්කමින් පසු පියවි සිහිය ලද්දේ දින තුනකිනි. ඒ වන විට මා වටා උන්නේ මගේ මවත් පියාත් අතිශය සමීප මිතුරන් කිහිප දෙනෙකුත් පමණි. මගේ මවගේ දෑසේ කඳුලු උතුරා යන අයුරු මම දුටුවෙමි. එහෙත් ඈ කොහිද...ඈ මෙහි නැති වීම අදහන්නට හැකි කරුණක් නොවේ... මට විමසන්නට උවමනා විය. එහෙත් වෛද්යවරුන්ගේ හා හෙදියන්ගේ උපදෙස් මත මා අසල සිටි සියළු දෙනා මාවෙතින් ඉවත් කරන ලදි.
ඉන් පසු රෝහලේ ගෙවුන සෑම දිනකත් නිවසට ආ පසුවත් මා මවගෙන් විමසූ එකම පැනය ඈ කොහිද යන්නයි. මගේ මව හැඬුවාය. පිළිතුරු දෙන්නට කල් ගත්තාය. මගේ මිතුරන් මගේ පැණය හමුවේ නිරුත්තර වූහ. අන්තිමේදී මගේ මව ඒ අදහන්නට නොහැකි කතාව මට කීවාය.
" මගෙ පුතා හිත හදාගන්න. තාරුකාට පුතා ඕන නෑ. එයා මේක අද ඊයෙක ගත්තු තීරණයක් නෙවේ . පුතා ලෙඩ උනාම එයා තීරණය කරල තියෙන්නෙ පුතාගෙන් ඈත් වෙන්න. එයාට අවදානමක් ගන්න බෑ කිව්ව පුතේ. අම්ම විතරක්නෙ එයාටත් ඉන්නෙ. මොකුත් කියන්න බෑ අපිට.."
මෙය ඇදහිය හැකි කතාවක්ද. ඈ මා හැර ගොසිනි. අන්තිම මොහොත වන තුරුත් මා වෙනුවෙන් වෙහෙස වූ බව පෙන්වූයේ බොරුවට විය හැකිද. මා පමණක් නොවේ ඈ උන් නිවස පවා හැර ගොස්ය. එතරම්ම ඇයට පිළිකුල් වීද...
කාලය ගත විය. මා සෙමෙන් සෙමෙන් යථා තත්වයට පත් වුනෙමි. එහෙත් ඒ ශරීරය පමණි. සිත නොවේ. සිත කෙසේ ඇගෙන් මුදවා ගන්නද. මගේ මුළු අනාගතයම ඈ සමඟ තීරණය කොට උන්නෙමි.
තවත් වසරක්...දෙකක් ගත විය. මගේ සිතින් ඈ මකාලන්නට කිසිවකුටත් හැකි වූයේ නැත. මගේ ජීව්තය අරමුණකින් තොරව ඔහේ ගලා යන්නට විය. රැකියාවට යාමත් ආපසු නිවසට ඒමත් හැරුනු කොට වෙනත් කිසිවක් කිරීමට මා ඇළුම් නොකලෙම්. අම්මා මා පිළිබඳව අපමණ දුක් වූවාය. අවසන මගේ ජීවිතයට මදාරා ලං කලේද ඈ විසිනි. මදාරා මවගේ මිතුරියක්ගේ ඤාති දියණියක වූවාය. ඇය මා පිලිබඳ සියල්ල දැන උන්නාය. නිතර මා හමුවට පැමිණියාය. එහෙත් මගෙන් බැල්මක තරම් හෝ ආදරයක් ඇයට ලැබුනා නොවේ. ඈ මට මුළු හදින් පෙම් කලාය. මම ඒ බව දනිමි. මට එය දැනුනි. එහෙත් තාරුකා... ඇය කෙසේ නම් අමතක කරම්ද..
මදාරා කිසිදින මගෙන් ප්රේමය යැද්දේ නැත. අඩුම තරමින් ඇයට අකමැතිද කැමතිද කියා වත් ඇසුවේ නැත. එහෙත් ඇය සියල්ල මා වෙනුවෙන් කළාය.ඉවසුවාය. බලා උන්නාය.
මදාරාට සාධාරණයක් විය යුතුය. මම හිත හදාගත්තෙමි.නොඑසේ නම් හිත හදාගත් ලෙස රඟපෑවෙමි. ඇයට අවධානය යොමු කලෙමි. මගේ එක් සිනහවකින් ඇගේ දැස් ප්රබෝධමත් වූ තරම්...මගේ එක් ඇගයුමකින් ඈ සතුටු වූ තරම්... කලෙකට පසු මම තාරුකා දුටුවෙම්...ඒ මදාරා තුලිනි... එක් වෙනසක් පමණි. තාරුකා එපා කියූ අවදානම් ජීවිතය මදාරා බාරගත්තාය.
තවත් වසරක් ගෙවුනි. මම මදාරාට ලං වූයෙමි. එහෙත් තාරුකාට තරම්ම නොවේ යැයි සිතමි. තාරුකාගේත් මගේත් ආදරය ගැන අකුරක් නෑර මම ඇයට කීවෙමි. ඇය අසා සිටියාය. සිනහ මුසු මුහුනින් අසා සිටියාය. ප්රශ්න නොනඟා අසා සිටියාය. අවසන ඈ මෙසේ ඇසුවාය.
" ඔයාට එයාව හොයාගන්න ඕනද කැලුම්..?"
මම නිරුත්තර වීමි. දෑස සඟවා බිම බලාගනු හැරෙන්න මම වෙන කුමක් කරන්නද. ඔව්.. මට අදටත් ඈ සොයාගන්නට උවමනාව ඇත. එහෙත් ඉන් පලක් වේද. ස්ථීර තීරණයක් මා තුල නැත. ඈ තේරුම් ගන්නට ඇත. මගේ නිහඬතාවය ඈට පිළිතුරු සපයන්නට ඇත. එහෙත් ඈ කිසිත් නොකීවාය. සුසුමක් හෙළා මා ළඟින් ඉවත් වූවාය.
ජීවිතය සාමාන්ය පරිදි ගත විය. දිනක් උදයේ මදාරා දුරකතනයෙන් මා ඇමතුවාය.
" කැලුම්, අද නිවාඩුනේ. මාත් එක්ක හොස්පිට්ල් යන්ද.?යාළුවෙක් බලන්න."
එය අතිශය සාමාන්ය ඉල්ලීමකි. මම සූදානම් වූයෙමි. මෝටර් සයිකලයට නැඟුනු මා ඇගේ නිවස අසලින් ඇයව නංවා ගතිමි. තවත් පැය බාගයකින් පමණ අප උන්නේ රෝහලේය. ඇය මා සමඟ යෙහෙළියගේ වාට්ටුව සොයා ගියාය.
එසේ යන අතරතුර බංකුවක වාඩි වී දෑසෙහි කඳුලු පුරවා හඬන එක් පුරුදු මුහුණක් මා දුර සිටම දුටුවෙමි. ඒ ඇගේ මවයි. ඔව්.. මට වරදින්නේ කෙසේද. මට පුතකුට මෙන් ආදරය කලේ ඇයයි. ඒ තාරුකාගේ මවයි..!මගේ අතින් මදාරාගේ අත නොදැනුවත්වම ගිළිහුනි. අසිහියෙන් මෙන් මා තාරුකාගේ මව වෙත දිව ගියෙමි. ඇය මා දුටුවාය. එක් බැල්මකින් මා හඳුනාගත්තාය. ඇගේ කඳුලු අලුත් විය.
"පුතේ..."
එදා මෙන්ම සෙනෙහසින් මා අමතන්නට ඇයට අමතක වී නැත.
"අම්මේ...අම්මා ඇයි මෙතන. කෝ...කෝ...තරුකා..කොහෙද එයා. කවුද ඉඩ්පිරිතාලෙ ඉන්නෙ. අම්මල ගෙවල් දාල කොහෙද ගියේ...?"
තාරුකාගේ මවගේ අත් අල්ලාගත් මා සියළු ප්රශ්න අසාගෙන අසාගෙන ගියෙමි. මගේ සිහි ව්කල් වී ඇති සේය. පිටුපසින් උරහිස මත අතක් තබනු දැනී මම පිටුපස බැලුවෙමි. ඒ මදාරාය...මට ඇයද අමතක වී ගොස් තිබිනි. ඈ ප්රශ්නාර්ථයක් දෑසේ රඳවා බලා උන්නාය.
"මදාරා...මදාරා...මේ..මේ තමා..තාරුකාගෙ අම්මා.."
ඇය හිස සලා මා කී දේ පිළිගත්තාය. මම නැවත මව දෙස බැලුවෙමි. ඇය හඬමින්ම බංකුවේ වාඩි වූවාය.
"අනේ පුතේ... තාරුකා තමා ඉස්පිරිතාලෙ ඉන්නෙ. මොනව කරන්නද කියල මට තේරෙන් නෑ පුතේ..."
මා දැවී ගියෙමි. තාරුකාට ඇති අසනීපය කුමක්ද. මව මෙතරම් හැඬවීමට තරම්.
"පුතාට සමහර විට තරහක් ඇති මගෙ දරුව ගැන. ඒත් එයාට එහෙම කරන්න උනා පුතේ... පුතාට මතකද පුතා හුඟාක් අමාරු වෙලා ඉස්පිරිතාලේ නතර කලා..?
මම හිස සලා ඔව් කීවෙමි. ඒ කාලය කෙසේ නම් අමතක වෙන්නද.. සියල්ල නැතිවූයේ ඒ කාලයේදියි.
"පුතාට අපි හරියට වකුගඩුවක් හෙව්වා. ගැලපෙන එකක් හොයාගන්න හම්බුනේම නෑ. අන්තිමේ...අන්තිමේදි...තාරුකා එයාගෙ වකුගඩුවක් දෙන්න තීරණය කලා. ඒක...පුතාගෙ වෙලාව. ඒක පුතාට ගැළපුනා... පුතාගෙ අම්මා... එයා ගොඩක් සතුටු උනා පුතේ. තාරුකත් ගොඩක් සතුටින් ඔයාට වකුගඩුවක් දන් දුන්නෙ...අනේ පුතේ... ඒ උනාට පුතාව දාල යන්න ඕන කියල හිතක වත් තිබුනෙ නෑ මගෙ දරුවගෙ..."
මම සලිත වී ගියෙමි. මට මේ ඇසෙන්නේ සත්යක් දැයි සිතා ගන්නේ කෙසේද... මා ජීවත් වන්නේ ඇගේ ශරීරයේ කොටසක් දරාගෙනය. ඒත් කිසිදිනක මගේ අම්මා හෝ තාත්තා මට මේ බව නොකීවේ ඇයි. මට වසන් කරේ ඇයි. දැන් ඇගේ මව කියන ලෙසට මා හැර යන්නට ඇය සිතා හිඳ නැත. මගේ දෑසින් කඳුලු බිඳු කඩා වැටෙමින් තිබුනි. මදාරා මා පසෙකින් හිඳ මගේ හිස අතගෑවාය. සත්තකින්ම ඇගේ සිතද දැවෙන්නට ඇත. මේ අප කිසිවකුත් බලාපොරොත්තු වූ කතාව නොවේ...
" අනේ පුතේ මේක අහල පුතාගෙ අම්ම ගැන පුතා තරහක් හිතන්න එපා. පුතාට ආදරේ නිසා වෙන්න ඇති අම්ම එහෙම කරේ. ඔපරේෂන් එක ඉවර උනාම පුතාගෙ අම්ම කීවා දෙන්නම දැන් ලෙඩ්ඩු වගේ නිසා දෙන්න එකට ජීවිතේ ගෙනියන එක අවදානම් වෙයි කියලා. දුවව බලාගන්න පුළුවන් හොඳ කෙනෙකුට දුවව දෙන්න කිවා. පුතත් ලෙඩෙක් නිසා පුතාව හොඳට බලාගන්න පුළුවන් කෙනෙක් අම්ම හොයල දෙන්නම් කීවා... අනේ පුතේ.. මේ කෙල්ල වචනයක් වත් කීවෙ නෑ...හිනාවෙලා ඒක පිළිගත්තා... අපි ගේත් දාල මගෙ මහගෙදරට ගියා. දුව රස්සාවෙන් අයින් වෙලා වෙන තැනක රස්සාවකට ගියා...ඕකයි උනේ..."
මට මේ ඇසෙන්නේ මොනවාද..මගේ මව් පියන් මා රවටා ඇත. මගේ ජීවිතය මගෙන් වෙන් කොට ඇත. මගේ යහපතට කියා එක් අහිංසක කෙල්ලකුගේ ශරීරයෙන් කොටසක් උදුරාගෙන ඇය එළවා දමා ඇත. මදාරාද මා දෙස බලා උන්නේ විසල් කරගත් දෙනෙතිනි. අවුල් වී ගිය මනසින් යුතු මට අසන්නට අමතක වූ දෙය මදාරා ඇසුවාය.
"ඉතින් අම්මෙ ඇයි දැන් තාරුකා ඉස්පිරිතාලෙ ඉන්නෙ..?"
"අනේ දුවේ...මගෙ කෙල්ල... පුතාගෙ අම්ම කිව්ව වගේ කෙනෙක් කවදාවත් මගෙ දුවට හම්බුනේ නෑ පුතේ... දුව මේක හංගලා කසාදයක් කරගන්න කැමති උනෙත් නෑ. බලන්න ආපු එක මනාලයෙක් වත් ඒක කිවම දුවට කැමති උනේ නෑ. දුව අන්තිමේ තනියම ජීවත් වෙන්න තීරණය කලා. අනේ පුතේ... ඒකරලත් මගෙ කෙල්ලට සැනසීමක් ලැබුනෙ නෑ... කෙල්ලට තිබ්බ එකම වකුගඩුවත් නරක් වෙලා පුතේ..."
ඇය අවසන් ටික කීවේ මහ හඬින් හඬමින් මා බදාගනිමිනි. මගේ සිතිවිලි එකිනෙක පැටලමින් මා අවුල් කරමින් තිබිනි. මට ඇය බලන්නට උවමනා විය. ඇගෙන් සමාව යදින්නට උවමනා විය.
"අම්මෙ...අම්මෙ..මට තාරුකා බලන්න ඕන.මේ දැන්..මේ දැන්..."
මම මදාරා දෙස බැලුවෙමි. ඇය සිනාසුනාය. කඳුලු පිරි දෙනෙතින් මා දෙස බලා සිනාසුනාය.
"යන්න ගිහින් බලල එන්න. මං යාළුවා බලන්න යන්නම්..."
ඇය මට අවසර දුන්නාය. ඇයට කුමක් සිතෙන්නට ඇත්දැයි මට මොහොතකට හෝ නොසිතුනි. මම තාරුකාගේ මව සමඟ තාරුකා බැලීමට ගියෙමි. ඈ උන්නේ නින්දේය. මට ඇයට කතා කරන්නට උවමනා වුවත් ඊට ඉඩ ලැබුනේ නැත. අහිංසක ඇය..මට මතක් වූයේ මා සිටි අන්දමය. මා සිටියාක් මෙන්ම ඈ ඇදී ගොස්ය. සොඳුරු මුහුණ කළු වී හැකිලී ගොස්ය. ඈ සිටින්නේ අතිශය වේදනාකාරී තත්වයක බව ඈ දැක්මෙන්ම තේරුම් ගැනීමට මට හැකිවිය.
අවුරුදු ගණනකට පසු ලෙඩ ඇඳකදී හමුවූ ඇයට වදනක් හෝ කතා නොකර දැක්මෙන් පමණක් සැනසී ආපසු එන්නට මට සිදුවිය. මනස කෙතරම් අවුල් වීද යත් මා සමඟ මදාරා පැම්ණි බව වත් මට සිහිපත් නොවීය. මම තනිවම ආපසු නිවසට පැමිණියෙමි.
මවට හෝ පියාට මුහුණ දීම තරම් අපහසු කාරණයක් මට තවත් නොවීය. යහපතට හෝ අයහපතට ඔවුන් කර ඇත්තේ වරදක්මය. මෙතෙක් කල් මා කිසිවක් නොදැන රැවටී සිටියෙමි. කාමරයට ගිය මා ඇඳුමක් හෝ මාරු කර ගැනීමට පමා නොවී ඇඳට වැටුනෙමි. සියලු දුක් දෝමනස්සයන් සෝදා හැරීමට මෙන් කොට්ටය බදා හැඬුවෙමි. මගේ පිරිමිකම පසෙකට දා ඉකිගසා හැඬුවෙමි. මට නින්ද ගියේ කොයි මොහොතේදැයි මට මතකයක් නැත.
මා පිබිදෙන විට ගොම්මන් අඳුර නිවස ගිළගනිමින් තිබුණි. කාමරයෙන් එළියට ගිය මා නානකාමරයට වැදී සිත් සේ නෑවෙමි. මා පිටතට එන විට අම්මා මා සොයා ආවාය.
" මොකද ළමයෝ.. අසනීපයක්ද. උදේ ගිහින් ආව වෙලේ ඉඳන් නිදි. කෑවෙත් නෑ.."
මම මව දෙස නොබැලුවෙමි.
" මොකුත් නෑ අම්මා. නිකන් නිදාගත්ත මහන්සියට.. "
මා ඉවත්ව යන විටම ඇය නැවත කතා කලාය.
" ආ..මදාරා දුව කලින්ම ගිය වැඩේ කරගත්ත කියල ඇවිත් ගියා. කාමරේ මොනවද තියනව කිව්ව. බලන්න කිව්වෙ.."
මම ගැස්සී ගියෙම්. එසේනම් ඈ මා එන තුරු රැඳී සිට නැත. මේ හැදිස්සියේ කුමක් දෙන්නට ඈ නිවසට ආවාද... අඩුම තරමින් ඈ තවමත් දුරකතන ඇමතුමක් හෝ දුන්නා නොවේද...ඈට ඉරිසියාවක් ඇතිවීද...
මම කාමරයට ගියෙමි. බැලූ බැල්මට මේසය මත තබා ගිය කිසිවකුත් නොවීය. එහෙත්..හදිසියේම මගේ නෙත ගැටුනේ දෙකට නමා මල් පෝච්චියට යට කර තබා ඇති සුදු පැහැ කොළයයි.
මම සැලෙන දෑතින් එය අතට ගෙන දිග හැරියෙමි.
ආදරණීය කැලුම්,
මේ ලිපිය ඔබ අතට පත් වන මොහොතේ බොහෝ දුරට මා නිවසින් දුර ඈතක සිටිනු ඇත. සිදුවූ සියල්ලට ඔබ මට සමාව දෙනු ඇතැයි සිතමි.
මම ඔබ හමුවූ දා පටන් ඔබ හා බැඳුනු බව සත්යකි. නමුත් ඔබේ සිතේ උන්නේ කවුරුන්ද යන වගද මා දැන උන්නෙමි. මාද ඈ ගැන සිතා උන්නෙ වැරදි ලෙසටයි. කල් යත්ම ඔබේත් ඇගේත් ආදරය ගැන ඔබේ මුව්න්ම දැන ගත් දා පටන් ඔබ සිතන ලෙසම තාරුකා ඔබ හැර ගියේ කෙසේදැයි මට ඇති වූයේද ගැටළුවකි.
ඔබට මතක ඇති දිනක් මා ඔබෙන් ඇසුවා ඇය සොයාගන්නට තවමත් උවමනාද යන වග. පිළිතුරු නොලැබුනත් ඔබේ මුහුණින් පිළිතුර සොයා ගන්නට මට අපහසු වූයේ නෑ.
එතැන් පටන් මම තාරුකා සෙවීමට අපමණ වෙහෙස වූවා. ඔබ නොදන්නවා වුවත් අන්තිමේදී ඈ පිළිබඳව සොයා ගැනීමට මට ඉවහල් වූයේ ඔබේ මවගේ මුවින්ම නොදැනුවත්වම පිටවුනු ඇතැම් කරුණු කාරණාය. මට දැනුන ලෙස ඔබේ මව්පියන් බොහෝ තොරතුරු අපෙන් සඟවා ඇති බව පෙනේ. එයට හේතුව මා දැනගත්තේ තාරුකා සොයා ගත් විටයි. ඔබගේ මවගෙන් ලබා ගත් තොරතුරු අනුව තාරුකාගේ මවගේ මහගෙදරට මා ගියත් මට දැනගන්නට ලැබුනේ ටික කලකට පෙර ඔවුන් නැවතත් පෙර සිටි නිවසටම පැමිණි බවයි. මම එහිද ගියෙමි. තාරුකා එවිටත් උන්නේ රෝහල් ගතවයි. එහිදී මා දැනගත් සියල්ල ලිපිය කියවන විටදි ඔබ දැන සිටින බව මම දනිමි.
ඔබත් ඇයත් එක් කිරීම මගේ එකම ප්රාර්ථනයයි. එය තාරුකා විසින් ඔබට කල පරිත්යාගය තරම් වටිනා එකක් නොවනු ඇත. මා මේ සියල්ල ඔබ වෙනුවෙන් සැලසුම් කලෙමි. ඔබව රෝහලට කැටුව ගියේත් ඇය මුණගැස්වීම සඳහාමයි. මම මේ සියල්ල තාරුකාගේ මව දැනුවත් කොට සිදු කළෙමි.
එමෙන්ම මම අද රාත්රියෙහි මේ රටින් නික්ම පිටරට වෙසෙන මගේ නැන්දා ලඟට යන්නෙමි. මගේ දුරකතනය මේ වන විට විසන්ධි කර ඇත. ඔබ දෙදෙනා වෙනුවෙන් කල හැකි උපරිමය කලා යැයි මම සිතමි. මතු දිනක ඔබ දෙදෙනා එක්ව සිටිනු දැකීමට මඟ බලා සිටිමි. ඇයගේ ප්රථිකර්ම වෙනුවෙන්ද යමක් කිරිමට මා උත්සහ කරමි
ඉතින් මම නවතින්නම්. ඔබ දෙපලට සුබ අනාගතයක්. බුදුසරණයි.
මීට ,
දයාබර යෙහෙළිය,
මදාරා.
මේ සිදුව ඇත්තේ කුමක්ද. මා ඇඳ උඩ හිඳගැන්වුනේ ඉබේටමය. සිනාසෙන්නදැයි හඬන්නදැයි සිතාගන්නට නොහැකි විය. මම මදාරාගේ දුරකතනයට ඇමතුමක් ගත්තෙමි. ඔව්...සත්යකි. එය විසන්ධි කොට ඇත. මම සුසුමක් හෙළුවෙමි.
ඉතින් මා දුක් වීමට් උවමනා නැත. මදාරා ජීවිතය අවුල් කර නොගනු ඇත. ඇය ඉවසිලිවන්තව ක්රියා කර තිබේ. දැන් රෑ බෝවී ඇත. හෙට පාන්දරම තාරුකා බැලීමට රෝහලට යා යුතුය. ඇයට කතා කල යුතුය. ඇයට ජීව්තය පිළිබඳව බලාපොරොත්තුවක් ලබා දිය යුතුය. ඈ පුදුම වනු ඇත. මට ඒ මුහුණ මැවී පෙනේ. වෙනදා නැති සැනසුමකින් මම නින්දට ගියෙම්.
පසුදා පහන් විය. විගසින් සූදානම් වූ මම මෝටර් සයිකලයට නැඟී රෝහල වෙත පියඹා ගියෙමි. පෙර දින තාරුකාගේ මව උන් කොරිඩෝවේ බංකුව මත කිහිපදෙනෙක් රැඳී සිටියහ. තාරුකාගේ මව සමහර විට ඈ ලඟ සිටිනු ඇත. මම නොඉවසිල්ලෙන් දිව ගියෙමි. එහෙත්.... වාට්ටුවේ දොර අසලින් එක් වරම පිටතට පැමිණියේ මහ හඬින් වැළපෙන තාරුකාගේ මව වත්තම් කර ගත් හෙදියන් දෙදෙනෙකි. මම කැළඹුනෙමි. කුමක් සිදුවීද..වෙව්ලන දෙපා වලින් මම වහා ඒ දෙසට දිව ගියෙමි.
"අම්මේ...අම්මේ...ඇ..ඇයි මේ. ඇයි මේ..."
මව වත්තම් කරගෙන පැමිණි හෙදියන් දෙදෙන ඇය බංකුව මත හිඳුවා කරුණාවෙන් මා දෙස බැලූහ.
"මේ මහත්තය නෑදෑ කෙනෙක්ද තාරුකාගෙ.."
"ඕ..ඔව් මිස්...ඇයි ඇයි මොකද.."
"හ්ම්ම්...කලබල වෙන්න එපා.. දැන් පැයකට විතර කලින් තාරුකා නැතිඋනා...පොඩ්ඩක් මේ අම්ම ලඟ ඉන්න අපි කතා කරන්නම්.."
ජීවිතයේ ඇසු නරකම ආරංචිය මගේ කන මත තබා හෙදියන් දෙදෙන වාට්ටුව තුලට ඇතුල් විය. තාරුකාගේ මව මා බදාගෙන අසිහියෙන් විලාප තැබුවාය. මට මදාරා සිහිවිය. ඇගේ වදන් සිහිවිය.
ඔව්..තාරුකා නික්ම ගොස් ඇත..
මා වෙනුවෙන් කල හැකි උපරිම පරිත්යාගය සිදු කොට මා නිසාවෙන්ම ජීවිතයද හැරදා ඇය නික්ම ගොස් ඇත..
නිමි.
පුෂ්පිකා විජේරත්න