ජනේලය....(කෙටි කතාව)
පාලුවට ගිය මාවතේ ගස් වැල් වල නැවත ලා දලු දමමින් වසන්තය එන බව කියාපාමින් සිටි කාලයකි...දණහිස දක්වා දික්වූ දුඹුරු පැහැ කබායක් හා කලු ගැසුණු බුට් යුවලක් දමාගත් මැදි වියේ මිනිසෙක් මේ මාවතේ ඇදෙමින් සිටියේය..දකුණු උරහිසේ රුවාගත් බෑගයකුත් වම් අතේ දුහුවිලි වැකුණ පරණ ට්රන්ක පෙට්ටියක් ද විය...
දෙවන ලෝක යුද්ධය නිමාවී වසර දෙකකුත් ගෙවී ගොස් අවසානය..යුද්ධයෙන් හොඳ හැටි බැට කෑ පෝලන්ත ජනයා නැවත සාමාන්ය දිවි පෙවෙතට හුරු වෙමින් සිටියෝය..රතු පොපි මල් සෑම තෑන පිපි තිබුණේ මියගිය දහස් ගණනක් වූ ජනයාට උත්තමාචාරය පුද කරන්නට මෙනි....
මාටින් බ්රවුන් වෲත්තියෙන් ඉංග්රිසි ගුරුවරයෙකි...ඔහු මේ යමින් සිටින්නේ තමන්ගේ ඊලඟ පත්වීම වෙතයි..පෝලන්තයේ දකුණු දෙස නගරයක් වූ ලුබ්ලීන් හී පාසැලක ගුරු පත්වීමක් ඔහුට ලැබී තිබිණි...
විනාස වූ නගරයක සැප පහසුකම් ඇති නවාතැනක් සොයා ගැනීම පිදුරු ගොඩේ නැතිවූ ඉදිකටුවක් සොයා ගැනීමටත් වඩා අසීරූ බව මාටින් දැන සිටියේය..එම පාසැලේම ගුරුවරියක වූ මාර්තා ගේ නිවසෙහි කාමරයක නවාතැන් පහසුකම් සලසා දී ඇති බව දන්වා තිබු නිසා ඔහුට ඉන් එහා කිසිවක් නැවත සොයා බැලීමට අවශ්ය නොවීය..
යුද්ධයෙන් එක් අන්තයක් අබලන් වී තිබුණත් අනෙක් පස සෑහෙන හොඳ තත්වයේ තීබු නිසා නවාතැන ගැන සතුටක් මාටින් ගේ සිතේ හට ගැනීය...
ටොක්..ටොක්...
වසා තිබුණු දොරට තට්ටු කල ඔහු ප්රතිචාරයක් එනතුරු නොඉවසිලිමත් විය..විනාඩි කිහිපයකට පසු කවුරුන් හෝ දොර වෙත ඇවිද එන ශබ්දය ඇසුණි ...අවුරුදු 12 පමණ කිවහැකි කොලු ගැටයකු දොර විවෘත කලේය...
කාව හම්බෙන්නද? දරුවා අචාරශිලිව විමසුවේ කුතුහලය ද සමඟිනි..
මම මාටින් බ්රවුන්..සෙන්ට් ක්ලෙයාර් පාසැලට ආපු ඉංග්රිසි ගුරුවරයා
ඕ...දරුවාගේ මුහුන සැනින් වෙනස්වුනු මාටින් දුටුවේය.කුතුහලය අතුරුදන් වී ගොස් මිනීමරුවෙක් ,සොරෙක් දෙස බලනා බැල්මකින් තමා දෙස බලනා දරුවා වෙත අමතමින්...
දරුවා...මාර්තා ගුරුතුමීය ඉන්නවද? එතූමිය මුණ ගැසෙන්නයි මං ආවේ..
ඒ මගේ අම්මා..එන්න මහත්මයා ඇතුලෙන් වාඩිවෙන්න...
අබලන් වූ පුටු කිහිපයකුත් මේස කෑල්ලක් හා ජායාරූප වලින් පිරුණු කැබිනෙට්ටුවක් සාලයේ විය..
ඉන්න...මං අම්මා එක්ක එන්නම්. .
සාලයේ පුටුවකට බරදුන් හේ ගමන්මලු පසෙක තබා කැබිනෙට්ටුවේ චායාරූප දෙසට අවධානය යොමු කලේය.. වෙඩින් පොටෝ කිහිපකුත් ,මැදිවියේ මිනිසෙකු විශාල ගෝනකු දඩයම් කර තිබු අයූරුත් චායාරූප ගොන්නෙහි ද විය.. නිල ඇදුමකින් සැරසුණු සෙබලෙකුගේ චායාරුපයක් ඒ අතර ප්රධාන විය..
ඔබතුමා මේ තරම් හවස් වෙයි කියලා මං හිතුවේ නෑ..
ඈගේ දෑස් කලුවී ඉදිමි තිබුණේ දවස් ගණනක් නිදි මෑරු කෙනෙකු ගේ මුහුණක් පරිදිය...පැසුණු ගෙස් කිහිපයත් හා වෙහෙසට පත්වුනු සිරුරත් නිසා ඈ දිවියේ හතරවන දශකයත් පසුකොට ඇතැයි මාටීන් සිතිය..
ඔයාට කාමරයක් නම් දෙන්න පුලුවන් ..එච්චර සුවපහසු වෙන එකක් නම් නෑ..
ආ...ඒකට කමක් නෑ මාර්තා ...මේ ජිවිතේ මට දැන් හුරුයි....
ඔයාට මං බොන්න මුකුත් ගේන්නම්...
ඈන්ඩෲ ...පුතා මේ සර් එක්ක කතා කරන්න ඇවිත්...
අකමැත්තෙන් ම සාලයට පැමිණි දරුවා මාටින් දෙස බලා සිටියේ අශෝභන සත්වයකු දෙස බලා සිටින්නාක් මෙනි....
දරුවා...කොහේද ඉස්කෝලේ යන්නේ..
මං යන්නේත් ක්ලෙයාර් එකට තමයි..
එහෙනම් මමයි ඔයාගේ ඉංග්රිසි ගුරුවරයා..අපි දෙන්නට හිතවත් වෙන්නයි ලමයෝ..
ආපෝ මං ඉංග්රිසි වලට කොහෙත්ම කැමති නෑ..ගුරුවරුන්ටත් මං කැමති නෑ. අනික මෙහේ දුස්කරතා නිසා ගුරුවරු වැඩි කාලයක් රැදෙන්නේ නෑ...
කතාව වෙනස් අතකට හරවන්නට අදහස් කළ මාටින්...
කවුද දරුවෝ මේ පොටෝ වල ඉන්නේ...??
ඔය වෙඩින් පොටෝ එක අම්මගේ තාත්තාගෙයි..හමුදා ඇදුම ඇදන් ඉන්නේ මගේ ලොකු අයියා..ගෝනා එක්ක ඉන්නෙත් අපේ තාත්තා..එයා දඩයම් වලට හරි රුසියා...
එයාලා පේන්න නැත්තේ ඇයි??
ඇන්ඩෲ ගේ මුහුණ නැවතත් වෙනස් විය...කදුලු කැට දෙපසින්ම ගලා එන්නට විය...ජනේලයෙන් ඈත බැලු ඔහු සෙමින් සෙමින් ඉකිබිදින්නට විය..
සමාවෙන්න ඈන්ඩෲ...ඔයා මේ තරම් සංවේදී වෙයි කියලා මං දැනන් හිටියේ නෑ....
දරුවාගේ වෙනස දුටු මාටින් පැවසීය..
නෑ..කමක් නෑ.ඔයත් මේ කතාව දැනන් ඉන්න එක හොඳයි..ඔයත් අපේ ගෙදර නවතින්නනේ ඉන්නේ..
මොකක්ද කතාව??
කුතුහලය සමඟින් මාටින් ඈසිය.
පහුගිය ග්රීස්ම සෘතුවේ තමයි මේක වුනේ...එදා උදේම තාත්තයි අයියයි දඩයමේ ගියා.සිංහයෙක් අල්ලගන්න එක තමයි එයාලගේ අදහස වුනේ..ඌව අල්ලලා වොර්සෝ සත්තු වත්තට දුන්නා නම් හොඳ ගානක් හොයා ගන්න පුලුවන් කිය කිය තමා තාත්තා උන්නේ..
එදා උදේම ඒ දෙන්නා තුවක්කු අරන් පිටත් වුනේ මගේ බලු පැටියා ෆ්ලූක් එක්ක..ෆ්ලූක් හරි ආසයි තාත්තා එක්ක කැලේට යන්න...අයියා නම් එයාගේ යූනිපෝම් එකෙන්මයි ගියේ..එයාලා ගිහින් දවස් ගානක් ගිහිනුත් ආපහු ආවේ නෑ..
කතාව අතරමඟ නවත්වමින් ඔහු නැවත ඉකිබිදින්නට විය...බොහෝ වේලාවක් ජනේලය දෙස බලා සිටි ඔහු කදුලු පිසලමින් නැවත කතාව ආරම්භ කලේය..
දඩයමේ ගිය තව කට්ටියකට තාත්තලව හම්බෙලා තිබ්බේ...මුලින්ම හම්බෙලා තිබ්බේ ෆ්ලූක් ව..ඌගේ ඇඟ පුරාම නියපොතු පාරවල් තිබ්බලු..තාත්තාගේ අයියගෙයි මීනී අදුරගත්තේ අපි සෑහෙන අමාරුවෙන් ..අම්මා නම් එ වෙලාවේ කලන්තේ ත් දැම්මා..
සෑහෙන ශෝකජනක කතාන්දරයක් පැවසු දරුවා නැවත හඩන්නට විය...
ස්නෙහයෙන් දරුවාගේ හිස අතගෑ මාටින් ඔහු අස්වසාලීමට උත්සහ කලේය....
ඊට මාසෙකට විතර පස්සේ තාත්තයි අයියයි අපේ ගෙදර ඇවිත් තිඹුනා..මං එදා හිටියේ නෑ..අම්මා සෑහෙන බයවෙලා..මං ගෙදර එද්දී ෆාදර් මයිකල් ඇවිත් හිටියා..අහල පහල අයත් පිරිලා හිටියා...
සමහරක් දවස්වලට එයාලා එනවා අම්මා දකිනවලු.. ..දැන් නම් අම්මා ඒකට බය නෑ...මාත් තාත්තා දකින්න ආසයි...ඒත් මට එයාලාව පේන්නේ නෑනේ...
කතාව අවසන් කල දරුවා ආපසු ගේ ඇතුලට ගොස් අතුරුදන් විය..ඇන්ඩෲ ගැනම සිතමින් මාටින් ට අසුන උඩම නින්ද ගොස් තිඹිණි....
එක්වරම බල්ලකු බුරන ශබ්දයකින් හේ අවදිවිය..ජනේලයෙන් පිටත බැලු ඔහු දුටුවේ නිවස දෙසට එන මැදිවියේ මිනිසෙකි...දඩයම් ඇදුමකින් සැරසී සිටි ඔහුගේ කරේ තුවක්කුවක් විය...
අනෙක් මිනිසා සැරසි සිටියේ හමුදා නිල ඇදුමකිනි...ඔහු ඌරකු කරේ තබාගෙන නිවස දෙසට පැමිණිමෙන් සිටී ..
ඒ දෙදෙනාගේ දෙපා අසල දැවටෙමින් සුරතල් බල්ලකු ද පැමිණෙමින් සිටියේය..
ඇන්ඩෲ ගේ කතාව සිහියට නඟා ගත් මාටින් කඩිමුඩියේම ගමන්මලු රැගෙන නිවසින් පිටතට දීවීය... අමුත්තන් දෙදෙනා පුදුමයෙන් බලා සිටියදී මාටින් පස්ස නොබලා දිව ගියේය...
ගෙට ගොඩවැදුනු අමුත්තන් දෙදෙනා ගෙන් වැඩිමලා මාර්තා ඇමතීය.
මාර්තා..අර කවුද ගේ ඇතුලේ ඉදලා දිව්වේ??
කෝ කවුද??? කෝ මෙතැන හිටපු ගුරුතුමා..??
අපිව දැකලා පණකඩාගෙන දිව්වා..නිකං හොල්මන් දෙකක් දැක්කා වගේ...
තරුණයා පැවසුවේ පුදුමයෙනි ...
ඇන්ඩෲ...ඇන්ඩෲ ....මාර්තා කෑගැසීය...
මට කියනවා ළමයෝ මෙතැන මොකද උනේ කියලා? මාර්තා දැඩිව ප්රශ්න කළේය..
ඒ සර් කිව්වා එයා බල්ලන්ට බයයි කියලා..අපේ ෆ්ලූක් ට බය වෙලා තමා දුවන්න ඇත්තේ...
ඇන්ඩෲ පැවසුවේ මහ හඩින් සිනාසෙමිනි...
------------------------------------------