- Details
"අනේ තාත්තෙ...! ඔය මිනිහ තමයි මේ අපරාදෙ කරේ..."
තාරුකාට කෑගහල කියන්න ඕන උනත් සද්දෙ පිට උනේ නෑ... තාරුකා බලාගෙන හිටියෙ ගිණි පිටවෙන දෑසින්. හැමදෙයක්ම කරේ ඒ තිරිසනා... ඒත් තාත්තට නොතේරෙන හැටි... සුදට සුදේ සුදු ජාතික ඇඳුම ඇඳල මහා ලොකු වහනයකින් ඇවිල්ල බැහැල බොහෝම අනුකම්පාවෙන් කතා කරනකොට තාත්ත රැවටෙන හැට්...! තාරුකාට තිබුණෙ තරහක් වගේම තාත්ත ගැන අනුකම්පාවක්. ඒත් කොහොමද මෙ දේවල් තාත්තට කියන්නෙ... තාරුකා තව පාරක් තාත්ත ලඟට ගියා..
"තාත්තෙ ඔය ම්නිහ විස්වාස කරන්නෙපා...! තාත්තෙ ඔයා රැවටිලා...! මේක කරේ මේ තිරිසනා...!"
සිරිපාලට කිසිදෙයක් ඇහුනෙ නෑ. සිරිපාල ඒ වෙනුවට තමන්ගෙ අත්දෙක අල්ලගෙන සැනසුම් බස් තෙපලන ප්‍රාදේශිය සභා මන්ත්‍රී රත්නසේකරගෙ මායාවට රැවටිලා බලාගෙන හිටියා...
රත්නසේකර මන්ත්‍රී තුමා ඊළඟට හැරුනේ තමන්ගෙ ළඟම හිටපු ගෝලයො දෙන්න දිහාවට...
" ඒ තමා අනිත් එවුන් දෙන්නා...!"
තාරුකා හෙමිහිට මුමුණ ගත්තා.
ගෝලයො දෙන්නට හෙමින් මොනවදො මුමුණපු මන්ත්‍රීතුමා වාහනේ පෙන්නල මොන මොනවදෝ කිව්වා. එක ගෝලයෙක් වාහනේට ගිහින් පොඩි පාර්සලයක් අරන් ආවා. එක දෝතින්ම ගත්තු මන්ත්‍රිතුමා එහෙම්ම පිටින්ම ඒක සිරිපාල අතේ තිබ්බා.
" සිරිපාල මෙව්ව දුර දිග ගෙනියන්නෙපා...අපි හෙමින් සැරේ හොයල බලමු මොකාද මේ වැඩේ කරේ කියල...මම ඉස්පිරිතාලෙටත් ගිහින් දෙස්තරලත් එක්ක කතා කරල ආවෙ...පොලිසි ගානෙ ගියොත් මේව මාධ්‍යට යනව. දරුවගෙ නමටයි හොඳ නැත්තෙ...තව ගෑණු දරුවෙකුත් ඉන්නවනේ... ඒ ගැන හිතල මොළේ කල්පනාවෙන් වැඩ කරන්න...ඔකේ සල්ලි ටිකක් ඇති මේ වැඩකටයුතු ටික කරගන්න ඕකෙන්..."
මන්ත්‍රීතුමාගෙ කරුණාවට සිරිපාලගෙ ඇස් වලින් තව තවත් කඳුලු කඩා වැටුනා.... " රත්තරං මනුස්සය"
සිරිපාල හිතුවෙ එහෙම...සිරිපාල ලඟම කැරකි කැරකි හිටපු තාරකාට ඇතිඋනෙ ඉවසුම් නොදෙන තරහක්...
"සල්ලි...සල්ලි..සල්ලි...එහෙනම් සල්ලි වලින් ඔක්කොම වැහුවා... මම බලාගන්නම් මේ දේවල් ඔක්කොම...හිටපල්ලකෝ...!"
බිමටම පාත් වෙලා මන්ත්‍රීට වැඳ වැටෙන තාත්ත දැක්කම තාරුකාගේ ආත්මයම හඬා වැටුනා..
"ඔය මොනවද තාත්තෙ කරන්නෙ...!හැමදේම කරපු නරුමය ළඟ ඇයි ඔහොම දනින් වැටෙන්නෙ...!"
තාරුකා කොහොම කියන්න හැදුවත් සිරිපාලට කිසිම දෙයක් ඇහුනෙ නෑ. සිරිපාල වැඳ වැටිල ඉන්න මොහොතෙ කාමරෙන් එළියට ආපු පොඩි නංගි ලඟට මන්ත්‍රිගෙ ඇස් ඇදුනෙ කාන්දමක් වගේ...නංගිගෙ කෙස් ගහේ ඉඳන් කකුලෙ නියපොත්තට යනකන් ඒ ඇස් දෙක දුවපු හැටි තාරකා බලාගෙන...ඒක නොතේරුන තාරුකාගෙ නංගි හැඬූ කඳුලින් ඈත බලන් හිටිය... තාරුකාට සාප කරනව හැරෙන්න කරන්න දෙයක් තිබුනෙ නෑ...
දවස් තුනක් තිස්සෙ තාරුකා සිරිපාල වටේ දැවටි දැවටි හිටියත් සිරිපාල උන්නෙ කිසිදෙයක් නොතේරුන ගාණට. තුන් වෙනි දවසෙ ගෙදර පිරුනු සෙනග මෙච්චරයි කියල කියන්න බැරි තරමක්. හැමෝම කතා උනේ තාරුකා ගැන. සිරිපාල අන්තිම මොහොතෙ තාරුකාගේ මූණ අතගගා අඬද්දි තාරුකාට තේරුණා තව වැඩි වෙලාවක් නෑ කියල.
තාරුකාගෙ මිනිය උස්සන වෙලාව ආව... ඔව්...තාරුකා හිතපු හැටියටම මන්ත්‍රීත් මිනිය උස්සන වෙලාවට ඇව්ත් හිටියා. තාත්ත ළඟම දැවටි දැව්ටි හිටපු තාරුකාගෙ ආත්මය, මිණී පෙට්ටිය වහල පාංසුකූලෙත් දුන්නට පස්සෙ හෙමින් සැරෙ මන්ත්‍රිගෙ පස්සෙ වැටුනා...
රතනසේකර මන්ත්‍රීතුමා සොහොන් පොළට යන ගමන මඟඇරල ගෝලයො දෙන්නත් එක්ක ආපහු ගෙදරට එන්න පිටත් උනා. රත්නසේකරට තිබ්බ එකම හිතේ අමාරුව තාරුකාගෙ මිනිය ආදාහනයට යවා ගන්න බැරි වෙච්ච එක. අනිත් දේවල් කොහොමින් කොහොමින් හරි වහගන්න ඇමති තුමා උදව් කල බව හැබෑව...මිනිස්සුන්ට සැක ඇතිවෙයි කියල මිනිය භූමදානයට විරුද්ධ වෙන්න එපා කිවෙත් ඇමති තුමාමයි. ඒත් රත්නසේකරගෙ හිතට ඒක බරක්...කවදාහරි මේව ගොඩ ආවොත්...!
රත්නසේකර මන්ත්‍රීතුමා මළගෙදරට ආවෙත් ගෝලයො දෙන්න එක්ක විතරයි. හිතේ තියන බය සැක හෑල්ලු කරගන්න ඕනවටත් වඩා මළගෙදරට උදව් කරත් ඒකත් නරකම නෑ කියල රත්නසේකර මන්ත්‍රිතුමාට හිතුනා. දැනටමත් ගමේ මිනිස්සු තමන්ට සෑහෙන්න හොඳ කියන බව ගෝලයො දෙන්නගෙ කනට වැටිල තිබුනා. හීන් හිනාවකුත් එක්ක වාහනයට නැඟුන මන්ත්‍රීතුමා රියදුරු අසුනෙ හිටපු සේපාලට "යමු එහෙනම්" කියල අතින් සන් කරා. වාහනේ කීප සැරයක්ම පනගන්වන්න උත්සහ කරත් සේපාලට ඒකට සෑහෙන්න මහන්සි වෙන්න උනා. අන්තිමේ ගෝලයො දෙන්න බැහැල ගිහින් පිටිපස්සෙන් තල්ලුවක් දම්මට පස්සෙයි වාහනේ යන්තං අද්දන්න ගත්තෙ... ගිණි කසය වගෙ මළගෙදර එද්දි එළවන් ආපු වාහනේ එක පාරම පණ අදින මනුස්සයෙක් වගේ අද්ද අද්ද යන්න ගත්තෙ මොකද කියල සේපාලට හිතාගන්න බැරිඋනා. මන්ත්රීතුමත් ගෝලයො දෙන්නත් තමනුත් ඉන්න වාහනේ ඇතුලෙ එනකොට තිබුනට වඩා ලොකූ බරක් දාගෙන යනව වගේ සේපාලට දැනුනා... අතේ තියන පෝන් කෑලි වලට ඔලුව ඔබාගෙන හිටපු මන්ත්‍රීතුමාටයි ගෝලයො දෙන්නටයි නම් ඒ ගැන වගේ වගක් තිබුණෙ නෑ.... කොහොමින් කොහොම හරි වාහනේ අරන් ගිය සේපාල මන්ත්‍රී තුමාගේ ගේ ඉස්සරහ මිදුලෙ නැවත්තුවෙ මහාමේරු පර්වතේ ඔලුවෙ තිබිලා බිම තිබ්බ ගානට මහන්සියකින්...
වාහනෙන් බැස්ස රත්නසේකර මන්ත්‍රී තුමා ගේ ඇතුලට යද්දි ගෝලයො දෙන්නයි සේපාලයි ගෙදර ඉස්සරහම කාමරේ හදල තියන කන්තෝරුවට රිංග ගත්තා...
රත්නසේකර මන්ත්‍රි තුමාගේ පිටිපස්සෙම පා වෙලා ගිය හීන් හෙවනැල්ල නම් කාගෙවත් ඇස් වලට අහු වුනේ නෑ...
රත්නසේකර හෙමින් සැරේ නිදන කාමරයට එබිල බැලුවා...මාස පහක බඩක් උස්සගත්තු රත්නසේකරගෙ බිරිය මේධා හිටියෙ තවත් මාස කිහිපයකින් තමන් ලඟට එන්න ඉන්න කිරිකැටියට පුංචි ඇඳුමක් මහන ගමන්. රත්නසේකර දැක්ක ගමන් මේධගෙ මූණ මලක් වගේ පිපුණා. මේ ඔක්කොම රත්නසේකර වටේ පා වෙවී හිටිය තාරුකා බලන් හිටියෙ දරාගන්න බැරි තරහකින්.
ආ ගිය තොරතුරු මළගෙදර විස්තර අහපු මේධා මුළුතැන්ගේ දිහාවට ගියේ රත්නසේකරට තේ එකක් හදන් එන්න කියලා... මේධට තියෙන්න දුර්වල හිතක් කියන එක තාරුකාට දැනුනා ... රත්නසේකර කරපු අපරාධය ගැන මේධා හාංකවිසියක් නොදන්න බවත් තාරුකාට දැනුනා... තාරුකා හීන් සැරේ මේධා පස්සෙ වැටිලා මුළුතැන්ගේ දිහාවට ගියා. ...
අහා...මේධගෙ දුර්වල හිතට යමක් දැනිල ඇති හැඩයි...! මේධා මුළුතැන්ගෙට යන ගමනෙ දෙතුන් වතාවක් පිටිපස්ස හැරිල බැලුවෙ තමන් ළඟ කවුරුන් හරි ඉන්නව වගේ දැනුන හින්දයි...මේධගෙ හිත ටිකක් ගැස්සුනා...තාරුකාට ඒක තේරුණා... මුළුතැන්ගෙට ගිය මේධා තේ එක හදන්න ගත්තේ හිතේ ගැස්මෙන්... තේ එක අතට ගන්න මොහොතෙත් තමන් ලඟ කවුරුහරි ඉන්නව වගේ දැනුන හින්දම මේධා ගැස්සිලා අනික් පැත්තට හැරුනා...ඒත් එක්කම කෝප්පෙ තිබුන තේ එකෙන් ටිකක් බිමට හැලුනත් මේධට ඒ ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබුණෙ නෑ. අමුතු තනියක් මුළු හිතම වෙලා ගන්නකොට හිතට දැනුන බය හින්දම මේධා ඉක්මන් පියවර තිබ්බේ රත්නසේකර හිටපු කාමරේ දිහාවට යන්න...ඒත්...ඒ එක්කම බිම වැටිල තිබුන තේ වතුර ටිකට අඩිය තියවුනු මේධා ලිස්සල ගිහින් වැටුණේ යටිගිරියෙන් කෑගහන ගමන්මයි... මේධගෙ අතේ තිබුන තේ කෝප්පෙ බිමට වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියා...
මේධ ගේ දෙවනත් වෙන්න කෑගහන සද්දෙ ඇහුන රත්නසේකර මුළුතැන්ගෙට දුවගෙන ආවෙ පුදුමාකාර කළබලේකින්..ඒත් එක්කම සේපාලත් ගෝලයො දෙන්නත් දුවගෙන ආව... මේධා වැටිල සිහිනැතිව ඉන්න හැටි දැක්කම රත්නසේකර මන්ත්‍රීතුමාට උන්හිටි තැනුත් අමතක උනා...
කොහොමින් කොහොම හරි ගෝලයො ටිකත් එකතු කරගෙන මේධව අරගෙන පුළුවන් තරම් ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න රත්නසේකර මන්ත්‍රිතුමාට පුළුවන් උනා...රත්නසේකර මන්ත්‍රීතුමා උන්නෙ බයෙන්...මේධගෙ බඩේ ඉන්න දරුවා මතක් වෙන වාරයක් ගානෙ ඇඟම ගිණිගන්නවා වගේ රත්නසේකරට දැනුනා...
රෝහලේ ඇඳක් උඩ මේධ හිටියෙ සිහිය නැතිව... මේධගෙ කොණ්ද බිම ඇනුන වෙලාවෙ ඔලුවත් මේසෙ කොනක මහ හයියෙන් වැදිල තිබුණා...මේධ වටේම දොස්තරල හෙදියො හිටියෙ බොහොම ඉක්මන් ප්‍රථිකාර දෙන ගමන්...දොස්තරලා , හෙදියො ඇරුනම මේධ දිහා බලාගෙන මේධගෙ ඇඳට උඩින් තාරුකත් පා වෙවී හිටියා....සිහිය නැති මේධගෙ ශරීරය ඇඳ උඩ තියෙද්දි මේධගෙ ආත්මයත් ඇඳට උඩින් තමන්ගෙ ශරීරෙ දිහා බලන් ඉන්නව තාරුකා දැක්කා.... ඒත් මේධට තාරුකා පෙනුනෙ නෑ...
තාරුකා බලාගෙන හිටියෙ මේධගෙ කුස දිහා...හරියට යමක් බලාපොරොත්තුවෙන් වගේ.... තවත් මොහොතකින් තාරුකාගෙ බලාපොරොත්තුව ඉටු වෙන ලකුණු පෙනුනා... කුස ඇතුලින් හීන් දුමාරයක් වගේ එළියට එන හැටි තාරුකා බලාගෙන හිටියා... දොස්තරලා තවමත් මෙධට ප්‍රථිකාර කරන ගමන්... මේධා මැරෙන්නේ නෑ...තාරුකාට ඒ බව දැනුනා...
දොස්තරලා තවත් හදිසි ප්‍රථිකාර කරමින් ඉන්න අතරතුරේ තාරුකාට දැනුනා මේධගෙ ආත්මේ ආපහු මේධගෙ ශරීරෙට යන්න සූදානම් කියලා... ඇසිල්ලකින් මේධගෙ ආත්මය ශරීරයට ඇතුල් වෙන මොහොතෙම තාරුකාටත් පුළුවන් උනා මේධගේ කුසට ඇතුල් වෙන්න....
මේධා ආයෙමත් ඇස් දෙක ඇරියා...පරීක්ෂණ කිහිපයකින් පස්සෙ අම්මත් දරුවත් හොඳින් ඉන්නව කියල දැනගත්තම රත්නසේකර මන්ත්‍රීතුමාට ඇතිවුන සතුට මෙච්චරයි කියල කියන්න බැරි තරං. ඒ උනත් මේධට සිද්ද උනා වෙනදටත් වඩා පරිස්සම් වෙන්න. තේ එකක් හදන්න ගිය මේධට කවදවත් නැතිව එදා ඇති වුන තනිය මොකද්ද කියල මේධට වත් හිතාගන්න බැරි උනා. කොහොම නමුත් වෙනදටත් වඩා පරිස්සම් වෙන්න ඕන කියන එක මේධගෙ හිතේ තදින් තැන්පත් උනා.
තමන්ගෙ සැමියා ලඟින් ඉන්නකොට උදරයේ අමුතුම වේදනාවක් එනවා කියලා මේධට දැනෙන්න ගත්තේ ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ආපු දා ඉඳන්මයි...මුලින් මුලින් ඒක නොතේරුණත් දවසක් දෙකක් යනකොට මේධට තේරුණා රත්නසේකර ළඟ ඉන්නකොට දැනෙන වේදනාව රත්නසේකර තමන් ළඟින් ඉවත් වෙන මොහොතෙම නැතිවෙනවා කියලා... දරුවාගෙ දැඟලිල්ලත් ඒ විදිහටම තමන්ගෙ සැමියා ළඟ ඉන්න වෙලාවට වැඩි වෙනව කියලත් මේධට දැනුනා. ඒක මේධගෙ ශරීරයට ගෙනාවෙ අපහසුවක්...මේධා තමන්ටත් නොදැනීම රත්නසේකරගෙන් ඈත් වෙන්න පටන් ගත්තා...එක නිවසේ හිටියත් වෙනදා වගේ බිරිඳ තමන් ළඟ ගැවසෙන්නෙ නෑ කියල රත්නසේකර මන්ත්‍රීතුමාටත් දැනුනා. බඩදරු අම්ම කෙනෙක් නිසා ඒ ගැන අහලා හිත නරක් කරන්නත් රතනසේකරට උවමනා උනේ නෑ...
කාලය ගෙවිල ගියා...මේධාත් රත්නසේකරත් ලස්සන දියණියකගෙ දෙමව්පියො උනා...දියණිය කොයි තරම් හුරතල් වුනත් තමන්ව රුස්සන්නෙ නැති බව රත්නසේකරට බොහොම ඉක්මනට තේරුම් ගියා... දියණියගෙ උපන් වෙලාව බලපු පන්සලේ ලොකු හාමුදුරුවො කිව්ව වගේම දරුව තාත්ත රුස්සන්නෙ නැති කතාව ඇත්ත වුනා. තාත්තට දුවගෙන් අපලයි කියපු කතාව ඇත්ත කරන්න වගේ රත්නසේකරගෙ බලපුළුවන්කාරකම් මන්ත්‍රී ධූරය අහිමි වුනා. ව්‍යාපාරික කටයුතු අඩාල වුනා. පුංචිම කාලෙත් අතට ගන්නකොට යටිගිරියෙන් කෑගහල අඬන සිඟිති දියණිය දිහා රත්නසේකර බලන් හිටියෙ කම්පාවෙන්...මොන දේ උනත් දරුව ගැන තියන ආදරේ නම් රත්නසේකරගෙ හිතෙන් බින්ඳුවක් තරම් අඩු උනේ නෑ. ට්ක ට්ක ලොකු වෙන කොටත් තමන්ව දැක්කම මේධගෙ සායෙ එල්ලිලා බයෙන් බලාගෙන ඉන්න දියණිය දැක්කම රත්නසේකරගේ ලෝකයම කඩා වැටුනා...
පාසල් යන වයසට ආපු පුංචි දියණිය රත්නසේකරට ඒ තරම්ම සමීප නොවුනත් කතා බහ කරන මට්ටමෙන් හිටපු එක රත්නසේකරට සහනයක් වුනා...ඒත් සමහර වෙලවකට අමුතු බැල්මකින් ගිණි පිටවෙන දෑසින් දියණිය තමන් දිහ බලන් ඉන්න විත්තිය රතනසේකට නොතේරුණා නොවෙයි...ටිකෙන් ටික ලොකු වෙන තමන්ගෙ දියණිය දැක්කම හුරු පුරුදු රූපයක් මතකෙට එන බවක් රත්නසේකරට දැනෙන්න ගත්තා... ඒත් ගොඩ ගැහිල තියන වැඩ කටයුතු අස්සෙ ඒ කාගෙ රූපෙද කියල.මතක් කර කර ඉන්න රතනසේකරට වෙලාවක් තිබ්බෙ නෑ...
රත්නසේකරගෙ ඉහ මොළ රත් වෙන්න පටන් ගත්තේ දියණිය හය වෙනි වසරෙ ඉන්නකොට පන්තියෙ යෙහෙළියක් එක්ක කතා කරන දේවල් ගුරුතුමියට ඇහිලා ගුරුතුමිය ගෙදරටම ඇවිත් ඒ ගැන කියපු දවසෙ...
" රත්නසේකර මහත්තයයි නෝනයි දරුව ගැන ටිකක් අවධානෙන් ඉන්න... අමුතු දේවල් කතා කරන්නෙ මේ දරුවා...මම දරුවට නෙල්කා කියල කතා කරත් එයා කියනවා එයාගෙ නම තාරුකා කියලා..."
තාරුකා කියන නම කාගෙද කියල රතනසේකරට අමතක නොවුනෙ සිරිපාලගෙ දුවගෙ අවමංගල්ලෙට මරණ දැන්වීම් ටික ගහල ගිහින් දුන්නෙත් තමන් නිසා. රත්නසේකරට මේ වෙන දේවල් ගැන ඇති වුනේ පුදුමාකාර බයක්... තමන්ගෙ දුව කොහොමද තාරුකා ගැන දන්නෙ...! මේධගෙ මතකෙ නම් තාරුකා ගැන නොතිබුනේ මළගෙදරට වත් සහභාගි වුනේ නැති හන්දා... ඒත් මේ දරුව කියවන දේවල් වල අගක් මුලක් තේරුම් ගන්න බැරිව මේධත් හිටියේ හිතේ බයෙන්...
කෝකටත් කියල දුව වත් අඬගහගෙන මේධා පනසලේ ලොකු හාමුදුරුවො මුණගැහෙන්න ගියේ රත්නසේකරට වත් නොකියා. කඩන් වැටුන ව්‍යාපාරය ගැන වෙහෙසෙන තමන්ගෙ සැමියට දරුවගෙ ප්‍රශ්නත් කියලා ඔලුව අවුල් කරවන්න මේධට ඕන උනේ නැහැ...
පන්සලේ ලොකු හාමුදුරුවො ඉස්සරහ තමන්ගෙ දුව කියපු දේවල් මේධා අහගෙන හිටියෙ හීනෙන් වගේ... සිරිපාලගෙ දරුවා...! තාරුකා තමන්ගෙ සැම්යා අතින් දූෂණය උන හැටි .... ඉස්කෝලෙ ඇරිල ගෙදර එන හවසක රත්නසේකරගෙ ගෝලයො දෙන්න ඇවිත් පාළු තැනකදි වාහනේකට දාගෙන ඇදගෙන ගිය හැටි... රත්නසේකරගෙ තේ වත්තෙ තියෙන පුංචි ගේ කැල්ල ඇතුලෙ තමන්ව දූෂණය කරපු හැටි...ඒ දේවල් දරාගන්න බැරිව එතැනම තාරුකා මියගිය හැටි...ඒ විතරක් නෙවෙයි...මියගිය තාරුකාගේ මිනිය හෝදල මහ රෑ පාළු පාර අයිනට ගෙනත් දාල ගිය හැටි පවා නෙල්කා හඬමින් වැලපෙමින් කියාගෙන ගියේ මේධගෙ හුස්ම හිරවෙලා වගේ යද්දි...
පන්සලේ ලොකු හාමුදුරුවො දරුවව පැත්තකට යවලා මේධට ගොඩක් දේවල් පැහැදිලි කරල දුන්නත් තමන්ගෙ සැමියා ගැන ඇති වෙච්ච පිළිකුල හිතෙන් අයින් කරල දාන්න මේධට පුළුවන් උනේ නෑ... නෙල්කා විදිහට තමන් ළඟට ඇවිත් තියෙන්නෙ තාරුකා කියල දැනගත්තු මේධට අතීත සිදුවීම් එකින් එක පැහැදිළි වෙන්න ගත්තා... කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තාරුකාගෙ මිනිය වළලපු හැටි...තමන්ගෙ සැමියා මළගෙදරට අත දිග හැරල වියදම් කරපු හැටි...උදව් කරපු හැටි... ඒ ව්තරක්ද...! මිනිය වලදාපු දා තමන් එළොව ගිහින් මෙළොව ආපු හැටි...ඉන් පස්සෙ රතන්සේකර ළඟට එද්දිත් තමන්ගෙ කුසට දැනුන අමාරුකම්...මේ ඔක්කොම එකට ගළපගන්න මේධට අමාරු උනේ නෑ...
ලොකු හාමුදුරුවන්ගෙ අවවාද අනුශාසනා ගඟට කැපූ ඉනි වගේ වෙද්දි මේධා එදා පන්සලේ ඉඳන් දරුවත් එක්ක ගෙදර ගියේ යක්ශාවේස වෙලා.
හවස් යාමෙ ගෙදරට ගොඩ වැදුන රත්නසේකරත් එක්ක මේධා ඇතිකරගත්තෙ සුළුපටු රණ්ඩුවක් නෙවෙයි...තමන් හංගන් හිටපු හැම රහසක්ම තාරුකා තමන්ගෙ දරුවා වෙලා ඇවිත් එළිකරලා කියල දැනගත්තම රත්නසේකරට ඇතිවුනේ අප්‍රමාණ භීතියක්...හඬා වැළපෙමින් සාප කරමින් මේධා රත්නසේකරට බැන වදින හැටි කාමරේ දොර රෙද්ද අස්සෙන් බලාගෙන හිටපු නෙල්කගෙ ඇස් දෙක ප්‍රීතියෙන් දීප්තිමත් වුනා...
රත්නසේකර කන්තෝරු කාමරේට වැදිල දොර වහගත්තෙ මේ පාපයෙන් ගැළවෙන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිව. අඬා වැළපුන මේධත් නිරාහාරවම නින්දට වැටුනෙ නෙල්කාවත් තුරුළු කරගෙන...
පහුවදා පාන්දරින්ම මේධා ඇඳෙන් නැගිට්ටෙ තීරණයක් අරගෙන. රත්නසේකරත් එක්ක තව දුරටත් පවුල් ජීවිතයක් ගත කරන ආසාවක් මේධගෙ හිතේ කොනක වත් තිබුණෙ නෑ... දරුවවත් අරගෙන දෙමව්පියන්ගෙ ගෙදරට යන්න මේධා තීරණයක් අරන් තිබුණා. රත්නසේකර තවමත් කන්තෝරු කාමරයෙන් එළියට ඇව්ල්ල නැති බව තේරුණත් ඒ ගැන නොහිතම මේධා දරුවත් ලැහැස්ති කරගෙන තමනුත් ලැහැස්ති උනා... රත්නසේකරගෙ මූණ බලන්නවත් අකමැති උනත් ගෙදරින් එළියට බහින්න කලින් මේ යන ගමන ගැන නොකිය යන්න මේධට හිත දුන්නෙ නෑ...
කන්තෝරු කාමරේ දොරට තට්ටු කර කර කීප වතාවක් කතා කලත් කාමරේ ඇතුළෙන් සද්දයක් නැති තැන මේධට දැනුනෙ බයක්...අතපය වෙව්ලද්දි අහල පහල ගෙවල් වලට දුවල ගිය මේධා අසල්වැසියො කීපදෙනෙක් එක්ක ආවෙ හිතේ සැකේට...
අහල පහල කීපදෙනෙක් එකතුවෙලා කන්තෝරු කාමරේ දොර කඩල ඇතුලට යනකොට දැකපු දෙයින් මේධට කෑගැස්සුනා. කන්තෝරු කාමරේ තිබ්බ කඹේකින් රත්නසේකර එල්ලිලා මැරිලා තිබුනා... දියණිය ගැනවත් වගේ වගක් නැතිව හිටි මේධා සිහි විකලෙන් වගේ කෑගැහුවා. අහල පහල මිනිස්සුත් වටවෙලා ඉද්දි අම්මගෙ අඬන සද්දෙටයි වෙලා තියෙන්නෙ මොනවද බලන්නයි කන්තෝරු කාමරේට ආපු පුංච් නෙල්කාට කාමරේ තිබුණ දර්ශනේ දරාගන්න අමාරු වෙලා සිහි නැතිවෙලා වැටුනම තමයි මේධට දරුව ගැන මතක් වුනේ..
රත්නසේකරගෙ මෘත දේහය මිහිදන් කරන දවස වෙනතෙක්ම සිහිය ආවෙ නැති නෙල්කා ඉස්පිරිතාලෙ ඇඳක් උඩ වැටිලා හිටියා... මළගෙදර වැඩකටයුතු හින්දා නෙල්කා ළඟ තනි රැක්කෙ මේධගෙ අම්මා. රත්නසේකරගෙ දේහය මිහිදන් කරල ඉවරවෙනකොටම සිහිය ලබපු නෙල්කා ඇස් දෙක ඇරියෙ කවදාවත් නොවුන තරම් ප්රබෝධයකින්... කිසිම රෝග ලක්ෂනයක් නැති හින්දා එදා හවසම නිවසට එක්කාගෙන ආපු නෙල්කා කිසිම දෙයක් නොවුන ගාණට දුව පැන ඇවිද්දා... ගෙදරට රැස්වෙලා හිටපු සෙනඟත් ටිකෙන් ටික පිට වෙලා ගියේ රත්නසේකරගෙ මරණය ගැන කුටු කුටු ගාන ගමන්මයි...
රත්නසේකරගෙ මරණයත් එක්කම නෙල්කගෙ හිතෙන් තාරුකාගෙ මතක අයින් වෙලා ගිහින් තිබුණා. ප්‍රාණය නිරුද්ධ වෙච්ච වෙලාවෙ ඉඳන්ම නෙල්කා වටේ කැරකි කැරකි හිටපු රත්නසේකරගෙ ආත්මය නෙල්කා සිහිය ඇවිත් ගෙදරට එනකන්ම නෙල්කා පස්සෙ වැටිලා හිටියා... නෙල්කගෙ රූපයෙන් පේන තාරුකාගෙ හැඩ රුව දිහා රත්නසේකරගේ ආත්මය පවා බලන් හිටියෙ බියපත් වෙලා...
දවස් ගාණකින් දැක්කෙ නැති තමන්ගෙ සුරතලා වෙච්ච ලැසී බලන්න පුංචි නෙල්කා ගේ පිටිපස්සට ගියේ බත් පිඟානකුත් අරගෙන. ගැබ්බර වෙලා හිටපු ලැසී කෑමත් අරන් එන නෙල්කා දැක්කම සතුටින් උඩ පැන්නා... නෙල්කා වටේ පා වෙවී ආපු රත්නසේකරගෙ ආත්මයට තමන් හීන් සැරේ ගැබ්බර වෙලා හිටපු ලැසීගෙ කුසට ඇදිල යනව වගේ දැනුනත් ඒක නවත්තගන්න බැරි උනා....
ලැසීට කෑම දීපු නෙල්කා ආදරෙන් ලැසීගෙ ඔලුව අතගෑවා.
"ලැසී මට ඔයා වගේම ලස්සන පැටව් ටිකක් ඕන හොඳද...?"
ආදරෙන් කියපු නෙල්කා හිනාවෙවීම ගේ දිහාවට ගියා.
නිමි.
පුෂ්පිකා විජේරත්න.