ආත්ම බන්ධන 04
4............................. .............................. .............
දිලිනි වෙනුවෙන් ගෙන ආ විවාහ යෝජනාවත් සමඟ තම බාහිර කටයුතු වලට සමු දී මෙතැන් පටන් හෝ පවුල ගැන වෙහෙසිය යුතු බව දේවිකා සිතාගත්තාය. ටික දිනෙක සිට තම මව නිවසේ නිතර රැඳෙන බවත් තමන් දෙදෙනා ගැන සොයා බලන බවත් දෙසොහොයුරියන්ට වැටහී තිබිණි. වරින් වර දෙදෙනාම විහිළු ස්වරූපයෙන් ඒ ගැන මවගෙන් විමසුවත් සිනාසෙමින් වචනයකින් දෙකකින් පිළිතුරු දුන් දේවිකා නිහඬවම සිටියාය.
" ලොකූ , අද අප්පච්ච්ත් එනවා කිවා රෑ කෑමට. වෙනදා වගේ බෑ නොකියා කෑම මෙසෙට එන්න ඕන හොඳද.. !"
" අම්මයි අප්පච්චියි මොකද්ද කරන්න හදන්නේ ඒ සැරේ. "
දිලිනි විමසුවේ සිනහසෙමින් වුවත් එහි වූ සරදම් ස්වරය දේවිකාට මනාව වැටහිනි.
"මොනව කරත් අපි හැමදේම කරන්නේ ඔයාල දෙන්නගෙ හොඳටනෙ දරුවෝ"
දේවිකා දිලිනිට පැවසුවේ ඉහල මාලයේ සිට පැමිණෙන තිළිනි දෙසද බලමිනි.
"නංගි එනවකෝ. අද ඔන්න මහා සභා රැස්වීමලු. රෑ කෑම වෙලාවට වාර්තා කරන්න ඕන. "
දිලිනි මවාගත් බැරෑරුම් කමකින් රඟ දක්වමින් කියන විට තිළිනිට හඬ නගා සිනා පහළ විය. දේවිකාට ඇති වූයේ පසුතැවීමකි. අවුරුදු ගණනක් දරුවන්ගෙන් ඈත්ව හිඳ ඔවුන්ට ලං වන්නට තමාත් සැමියාත් උත්සහ කිරීම දරුවන්ට විහිළුවක් සේ දැනීම පුදුමයක් නොවේ. දේව්කා බරැති සුසුමක් හෙලා එතනින් පිටවූයේ සිරියාට රාත්‍රී ආහාරය පිළියෙල කරන්නට උපදෙස් දෙන්නටයි.
"සිරියා , ඔන්න අද මහත්තයත් එනවා රෑ කෑමට. මහත්තයා ආස විදිට කෑම ටිකක් හදන්න වෙයි. "
" අනේ එහෙමද නෝනෙ. මම හදන්නම්කෝ. හොඳ බ්ම්මල් ටිකක් එහෙම තිබුනා.
මහත්තය කැමතිනේ. චූටි බේබිත් කැමතියි. ලොකු බේබිට නම් මස් මාලු ඕනමයි. මාලු වගයක් තිබුණා එකත් හදන්නම්කෝ. "
වයස හැටක් පමණ වන සිරියා නිවසේ සියල්ලන්ගේම රුචි අරුචිකම් මනාව දැන උන්නාය. ඉපදුන දා පටන් ජයවර්ධන පවුලේ නිවුන් දියනියන්ගේ සියලු කටයුතු කෙරුනේද ඈ අතිනි. ඔවුන්ද මවකට මෙන් ඇයට ආදරය කල අතර සිරියා නැන්දා ලෙස අමතන්නට පුරුදුව සිටියහ. දේව්කාට යලිත් වරක් දැනුනේ මහත් ලජ්ජාවකි. තම සැමියාගේ වත් දරුවන්ගේ වත් රුචි අරුචිකම් ගැන තමා කිසිවක් නොදැන සිටීම ඇයට දුකක් ගෙන දෙන්නට විය.
රාත්‍රී ආහාර ගන්නා වේලාවේ දිලිනිද තිළිනි සමඟින් කෑම මේසයට වාඩි වන විට දේවිකාට සැනසීමක් ඇති විය. ජයවර්ධන මහතා එදින පැමිණියේ දින කිහිපයක් නිවසේ රැඳෙන අරමුණ ඇතිවයි. වික්‍රමගේ පවුලේ අය තම නිවසට පැමිණෙන බවත් එයට හේතුව දිලිනිට ගෙන ආ යෝජනාව බවත් රාත්‍රී ආහාර ගන්නා මොහොතේ විස්තර සහිතව ජයවර්ධන මහතා කියා සිටියේය.
" ලොකූ කවීශ පුතාව දැකලත් තියනවනේ. රට යන්න කලින් කිහිප සැරයක්ම මෙහෙ ආවනෙ. ඔයාගේ වෙඩ්න් එක ඉවර උනාම අපි චූට්ටත් හොඳ තැනක් බලමු. නේද දේවිකා"
මෙතෙක් වේලාවක් නිහඬවම පියාගේ කතාව අසමින් ආහාර ගනිමින් සිටියද දිලිනිගේ සිතෙහි වූයේ තරහකි. කිසිදාක තමාගේ රුච් අරුචිකම් ගැන නොතැකූ දෙමව්පියන් මෙවර ඔවුන්ගේ කැමැත්තටම තම විවාහයත් සිදු කරන්නට උත්සහ කිරීම ඇයගේ නොමඳ කෝපයට හේතු විය.
" අම්මයි අප්පච්චියි මේකටද මේ මේ දවස් ටිකේම හරියට අපි එක්කම ලං වෙලා හිටියෙ..! අපි ඒත් බැලුව කවදාවත් නැති ආදරයක් කොහෙන්ද මතූඋනේ කියලා..!"
දිලිනි කෝපයෙන් යුතුව කියා දැම්මාය. දියණියගේ චෝදනාවෙන් දේවිකා ගැස්සී ගියාය. තිළිනි උන්නේ කුමකින් කුමක් සිදුවේදැයි බයෙනි. කිසිවකුගේ මුහුණ දෙස වත් බැලීමට ශක්තියක් නොවූ ඈ නිහඬවම පිඟාන දෙස බලාගත් ලෙසින්ම ආහාර ගනිමින් උන්නාය. කා සමඟ වුව මෙලෙස එකට එක කියාගෙන යාම තිළිනිට පුරුදු දෙයක් වූයේ නැත.
" ලොකූ..! මොකද්ද දරුවෝ ඔය කතා කරන විදිහ. ඔව් ඔව් ඔයා හරි. අප්ච්චිටයි මටයි ඔයාලා ලඟටම වෙලා ඉන්න බැරි උනා තමයි. මම පිළිගන්නවා ඒක.හැබැයි පුතේ අපි සැප විඳින්න ගියේ නෑ. ඔයාලට සතුටින් ඉන්න හැම සැපක්ම දෙන්න තමයි අපි මහන්සි උනේ. ඇයි ඔහොම කතා කරන්නේ. "
දේවිකා ආවේගශීලි ලෙස කතාව පටන් ගත්තත් කතාව අවසන් වන විට හඬ බිඳී ගියේය. තිළිනි එවර දෙනෙත උස්සා අනුකම්පාවෙන් තම මව දෙස බලා උන්නාය. දිලිනිට නම් තම මව ගැන බ්ඳක් වත් දුකක් ඇති නොවීය. දිලිනිගේ කතාවෙන් ජයවර්ධන මහතාගේ සිතේ ඇති වූයේද මහත් වේදනාවකි.
" හරි හරි දේවිකා, කලබල නොකර ඉන්න. ලොකූ ඔයාට නරකක් කරන්න හැදුවෙ නෑ අපි. අනික ඔයා නොදන්න කෙනෙක් නෙවෙනේ කවීශ පුතා. අනිද්දට ඒගොල්ල මෙහේ එනව කිව්වා. ඔයාලගේ ක්ලාස් එකක් එහෙම එදාට තියනවනම් එදාට නොයා නවතින්න කියලයි මම මේ කියන්නේ. අනික මේ... සාම්ප්‍රදායික විදිහට මනමාලියක් බලන්න එන විදිහෙ ගමනක් නෙවේ මේ. ඔයාල කතා බහ කරලා සාමාන්‍ය විදිහට ඉන්න.තේරුනාද ලොකූ! "
ජයවර්ධන මහතා සෙමින් වූවත් දැඩි හඬකින් පැවසුවේය.
කිසිවක් නොපැවසූ දිලිනි කෑම පිඟාන පසෙකට කර අත සෝදාගත්තාය.
" ඔය ඉතින් කාල ඉවරද ලොකූ. බෙදාගත්තු ටිකත් එහෙමම. "
දේවිකා සංවේගයෙන් තම වැඩිමහල් දියණියගේ හිතුවක්කාරකම් දෙස බලා කීවාය.
" මට ඇති. නිදිමතයි. මම යනවා"
තවත් කිසිවක් ඇසීමට පෙර දිලිනි කෑම මේසයෙන් ඉවත්ව ගියාය.
සුසුමක් හෙලූ ජයවර්ධන මහතාටද කෑමට පිරියක් නොවූයෙන් අත සෝදා කෑම මේසයෙන් ඉවත් විය. දේවිකා බලා සිටියේ කම්පාවෙනි. බියෙන් ඇලලී සිටි තිළිනිද සෙමින් කෑම පිඟාන පසෙකට කර අත සෝදාගත්තාය.
"අම්මි මාත් යනවා නිදියන්න. ගුඩ් නයිට්! "
සිරියාට මේසය අස් කරන්නට පැවසූ දේවිකාද කල්පනා සහගතව නිදන කාමරය වෙත ගියාය.
තිළිනි නිදන කාමරයට ඇතුල් වූයේ බයෙනි. කවුරුන් හෝ කෝප ගෙන සිට්නු දැකිමට ඇය බිය වූවාය. අක්කා කෑම මේසයේ හැසුරුනු ආකාරයට තවමත් කෝපයෙන්දැයි ඇයට බියක් ඇතිව තිබිණි . තිළිනි කාමරයට ඇතුල් වන විටත් ඇදෙහි ඉදගෙන උන් දිලිනි කල්පනා සහගතව උන්නාය. කෙසේ වුවත් මේ තීරණාත්මක අවස්ථාවක් බැවින් අක්කා සමඟ කතා කල යුතුමැයි තිළිනිට හැඟුනි.
" අක්කි.. දැන් මොකද කරන්නේ අපි..?"
තිළිනිගේ ස්වරය වෙව්ලන සුලු විය. දිලිනි වහා හිස ඔසවා බැලුවත් ඇගේ මුහුණේ වූයේ නම් සිනහවකි.
" චූට්...! ඇයි මේ බයවෙලා?"
තිළිනිට සිය සහෝදරියගේ මේ ස්වභාවය තෙරුම් ගත නොහැකි විය. ප්රශ්නය සිදුව ඇත්තේ තමාට නොවේ .එහෙත් දිලිනි හැසිරෙන්නේ තිළිනිට ගැටළුවක් ඇති වූ ගානටය.
" අක්කී... ඔයා සාගර අයියා අමතක කරන්නද යන්නේ?"
තිළිනි පුදුමයෙන් දෑස් විදහාගෙන විමසුවාය.
දිලිනි තවමත් පහව නොගිය සිනහවෙන් යුතුව තිළිනි දෙස බලා උන්නාය.
" පිස්සි, ඔයා හිතන් ඉන්නෙ මම එච්චර නරකයි කියලද? මම සාගර අයියට ආදරේ කරන්නෙ ඇත්තටම චූට්..."
සිනහවෙන් කතාව ආරම්භ කලද කතාව අවසන් වන විට දිලිනිගේ දෑසේ කදුලු පිරී ඇති බව තිළිනි දුටුවාය.
" මට තේරෙන්නෙ නෑ... අක්කි මොනවද කරන්න හදන්නෙ ඉතින්."
"මම කවීශ අයියට කියනවා චූට්.. එයා තේරුම් ගනියි නේද?"
එවර දිලිනි තම නැගනියගෙන් විමසා සිටියේ අසරණ ලෙසිනි.
තිළිනි වෙව්ලා ගියාය.
"අනේ අක්කී! එතකොට අප්පච්චිලත් දැන ගනිවිනේ. මට නම් බයයි! "
"වෙන මොනවද කරන්නේ චූටි. .! මට තේරෙන්නෙ නෑ. සාගර අයියට කෝල් කලෙත් නෑ මම. අනිද්දා ක්ලාස් එන්නෙ නෑ කිවම ඇයි අහයි. මම මොනවද කියන්නෙ එයාට. "
දිලිනිගේ දුක් මුසු කතා විලාසය තිළිනිගේ දෑසෙහි කදුලු අලුත් කරවීය. තම මුරණ්ඩු සහෝදරිය මෙලෙස දුකින් සිටිනු තිළිනි කිසිදා දැක නොතිබිණි. නමුත් ඇගේ සිත සැනසිය හැක්කේ කෙසේද කියා තිළිනිට සිතා ගත නොහැකි විය.
" අක්කි දැන් නිදියමු . අපි හෙට ඔය ගැන කතා කරමු. දැන් කලබලෙන් මොකුත් කරන්න බෑනේ "
දිලිනි කිසිත් නොකීවාය. හිස සලා නැගනියගෙ බසට එකඟ වූ ඈ තම යහන වෙත ගොස් නිදියන්නට සැරසුනාය.
දිලිනිගේ යහනට අනික් පසින් වූ තම යහනෙහි වැතිර ගත් තිළිනිට නම් නින්දක් අහලක වත් නොවීය. නිසොල්මනේ අනෙක් පස ඇදෙහි වැතිර සිට්යද දිලිනිද නිදි නැතැයි තිළිනි දැන සිටියාය.
" අක්කි පව්.. අම්ම්යි අප්පච්චිත් පව් තමා.එ උනාට එයාලා අපෙන් ඈත් උන නිසානෙ මේ ඔක්කොම."
"කවීශ අයියා හොඳයි. වැඩිය කතා කරලා නැති උනත් එයා නරක කෙනෙක් නම් නෙවෙයි. ඒත් සාගර අයියත් හොඳයිනෙ"
වසර කිහිපයකට පෙර රටින් පිටවීමට මත්තෙන් දෙමව්පියන් සමඟ කවීශ නිවසට පැම්ණි දිනය තිළිනිට හොඳින්ම මතකයට නැගිය හැකි විය. ඒ කාලයේදීත් කවීශ කඩවසම් තරුණයකුව සිටි බව තිළිනිට මතකය. දෙමව්පියන් එක්වී කතා බහ කරන විට කවීශ තමාත් අක්කාත් සමග ම්දුලට වී නොයෙක් දෑ ගැන කතා කරමින් සිටි අන්දම ඇයට සිහි විය. කුඩා කාලයේත් කිහිප වතාවක්ම කවීශ තම දෙමව්පියන් සමඟ තම නිවසට පැමිණ ඇති බවට යන්තම් මතකයක් තිළිනිට තිබුණත් ඒ සිදුවීම් හරි ආකාරව මතකයට නඟා ගැනීමට ඇයට අපහසු විය. අම්මාත් අප්පච්චීත් හිටිහැටියේම රාත්‍රී ආහාර ගන්නා අතරේ කවීශ අයියා තම අක්කාට යෝජනා කල විට තම සිතෙහි සිහින් රිදුමක් ඇති වූවා නොවේදැයි තිළිනිට සිතිනි. ඒ අක්කා තමා අතහැර නිවසින් පිටවී යන නිසාද... නැත්නම්...තමා කවීශට ප්‍රිය කරන නිසාද... තිළිනිට ඉන් එහාට කිසිවක් සිතීමට බියක් දැනුනි...
" මට පිස්සු. මං මොනවටද ඒකට දුක් වෙන්නෙ."
තම සිත හදාගැනීමට තිළිනි එසේ සිතුවාය. කල්පනා කරමින් සිටි ඇයට හෙමි හෙමින් නින්ද ලඟා විය. රාත්‍රී නින්දේදීද කිහිප වතාවක් නොපැහැදිළි දසුන් අතර කවීශගේ රුව තිළිනිට සිහිනෙන් පෙනුනි.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න