ආත්ම බන්ධන 06
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 645
6............................. .......................
දිලිනි උන්නේ තිගැස්මෙනි. හිටිහැටියේ කඩාපාත් වූ මේ විවාහ යෝජනාවෙන් ගැලවෙන්නෙ කෙසේද ... කවීශ ගැන තමා හොඳින් දනී. ඔහුව ප්‍රතික්ෂේප කිරීම සඳහා වැරැද්දක් සොයා ගත නොහැකි වන බවට දිලිනිට හොඳින්ම විශ්වාසය. එකම වෙනස වූයේ ඔහු තම නැඟනිය මෙන්ම නිවුනු සන්සුන් ගති පැවතුම් ඇති පුද්ගලයකු වීමයි. එය තමාට රුචි නොවූවත් දෙමව්පියන්ට එය ඉහලම සුදුසුකමක් වනු නොඅනුමානය. ඉඳින් දැන් කුමක් කරන්නද...
උදෑසනම දුරකතන ඇමතුමක් ගත් දිලිනි සාගරට තම නිවසේ තත්වය පැහැදිලි කලාය. දුර දිග සිතා බලා අවබෝධයෙන් කටයුතු කරන්නෙක් වුවත් සාගරගේ සිතද එම ආරංච්යෙන් මහත් කලබලයට පත් විය.හිටි හැටියේ තම පෙම්වතියට පැමිණි මේ විවාහ යෝජනාවෙන් ගැලවීම පහසු නොවනු ඇත. අඩුම තරමේ මෙවන් අවස්ථාවකට කෙසේ මුනුණ දෙම්දැයි ඔවුන් දෙදෙනා මීට පෙර කතා බස් කර තිබුනේ වත් නැත. සාගරගේ සිත කැලඹී ගියේය. පෙම්වතියගේ නිවසට ගොස් තමාව හඳුන්වා දීමට තමා තවමත් සූදානම්ද නැත. ඉහළ පැලැන්තියේ ව්‍යාපාරිකයකු වූ දිලිනිගේ පියා හමුවට යනවානම් අඩුම තරමින් හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ගෙයක් දොරක් තමා සන්තකව තිබිය යුතුය. ඒ කිසිවක් තවම පේන මානයක වත් නැත. තම චකිතය සඟවාගත් සාගර කල යුතු හොඳම දේ යැයි හැඟුන දේ දිලිනිට පවසා සිටියේය.
" කලබල වෙලා මොකුත් කරන්න බෑ දිලී. යෝජනාව ගෙනාවට කසාද බඳින එක හිටි හැටියෙ කරන්නෙ නෑනෙ"
" මොකද්ද කරන්න කියන්නෙ අයියේ ..? මට තේරෙන්නේ නෑ"
තවදුරටත් කලබලයකින් තොරවම කතා කරන සාගර කුමන තීරණයක් ගෙන ඇත්දැයි දිලිනි බියපත් වූවාය.
" දිලිනි, මේ අහන්න. දැන් ගෙදර අය එක්ක රණ්ඩු වෙන්න එපා. හෙට ආවම කවීශ එක්ක කතා කරලා බලන්න. ඒ කියන්නේ .. මේ .. එයා මේ ගැන මොනවද හිතන් ඉන්නෙ කියලා දැනගන්න බලන්න. මං කියන්නෙ එයත් ඔයා වගේ ගෙදර උවමනාවට ආව ගමනක්ද නැත්තන් එයාගෙ හිතෙත් ඔයා ගැන අදහසක් තියෙනවද කියන එක දැනගන්න බලන්න. "
" ඊට පස්සෙ මොකද කරන්නෙ අයියේ..?"
ඊට පස්සෙ කරන දේ තීරණය වෙන්නෙ එයා දෙන උත්තරේ අනුවනෙ ළමයෝ.."
" හ්ම්ම්.. අනේ මන්දා අයියේ බලමුකෝ. .එක්කෝ ඔයාට බැරිද අපෙ ගෙදර ඇවිත් අප්පච්චි එක්ක කතා කරන්න" දිලිනි විමසුවේ අවිනිශ්චිත හඬිනි.
" ඔයා විහිලු කරනවද දිලී. තාත්තලාගේ හැටි දැන දැනම ඔයා මට මෙහෙම කියන්නෙ. අඩුම තරමේ මට කටක් ඇරල කියන්න පුලුවන් විදිහේ ජොබ් එකක් වත් තිබ්බ නම් මොනා හරි කරන්න තිබ්බ. මං ඇවිත් මේ ගැන කතා කරොත් ඔයා තවත් ගෙදර හිරකාරියක් වෙයි.."
"හ්ම්ම්..ඒක නම් ඇත්ත. මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල. අපෙ අප්පච්චි දෙයක් කිව්වොත් කිව්වම තමා.."
" කලබල නොවී මං කියපු විදිහට වැඩ කරන්නකො ළමයෝ ම්ම්"
සාගර කරන්නට කියූ දෙය ඉතාමත් නිවැරදි බව තිළිනිගේ අදහසද විය. කෙසේ වුවත් පසුවදා කුමක් සිදුවේදැයි දෙදෙනාගේම සිත් තුල වූයේ චකිතයකි.
වික්‍රමරත්න පවුලේ අය පිළිගැනීමට ජයවර්ධන පවුලේ සියලු දෙනා මහත් උද්යෝගයෙන් සූදානම් වූහ. මුරණ්ඩුකම් පෑ දිලිනි පවා නිවසේ වැඩකටයුතු වලට කැමත්තෙන්ම උදව්වට පැම්ණීම ජයවර්ධන යුවලගේ නොමඳ සතුටට හේතු විය. සිරියා පවා උන්නේ සතුටිනි. තමාගේ දියණියක බලන්නට මනමාලයකු එන්නාක් මෙන් ඈ සතුටට පත්ව උන්නාය.
" ලොකු බේබ්යි චූටි බේබියි දැන් ගිහින් ලෑස්ති වෙන්නකෝ..මේ වැඩ ටික මට තනියම කරගත හැකි. "
" එහෙනම් ඔන්න අපි යනවා සිරියා නැන්දේ. "
දෙසොහොයුරියන් සූදානම් වී අවසන් වන විටදීම නිවස ඉදිරිපිට වාහනයක් නවතන ශබ්ධය ඇසුනු බැවින් අමුත්තන් පැමිණ ඇති බව දෙදෙනාම වටහා ගත්හ. තම මවත් පියාත් අමුත්තන්ව උණුසුම් ලෙස පිළිගන්නා හඬ දෙසොහොයුරියන්ට ඇසුනි. තමන්ට කතා කරන තෙක් පහළ මාලයට නොයා යුතුයැයි තීරණය කරගත් සොයුරියන් දෙදෙන නිහඬවම පහළ මාලයෙන් තරමක් අපැහැදිලිව ඇසෙන සිනා හඬත් කතා හඬත් අසාගෙන උන්හ. තවත් මිනිත්තු කිහිපයකිට පසු ඉහල මාලයට පැමිණි දේවිකා තම දරුවන්ට පහළට පැම්ණෙන ලෙස දැන්වූවාය.
" ලොකූ....චූටී.... ඔයාලා ලෑස්ති වෙලාද පුතේ...? පහළට එන්නකෝ... මම යන්නම් ඉක්මනට එන්න.."
අම්මාගෙ හඬ පවා වෙනදාට වඩා ආදරණීය යැයි තිළිනිට සිතිනි. සොරකමක් කරන්නට යන සොරුන් දෙදෙනෙකු මෙන් සැක සහිත මුහුණින් එකිනෙකා දෙස බලාගත් දිලිනිත් තිළිනිත් නිහඬවම පහත මාලයට පියමන් කලහ.
වික්‍රමරත්න සහ ඔහුගේ බිරිය ඉතා ප්‍රියමනාප බව දිලිනිටත් තිළිනිටත් හැඟිනි. වැඩි කතා බහකින් තොරව සිටියත් කවීශද පසු වූයේ සිනහා පිරි මුවින්ය. කොළඹ නේවාසිකව පාසල් යන බැවින් කවීශගේ සහෝදරයා පැමිණ සිටියේ නැත. සතුටු සාමීචියේ යෙදමින් තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳීමෙන් පසු දිලිනිටත් කවීශටත් තනිව කතා කරන්නට වැඩිහිටි අවසරය ලැබිණි. වැඩිහිටි කතා බහ අතර තමාට කරන්නට දෙයක් නැති වූ නිසා සිරියාට උදව් කිරීමට තිළිනි මුලුතැන්ගෙයට ගියාය. එහෙත් ඈ පසු වූයේ සිතුවිල්ලෙනි.
" කවීශ අයියා තවත් ලස්සන වෙලා. අම්මලාත් එක්ක කතා කර කර ඉද්දි කීප සැරයක්ම මගෙ දිහා බලලා හිනා උනා. අක්කි මොනවා කරයිද දන්නෑ. පව්.. කවීශ අයියා අහිංසකයි.... අනේ මන්දා මං මොනා හිතනවද මේ... අක්කිත් පව් ... සාගර අයියත් පව්.. එයත් කවීශ අයියා වගේම හොඳයිනෙ.."
" චූටි බේබි මොනාද ඔය පිඟාන අතේ තියන් කල්පනා කරන්නේ..?"
සිරියාගේ කටහඬින් තිළිනි ගැස්සී ගියාය.
"අනේ නෑ සිරියා නැන්දා. අක්කි ඉක්මනටම මැරි කරලා ගියොත් මට තවත් තනිය දැනෙයි නේද..?"
තිළිනි හදිසියේ මුවට නැඟුන දේ කියා දැම්මාය.
"චූටි බේබි හිතල තියෙන දුර..."සිරියාගේ මුවේ මදහසක් විය.
"බලල යන්න එන තරම් ඉක්මනට මගුල් ගන්නෙ නෑ බේබි...අනික.. බේබිටත් මහත්තයා හොඳ තැනකින් කටයුත්තක් ඉක්මනටම බලයි... බේබ්ලා දෙන්නම ගියාම ඉතින් කාටවත් නෙවේ අම්ම වගේ ඉඳපු මට තමා පාළුව..."
සිරියා තම දෑසෙහි නැඟුන කදුලු චීත්ත පොටින් පිසදා ගත්තාය. තිළිනිට දැනුනේ සංවේගයකි.
"සිරියා නැන්දා අපිට අම්මා වගෙ නෙවේ .අම්මා තමයි. අපි කොහේ ගියත් සිරියා නැන්දව අමතක කරන්නෑ. "
සිරියාගේ දෑසෙ කදුලු අලුත් විය. ව්සල් මැදුරක ධන සම්පත් වලින් අඩුවක් නැතිව ඉපදුන මේ දරුවන් තමාට දක්වන ලෙංගතුකම ඇයට දරාගන්නට නොහැකි තරම්ය. තමන්ගේ මව මුලුතැන්ගෙයි සිටින විට ඒ අසලට වත් නොපැමිණ සිටින මේ දරුවන් තමාට උදව් කරන්නට ඕනෑම මොහොතක ඉදිරිපත් වන බව ඇය දැන සිටියාය.
මේ අතර කවීශ සමඟින් පිළිසඳරේ යෙදී සිට්යදී දිලිනිට හැඟුනේ කවීශගේ සිතෙහිද මේ ව්වාහය පිළිබඳව විශාල උවමනාවක් නැති බවය. ආගිය තොරතුරු කතා කරා විනා විවාහයක් හෝ ප්‍රේමයක් ගැන කතාවක් හෝ කවීශගේ මුව්න් පිට නොවීය.
"නංගිට අම්මලා විස්තර කියන්න ඇති නේද..? ඇත්තටම නංගි මේක අපේ තාත්තලගෙ තීරණයක්.. ඒ නිසා මං වැඩිය ඔයාගෙන් මේ ගැන බල කරලා අහන්නෙ නෑ. ඔයා හිතලා උත්තරයක් දෙන්න...අපි ඉතින් නොදන්න අයත් නෙවේනෙ අමුතුවෙන් විස්තර කතා කරන්න.."
දිලිනි බිම බලාගත් වනම උන්නාය. කවීශ තුල මේ පිළිබඳව විශාල උනන්දුවක් නැති බව පෙනේ. නමුත් තමා සිටින තත්වය පිළිබඳව ඔහුට කීමට දැන්මම ඉක්මන් නොවිය යුතු බව ඇය තීරණය කලාය. සමහර විට මෙය තමාගේ වෙනත් සම්බන්ධයක් තිබේදැයි දැන ගැනීම සඳහාම කවීශ කරන රඟපෑමක් වන්නටද හැකි බව දිලිනිට සිතුනි.
" ඔව් අයියේ..මටත් මේ ගැන එකපාරටම ගෙදරින් කීවෙ. මම මොකුත් හිතලා නෑ තවම...මං...මං ..පස්සෙ කියන්නම් තව හිතලා."
කවීශ මදහසකින් යුතුව දිලිනි දෙස බැලුවාය.
ම්ම්ම්... නංගි මට ෆෝන් නම්බර් එක කියන්නකෝ. මම කතා කරන්නම්..
දිලිනි දුරකතන අංකය කවීශට දෙන අතරතුර ඔහුට තම තත්වය තේරුම් ගත හැකි වේවා යැයි සිතින් යැද්දාය.
මතුසම්බන්ධයි
පුෂ්පිකා විජේරත්න.