ස්වයං අගුළු - 1
- Details
- දිනේෂ් තිළිණ සමරවීර
- SwayanAgulu
- Hits: 409
එය සවස් වරුවක් වුවද දිවා කාලය පුරා වැටුනු දැඩි හිරු කිරණින් දැවුනු තාර පාරෙහි රශ්මිය, කෙසඟ සිරුරැති කාල වර්ණයාගේ නිරුවත් දෙපා වෙත දැණුනි. එය වේදනාවක් නොවේ. අවුරුදු ගණනාවක්ම නොවිදි පහසක් එම පතුල් වෙත දැණෙනයුරු මිසක, එය වේදනාවක් ලෙස සළකන්නට නොකැමති වූ හේ, වැසි වැටීමෙන් දිය පිරී, සිඳී ගිය මඩ වලවල් මතින් යාමට ආශක්ත කලේය. එය උන්මත්තකයකුගේ හෝ නොදරුවෙකුගේ ක්‍රියාවකැයි දකින්නෙකු සිතාවිදෝහෝයි විචිකිච්ඡාවක් හැර එම ක්‍රියාව වළකාලු වෙනත් හේතුවක් නොවීය. වේගයෙන් ඔහු පසු කර ඇදෙන මෝටර් වාහන වලින් නැගෙන ධුම වලාවන් මෙන්ම එවායින් නැගෙන දූලි වලාවන් ද නැහැයට ඉමිහිරි සුවඳකි. වැසි වැටී ඇති බව අතරින් පතර මදක් ජලය පිරි වලවල් ද, තෙතමනය රැඳවූ සිඳී ගිය මඩ කඩිතිද සාක්ෂ්‍ය දරයි. රජරට අහස ඔහොම්මමය. වරෙක අනෝරා වැසිය. විටෙක මිහි තලය පුපුරා කඩතොලු සාදන තරමට වියලුමය. නැතිනම් ඒ දෙකම එකවරය. මේ කිසිවක් හිස මුඩු කල, මැදි විය පසු කල ගෙලෙහි පච්චයක් කොටා, මහත් වූ තොල් ඇතිව යමක් මුමුණමින් වැව් තාවුල්ල වෙත සිය දෙපා නංවන මිනිස් ශරීරයට වැදගත් නැත. අම්මා..අම්මා වෙතට යාමටය ඔහුට ඇවැසි. ඒ සඳහා ඔහු මයිල සියයක්වත් පසු කළ යුතුය. වැව් තාවුල්ල මතින් ඉක්මනින් නොවුනත් කෙටි ගමන් මාර්ගයකින් බස් නැවතුම් පලට යා හැක.
" අන්න පෙනෙනවා..කැළණි විහාරේ..වඳී..න්න යමු මැණිකේ.." කලුවන්, මහත් වූ දෙතොල් වලින් නිතරම මුමුණන්නේ එය බව ළංව නිරීක්ෂණය කරන්නෙකුට ඇසේ. නිතරම මුමුණන ඒ තුල ඔහුගේ ගමන් විඩාව නිවන සෙයකි.
"කෝටු..උඹ ඔය සරම මට දීලා මේක ඇඳන් පලයං"
බන්ධනාගාරයේ සිටින තාක් කල් ඔහුගේ අර්ධය වන් එකටම සිටි බූලා, තමා නිදහස්ව එන්නට සූදානම් වෙද්දී හාල් දැමූ උරයක සුරක්ශිතව තබා තිබූ බතික් සරම දුන් අයුරු හර්ශනට සිහි විය. ඒ වෙනුවට ඔහු ඉල්ලා ගත්තේ රාත්‍රියේ සිර මැදිරිය තුලදී නිදා ගැනීමට පාවිච්චි කළ සුදු සරමය. එය ඇන්දත් නොඇන්දා සේය. දූහුල් ය. එය ඇදගෙන පාරට බහින්නට වූයේනම් නැවත වරක් බන්ධනාගාර ගත වන්නට තිබුණි. අශෝභන ලෙස හැසීරීම..දඩුවම් ලැබිය හැකි වරදකි. හර්ශනගේ මුවගට සිනාවක් නිතැතින් නැගුනේ ඒ සිහි වීමෙනි. කාළ වර්ණයාගේ මුවග සිනා නැගෙන විට අමුතු සිරියාවක් ඇතැයි දකින්නෙකුට නොසිතෙන්නේ නොවේ. එය සැබෑවටම මනස්කාන්තය. කෝපි මල් අහුරක් කෝපි කෝට්ට දිගේ පීපී ඇතිවාක් මෙන් සම දසන් පෙළ ඇත්දළ පැහැතිය. දිගැටි මුහුණ නම් කම්මුල්, වල ගැසී හකු නෙරා ඇති වුවද සමව බෙදී ගිය නිකට ඔහුගේ මුහුණ මත සිරියාවක් නැංවීය. කොළ පැහැයට හුරු දැස, කාළ වර්ණ මුහුණ මත ඇදීමෙන් ඔහුගේ ආකර්ශණීය බව වර්ධනය වී ඇත.
විටෙක වැව් ජල තලයට ගල් කැටයක් ඉනට පහලින් නැමී වේගයෙන් විසි කරන ඔහු ජල තලයේ කිහිප වරක් ගැටි ගැටී, නැවත ඉහල නැගි කීප වරක් ඇදී යන ගල් කැටය දෙස බලා සතුටු වන අතර " බොහ්." හඬින් ජලේ ගිලී යන ඒ දෙස බලා සැනසෙන්නේය. විටෙක හිසට ඉහලින් වැර යොදා වීසි කරන කැටය වැව් තලයට ඉහළින් ඇදි යන දියකාවෙකු හා සමානව ඇදෙන යුරු බලා සැනසෙන්නේය. වැව් තාවුල්ලේ මානා ගස් යාය හැර එක යායට වැවී ඇති උඳුපියලිය ගොල්ලේ ඇවිදින්නේය. ඔහු එයින් යමක් විදින්නට උත්සාහ කළේය. සිව් අවුරුද්දකින් නොවිදි යමක් විඳින්නට තැත් කළේය. මේ ලෙස තවත් දෙහෝරාවක් යාමට මත්තෙන් ඔහු දෙකේ ඇල ඉවුර දිගේවිත් ප්‍රධාන පාරට පිවිසියේය.
********************************************************************************************************
හිමිදිරියේ බස් නැවතුමේ සිට නගර මධ්‍යයේ වූ සුවිසල් ඔරලෝසු කණුව දිස් වුවද තම අතෙහි වූ ඔරලෝසුවේ කටු දෙස භාග්‍යා විටින් විට බැලුවාය. ඇගේ නොසන්සුන්කම දියණියගේ තනියට පැමිණි ස්වර්ණා නොදුටුවා නොවේ.
" පානදුරේ ගිහිල්ලද දන්නෑ නේද..?" භාග්‍යා මවගෙන් පිළිතුරු අපේක්ෂා නොකළාය. ඈ පෑවේ තමා අසරණ වී ඇත්දෝහෝයි මුවට ආරූඩ වූ හැගීම පමණකි.
" ඉතිං තව එකක් ඒවිනේ" ස්වර්ණා තම සුරතින් භාග්‍යාගේ වමත අල්වා ගත්තාය.
"අයියෝ..අම්මේ..අනිත් ඒවා වගේයෑ මේක. මේ බස් එක නාරහේන්පිට හරහානේ යන්නේ. අනිත් ඒවගෙ ෆියොත් කොටුවෙන් බැහැලා ආයේ එක්ක යන්න එපැයි." මව අල්ලා සිටි අත ගසා හැරි භාග්‍යා මව වෙත පෑ නොකැමති බව උස් හඩින් පිට වීය. ඈ එය වෙන අයෙකුට ඇසුනේදැයි සැනෙකින් හිස හරවා බැලුවේ එබැවිනි. මවගේ නොදැනුවත් කම ගැන ඇතිවූ අප්‍රසාදයට වඩා ලැජ්ජාවක් පිටි පස සිටි අය බලා සිටිනු දැකීමෙන් භාග්‍යා හට දැණුනි.
" අද සඳුදනේ..තව විනාඩි 5ක් 10ක් යනකොට බස් එක එයි" ඇගේ අපහසුතාව වටහාගත් තරුණයා ඒ නොඇගවෙන සේ පැවසිය.
" පදියපැලැල්ලේ ඉදලා එන බස් එකනේ.නුවරින් පොඩ්ඩක් පරක්කු වෙනවා" එවර ස්වර්ණා ඔහු වෙත යමින් සිටියාය
" මහත්තයා යන්නෙත් ඒ බස් එකේද" ස්වර්ණා සිතුවේ එය තමා විසින් ඉටු කළයුතු යුතුකමක් ලෙසිනි.
"ඔව්..ඔව්..ඒකෙ තමා" තරුණයා භාග්‍යා දෙසද බලමින්,
"අම්මලා නාරාහේන්පිටට යන්ඩද. බස් එක 7.45 වෙද්දි දානවා.බය වෙන්න එපා"යි පැවසුවේය.
"ඔව්..දුව තමා යන්නේ"
"ආහ්..ඔය අවිස්සාවේල්ල. තව පොඩ්ඩකින් බස් එක එනවා." බස් නැවතුමේ නතර කළ බස් රථයේ හුන් අයෙකුට අතින් ආචාර කරමින්ම ඔහු ස්වර්ණාට පිළිවදන් දුන්නේය.
පසු පසින් පැමිණි තවත් බස් රථයක් නැවතූයේ තිරිංග හඩකින් පරිසරය කළඹමින් ය.
"අම්මා..මං යනෝ..පරිස්සමින් ඔයා ගෙදර යන්ඩ.." භාග්‍යා වම් උරහිසෙහි රැදි මල්ලට අමතර බිම තිබූ තවත් ගමන් මල්ලක් සියතට ගෙන බස් රථය වෙත දිව ගියේ අනෙක් අතින් සාරි පොටද අතේ පටල ගමිනි.