තම සොයුරා වන සුධීරගේ ගිණුමට රුපියල් පන්දහසක මුදල් ඇණවුමක් යොමු කළ නදීකා තැපැල් කන්තෝරුවෙන් පිටතට පැමිණියේ යම් සිහින් සතුටකිනි. සුධීර උසස් පෙළ විභාගයට පෙනී සිටිනුයේ තවත් අවුරුද්දකිනි. ඔහු ඉගෙනීමට දක්ෂය. සාමාන්ය පෙළ ඉහලින්ම සමත් වුවද ඔහුගේ කැමැත්ත පරිදි තෝරාගත්තේ කලා විශයධාරාවය. සාමාන්ය පෙළ පන්තියෙන් ඉගෙනීමට තිත තැබූ නදීකාට ඒ ඒ විශයන් තෝරාගැනීම ගැන දැනුමක් නොතිබුනත් සොයුරා කෙසේ හෝ විශ්වවිද්යලයට තේරි පත් වන බවට නම් තද විශ්වාසයක් සිතේ තිබුණි. තමා මේ තරම් නැහෙන්නේ ඒ සිහිනය වෙනුවෙනි. සුධීරටත් වඩා ඒ සිහිනය බලාපොරොත්තුවෙන් සිටින්නේ නදීකාය.
නදීකාගේත් සුධීරගේත් පියා අහිමි වූයේ සුධීර පස්වැනි ශ්රේණියේ ඉගෙනුම ලබද්දීය. නදීකා එවකට උන්නේ දහවැනි ශ්රේණියේය. දවසේ පැය ව්සිහතරේම බීමතින් සිටින තම පියා මියයාම නදීකාටත් සුධීරටත් පමණක් නොව ඔවුන්ගේ මවටද ගෙන දුන්නේ සැනසීමකි. ස්ථීර රැකියාවක් නොවූ මවද ඔවුන් දෙදෙන රැක බලා ගත්තේ අතට අසුවන ඕනෑම කුලියක් මලියක් කරදී හමුවන සොච්චමෙනි. නදීකාගේත් සුධීරගේත් ජීවිත වලට තවදුරටත් අවාසනාවන්ත කාලයක් උදා වූයේ පිළිකා රෝගයකින් මව මිය ගිය පසුවයි. නදීකා ඒ වන විටත් සාමාන්ය පෙළ අවසන් කලා පමණි. කවදත් ඉගෙනීමට දක්ශකම් නොදැක්වූ නදීකාගේ පාසල් ගමන එතැනින්ම අවසන් විය. සොයුරාගේත් තමාගේත් ජීවිත ගැට ගසා ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීම නදීකාගේ ඊළඟ අරමුණ විය. නමුත් රැකියාවකට යාමට වයස බලපෑ බැවින් ඇයටද සිදු වූයේ තැන් තැන් වල බැලමෙහෙවරකම් කරමින් සොච්චම් පඩියක් උපයා ගන්නටය. තමාගේත් මල්ලීගේත් බඩගින්න නිවා ගන්නටත් මල්ලීගේ පාසල් වියදම් දරන්නටත් ඒ ඉපයූ මුදල ප්රමානවත් නොවූ තරම්ය. අඟහිඟ කම් මැද වුව සුධීර පාසල් යන්නට මඳකුදු පසුබට වූයේ නම් නැත. කුඩා වයසේ වුවද තම අක්කා විඳින දුක් ගැහැට ඔහු මැනවින් දැන උන්නේය.
ගමේ පදිංචි වී සිටියද අවුරුද්දකට දෙතුන් වතාවක් පමණක් තම මව දැකගන්නට එන කාන්තිව නදීකාට හමුවන්නේ එළෙස ගමට පැම්ණ සිටි දිනකදීය. දුප්පත්කමේ අන්තයටම ගිලී උන් නදීකාට කාන්ති ගෙන ආ යෝජනාව මහමෙරක් තරම් විය. ඈ සමඟින් කොළඹ රස්සාවකට යාමට නදීකා එක පයින් කැමැත්ත දුන්නත් සොයුරා තනිවම නිවසේ තබා යන්නේ කෙසේදැයි ඊළඟට ගැටලුවක් මතු විය. නමුත් කාන්ති ළඟ එයටද පිළිතුරක් විය.
"උඹ බයවෙන්නෙපා... මාසෙකට දෙකකට කොල්ලව අපෙ අම්ම ළඟ තියල යං. උඹ නොදන්නව උනාට කොළඹ රටේ ලොකු ලොකු මහත්තුරු මං අඳ්රරනවා. ලොකු ඉස්කෝල නැතත් කොළඹ අහල පහල තියෙන පොඩි ඉස්කෝලෙකට කොල්ල දාල දෙන වැඩේ මම කරල දෙන්නං...වියදං ගැන හිතන්නෙපා..මුල් ටිකේ මං ඔක්කොම බලාගන්නං .උඹට හොඳට හම්බ කරන්න පුළුවන් රස්සාවක් මං හොයල දෙන්නෙ..බය නැතිව යමං..."
නදීකාගේ සිතේ කාන්ති වෙනුවෙන් ඇති වූයේ අපමණ භක්තියකි. නදීකා දුටුවේ කාන්ති තමාගේ උදව්වට පැමිණි දිව්යාංගනාවක් ලෙසිනි. නදීකාගේ දෙනෙතින් සතුටු කඳුලු ගලා යන්නට විය.
කාන්ති සමඟින් නදීකා ගමෙන් පිටව ගියද තම සොයුරා මතකයට එන විට ඇගේ හදවතට ඉවසුම් නොදෙන්නට විය. කුඩා සුධීරද තම එකම නෑදෑයා වන සොයුරියගේ වෙන්වීම ගැන බොහෝ සේ දුක් විය. නමුත් අක්කාට ලැබෙන රැකියාවත් සමඟ තමාට හොඳ පාසලක අඟ හිඟයක් නොමැතිව ඉගෙන ගන්නට හැකි බව කාන්ති විසින් ඒත්තු ගැන්වීමෙන් පසු සුධීරගේ සිතෙහි යම් බලාපොරොත්තුවක් දැල්වෙන්නට විය.
කාන්ති සමඟින් කොළඹට ගිය නදීකාට සිදු වූයේ නොසිතූ නොපැතූ දෙයකි. හොඳින් මුදල් ඉපයිය හැකි රස්සාව කුමක්දැයි කියා දැන ගන්නා විට නදීකා පරක්කු වූවා වැඩිය. කාන්ති විසින් නදීකා රැගෙන ගිය කාන්තා නේවාසිකාගාරයක් බඳු විශාල දෙමහල් නිවසේ ඈ වැනිම වූ තවත් තරුණියන් දහ දොළොස්දෙනකුට වැඩි ප්රමාණයක් සිටිනු ඇයට දැකගත හැකි විය. කාන්ති චාටු බස් තෙපලමින් නිවසේ හිමිකාරිය යැයි හැඟෙන තරබාරු ජේත්තුකාර මැදි වයසේ කාන්තාවට නදීකා විකුණා දැම්මාය.. නදීකා උන්නේ දියෙන් ගොඩ ගත් මාළුවකු සේ අසරණවය. එක් අතකින් මේ තමාගේම වැරැද්ද යැයි ඇයට සිතිනි. රස්සාවක් යැයි කී පමණින් කිසිවක් සොයා නොබලා පැමිණියේ තමාමය. එක් අතකින් සොයා බැලුවත් කාන්ති සත්ය පවසන්නේ නැති බවද නදීකා තේරුම් ගත්තාය. විනාඩි කිහිපයක් චාටු බස් දෙඩමින් උපදෙස් දෙන්නට වූ කාන්ති පිටව ගියේ සොයුරාගේ පාසල් ගමන ගැන සිහිකර හෝ සියල්ල දරා ගත යුතු යැයි නදීකාට සිහිපත් කරලමිනි.
එතැන් පටන් නදීකාගේ ජීවිතයේ අඳුරු සමය පටන් ගන්නට විය. මුල් කාලයේ නිවසේ හිමිකාර රූපා මැඩම් විසින් මේ නිවසට පැමිනෙන නොයෙකුත් තරාතිරමේ කාමාතුර මිනිසුන්ට නදීකා විකුණන විට ඈ උන්නේ හැඬූ කඳුලිනි. නුහුරු නුපුරුදු අශෝබන චර්යාවන් දහඩිය ගඳ වෑහෙන මස් පරුවත වැනි ශරීර නදීකාගේ සිතේ ඇති කළේ දරාගත නොහැකි තරමේ පිළිකුළකි. එවන් පිළිකුල් පැය කිහිපයකින් පසු දෑස නළලට නංවාලන තරමේ මුදල් නෝට්ටු කිහිපයක් අතට ලැබෙන විට නදීකා පුදුමයෙන් පුදුමයට පත් වූවාය. එහෙත් එවැනි නෝට්ටු කිහිපයකට මෙවන් අතවර දරා ගන්නේ කෙසේද...! තම ආත්මයම පාවා දෙන්නේ කෙසේද..!
අවසනදී නදීකා ඒ ජීවිතයට හුරු වන්නට විය. ඊටත් වඩා ඇය අතට ලැබෙන නෝට්ටු කඩදාසි වලට ගිජු වූවාය. තමා මේ නරාවලට ඇද දැමුවද කාන්ති තම පොරොන්දුව ඉටු කරමින් කොළඹ අවට වූ පාසලකට සොයුරා ඇතුලත් කර දිම නදීකාට අපමණ සහනයක් විය. නදීකාගේ ආර්ථිකය යහපත් වන්නට එතරම් කාලයක් ගත වූයේ නැත. නමුත් ඒ හා සමඟම වයසින් වැඩෙන තම සහෝදරයාට මුහුණ දීමේ අපහසුතාවයද ඇයට තදින් දැනෙන්නට විය. මුල් කාලයේ රූපා මැඩම්ගේ දැඩි රැකවල් මැද කාලය ගත කලත් මෙයින් මිදී ගොස් අත්වන සෙතක් නැති බව හැඳිනගත් පසු තවදුරටත් රැකවල් යොදා නදීකා රඳවා තබා ගැනීමට අවශ්ය වූයේ නැත. එසේ හෙයින් රූපා මැඩම්ගේ අවසරය මත සොයුරාගේ පාසල් නිවාඩුවට හෝ ගමේ නිවසට ගොස් දින කිහිපයක් ගත කර පැමිණෙන්නට හැකි වුවත් නදීකා එය සිතා මතාම මඟ හැර දැම්මාය.
අග හිඟයක් නොමැතිව මුදල්ද ඉගෙනගන්නට අවශ්ය සියල්ලද සහෝදරිය නොඅඩුව සපයන බැවින් සුධීරගේ එකම බලාපොරොත්තුව වූයේ ඉහළටම අධ්යාපනය ලබා තම මව වන් සහෝදරිය දුකක් නොදී රැක බලාගැනීමයි. තම සොයුරිය මුදල් උපයන්නේ කෙසේදැයි හාරවුස්සා බැලීමට තරම් සූධීරට උවමනාවක් නොවීය. සාමාන්ය පෙළ විශිෂ්ඨ ලෙස සමත් වූ සුධීර තෝරාගත්තේ කලා විශය ධාරාවයි. පාසලේ නේවාසිකාගාරයටම කොටු වී උන් සුධීරට වයසින් වැඩෙත්ම තම නිදහස විඳීමට සමාජශීලී වීමට දැඩි අවශ්යතාවයක් පැන නැඟුනි. නදීකාගේද අවසරය ලබා ගත් සුධීර පාසල් නේවාසිකාගාරයෙන් සමුගෙන පාසලට සමීපයෙන් බෝඩිං කාමරයක් සොයා ගත්තේ තම ම්තුරන් දෙදෙනෙකුත් සමඟින් හවුලේ වාසය කරන්නටය.මුදල් වලින් අඟහිඟයක් නොතිබූ බැවිනුත් සුධීරගේ ජීවිතයට වෙනසක් ලැබිය යුතු වූ නිසාත් නදීකා මෙයට එකඟ වූවාය. ඒ වන විට නදීකා කිහිප වතාවක්ම පොලිස් දැලට අසු වී නැවත නිදහස් වී පැමිණ උන්නාය. ඒ සැම අවස්ථාවකම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන්ව නිදහස් කරන්නට රටේ ප්රභල පුද්ගලයන්ගේ සහය නොඅඩුවම ලැබී තිබිනි. කෙසේ වුවත් අවසනදී රූපා මැඩම්ගේ නිවස යලිත් ඔවුන්ගේ වාසස්ථානය කරගන්නට අවකාශ ලැබුනේ නැත. එහි උන් තරුණියන් දැන් කොහි කොහි සිටින්නේදැයි නදීකාද නොදනී. එම නිවසේ තරම් සැප පහසුකම් නැතත් නදීකා දැන් වෙසෙන මුඩුක්කු නිවසේ සිට පෙරටත් වඩා යහමින් මුදල් හරි හම්බ කලාය. රූපා මැඩම්ගේ නිවසේදී තම අතට පත් වන මුදලින් කොටසක් රූපා මැඩම්ට වෙන්කල යුතු වුවද දැන් එසේ නොවේ.
රූපා මැඩම්ගේ නිවසේ සිටින කාලයේ කොළඹ නගරයේ මඟ තොට ඇවිදිමින් සිටින නදීකාට පාර අයිනෙහි බුලත්, ලොසින්ජර වැනි දේ අළෙවිකරන සෝමා මිතුරියක් වූවාය. යන එන මං නැතිව පාරට වැටුනු දා නදීකාගේ පිහිටට උන්නේ ඇයයි. සෝමා වාසය කරන මුඩුක්කු නිවහනේ නදීකාද කොටස්කාරියක වූයේ එළෙසිනි. දහවල් වරුවේ බුලත් ලොසින්ජර විකුණන සෝමාගේ රාත්රී රැකියාවද තම රැකියාවම බව නදීකා දැන ගත්තේ මුඩුක්කු නිවසට ගිය පසුවයි.
" උඹ ඔය රස්සාව කළාට මොකද උඹට තාම ඒ හැටි මිනිස්සු ගැන තේරුමක් නෑ බං. උඹ කර කර හිටපු දේ මෙන්න මෙහෙ වැටිල කරගනින්..ඔය මහ ලොකු ගෙවල් වලට වගේ මෙහෙට කොයි වෙලෙත් පොලිසියෙන් කඩා පනින්නෙත් නෑ. අනික මට උඹෙ සල්ලිත් එපා. අපි තුන්දෙනාට කන්ඩ බොන්ඩ ටික බෙදා හදාගෙන ගෙනාවම ඇතිනෙ. මං මේ හැමදේම කොරන්නෙත් මගෙ පොඩි එකා බලාගන්න ඕන හින්ද.."
සෝමා නදීකාට පැවසුවේ රෙදි කඩමාල්ලක වැටී නිදන තම හත් හැවිරිදි පුතු දෙස සෙනෙහසින් මෙන්ම දුකින් පිරි දෙනෙත් යොමාගෙනය.
ඉන් පසු නිතර නිතර පාරේ තොටේ ගැවසෙමින් කාමයෙන් දැවෙන මිනිසුන් තමා සොයා එන තෙක් කල් මරන්නට නදීකාට සිදුවිය. එහෙත් නදීකාගේ සිත බියෙන් සැකෙන් පිරී තිබුණේ මහ ව්ශාල නගරයකදී වුව තම සොයුරා මුහුණට හමු වුව හොත් යැයි සිතීමෙනි. සත්ය ලෙසින්ම එවැනි අවස්ථා කිහිපයක්ම උදාවන්නට ගිය නමුත් නගරයේ මහ විශාල ජනකාය මැද සොයුරා මඟහැර යන්නට නදීකාට අපහසු වූයේ නැත. කවදා වනතුරු මේ රහස සොයුරාගෙන් සඟවාගෙන සිටින්නට හැකි වේ දැයි සිතන විටත් නදීකාගේ සිතට දැනුනේ තිගැස්මකි.
දැන් දැන් නදීකාට තම ජීවිතය පිළිබඳව ඇත්තේ අවිශ්වාසයකි. සොයුරාගේ අධ්යාපන කටයුතු හෝ අවසන් වන තුරු තම ජීවිතය ගැට ගසාගන්නට හැකි වුව හොත් තමාගේ සිතට සැනසීමක් ලැබෙන බව ඇය දැන උන්නාය. දින කිහිපයක් තිස්සේ සිරුරට දැනෙන උණ ගතිය සහ උගුරේ වන වීම නිසා හරිහැටි ආදායමක් සොයාගන්නට නොහැකි වීම නදීකාට බරපතල ගැටලුවක් විය. සෝමා කිසිදු අඩුපාඩුවක් නොකර කෑම බීම සැපයූවද නදීකාගේ සිතට දැනෙනුයේ මදිපුංචිකමකි. කෙසේ වුවද සියලු සත්ය සෝමාට පැවසීමේ හැකියාවක්ද නදීකා වෙත නොවීය. දවස් කිහිපයක් කරන ලද වෛද්ය පරීක්ෂණ ගණනාවකට පසුත් නදීකාගේ ගතට හෝ සිතට සැහැල්ලුවක් දැනුනේ නැත. ඔව්...! යලි කිසිදිනක තමා සුවපත් නොවනු ඇත.
නදීකාගේ සිතෙහි වෛරයේ ගිණිපුපුරු දැල්වෙමින් තිබුණි. මඳක් සුවපත් වූ වහාම ඇය නැවතත් ගොදුරු සොයමින් යන කොටිදෙනක මෙන් මහමඟට පිවිසියාය. දැන් ඈ තුල බලාපොරොත්තුවක් ඇත. සුධීර වෙනුවෙන් සුධීරගේ අධ්යාපනය වෙනුවෙන් මුදල් සෙවීම හැරුනුකොට නදීකාට දැන් තවත් බලාපොරොත්තුවක් ඇත. එක් අතකින් මේ සිදුවූ දෙය ගැන නදීකා සතුටු වූවාය. තමාට පළිගැනීමේ මාර්ගයක් විවෘත වී ඇත. ජීවිතය අහිමිවන්නට පෙර තමාට හැකි උපරිමයෙන් පළිගත යුතුය. තමාගේ ඉදිරියේ නැවැත්වෙන කළු පැහැ වීදුරුවලින් වැසුනු සුඛෝපභෝගී වාහනය තුළ සිටින නන්නාඳුනන පිරිමින් මින් ඉදිරියට තමාගේ ගොදුරු බවට පත් වනු ඇත. එය ඔවුන් දැනගන්නා විට සියල්ල සිදුවී හමාර වනු ඇත.
බස් නැවතුමෙහි ඒ මේ අත සැරිසරමින් සිටින අතරතුර නදීකා තම බෑගයෙහි වූ කුඩා සාක්කුවට අතදමා එහි වූ කුඩාවට නවන ලද කොළ කැබලි තිබේදැයි අතගා බැලුවාය. ඇගේ මුවගට මද සිනාවක් නැඟුනි. මෙතෙක් තමාට හමු වූ තමා විසින් මේ හසුන් පත ලද කිසිවකුත් යළි තමා හමුවට පැමිණ නැත. ඔවුන් සිතෙන් ගතෙන් දැවෙනවා විය යුතුය. තමාගෙන් පළිගන්නට සිතුවද ලෝකයාට බයෙන් ඔවුන් එය නොකරනු ඇත. නදීකා යළිදු සිහින් සිනාවක් දෙතොලතර රඳවාගත්තාය.
නදීකා රාත්රී ගමන් බිමන් ටිකෙන් ටික අතහැර දැම්මේ සෝමා සමඟ එකඟතාවයකට පත් වීමෙන් පසුවය. නමුදු රැකියාව අතහැරීමක් වූයේ නැත. එහෙ මෙහෙ ඇවිදිමින් ගොදුරු ඩැහැගන්නවා වෙනුවට රාත්රීයේදී ගොදුරක් නිවසට කැන්ඳාගැනීම නදීකාට වඩා පහසු විය. උසස් සමාජයේ යැයි කියන කාමාතුරයින් සමඟ දහවල් කාලය හෝටල් කාමර වල ගතකල නදීකා, දවස් පඩ්යෙන් හෝ මාස් පඩියෙන් කොටසක් තැබෑරුමට වියදම් කර ඉතිරියෙන් මනදොළ සනහා ගන්නට එන කාමතුරයින්ට රාත්රී කාලයේ මුඩුක්කු කාමරයේදී විකිණුනාය. ඒ කාගේත් කමිස සාක්කුවට හෝ කලිසම් සාක්කුවට නදීකාගේ බෑගයේ වූ හතරට නැවුන කොළ කැබැල්ල ඇතුලු වූයේ රහසිනි.
යම් තරමක අපහසුතාවක් ගතට දැනුනද රාත්රියෙහි පැම්ණෙන ඕනෑම මස්වැද්දෙකුගේ ග්රහනයට නතුවන්නට මෙදිනද නදීකා මඟ බලා උන්නාය. කාමරයේ කබල් මේසයෙහි ලාච්චුව විවර කර බැලූ නදීකාට පෙර දින රාත්රියෙහි තම අත් අකුරින් ලියා තැබූ කොල කැබලි කිහිපය දැක ගන්නට හැකිවිය.
" අදත් එකෙක් ඒයි... පළිගන්න පුළුවන් කිසිම මොහොතක් මම අතාරින්නෙ නෑ..."
නදීකා තනිවම මුමුණාගත්තාය. ඇය පේවෙමින් බලා හිඳිනුයේ ඒ මොහොත එන තුරුයි. තවත් විනාඩි කිහිපයක් අවසනදී නිවසේ ඉදිරිපස ලෑලි දොර විවර වෙන හඬත් සෝමා සමඟ මුමුණන පිරිමි හඬ කිහිපයකුත් නදීකාගේ දෙසවට වැටිණි. කුකුල් කූඩුවක් වැනි තමාගේ කුඩා කාමරයේ දොර රෙද්ද අතුරින් මතුවන ඕනෑම පිරිමි පරානයක් පිළිගන්නට නදීකා සූදානම් වූවාය. තවත් සුළු මොහොතකින් දොර රෙද්දට පිටුපසින් කිසිවකු ගැවසෙනු දුටුවත් එකෙනෙහිම විදුලිය විසන්ධි වී ගියේ පළාතම අඳුරෙහි ගිල්වමිනි. දොර රෙද්ද අසල වූ රුව තව මොහොතක් පමා වන්නට විය. දෙස් දෙවොල් තබමින් සෝමා රැගෙන ආ කුප්පි ලාම්පුව නදීකාගේ කාමරයට මඳ ආලෝකයක් ගෙන ආවේය. එය තිබුනත් නැතත් පලක් නැති බව නදීකා දැන උන්නාය. මෙහි එන කිසිවකුත් තමාගේ රුව නරඹන්නේ වත් තමා ඒ කිසිවකු දෙස ආසාවකින් බලන්නේ වත් නැති බව නදීකා දනියි.
හෝරාවක පමණ කාලයක් නදීකා සමඟ ගත කල පිරිමි රුව ලාම්පු එළියෙන් එතරම් එළිය නොවැටුන කාමරයෙන් අඳුරු සෙවනැල්ලක් සේ නැඟී සිටියේ ආපසු පිටත් වීමටය. නදීකාගේ මුවටගින් මද සිනාවක් නැඟුනේ අඳුරේමය. පිටව යන්නට සූදානම් වන පිරිමියා අද ඊයේ තරුණ වියට පිළිපන් අයෙක් බව නදීකා මන්දාලෝකයෙන් හැඳින්නාය. ඔහුගේ අත්හදා බැලීමේ පළමු දිනය අද වන්නට ඇත. එහෙත් නදීකාගේ පළිගැනීම ඔහුටද හිමිය. තරුණයා වියරුවෙන් දඟලන මොහොතේ අත වූ කුඩා හසුන ඇඳ අසල වූ පුටුව මත ඇති කමිස සාක්කුවට ඔබන්නට නදීකාට මහ කාලයක් ගත වූයේ නැත. කමිසයේ බොත්තම් පියවා ගැනීමෙන් පසු තරුණයා නැඟී සිටියේ පිටවී යන්නට සූදානම්වය. එහෙත් ක්ෂණිකවම විසන්ධි වී තිබූ විදුලි බලය නැවත ලැබීමත් සමඟ මුඩුක්කු කාමරය ආලෝකමත් වී ගියේය. නදීකා තරුණයා දෙස බැලුවේත් තරුණයා නදීකා දෙස බැලුවේත් එකවරය. එළෙසින්ම තරුණයා ගැස්සී ඇඳ මතින් නැඟිට්ටේද නදීකා තම නිරුවත දෑතින් වසා ගනිමින් දෑස් නලළ මත රඳවා ගත්තේද එකම මොහොතේදීය.
" දෙයියනේ...මල්ලී...! "
ඉන් එහාට වදනක් හෝ දෙඩීමට නොහැකි වූ නදීකා පොරෝනය සිරුර මතට ඇද ගනිමිනි දෑතින් මුහුණ වසාගෙන හඬන්නට වූවාය.
සුධීර බෝඩිමට පැමිණියේ සිහි කල්පනාවෙන් තොර වූවකු ලෙසිනි. තමා කැටුව ගිය බෝඩිමේ අනිත් සගයා කොහිදැයි බැලීමට වත් සුධීර පමා වූයේ නැත.මේ සිදුවූයේ කුමක්ද..! දෙවියනේ...! එකිනෙකින් වෙන් කර හඳුනාගත නොහැකි සිතුවිලි ජාලයකින් සුධීරගේ සිත අවුල් වී තිබිණි. බෝඩිම් කාමරයට පැමිණි සුධීර ඇඳ සිටි ඇඳුමෙන්ම ඇඳට වැටුනේ කිසිවක් කරකියාගත නොහැකි තරමේ පසුතැවීමකිනි. තමා මේ පාපයට ඇද දැම්මේ මේ ඇඳෙහිම අනෙක් පස නිදන සගයා විසිනි. පාසල් කට්ටි පනිමින් අමතර පන්ති මඟහරිමින් නිතර නිතර මෙවැනි කාන්තාවන් ඇසුරට යන මිතුරා ඒ අත්දැකීම් රසකර පවසමින් තමාවද එයට යොමු කරගත්තේය. අවසන අමතර පන්තියකට යැයි පවසමින් තම සොහොයුරියට මුසා පවසා ඉල්ලාගත් මුදල්ද රැගෙන ගොස් අඳුරු මුඩුක්කුවේදී සැතපී ඇත්තේ තමාගේ මව වන් සහෝදරිය සමඟින්මය. තම යලිත් කෙසේ තම සොයුරියට මුහුණ දෙන්නද. මෙතෙක් සැමදේ සඟවා මෙවන් රැකියාවක් කල සහෝදරිය කෙළෙසින් තමාට මුහුණ දෙන්නද... එක් අතකින් ඇයට වැරැද්දක් කීමට නොහැකිය. ඈ මේ සැමදේම කරන්නට ඇත්තේ තමා වෙනුවෙනි. එහෙත් තමන් මේ කුමක් කළේද...! තවමත් පාසල් යන වයසේ පසුවන තමා මෙවන් දෙයක් කරනු ඇතැයි තම සහෝදරිය කිසි දිනෙක බලාපොරොත්තු නොවන්නට ඇත. සුධීරගේ ගත වෙව්ලන්නට විය...! දහදියෙන් ගත පෙඟී යන්නට විය. සිහි විකලෙන් මෙන් නැඟී උන් සුධීර කමිසය උනා දමන්නට විය. කමිස සාක්කුවෙන් කිහිප වතාවක් නවන ලද කුඩා ලිපියක් වැනි යමක් බිම වැටුනේ ඒ මොහොතේදීය. අසිහියෙන් වුව ඒ කුමක්දැයි බැලීම සඳහා සුධීර එය අතට ගෙන දිග හැර බැලීය.
"උඹ හුඟක් සතුටු උනා නේද අද. මම උඹල වගේ මගෙ ලඟට එන හැම එකෙක්ගෙන්ම පළිගන්නවා...දැනගනින් මම ලෙඩෙක්..නිකන්ම නිකන් ලෙඩක් නෙවේ මට ඒඩ්ස්...උඹට දැන් සතුටුද...දැන් ඉතින් ජීවත් වෙන හැම දවසකම විඳවපන්. මං දන්නව උඹට මට මොකුත් කරන්න බෑ කියල. !"
සුධීරගේ අතින් ලිපිය ගිලිහී වැටිනි... දෑතින් හිස බදාගත් ඔහු මහ හඬින් වැළපෙමින් කපා හෙලූ කඳක් මෙන් ඇඳ මතට කඩා වැටිනි.
නිමි.
පුෂ්පිකා විජේරත්න.