ආදර හසුන
- Details
- Pushpika wijerathna
- කෙටිකතා
- Hits: 1090
රන්දිමා තම දිවා ආහාර පාර්සලයත් සමඟින්ම බෑගයේ සුරක්ෂිතව රැගෙන ආ පොතද ඉවතට ගත්තාය. පොත මිලදී ගත්තේ පෙර දින සවස කාර්යාලය නිමවී නිවසට යන අතරතුර වුවත් තවමත් එහි පිටුවක් හෝ පෙරළන්නට විවේකයක් නොවීම රන්දිමාගේ හිතට පසුතැවිල්ලක් එක් කර තිබිණි. රන්දිමා පොතෙහි පිටු කිහිපයක් පෙරළා එහි වූ නැවුම් සුවඳ විඳින්නට මුහුණ වෙත ලං කළාය. කෑම පාර්සලයෙන් එන සුවඳින් බඩගින්න වැඩිවෙනවාක් මෙන්ම පොතෙහි පිටු අතර සුවඳින් ඇගේ මනසද කැළඹී ගියේ පිටුවක් දෙකක් හෝ ඉක්මනින්ම කියවිය යුතුය යන ආශාවෙනි. කාර්යාලයේ දිවා ආහාර ගන්නා වේලාවට හැකි පරිදි පොතක පිටුවක් දෙකක් හෝ කියවන්නට කාර්යබහුල නොවන ඕනෑම දවසක රන්දිමා පසුබට නොවූවාය. සත්තකින්ම වටේ පිටේ බලා සිටින අයවලුන්ට, පිස්සුවක් යැයි සිතෙන තරමටම ඇය පොත පත කියවීමට ඇලුම් කළාය. කාර්යාලයේ වූ කෑම කාමරයේ මේස වලට වටවී ඕපාදූප කියමින් සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නවා වෙනුවට ආහාර ගන්නා අතරතුරම පොතක පිටුවක් හෝ දෙකක් කියවීම රන්දීමාගේ සිතට සැනසීමක් ගෙන එන්නට සමත් විය. පොතක් පතක් නැති මොහොතක නම් බත් පාර්සලය ඔතාගෙන පැමිණි පත්තර පිටුවට වුව ඇගෙන් ගැලවීමක් ලැබුණේ නැත. පොතට ප්‍රිය කළද කාර්යාලයල මිතුරු මිතුරියන් ඇසුරේද උදාසීන කමක් නොදැක්වූ බැවින් කාර්යාලය තුළද රන්දිමා ප්‍රියජනක චරිතයක් වූවාය. ඇතැම් විටක මිතුරු මිතුරියන් "පොත් ගුල්ලී" යනුවෙන් කවටකම් කළද රන්දිමා සිනාමුවින් යුතුව ඒවා දරාගත්තාය. රූමත් කමින්ද ගති ගුණ වලින්ද අඩුවක් පාඩුවක් නොවූ රන්දිමා සුන්දර තාරුණ්‍යයේ උන්නද තවමත් කිසිවකුගේ වුව ප්රේමාරාධනාවකට සිත යොමු කරන්නට මැළි වූවාය.
" හැමදාම පොත් කියව කියව ඉන්නද කල්පනාව...කසාදයක් එහෙම බඳින්නෙ නැද්ද...? "
මිතුරු මිතුරියන් කවටකමින් අසන ප්‍රශ්න වලට කුමක් හෝ හිතට නැගෙන යමක් කියා කවටකමින්ම පිළිතුරු බඳින රන්දිමා එවන් කතාවක් කිසි විටෙකත් දුර දිග නොගෙනියන්නට වග බලා ගත්තාය.
සැබැවින්ම පාසල් කාලයේ සිටම ප්‍රේමාරාධනා වලින් රන්දිමාට අඩුවක් වූයේ නැත. නමුත් ඔවුන්ගේ කුමක් හෝ අඩුපාඩුවක් දකින රන්දිමා තව තවත් පොත පතටම පෙම් බඳින්නට වූවාය.
නව පත්වීමක් ලැබ කාර්යාලයේ සේවයට පැමිණි දිලන්තට සේවය කරන්නට ලැබුණේද රන්දිමා සේවය කරන කොටසේමය. මිත්‍රශීලි ප්‍රියමනාප තරුණයකු වූ දිලන්ත ද ඉතා ඉක්මනින් කාර්යාලයේ සියළු දෙනා සමඟින් කුළුපග වන්නට විය. නිතර රන්දිමා සමඟ කාර්යාලයේ කටයුතු කරන්නට සිදු වූ නිසා රන්දිමාත් දිලන්තත් ඉක්මනින්ම මිතුරු වූ නමුත් බොහෝ දෙනෙකුට සේම දිලන්තටත් රන්දිමාගේ මේ කියවීමේ පුරුද්ද පිස්සුවක් මෙන් දැනෙන්නට විය.
"රන්දිමා ඔයාට එපා වෙන්නෙ නැද්ද ඔහොම නිවාඩුපාඩුවෙ ඉන්න හැම වෙලේකම පොත් කියවන්න...මට නම් දකිද්දිත් කම්මැලියි..."
"අනේ නෑ දිලන්ත...මම හරිම ආසාවෙන් කියවන්නෙ... වැඩට එන හින්දා ලොකුවට වෙලාවක් නෑනෙ. ඒකයි පුලුවන් හැම වෙලේම පිටුවක් දෙකක් හරි කියවන්නෙ..."
" මම නම් ඉස්කෝලෙ යන කාලෙවත් ඉස්කෝලෙ පොතක් වත් හරියට කියවලා නෑ වෙන්න...හහ් හහ් හා..."
දිලන්ත හඬ නඟා සිනාසී කියන විට රන්දිමාද එම සිනහවට එකතු වූවාය. නමුත් දිලන්තගේ වුවමනාව වූයේ රන්දිමා තරහ ගන්නා අයුරු දැකීමය. එසේ නොවුන කල දිලන්තට තරමක පුදුමයක්ද දැනෙන්නට විය. සමාන්‍යයෙන් ඔහු දන්නා ලෙස තමා කැමතිම දෙයක් පිළිබඳව වෙනත් කෙනෙක් විරුද්ධව හෝ එය පහත හෙළා කතා කරනු දැකීම ඕනෑම කෙනෙක් තරහ ගැන්වීමට සමත් වන දෙයකි. නමුත් රන්දිමා හැසිරෙනුයේ ඊට පරස්පරවය. ඇය කියවීමට පොත පතට බොහෝ ප්‍රිය කරයි. එනමුත් එයට අකමැති යම් කෙනෙක් කියනා කිසිම දෙයකට ඇය තරහ නොගනියි. දිලන්තට ඇගේ හැසිරීම් ගැන ඇතිවූයේ පුදුමයකි.
කල් ගතවත්ම රන්දිමාගෙ ඇවතුම් පැවතුම් පිළිබඳව දිලන්තට ඇති වූයේ මහත් පැහැදීමකි. ඈ කියවන්නීය...කට කියවනවා නොවේ...පොතක හිස ඔබාගෙන පොත් කියවන්නීය...නමුත් ඈ සුහදශීලීය. පාසල් සමයේ පොත පතටම හිස ඔබාගෙන රොබෝ වරුන් මෙන් හැසිරෙමින් සමාජ ආශ්රයෙන් තොර වූ ඇතැම් මිතුරන් මෙන් නොව, ඇය සැබවින්ම විනෝදකාමී වූවාය. ඇගේ මේ තැනක් නොතැනක් නැති කියවීම කිසිවකුටත් ගැටළුවක් නොවූයේ එබැවින් වන්නට ඇත. දිලන්තගේ දෙනෙත කාටත් හොරා රන්දිමා අසල වැඩිපුර ගැවසෙන්නට ගත්තේ ඇගේ මේ ඇවතුම් පැවතුම් වලට ඔහුගේ සිත බැඳුනු නිසාමය.
නමුත්....ඒ වගක් ඇයට පවසන්නේ කෙසේද...!තමා අසා ඇති පරිදි ඈ වෙත ලැබුණු සියළු ප්‍රේමාරාධනා අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඈ විසින් පිළිකෙව් කර ඇත. මෙතරම් ව්නෝදකාමි තරුණියක් එසේ වන්නේ ඇය කුමන ආකාරයේ තරුණයෙක් පතනා නිසාද..! දිලන්තගේ සිතුවිලි දහරාව නොනැවති ප්‍රශ්න කරන්නට වූයේ ඇගෙ සිත දිනාගන්නා ආකාරය පිළිබඳවය...
රන්දිමා සමඟ කතාබහේදී වටින් ගොඩින් ඒ පිළිබඳව අදහසක් ගන්නට තැත් කලද විවාහයක් ප්‍රේමයක් පිළිබඳව ඇගේ කතාවෙන් පවා පෙනෙන්නට වූයේ උදාසීන බවක්මය.
"රන්දිමා මැරි කරාමත් යාලුවො කියනව වගේ හඩ්බන්ඩ්ට ඔක්කොම වැඩ කරන්න දීල පොත් කියවනවද...?"
" අනේ නෑ දිලන්ත...මම ඉතින් ඔෆිස් එකේ වැඩත් එහෙනම් අතපහු කරන්නෙපැයි. අනික මම තව මැරි කරන්න හිතලවත් නෑ..."
රන්දිමාගේ එවදන් වලින් සිත මඳක් සැලුනත් ඉන් පසුබට වන්නට නොහැකි තරමේ ප්‍රේමනීය හැඟුම් කන්දරාවක් දිලන්තගේ හිත ඇතුලේ ඇවිලෙමින් තිබිනි.
"ඔයාව ලැබෙනවනම් පොත් කියවන්න කියල වැඩ ටික ඔක්කොම මමම කරන්නම්කො.."
යැයි මුවින් නොකීවද සිතෙන් මුමුණාගන්නා තරමටම බොලඳ ප්‍රේමවන්තයෙක් බවට දිලන්ත පත් වී සිටියේය.
දස අතේ කල්පනා කලද පිළිතුරක් සිතට නොපැමිනි බැවින් මිතුරකුගේ පිහිට පතන්නට දිලන්ත ඉටා ගත්තේය. කාර්යාලයේ මිතුරන්ට මේ බව පැවසුවහොත් තමන් ඔවුන්ගේ සිනහවට ලක්වනු නොඅනුමාය. එබැවින් ගැටළුව නිරාකරණය පිණිස දිලන්ත උපකාර ගන්නට ගියේ තමා ළඟින්ම ඇසුරු කළ පාසල් මිතුරා වූ දේවකගෙනි.
" අයියො බන් ...ඒක වත් හිතාගන්න බැරිද උඹට. ඒකි ආසම දේ දැන දැනම උඹ ඒකිට ලං වෙන්න ක්‍රම හොයන්නෙ..."
දේවකගේ කතාවෙන් දිලන්ත මඳක් පුදුමයට පත් විය.
"උඹ කියන්නෙ පොත් ගැනද...? ඉතින් මං මොනවද කරන්න ඕන...?"
"කරන්න ඕන මේකයි. උඹල දෙන්නට ලං වෙන්න තියන ක්‍රමේ පොත් වෙන්න ඕන..."
දේවක සමඟ කතා බහින් පසුව දිලන්ත ඔහුගෙන් සමුගත්තේ නව පනක් ලැබුනාක් මෙනි. සැබවින්ම දේවක පැවසූයේ සත්‍යක් නොවේද...! තමාගේ ජීවිතයේ උපන්දිනය වැනි සුවිශේෂි සෑම අවස්ථාවකදීම තමාගේ සමීපතමයන්ගෙන් ලැබුණේ ව්විධ විශයන්ට අදාල පොත් බව වරක් රන්දිමා කියූ බව දිලන්තට සිහිපත් විය...
ඉඳින් පොත් පත් තෑගි කර ඇගේ ජීවිතයේ සුවිශේෂ පුද්ගලයෙක් වන්නට තමාටත් නොහැකි මන්ද.. ! දිලන්තගේ මුහුණ පුරා සිනා රැල්ලක් ඇඳී යන්නට විය.
පසුදා දිලන්ත කාර්යාලයට ගියේ පෙර දින පොත් අලෙවිසැලකින් මිළදී ගත් අලුත්ම පොතක්ද අතැතිවය. පොත් පිළිබඳ දැනුමක් නැති දිලන්තගේ පිහිටට පොත් සැලෙහි සේවකයෙක් ඉදිරිපත් වූයේන් ඉතාම මෑතකදී නිකුත් වූ ලේඛන කලාවේ ප්රවීනයකුගේ පොතක් මිළදී ගන්නට ඔහුට හැකිවිය. තමා වෙනදාටත් කලින් කාර්යාලයට පැමිණ ඇති බව දිලන්තට හැඟුනේ වෙනදා තමා පැමිණෙන විටත් වැඩ ආරම්භ කර සිටින රන්දිමාගෙ පුටුව තවමත් හිස් වූ බැව්නි. රන්දිමා පැමිණෙන තුරු දිලන්ත සිටියේ නොඉවසිලිමත් හැඟීමෙනි. කාර්යාලයේ ඉදිරි කෙළවරින් රන්දිමා මතුවනු දුටු දිලන්තගේ හදගැස්ම පවා වේගවත් විය.
"ආ දිලන්ත ගුඩ් මෝර්නින්... මොකද අද කුකුළත් කරින් අරගෙනම..."
" ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්...කලින් එන්න හිතුනා නිකමට අද..."
රන්දිමාගෙ පැනයට පිළිතුරු දුන්නද එතනින් එහා කුමක් කියන්නදැයි දිලන්තට සිතා ගන්නට නොහැකි විය. උදෑසන ආහාර ගන්නට යන මොහොත තෙක්ම කුමක් කියන්නද කුමක් කරන්නදැයි සිතා ගන්නට නොහැකිවූ දිලන්ත මුණිවත රැක්කේය.
" දිලන්ත මොකුත් ප්‍රශ්නයක්ද...අද හරි කල්පනාවකනෙ...තේ බොන්න යන්නෙ නැද්ද...?"
රන්දිමාගේ පැනයෙන් කොහේදෝ ලොවක පාවෙමින් සිටි දිලන්ත පියවි ලෝකයට පැමිණියේය. කාර්යාලයේ තැන් තැන් වල කිහිපදෙනෙක් හැර බොහොමයක් දෙනා තේ බොන්නට ගොස් ඇති නිසා තමාගේ කාර්යට මේ සුදුසුම අවස්ථාව බව දිලන්තට හැඟුණි.
" ආ...ආඅ.. මේ රන්දිමා ...පොඩි කල්පනාවක හිටියෙ. තේ බොන්න යමු...ඊට කලින් පොඩි බඩුවක් තියනව දෙන්න නැත්තං ඕක පස්සෙ අමතක වෙනවනෙ..."
" අප්පේ ඒ මොනවද දිලන්ත ඒ..."
" ආ බලන්නකෝ..."
බෑගයෙන් එළියට ගත් කවරයක ඔතා තිබූ පොත රන්දිමා අතට පත් කරමින් දිලන්ත කියා සිටියේය. කවරය නොපෙනුනද තම අතට පත් වූයේ පොතක් බව වටහා ගන්නට රන්දිමාට අපහසු නොවීය..
"දිලන්ත....!පොතක් නේද ...මටද...කොහෙන්ද...?"
රන්දිමාගේ ප්‍රීතිමත් කටහඬත් දිදුළන දෑසත් දිලන්තගේ හදවතෙහි ගැස්ම පවා වැඩි කරන්නට සමත් විය.
"ඔ...ඔව් ඔව්...,බලන්නකො කියවල තියන එකක්ද දන්නෙ නෑනෙ. ම්මේ...මගෙ යාළුවෙක් ඉන්නව බුක් ශොප් එකක. ඉස්සර නම් මට පොත් දුන්නත් ගන්නෑ. ඊයෙ හම්බුන පාර අලුත් පොත් වගයක් තියනව ඕන නම් ගන්න කීවා. මට ඉතින් ඔයා මතක් උනා. චොයිස් එක දන්නෙත් නැති නිසා එකක් අරන් ආවා.. බලන්නකො..."
දිලන්ත පෙර දින රැයේ පුරුදු පුහුණු වී පැමිණි වාක්‍ය සියල්ල රන්දිමා ඉදිරියේ මුදා හැරියාය. රන්දිමා සිටියේ සතුටින් ඉපිළෙමිනි.
" අනේ එහෙම යාලුවෙක් ඉන්න එක කොයි තරං වටිනවද දිලන්ත.මේක මම ගන්නම හිටපු පොතක් .මේයාගෙ පොත් හරිම ලස්සනයි. ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි දිලන්ත..."
"අයියො ඕක සුළු දෙයක්. ඔයාට ඕන පොත් තිබ්බොත් කියන්න. මං බලල ගෙනත් දෙන්නම්. එයා කොහොමත් මගෙන් සල්ලි ගන්නෙත් නෑ.."
පොත පෙරළමින් සිටි රන්දිමාගෙ දෙනෙතේ කාන්තිය තවමත් පහව ගොස් නැති බව දුටු දිලන්ත තම ප්‍රථම පියවර සාර්ථක බව වටහා ගත්තේය.
දිලන්ත දිනෙන් දින තම අරමුණ වෙත පියවර නඟන්නට විය. ඉඳහිට පොතක් තෑගි දෙන්නට මෙන්ම පොත කොහොමදැයි ව්මසන්නටත් කතාව මොනවගේදැයි අසන්නටත් දිලන්ත කාර්යාලයේ වැඩ අතරතුරේ වුව අමතක කලේ නැත. ඇතැම් විස්තර අසා සිටින්නට ආසාවක් නොවූවත් ඒ බව රන්දිමාට නොපෙන්වන්නට දිලන්ත වගබලා ගත්තේය.
"මටම පොත් ගෙනත් දෙන එකේ දිලන්තත් නිවාඩු පාඩුවෙ වෙලාවක පොතක් කියවලා බලන්නකෝ..."
පොත් කතාබහ අතරතුරේදී රන්දිමාගෙන් ආ ඉල්ලීම ඉවත දමා ඇගේ සිත රිදවන්නට දිලන්තට උවමනා නොවීය. මිතුරු හැඟීමෙන් සිටි කලෙක නම් "අපෝ මට නම් බෑ පොත් අස්සෙ ඔළුව ගහන් ඉන්න" යැයි කියමින් ඒ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය. එහෙත් දැන් තත්වය වෙනස්ය.
" ආ...මම කියවන්නෙම නෑනෙ. ඉතින් මොකද්ද කියවන්න පටන් ගන්නෙ කියලවත් හිතාගන්න බෑ..."
හාත් නොකියා බෑත් නොකියා ප්‍රශ්නයෙන් ගැලවෙන්නට දිලන්ත උත්සහ කළේය.
" අයියෝ...ඒකට කමක් නෑ. මගෙ ලඟ තියනව ලස්සන පොත්...මම ඔයාට ගෙනත් දෙන්නම් එකක්...හැබැයි හොඳට පරිස්සම් කරල ආපහු ඕන.මම එහෙම කාටවත් පොත් දෙන්නෙ නෑ . ඔයාට කියවන්න උනන්දුවක් ආව නිසා මම දෙන්නම්..."
රන්දිමා පැවසුවේ තම ඇසුර නිසා දිලන්තට පොත් කියවීමට රුචියක් ඇතිවිනැයි සිතා ඇති වූ සතුටෙනි. පොත් වලට බෙහෙවින් ආදරය කළ ඈ තම පොත් කිසිවකුටත් භාවිතයට නොදුන්නේ බොහෝ දෙනා ඒවා නිසි පරිදි පරිහරණය නොකරන බැවිනි.පෙර කිහිපදෙනෙකුටම පොත් දී අවසනදී පොතත් නොමැතිව හිත් නොහොඳකම් ඇති වූ අවස්ථාද තිබුණ බැවින් කිසිවකුටත් පොත් දීම නවතා දැමීමට ඇය තීරණය කළාය.
දිලන්තට ඇගේ යෝජනාව පිළිකෙව් කරන්නට නොහැකි විය. කාටවත් නොදෙන පොත් තමාට දෙන්නට රන්දිමා උත්සාහ කරනූයේ තමා ඇයට සුව්ශේෂි අයෙක් නිසාද... !
ඊළඟ දිනයේ රන්දිමා දිලන්ත අත තැබූයේ තම පොත්ගුලෙන් ගෙන ආ එතරම් විශාල නොවූ පොතකි.
දිලන්ත ඉරියව්වකින් වුව එය තමා අකමැති දෙයක් බව නොහඟවන්නට විය.
"වැඩිය පිටු නැති සරල කතාවක් දිලන්ත. ඔයා හෙමීට කියවල බලන්නකෝ..."
රන්දිමාට සිනහවකින් පිළිතුරු දුන් දිලන්ත ඇය ඉදිරියේම පොත හරව හරවා පිටු පෙරළමින් බලන්නට වූයේ තමාගේ උනන්දුව ඇයට පෙන්වන්නටය.
සති අන්තයේ විවේක සුවයෙන් කල් ගත කරන අතරතුර දිලන්ත තම බෑගයේ තිබූ කුඩා පොත එළියට ගෙන බැලුවේය. එය එතරම් විශාල පොතක් නොවේ. මෙය කියවා ඒ ගැන අදහසක් රන්දිමාට පැවසුවහොත් තමා පොත කියවූ බවට ඇය විශ්වාසයක් ඇති වනු ඇත.
දිලන්ත කාමරයට වැදී පොත කියවාගෙන ගියේය. එය ආදර කතාවකි. ඒ බව වැටහුණ පසු තවත් උනන්දුවෙන් පොත කියවන්නට දිලන්ත උත්සාහ ගත්තේය. ඇය ආදර කතාවක් මා වෙත දුන්නේ යම් කිසි හැඟීමකින් යුතුවද...! දිලන්තගේ සිත ඒ ඔස්සේ සිතමින් වෙහෙස වන්නට විය. සිත එහේ මෙහේ දුවන බැවින් උනන්දුව තිබුනද දිලන්ත උඩින් පල්ලෙන් පොත කියවා දැමූවේ කතාව පිළිබඳ යම් අදහසක් සිතේ රඳවාගනිමිනි. සැඳෑ වරුවේ ජංගමය අතට ගත් දිලන්ත රන්දිකාගේ දුරකතන අංකය සොයා ගත්තේය. අත්‍යාවශ්‍ය කටයුත්තකදී හැරෙන්නට රාජකාරි වෙලාවෙන් පසු දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් රන්දිමා සමඟ කතා බහ කිරීමට මෙතෙක් කලක් දිලන්තට අවකාශ ලැබුනේ නැත. දැන් දැන් ඒ දුරස්කම මඟහරින්නට හේතු කාරණා දිලන්තගේ සිතේ මතු වී තිබ්ණි. පොත ඉතාම රසවත් බව කියා කෙටි පණිවුඩයක් ලියූ දිලන්ත එසැනින් එය රන්දිමා වෙත යොමු කළේය. හැරෙන තැපෑලෙන් දිලන්තට පිළිතුරු පණිවිඩයක් ලැබීම සිතට සියුම් සතුටක් එක් කරන්නට විය.
" ඔයා පොත කියෙව්වද ?පුදුමත් හිතෙනවා. මමත් පොතක් බලන ගමන් හිට්යේ..."
රන්දිමාගේ පණිවිඩය දිලන්තගේ මුවගට සිනහවක් එක් කරන්නට විය. තමා කෙමෙන් කෙමෙන් තම ඉලක්කයට ළඟා වන බව දිලන්තගේ සිතට දැනෙන්නට විය.
ඊළඟ කාර්යාල දිනයේදි දිලන්ත පොත නැවතත් රන්දිමා අතට පත් කළද නැවතත් පොත් ඉල්ලා සිටියේ නැත. එනමුත් කියවන්නට හෝ නොකියවන්නට , ඇය පොතක් දෙයි නම් එපා නොකියන්නටත් ඔහු සිතාගත්තේය.
දිලන්ත සිතූ සේම රන්දිකා ඊළඟ දිනයෙහි පොත් කිහිපයක්ම ගෙනවිත් ඔහු අත තැබුවාය. සිනාවකින් යුතුව ඒවා පිළිගත් දිලන්ත ඒ සියල්ල බෑගයේ දමා ගත්තේ මහා බරක් හිස මත පැටවූවකු ලෙසිනි.
" හදිසි නෑ දිලන්ත. හෙමීට කියවල දෙන්නකෝ..."
රන්දිමා සිනාවකින් යුතුව කීවාය.
හවස් යාමයේ නිවසට පැමිණි දිලන්ත ඇඟපත සෝදා තේ කෝප්පයක්ද රැගෙන තම කාමරයට වැදුණේය. බෑගයෙන් ගත් රන්දිමාගේ පොත් කිහිපය දෙස ඔහු බලා උන්නේ පැහැදිළි හැඟීමකින් නොවේ. එළෙසින්ම එක් පොතක් අතට ගත් ඔහු නිදහසේ පිටු පෙරළාගෙන ගියේය.
"හැමදාමත් පොත් දෙන්නයි පොත් ගන්නයි ගියොත් එතනින් එහාට මට මොකුත් කරගන්න වෙන් නෑ..."
දිලන්තගේ යටි සිත හඬගා කියන්නට විය.
" ඉක්මනට මේක කියල ඉවරයක් කරන්න ඕන...ඒත් කොහොමද...!"
පොතෙහි පිටු පෙරළ පෙරළා සිතමින් උන් දිලන්තගේ ඇස පොතෙහි වූ එක් වචනයක් ළඟ නැවතී තිබිණ.
"ආදරෙයි..."
දිලන්ත ඒ වචනය අඩංගු ඡේදයම නැවත කියවා බැලුවේය. ඔව්...එයත් යම් කිසි ආදර කතාවකි. ක්ෂනිකව නැඟුන සිතිවිල්ලකින් දිලන්ත මුල පිටුවේ සිට උඩින් පල්ලෙන් බලමින් කියවාගෙන ගියේ තමාට අවශ්‍ය වචන කිහිපය සොයා ගැනීමටයි. මේසය මත තිබූ හිස් කොළයක් ගෙන තමන්ට කීමට අවශ්‍ය පණිවිඩය වාක්‍ය කිහිපයක් ලෙස කුරුටු ගෑ දිලන්ත පොතට එබුනේ පොතේ කිහිප තැනෙකින් ඒ වචන සොයා ගන්නා අරමුණෙනි.
දිලන්තගේ උත්සහය සාර්ථක වීය. ආදරය ප්‍රකාශ කිරීමට උචිතම ක්‍රමය මෙය යැයි තීරණය කරගත් ඔහු මේසය මත තිබූ රතු පෑනක් තම අතට ගත්තේය. තමා තෝරාගත් වචන සහිත පිටු සොයා ගැනීමේ පහසුව පිනිස මුල්ලකින් කොටසක් නවා තිබූ නිසා නැවතත් ඒ පිටු සොයාගැනීමට ඔහුට අපහසු නොවීය. රතු පෑන ගත් ඔහු තමා සොයා ගත් වචන යටින් ඉරි අඳින්නට විය. තමාගේ සම්පූර්ණ පණිවිඩය තේරුම් ගැනීමට නම් රන්දිකා විසින් මුළු පොතම කියවා වචන එකතු කර ගත යුතු ලෙස දිලන්ත තම පණිවිඩය සැකසුවේය.
අවසනදි දිලන්තගේ සිතට දැනුනේ මහත් සැහැල්ලුවකි. තමාගේ නිර්මාණශීලිත්වය ගැන ඔහු සිතෙන් උදම් විය.
ඊළඟ දිනයේ ඔහු කාර්යාලයට ගියේ මහත් ප්‍රබෝධයෙනි. තමාගේ පණිවිඩය සහිත පොත බෑගයේ තිබෙන බව දැන දැනත් කිහිප විටක්ම බෑගය හැර පොත තිබේදැයි පරික්ෂා කරන්නට තරම් ඔහු නොඉවසිලිමත් විය. වෙනදාට වඩා සතුටක් ප්රබෝධයක් දිලන්තගේ මුහුණේ ඇති බව රන්දිමාද නිරීක්ෂනය කළාය. එහෙත් කාර්යබහුල දිනයක් වූ නිසා කතා බහ කිරීමට ලැබුණේ දිවා ආහාර ගැනීමට යන මොහොතේදිය.
" අද හරිම බිසී නේද දිලන්ත. ඒ උනාට ඔයානම් සතුටින් වගේ වෙනදට වඩා..."
" මේ...මේ මමද ...ආ මෙ විශේෂයක් නෑ...ඒක නෙවේ පොඩ්ඩක් ඉන්න ඊයේ අරන් හිය පොතක් ආපහු ගෙනාවා..."
"මොකක්...! ඊයේ රෑම කියෙව්වද පොත...? "
රන්දිමා පුදුමයෙන් විමසූයේ පොත් කියවීමට එතරම් උනන්දුවක් දිලන්ත වෙත ඇතැයි නොසිතූ නිසාය.
"ම්ම්ම් කියෙව්වා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ... හැබැයි මේක ඇතුළෙ මම ඔයාට පොඩි මැසේජ් එකක් දාල තියනවා ගෙදර ගිහින් ඔයා පොත කියවන් යන්නකෝ...
රන්දිමාගේ දෑස පුදුමයෙන් විශාල විය. පොත අස්සේ තමාට පණිවිඩයක්...!දිලන්තගෙන්...! කිහිප දවසක සිට තමාට දැනුන හැඟීම සත්‍යක් වීදැයි රන්දිමාට සිතා ගැනීමට අපහසු විය. තමාද එය බලාපොරොත්තුවෙන් සිටියා නොවේද. දිලන්ත තමා තේරුම් ගත් අයුරු අපූරුය. තමාගේ පොත් කියවීමේ පුරුද්ද විවේචනය කරනු වෙනුවට ඔහු ඒ වෙනුවෙන් තමාට උදව් කලා පමණක් නොව තමා නිසාම පොත් කියවීමටද පෙළඹුනේය. ඒ හැරුණු විට ටික කළෙක සිට ඔහු ගැන තමාට දැනෙන විශේෂත්වය...ඔව් එය සත්‍යක් විය හැකිය. රන්දිමා විගසින් තම දිළිසෙන දෑස දිලන්තගෙන් සඟවා ගත්තාය. තම මුහුණෙන් මතුවන අමුතු සතුටක් ඔහුගේ දෙනෙතට අසුවේ යැයි බියකින් මෙන් ඈ බිම බලාගත්තාය.
" ආ...මේ මේ...මටද...හරි මම බලන්නම්කො ගෙදර ගිහින්..."
අමාරුවෙන් වචන ගළපාගත් රන්දිමා වහා පොත බෑගයට දමා දිලන්ත පිටු පසින් විවේක කාමරය වෙත ඇදුනාය. එදින දවස පුරාම දිලන්තත් රන්දිකාත් අතර වචන හුවමාරු වූයේ බොහෝ අඩුවෙනි. රන්දිමා මෙන්ම දිලන්තද සිටියේ දෙගිඩියාවකිනි.
හවස් යාමයේ කාර්යාලය නිම වූ පසු නිවසට යාමට කාර්යාලයෙන් එළියට බසින මොහොතේ දිලන්ත නැවත වරක් රන්දිකාට මතක් කිරීමක් කළේය.
" මතක් කරලා පොත බලන්න..."
රන්දිකා ලැජ්ජාශීලි සිනාවකින් යුතුව "හා"කියන්නට හිස වනා බිම බලාගෙනම කාර්යාලයෙන් පිට වූවාය. දිලන්තහේ සිත සතුටින් ඉපිළෙමින් තිබිණි. අද රාත්‍රියේ ඇය පොත බලනු ඇත. තමාගේ පණිවිඩය සොයා ගනු ඇත.
රාත්‍රිය උදා ව්ය. දිලන්තට ආහාර ගැනීමට පවා රුචියක් නොවූයේ මේ මොහොතේ රන්දිමා කුමක් කරනු ඇත්දැයි සිතීමෙනි. ආහාරත් නොගෙනම නින්දට ගියද නින්ද ඔහුගේ අහලකටවත් පැමිණියේ නැත. රාත්‍රී දොලහේ කණිසමටත් ඇඳේහි පෙරළි පෙරළී උන් දිලන්ත මේ වන විට නම් රන්දිමා පොත කියවා අවසන් කර ඇතැයි නිගමනය කරන්නට විය.
දිලන්තගේ දෑස් යන්තමට හෝ පියවුනේ පාන්දර යාමයේදීය.
පසුවදා උදෑසනම දිලන්ත ප්‍රබෝධයෙන් යුතුව කාර්යාලයට යාමට සූදානම් වූයේ පෙර දින නිදි වැරූවකුගේ කිසිදු ලකුණක් වත් මුහුණෙන් පළ නොකරමිනි. දුරකතනය දෙසත් කිහිප වරක්ම විමසුම් දෑස යොමු කලද රන්දිමාගෙන කිසිදු පණිව්ඩයක් ලැබී තිබුනේ නැත.
"ගිහිල්ලම බලනවා..."
අන්තිමේදී දිලන්ත සිතා ගත්තේය.
කාර්යාලය අසලටම ගිය පසුවත් දිලන්තගේ සිතේ කුඩා චකිතයක් ඇති වන්නට විය. රන්දිමා මේ වන විටත් පැමිණ ඇත්ද...! ඇගේ ප්‍රතිචාරය කුමක් වේද...! ඇය තමාට අකමැති වුවහොත්...! දෙගිඩියාවෙන් යුතුව කාර්යාලයට ඇතුළු වූ දිලන්ත තම අත්සන සටහන් කර වහා තමාගේ අසුන වෙත පියමන් කළේය.
ඔව්...ඇය පැමිණ ඇත...ඇය පෙනෙන්නට නොසිටියත් මේසය මත වූ ඇගේ බෑගය ඇය පැමිණ ඇති බවට සාක්ෂි දරන ලදි. දිලන්තගේ හදගැස්ම වේගවත් වන්නට විය. කාර්යාලයට පැමිණි ඇය බෑගය තබා කොහි ගියේද. වෙනදානම් උදෑසන ආහාර ගන්නට තමා කැටුව යන්නට ඇය බලා සිටි...
දිලන්ත සැලෙන දෑතින් යුතුව තම බෑගය මේසය මත තැබුවේය. එක් ක්ෂනයෙන් ඔහුගේ දෑස යොමු වූයේ පරිඝනක යතුරු පුවරුවට කොනක් යට කර තිබූ සුදු පැහැ කඩදාසිය වෙතටයි. තමා ඊයේ පිටත් වන විට මෙවන් කඩාදාසි කිසිවක් මේසය මත නොතිබූ බව දිලන්තට විශ්වාසය. ඔහුගේ දෙනෙත එක් මොහොතකින් කාන්තිමත් විය. එය රන්දිමාගේ පිළිතුර විය යුතුය. වහා ලිපිය අතට ගත් දිලන්ත වට පිට බැලුවේ කවුරුන් හෝ තමා දෙස බලා සිටින්නේදැයි දැන ගැනීමටය. තවමත් කාර්යාලයට පැමිණ ඇත්තේ කිහිප දෙනෙක් පමණි. වහා පුටුව පසෙකට කර එහි හිඳගත් දිලන්ත ලිපිය විවර කළේය.
ඔව් ...එහි වූ අකුරු රන්දිමාගේ බව හඳුනාගන්නට දිලන්තට අපහසු නොවීය.
හිතවත් දිලන්ත,
මා ඊයේ රාත්‍රියේ පොත බැලුවා. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ලිපියක් එහි නොවීම කණගාටුවට කරුණක්. ඔබ පෑනකින් ඉරි ඇඳි පළමු වචනයෙන්ම පණිවිඩය තබා ඇතිතේ කෙසේදැයි මා තේරුම් ගත්තා. එතැනින් එහාට මට ඒ පණිවිඩය දැන ගැනීමේ උවමනාවක් පවා තිබුනේ නැහැ. ඉන් පසු මා පොත පෙරළමින් සොයා බැලුවේ ඒ අයුරින් පොතේ පිටු කීයක් නම් ඔබ විසින් විනාශ කර ඇත්ද යන වගයි. ඉරි ගසා පිටු විනාශ කරනවාට අමතරව පිටුවල කොන් නමා තිබෙනුද මම දුටුවා. ඒ ගැන මගේ සිතේ ඇති වුනේ කළකිරීමක්ම පමණයි. පොත් ඉතා හොඳින් ප්‍රවේසම් කරන ලෙස මා ඔබට පවසා සිටියා. ඉතිරි පොත් කිහිපයත් මෙවැනි තත්වයට පත් නොකර ලබා දෙන්නැයි මම ඉල්ලනවා. ඔබ පොත් කියවන්නට කැමත්තක් පෙන්වූයේ කුමන අරමුනෙන්දැයි මා දැන් දන්නවා. මේ වතාවේ මම ඔබට සමාව දෙනවා. එහෙත් අප තවදුරටත් යහළුවන් පමණයි. මේ සිද්ධිය මා මෙන්ම ඔබත් මෙතැනින් අමතක කරනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙයට,
හිතවත්,
රන්දිමා.
ලිපිය කියවූ දිලන්තගේ දෑත වේගයෙන් ගැහෙන්නට විය. පිරිසක් මැද නිරුවත් වූවාක් මෙන් හැඟීමක් ඔහුගේ සිත වෙලාගනිමින් තිබිණි. තම යාබද අසුනේ සිටින රන්දිමාට තවදුරටත් මුහුණදෙන්නෙ කෙලෙසදැයි සිතමින් දිලන්ත තම අත වූ ලිපිය එක් අතකින් ගුලිකර ගනිමින් මේසයට හිස ඔබා ගත්තේය.
නිමි