ආත්ම බන්ධන 05
5............................. .............................. ................
සිරියා නිවසේ නතර කර යාම දරුවන් දෙදෙනා බලා ගැනීමට මහත් පහසුවක් වුවත් ඊට වඩා අපහසුතාවයක් සිරියා ඉදිරියේ දැනෙන බව තිළිනිට දැනුනි. කවීශ වුවද සිරියා ඉදිරියේ හැසිරෙන්නේ මවාගත් සිනහවකින් බව තිළිනිට නොරහසකි. කවීශගේත් තිළිනිගේත් ඇස් කොනින් නිතර සිදුවන රහස් කතා කිසියම් හොරයක සලකුනු බව සිරියා තේරුම්ගෙන උන්නාය. නමුත් තමාට ඒ කිසිවක් නොදැනෙන නොතේරෙන ගානට සිටින්නට සිරියා නිතරම වගබලා ගත්තාය. සිඟිති දරුවන්ගේ හුරතලය සිරියාට සිහිකර දුන්නේ දිලිනිගේත් තිළිනිගේත් කුඩා අවදියයි. ඒත් කාලය කොතරම් වෙනස් වීද යත් දෙසොහොයුරියන් දැන් හමු නොවන ලෙස දෙතැනක සිටීම සිරියාට ඉහිලුම් නොදෙන්නක් විය.
තරූෂ සහ තරුෂි සිඟිත්තන් දෙදෙන සැබැවින්ම සුරතල් දරුවන් දෙදෙනෙක් විය. එයිනුත් වැඩිමහල් තරූෂ පුතු අහිංසක දැඟලිලි අඩු දරුවකු වුවත් බාල දියණිය දඟකාරියක වූවාය. දෙදෙනාගේ රුව වඩාත් සමීප වූයේ තිළිනිගේ රුවටයි. කිරි දෙන වෙලාවක වුවත් වැඩිපුරම තිළිනිගේ පපුවේ එල්ලී කිරි බොන්නට වද දෙන්නේ කුඩා දියණියයි.
" චූටි මැණිකෙයි චූටි මහත්තයයි හරියට බේබිල දෙන්න වගේ තමයි. එක්කෙනෙක් අහිංසකයි. අනිත් කෙනා ඳගයි ."
සිරියා සිනහසෙමිනි කී නමුදු තිළිනිගේ මුහුණ වෙනස් වී යනු සිරියා හොඳින්ම දුටුවාය.
" සමහර විට අක්ක නැති අඩුව දැනෙනව ඇති.දෙන්න එකටමනෙ හිටියෙ." සිරියා සිතින් සිතාගත්තා මිස කිවේ නැත.
" ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්නවනම් මොකෝ. මේ වගේම දරු පැටව්නුත් ඇති. අනේ ඇත්තට කොයිතරම් හිතුවක්කාරකමක්ද මේ තරමට පවුල අත් ඇරල දාන්න තරං ...හ්ම්ම්.."
" සිරිය නැන්ද ඒපාර කල්පනාව..මොකද අක්ක මතක් උනාද..හ්ම්"
තිළිනි ඇසුවේ වෙනසක් නොපෙන්වමිනි.
" ඔව් චූට් බේබි.. මතක් නොවෙන වෙලාවක් නෑ මට නම්.ලොකු බේබිටත් මේ වගේ දරුවො ඇති දැන්.. අනේ ඇත්තට අපිව එපාම උනානෙ..හ්ම්ම්"
සිරියා පහත් වී ඇඳ සිටි චීත්තයෙන් කඳුලු පිස දැම්මාය. තිළිනිට දනුනේ තමන් ඇතුලාන්තයෙන් ගිනි ගෙන දැවෙන්නාක් මෙනි.
" දැන් ඕවා කතා කරල වැඩක් නෑනෙ සිරිය නැන්දෙ...ම්ම් ඔන්න දෙන්නම කුක්කු බීල බන්ඩි පුරවන් ඉන්නෙ. සිරිය අත්තම්ම එක්ක දැන් සෙල්ලම් කරන්න හොඳේ. මං රෙදි ටික සෝදල එන්නම්කෝ.."
දරුවන් සිරියාට බාර කල තිළිනි රෙදි බේසමද රැගෙන කාමරයෙන් වහා පිටවී ගියාය. සිඟිත්තන් දෙදෙන අතපය සොලවමින් කට උල් කරමින් සුරතල් බසින් මොනවාදෝ කියමින් දඟලති. එයිනුත් සිඟිති දියණිය තමාට වැඩිපුර ප්‍රිය කරන බව සිරියාට දැනේ. පුතු වැඩිපුර දඟලන්නේත් සිනාසෙන්නේත් නැත. ඇස් කරක කරකා සැම දෙනාගෙ මුහුණු බල බලා සිටියි. එහෙත් දියණිය තමන් දකින ඕනෑම මොහොතක ප්‍රීතියෙන් සිනාසෙන්නීය. අම්මාගේ වඩා සිරියාගේ ඇකයෙහි සිටීමට වැඩිපුර ප්‍රිය කරන්නීය.
දරුවන් ටික ටික ලොකු වන දෙස කවීශත් තිළිනිත් සිරියාත් බලා උන්නේ මහත් ප්‍රීතියෙනි. වෙනදාටත් වඩා ව්‍යාපාරික කටයුතු වලින් මිදී නිවසේ සිටින්නට කවීශ ප්‍රිය කලේය. එය සිරියා ඉදිරියේ කරන රංගනයක් නොව සැබෑවක් බව තිළිනි දැන උන්නාය. දරුවන් දෙදෙන නිසාවෙන් හෝ කවීශගේ බිඳුනු සිත සුවපත් වෙනු දැකීම තිළිනිගේ මහත් වූ සතුටට හේතු විය. කවීශ වෙනදාට වඩා තමා සමඟද හොඳින් කතා බහ කිරීම තිළිනිට සැනසීමක් ගෙන එන්නක් විය... අතීතය බිඳෙන් බිඳ හෝ වලලා දමන්නට හැකි වේ යැයි ඈ බලාපොරොත්තු සහගතව බලා උන්නාය.
" කවීශ, පුතාට නින්ද ගිහින් නේද ...? "
"ම්ම් ඔව්නෙ.. මෙයාව ඇරන් ඇඳෙන් තියන්නකො. අතට ගත්තම දෝනිත් නිදියයි. ."
කවීශ පැවසුවේ ඇඳෙහි දඟලමින් සිටින තම දියණිය දෙස ආදරයෙන් බලමිනි.
" අනේ චූට් මැණිකෙ නම් මගෙ අතේ ඉන්නෙම නෑ.
සිරිය අත්තම්ම අතේ ඉන්න තමා ආස ..තාත්ති අතේ දොයියන්නකො බලන්න අද ..."
තිළිනි පුතු ඇඳ මත තබා සිඟිති දියනිය සෙමින් දෑතින් ගෙන කවීශට දුන්නාය... කවීශ සැහැල්ලු සිතින් පසුවන බව දුටු තිළිනි දරුවාගේ හිස පිරිමදින අතරතුර කතාව ආරම්භ කලාය.
" කවීශ..."
" මේ දරුවන්ගෙ වැඩයි ඔෆිස් වැඩයි හින්ද අර වැඩේ කල් යනව නේද..?"
කවීශ තිළිනි දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකිනි.
"මොකද්ද..මට මතක නෑ..."
" හ්ම්ම් ඒක තමා... මේ අවුරුද්දෙ දානෙ දෙන්නෙ නැද්ද..?"
කවීශට තම බ්රිය සිහිපත් කරන තුරුම ඒ පිළිබඳව සිහියට පැමිනියේ නැත. සෑම අවුරුද්දකම විවාහ සංවත්සර දිනයට දානයක් දෙන්නට ඔවුන් දෙදෙනා කතිකා කර ගෙන උන්නේ විවාහ සංවත්සරයක් නිසාම නොවන බව දැන උන්නේ නම් ඔවුන් දෙදෙනාම පමනි. පලමු අවුරුද්දේදීම මෙය අමතක වන්නට යාම කවීශ තුල ඇති කලේ පසුතැවීමකි. එය සැබැවින්ම අමතක කල යුතු කාර්යක් නොවේ. මන්ද සැමරීමට කියා සංවත්සරයක් නොවූවත් ඒ පුණ්‍ය කර්මය හරහා ඔවුන් දෙදෙනාම බලාපොරොත්තු වූ ඊට එහා ගිය කරුණක් තිබීම එය මඟ නොහැර ගැනීමට විශේශ හේතුවක් විය.
" හොඳ වෙලාවට මතක් කරේ... සිරියටත් කියල බඩු ටිකක් ලෑස්ති කරගන්න.. අර ගිය පාර දානෙ අරන් ගිය ආරන්ය සේනාසන්යට දානෙ දෙමු.."
"හ්ම්ම් ඒක තමා මාත් හිතුවෙ.."
ඒ පිළිබඳව මතක් කිරීමෙන් පසු දරුවා අතේ තබාගෙනම කවීශ වෙනත් කල්පනාවකට ඇදී ගිය බව තිළිනි දුටුවාය. ඒ කුමක් පිළිබඳවදැයි අමුතුවෙන් තිළිනිට කියා පෑමට අවශ්‍යතාවයක් නොවීය. එබැවින් කල්පනා කරන්නේ කුමක්දැයි විමස විමසා කවීශගේ සිත පාරවන්නට නොසිතූ තිළිනි කවීශගේ දෑතින් දරුවා සෙමින් ලබා ගත්තාය.. එක් වරම කවීශ සිහිනයකින් මිදුනාක් මෙන් තිළිනි දෙස බැලුවේ ඒ මොහොතේදීය.
"දැන් මහන්සිනෙ කවීශ.ඔයත් නිදාගන්න .මේ දෙන්නත් නිදි... "
කවීශ කිසිවක් නොකියා හිස සලා එය පිළිගත්තේය .
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.