තණ්හා
හැත්තෑ පස් වැනි විය ඉක්මවමින් සිටි සෝමාවතී මැණිකේ තම පුතණුවන් දෙදෙනාට දේපල පවරා දීමට තීරණය කලේ තම හුස්ම නික්මෙන්නට පෙර ඒ යුතුකම්ද ඉටු කල යුතු බව සිතමිනි. ඒ වන විටත් පුතුන් දෙදෙනාම විවාහපත් වී දරුවන්ද ලැබ උන්හ. වැඩ්මහල් පුතු විවාහ වී අල්ලපු ගමෙහි තම බිරිය සමඟින් ජීවත් වන්නේ බිරියට දායද වශයෙන් හිමිවූ නිවසෙහිය. බාල පුතු, සෝමාවතී මැණිකේ වෙසෙන මහගෙදරම තම බිරිය සමඟ පදිංචි වී සිටියේය. සෝමාවතී මැණිකේට තම විවාහය දා මව්පිය පාර්ශවයෙන් උරුම වූ වතුපිටි කිහිපයම දරුවන්ගේ විවාහ කටයුතු වලදී ඔවුන්ට ලියා දුන්නත් සැමියාගේ ඇවෑමෙන් ඔහුගෙන් උරුම වූ මහගෙදර වත්තත් මහගෙදරට තවත් ටික දුරකින් පිහිටි අනෙක් ඉඩමත් තවමත් දරුවන් නමට ලියා තිබුනේ නැත. තම කායික ශක්තිය පිරිහී දිනෙන් දින දුබල වන බැවින් ඒ සියලු දේපල ඉඩකඩම් වල බැඳීමෙන් නිදහස් වී යන තැනකට ගෙනියන්නට පින් දහමක් කරමින් සුවසේ හිඳින්නට සෝමාවතී මැණිකේ තීරණය කලේ එබැවිනි.
මහගෙදර සහ එහි වත්ත බාල පුතුටත් නිවසට මඳක් එපිටින් වූ ඉඩම වැඩිමහල් පුතුටත් පවරා දීමට සෝමාවතී මැණිකේ අදහස් කලාය. වැඩිමල් පුතු වන සිරිසෝම තම බිරියත් සමඟින් එකතුව ව්‍යාපාර කටයුතු වල යෙදී උන්නේය. පාසලෙන් ඉවත් වූ කාලයේ සිටම ව්‍යාපාර අංශයට යොමු වූ බැවින් වතුපිටි ගැන සොයා බැලීමට සිරිසෝමට උවමනාවක් හෝ කාලයක් නොවීය. සිරිසෝම තම ව්‍යාපාරය සාර්ථක කරගනිමින් සියල් සපිරි සැපවත් ජීවිතයක් ගත කලේය. නමුත් බාල පුතු වන තිලකරත්නට එවන් සැප සම්පත් වලින් සපිරි ජීවිතයක් තිබුනේ නැත. වැඩිදුර ඉගෙනීමක්ද නොවූ තිලකරත්න නගරයේ කඩයක අත් උදව් දෙන්නකු වශයෙන් සේවය කලේය. තිලකරත්නත් බිරිඳත් බොහෝ අරපිරිමැස්මෙන් සියලු කටයුතු සිදු කල බැවින් හා වතුපිටි ආදායම්ද ලැබෙන බැවින් මහා සැප සම්පත් නොවූවත් අගහිඟයකින් තොරව ජීවත් වන්නට හැකියාවක් තිබුනි. මහගෙදර පිහිටි ඉඩමත් මදක් එපිටින් වූ ඉඩමත් තිලකරත්නගේ දෑතින් සරු ආදයම් ලබන ඉඩම් බවට පත් වී තිබිණි. කරාඹු සාදික්කා පොල් වැනි ආදයම් සහිත භෝග සියල්ල ඉඩම් දෙකෙහි පලදරන්නේ තිලකරත්නගේ දෑතින් ලැබෙන සාත්තුව නිසාවෙන්මය. ඒ ගස් බොහෝමයක් ඉන්ඳවූයේද තිලකරත්නගේ දෑතින්මය. බවභෝග වලින් ලැබෙන ආදායමෙන් කොටසක් තම වැඩිමල් සොහොයුරුට ලබා දීමටද තිලකරත්න කිසිදා අමතක නොකලේය. කොතරම් මිල මුදල් තිබුණත් තණ්හාවෙන් වැඩුනු සිත් ඇති සිරිසෝම සහ බිරිය එම කොටහ බාරගත්තේ කිසිදු පැකිළීමකින් තොරවයි.
තම මව ඉතිරිව ඇති ඉඩම් පවරා දීමට අදහස් කරන බව පැවසූ විට වඩාත් සතුටු වූයේ සිරිසෝමය. ඒ අනුව මහගෙදර සහ එහි වත්ත තිලකරත්නටත් අනෙක් වත්ත සිරිසෝමටත් පැවරීමේ කටයුතු හැකි ඉක්මනින් සිදු විය. සිරිසෝම බොහෝ සතුටු වූයේ මහගෙදර ඉඩමටත් වඩා සාරවත් ලෙස හැදුනු සාදික්කා සහ කරාබු ගස් විශාල ප්‍රමාණයක් තම ඉඩමේ ඇති බැවින් එහි සියලුම ආදායම් දැන් තමා සතුවන බව සිතමිනි. එහෙත් ඒ සියල්ල තම සහෝදරයාගේ දෑතින් ඉන්දවා සාත්තු සත්කාර කල ඒවා බව සිරිසෝම අමතක කර දැම්මේය. තිලකරත්නට හෝ ඔහුගේ බිරියට ඒ කිසිවක් පිළිබඳ කිසිදු තණ්හාවක් හෝ අහිමි වීම පිළිබඳ දුකක් ඇති වූයේ නැත.
තම යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කළ සෝමාවතී මැණිකේ හදිසියේ අසනීප තත්වය වැඩි වී අවසන් ගමන් ගියේ දේපල බෙදා සතියක් ඉක්ම ගිය තැනදීය. සෝමාවතී මැණිකේ ජීවත්ව සිටි මහගෙදර අවමංගල්‍ය කටයුතු සිදුවූ අතර එහි වැඩ් බර ඉසිලීම සිදු කලේද තිලකරත්න විසිනි. අවමංගල්‍යයේ වියදම සඳහා තිලකරත්න අත මුදලක් රැඳවූ සිරිසෝම වෙහෙස මහන්සි වී සිදු කරන කිසිදු කටයුත්තකට අත ගැසුවේ නැත. තිලකරත්න සහ ඔහුගේ බිරිය දුව පැන ඇවිදමින් සියලු සංවිධාන කටයුතු සහ අනෙකුත් දෑ සොයා බැලූවත් සිරිසෝම සහ ඔහුගේ බිරියගේ එකම කටයුත්ත වූයේ තම මවගේ අවමංගල්‍යට සහභාගී වන සියලු දෙනා වැඳ පිළිගැනීම පමණි.
සෝමාවතී මැණිකේගේ අවමංගල්‍යයත් දානමානාදී පින්කම් සියල්ලත් අවසන් වූ පසු සිරිසෝමත් බිරියත් පිටව ගියේ දානයටත් මළගෙදරටත් ලැබුනු හාල් පොල් සීනි වලින් අඩකටත් වඩා තම රියෙහි පටවාගෙනය.
සිරිසෝමත් තිලකරත්නත් සුපුරුදු දින චරියාවේ යෙදෙන්නට වූ අතර සිරිසෝමට තම ඉඩම පිළිබඳව සොයා බැලීමට වත් කාලයක් නොවීය. ඉඩම තම සහෝදරයාට පවරා තිබුනත් එහි නඩත්තු කටයුතු කිරීමට ඔහුට වේලාවක් නොමැති බව දන්නා තිලකරත්න පුරුදු පරිදිම ඉඩම සුද්ද පවිත්‍ර කිරීම ගස් වලට වතුර දැමීම පොහොර දැමීම වැනි කටයුතු නොපිරිහෙලා ඉටු කලේ හිතේ කිසිදු කහටකින් තොරවය.
වත්තෙහි ඇවිදින තිලකරත්නට පලබර වූ සාදික්කා ගස්වල පලදාව නෙළන්නට කාලය පැමිණ ඇති බව වැටහුණි. විශාල ලෙස වැඩුනු ගස් තුන හතරක්ම ඇති බැවින් හොඳ ආදායමක් ලබා ගත හැකි බව සිතමින් ඔහු නිවසට පැමිණියේය.
" අයියගෙ ඉඩමෙ සාදික්ක ටික කඩන්න නම් දැන් කාලෙ හොඳයි නෝනෙ..මං බැලුවෙ හෙටානිද්ද දිහාවෙ ඒ වැඩේ ඉවරකරල දාන්න. අයියට ඕව හොයල බලන්න වෙලාවක් නෑනෙ.."
" අනේ ඔව් ඔයා වෙනදා වගේ කරලා දාන්න .අයිය මොකුත් කියන් නැතිවෙයි මොකෝ අපි පිට මිනිස්සුයෙ.."
තිලකරත්න තම බිරිය සමඟද සාකච්ඡා කොට පසු දිනයේම ඒ කාර්ය සඳහා වත්තට පිටව ගියේය. දිනකින් නිමා කල නොහැකි එම කාර්ය අහවර කිරීමට තිලකරත්නට දින තුනක කාලයක් ගත විය.
තුන් වෙනි දිනයේ තිලකරත්න වත්තට පිටවී ගිය පසු ඔහුගේ නිවසට පවුලේ ඤාතිවරියක් පැමිණියාය. තිලකරත්නගේ බිරිය ඈ ආදරයෙන් පිළිගෙන සත්කාර කළාය.
" ඈ බං කෙල්ලෙ, කොහෙද ඇත්තට තිලකෙ පුතා අද ගියා කිවේ .ඉරිද නිවාඩු දවස නේද..?"
" අනේ ඔව් නැන්දෙ. පෙරෙද ඉඳන් නිවාඩුත් දාල අර එපිටහ වත්තෙ සාදික්ක කඩනවනෙ. ලඟ පාත කොල්ලෙකුත් උදව්වට එනව කිව්වෙ.."
" හ්ම්ම්ම්...හරි සරුසාර ඉඩම නේද. තිලකෙ පුතාමනෙ ඕව ඔක්කොම බලාකියාගත්තෙ.."
" අනෙ ඔව් නැන්දෙ.. මේ වත්තට වඩා සරුයි ඒ වත්ත.."
දිවා ආහාරයෙන් පසු නැන්දා තිලකරත්නගේ බිරිඳගෙන් සමු ගත්තේ සිරිසෝමගේ නිවසටද යායුතු බව පවසමිනි. සිරිසෝම නිවසේ නොසිටියත් ඔහුගේ බිරිඳ වූ මාලනීද තම ස්වාමියාගේ නැන්දා ආදරයෙන් පිළිගත්තාය. ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුර නැන්දා තිලකරත්නගේ නිවසේ වගතුගද දිග හරින්නට පටන් ගත්තේ තමා විසින් අඩු වැඩියද එකතු කර ගනිමිනි.
" ඈ මාලනියෝ... අක්කා නැතිවෙන්න කලින් අර මහගෙදරට එහායින් තියන ඉඩම සිරිසෝම පුතාට ලිව්ව කිව්ව නේද."
" අනේ ඔව් නැන්දෙ. අම්ම නැති උනෙත් ඊට සතියකට පස්සෙනෙ.."
" ඈ බං ඉතින් උඹල ඒ ඉඩමට ගිහින් හොයල බලන් නැද්ද..?"
" අනේ මොනව හොයන්නද හොරු උස්සන් යයි කියලයෙ ඉඩම.."
මාලනී පැවසුවේ සිනාසෙමිනි.
" උඹලට හිනා..හොරු නෙවේ..තමුංගෙම එවුන්ගෙන් තමා පරිස්සම් කරගන්න ඕන. ඕන්න දවස් තුනක ඉඳන් තිලකෙයා සාදික්කා කඩනව කිව්වෙ. නිකංවත් ඇහුවද කිව්වද උඹලට...ගැනිගෙත් උජාරුව බලන්නෙපයි ඒක කියපු. තිලකෙ හදපු සාත්තු කරපු ගස්ය කිය කිය. හැදුවා සාත්තු කරා වෙනයි දැන් උන්ට අයිතියක් නෑ නොවැ. මං මොකුත් කියන්න ගියෙ නෑ ඉතිං.."
සිරිසෝමගේ නැන්දා පැවසුවේ මාලනී දෙස යටැසින් බලමිනි. මාලනීගේ යටපත්ව තිබූ තෘෂ්ණාව වැඩෙන්නට විය. එහෙත් එය පිටට නොපෙනෙන්නට ව්‍යාජ සිනහවකින් මුහුණ සරසා ගත් මාලනී ඒ කතාව වැඩි දුර ගෙන ගියේ නැත.
සවස් යාමයේ නැන්දා පිටවී ගොස් පැයකට පමණ පසු සිරිසෝම නිවසට පැම්ණියේය. මාලනීගේ සිත තුල පුපුරු ගසමින් තිබුනු කේන්තිය ඈ මුදාහැරියේ තම සැමියා ඉදිරියේදීය.
" ඔන්න අද නැන්දා ආවා.අරහෙ තිලක් මල්ලි අන්න සාදික්ක කඩනවලු. එයාට දැන් මොන අයිතියක්ද ඕවට අතගහන්න. ගෑනිත් කියනවලු මිනිහා හදපු ගස් නිසා ඒවා බලන්න කියන්න යනව කියල. ඔයාගෙ වැරදි තමා ඔක්කොම. වෙනදා වගේ අදායමෙන් වැඩි හරිය අරන් පොඩි කොටස අරන් ඒයිද දන්නෑ මේ පාරත්... මොකද මේ එයා හැදුව ගස් කියල එහෙමත් පුළුවන්ද..!
බිරිඳගේ වදන් ඇසූ සිරිසෝමගේද සිතේ ඇතිවූයේ තිලකරත්න පිළිබඳ තරහකි.
" මේකා පුදුම මනුස්සයෙක්නෙ. එතකොට ඌ හැදුවයි කියල මහගෙදර වත්තෙ එවයි මගෙ එකේ ඒවයි ඌම ගත්තම හරියයිද. මං කවදාවත් ඔව්වට අතගහන්න ගියෙ නැති හින්ද හිතේ ඇති මට ගාණක් නෑ කියල. මහගෙදර උනත් වැඩිපුර වැඩ කෙරුනෙ මගෙ සල්ලි වලින්. මම කටවහන් ඉන්න හින්දම එනව මෙතන කරේ නඟින්න. අනෙ අම්මප මෙහෙමත් සහෝදරයො...නෙද්දකින්.."
රාත්‍රියේ නින්ද සඳහා ඇඳට ගිය පසුද සිරිසෝම සහ මාලනී කතාබහ කලේ මෙයට ගත යුතු පිළියම කුමක්දැයි කියාය. කොතරම් ප්‍රශ්න පැමිණියත් බැන අඬගෑම් රණ්ඩු සරුවල් වලට සිරිසෝමගේ හිතේ කැමැත්තක් නොවූයේ සහෝදර ප්‍රේමයක් නිසා නොව වට පිටාවේ මිනිසුන් තුල තමාගැන ඇති ප්‍රතිරූපය බිඳ වැටේ යැයි බිය නිසාවෙනි.
පසුදින මේ සිදුවීම පිළිබඳව වදනක් වත් නොදෙඩූ සිරිසෝම වෙනදා මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිට වී ගියේය. සවස් යාමයේ නිවසට පැමිණෙන තම සැමියාගේ මුහුණේ අමුතු සිනහවක් ඇති බව මාලනී දුටුවාය.
"ඔන්න මං අරූට ආය වත්ත දිහා බලන්න හිතෙන්නෙ නැතිවෙන්න වැඩක් කරල ආව.."
"ඒ මොකද්ද අනේ ඒ..."
මාලනී විමසුවේ කුතුහලයෙන් මෙන්ම ප්‍රීතියෙනි.
" මං කොල්ලෙක් දම්මල සාදික්ක ගස් ඔක්කොගෙම අතු කපල දැම්ම. ඕකා ආය අවොත් තේරෙයිනෙ දැන් ඉඩමෙ වැඩ වෙන්නෙ මට ඕන හැටියට කියල. මෙච්චර කල් මං ගියේ නෑනෙ ඕව බලන්න. මුං හොඳට හම්බකරන් ඇති අපිට සොච්චම්ක් දීල ගියාට. ආය නම් ඒව හම්බෙන් නෑ මගෙත් එක්ක...හහ්... ආය රිකිල් දාල හැදෙන්න සෑහෙන්න කාලයක් යයි. ඒකට කමක් නෑ..."
මාලනී හඬ නගා සිනාසුනේ ප්‍රීතියෙනි.
" අනේ....ඔයා නම් මාර වැඩ කරන්නේ...මිනිහට ඕක දැක්කම මොනවා හිතෙයිද දන්නෑ..හිහි ..."
තුන් වන දිනයේද වැඩට කැඳවාගත් කොලුවකු සමඟ සියලු වැඩ අහවර කල තිලකරත්න සාදික්කා ගෙඩි සියල්ල ගෝනි වලට දමා කුලියට ගත් ලොරියකින් තම නිවසට රැගෙන ගියේය. වෙනත් දින වලදී නම් මෙසේ රැගෙන එන සාදික්කා ගෙඩි සියල්ල කපා පොත්ත ඉවත් කර වසාවාසි සහ සාදික්කා ඇට වෙන් කොට වේලෙන්නට දමා සියල්ල සිදු කරනුයේ තිලකරත්න සහ ඔහුගේ බිරිඳය. එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ.
සාදික්කා ගස් කප්පාදු කොට දින දෙකක් ඉක්ම ගිය දා උදෑසන සිරිසෝම තම වැඩකටයුතු සඳහා නිවසින් පිටවීමට සූදානම්ව සිටියේය. මොහොතකින් බුදුන් වැඳීම සඳාහා මල් කැඩීමට ගිය මාලනී තම සැමියා සොයා ආවෙ කලබලයෙනි.
" මේ මේ...මල්ලි එනව ...වත්තට යන්න ඇති මයෙ හිතේ..."
මාලනී පැවසුවේ සඟවාගත් සිනාවෙනි.
" ආපුවාවයිකො මොනවද කියන්නෙ බලන්න. මම අද තමා උන්දැට කියල් දෙන්නෙ.."
සිරිසෝම එසේ කියමින් මාලනී සමඟ සාලයට පිවිසෙන විට තිලකරත්න උන්නේ ගේ දොරකඩය.
" ආ තිලක් මල්ලි මොකද උදේම එන්න ඇතුලට.."
මාලනී මවාගත් සිනහවකින් තිලකරත්නට ඇරයුම් කලේය.
" අනේ බෑ අක්කෙ. මං මේ වැඩට යන ගමන් ආවෙ. අයියෙ මං කියන්න ආවෙ අර අයියගෙ වත්තෙ මේ සැරේ සාදික්ක ටිකත් මම කැඩුවා. අයියට හොයා බලන්නත් වෙලාවක් නෑනෙ. ඒ උනත් දැන් අයියගෙ ඉඩමනෙ.අපි අතගැහුවෙ නෑ මේ සැරේ මලු වල දාල තියනව. අද දවල්ට ලොරියෙන් ගෙනත් දායි.ලොරියට කුලිය දීල තියෙන්නෙ. අයියලට පුළුවන්නෙ සුද්දකරන වැඩට කවුරුහරි දාල කරගන්න. බැරිඋනොත් මට කියන්ඩකො නිවාඩු දවසට එන්නං මං....එහෙනං මං ගිහින් එන්නද අක්කෙ. වෙලායනව. නිවාඩුත් දැම්ම ඔය වැඩේටම මේ ට්කේ. යන්නං අයියෙ..."
රැකියාවට යාම සඳහා හදිසියේ පිටවී යන තිලකරත්නට සමු දෙන්නටද අමතක වූ මාලනී සහ සිරිසෝම දෑස විසල් කරගෙන ගල් ගැසී බලා උන්නේ තමන් කල මෝඩ ක්‍රියාව නැවත හරිගස්සන්නට නොහැකි බව සිහිපත් වීමෙනි.
නිමි.
පුෂ්පිකා විජේරත්න