මේ ,කොවිඩ් 19 හෙවත් කොරෝනා නැමැති මාරාන්තික වසංගතයක් ලොව පුරා පැතිර ගිය සමයයි. චීනයෙන් ආරම්භ වී ලොව පුරා බලවත් රටවල් පවා අඩපණ කරමින් පැතිර ගිය වසංගතය නොබෝ දිනකින් ශ්රී ලංකාවද ආක්රමණය කරන ලදි. ලංකාවේ නන් දෙසින් කොරෝනා රෝගින් එකා දෙන්නා වාර්තා වීමත් සමඟ රටෙහි ඇතිව තිබූ තත්වය සමනය කිර්රම උදෙසා ඇඳිරි නීතිය පනවන්නට රජයෙන් තීරණයක් ගැනුණි.
වසංගතයේ පැතිරීමක් නොවූවද මේ කතාවෙහි එන ගම්මානයද රජයේ තීරණය මත ඇඳිරි නීතිය පැනවීමෙන් පාළුවට ගියේය. සති ගණනකට සෑහෙන්නට කෑම බීම සහ අනෙකුත් අවශ්ය ද්රව්යය තම නිවසේ ගොඩගසා ගන්නට සියලු දෙනා උත්සුක වූහ. අත ඇති මුදල ප්රමාණවත් නොවූ කල කන කර ආභරණ පවා උකසට තබා දරුවන් බඩගින්නේ නොතබන්නට හැම නිවසකම දෙමව්පියෝ උත්සාහ කළහ . එදා වේල සරි කරගන්නා දුප්පතාට සිදුවූයේ තවත් දුකින් දුකට වැටෙන්නටය. නන් දෙසින් ආධාර දෙන්නන් පැමිණෙන බව කීවත් ආධාර ලැබුණ දුප්පත් මිනිසෙක් ගම තුල සොයා ගැනීමට වත් නොහැකි විය. ඇඳුනුම්කම් වලට යටවී ආධාර සියල්ල ඇතිහැකි අයගේ බඩකට පුරවන්නටම ගිය බව නම් ගම්මුන්ට නොරහසක් විය.
සුධාරිට මේ නිවසේ සිරවී සිටිම දැන් දැන් එපාවෙමින් පවතී. රැකියාවට යන විට නිවසේ සිට නිවාඩුවක් ගත කරන්නට තිබූ ආසාව දැන් කොහේ ගියේ දැයි ඇයට වටහා ගත නොහැක. ඇඳිරි නීතිය පනවා තිබුණද ගම තුල මිනිසුන් එහා මෙහා යන බව පෙනේ. එහෙත් ගම වෙනදාට වඩා පාළුවකින් වෙලී ඇති බව සුධාරිට සිතුනි. සති දෙකක පමණ කාලයක් නිවසට වී ගේ දොර අස් පස් කර මව සමඟ එළවළු පාත්තියක් පවා සකස් කළද දැන් නම් කරන්නට කිසිදු වැඩක් නැති බව පෙනේ. තම නිවසේ සිට තවත් නිවෙස් කිහිපයකට ඔබ්බෙන් වූ තම මිතුරිය සුධාරිට සිහි වූයේ හවස් යාමයේදීය.
" අම්මේ, මම ඉෂාරාගේ ගෙදර ගිහින් එන්නද..?"
රාත්රී ආහාරය සඳහා ගොටුකොළ මිටියක් සුද්ද කරමින් සිටි මවගෙන් සුධාරි විමසුවාය.
" මේ හැටි හවස් වෙනකන් ඉඳලා දැන් මොකටද ළමයෝ එහෙ යන්නෙ...? " මව විමසුවේ නොරිස්සුමෙනි.
" ලොකු දුරක් නෑනෙ අම්මා.. එයා ළඟ පොත් එහෙම ඇති .ඉල්ලගෙන ඉක්මනට එන්නම්.." සුධාරි මවට බැගෑපත් වූවාය.
" ඉතින් මේ රෑ වෙලා යන්නෙ..හෙට පලයන්කෝ.."
" අනේ අම්මා... මොන රෑද .. දවල් වගේ අව්ව තාම. මම ටක් ගාල ගිහින් එන්නම්"
මවගේ අවසරය ලැබෙන තුරු නොසිටි සුධාරි හැඳ සිටි ඇඳුම පිටින්ම කොණ්ඩය ගැට ගසාගන්නට සැරසුනාය. කොණ්ඩය එක මිටකට ගන්නට සැරසුනත් කෙස් ගස් කිහිපයක් ඇදෙමින් සුධාරිගේ හිසට වේදනාවක් දැනෙන්නට විය. වේදනාව දැනෙන තැනින් කෙස් ගස් කිහිපය අල්වා ගත් සුධාරි සිය ඇඟිලි තුඩු සෙමින් පහළට ගෙන ආවාය. ඇගේ අතට හසු වූයේ තම දිගු වරලසෙහි පැටලී ඇති සුරයෙහි නූල්පටයි. සුධාරිගේ මුවට සිහින් සිනහවක් නැඟුනි. ඉදිරි මාස කිහිපය බොහෝ අපල උපද්රව සහිතැයි පවසා වේලාපත්කඩ බැලූ සුමනසේකර වෙද මහතා සති කිහිපයකට පෙර සාදා අම්මා අත එවා තිබූ සුරය ගෙලෙහි එල්ලා ගෙන සිටීම සුධාරිට මහත් වදයක් විය. අම්මාගේ බලවත් පෙරැත්තය නිසාම සුරය කරෙහි පැළඳ සිටියත් ඒ පිළිබඳව කිසිදු ව්ශ්වාසයක් සුධාරි තුළ නොවීය. අම්මා මුළුතැන්ගෙයි වැඩ කරන ශබ්ධය සුධාරිට හොඳින් ඇසේ. සෙමින් සෙමින් කෙස් ගස් කිහිපය ගලවන්නට උත්සහ කලත් නූල් පටෙහි හොඳින් පැටලී තිබූ කෙස් ගස් ගැලවීම පහසු නොවීය. සුධාරි සෙමින් තම කොණ්ඩය ඉදිරියට දමා සුරය සහිත නූල් පටෙහි ගැටය ලිස්සාය. සුරය අතට ගෙන පැටලුණු කෙස් ගස් ගැලවීම එතරම් අපහසු නොවීය.සුධාරි සිහින් සිනාවකින් යුතුව කොණ්ඩය මිටකට ගෙන බඳිමින් සුරය ගලවා සිටිනු දුටුවහොත් තම මව කුමක් කියත්දැයි සිතුවාය.
" වෙද මහත්තයට පෙනුනෙ නැද්ද දන්නෙ නැ මට විතරක් නෙවේ මුළු ලෝකෙම මිනිස්සුන්ට අපල කාලයක් එකවැර එනවයි කියල"
සුධාරි සිනාසෙමින් සිතුවාය. අම්මාගේ ඇස නොගැටෙන්නට සුරය කණ්ණාඩි මේසයේ ලාච්චුවට දැමූ සුධාරි පාවහන් යුගල පය ලාගෙන නිවසින් පිටවූවාය
වෙනදා කොලු කුරුට්ටන් සෙල්ලම් කරන ගමේ පාර පාළුවට ගොසිනි. මුලු ගමම මීයට පිම්බාක් මෙන් නිහඬව ඇත. සුධාරී සෙමින් සෙමින් ඇවිද ගියේ නොපුරුදු මඟක යන්නාක් මෙනි.
ඉෂාරාගේ නිවසට යාමට ප්රධාන පාරට වඩා අඩු දුරකින් යුත් කැළෑ පාරට සුධාරි පිවිසුනාය. කැළෑ
පාරක් යැයි අදහස් කළද එය එකිනෙකාගෙ වතු වලින් යාමට සැදී ඇති කුඩා අඩි පාරකි. යන අතරතුර තැන් තැන් වල පිහිටි නිවෙස්ද හමු වන නිසා එහි ගමන් කිරීමට සුධාරිට බියක් ඇති නොවේ. සුධාරි පය තබන විට ගස් වලින් වැටී තිබූ වේලුන කොළ කරස් කරස් ගා හඬ නඟයි. අතරින් පතර නිවෙස් තිබුණද වෙනදා මෙන් එළි පහලියේ පෙනෙන්නට කිසිවෙක්ද නැත. සුධාරිට වෙනදා නැති පාළුවක් සිතට දැනුනි.
සෙමින් සෙමින් ඇවිද යන සුධාරිට සැනින් සිහින් ඉකිබිඳුම් හඬක් ඇසිනි. තිගැස්සී ගිය සුධාරි ඉද්ද ගැසුවාක් මෙන් එක තැන නැවතුනාය. මෙවැනි හවස් යාමයක කැළයක් වැනි වත්තක් මැද හඬමින් සිටින්නේ කවුදැයි සුධාරිට සිතා ගැනීමට වත් නොහැකිය. සුධාරි මේ සිටින ඉසව්වේ ගෙයක් දොරක් පෙනෙන්නටද නැත. තවමත් ඉකිබිඳුම් හඬ සෙමින් සෙමින් ඇසෙයි. සුධාරි ගැහෙන සිතින් සිහිනයකින් මෙන් හඬ නැඟුන දෙසට ඇදී ගියාය... ඉකිබිඳුම් හඬ ලං ලංව ඇසේ.... තමා මේ සිටින්නේ කවුරුන්ට අයත් වත්තකදැයි සුධාරිට අදහසක් නැත. සෙමින් සෙමින් ගමන් කල සුධාරි වත්ත මැදට වන්නට වූ ව්ශාල කඳකින් යුතු කොස් ගස දුටුවාය. සුධාරිට හැඟෙන ලෙස තමා සිටින දෙසට විරුද්ධ දිශාවේ කොස් ගස යට කවුරුන් හෝ සිටී. . හඬ නැගෙන්නේ එදෙසිනි. . ගැහෙන සිතින් කොස් ගස දෙසට පිය නැඟූ සුධාරි දුටුවේ කොස් ගස යට හිඳගෙන ඔලුව තම දනිස් මත රඳවා ඉකිබිඳින ගැහැණියකි. ..
අඩි පාරෙන් ගමන් කරන විට හමුවන ගඩොලින් නිමකර ඇති අඩක් සාදන ලද පුංචි නිවසේ සිට්න කුමුදු සහ අවුරුදු තුනක් පමණ වන ඇගේ කුඩා පුතු සුධාරිට සිහිපත් විය. කොස් ගස යට හඬමින් සිටින කුමුදු හඳුනා ගැනීමට සුධාරිට අපහසුවක් නැතිවම හැකි විය.
"කුමුදු අක්කා....! කුමුදු අක්කා...! " සුධාරි බියපත්ව පහතට නැවී කුමුදුගේ උරහිසින් අල්ලා සෙලෙව්වාය. පිරිමියෙක් නැති නිවසක තනිව දරුවකු සමඟ කල් ගෙවන කුමුදුට කිසියම් කරදරයක් වීදැයි සුධාරි බියපත් වූවාය. අනෙක් අතට ගමේ කිසිවකුත් ඈ ගැන සමීපව සොයා බලන්නේද නැත. කුමුදුගේ විවාහක සැමියා නිවසට මායිම්ව ඇති වත්තෙහි වූ නිවසේ උන් අවුරුදු දහසයක් පමණ වන පාසල් යන වයසේ වූ කෙල්ලක සමඟ රහසේම පැන ගොස් දැන් කලක් ගතවී ඇත. ඉඳින් කරදරයක් වූ කල පිහිටට එන්නට සිටි අසල්වාසියාද කුමුදුට අහිමි විය. හරිහමන් ආදායමක්ද නැතිව සිටි කුමුදු මෙලෙස අනුන්ගේ වත්තක් මැඳ තනිව හැඬීම සුධාරිට මහත් බියක් ගෙන දෙන්නක් විය.. කුමුදු සෙමින් සෙමින් හිස ඔසවන්නට විය. කුමුදු සුධාරි දෙස බැලූ ආකාරයට සුධාරි ගැස්සී ගියාය... කුමුදුගේ ඇස් කඳුලින්ම සේදී ගොසිනි... ඇස් බලා සිටින්නට අපහසු තරමට රතු වී ගොසිනි. ඇය බොහෝ වේලා හඬන්නට ඇති බව ඒ ඇස් සාක්ෂි දරයි. සුධාරි හිඳගත්තා නොවේ සිතිවිල්ලෙන් තොරවම කුමුදු අසලින් ඉබේම හිඳගැන්වුනාය..
" කුමුදු අක්කා....ඇයි මේ...? මෙච්චර හවස් වෙලා මේ වත්තක් මැද.... ! පුතා කෝ.. ?" කුමුදුගේ උරහිසින් ඇත නොගත් සුධාරි එලෙසින්ම කුමුදුගේ මුහුණට එබී ඇසුවේ සැලෙන හඬ්නි.
කුමුදු හැඬීමෙන්ම වෙහෙසට පත්ව උන්නාය. ඇගේ දෙතොල් වේගයෙන් සැලෙයි.
" කොල්ලා.. ගෙදර ඇති නංගී... මං ....මං.. කොහොමද ගෙදර යන්නේ...හ්..හ්! "
කුමුදු නැවතත් හඬා වැටුනාය. සුධාරි තවත් යමක් කීමට පෙරම කුමුදු හඬමින්ම කතාව ඇරඹුවාය.
" දවස් ගා..නකින් කුලියක් ලැබුනෙ නෑ දෙයියනේ....කොල්ලට කන්න දෙන්න ගෙදර කිසිදෙයක් නෑ...නංගී... මට නැතුව හරි වෙනදට කන්න ටිකක් පිටි පැකට් එකක් කොහොම හරි කුලියක් කරල හොයගත්තා....හ්.. හ්..දැන් ඒකත් නෑ.... දවස් දෙකක් කොල්ලට කොත්තමල්ලිම බොන්න දුන්නා. එකත් ඉවරයි...දැන් මොනවා කරන්නද නංගි...."
කුමුදු නැවතීමක් නැතිවම කියවාගෙන ගියාය. සුධාරිගේ සිතට නැඟුනේ මහත් කම්පාවකි. තමා මවත් සමඟ ගොස් මසකට පමණ හාල් සහ වියලි ආහාර ගෙනවිත් නිවසේ ගොඩ ගසා ගත් අන්දම සුධාරිට සිහිවිය. ඒ අතරේ කෑමට යමක් නොමැතිව දුක් විඳින මෙවන් අයද තම ගමෙහිම සිටීම සුධාරිට මහත් දුකක් විය.
" අක්කා මෙතනට ඇවිත් මොකද කරන්නේ ඉතින්. .? "
කියන්නට යමක් නොවූ කල සුධාරි විමසුවාය.
"කොස් ගෙඩියක් පොලොස් ගැටයක් වත් තියෙද බලන්න ආවේ... මගෙ නරක වෙලාවට එහෙම දෙයක් වත් නෑ නංගී....මං ගෙදර යන්නෙ කොහොමද ..! කොල්ලා හාමත් වෙලා ඉන්නේ .. දැන් මටයි කොල්ලටයි වහ ටිකක් තමා කන්න වෙන්නේ.. .. "
කුමුදු ඉකිබිඳින ආකාරයට සැබැවින්ම එවැන්නක් වුවද කර ගැනීමට ඉඩ ඇති බව සුධාරිට සිතිනි. හදිසියේම යමක් තීරණය කර ගත් සුධාරි නැඟී සිටියාය.
"අක්කා නැඟිටින්න ..අපි යන්..නැඟිටින්නකෝ.." ගස මුල හිඳගෙන සිටි කුමුදු දෑස ඔසවා සුධාරි දෙස බලා සිටියේ ඈ කුමක් කරන්නට යන්නෙදැයි වැටහීමක් නැතිවය.
"ඉතින් නැඟිටින්න... දැන් ඔයාව ගෙදරට ගිහින් දාල මම යනවා. රෑ වෙන්නත් ලඟයිනෙ.. අක්කා කලබල නොවී පුතා එක්ක ගෙදරට වෙලා ඉන්න. මම ඉක්මනට අපෙ ගෙදරට ගෙනාව බඩු වලින් ටිකක් ගෙනත් දෙන්නම්..යමු ඉතින් යමු..! "
සුධාරි කුමුදුගේ අතින් ඇදගෙන විත් අඩිපාරට වැටුනාය. කුමුදු තවමත් දෑස් විදහා සුධාරි දෙස බලා උන්නාය. එලෙසින්ම සුධාරිගේ බසට අවනතව නිවසට යන්නට කුමුදු තීරණය කලාය. මඳ වේලාවකට පසු කුමුදුගේ නිවසේ කඩුල්ල ළඟට පැමිණි සුධාරි කුමුදු නිවසට ඇරලවා ආපසු හැරුනේ ඇයට දුන් පොරොන්දුව ඉටු කරන්නට නිවසට යන්නටයි. මඳක් දුර ගොස් ආපසු හැරී කුමුදුගේ නිවස දෙස බැලුවද කුමුදු පෙනෙන්නට වත් නොසිටියාය. සුධාරිගේ සිතට කුමක්දෝ වෙනසක් දැනුනද එය අමතක කර වහ වහා නිවස වෙත යන්නට පය ඉක්මන් කළාය.
"අම්මා ...අම්මා.... "
" මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ..! දැන් මේ ගියා විතරයි නේද...? මොකද මේ හති දගෙන ආපහු...?"
සුධාරි ගේ මව විවසුවේ කලබලයෙනි. වේලාපත්කඩ බැලූ මොහොතේ වෙද මහත්තයා පැවසූ කාරණා හේතුවෙන් සුධාරිගේ මව උන්නේ තිගැස්සීමෙනි. ඔහු පැවසූ අන්දමට සුධාරි මේ ගත කරනුයේ බොහෝ අපල උපද්රව සහිත කාලයකි. මනුෂ්ය මෙන්ම අමනුෂ්ය දෝශ පවා ඇති විය හැකි බව වෙද මහතා පැවසූ අන්දම ඇයට සිහි විය. වෙද මහතා සකසා දුන් සුරය නිසාවෙන් යම් සැනසීමක් ලැබුනද දියණියගේ වෙනසක් දුටු වහාම ඇගේ සිතෙහි ඇති වන තිගැස්ම වළකාලිය නොහැකි විය. ඒ කෙසේ වුවද දියණියගේ ගෙලට දැමූ සුරය නොමැති බවනම් ඇගේ නෙතට හසු නොවීය.
" අම්මා මොකද මේ යකෙක් දැකලා වගේ මගෙ දිහා බලන් ඉන්නේ. මොකුත් උනේ නෑ අනේ..."
මව බියට පත්ව සිටිනු දුටු සුධාරි සිනහසෙමින් කිවේ මව සැනසීමටයි. සෙමින් සෙමින් අඳුර ගලා එන බැවින් සුධාරි තම මවට සිදු වූ සියල්ල පවසන අතරතුරම කඩිනමින් නිවසේ ඇති හාල් තුනපහ මෙන්ම කල් තබා ගත හැකි වියළි ආහාර වලින්ද මල්ලක් සකසා ගත්තාය. එයට විරුද්ධත්වයක් නොපෑවද දියණියට අවවාදයක් දෙන්නට මව අමතක නොකළාය.
" බත් මුට්ටිය ලිපේ තිබ්බ විතරයි.. නැත්තන් මාත් එනවා උඹත් එක්ක යන්න. ගියාට කමක් නෑ...උදව් කරාට කමකුත් නෑ ...හැබැයි කෙල්ලේ ඔය ගෑනි එක්ක වැඩිය ඇයි හොඳයිකම් තියාගන්නෙපා. බඩු ටික දීලා ආ පයින්ම ගෙදර වරෙන්.. ගමේ මිනිස්සු කවුරු උනත් ඒ හැට් ඇඟෑලුම් පාන්න යන්නේ නැත්තේ හේතු ඇතිව.. "
" අනේ අම්මා... ඔය මිනිස්සු ඉතින් කටට එන හැමදේම කියල දානවනේ... අම්ම දැක්කනම් කුමුදු අක්කා අඬන හැටි ඔහොම කියන්නෑ.." සුධාරි පැවසුවේ කම්පාවෙනි.
" ගෑනුන්ට මොකෝ, අඬන්න කියල දෙන්න ඕනද බං...එහෙම නෙවේ මං කියන්නෙ. ඔය ඉන්න දරුවත් බැඳල හිටිය මනුස්සයගෙ නෙවේ කියනවනේ... ඒ මිනිහගෙ ඇඟේ බලෙන් එල්ලුනා. අන්තිමට පැදුරටත් නොකියා ඒ මිනිහා අල්ලපු ගෙදර කෙල්ලත් එක්ක පැනල ගියා.." දැන් ඔය මිනිහා පිටින්ම වැරැද්ද දාලා ඔහොම හිට්යට එහෙම තමා වෙලා තියෙන්නේ.."
සුධාරිට සිනහ නැඟිනි. ගමේ මිනිසුන්ගේ කයි කතන්දර වලින් ඔලුව පුරවාගෙන සිටින තම මවට මෙය පැහැදිළි කිරීම කල නොහැක්කක් බව ඇයට වැටහිනි.
" අනේ අම්මා ..මට වැඩක් නෑ එයා කරපු කියපු දේවල්.අපි හරියට දන්නෙත් නෑනේ. මම මේ කරන්නේ කන්න බොන්න නැති පවුලකට උදව් කරන එක විතරයි.. මම ගිහින් එන්නම්කො දැන්. ඉෂාරලා දිහා හෙට යනවා දැන් බෑ..." සුධාරි තමා සකසා ගත් පාර්සලයද අතට ගෙන පැවසුවාය.
" උඹලට ඉතින් දෙයක් කියලා දිනන්න බෑනෙ අපට ..හ්ම් හ්ම්.. ඉක්මනට ගිහින් වරෙන් ..මම යනව බත් මුට්ටිය බලන්න.."
මව ඉවත්ව යන තුරු බලා සිටි සුධාරි සෙමින් ලාච්චුව හැර මුදල් පසුම්බියෙන් රුපියල් දහසේ නෝට්ටුවක් ගෙන අතෙහි ගුලි කර ගත්තාය. එය මව දුටුවහොත් තවත් කුමක් හෝ කියාවි යැයි සිතූ සුධාරි මව එය දැන ගත යුතු නැතැයි සිතුවාය.
සුධාරි පය ඉක්මන් කොට අඩි පාරට පිවිසියාය. අඩි පාරට පිවිසුන පසු ගස් කොළන් වලින් තරමක් පරිසරය අඳුරු වුවද සුධාරි එය තැකීමක් නොකළාය. රැහැයියන්ගේ හඬ කන් බිහිරි කරවන සුළුය. වේගයෙන් පැමිණි සුධාරි කුමුදුගේ නිවසේ කඩුල්ල ලඟ රැඳුනාය. ඇයට මව කී දේවල් සිහියට නැඟිනි. කුමුදු පිළිබඳව නොරිස්සුමක් ඇති නොවුවද කුමක් හෝ නොහැඟෙන හේතුවක් නිසාවෙන් කඩුල්ල පැන නිවසට යාමට සුධාරිට සිත් නොවීය. කුමුදුගේ නම කියා කිහිප විටක් අඬගැසුවද ඈ නොපැමිණි හෙයින් සුධාරි ගේ සිත තිගැස්සෙන්නට විය. කුමුදු කී ලෙසින්ම කුමක් හෝ මෝඩ වැඩක් තම ජීවිතයට කරගන්නට ඇත්දැයි සිතද්දී සුධාරිගේ ඇඟ සීතල විය. කඩුල්ල පැන නිවසට යාමට නොසිතූ සුධාරි වට පිට බලමින් කඩුල්ලට පිටුපා තමන් පැමිණි මඟ දෙසද විමසිලිමත්ව බැලුවාය. එහෙත් සැනෙකින්ම තමා ළඟ කවුරුන් හෝ සිටින්නේ යැයි දැනුනු බැවින් සුධාරි නැවත කඩුල්ල දෙසට හැරුනාය. දුටු දසුනින් තිගැස්සී ගිය සුධාරි එක්වරම පසුපසට අඩියක්ද තැබුවාය. කුමුදු තමා ඉදිරිපිට සිට ගෙන බලා සිටී. අහසින් කඩා පාත් වූ ලෙස කොයි මොහොතේ කුමුදු එතැනට පැමිණියාදැයි සුධාරිට සිතා ගත නොහැකි විය. ඇගේ බැල්ම අමුතුය. හැඟීමක් නැති ලෙසින් රතු වූ දෑසින් ඈ සුධාරි දෙස බලා උන්නාය. එක පිට එක පැමිණෙන කරදර පීඩාවන් නිසා කුමුදු කිසියම් මානසික ව්යාධියකට ලක් වී ඇත්දැයි සුධාරිට එක වරම සිතිනි.
"කුමුදු අක්කා...! මොකද මේ...? මං කොච්චර කතා කළාද... කෝ පුතා...? ආ ආ මේ බඩු ට්ක ගන්නකෝ..ආ"
කුමුදු එකවරම සිහිනයකින් මිදුනාක් මෙන් සුධාරි දිගු කළ තරමක විශාල බෑගය දෙස බැලුවාය. ඇගේ මුවට සිහින් සිනාවක් නැඟුනි. එය දෝතින්ම ගත් කුමුදු මල්ලෙහි විවරය එක් අතකින් දෙපසට කර ඒ තුලට එබී බැලුවාය. මොහොතක් එදෙස බලා සිටි කුමුදු සුසුමක් හෙලා " නංගිට ගොඩක් පින්.. ඒත්... දැන් වැඩක් නැහැ.."යි පැවසුවාය. " ඒත් දැන් වැඩක් නැහැ"යන්න ඉතා සෙමින් පැවසුවත් සුධාරිට එය හොඳින් ඇසිනි.එහි තේරුම කුමක්දැයි ඇයට ගලපාගත නොහැකි වූ අතර මානසික පීඩනය නිසා කුමුදු අර්ථයකින් තොරව කතා කරතැයි සුධාරි සිතුවාය.
" අක්කා පුතාට ඉක්මනට කැම හදල දෙන්න එහෙනම්. පිටි පැකට් එකකුත් තිබුනා. මම යන්නම් හවස් වෙලා හුඟක්.."
බඩු මල්ල දෑතින්ම ඔසවාගත් කුමුදු කතාවකින් තොරවම හිස සැලුවාය. සුධාරි අතේ ගුලි කරගෙන උන් නෝට්ටුව දිග හැර කුමුදු දෙසට දිගු කළාය . කුමුදු පුදුමයට පත්ව දෑස් විදහා සුධාරි දෙස බලා උන්නාය.
" මේකත් ගන්න අක්කා.. හදිසියකට ගන්න සල්ලි කීයක් හරි අතේ තියෙන්න ඕනනෙ.."
මොහොතක් නෝට්ටුව දෙස බලා උන් කුමුදු බඩු බෑගය බිම තබා නෝට්ටුව දෑතින්ම ගන්නා අතරතුර සුධාරිගේ අත තම දෑතින් තදින් අල්ලා ගත්තාය. ඒ සැනෙකින්ම ගස් වැල් ඇඹරෙමින් කුණාටුවකට පෙර මෙන් විශාල සුළඟක් හමා ගියේය. වර්ෂාවක පෙර නිමිති ගෙන එමින් අහසේ කළු වළාකුළු පොදි ගැසුනි.... කුමුදුගේ දෑසින් කදුලු ගලා යමින් තිබිණි . සුධාරි සසල වූවාය .ඇගේ අතින් අල්ලා සිටින කුමුදුගේ දෑත් අයිස් මෙන් සීතලව ගොස් තිබුණේ මන්දැයි සුධාරිට සිතාගත නොහැකි විය.කුමුදු ස්තූති කරනු වෙනුවට හඬමින් පැවසුවේ වෙනත් දෙයකි.
" අනේ... මට සමාවෙන්න නංගි...! මං.. ඔයාට කරදර කරන්න හිතුවෙ නෑ... "
" මට කරදරයක් උනේ නෑනෙ අක්කා... දැන් ගෙට යන්න පුතා බඩගින්නෙ නේද..? වැස්සක් එන්න වගේ මාත් යන්න ඕන.."
හිස සෙමින් සැලූ කුමුදු නෝට්ටුව අතේ ගුලි කරගෙන බඩු බෑගයද රැගෙන නිවස දෙසට පියමන් කලාය. නිවස ඉදිරිපිට තිබූ පුටුවක් මතින් බඩු මල්ල තැබූ කුමුදු ආපසු හැරී කඩුල්ල දෙස බලා උන්නාය. එසැනින් ආපසු හැරුණු සුධාරි වර්ෂාවකට ප්රථම නිවසට යෑමට පියවර තැබුවාය. සැනෙකින් ගස් වැල් අඹරවමින් සුළඟක් හමා ගියේය. සුළඟ අස්සෙන් නාසයට දැනුන කුණු ගඳට සුධාරි වටපිට බැලුවාය. නාසය වසා ගත් සුධාරි අහල පහළක සතෙක් මියගොස් ඇතැයි ඇතැයි සිතා පය ඉක්මන් කර අඩි පාරට වැටුනාය. වර්ෂාව ඇද හැලෙන්නට පෙර ඉක්මනින්ම නිවසට යන්නට සුධාරිට හැකිවිය.
මුළු පරිසරයම අන්ධකාර වී මහ වැස්සක් වැටෙන්නට විය. රාත්රී ආහාර ගන්නා අතරතුර සිදුවූ සියල්ල සුධාරි තම මවට පැවසුවාය. මවගෙන් එතරම් ප්රතිචාරයක් නොවූවත් සුධාරි එය තැකීමක් නොකළාය.රාත්රී නින්දට ගිය පසුවත් සුධාරිට කුමුදුගේ අසරණ මුහුණ අමතක නොවීය.
පසුදා උදෑසන වන විට වර්ෂාව පහව ගොස් තිබිණි. සුධාරි අඬ නින්දෙන් මෙන් දෑස් විවර කර වටපිට බැලුවාය. හිස ඇතුලෙන් දරා ගත නොහැකි වේදනාවක් පැමිණි බැවින් තව සුළු වේලාවක් ඇඳෙහිම සිටින්නට සුධාරි තීරණය කළාය. ඇඟපතද රිදුම් දෙන බවක් ඇයට හැඟුනි. එක්වරම ඇගේ සිතුවිලි අතරට කුමුදු පැමිණියාය. රාත්රී සිහිනෙන්ද කිහිපවරක්ම කුමුදුගේ රුව දුටු බව ඇයට සිහිවිය. පෙර දින සවස මෙන් දැඩිව දෑත අල්ලා " මට සමාවෙන්න නංගි..! මම ඔයාට වැරැද්දක් කරන්න හිතුවේ නෑ...!" යැයි සිහිනෙන් කීවාය. නැවත නැවතත් එම සිදුවීමම සිහිනෙන් පෙනුනේ මන්දැයි සුධාරිට සිතාගත නොහැකි විය. කල්පනා කරමින් ඇඳෙහිම වැතිර සිටි සුධාරිට කාලය පිළිබඳව අදහසක් නොවීය. මව පැම්ණ කතා කරන තුරුම ඇය එළෙසින්ම කල්පනා කරමින් උන්නාය.
" කෙල්ලේ , මොකද අද පස්සට ඉර එළිය වැටෙනකන් නිදි...? "
නිවාඩු දිනකදී වුව උදෑසනම පිබිදී තමාට උදව් දෙන දියණියට අසනීපයක්දැයි මව නොසන්සුන් විය.
" ඇඟ ටිකක් රිදෙනවා අම්මා. ඔලුවෙ කැක්කුමකුත් තියනවා.උණ
ගැනෙයිද දන්නෑ...හ්ම් "
" ඒක තමා..! මම කිව්වනේ ඊයෙ හවස පිණි බාන්න ඇති .. හිටහන් මම කොත්තමල්ලි තම්බන්න. එතකන් නැඟිටලා මූණ කට හෝද ගනිං හ්ම් හ්ම් "
මව කමරයෙන් පිටත් වූ පසු සුධාරි තම කුඩා ජංගම දුරකතනයෙන් වේලාව බැලුවාය.
" නවය හමාරත් වෙලා...තේරුණේ වත් නෑනේ."
සුධාරි පොරවනය පසෙකට කර හෙමින් සීරුවේ නැගිටගත්තාය. ඇඟේ තැනින් තැන සියුම් ලෙස වේදනා දැනේ. පොරවනය පසෙකට කරන විටම දුටු දෙයින් සුධාරි සලිතව ගියාය. දකුණතෙහි මැණික් කටුව අසල ව්ශාල රත් පැහැ පැල්ලමකි. හොඳින් අල්ලා බැලුවද වේදනාවක් හෝ නොදැනුනි. එහෙත් එම පැල්ලම විශාල තැල්මක් සිදු වූ ලෙස රත් පැහැයෙන් දිස් වේ...සුධාරිට එක් වරම කුමුදු සිහිවිය. ඊයේ හවස ඇය අතින් තද කර අල්ලා සමාව ඉල්ලු අන්දම ඇයට සිහිවිය. ඇගේ සීතලව ගිය අතින් තම අත රිදෙනා තරම් දැඩිව අල්ලා ගත් බව මතකය. නමුත් පෙර දින සවස වත් අතෙහි සුළු හෝ රත් පැහැ ගැන්වීමක් සිදු නොවූ බව සුධාරිට විශ්වාසය. රාත්රීයෙහි කිහිපවරක්ම එම සිදුවීමම නැවත නැවත සිහිනෙන් පෙනුන බවද යලිත් සිහිවීම නිසා සුධාරි තම අතෙහි වූ පැල්ලම දෙස බලාගත් වනම උන්නාය.
මුහුණ සෝදා මව සෑදූ කොත්තමල්ලි කෝප්පය පානය කළද සුධාරිට කෑමට පිරියක් නොවීය. ඇගේ දෑස් නිතර නිතර තම අතෙහි මැණික් කටුව දෙසට යොමු විය. කෙසේ වුවද ඇය මවගෙන් එය සඟවා ගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දැරුවාය. අද දින ම්තුරියගේ නිවසට යන අතරතුර කුමුදු පිළිබඳව විමසීමක් කළ යුතු යැයි පෙර දින සිතා සිටියද සිරුරට දැනෙන අපහසුතාවය නිසා සුධාරිට එම අදහස අත්හැර දැමීමට සිදුවිය. වේදනා නාශක පෙති දෙකක් ගිල දැමූ සුධාරි නැවත යහනට වැටුනේ දැනෙන අපහසුතාව නිසාමය.
විගසින් සුවබර නින්දකට පිවිසියද ඇයට වැඩි වේලාවක් එහි සුවය විඳින්නට නොලැබුණේ සාලය දෙසින් නැඟුනු හඬවල් කිහිපයකින් තම නින්ද කැඩී ගිය බැවිනි. කිසිවක් පැහැදිළිව නොඇසුන බැවින් සුධාරි පිබිද ඇදෙහි හිඳ ගත්තාය. එසැනින් කාමරයට පැමිණි මවගේ මුහුණෙහි වූයේ මහත් භීතියට පත් විලාසයකි.
" දුවේ....අනේ මේ මොනවද වෙන්නෙ...! පොලිසියෙන් ඇවිත් උඹව අහනවා..උඹ මොනව කරාටද මට තේරෙන්නෑ..."
ඇගේ දෑසින් කඳුලු කඩා වැටෙමින් තිබිණි . සුධාරිට කිසිවක් සිතාගැනීමට නොහැකි විය. තමන් හමුවට පොලීසියෙන් පැමිණිමට ආසන්න කරුණක් වත් සිතා ගැනීමට ඇයට නොහැකි විය. මවටද කිසිත් කීමට පමා නොවූ ඈ පොරවනය පසෙකට කර වහා සාලය වෙත පියමැන්නාය. කලබල වූ මවද ඈ පසුපස වැටී සාලය දෙසට ගියාය.සාලයෙහි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් සහ කාන්තා පොලිස් නිළධාරීනියක් ඈ පැමිණෙන තෙක් බලා සිටියහ.
" එන්න මිස්.." මිස් සුධාරි නේද..?" එක් පොලිස් නිළධාරියෙක් ප්රශ්න කළේය."
පිළිතුරු දෙන්නට මුව විවර කරන්නට තරම් වත් නොහැකිව වික්ෂිප්ත වී සිටි ඇය හිස සලා තමා සුධාරි බව පිළිතුරු දුන්නාය.
" මිස් කළබල වෙන්න එපා. බය වෙන්නත් එපා. අපි ආවේ මිස්ගෙන් කට උත්තරයක් ගන්න. "
" මො...මිමොනවා..ගැනද සර්...!"
සුධාරි අපහසුවෙන් වචන ගැටගසා ගත්තාය.
"මිස් දන්නවනේ මීට ගෙවල් කීපයකට එහායින් තියන කුමුදු කියන ගැහැණු කෙනාගෙ ගෙදර... ඒ ගැහැණු කෙනා දරුවත් එක්ක සියදිවි හානි කරගෙන තියනවා..."
සුධාරිට කිසිවෙක් පහර දුන්නාක් මෙන් පසු පසට විසිවී ගියාය. මව පැම්ණ දෑතින්ම ඈ වත්තම් කරගෙන අසල පුටුවක හිඳගන්නට සැලැස්සුවාය. සුධාරි දෑතින්ම පපුව අල්ලාගෙන භීතියෙන් විශාල වූ දෑස් විදහා පොලිස් නිළධාරියා දෙස බලා උන්නේ සිදු වූ දෙය විශ්වාස කිරීමට අපහසු ලෙසිනි.
" මිස් කලබල වෙන්න එපා. ම්ස් ඒ ගෙදර කඩුල්ල ළඟ කිහිප වතාවක් ඊයෙ හවස ගැවසෙනව එහා පැත්තෙ ගෙදර කෙනෙක් දැකලා තියනවා. ඒ වගේම මිස් අතේ ලොකු මල්ලක් තියනවා දැකලා තියනවා. අපි එතෙන්ට යනකොටත් ඒ මල්ල ඉස්සරහ පුටුවක් උඩ තිබුණා. "
සුධාරිට තවමත් සිහි එළවාගත නොහැකි සේය. ඇඟෙහි මෙන්ම හිසෙහි වේදනාවද දැඩිව නැඟෙයි . තමා එතරම දෙයක් කළ පසුද ඒ සියල්ල ගෙට වත් නොගෙන සියදිවි හානි කර ගන්නට කුමුදුට තිබූ උවමනාව කුමක්ද..?
කුමුදුගේ බියපත් විලාසයෙන් මව තැතිගත්තාය. සත්ය පවසා මේ කරදරයෙන් තම දියණිය බේරාගත යුතු බව ඇය ක්ෂණික තීරණයකට පැමිණියාය.
"අනේ බුදු මහත්තයෝ.....! මගෙ කෙල්ල අහිංසකයි... ඔය වගේ මෝඩ වැඩක් කරගයි කියල බයටමයි මේ කෙල්ල ගෙදර තිබුණ බඩු වලින් ටික ටික හරිගස්සලා ඊයෙ හවසම ගිහින් දුන්නේ... මේකි හවස යාලුවගෙ ගෙදර යද්දී තමා මඟදි හම්බෙලා ඔය ගෑනි හරියට අඬල තියෙන්නෙ කන්න බොන්න නෑ දරුවත් මරන් මැරෙනවයි කියලා... ඒ පාර තමා මේකි කියල කියල ගෙදරට ගිහින් දාල ආය ඇවිත් ඔය මල්ල උස්සන් ගිහින් දීල ආවේ... අනේ මහත්තයෝ. ... මගෙ කෙල්ල...හ් ..හ්.."
සුධාරිගේ මව හඬමින්ම කියාගෙන ගියේ යම් කරුණක් හෝ මඟහැරි තම දියණියට කරදරයක් වේ යැයි බියෙනි. එහෙත්...! සිදු වූයේ අනෙකකි.
පොලිස් නිළධාරීන් සියලු දෙනා දෑස් විසල් කරගෙන සුධාරි දෙසත් මව දෙසත් බලා උන්හ. කිසිවක් සිතාගත නොහැකිව වෙන දෙය බ්යෙන් කම්පනයෙන් යුතුව බලා සිටි සුධාරි තමාගෙන් ප්රශ්න කළ නිළධාරියාගේ මුහුණ වෙනස් වී විරූපව යනු දුටුවාය. ඔහු මව දෙසට හැරුණේ විශ්වාස කළ නොහැකි යමක් මවගෙන් කියවුන අයුරින්ය.
"සුධාරිගෙ අම්මා ..මේ මොනවද කියවන්නේ.....? දැන් අම්මා කියන්නෙ සුධාරි මිස්ට ඊයෙ හවස කුමුදු හම්බුනා කියලද...? "
පොලිස් නිළධාරියා විමසුවේ සැකයත් පුදුමයත් මිශ්ර වූ හඬෙනි.
මෙතෙක් වේලා නිහඬව සිටි සුධාරි හඬ අවදි කළේ පොලිස් නිළධාරියාගේ වෙනස වැටහීමෙනි .
" ඔ..ඔව් ඔව් සර්..ඒ ඇත්ත ඇයි."
සුධාරි දෙස මොහොතක් බලා උන් ඔහු අනෙක් තම සගයන්ගේද මුහුණු දෙස බැල්මක් හෙලා තද හඬකින් පිළිතුරු දුන්නේය.
" මිස් සුධාරි, කුමුදු කියන කාන්තාව තමන්ගෙ දරුවටත් වස පොවලා තමනුත් වස බීලා මැරිලා තියන්නෙ අඩුම තරමින් දැන් දවස් පහකට වත් උඩදී . ඊයේ හවස ඉඳන් ඒ ගෙදර පැත්තෙන් කුණු ගඳක් ඇවිත් තියෙනවා. ඊයේ රෑ වැස්සෙන් පස්සෙ ගඳ තරමක් වැඩි වෙලා අහල පහළ ගෙවල් දෙකකට වගේ දැනිල තියෙනවා . ඒ ගොල්ල තමා පොලිසියට මේ ගැන දැනුම් දීල තියෙන්නෙ. තවමත් අපි පරීක්ෂණ කටයුතු කරමින් ඉන්නෙ. ඒ නිසා මිස් දන්න දෙයක් තියනවා නම් ඇත්ත කිවොත් අපිට මේ පරීක්ෂණ වලට ලොකු සහයක්.."
පොලිස් නිළධාරියා දැඩි හඬ්න් කියමින් සුධාරිගේ මුහුණ දෙස පරික්ෂාකාරීව බැලුවේය. සුධාරිගේ මව පසුපසට විසිව් වී ගියාක් මෙනි. විශ්මයෙන් සහ භීතියෙන් යුතුව ඇය තම විවර වූ මුව මත අත තබා ගත් වනම උන්නාය. එහෙත් සුධාරි.... ඇයට ඔහු කී වදන් සිහිනෙකින් ඇසෙන්නාක් මෙන් දැනෙන්නට විය. කුමුදු මිය ගොසින් දින පහක්..! දින පහක්..! මෙය සිදු විය හැකිද. තමාට ඇය පෙර දින නිසැකවම හමුවුනා නොවේද....! දෙවියනේ.....! සුධාරිගේ මතකයට ඒ සිදුවීම වහ වහා පිවිසියේය. කුමුදුගේ ගිණි පුළිඟු මෙන් රතු වූ ඇස්. තමාට නොතේරුණු ඒ වදන්..... " එත් දැන් වැඩක් නැහැ .." ඈ එසේ කීවා නොවේද....! අයිස් කැට වන් සීතල දෑතින් තම අත දැඩිව අල්ලා ගත්තා නොවේද....! ආපසු එන්නට හැරුණු තමාටත් කුණු ගඳක් නාසයට දැනුණා නොවේද...! සුධාරිගේ නෙත් වහාම තම අතේ මැණික් කටුව දෙසට යොමු විය..පුදුමයකි...! සුධාරි බිරාන්තව ගියාය.. අතෙහි කිසිදු පැල්ලමක් නොමැත.. සුධාරිගේ සිහි කල්පනාව තමා වෙතින් ඉගිල යන්නාක් මෙන් දැනුනි.. ඇය කපා හෙළු කඳක් මෙන් සිහිසුන්ව ඇද වැටුනාය.
මරණ පරීක්ෂණ වාර්තා අනුව සුධාරිට කුමුදු මුණගැසුනා යැයි කියන දිනයට දින පහකට ඉහතදී කුමුදු තම දරුවා සමඟ වස පානය කොට නිවස තුළදීම මිය ගොස් සිටි බව සොයාගැනුණි. දරාගත නොහැකි කුසගින්න දරිද්රතාව හේතු කොට ගෙන ඇති වූ මානසික පීඩනය හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බව අනුමාන කෙරුණි. ජීවත්ව සිටියදී තම සිතෙහි වූ පීඩනය දුක ඇසීමට කිසිවෙකුත් නොවූ කල මිය ගිය කුමුදුගේ ආත්මයට ඇඳිරි නීතියෙන් පාළු වූ ගම තුළදී අහඹු ලෙස සුධාරි හමුවන්නට ඇත. කිවකුට කියා ගත නොහැකි වූ දුක වේදනාව තම ආත්මය මඟින් හෝ පවසා සිත නිදහස් කර ගැනීමට හමු වූ එකම ප්රාණියා ලෙස කුමුදු විසින් සුධාරි තෝරා ගන්නට ඇත...එහෙත්...! සත්ය දැනගත් පසු සිහිසුන්ව ඇද වැටුණු සුධාරි නැවත කිසි දිනෙක පියවි සිහියෙන් යුතුව අවදි නොවුනාය. බොහෝ මානසික ප්රතිකාර වලට ලක් වෙමින් මානසික රෝහලක ඇඳක් මත තනිවන්නට ඇයට සිදු විය. පියවි සිහිය පලා ගිය ඇගේ මනසෙහි සැමදා එක් බැගෑපත් මුහුණක් සමාව ඉල්ලමින් ඇඳී මැකී යයි.
" මට සමාවෙන්න නංගී.... මම ඔයාට කරදරයක් කරන්න හිතුවේ නෑ....!"
පසුවදන
ලෝකයේ කලින් කලට මාරාන්තික දරුණු වසංගත පැමිණෙනු ඇත. එයින් දස දහස් ගණනින් මිනිසුන් මිය යනු ඇත. මිනිසුන්ගේම කැපවීම උත්සාහය මත දිනෙක එම වසංගත මෙලොවින් තුරන් වී යනු ඇත. වසංගතයෙන් මියගිය අය, දිවි බේරා ගත් අය පිළිබඳව සංඛ්යා ලේඛන ඉදිරිපත් වනු ඇත. නමුත්.. වසංගතයේම අතුරු ප්රතිඵලයක් වන කුසගින්න දරිද්රතාව හේතුවෙන් අසරණව මිය යන මිනිසුන් පිළිබඳව එවන් සංඛ්යා ලේඛන නැත. ඔවුන්ට සාධාරණය ඉටු වන්නේද නැත. එහෙත් ඒ සියල්ල කිසිතැනක නොලියවූ වසංගතයේ අඳුරු අතුරු ප්රතිඵල වනු ඇත.
නිමි.
පුෂ්පිකා විජේරත්න.
 
 
 
 
 
img class="j1lvzwm4" src="data:;base64," width="18" height="18" />
11
2 Comments
 
Like
 
 
 
Comment