- Details
දරු සිහිනය.
සෑම දිනෙක මෙන්ම කාර්යාලයේ වැඩ ආරම්භ කර තවත් විනාඩි දහයක් පමණ ගත වූ පසු සුජාතා ලහි ලහියේ කාර්යාලයට පැමිණියාය. අපිළිවෙලට හැඳ උන් සාරියේ පොටින් පවන් සලමින් වහා තම ආසනය වෙත පැමිණ බෑගය පසෙක තැබූ සුජාතා තම කාර්යාලීය මිතුරිය වූ නිර්මලාට සුබ උදෑසනක් පැතුවාය. නිර්මලා තම මිතුරියට පෙරලා සුබ පැතුවේ සිනහවකින් යුතුවය.
" මොකද සුජාතා අදත් බස් එක අල්ල ගන්න බැරි උනාද.."
සිනහවෙන් යුතුවම නිර්මලා විමසුවාය.
" අයියෝ කියල වැඩක් නෑ. කොහෙද අනේ බබා අඬන්න ගත්තනෙ මම එන්න හදද්දිම. මට තරහ ගිය පාර ගුට්යකුත් දීල අම්ම අතට දීල ආවෙ..."
ලිපිගොනුවක් හදිසියෙන් මෙන් පෙරළා බලන අතරතුර සුජාතා නොඉවසිල්ලෙන් කීවාය.
සුජාතාගේ එවදන් වලට නිර්මලාගේ සිතට දුකක් ඇතිවන්නට විය. විවාහ වී තුන් අවුරුද්දක් ගත වීත් තවමත් දරු සුරතල් බලන්නට නොහැකි වූවත් නිර්මලා දරුවන්ට බෙහෙවින් ආදරය කලාය.
" ඇයි අනේ ගැහුවෙ...පව් පොඩි එකා...තේරෙන්නෙ නෑනෙ ඒ දරුවට..."
නිර්මලා ලිපිගොනුවකට මුහුණ ඔබා ගන්නා අතරතුර දුකින් පැවසුවාය. සුජාතාගේ මුවේ ඇඳී ගියේ සෝපාහාස සිනහවකි.
" අනේ අනේ ඔයත් එක්ක එව්ව කතා කරල වැඩක් නෑ... පුදුම වදයක් දෙන්නෙ මහන්සි වෙලා ගිය වෙලේ ඉඳන්. ඔයාටත් තේරෙයි දරුවෙක් හිටියනම්..."
එවර සුජාතාගේ වදන් වලින් නිර්මලාගේ මුහුණ අඳුරු විය. ලිපිගොනුවට නෙත් යොමා සිටි බැවින් නිර්මලාගේ මුහුණේ ඇති වූ වෙනස සුජාතාගේ ඇස ගැටුනේ නැත.
මෙලෙස සෑම දිනකම කුමක් හෝ කතාවක අවසානයේදී නිර්මලාට දරුවන් නොමැති වීම ගැන පවසා ඇගේ සිත රිදෙන වදනක් සුජාතාගේ මුවින් පිටවීම අනිවාර්යෙන් සිදු වූවකි. එවන් අවස්ථාවකදී නිර්මලා එතැනින් එහාට කතාව දුරදිග නොයවා අවසන් කලත් සිතට දැනෙන පීඩාව මෙතැකැයි කියා නිමකල නොහැකි තරම් විය. කාර්යාලයේ යාබදව රාජකාරී කල බැවින් නිර්මලාත් සුජාතාත් මිතුරු වූවා විනා දෙදෙනාගේ ගති පැවතුම් බොහෝ සේ පරස්පර විය. නිර්මලා බොහෝ අහිංසක ගති පැවතුම් වලින් යුතු අන් අයගේ සිත නොරිදෙන සේ වැඩ කරන්නියක වූ අතර සුජාතා නිතර කෝප ගන්නා කිසිදු වැඩක පිළිවෙලක් නැති ගුප්ත හැසිරීම් සහිත කාන්තාවක වූවාය. බොහෝ සේ ඉවසන නිහඬ ගති පැවතුම් ඇති නිසාම නිර්මලාට සුජාතාගේ ගතිගුණ ඉවසා දරා ගන්නට හැකියාව ලැබී තිබිණි. එහෙත් දරුවන් සම්බන්ධ කරුණු කාරනා වලදී සුජාතාගේ වදන් වලින් නිර්මලාගේ සිත රිදී බිඳී ගිය අවස්ථා එමටය.
දරුවන් නොමැති වුවද නිර්මලා හෝ ඇගේ සැමියා ඒ ගැනම සිතමින් තම ජිවිතය අවුල් කරගන්නට සිතුවේ නැත. එහෙත් තුන් අවුරුද්දක් වීත් දරුවෙක් ලබා ගැනීම සඳහා ඔවුන් ගන්නා උත්සාහයේද අඩුවක් වූයේ නැත. ඒ සඳහා ප්‍රථිකර්ම සිදු කරන අතරතුර නිර්මලාත් සැමියාත් තම ජීවිතය නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් උන්හ. සති අන්තයේ චාරිකා,උත්සව, සාද කිසිවක් මඟ නොහැරගත් ඔවුන් දෙදෙනා ජීවත් වන සැම මොහොතක්ම ප්‍රීතියෙන් ගත කරන්නට වූහ.
නිර්මලාටත් පසුව විවාහ වී මේ වන විට දෑ අවුරුද්දක සිඟිති දියණියකගේ මවක් වූ සුජාතාට නිර්මලා ගෙවන ජීවිතය පිළිබඳව වූයේ සියුම් ඊර්ෂ්‍යාවකි. නිර්මලා තම සැමියා සමඟ ගෙවන නිදහස් සාමකාමී දිවියත් තමා විවාහ වී දරුවෙක් ලැබ නිවසින් කාර්යාලයටත් කාර්යාලයෙන් නිවසටත් මාරු වෙමින් ගෙවනා ඒකාකාරි දිවියත් සිතින් සංසන්දනය කරමින් සුජාතා සෑම විටම දුක් වූවාය.
" නිර්මලාට දරුවො නැතිවටත් වඩා හදාගන්න උවමනාවක් නැති කම තියෙන්නෙ. ඇයි ඉතින් එතකොට ඔහොම ජොලි කරන්න හම්බෙන්නෙ නෑනෙ. සමහර විට දරුවෙක් හම්බුනාම ලස්සනට තියන ඇඟ මහත් වෙලා කැත වෙයි කියල බයේ ඇති..."
නිර්මලා නැති මොහොතක සුජාතා කාර්යාලයේ අනෙකුත් මිතුරියන් සමඟ එවැනි වදන් පවසන්නේ තමාට වත් දරා ගත නොහැකි තරමට මහත් වී ඇති තම ශරීරය ගැන ඇති කරගත් කෝප සිතිනි. කාර්යාලයේ අනිකුත් මිතුරියෝ ප්‍රතිඋත්තර බඳින්නට නොගියත් සුජාතාට නොපෙනෙන ලෙස ඉඟි කර ගත්තේ ඇගේ ස්භාවය මැනවින් හඳුනන බැවිනි.
එතරම් සාමාකාමි නොවූ පවුල් ජීවිතයක් ගත කරන සුජාතා ඒ පිළිබඳව වැඩිපුර කාර්යාලීය මිතුරු මිතුරියන් සමඟ කතා නොකලත් ඇගේ සැමියා ඇය පිළිබඳව මහත් සැකයකින් කල් ගෙවන්නෙක් බව කාර්යාලයේ වූවන්ට රහසක් නොවූයේ සුජාතාගෙ සැමියා නිතර නිතර සේවාස්ථානයට පැමිණ ඇය කාර්යාලයේ රැඳී සිටින්නෙදැයි ව්පරම් කොට යන බැවිනි. ඇතැම් අවස්ථාවල සිය සැමියා කාර්යාලයට පැමිණීම නිසා උරන වන සුජාතා සැමියා පසෙකට කැඳවාගෙන ගොස් බැනවදින අන්දම පවා කාර්යාලයේ අනෙකුත් අයට රහසක් නොවීය. නිර්මලා අන් අය සමඟ ඕපාදූප කතාවෙහි එතරම් ප්‍රිය නොවූ නමුත් අන් අයගේ කතාබහ කන වැකීමෙන් සුජාතාගේ පවුල් අර්බුදය ගැන තරමක් දුරට දැන උන්නාය.
එක් දිනෙක තරමක අසනීප ස්භාවයෙන් කාර්යාලයට පැමිණි සුජාතා කලබලයෙන් මෙන්ම කල්පනා සහගතව කල් ගෙව්වාය. සානුකම්පිත සිත් ඇති නිර්මලා කිහිප විටක්ම සුජාතාගේ සුවදුක් විමසමින් ඇය සැනසීමට උත්සාහ කලද සුජාතාගෙන් ඊට එතරම් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. උදෑසන දහය හමාර පමණ වන විට තමාගේ අසනීප ගතිය වැඩි බව පැවසූ සුජාතා නිවාඩු දමා කාර්යාලයෙන් පිටත්ව ගියේ තමාගේ වැඩ කොටසද නිර්මලාට පවරමිනි. සුජාතා පිටව ගොස් තවත් පැයකින් පමණ ඇගේ සැමියා ඇය සොයා කාර්යාලයට පැම්ණියේය. සුජාතා මීට පැයකට පමණ පෙර අසනීප තත්වයක් හේතුවෙන් නිවාඩු ලබා ගෙන නිවසට පිටවී ගිය බව පිළිගැනීමේ නිළධාරිණියගෙන් දැනගත් ඔහු කෝපයෙන් දත්මිටිකන්නට විය.
" මං දැනගත්ත , මං දැනගත්ත..කවදහරි අතට අහුවෙනකල් තමා මම හිටියෙ...! අද බලාගමුකො..!"
සුජාතාගේ සැමියා කෝපයෙන් තමාටම පවසාගත් වදන් අසල උන් කාර්යාලයේ කිහිපදෙනෙකුගේද සවනට වැකුන මුත් ඔවුන් සියලු දෙනා මුහුණට මුහුණ බලා ගනිමින් නිහඬවම පසු වූහ. කෝපයෙන් මුමුණමින් උන් සුජාතාගේ සැමියා කාර්යාලයේ සේවකයන් දෙසටද රකුසු බැල්මක් හෙලමින් සැනෙකින් පිටවී ගියේය. එදින කාර්යාලයේ කතාබහට ලක්වුනු මාතෘකාව වූයේ එම සිද්ධියයි. යම් යම් අනුමාන කරමින් සුජාතාට කුමක් වන්නට ඇත්දැයි කාර්යාලයේ සියලු දෙනා කුටුකුටු ගෑවත් නිර්මලා ඔවුන් කියනා දේවල් අසා සිටියා මිස අදහස් දක්වන්නට නොගියාය.
තව දෙදිනක් ගත වුවද සුජාතා කාර්යාලයට පැමිණියේ නැත. කෙතරම් වැරදි අඩුපාඩු තිබුණත් තමා සමඟ එකට රාජකාරි කරන මිතුරියට කිසියම් කරදරයක් වී ඇත්දැයි දුක් වූ නිර්මලා දුරකතනයෙන් සුජාතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලත් සුජාතාගේ දුරකතනය විසන්ධි කර තිබූ නිසා එම උත්සහය ව්‍යර්ථ විය.
ඊළඟ දිනයේ කාර්යාලයට පැමිණි සුජාතා හදිසියේම තම අස්වීමේ ලිපිය කළමණාකරුට බාර දී පිට වී ගියේ තමා සමඟ සේවය කළ කිසිවකුගෙන් හෝ සමුගැනීමකින් හෝ තොරවය. කාර්යාලයේ කිහිප දෙනෙක් නිර්මලාගෙන් ඒ පිළිබඳව විමසා සිටියද සුජාතා හදිසියේ ගත් තීරණය පිළිබඳව කිසිවක් නොදැන උන් නිර්මලාද සිටියේ සිදු වූ දෙය පිළිබඳව අදහාගැනීමට වත් නොහැකි ලෙසය. දින කිහිපයක් යන තුරු සුජාතාට සිදු වූයේ කුමක්ද යන්න කාර්යාලයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබිණි. කනින් කොනින් පැමිණි ආරංචි වලට අනුව සුජාතා ඇතුලු පවුලේ සියලු දෙනා පදිංචි වී සිටි නිවසද අතහැර ගොස් තිබිණි. තම මිතුරියට සිදු වූයේ කුමක්දැයි කනස්සල්ලෙන් පසු වූ නිර්මලාටද එම ආරංචියෙන් සෑහීමට පත් වන්නට සිදු විය.
කාලය ගත විය .සුජාතා පිළිබඳව මතකයද කාර්යාලයේ සියලු දෙනාගේ සිතින් මැකී යන්නට විය. නිර්මලාද සුජාතාගේ අඩුව පුරවන්නට පැමිණි නව මිතුරිය සමඟ සහයෝගයෙන් කල් ගෙව්වාය . තවත් අවුරුද්දක් පමණ ගත විය . එහෙත් තවමත් ඇයට දරුවන් නොලැබීම පිළිබඳ ප්රශ්නය නිමක් වී තිබුනේ නැත. අවසන නිර්මලා තම සැමියා සමඟ තීරණයකට පැමිණියාය. දුර බැහැර ප්‍රදේශයක වන ළමා නිවාසයකින් අළුත උපන් බිළින්ඳෙක් දරුකමට හදා වඩා ගන්නට දෙදෙනා එක්ව තීරණය කරන ලදි. නිර්මලාගේ හෝ සැමියාගේ නිවසේ කිසිවකුගෙන් ඊට බාධාවක් සිදුවූයේද නැත. අවසන සියල්ලන්ගේම ආශිර්වාදය මත බිලිඳු දියණියකගේ මව්පියන් වන්නට ඔවුන්ට වාසනාව ලැබුණි.
අලුත උපන් දියණියකගේ මවක් වූ පසුව වත් නිර්මලාගේ දින චර්යාව වෙනසක් වූයේ නැත. දියණියගේ කටයුතු නොපිරිහෙලා ඉටු කරන ඈ පෙර සේම පිළිවෙලට ඇන්ඳාය,පැළැන්දාය. කිසි දිනෙක පමා වී රාජකාරියට වාර්ථා නොකලාය. උදෑසන සියලු වැඩකටයුතු අවසන් කර සුරතල් දියණිය තම මවට භාර කරන නිර්මලා විටෙක මව ඉල්ලා හඬන දියණියගෙන් සමුගන්නේ දුක්බර සිතිනි. එවන් අවස්ථාවලදී කලෙකට ඉහත තම මිතුරිය වූ සුජාතා කියූ දෑ නිර්මලාගේ මතකයට පැමිණෙයි. මව ඉල්ලා හඬන දැරුවාට සුජාතා විසින් පහරක් ගසා තවත් අඬවන්නට හිත හදාගත්තේ කෙසේදැයි නිර්මලාට තවමත් සිතාගන්නට නොහැකි විය. නිර්මලා සැබෑම මවක වූවාය. දරුවෙක් ගෙන එන්නට ළමා නිවාසයට ගිය දා දුටු පමණින්ම හිත ඇද බැඳ ගත් සිඟිති දියණිය කෙරේ ඈ තම ආත්මයෙන්ම බැඳී උන්නාය. ඇගේ සැමියා මෙන්ම පවුලේ අනෙකුත් අයද එළෙසින්ම දියණියට ආදරය කළහ.
කාලය ගත විය. කාලයත් සමඟම නිර්මලාගේ දියණිය වූ දිනූශා සුන්දර තරුණියක බවට පත් වී සිටියාය. තැනින් තැන සුදු පැහැයට හැරුනු කෙස් රොදවල් යන්තමින් රැලි වැටුනු සම නිර්මලාගේ වයස පෙන්නුම් කලත් තරුණ අවදියේ වූ පිළිවෙල කාර්ය්යශූරත්වය තැන්පත් කම මඳකුදු ඇගෙන් පහව ගොස් තිබුනේ නැත . දිනූශා පවුලේ සැමගේ සිත් දිනාගත් දක්ශ හුරුබුහුටි දියණියක වූවාය. කිසිදා නොබිඳිය හැකි බැඳීමකින් ඇය මව සමඟ බැඳී උන්නාය.
කාලයාගේ ඇවෑමෙන් සුජාතා තම සැමියාත් සමඟ නැවතත් ගමෙහි පදිංචියට පැමිණියාය. මව්පියන්ගේ ඇවෑමෙන් හිස් වූ මහගෙදර පදිංචි වූ සුජාතා ගමෙන් පිට වී ගිය පසු රැකියාවක් නොකළද මේ වන විට වයසටත් වඩා දුබල වී උන්නාය. රැකියාවෙන් විශ්‍රාම ගිය සැමියා නිතර නිවසේ රැඳී සිටියද දෙදෙනා ජීවත් වූයේ අමුත්තන් පරිදිය. නැවත ගමට පැමිණියත් සුජාතාගෙ සිතට නිවනක් ලැබුනේ නැත. අඩු වයසින්ම හිතූ මනාපයට කසාදයක් කර ගත් දියණිය දෙවසරක් ගත වීත් දරුවන් නොමැතිව අසරණ වී ඇත. සැමියාගේ නිවසේ අයගෙන් අසන්නට ලැබෙන සිත රිදවන වදන් නිසා කිහිප වාරයක්ම ඇය එම නිවස අත්හැර මව්පියන් වෙතට පැමිණියාය. සුජාතා දියණියගේ පවුල රැකගැනීම සඳහා කල හැකි සෑම දෙයක්ම ඉටු කලාය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම දේශිය වෛද්‍ය ප්රතිකාරද ලබා ගත්තත් තවමත් වෙනසක් සිදු වී නැත. සුජාතා දේවාල පන්සල් ගානේ ගොස් වූ බාර හාර මෙතැකැයි කියා නිමකල නොහැකි තරම්ය. නැවත ගමට පදිංචියට පැමිණීමත් සමඟ දියණිය පිළිබඳව සොයා බැලීමට හැකි වූයේද දුරකතන මාර්ගයෙන් පමණි. දුරකතන ඇමතුමක් ගන්නා සෑම වතාවකදීම දියණිය හැඬූ කඳුලින් පවසන සියල්ල සුජාතා අසා සිටින්නේ දැවෙන හදිනි. එවන් මොහොතක අතීතයේ තම කාර්යාලයේ සේවය කල මිතුරිය වූ නිර්මලා සුජාතාගේ මතකයට නැගෙයි. සුන්දර සිනහවකින් නිතර වත සරසා ගෙන සිටියත් නිර්මලාගේ සිතෙහිද මෙවැනිම ගින්නක් ඇවිලෙන්නට ඇතැයි සුජාතාට දැන් සිතෙයි. සිත රිදෙන බව දැන දැනත් තමා විසින් නිර්මලා රිදවූ අන්දම සිහිපත් වන විට සුජාතාගේ සිත තමා පිළිබඳවම කළකිරීමට පත්වෙයි.
ගමේ පදිංචියට පැමිණ ටික දිනකින් සුජාතා නගරයට ගියේ නිවසට අවැසි බඩු මුට්ටු කිහිපයක් මිලදී ගැනීමට ඇති උවමනාව නිසාවෙනි. සාප්පු සංකීර්ණයේ ඇවිදිමින් අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලට ගත් සුජාතා ඉන් පිටවූයේ වෙනත් සාප්පුවකට යෑම සඳාහාය. සාප්පුවෙන් පිට වී මඟට බසින සුජාතාගේ ඇස ගැටුනේ හුරු පුරුදු රුවකි. කාලයත් සමඟම රූපයෙහි යම් යම් වෙනස්කම් සිදුවී තිබුනත් පැත්තකට හැරී සිටින නිර්මලා හඳුනා ගැනීමට සුජාතාට අපහසු නොවීය. ඇගේ පැසෙකින් අතක එල්ලී සුන්දර තරුණියකි. සුජාතාට ඒ තරුණිය හරි හැටි දැකගන්නට නොහැකි විය.
" දෙය්යනේ... නිර්මලාට දුවක්...! පේන හැට්යට ඒ වගේ තමා.. හ්ම්ම්ම්....මං ඔෆිස් එකෙන් ගිය කාලෙදිම වගේ දරුවෙක් ලැබෙන්න ඇති..අනේ වාසනාවන්.."
සුජාතා තනිව සිතමින් නිර්මලාත් ඇගේ දියණියත්, දියණියගේ යහළුවෙකැයි කිව හැකි තරුණියක සමඟ කතා කරමින් සිටින අයුරු බලා උන්නාය. හදිසියේ මතු වූ සිතුවිල්ලක් සමඟම සුජාතාට නිර්මලා සමඟ කතා කල යුතු යැයි හැඟිනි. එහෙත් ඒ වන විට සුජාතා ප්‍රමාද වූවා වැඩිය. කතා කරමින් උන් තරුණියගෙන් සමුගත් නිර්මලා තම දියණිය සමඟ මෝටර් රථයට ගොඩ වූවාය. සුජාතාට සුසුමක් හෙලිනි.
එදින සුජාතා නිවසට පැමිණියේ කල්පනා සහගතවය. තමා කන්තෝරුවෙන් හදිසියේ ඉවත් වන විටත් නිර්මලා විවාහ වී තුන් අවුරුද්දක් පමණ ගත වී තිබිනි. නිර්මලා දරුවෙක් ලබා ගැනීම වෙනුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගත් අයුරු සුජාතාගේ සිහියට නැඟුනි. ඈ හමුවුව හොත් තම දියණියගේ ගැටළුවටද පිළිතුරක් ලබා ගත හැකි වේයැයි සුජාතාගේ සිත කියන්නට විය. තවමත් ඔවුන් පෙර විසූ නිවසේම පදිංචි වී ඇති බවට සැකයක් නැත. හැකි ඉක්මනින් නිර්මලා හමුවට යා යුතු යැයි සුජාතා තීරණයකට එළඹියාය.
ඊළඟ සතියේ ඉරිදා දිනයේ නිර්මලාගේ නිවසට යාමට සුජාතා සූදානම් වූයේ බලාපොරොත්තු සහගත සිතිනි. කාර්යාලයේ සේවය කරන කාලයේ කිහිප වතාවක් නිර්මලාගේ නිවසට ගොස් තිබූ බැවින් සුජාතාට නිවසට යන පාර හොඳින් මතකයේ රැඳී තිබුනි. එහෙත් නිවස අසලටම පැමිණි පසු සුජාතාට ඇති වූයේ විමතියකි. ඒ කාලයේ එක් මහලක් පමණක් සාදා තිබූ නිවස දැන් තෙමහල් මන්දීරයක් බවට පත් වී ඇත. ගේට්ටුවෙන් ඇතුලු වූ සුජාතාට නිර්මලා වෙත මුහුණ දෙන්නට අපහසු බවක් දැනුනි. එහෙත් ගෙඋයන පිටුපස සිට පුදුමයෙන් දෙනෙත් ලොකු කරගනිමින් තමා වෙත එන නිර්මලා දුටු සුජාතා එතැනම ගල් ගැසී ඈ දෙස බලා උන්නාය.
" දෙයියනේ....මේ සුජාතා නේද...කොච්චර කාලෙකින්ද... මට හරිම සතුටුයි සුජාතා..මං කොච්චර ඒ දවස් වල ට්‍රයි කරාද ඔයාව හොයන්න.."
තම මිතුරියගේ උණුසුම් පිළිගැනීම සුජාතාගේ දෙනෙත් තෙත් කරවන්නට සමත් විය. එකල තමා කොතරම් ඇගේ සිත රිදවූවත් ඇය තුල වූ මිත්‍රශීලී භාවයේ අඩුවක් නම් නැත. ආගිය තොරතුරු විමසමින් නිර්මලා තම මිතුරියව නිවසට කැඳවාගෙන ගියාය.
" ඉතින් සුජාතා... ඔයා හිටිහැටියෙම අස්වෙලා ගියා. අපිට ආරංචි උනා ඔයාල ගෙවල් අතැරලා ගිහින් කියලා..මොකද උනේ ඉතින්..අයෙමත් මෙහෙ ආවද..?"
නිර්මලාගේ පැනයෙන් සුජාතා බෙහෙවින් අපහසුතාවට ලක් වූවාය. සිදු වූ දෙය නිර්මලාගේ මුහුණ දෙස බලා කියන්නේ කෙසේද. ඒ සියල්ලට වැරදිකාරිය තමාමය.
" ආ...මේ...මහත්තයට මාරුවක් ලැබුනනේ...මං ආය ජොබ් කරෙත් නෑ..දුව බලාගෙන ගෙදරම හිට්යෙ. අනුරාධපුරේ ගෙවල් අරන් පදිංචි උනා. මහත්තයගෙ අම්මල නැති උන හින්ද අපි ආපහු මහගෙදර පදිංචියට ආව.."
සුජාතා හදිසියේ ගොතා ගත් බොරුව තතනමින් සුජාතාට කීවත් සුජාතා කිසිවක් සඟවමින් කතා කරන බව තේරුම් ගන්නට නිර්මලාට අපහසු නොවීය. ඒ පිළිබඳව හාරා ඇවිස්සීමට නොගිය නිර්මලා වෙනත් ආගිය තොරතුරු කතා කරන්නට පටන් ගත්තාය. සුජාතාද කතාබහ අතරතුර තමා පැමිණි කාරණය නිර්මලා ඉදිරියේ දිග හරින්නට වූවාය.
" ඇත්තටම නිර්මලා මම ඔයාව හොයන් ආවෙ ලොකූ උදව්වක් බලාපොරොත්තුවෙන්.."
"අනේ...ඒ මොකද්ද සුජාතා...මට පුළුවන් ඕන උදව්වක් මම කරන්නම්.."
"මම ගිය සතියෙ නිර්මලා දැක්ක ටවුන් එකේදි. දුවත් එක්ක මං හිතන්නෙ. දුව නේද..?"
"අනේ සුජාතා ඔව් මම දුවත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඇයි කතා කරේ නැත්තෙ. සුජාතා දුව දකින්න මෙහෙ හිටියෙත් නැහැනේ. "
" හ්ම්ම් ඒක තමයි නිර්මලා මම දුවව දැක්කෙත් නෑ හරියට. දුව දැක්කට පස්සෙ තමයි මං දැනගත්තෙ ඔයාට මේ උදව්ව කරන්න පුළුවන් වෙයි කියලා.."
සුජාතා තම දියණියට සිදු වී ඇති දෙය නිර්මලාට පවසා සිටියේ හැඬූ කඳුලිනි. නිර්මලා ප්‍රතිකාර ගත් තැනට තම දියණිය ගෙන යන්නට උදව් කරන්නැයි සුජාතා අසරණ ලෙස ඉල්ලා සිටින විට නිර්මලාගේ දෙනෙත් තෙත් වී ගියේ සුජාතාට එම උපකාරය කිරීමට තමාටද නොහැකි බැවිනි.
සුජාතා වහා සන්සුන් කිරීමට උත්සාහ කළ නිර්මලා දියණිය පිළිබඳ සත්‍ය කතාව සුජාතාට පවසා සිටියාය. සුජාතා උන්නේ විසල් කරගත් දෙනෙතින් නිර්මලා දෙස බලාගෙනය.
" ඔන්න ඕක තමා සුජාතා ඇත්ත කතාව. ඔයා මෙහෙන් ගිහින් අවුරුද්දක් හමාරක් විතර ගිය කාලෙ තමා අපි දුවව ගෙනාවෙ. ඇත්තටම දුවට උනත් ඒක දැන් රහසක් නෙවේ. එයාට දැනුම් තේරුම් තියන කාලෙ ආවම අපි හැමදේම එයාට කිව්වා.පිටින් ආරංචි වෙනවට වඩා එහෙම කියල තිබ්බම එයාටත් හොඳයිනෙ. ඇත්තටම සුජාතා මමයි මහත්තයයි ලොකු බයකින් දුවට ඒ ගැන කිව්වෙ. හදිසියෙ දුව ඇත්ත දෙමවිපියො හොයන්න හැදුවනම් අපි හිත හදාගෙන ඒකටත් උදව් කරන්න ලෑස්තිවෙලයි හිටියේ. හ්ම්ම්ම්..ඒක එයාගෙ අයිතියනෙ සුජාතා..ඒත් දුව ඊට පස්සෙ වෙනදටත් වඩා අපිට ආදරේ කලා. මට දරාගන්න බෑ. ලබන මාසෙ එයා ඔස්ට්‍රේලියා යනවා. කොහොම ඉන්නද කියල හිතාගන්න බෑ සුජාතා.."
දෑසෙ මතු වූ කඳුලු පිසිමින් දියණිය ගැන වූ අපමණ ආදරයෙන් කතා කරන මේ පුදුමාකාර උපේක්ෂා සහගත ගැහැණිය දෙස සුජාතා බලා උන්නෙ පුදුමයෙනි. දරුවන් වැදූ තමාටත් වඩා ඉතිරී ගිය මව් සෙනෙහසක් නිර්මලා තුළ වන බව සුජාතා තේරුම් ගත්තාය. එහෙත් තමා.. ! තමා අතීතයේ සිදුකලේ කෙතරම් නින්දිත ක්‍රියාවක්ද. තමා විසින් කල මව් නාමයට නිගා දෙන අපරාධය සිහිවීමෙන් සුජාතාගේ ඇඟ කිළිපොලා ගියේය.
තමන්ගේ පැනයට පිළිතුරු නිර්මලා ලඟත් නොමැති බව දැනගත් සුජාතා තවත් සුළු වේලාවක් නිර්මලා සමඟ කතා බස් කරමින් හිඳ ආපසු යන්නට සූදානම් වූවාය.
" අනේ සුජාතා.. ආයෙමත් ඇවිත් යන්න එන්න. දුවව දැක්කෙත් නෑනෙ. එයා යාළුවෙක් හම්බෙන්න ගියා. සමහරවිට දැන් මඟ ඇත්තේ..අපි පුළුවන් වෙලාවක සුජාතලා දිහාත් එන්නම්කො.."
තම මිතුරියගේ ආදරණීය ඇරයුම පිළිගත් සුජාතා නැවත පැමිණෙන පොරොන්දුව මත නිවසින් පිටවීමට සූදානම් වූවාය. සුජාතා නිර්මලා සමඟම ගේට්ටුව අසලට පැමිණෙන විටම ගේට්ටුවෙන් ඇතුලට මෝටර් රථය ඇතුල් කලේ නිර්මලාගේ දියණිය වූ දිනූශාය.
" අනේ ඔන්න දුවත් බලලම ගිය හැකි සුජාතා. පොඩ්ඩක් ඉන්න මම දුවට කතා කරන්නම්.."
මෝටර් රථය ගෙමිදුල කෙලවර නතර කරන තෙක් සිටි නිර්මලා වහා දුව ගොස් තම දියණිය සුජාතා වෙත කැඳවාගෙන ආවාය.
සුන්දර ගුණගරුක දියණියක වූ දිනූශා සමඟ සුළු මොහොතක් කතා බහ කල සුජාතා ඔවුන්ගෙන් සමුගෙන ගේට්ටුවෙන් පිටතට පැමිණියාය. සුජාතා උන්නේ මහත් කැළඹීමෙනි. මේ සිදුව ඇත්තේ කුමක්ද.එය අදහාගන්නේ කෙසේද.! සුජාතාගේ සර්වාංගයම වෙව්ලන්නට විය. ඇය මොහොතක් පාර අයිනෙහි වූ තාප්පයට හේත්තු වී පපුවෙහි අතගසාගෙන කල්පනා කරන්නට වූවාය.
නිර්මලා සමඟ කන්තෝරුවේ රාජකාරී කරන සමයේ තමා හා අනියම් පෙමින් වෙලී උන් අසල කන්තෝරුවක සේවය කරන ජයදේව සුජාතාගේ සිහියට නැඟිනි. තමාගේ සම්බන්ධය පිළිබඳව කනින් කොනින් ආරංචි ලැබෙන විට සැමියා තමා සැක කල අන්දමත් අවසන දෙදරු පියෙක් වූ ජයදේව තම කුසට දරුවෙක් දී තමා මඟහැර ගිය අන්දමත් සුජාතාට සිහිවිය.
සුජාතාගේ සම්බන්ධය හා කුස උන් දරුවා පිළිබඳ දැන ගත් සුජාතාගේ සැමියා කිසිවිටෙකත් අන් මිනිසෙකුගේ දරුවෙක්ට පියෙක් වන්නට සූදානම් වූයේ නැත. තම කුඩා දියණිය වෙනුවෙන් සුජාතාට සමාව දීමට තීරණය කල සැමියා සුජාතාගේ කුස උන් දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කලේය. අවසනදී කාර්යාලයෙන් හිටිහැටියේ ඉවත් වූ සුජාතා තම සැමියා සහ දියණිය සමඟ අනුරාධපුරයේ පදිංචියට ගියාය. එහිදී දස මසක් ඇවෑමෙන් සුජාතාගේ කුසින් බිහි වූ ජයදේවගේ දියණිය හැඬූ කඳුලින් ළමා නිවාසයකට බාර දෙන්නට සුජාතාට සිදුවිය.
දරාගැනීමට නොහැකි අවස්ථා කිහිපයක්දීම සැමියාටත් හොරෙන් සුජාතා තම දියණිය දැක ගැනීමට ළමා නිවාසය වෙත ගියාය. එහෙත් තුන් මසකට පසු තමාට දැනගන්නට ලැබුනේ දරුවන් නොමැති යුවලක් විසින් දියණිය හදා වඩා ගැනීමට ගෙන ගිය බවයි. හැඬීමෙන් දුක දරාගනු මිස සුජාතාට දියණිය වෙනුවෙන් කල හැකි අන් කිසිවක් නොවීය.
බැම්මට හේත්තු ව් තදින් හුස්ම ගනිමින් උන් සුජාතා දෑස පියාගෙන තවත් වරක් තම දියණිය සිහිකර ගත්තාය. ඔව්...තමාට වැරදීමක් වන්නට හැකියාවක් නැත. නිර්මලාගේ දියණියගේ නළලෙහි වම් පස කොණ්ඩයට මඳක් වැසී ගිය කඩල ඇටයක් තරම් විශාල වූ උපන් ලපයත් ජයදේවගේ හැඩහුරුකම් සහ සිනහවත් කැටි වූ මුහුණ ඒ තමා විසින් නොසලකා හැරි දියණියම බව සුජාතාට සපථ කරන්නට විය.
නිම්.
පුෂ්පිකා විජේරත්න.