ආත්ම බන්ධන - 01
අද පරිසරයේ පවා අමුතු සුන්දරත්වයක් ඇතැයි කවීශට හැඟෙයි. කලෙකට පසු ජීවිතයට වසන්තය උදා වූවාක් වැනිය. පියෙක් වීම මෙතරම් ආශ්වාදජනක හැඟීමක් බව කවීශ මින් පෙර නොදැන උන්නේය. එමෙන්ම එක් දරුවකුගේ නොව තමා එකවැර නිවුන් දරුවන්ගේ පියකු වීම කවීශගේ සතුට තව තවත් වඩවන්නක් විය. තමා උපන් දිනයේද පියා මෙතරම්ම සතුටු වන්නට ඇතැයි කවීශට සිතුනි. කවීශ නිදන කාමරයේ කුඩා තොට්ලි දෙක මත නිදන සිඟිත්තන් දෙස බලා සැනසුම් සුසුමක් හෙලුවේය. විවාහයෙන් පසුව ජීවිතයට සැනසුමක් අරුතක් ලැබුනේ නම් ඒ මේ තොටිල්ල මත නිදන දිනක් වයැසැති දරුවන් දෙදෙනා පමණක්ම බව කවීශට හැඟෙයි. පාළුවට ගොස් තිබූ සුවිසල් නිවහන සිරිකත වැඩියාක් මෙන් සිරියාවෙන් ඉතිරී ගොස් ඇත. කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ සිදුවීම මාලාවකින් පසුව කම්පිත වූ සිතට සතුටක් පැමිණියේ තම බිරියගේ කුසට මේ නිවුන් දරුවන් පැමිණි බව දැන ගත් පසුවයි. පැතූ ජීවිතය මොහොතකින් සුනු විසුනුව ගිය පසු ලෝකයාට පෙනෙන්නට බිරියත් සමඟ සතුටින් සිටින බව හැඟෙව්වද කවීශගේ සිත තුල වූයේ මහා කම්පනයකි. එහෙත් මේ සිඟිත්තන් දෙදෙනා තමාට ඉතිරි ජීවිත කාලය තුල සතුට්න් සිටින්නට හේතුවක් වේ යැයි කවීශ යහනේ සැපසේ නිදන දරුවන් දෙස බලා සිතීය. ආදරය...! තවදුරටත් ආදරය යන උතුම් හැඟීම බෙදා ගන්නට තමන්ට ඉතිරිව ඇත්තේ මේ කුඩා සිඟිත්තන් දෙදෙනා පමණි. දැන් කෙසේ හෝ තමා පියකු වී ඇත. . ඉදින් අලුත් ඇරඹුමක් ජීවිතයට ලැබී තිබේ. ඔවුන් වෙනුවෙන් තමා ජීවත් විය යුතුය. අතීතයට සමු දිය යුතුය. අලුත් අනාගතයක් තම බිරිඳ සමඟ ඇරඹිය යුතුය.
" ඔව් මං වෙනස් වෙනවා... ඒ හැමදේම. .ඒ හැමදේම අතීතෙම වල දාල මං වෙනස් වෙනවා. මගෙ දරුවො වෙනුවෙන්...ඔව්..!"
කවිශ තම හදවතට එසේ සපථ කර ගත්තේය.
"කවීශ ..! මොනවද කල්පනා කරන්නෙ .මම දැන් ගොඩක් වෙලා දොර ලඟ ඇවිත් බලන් ඉන්නෙ. එන්න කෑම කන්න."
කවීශ හිස් බැල්මකින් තම බිරිඳ දෙස බැලුවේය. කවීශගේ සිතෙහි ඇති හැඟීම් වටහාගන්නට ඇයට අපහසු වූයේ නැත. තම සිත දෑසින් දකී යයි බියෙන් මෙන් ඈ දෑස සඟවා කාමරයෙන් පිට වූවාය. සුසුමක් හෙලූ කවීශ දරුවන් දෙස නැවත බලා කාමරයෙන් පිට විය.
" අම්මලා උයල ගිය නිසා හොඳයි අනේ. මට තාම මහන්සියි වගේ.. රෑටත් එක්කම උයල ගිහින්."
ඈ කෑම බෙදන අතරතුර කියවයි. කවීශ නිහඬවම කෑම මෙසයෙහි හිඳගත්තේය.
" අම්මලා දෙන්නටම යන්න හිතක් තිබ්බෙ නෑ. අපෙ අම්මත් දැන් ටිකක් වෙනස් වෙලා. ගියාට හෙට අනිද්දම ආපහු එයි දෙන්න කතා වෙලා. "
ඈ මද සිනහවකින් කීවාය. කවීශ මඳකට කෑම ගැනීම නවතා ඈ දෙස බලා උන්නේය.
" ඇයි කවීශ ?"
" ඇයි අහන්නෙ..! අම්මලා නිතර එන එකට ඉස්සර නම් කැමති නෑ නේද! හැමදේම එළිවෙයි කියල බයට නේද වෙනම ඉමු කියල නැටුවෙ..! එතකොට දැන්..! කොයිතරං මඟඇරියද ඒ මිනිස්සු. අන්තිමේට අම්මලම තමා හැමදේටම ඕන වෙන්නෙත්." කවීශ තම කේන්තිය නොසඟවා හෙළි කළේය.
"කවීශ..! දැන් වත් ඒ දේවල් අමතක කරන්න බැරිද ඔයාට? හොඳයි ...මම වෙනස් උනේ නැද්ද..! ඔයාට ඕන විදිහට මම වෙනස් උනේ නැද්ද..! කියන්න ඉතින්..."
කවීශගේ මුහුනෙහි වූයේ සරදම් සහගත සිනහවකි.
" තමුසෙ නම් මහ පුදුම ගෑනියක් ..! මට එච්චරම තමා කියන්න තියෙන්නෙ"
කවීශගේ හඬෙහි වූ සරදම් සහගත බව ඇගේ සිත පාරවන්නට සමත් විය.
" කවීශ...මට සමාව දෙන්නෙම නැද්ද ? මේ දරුවො ගැන හිතල වත් අපි දැන් පරන දේවල් අමතක කරමු .ප්ලීස්..! "
" දරුවො ගැන හිතල තමයි මම මේ හැම දේම ඉවසන්නෙ දිලිනි"
එවර කවීශගේ හඬෙහි වූයේ පරාජිත බවකි. මොහොතකට පෙර තමන් වෙනස් වන බව තමාටම සපථ කර ගත්තා නොවේද ..!එහෙත් කරුමයකි...!තමාට නොදැනුවත්වම තම සිත කුරිරු වන අයුරු....!
කවීශගේ වදන් ඇසූ විගස ඇය තිගැස්සී ගියාය.
"කවීශ ..! දරුවො වෙනුවෙන් හැමදේම අමතක කරනව වගේම තමා මම දිලිනි නෙවෙයි තිළිනි කියන එකත් මතක තියාගන්න! ඒක අමතක උනොත් මොන දේ මතක තිබුනත් වැඩක් නැති වෙයි.හැමදාමත් මට ඕක කියන්න බෑ.."
තම බිරිය දෙස ක්ෂණික බැල්මක් හෙලූ කවීශ සුසුමක් හෙලා අත සෝදා ගෙන කෑම මේසෙයෙන් ඉවත් විය. තිළිනි එදෙස බලා උන්නේ මහත් පසුතැවීමෙනි. තමා කොයිතරමින් උත්සහ කලද පතන ජීවිතය කිසිදා ලං කර ගත නොහැකි වේයැයි ඇගේ සිතට මහත් බයක් දැනෙමින් තිබුනි. එහෙත් තමා ඒ ජීවිතය වෙනුවෙන් හදවතින්ම කැපකිරීම් කලා නොවේදැයි ඈ පසුතැවිල්ලෙන් සිතුවාය. කවීශ අද වෙනස් වේ යැයි හෙට වෙනස් වේ යයි තව කෙතරම් කල් බලා හිඳින්නද .. ඒ බලා හිඳීමෙන් පලක් වේද... මේ බැඳීමක් නැති බැඳීම...කෙතරම් කල් ඉවසන්නද...! තමා දැන් දිලිනිත් නොවන තිළිනිත් නොවන කෙනෙක් බවට පත් වී ඇති සේය.
දිලිනි සහ තිළිනි !
කෙනෙකුට කිසිවිටෙකත් පහසුවෙන් වෙන් කර හඳුනා ගත නොහැකි තරමින් අතිශය සමාන රූපකායන් දෙකකට උරුම කම් කියූ නිවුන් සහෝදරියන් දෙදෙනා දිලිනි සහ තිළිනි නම් විය.
එහෙත් දිලිනි සහ තිළිනි යනු අකුරක වෙනසක් යැයි කෙනෙකුන් සිතුවහොත් සම්පූර්ණ වරදකි. එක මව් කුස එකට නිවුන් දරුවන්ව උපන්නත් එකට හැදී වැඩුනත් දෙදෙනා තුල වූයෙ අකුරකට එහා ගිය මහා වෙනසක් බව කවීශ පමණක් නොව ඔවුන් දන්නා හඳුනන සියලු දෙනා දැන උන්හ. නමුත් කවීශට එය අකුරක වෙනසක් පමණක්ම බව සිතා හිත හදාගන්නට සිදුවීමම කොයි තරම් අවාසනාවක්ද.
සිතිවිල්ලේම කාමරයට පැමිණි කවීශ ,යහන මත සුවසේ නිඳන තම නිවුන් දියණියත් පුතණුවන් දෙසත් බලා සුසුමක් හෙළුවේය.
"මේ දෙන්නත් ඒ වගේ වෙයිද දන්නෑ" කවීශ නිහඩවම සිතුවේය..
මේ කිසිවක් නොදත් කිරිකැටි දරුවන් දෙදෙනා සුව සිහින දකිමින් සිහිනෙන් කිරි සිනා නඟමින් නින්දට වැටී උන්හ. දරුවන්ගේ හිස ආදරයෙන් අතගෑ කවීශ ඔවුන් පසෙකින් ඇඳෙහි ඇලවුනේ කල්පනාබර සිතෙනි.
--------------------- මතුසම්බන්ධයි -------------
පුෂ්පිකා විජේරත්න