දේව දරුවා
- Details
- පුෂ්පිකා විජේරත්න
- කෙටිකතා
- Hits: 1119
කාමරයට වැදී දොරගුලු ලා ගත් දේවිකා ඇඳට වැටී කොට්ටය මත මුහුණ හොවා ඉකිගසමින් හඬන්නට වූවාය. තම නැන්දම්මාගේ විසකුරු කටු වැනි වදන් දේවිකාගේ හදවත පාරවන්නට විය. නිවසට පැමිණි තම සැමියාගේ පුංචි අම්මා සමඟ නැන්දම්මා මෙලෙස බැන වදිනුයේ දෑ අවුරුද්දක් ගත වීත් තම කුසට දරුවෙක් නොපැමිණි කාරණය කියාපාමිනි. විවාහයෙන් තෙමස ඉක්මවෙන්නටත් පෙර දේවිකාගේ කුසින් වදන මුණුපුරෙකුගේ සුරතල් බලන්නට ඇවැසි බව පවසමින් නාලකගේ මව බොහෝ සිහින දැක්කාය. එදා පටන් දෑ අවුරුද්දක් ගත වීත් ඇගේ සිගිනය සැබෑ කරන්නට තවමත් නාලකටත් දේවිකාටත් හැකියාවක් ලැබුනේ නැත. විවාහ වී නිවසට පැමිණි මුල් දින වල නැන්දම්මාගෙන් ලැබුන සැලකුම් ආදර වදන් දැන් දේවිකාට ඇසෙන්නේම නැත. ඒ වෙනුවට පාන්දර ලිප ගිණි ඇවිලෙන්නටත් පෙර නැන්දම්මාගේ කටින් පිටවන කුණු බැනුම් සාප කිරීම් හවස ඉර හැංඟුනාට පසුවත් නිම වෙන්නේ නම් නැත. එතරම් පෙනුමක් නැති කතාබහ අඩු පිරිමියෙකු වූ නාලකද තම බිරිඳට මව විසින් කරන දෝශාරෝපණ නෑසු කන්ව උන්නේය. දේව්කා ඒ සියල්ල අසමින් දිවා රෑ කඳුලු බොමින් ජීවිතය ගෙව්වාය.
" බලාපන් නංගියේ...මේක නම් මගෙම කරුමෙ. උඹල ඔක්කොමලා ආච්චි අම්මල උනා.මට එහෙම වාසනාවක් නැති හැටි.. මං අපෙ එකාට අනන්ත කියනව ඔය ගෑනි අතැරල දාපන් කියල...කො..හෙද..මොන ඉනාවක් කවලද මන්ද මේකි..''
"ඒක නං හැබෑව අක්කෙ.මූසල ගෑනු..එළෙව්ව කියලත් යන්න තැනක් තියෙයැ.අම්ම තාත්තත් පරළොව ගිය කොට.. "
නාලකගේ මවත් පුංචිඅම්මාත් කෑම කාමරයේ සිට දේවිකාට දෙහි කපමින් උන්නේ කුස්සියේ සිටින දේවිකාට සියල්ල ඇසෙන බව දැන දැනමය. දේවිකා මහත් ආයාසයෙන් ඇඬුම් තද කරගෙන වතුර කේතලය ලිප තබමින් උන්නාය. එහෙත් නොදැනුවත්වම පිටවූ ඉකිය නිසා විගසින් මුව අතින් තද කරගත් ඈ කුස්සියේ දොරින් එළියට බැස ගේ වටෙන් කැරකී සාලයෙන් ගොඩවී කාමරයට වැදුනේ කෑම කාමරයේ සිටින තම නැන්දණියත් ඇගේ සහෝදරියත් මඟ හැරීම පිණිසයි.
දරුවෙක් පතා දේවිකා කල භාර හාර මෙපමනකැයි කියා නිම කල නොහැක. මුල් කාලයේ නම් නාලකගේ මවත් දේවිකා සමඟ මේ ගමන් බිමන් වලට සහභාගී වුවත් තම මුණුබුරු සිහිනය දිනෙන් දින කල් යද්දී ඈ ටිකෙන් ටික දේවිකාගෙන් ඈත් වන්නට වූවාය.
" උඹට ඕනෑ දිහාක ඕන විදිහකට පලයන් . දරුවෙක් ලැබෙනවනම් මෙලාට ලැබිලා ඔය වෙච්ච බාර හාර වලට. මට ආය ඕවයෙ යන්න කතා නොකරට කමක් නෑ.."
නැන්දණියගේ රළු වචන වලට බිය වූ දේවිකා එතැන් පටන් තනිව දේවාල පන්සල් කරා ගොස් බාර හාර වූයේ තම සැමියාටද ඒ පීලිබඳව උනන්දුවක් නැති බැවිනි. මේසන් බාස් කෙනෙකුට අත් උදව් දෙන්නෙක් වූ නාලකට නිවාඩු පාඩු නැති තරමට වැඩ යෙදී තිබුණි. උදේ පාන්දර නිවසින් පිටවන ඔහු රෑ බෝවී නිවසට පැමිණියද කිසි දිනෙක මත් වතුර බිඳක් හෝ තොල නොගෑවේය. නිවසට පැමිනි විගස ඇඟපත සෝදා කා බී රූපවාහිනිය ඉදිරියේ වාඩිගන්නා නාලක සමඟ වදනක් දෙකක් හෝ දෙඩීමට දේවිකාට අවකාශ ලැබෙන්නෙ ඉඳහිටය. ඒ ලැබෙන හැම මොහොතකදීත් ඇගේ එකම ආයාචනය වූයේ වෙදැදුරෙක් හෝ මුණගැසී මේ ගැටලුවට පිළියම් සොයාගමු යන්නයි. වැඩි කතාබහෙන් තොර නාලක සැමදා එකම පිළිතුරෙන් දේවිකා මඟහැර යන්නේය.
" ඕවට කොහෙ තියන සල්ලිද දේවිකා.. ඕන්නොහෙ තව ටිකක් බලමු.. මොකද අපි තව වයසට ගිහින්යැ..මට දැන් මහන්සි මම නිදාගන්නවා.."
වෙදැදුරෙක් හමුවීමට යාමට කතා කරනා හැම මොහොතකදීම කොහේවත් නැති නිදිමතක් මහන්සියක් නාලකට එන්නේ කෙසේදැයි දේවිකාට සිතාගන්නට නොහැකි විය. වරෙක දේව්කාට සියදිවි නසා ගන්නට තරම් ආවේගයක් පැමිණේ. එහෙත් මේ ප්රශ්නයේදී මඟ හැර ගියත් අන් කිසිවකින් අඩුපාඩුවක් හෝ වචනයක වරදක් නැති තම සැමියාට එවැනි අකටයුත්තක් කිරීම නොමැනවයි සිතා ඈ වහා සිත පාලනය කරගත්තාය.
දේවිකාගෙ වදෙන් පොරෙන් බේරෙන්නට බැරිම තැන නාලක වෛද්‍යවරයෙක් හමුවට කිහිප වතාවක් ඈ සමඟ රෝහලට ගියද පරීක්ෂණ වලින් පසු නාලකට දරුවන් සෑදීමේ හැකියාව අවම මට්ටමක වන බව දැනගන්නට ලැබිනි. එහෙත් ඔවුන් දෙදෙනා ඒ බව මවට වත් නොකීවේ එය විශ්වාස කිරීමට අපහසු බැවිනි. වෛද්‍යවරයාට කිසියම් වරදක් වන්නට ඇතැයි සිතා නැවතත් රෝහලට නොයා ඉන්නට ඔවුන් වගබලා ගත්හ.
හැඬූ කඳුලින් කාලය ගත කරන දේවිකාට ඒ සුභ ආරංචිය ගෙන ආවේ අල්ලපු වත්තේ පදිංචි සුමිත්‍රාය. දේවිකා පත්ව ඇති අසරණ භාවය හොඳින් දත් සුමිත්‍රා තමා දැනගත් පණිවිඩය කිමට ලහි ලහියේ දේවිකා සොයා ආවාය.
" දේව්කා..තනියමද ගෙදර ..කෝ උඹේ නැන්දම්ම..?"
" අනේ එන්න අක්කෙ ඇතුලට .අම්ම ලැහැස්තිවෙල කොහෙද ගියා. මට කියල යන එකක්යැ...අක්කා හදිසියෙම මොකද...?"
"හදිසියෙම ආවෙ උඹට හොඳ පණිවිඩයක් කියන්න. නැන්දත් හිට්යනම් තමා වැඩිය හොඳ. ඒකෙන් කමක් නෑ නැන්දට මම පස්සෙ කියන්නම්කෝ.."
හරිබරි ගැසී සුමිත්‍රා ළඟ හිඳගත් දේවිකා ඉතා උවමනාවෙන් ඇගේ කතාව අසා උන්නාය. සුමිත්‍රා ගෙන ආ පණිවිඩයෙන් දේවිකාගේ දෑස් ආලෝකමත් විය.
"හැබෑටම අක්කේ..., ඕව හරියයිද කියල හිතේ කහටකුත් නැතුව නෙවේ .බාරහාර නම් කොච්චරක් උනාද..."
" එහෙම නෙවේ දේව්කා. මේ තැන හොඳ විස්වාසයි.මං කිව්වෙ අපෙ මහගෙවල් ඒ ගමේනේ. අපෙ ගේ ළඟම ගෑනු ලැමයෙක් අවුරුදු පහක් හිටිය ළමයි නැතිව. දේවාලෙට ගියේ එක වතාවලු. තුන් මාසෙන් දරුවෙක් බඩේ. ඒ ගෑනිමයි මට කිව්වෙ මේ පාර ගමේ ගියාම.."
"අනේ මන්ද අක්කෙ.. මං නාලකටත් කියල බලන්නම්.."
" ඔව් ඔව් මං නැන්දටත් කියන්නම්. ඔච්චර දේවල් කරපු එකේ මෙතැනටත් ගොහින් බලමු..''
සුමිත්‍රා පිටවී ගිය පසු දේව්කා උන්නේ ඉවවහා ගිය ප්රීතියකිනි. සුමිත්‍රා කී අන්දමට ගම් දෙකක් එහායින් වූ ඇගේ මහගෙදර පිහිටි ගමේ ඇති අනුහස් සහිත දේවාලයට භාර වීමෙන් දරු සම්පතක් ලබා ගැනීමට හැකිවේ යැයි දේවිකා සිහින දැක්කාය. නමුත් සවස් යාමයේ නිවසට පැමිණි නාලකගේ මව සමඟ කිසිවක් පැවසීමට නම් දේව්කා බියපත් වූවාය.
සුමිත්‍රා මාර්ගයෙන් තම නැන්දණියටද දේවාලයේ අනුහස් පිළිබඳව ඒත්තු ගැන්වූ දේවිකා දින කිහිපයක් කන්කෙඳිරි ගා නාලකවද ඊට කැමති කරගත්තාය. ගමනට එක් නොවූවත් නාලකගේ මව වෙනදා මෙන් දේවිකාට බැනඅඬගාන්නට ගියේද නැත. සුමිත්‍රාගේ වදන් ඇගේ සිත තුලද යලිත් බලාපොරොත්තුවක් ඇති කර තිබුණි.
දේවාලයට යෑම සඳහා නාලක දිනක නිවාඩුවක් දැම්මේ හිත සතුටින් නම් නොවේ. දේවිකාගේ කන්කරව්චලය හැරුනු කොට මෙවර මවගේ ඉල්ලීමද සලකා බලන්නට ඔහුට සිදුවිය. ගම් දෙකක් එහායින් වූ දේවාලයට යාම සඳහා දේවිකාත් නාලකත් පිටත් වූයේ ගමේ සිට නගරය දක්වා ඇදෙන පාන්දර පහේ බස් රථයෙනි. මහා දුරක නොවූවත් නිතර දේවාලයේ සෙනඟ ගැවසෙන බැවින් පාන්දරින් යා යුතු බව කීවේ සුමිත්‍රාය. ඔවුන් යන විටත් දේවාලය අසල තරමක පෝලිමක් සෑදී තිබිනි. කට්ටකුමංජල් සුවඳ මුළු දේවල භූමිය පුරාම පැතිරී තිබුණි. කලබලකාරී නොවූ දේවාල භූමියට ඇතුල් වීමෙන් පවා දේවිකාගේ සිතට සහනයක් ගෙන දෙන්නක් විය. දේවාල භූමියේම වූ කඩයෙන් පලතුරු වට්ටියක් සුවඳ දුම් සහ තෙල් මල් යනාදී පූජා භාණ්ඩ මිලදී ගන්නට නාලකට සිදුවිය.ඔහුගේ අදහස නම් පිටින් මිලදී ගන්නවාට වඩා දෙගුණයක් මෙහි මුදල වැඩි බවය. එහෙත් දේව භක්තියෙන් මුසපත්ව සිටි දේවිකා ඒ කතා ව වැඩිදුර යන්නට දුන්නේ නැත.
" අනේ නාලක..එහෙම කියන්න හොඳනෑ.. දෙයියන්ට බුදුන්ට දෙන දේ ගණන් හිලව් බලන්නෙ කවුද. කට වහගෙන ඉන්න..!"
පෝලිමේ ටිකෙන් ටික ඉදිරියට යමින් සිටි දේවිකාටත් නාලකටත් දේවාලය තුලට යාමට අවස්ථාව ලැබුනේ දහවල් දොළහත් කිට්ටු වන විටය. නාලකත් දේවිකාත් දේවාල ද්වාරයේ වූ රතු තිරය මෑත් කර දේවාලය තුලට ඇතුලු වූයේ මහත් භක්තියකින් මෙන්ම යම් කිසි තිගැස්මකින්ද යුතුවයි. කපු මහතා මෙන්ම ආවතේව කරුවෙක්ද මනා සුදු ඇඳුමින් සැරසී රතු පැහැ පටියක් ඉනවටා දවටා ගෙන උන්හ. යුවල ඇතුල් වන විට ආවතේව කරු පිටතට ගියේය . මුව දෙපසින් දිගැටි දත් දෙකක් එළියට විහිදුනු දුටුවන් බියගන්වන ආකරයේ විශාල දේවප්රතිමාවට අමතරව නානාප්‍රකාර කුඩා දේව ප්‍රතිමා රාශියක් මැදුර තුළ තැන්පත් කර තිබුනි. කුටියේ පසෙකින් වෙනත් කුටියකට පිවිසීම සඳහා දොරක්ද ව්ය. දේවිකා පලතුරු වට්ටිය සමඟ අනෙකුත් පූජා භාණඩ කපු මහතා අතට පත් කල පසු ඔහු විසින් කාරණය විමසා සිටියේය.
දේවිකාගෙන් සියලු කාරණා සහ රෝහලෙන් කී සියල්ල අසා ගත් කපු මහතා නාලක දෙසට විනිවිද යන බැල්මක් හෙලීය. ඒ බැල්ම දරා ගැනීමට අපහසු වූ නාලක වහා බිම බලාගත්තේය. තවත් තවත් සුළු මොහොතකින් පළතුරු වට්ටිය හා අනෙකුත් කලමනා නිසි ලෙස සැකසූ කපු මහතා දේව යාතිකාව ආරම්භ කලේය. දේවිකාත් නාලකත් මහත් භක්තියෙන් දොහොත් මුදුන් දී වැඳගෙන තම කාරණය සිතින් සිතාගෙන පිහිට ඉල්ලා සිටියහ. මිනිත්තු පහළවක් පමණ උස් හඬින් යාතිකා කල කපු මහතා දේවිකාගෙත් නාලකගේත් නළලත මත දේව ආශිර්වාද සහිත පරහද තවරන ලදි. ඉන් පසු කෙටි බංකුවක් මත වාඩිගත් කපු මහතා යුවලට බිම වූ බුමුතුරුණ මත වාඩිගන්නා ලෙස පැවසීය.
" මේ කරු ණු කාරණා එක දවසින් ඉස්ට කරගන්න බෑ ඕං... බාර හාර වෙලා ඉවරනෙ. තව සුළු සුළු ප්‍රතිකර්ම කීපයක් තියනව මේ ආතුරයගේ සරීරෙ තියන දෝස අයින් කොරන්න..."
කපුවා රතු වූ දෑස් දේවිකා වෙත යොමුකර කිවේය. ඔහුගේ දෑස දේවිකාගේ සිරුර පුරා දිව්වේ කටත් හොරාය.දේවිකාත් නාලකත් යටහත් පහත් ලෙසින් ඔහු කියන සෑම දෙයකටම එහෙයි එහෙයි කියමින් උන්හ.
පඬුරු ලෙස දේව පිළිමය ඉදිරිපිට බුලත් මත තැබූ රුපියල් පන්සියයේ නෝට්ටුවක් තැබූ දේවිකා, කපු මහතා ලබා දුන් දෙව්යන්ට කැපකල පලතුරු වට්ටියේ ඉතිරි කොටහද රැගෙන තම සැමියා සමඟ දේවාලයෙන් පිටතට පැමිණියේ මහත් විශ්වාසයෙන් යුතුවය. බසයට නැඟ නිවස අසලින් බසින තුරුත් දේව්කාගේ මුව්න් පිටවූයේ තමා තුළ ඇතිවූ විශ්වාසය පිළිබඳ වදන්ය.
" මට නං ලොකු විස්වාසයක් තියනව නාලක. නිකන්ම පූජව තිබ්බ විතරක් නෙවෙනේ.ඇගේ දෝසෙට බෙහෙත් කරන්නත් එන්න කිව්වනේ. එදාටත් කොහොම හරි යන්න ඕන..ඔන්න දැම්ම මතක තියන් ඉඳල ඊළග සෙනසුරාද වැඩ එන්න වෙන්නෑ කියල ලොකු බාස්ට කියල තියන්න.."
කවදත් කොයි දේටත් වැඩිපුර කතාබහ නැත්තෙක් වූ නාලක දේවිකා කියනා දෙයට හූමිටි තැබුවා විනා කතාවට නොගියේය. නිවසට ගිය පසු නාලකගේ මවද වෙනදා නොමැති ඇඟෑලුම් කමකින් දේවිකාගෙන් විස්තර ඇසුවාය. දේවිකා කියූ තොරතුරු වලින් ඇගේ සිත තුලද සුභවාදී බලාපොරොත්තුවක් ඇති විය.
ඊළඟ සතියේ සෙනසුරාදා දිනයෙහි පාන්දරින්ම අවදි වූ දේව්කා සහ නාලක සුදු පැහැති ඇඳුමින් සැරසුනේ කපුමහතාගේ උපදෙස් පරිදිය. තවද ඔවුන් දෙදෙනාම දින තුනක සිට මස් මාළු අනුභවයෙන් තොරව ප්රතිකර්මය සඳහා පේවී උන්හ. ප්රතිකර්මය දේවිකාට වුවද නාලකද වත් පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය බැව් කපුමහතාගේ උපදෙස් වල සඳහන් විය. පාට හතකින් මල් වර්ග හතකුත් කැවිලි පෙවිලි සහ පළතුරුද දේව පූජාව වෙනුවෙන් සකස් කර ගත් දේව්කා සහ නාලක පාන්දර බසයේම දේවාලය කරා පිටත් විය.
කපු මහතා පැවසූ පරිදිම එදින දේවාලයේ වැඩකටයුතු නොකෙරෙන දවසක් වූ බව දෙදෙනාට පසක් වූයේ කලින් දිනයේ මෙන් ජනකායක් දේවාල භූමියේ රැඳි නොසිටි බැවිනි. ආවතේවකරුද පෙනෙන්නට නොවූ බැවින් දේවිකාත් නාලකත් දේවාල භූමියේ වට පිට බලමින් සිටින විට කපුමහතා දේවාලයෙන් පිටතට පැමිණියේය.
" ආං උඹල ආවද.. හ්ම්ම් පූජාවට ඕනෑකරන බඩු ගෙනාවද..?"
" එහෙයි ගෙනාවා.."
" හ්ම්ම් ඒ ටිකත් අරන් ආතුරය විතරක් දේවාල භූමියට ඇතුල් වෙනව හොඳයි. ඇනිත් අය ඔය එළියෙ පැදුරක වාඩි වෙලා යාතිකා අහවර වෙනකන් වැඳගෙන හිටපල්ලා.."
කපුවාගේ ගොරහැඬි ස්වරයට තිගැස්සී ගිය නාලක වහා ගොස් ඔහු කී ලෙසම බිම ඇනතියාගත්තේය. දේව්කා කපුවා පසුපසින් පූජා වට්ටියද රැගෙන රතු තිර රෙද්දෙ ඇතුලත වූ කුටියට ඇතුලු වූවාය. කට්ටකුමංජල් සහ මල් සුවඳින් මුළු කුටියම සුවඳවත් වී තිබුනි. කපුවා දේව්කා අත වූ වට්ටිය ගෙන පූජාවට අවශ්‍ය දෑ කඩිනමින් සකස් කළේය. කපුරු පහන් දල්වා කුටිය ආලෝමත්ද කලේය. ඉන් පසු පොල් මලක් අතින් ගත් කපුවා ඕං නමෝ කියමින් යාතිකාව ආරම්භ කළේය. දේවිකා මෙන්ම කුටියේ පිටත් උන් නාලකද මහත් භක්තියෙන් වැඳගෙන කපුවාගේ යාතිකාවට සවන් දුන්නේය. යාතිකාව අවසන් කිරීමෙන් පසු සුළු මොහොතක් නිහඬවම දොහොත් නඟා දේව පිළිමයට වැඳ ගෙන උන් කපුවා දේව්කා දෙසට හැරුනේය.
"පූජාව ඉවරයි ඕං.. දැන් ඇගේ දෝස කපන්න ඕන. වසක් විසක් කැවිල තියෙන බවත් පෙන්නුං කරනව.මෑණියෝ ඊයෙ මධ්‍යම රාත්‍රියෙ සිහිනෙන් ඇව්ත් මට අද එන ආතුරයට දෙන බෙහෙත් වට්ටෝරුව දීල ගියා. මෙන්න මෙහෙන් ආවනං.."
කපුවා උස් හඬින් පැවසූයේ දේවාල කුටියෙන් පිටත සිටින නාලකටද ඇසෙන පරිදිය. එය ඇසූ නාලකගේත් දේවිකාගේත් දෑස් උඩ ඉන්දිනි. දේවිකා මහත් භක්තියෙන් දේව පිළිමයට වැඳ කපුවා පසුපස වැටුනාය. දෙවියන් වැඩ සිටින කුට්යේ පසෙකින් වූ දොරින් ඇතුලු වී කුඩා කොරිඩෝවකට ඇතුලු වූ කපුවා දේව්කා රැගෙන ගියේ කුඩා කුටියකටයි. එහි ඇඳක් තිබුනු අතර ඒ මත සුදු පිරුවට එලා සකසා තිබුනි. කෙලවරක වූ මේසයක් මත කුඩා මංජුසාවකුත් තෙල් බෝතලයකුත් ගුරුලේත්තුවක් සහ වීදුරු කෝප්පයකුත් විය. සිව් කොන හඳුන් කූරු දල්වා තිබූ බැවින් මුළු කුටියම සුවඳවත් වී තිබුනි.
"මෙතැන තමයි ලෙඩ්ඩුන්ට ප්‍රතිකර්ම කරන තැන. ඔය වගෙ බොහොමයක් අයට දේවාසිර්වාදෙනුත් මේ බෙහෙත් බලෙනුත් මං ප්‍රතිපල ඇරන් දීල තියෙනව ඕං..ඔය ඇඳේ ගිහින් හාන්සි උනානං දැං"
කපුවා කීවේ යැටැසින් දේවිකා දෙස බලමින් මේසය අසලට පියමන් කරමිනි. දරුවකු ලබා ගැනීමට හැකි වේ යයි යන ප්‍රීතියෙන් ඔද වැඩී උන් දේව්කා තව මොහොතක් හෝ සිතීමට ප්‍රමාද නොවී වහා ගොස් ඇඳෙහි හිඳ ගත්තාය. කපුවා ගුරුලේත්තුවෙන් වීදුරුවට වතුර වත් කොට මංජුසාවෙන් ගත් කුඩක් ගෙන එයට දමා කලවම් කලේය.
"ආ මේන්න මේ ඖසදේ බිව්වනම්..මේකට ඇඟේ විස පිට කරනවා පොඩ්ඩක් නිදිමත ගතියක් එයි .තව තෙලක් තියනව ඇඟේ ගාන්න. විස අයින් කරන්න ඇගේ තියන. මේක බිල හිස තියා ගත්තනං.හ්ම් හ්ම්.."
දේව්කා වහා වීදුරුවෙහි වූ සියල්ල බිඳකුදු ඉතිරි නොකර පානය කලාය. ඉන් පසු වීදුරුව කපුවා අතට දුන් ඈ හිමින් සීරුවේ ඇඳෙහි වැතිරුනාය.
දේවිකා නැවත පියව් සිහියට පැමිණෙන විට කපුවා කාමරයේ උන්නේ නැත. ඇයට මතකයෙහි තිබුනේ තමා අඳෙහි නිදා ගත් පසු කපුවා පැමිණ තෙල් බොතලයේ ස්වල්පයක් අල්ලට ගෙන තම හිසට දමා මෘදුව සම්බාහනය කල බව පමණි. දේව්කාගේ ඇඟට අප්‍රාණික ගතියක් දැනෙන්නට විය. සෙමින් සෙමින් ඇඳ විට්ටම අල්ලාගෙන නැඟිටින්නට උත්සාහ කල දේව්කා තම දෑතෙහි මෙන්ම දෙපයෙහිද තෙල් ගල්වා තිබෙනු දුටුවාය. ඇය හරිබරි ගැසී ඇඳෙහි ඉඳගන්නා විටම කපුවා දොර විවර කොට කාමරයට ඇතුල් විය.
"ආ..නැඟිට්ටද..ඇඟට ටිකක් අමාරු ඇති නේද..හවස් වෙද්දි හරියයි.. දැන් ඇඟේ දෝස සේරම නිවාරණයි...දවස් හතක් යනකන් කිල්ලට හෙම අහුවෙනව නෙවෙ.හ්ම් හ්ම්... නැගිටල හීන් සැරේ එළියට ආවනං.. "
දේව්කා තරමක අපහසුවෙන් මෙන් නැඟී සිට කපුවා පිටුපසින් දේව පූජා පවත්වන කුටිය වෙත පැමිණියාය. තමා කෙතරම් වේලා සිහිමඳ ගතියෙන් පසු වීද යන්න පිළිබඳව වත් දේව්කාට සිතා ගන්නට නොහැකි විය. දේවාල කුටිය වෙත පිවිසෙන විට නාලකද කුටිය තුලට පැමිණ සිටියේය. දේව්කා මද සිනහවකින් යුතුව තම සැමියා අසලින් සිට ගත්තාය. ඉන් පසු දෙදෙනාම සාවධානව කපුවාගේ උපදෙස් වලට සවන් දෙන්නට විය.
දේව්කා මෙන්ම නාලකද සතියක් යන තුරු කපුවා කී පරිදි මස් මාළු පවා අහරට නොගෙන පේවි උන්හ. නාලකගේ මවද මහත් විශ්වාසයෙන් පුතුටත් ලේලියටත් ඒ සතිය ගෙවන්නට උදව් කලේ කිල්ලකට වත් හසු නොවන්නට වග බලා ගනිමිනි.
මසක් ඇවෑමෙන් දේවිකාට ශරීරයේ යම් යම් වෙනස්කම් දැනෙන්නට විය. කෑම අරුචිය කැරකවිල්ල සහ ඔක්කාරය ඇතිවීම නිසා නාලකගේ මවද දේවිකා පිළිබඳ විමසිලිමත් වූවාය.
" ඈ බං කෙල්ලෙ.. මට පේන්නේ අර දේවාලෙට වෙච්ච බාරෙ හරි ගිහින් වගේ .කෝකට හරි ලෑස්ති වෙයං ඉස්පිරිතාලෙට ගිහින් බලන්න ."
දේව්කා තම නැන්දණියද සමඟ රෝහලට ගොස් පැමිණියේ ඉවවහා ගිය ප්රීතියකිනි. අවසනදී සිහිනය සැබෑ වී ඇත. තම සියලු කරදර දුරු වූ බව සිතා දේව්කා ප්‍රීතියෙන් මඟ බැලුවේ නාලක නිවසට පැමිනෙන තුරුය.
" අනෙ අප්පේ දෙයියො මගෙ මූන බැලුව එහෙනං..මාත් අත්තම්මෙක් උනානෙ. දෙයියංට වෙච්ච බාරෙ ඔප්පු කරන්න යමන් පුතේ අපි හෙටම.."
තම පුතු පැමිණි පසු ඔහුට සුභ ආරංචිය කී නාලකගේ මව පසුදාම බාරය ඔප්පු කිරීමට යන්නට සූදානම් වූවාය. මුව්න් නොකීවද නාලකගේ සිතද ප්‍රීතිමත් වී ඇති බව ඔහුගේ දිලිසෙන දෑසින් දේවිකාට හඳුනාගත හැකි විය.
දස මසක් ඇවෑමෙන් සිඟිති දියණියකගේ මව්පියන් වීමට දේවිකා සහ නාලක වාසනාවන්ත වූහ. නාලකගේ මව හැකි සෑම මොහොතකම දෙවියන්ට ස්තූතිවන්ත වන්නට අමතක නොකළාය. දේව්කා තුලද වූයේ මුවින් කියාපෑමට නොහැකි තරමේ දේව භක්තියකි. එහෙත් දිනක් දරුවා නලවමින් උන් දේවිකා වෙත පැමිණි සුමිත්‍රා කී පුවතින් ඇය මහත් සේ කම්පා වූවාය.
"ඕං බලපන් නංගියේ අච්චර මිනිස්සුන්ට පිහිට වෙච්ච මනුස්සයට ඉරිසියාකාරයො කරල තියන දේ."
"ඇයි සුම්ත්රක්කේ කාටද..? මොනවද කරල තියෙන්නෙ.."
" කාටද අහන්නෙ. අපිට මේ කෙලි පොඩිත්ත ගෙන්න ගන්න උදව් කරපු දේවාලෙ කපුමහත්තයට.."
සුමිත්‍රා කීවේ දේව්කා අත නින්දට වැටී උන් කුඩා දියණියගේ හිස පිරිමදිමිනි. දේවිකා දෑස් විසල් කොට සුමිත්‍රා කියූ දේ අසා සිටියාය
" වටේ පිටේ ඉරිසියාකරයොන්ගෙ වැඩ තමා. අපෙ අම්ම ඊයෙ ටැලිපෝන් කරද්දි කිවෙ ඕන්. හරියට ආරන්ච්යක් නැල්ලු. දේවාලෙ ඇතුලෙ හොර වැඩ කරනවද මොකද්ද කියල කවුද මන්ද බොරු ඔත්තුවක් දීල . පොලිසියෙන් පැනල කපු මහත්තයයි ගෝලයයි අල්ලන් ගිහින්.."
" අනේ අප්පේ.. ඉතින් ඉතින්..පව් කාර මිනිස්සු..ඔහොමත් බොරු කියනවද..දෙයියො වැඩ ඉන්න තැනක් නේ. ඕකුන්ට ඕව පලදෙයි.. "
දේවිකා සිදුව ඇති දේ පිළිබඳව මහත් සේ කම්පා වූවාය. දේවාලය වසා දැමීම තමා වන් අසරණ වූ වෙනත් කාන්තාවන්ට සිදුවූ මහත් පාඩුවක් ලෙස ඇය සිතුවාය.
කල් යත්ම නාලකගේත් දේවිකාගේත් දියණිය වන රංගිකා සුන්දර තරුණියක බවට පත් වූවාය. නාලකගේ මව රංගිකාට බෙහෙවින් ආදරය කළාය.
" සුදු මැණිකේ.. උඹ අපිට දුන්නෙ දෙයියො... උඹට වරදින්නෙ නෑ. දෙයියො උඹ දිහා බලන් ඉන්නෙ.."
තම මිත්තණිය නිතරම ආදරයෙන් කියන වදන් වල තේරුම රංගිකා දැනගත්තේ තම මවගෙනි. එහෙත් විසිවන වියට පා තැබූ දැනුම් තේරුම් ඇති යෞවනියක වූ රංගිකාට එය විශ්වාස කිරීමට අපහසු පුවතක් විය.
" දෙව්යන්ට බාර වෙලා කොහොමද දරුවෙක් ඉල්ලගන්නෙ. අත්තම්මලගෙ මනස්ගාත. අහම්බෙන් වෙච්ච දෙයක් මේ ගොල්ල දෙවියො කරා කියල හිතන් ඉන්නව"
රංගිකා මුව රැඳි මද සිනවෙන් සිතුවත් ඒ පිළිබඳව කියා මිත්තණිය කෝප ගැන්වීමට නොගියාය.
රැකියාවක් ලැබෙන තුරු නිවසේ කම්මැලිකමින් කාලය ගත කිරීමට අකමැති වූ රංගිකා ගමට ආසන්නම නගරයේ මැහුම් පන්තියකට යන්නට පටන් ගත්තාය.තරුණ ව්යට පා තබා සිටි සුන්දර තරුණියක වූ ඇයට පෙම් ඇරයුම් වලින් නම් අඩුවක් නොවීය. එහෙත් රංගිකාගේ සිත බැඳුනේ මැහුම් පන්තිය පැවැත්වෙන ආයතනයේම පරිඝනක පාඨමාලාවක් හදාරන්නට පැමිනි දිලීපගේ පෙම් ඇරයුමට පමණයි. සතියේ දින පහේදීම පන්ති පැවැත්වූ නිසා රංගිකාටත් දිලීපටත් පන්තිය අසලදීම හමුවන්නට හැකියාව ලැබිණි. වැඩි කල් නොගොස්ම මේ පිළිබඳව රංගිකාගේ නිවසට මෙන්ම දිලීපගේ නිවසටත් කනින් කොනින් ආරන්චි ගලා යන්නට විය. රංගිකාගෙන් ඒ පිළිබඳව විමසුවත් නාලකටත් දේවිකාටත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්නට රංගිකා මැලි වූවාය. කෙතරම් අවවාද කලද තව තවත් හිතුවක්කාර ලෙස සබඳතාව දිගටම පවත්වාගෙන යන්නට රංගිකා කටයුතු කලාය. අවසන නාලක තම දියණියගේ පෙම්වතා කාගෙ කවුරුන්දැයි තනිවම සොයා බලන්නට විය. සොයාගත් තොරතුරු තහවුරු කරගත් නාලක නිවසට පැමිණියේ කලබලයෙනි. වැඩි කතාබහ නැති නාලකගේ කටහඬ එදින නම් කාටත් වඩා උස්ව ඇසිනි.
" දේවිකා බලපන් මේ කෙල්ල යාලුවෙලා ඉන්නෙ අර අපි ගියපු දේවාලෙ කපු උන්නැහේගෙ පුතණ්ඩිය එක්කනෙ.."
ඒ ඇසූ දේවිකාගේ දෑස් නළලට නැඟුනි.
" මොකක් ...?මොකද්ද මේ කියන්නෙ නාලක. ඒ මිනිස්සු එක්ක කොහොමද අපි පෑහෙන්නෙ. කපු මහත්තය දැනගත්තොත් විසුමක් වෙන් නෑ.. අපි දැන් මොකද කරන්නෙ දෙයියනේ.."
දෙන්නා දෙමහල්ලන්ගේ කතාව අසා සිටි නාලකගේ මවද තැතිගත්තාය.
" අනේ අප්පොච්චියේ මේකිට පිස්සු හැදිලද දේවිකා. කපු උන්නැහේ දැන් දේවාලෙ නම් කරන් නෑලු. ඒ උනත් පොඩි පොඩි සාත්තු වෙදකම් එහෙම කරනවයි කියනව. බැරිවෙලාවත් මේකිට නූලක් වත් පැන්නුවොත් වසල හමාරයි. අනෙ අප්පේ... දරුව දෙයියන්ගෙන් ඉල්ලල දුන්න වගෙම නැති කරලත් දාවි.."
මවගේ කතාවෙන් දේව්කාද නාලකද බෙහෙවින් තැති ගත්හ. එදින සවස් වරුවේ රංගිකා නිවසට පැමිණි පසු දෙමව්පියන් මෙන්ම මිත්තණියද රංගිකාට හැකි සෑම ලෙසකින්ම දැනමුතුකම් දෙන්නට වූහ. නමුත් රංගිකා ඒ කිසිවක් කනකට ගත්තේ නැත. තම පෙම්වතාගේ පියා යනු කවුරුන්දැයි නාලකගේ මව රංගිකා අසලට ගොස් ආදරයෙන් තේරුම් කලාය. එවන් මිනිසෙකුට කල නොහැක්කක් නැති බව ඇය පුන පුනා කියන විට රංගිකාගේ ඉවසීමේ සීමාව අවසන් විය.
" අනෙ අත්තම්මෙ ..මට ඔය කතාව අහල අහල එපා වෙලා. ඔය බොරු මනස්ගාත ඔලුවෙ දාගෙන ඉන්නෙ ඇයි..? දෙයියෙක්ට බෑ එහෙම ළමයි දෙන්න. එයාගෙ තාත්ත වෙදකම් සාත්තු කරනව තමා. ඒ වුනාට අත්තම්ම කියන විදිහෙ දේවල් වෙන්නෙ නෑ. මනස්ගාත...!"
තම මිණිපිරිය කිසිදාක නොවූ ලෙස සැර පරුෂ ලෙස තමාට කතා කරනු දැකීමෙන් මිත්තණියගේ දෙනෙතට කඳුලු උනන්නට විය. තවත් වදනක් හෝ නොදෙඩූ ඇය නිහඬවම කඳුලු සලමින් රංගිකාගෙන් ඉවතට ගියාය. කෙතරම් වැරදි කලද කිසිදා දරුවාට අතක් උස්සා නොමැති නාලක කම්පාවෙන් නිවසින් පිටත්ව ගියේය. දේව්කාද කඳුලු සලමින් තම නැන්දණියගේ සිත සනසන්නට නොයෙක් දෑ කීවාය. එදින නිවසම මළගෙයක් සේ විය. එකිනෙකා තම තම්න්ගේ කාමර වලට වී නිසොල්මනේ උන් අතර කිසිවෙක් ආහාර ගත්තේද නැත. හවස් වරුවේ නිවසින් පිටව ගිය නාලක නිවසට එන විට රෑ දෙගොඩහරියක් වී තිබුණි. කෙදිනක වත් මත් වතුර තොල නොගෑ නාලකගේ මුවින් වහනය වූ මත් සැර දේව්කා කම්පනයට පත් කරන්නට විය. නිවසේ සියලු දෙනා කතා බහකින් තොරවම නින්දට ගියත් කිසිවකුගේවත් දෑස් මානයට නින්දක් නම් පැමිණියේ නැත.
පසුදා උදෑසන රැකියාවට යාමට වත් සිතක් නොවූ බැවින් නාලක නිවසේම රැඳී සිටිමට කල්පනා කළේය. එගෙත් කිසිවක් සිදු නොවූ අයුරින් රංගිකා මැහුම් පන්තියට යාමට සූදානම් වූවාය. වැඩි කතාබහකින් තොරවම උදෑසන ආහාරයද ගත් රංගිකා මවගෙන් පමණක් සමුගෙන පන්තියට යාමට මිදුලට බැස්සත් ගේට්ටුව ඉදිරියේ එක් වරම නතර වූ පරන පන්නයේ මෝටර් රථය දැක උන් තැනම නතර වූවාය. රංගිකාගේ මවත් පියාත් මිත්තණියත් නිවසින් එළියට පැමිණියේ වාහනයක ශබ්ධය ඇසුණු බැවිනි. රථයෙන් බැස එන උසමහත ගාම්භීර පෙනුමැති පුද්ගලයා කවුරුන්දැයි රංගිකාට හඳුනාගත නොහැකි වූවත් දේව්කාට සහ නාලකට නම් එය අපහසුවක් වූයේ නැත.
"කපු උන්නැහේ...! "
නාලකට ඊට වඩා යමක් කියාගත නොහැකි විය. පියාගේ මුවින් ගිළිහිනු වදන් නිසා පැමිණියේ කවුදැයි වටහාගන්නට රංගිකාට හැකිවිය. ඒ ගාම්භීර හැඩි දැඩි පෙනුම ඉදිරියේ රංගිකාගේ සිතෙහි ඇති වූ බිය තව තවත් වැඩි වන්නට විය. කපු මහතා පැමිණ රංගිකා ඉදිරියේ සිටගෙන ඈ දෙසම නෙත් යොමා මොහොතක් බලා සිටියේය. ඒ බැල්මෙහි ඇත්තේ තරහක්ද වෛරයක්ද නැත්නම් වෙනත් කුමක්දැයි වටහාගැනීමට රංගිකාට නොහැකි විය. ඇය හිමින් සීරුවේ නෙත් දෙක බිමට යොමා ගත්තාය.
" මං ආවෙ මොකටද කියල දන්නව ඇතිනෙ ඔය ළමය. තමුන් නොදන්නව උනාට මං කොහොම මනුස්සයෙක්ද කියල තුමුන්ගෙ දෙමව්පියො දන්නව. හොඳට හොඳයි වගේම මං නරකටත් නරකයි කියල මතක තියාගත්තොත් හොඳයි. අපෙ එකාගෙන් ඈත් වෙලා හිටියොත් බොහොම හොඳයි. නැත්තං මං නරක මිනිහය කියල කියන්නෙපා. තමුන් අද මෙහෙම ඉන්නෙත් මං හින්දයි කියල මතක තියාගත්තොත් හොඳයි.."
රංගිකා දෙස බලගෙන දැඩි හඬකින් පැවසූ කපු මහතා නාලනී දෙසටත් දේවිකා දෙසටත් හැරී යමක් කියන්නට ප්‍රථමයෙන් දේවිකා තම හඬ අවදි කලේ හැඩූ කඳුලිනි.
"අනේ කපු උන්නැහේ..අපට තේරෙනව .හැමදෙයක්ම තේරෙනව. අපි අපේ දරුව හදාගන්නං .අනේ කරදරයක් කරන්න නම් එපා..අපි..ට සමාවෙන්න . ."
දෑත එක් කොට තමාට වැඳගෙන හඬන දේව්කා දෙස බලා උන් කපු මහතා තවත් වරක් රංගිකා දෙස බලා කිසිවක් නොකියා ආපසු හැරී ගොස් වාහනයට නැඟ යන්නට ගියේය. මවත් මිත්තණියත් පන්තියට නොයන ලෙස කෙතරම් ඇවිට්ලි කලද රංගිකා නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි විය. පන්තිය අසලදී වෙනදා මෙන්ම තම පෙම්වතා වන දිලීප හමුවූ රංගිකා සිදු වූ සියල්ල ඔහුට පැවසීය. නමුත් රංගිකා පවසන තුරුත් ඔහු ඒ කිසිවක් දැන සිටියේ නැත. නිවසට ගිය පසු පියා සමඟින් මේ පිලිබඳව කතා කරනා බවට පොරොන්දු වූ දිලීප රංගිකාගෙන් සමුගත්තේ කැළඹීමෙන් යුතුවය.
පසු දිනද දේවිකාගේ ආයචනය නොතකාම රංගිකා පන්තිය වෙත ඇදුනාය. නාලකට රැකියාවට යාමට පවා හිත හදාගන්නට නොහැකි විය. තම දියණියට යම් කරදරයක් වේ යැයි නිවසේ සියලු දෙනා උන්නේ තැතිගැන්මෙනි. එහෙත් වෙනදාටත් වඩා වේලාසනින් එදින රංගිකා නිවසට පැමිණියාය. ඇගේ මුහුණෙහි වූයේ කලකිරුනු ස්භාවයකි. ආහාර ගැනීමද ප්‍රතික්ෂේප කල රංගිකා කිසිවකුට මුහුණ නොදී කාමරයේ දොර වසාගත්තාය.
නොයා බැරි කම හේතුවෙන්ම නාලක පසු දිනයේ වැඩට යාමට සූදානම් විය. ඔහු සූදානම් වී කෑමට වාඩි වන තුරුත් රංගිකා කාමරයෙන් එළියට පැමිණියේ නැත. කාමරයේ විදුලි බුබුලද දල්වා අති බැව් කාමරයෙන් විහිදුන එළියෙන් දේවිකා දුටුවාය. ඇය කිහිප වරක් දොරට තට්ටු කල නමුත් රංගිකා දොර ඇරියේ නැත. දේව්කා අසන් කිසිදු පැනයකට කාමරය තුළ සිටි රංගිකා පිළිතුරු දුන්නේ නැත. නාලකගේ මවද බියට පත්වී දොර අසලට පැමිණ යාප්පුවෙන් කතා කර දොර ඇර ගැනීමට උත්සාහ කලත් රංගිකා නම් පිළිතුරු දුන්නේ නැත. වහා කළබල වූ දේවිකාත් මිත්තණියත් දියණියට කිසියම් කරදරයක් වීදැයි සැක කර නාලකට හඬගා දොර කඩා දමන ලෙස පැවසීය. ගෙතුල වූ නාරස්සනය ගෙන ආ නාලක වහා දොරට ගසා දොර කඩා දැම්මේය.
දුටු දසුනින් සියලු දෙනාම බියපත් වී කෑගැසූ අතර නාලකගේ මව හිස අතගසාගනිමින් එතැනම බ්ම වාඩිගත්තාය. කාමරයේ බාල්කය මත රංගිකාගේ නිසල සිරුර සාරියකින් එල්ලී තිබිනි. දේව්කා විලාප දෙමින් මළ සිරුරෙහි දෙපා බදාගෙන හඬන්නට වූවාය. නාලක බාල්කයේ එල්ලී හිඳින තම දියණිය දෙස බලගෙනම කාමරයට ඇතුල් වූයේ සිහිනයෙන් මෙනි. නාලකගේ මවත් දේව්කාත් විලාප දෙමින් හඬ හඬා සිටියහ. නාලක අප්‍රාණික ලෙස බිත්තියකට පිටදී සිහි එළවාගන්නට උත්සහ කරන අතරතුර රංගිකාගේ පොත් මේසයේ ඇති මල් පෝච්චිය යට ඇති දෙකට නවන ලද කොළයක් දුටුවේය. ඔහු වහාම කොළය ගෙන සැලෙන දෑතින් එය දිගහරින්නට විය.
ආදරණීය අම්මේ,තාත්තේ,අත්තම්මේ,
මට සමාවෙන්න හැමදේකටම. මේ ලියුම ඔයාල කියවනකොට මම මේ ලෝකෙ නැතිවේවි.
ඔයාලට දෙවියො දුන්න දරුවා අදින් පස්සෙ ඔයාලත් එක්ක නැතිවේවි. එත් ඔයගොල්ල දන්නෙ නැති දෙයක් මම අද දැනගත්තා. ඔයාල කොහොමද ඔය තරමට මෝඩ උනේ කියල මට හිතාගන්න බෑ. අම්මේ ,මං දෙවියො දූන්න දරුවෙක් නෙවේ. අද මම පන්තියට ගියාම දිලීපගේ තාත්ත මාව හම්බෙන්න ඇවිත් හිටියා. මට කතා කරන්න ඕන කියල මාව වාහනේට එක්කරගෙන ගියා. එදා ගෙදරට ඇව්ත් බැනල තර්ජනය කරල ගියපු මනුස්සය වෙනුවට මගෙ ඉස්සරහ හිටියෙ අන්ත අසරණ වෙච්ච මනුස්සයෙක්. ඒ මනුස්සය මං ඉදිරියේ ඇඬුවා .සමාව ගත්තා. අම්ම දන්නවද මාව අම්මට දුන්න දෙයියො කවුද කියල..ඒ දිලීපගේ තාත්තම තමා .එහෙමත් නැත්තං දේවාලෙ කපු මහත්තය. අම්මට සිහි නැති කරල ඒ කරපු දේ ගැන ඒ මනුස්සය මට කීවෙ අඬ අඬා. කාලෙකට පස්සෙ පොලීසියට අහු උන නිසා ඒ කරුම වැඩේ නතර කරල දැම්මලු. අම්මට දැන් මොකද හිතෙන්නෙ. තාත්තට මොකද හිතෙන්නෙ. අම්මට හැමදේම වෙනකන් තාත්තත් ඇස් කන් පියාගෙන හිටියෙ එතනම නේද. කොහොමද ඒ තරම් මෝඩ උනේ. දෙවියෙක්ට දරුවෙක් දෙන්න පුළුවන් කියල හිතන්න තරම්. මට ලැජ්ජයි. මං කොහොමද ලෝකෙට මුහුන දෙන්නෙ. මං ආදරේ කරල තියෙන්නෙ මගෙම අයියට. ඒත් ඒ දේවල් එයාට වත් නොකියා ඉන්න කියල ඒ මනුස්සය මාව පොරොන්දු කරගත්තා. ඒත් මං කොහොමද ඉන්නෙ. මට මේ දේවල් දරාගන්න බෑ. ඒ නිසා මං මේ තීරණය ගත්තා. මට සමාවෙන්න..
මීට සුදු මැණිකේ.
ලිපිය කියවූ නාලකගේ දෑස් නිලංකාර වී ගියේය. දේව්කා මෙන්ම නාලකගේ මවද හඬමින්ම නාලකගෙන් ලිපියෙහි ඇති දේ පවසන ලෙස නාලකගෙන් අයැදිමින් සිටියහ. එහෙත් තවදුරටහ් නාලකට වදනකුදු දෙඩීමට හැකියාවක් නොවීය. ඔහුගේ පපුවේ වම් පසින් දරාගත් නොහැකි වේදනාවක් දැනෙන්නට විය. පපුව අතින් තද කරගත් නාලක දේව්කා දෙසට ලිපිය දිගු කරමින්ම කපා හෙළු කඳක් සේ බිම ඇද වැටුනේ දියණිය සමඟම අවසන් ගමන් යන්නටය.
නිමි.
පුෂ්පිකා විජේරත්න .