ආත්ම බන්ධන 07
7............................. ..........................
සිඟිති දරුවන් දෙදෙනට දැන් තෙමසක් පමණ වයස වෙයි. සුරතලයෙහි අඩුවක් නැති දියණියත් පුතණුවනුත් රැගෙන කොහි ගියද ඔවුන් දෙදෙනා එහි සිට්න සෑම කෙනෙක්ගේම නොමඳ ආදරයට පාත්‍ර වෙති. නිවස පවා ඔවුන්ගේ මිණි කිංකිනි හඬින් පිරී ගොසිනි.
කෙසේ වුවත් ටිකෙන් ටික හැදී වැඩෙන දරුවන් දෙදෙන දෙවිදිහක් බව තිළිනිට වඩාත් හොඳින් දැනෙමින් තිබිණි. ඇයට වඩාත්ම කණගාටුවට කාරණය වූයේ පුතු තමාව ප්‍රතික්ෂේප කරනවාක් මෙන් දැනීමයි. දෙමසක් ගතවන්නටත් ප්‍රථම පුතු විසින් මව් කිරි ප්‍රතික්ෂේප කිරීම තිළිනිට පමණක් නොවේ කවීශටත් සිරියාටත් තරමක වේදනාවක් විය. දරුවන් දෙදෙනාටම කිරි මදි වන බැවින් මව් කිරිත් සමඟ පිටි කිරිද මාරුවෙන් මාරුවට දෙදෙනාටම ලබා දුන්නත් කල් යත්ම කුඩා පුතු තිළිනිගේ මව් කිරි බීම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට දිගින් දිගටම පුතුට පිටි කිරි දෙන්නට සිදුවීම තිළිනිට ඇති කරේ මහත් දුකකි.
" අනේ මන්දා සිරියා නැන්දේ.. මං කිරි මදි නිසා පිටි කිරි දෙන්න ගත්තට කොහොමවත් කැමති නෑ නැත්තං ඔව්ව දෙන්න. ඒ උනාට අපේ චූට් මහත්තයට ඒවම ඕන උනානෙ බලන්නකො. නංගි කිරි බොනකොට වත් ආස හිතෙන්නැද්ද මන්දා.බලන්නෙවත් නෑනෙ.."
තිළිනිගේ ස්වරයේ වූ දුක්බර බව සිරියාට හොඳින් වැටහිනි.
"චූටි බේබි ඕක හිතන්නෙපා. අනික නොදීම හිටියෙ නෑනෙ.මාසයක් හමාරක් යනකන් චූටි බේබිගෙ කිරි බිව්වනේ. ඕක ඔයතරං හිතන්න දෙයක් නෑ.."
"ඒ උනාට සිරිය නැන්දෙ...අම්මගෙ කිරි තරම් වෙන මොකුත් නෑනෙ..මෙයා අතඇරලම දැම්මනෙ අම්ම කුක්කු ටික.." තිළිනි පැව්සුවේ දුකිනි.
සිරියා හැමවිටකම තිළිනිගේ හිත හැදීමට උත්සහ ගත්තාය. නමුත් තිළිනිගේ සිත පෑරීමට ඊටත් වඩා හේතු කාරනා යෙදී ඇති බවද සිරියාට නොරහසක් විය. කුඩා පුතු මව අසල සිටීමට වත් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් කවීශ හා සිරියා ළඟ හුරතල් වීමට ඔහු ප්‍රිය කළේය . තිළිනි කුඩා පුතු වඩාගන්නා විට පවා හේතුවක් නොමැතිවම අඬා වැලපෙන අවස්ථාද තිබුණි. එසැනින් සිරියා හෝ කවීශ පුතු වඩා ගත් විට ඔහු සන්සුන් වන්නෙ පෙර නොහැඬූ ලෙසිනි. තවමත් හයහතරක් නොතේරෙන දෙපයින් සිට ගැනීමට වත් නොහැකි මේ කුඩා දරුවා කරන මේ ප්‍රතික්ෂේප කිරීම නිවසේ සියලු දෙනාට ගැටළුවක් විය. තම තමාගේ සිතින් ඒ පිළිබඳව සියලු දෙනාම ප්‍රශ්න කර ගත් නමුත් තිළිනිගේ සිත රිදෙන ලෙස කවීශ වත් සිරියා වත් ඒ පිළිබඳව කතා කරන්නට ගියේ නැත. නමුත් සමහර විටෙක පුතු සාමාන්‍ය ලෙසටම තිළිනි අසලින් ගැවසෙන බැවින් සිරියාගේ අදහස වූයේද ටිකෙන් ටික වැඩෙන විට පුතු සාමාන්‍ය තත්වයට පත් වේ යන්නයි.
" චූටි බේබි ඕව හරියයි ටික ටික ලොකු වෙද්දි. උදේ වඩාගද්දි ඇඬුව .ඒ උනාට දැන් යස අගේට චූටි බේබි ලඟට වෙලා ඉන්නෙ. පොඩි අය ඔව්ව හිතාමතා කරන දේවල් නෙවෙයිනෙ."
සිරියා මෙන්ම කවීශද විටෙක තිළිනිගේ හිත හැදීමට කරුණු සොයා දුන්නේය. " තිළිනි ඔයා කලබල වෙන්න ඕන නෑ. පොඩි දරුවෙක්නෙ තාම.ඕක හරියයි. අනික කොල්ලා අම්මට වඩා මට ආදරෙ ඇති ඒකයි මගෙ අතටම එන්න අඬන්නෙ.."
කවීශ පැවසුවේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. ඔහුට උවමනා වූයේ තිළිනිගේ සිත ඇති අනියත බිය නැති කිරීමටයි. කොතෙකුත් ප්‍රශ්න ගැටලු තිබෙන්නට ඇත.නමුත් ඈ දැන් මවකි. තමා හා ඈ කෙලෙසින් බැඳුනද දරු දෙදෙනාගේ මව ඇයයි. දරු දුක ඇයටත් හොඳින්ම දැනෙන බව කවිශ දැන උන්නෙය.
"අනේ මන්ද කවීශ මට තේරෙන්නෙ නෑ. දෝනිත් මං ලඟ හිටියට වැඩිය කැමති සිරිය නැන්ද ලඟ ඉන්න. හැබැයි පුතා වගේ අඬන්නෙ නම් නෑ.."
"ඒක තමා මම කිවේ. ඔය පොඩි අයට මොනව තේරෙනව කියලද ඔය.. ඔව්ව නිකන්ම හරි යනව ලොකු වෙද්දි.."
"හ්ම්ම්"
"කොල්ල වැඩිය දඟත් නෑනෙ..ඒකත් එකට මේ කෙල්ල... සමහරවිට ලොකු වෙද්දි ඕව කනපිට පෙරලෙයි.. තිළිනි සියලු දෙනා කියන සියලු දේ අසා සිත සනසා ගත්තත් විටෙක තමාව පාලනය කරගත නොහැකි ලෙස කඳුලු එන බව ඈ දනියි. කාටත් හොරා එවන් මොහොතක නාන කාමරයට යන තිළිනි වතුර කරාමය හැර තම හඬ නෑසෙන්නට සලස්වා ඉකිබිඳිමින් හඬන්නීය. තමා කල පව් මෙලොවදීම පල දෙන්නට පටන් ගෙන ඇතැයි තිළිනිට එවන් විටෙක සිතෙයි. කාලයට ඉඩ දී බලා හිඳිනු මිසක කල හැකි අන් කිසිවක් නොවන බව තිළිනි හොඳින්ම දැන උන්නාය.ඉඳින් කාලය පිළිතුරු සපයන්නෙ තම පව් ගෙවන්නට උවමනා පරිදි නම් එයට එකඟ වනු හැර කුමක් කරම්දැයි සිතමින්ම තිළිනි තව තවත් තැවුනාය.
මතුසම්බන්ධයි
පුෂ්පිකා විජේරත්න