2..............................................................................
• "චූටී ,,.. චූටී ..අක්කත් එක්ක එන්න පුතේ කෑම කන්න. "
"ලොකූට කොච්චර කිවත් උදේට කෑම කාල යන්න කියලා අහන්නෙම නෑනෙ ජයේ..කඩවල් වල ජරාව කන්න තමා කැමති. "
දේවිකා තම සැමියාගේ පිඟානට කෑම බෙදමින් කිවේ තරමක කේන්තියකිනි.

"ඕක දේවිකා ඔයා හැමදාම මන්තරේ වගේ කියන එකනේ. අවුරුදු විස්සක් විසි තුනක් වෙනකන් කියන දේ ඇහුවෙ නැති ළමයා දැන් අහයිද.."
ජයවර්දන පැවසුවේ යන්තමින් සිනාසී උවත් ලොකූගේ හිතුවක්කාරකම් ගැන ඔහු උන්නේද හිත කලකිරීමෙනි.

" ඕන්න එනවා. ලොකූ නෑ. අනේ මන්දා මේ ළමයා..."

ගුඩ් මෝනින් අප්පච්චි , අද මොකෝ අප්පචිත් වෙලා ගිහින්.. "

ගුඩ් මෝනින් චූටි. අද ටිකක් රෙස්ට් කරන්න හිතුවා . මේ ටිකේ හරියට ගෙදරවත් ආවෙ නෑනෙ මං.

ජයවර්ධන මහතා පැවසුවේ සිනාසෙමිනි.

" අපෝ ඔව් අප්පච්චි. එපා වෙනවා මට නම් අප්පච්චිත් ගෙදර එන්නෙ නැතිව ඉද්දී. අම්ම්ත් මොකක් හරි වැඩකට ඉඳගත්තම මට ඉතින් සිරිය නැන්දා එක්ක තමා කතා කරන්න තියෙන්නේ."

තිළිනි සිනාසෙමින් කීයන විට ජයවර්ධන මහතාටත් දේවිකාටත් සිනා පහල විය.
"ඇයි ඉතින් හිනාවෙන්නෙ අප්පච්චි. බොරුද මං කිවේ . අම්මා ඉස්සර ජොබ් එකට යන කාලෙයි දැනුයි කියල වෙනසක් නෑනේ. අම්ම් අම්ම්ගෙ වැඩ එක්කෝ මොකක් හරි සමිතියක් සංගමයක් බදාගෙන" තිළිනි පැවසුවේ දුකිනි.
               කුඩා කාලයේ පටන්ම මෙහෙකරුවන් අතින් තමාගේත් තමාගේ වැඩිමල් නිවුන් සොයුරිය වූ දිලිනිගේත් සියලු අවශ්‍යතා සම්පූර්ණ වූ බව ඇය සිහි කරන්නේ දුකිනි.

"හරි චූටි. හැමදාම ඉතින් ඔය දෙන්නා මං වැරදියි කියලනේ කියන්නේ. එ උනාට අපි හැමදේම කරන්නෙ ඔයාල වෙනුවෙන්  කියලා හිතන්නෑනේ"

"එහෙම නෙවේ අම්මා..." තිළිනි සමාව අයදින සේ දේවිකා දෙසට හැරුනත් ඉහල මාලයේ සිට පැමිණෙමින් සිටි දිලිනි , තිළිනිගේ කතාවට හරස් විය.

" එහෙම නෙවෙයි නෙවේ චුටි එහෙම තමා!". කියව කියව ඉන්නෙ නැතිව කනවකෝ ඉක්මනට. වෙලායනව"

ජයවර්ධන මහතා සිහින් සිනාවකින් යුතුව මේ සියල්ල බලමින් ආහාර ගනිමින් සිටියද සිතේ වූයේ සිහින් රිදුමකි. කුඩා කල පටන්ම දරුවන් දෙදෙන දෙමව්පියන්ට වඩා මෙහෙකරුවන් යටතේ හැදී වැඩීම තමාත් දරුවනුත් අතර දුරස් කමක් ඇති කර ඇති බව ඔහුට දැන් වැටහෙයි. තමා නම් ව්‍යාපාරික කටයුතු වලින් මිදුනු වහාම නිවසට පැමින හෝරාවක් හෝ දරුවන් සමඟ ගත කලත් දේවිකා අතීතයේ පටන්ම එවන් සොයාබැලීමක් වත් කරේ කලාතුරකිනි.  ජයවර්ධනට සුසුමක් හෙළිනි.
                                     රැකියාවෙන් ඉවත් වූ පසු චාරිත්‍රයට මෙන් ඉඳහිට නිවසේ සිටින විට කෑම මේසයේදී පමනක්  දරුවන් හා ජයවර්ධන  සමඟ එකට හිද ආගිය තොරතුරු කතා කලද ඉන් පසු දේවිකා ඇගේ වැඩකටයුතු සමඟින් කාර්‍යබහුල වූවාය. බොහෝ වේලාවට දියණියන් පාසල් යන කාලයේ ගුරු දෙගුරු රැස්වීමට පවා සහභාගී වූයේ ඔවුන් බලාකියා ගත් සිරියා ය. සිරියාට දරුවන් බොහෝ සේ ආදරය කලත් දෙමව්පියන් අවශ්‍යම අවස්ථාවකදී පවා ඒ සියල්ල සිරියාට පංගනාත්තු කිරීම ඔවුන්ට ඉවසීමට නොහැකි කාරණයක් විය. දෙදෙනාටම තම ජීවිතය තුල මව්පියන් පිළිබඳව කළකිරීම් ඇති වූ අවස්ථා එමටය.

"අතගගා ඉන්නෙ නැතිව කන්නකො ජයේ. තව ඉදිආප්ප දාන්නද ?"

"එපා එපා දේවිකා මේ ඇති. ලොකූ ඔයත් කන්න දරුවෝ. හැමදාම ඔය කඩවල් වල ජරාව කන්න යන්නෙ නැතිව"

" අනේ මට බෑ අප්පච්චි... මෙච්චර උදෙන් කන්න බෑ මට. " දිලිනි උරහිස් හකුලමින් කීවාය.

"ඉතින් පුතේ කෑම ටිකක් අරගෙන යන්නකෝ එහෙනම්. හැමදාම කියනවනෙ." දේවිකා පැවසුවාය.

"ඔව් ඔව් අම්මි ඉතින් ඒක නම් කියනවා. අරන් ගිය එවා කෑවද බීවද අඩුම තරමේ උදේ ගිය ළමයා හවස කියටද එන්නෙ කියලවත් බලන්න වෙලාවක් නෑනෙ."

දිලිනි සරදම් සිනාවකින් කී දෙය තිළිනිද සිනාසෙමින් අනුමත කලාය. කොතරම් අඩුපාඩු සිදු වුවත් අම්මාගෙත් අප්පච්චි ගේත් හිත නොරිදෙන සේ කතා කරන්නට තිළිනි පුරුදුව සිටියත් දිලිනි සිය සිතට හැඟෙන දේ එලෙසින්ම කියන්නීය. පාසල් කාලයේදී පවා දිලිනි තම ගුරුවරුන් සමඟ සිය සිතට එන සියල්ල නොසඟවා වක්කඩ කැඩුවාක් මෙන් කියවාගෙන යන බව තිළිණිට සිහිපත් විය. එක් පාසල් ගුරුදෙගුරු රැස්වීමකදී පංතිභාර ගුරුවරිය සිරියා සමඟ කතාබස් කොට " ඇයි මේ දරුවන්ගෙ දෙමව්පියන්ට කවදාවත් රැස්වීමකට එන්න බැරි. අවුරුද්දට එක සැරයක් වත්. ?" යැයි අප්‍රසාදයෙන් මෙන් විමසූ විට දිලිනි එක් වරම පැවසූයේ
" මැඩම් අම්මලාට අපිට වඩා බිස්නස් වටිනවා. අපි ගැන හොයන්න එයාලට වෙලාවක් නෑ." යනුවෙනි.

කිසිවක් කියාගැනීමට නොහැකි වූ තිළිනි උන්නේ කඳුලු පුරවාගත් දෑසින් බිම බලාගත්වනමය. ගුරුවරියද දෑස විසල් කොට කිහිපවරක් දිලිනි දෙසත් අපහසුතාවයට පත්ව සිටින සිරියා දෙසත් බලා වහා පිටව ගියේ තමා නුසුදුසු යමක් දරුවන් ඉදිරියේ ඇසූ බව සිහිපත් වීමෙනි. තිළිණිට මේ මොහොතේද එම සිදුවීම මතක් වී මඳ සිනාවක් නැඟුනි. ඇය නැවත පියවි සිහියට පැමිණියේ මවගේ හඬිනි.

" අනේ මන්දන් නෑ ජයේ. මෙයාලට මෙච්චර සැප පහසුකම් දීලත් ඇයි මෙහෙම කතා කරන්නෙ කියලා"

" ලොකු කියන දේත් ඇත්තක් නැතිවම නෙවෙයිනෙ දේවිකා. "
දිලිනි ජයග්‍රාහී සිනාවක් නැ
ගුවාය.
"අන්න අප්ච්චිට එහෙම වත් තේරුනා. නේද නංගි. ඔන්න බලන්න අපි දෙන්නා රූපෙන් වගෙ හැමදෙයක්ම එක වගෙ කරානම් ඔයාල දෙන්නට ලොකූ කවුද චූටි කවුද කියල හොයාගන්නවත් බෑ" 

දිලිනි හඩනගා සිනා සී කියන විට තිළිනිටද සිනා පහල විය. ජයවර්ධන මහතාටත් දේවිකාටත් මහත් පරාජිත හැගීමක් ඇති වූයේ දිලිනි කී ලෙසම ගතිගුණ හැසිරීමෙන් ඇඳුම් පැළඳුම් වලින් වෙනසක් නොවූයේ නම් තමාට දරුවන් වෙන් කර හදුනා ගන්නට තරම් වත් ලගින් දරුවන් ආශ්‍රය කර නැති බැවිනි.

" අනේ අප්පච්චි ඒක නම් ඇත්ත ඔන්න අක්කිට බනින්නෙපා. හැබැයි එහෙම උනොත් කාටත් කලින් සිරිය නැන්ද අදුරගනීවි .නේ අක්කි.." තිළිනි තවමත් නවතා ගත නොහැකි වූ සිනාවෙන් කිවාය.
දේවිකාත් ජයවර්ධන මහතාත් ගොලු වූ මුවින් යුතුව එකිනෙකා දෙස බලාගත්තේ මහත් වරදකාරී හැඟීමෙනි.

             දරුවන් දෙදෙන පිටවී ගිය පසුත් ජයවර්ධන දෙපළ නිහඬවම ආහාර ගත්තේ වචන අමතක වී ගිය අයුරිනි. ආහාර ගෙන අවසන් වීමත් සමඟ දේවිකා තම හඬ අවදි කලාය.

" ජයේ, ඔයා මොනව ගැනද කතා කරන්න ඕන කිවේ. ඔන්න ඔයා කියපු නිසාම මම අද වැඩ ඔක්කොම පස්සට දාල ගෙදර ඉන්නවා"
ජයවර්ධන මහතාගේ මුහුනේ නැගුනේ සිහින් සිනාවකි. 

" ඔයා මුළු ජිවිත කාලෙටම නිවාඩුවක් ගත්තමද කොහෙද නේ" ජයවර්ධන මහතාගේ ස්වරය සරදම් සහගත විය. දේවිකාට සිනා පහළ විය.

" අනේ අනේ මේ. ගෙදර ඉන්න කිවේ විහිලු කරන්නද. පිස්සු නැතිව කියන්නකෝ මොකද්ද කාරණය කියලා. "

"කියන්නම් දේවිකා. ගාර්ඩ්න් එක පැත්තට යමුකෝ. ගිහින් හෙමිට කතා කරමු."

දේවිකාත් ජයවර්ධනත් එක පෙළට වැටී නිවස ඉදිරිපිට මනාව සකසන ලද ගෙවත්ත දෙසට ඇවිද ගියහ.
තම සැමියා කුමක් හෝ වැදගත් කතාවකට සූදානම් වන බව දේවිකාට හැඟිනි. ගෙවත්තෙහි කෙළවරකට වන්නට නිදහසේ හිඳගෙන කතා කරන්නට පුටු දමා සකස් කර ඇති තැනට ගොස් දෙදෙනා මෙලෙස එකට උන් දවසක් වත් දේවිකාට මතක නැත.  ගෙවත්ත මල් උයනක් බඳු වූවත් ඒ කිසිවක් මෙහෙකරුවන්ගේ මිස තමාගේ මහන්සියෙන් සිදුවූවක් නොවේ. මෙවන් සුන්දර ගෙවත්තක නිදහසේ කාලය ගෙවන්නට වත් නිදහසක් නැති හැටි...! තනිවම සිතන අතරතුර තම සැමියාගේ සිතැඟි වටහාගන්නට මෙන් පුටුවෙහි හිඳ ගන්නා ගමන් දේවිකා ඔහුගේ මුහුණ දෙස හොරැහින් බැලුවාය. එහෙත් සැමියාගෙ මුහුණේ ඉරියව් දෙස බලා කිසිවක් සිතාගන්නට ඇයට නොහැකි විය.

"ඉතින් කියන්නකෝ ජයේ තවත් අගය කරන්නැතිව"

"හරි දේව්කා කියන්න තමා ලෑස්ති .මොකද මේ හදිසිය" ජයවර්ධන මහතාට තම බිරිඳගේ හදිසිය ගැන සිනහ පහළ විය.

" ඔන්න මම කෙළින්ම කතාව පටන් ගන්නම්කෝ.
අපේ කෙල්ලො දෙන්නා ගැන මම මේ කතා කරන්න ගියේ. "

"ඇයි ජයේ , කෙල්ලෝ දෙන්නා ගැන මොනවද..?" දේවිකාට ඇති වූයේ කුතුහලයකි.
ජයවර්ධනට නැවතත් සිනා පහළ විය.

" අනේ මන්දා දේවිකා කෙල්ලො කියන එකත් වැරදි නෑ.ඔයා පුදුම අම්ම කෙනෙක් තමා. දීග දෙන වයසෙ කෙල්ලො දෙන්නෙක් ගෙදර තියන් මොනවද කෙල්ලො ගැන කතා කරන්න තියෙන්නෙ අහනවා. "

දේවිකාට සියුම් ලැජ්ජාවක් ඇති විය. තමාට තමන්ගේ පවුල ගැන සොයා බලන්නට කිසිදා නොහැකි වූ බව සිත දනී. දරුවන් මෙන්ම සැමියාද මේ චෝදනා එල්ල කරන්නේ එබැවිනි. රැකියාවට ගිය කාලයේ තමා සිතා උන්නේ එයින් ඉවත් වූ පසු සැමියාත් දරුවනුත් සමඟ නිදහස් ජීවිතයක් ගත කරන්නට හැකි වනු ඇතැයි කියාය . එහෙත් ඉන් පසුවත් තම ජීවිතයම සමිති සමාගම් ප්‍රජා සේවා වලටම කැප කරන්නට සිදු විය. අඩුම තරමින් තමාගේ ශරීර සෞඛ්‍ය ගැන සිතන්නට වත් තමාට නිදහසක් නොවීය. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන වැකිය කවුරුන් නමුත් තමාටම කී දෙයැක්දැයි දේවිකාට නිකමට මෙන් සිතිනි. නමුත් තම පවුල වෙනුවෙන් සිතෙහි මහා බැදීමක් ආදරයක් ඇති බවද දේවිකාට හැඟෙයි. දුරස් වීම නිසා නොහොඳ නෝක්කාඩු සිදු වුවත් කිසි දිනෙක ඒවා මහා ගැටුම් බවට පත් නොවූයේ එබැවිනි. මේ විවාහ ජීවිතය පවා මෙතරම් කාලයක් රඳවාගෙන ඉන්නට හැකිවූයේ ඒ බැඳීම නිසාවෙනි.

"මොනවද දේවිකා ඒ පාර කල්පනා කරන්නෙ. "
" අනේ නෑ ජයේ.... ඇත්ත තමා ළමයි දෙන්නා කියන්නේ.හ්ම්ම්... "

"හරි දැන් අහගන්නකෝ. කෙල්ලො දෙන්නා ගැන කිවට මේ ලොකූ ගැන කියන්න යන්නෙ. ලොකුට හොඳ යෝජනාවක් ඇවිත් තියනවා දේවිකා. "

" ඇත්තමද ජයේ. කොහෙන්ද?කාගෙන්ද?"
දේවිකා නොඉවසිලිමත්ව ඇසුවාය.

"වික්‍රමගේ ලොකු පුතා මතකද දේවිකා?"

" අනේ, ! ඒලෙවල් ලියන කාලේ නේද මෙහෙ ඇවිත් ගියේ? ඔස්ට්‍රේලියා ගියාට පස්සේ ආය දැක්කෙම නෑනෙ"

" ඔව් කොල්ලා ඇවිත් ඉන්නෙ දැන්. දැන් වයස විසිහයක්. අපෙ දෙන්නටත් දැන් විසිතුනක් වෙනවනෙ. "

" ඉතින් ජයේ වික්‍රම ඇහුවද මේ ගැන .නැත්තන් ඔයා හිතලා විතරද ?."

නැවතත් ජයවර්ධනට සිනා පහළ විය.
" දේවිකා, කොල්ලා රට යන්නත් කලිනුයි වික්‍රම මේ ගැන මගෙත් එක්ක කතා කරලා තිබ්බේ. වික්‍රමගෙ නෝනා තුෂාරිත් දන්නවා මේ ගැන ."

"මං විතරද නොදැන හිටියෙ එතකොට." දේව්කාට පසුතැවීමක් ඇතිවිය.

" ඔයාට ඒවට වෙලාවක් තිබ්බෙත් නෑනෙ දේවිකා නේද?"

සැමියාගේ ප්‍රශ්නයට දේවිකාට පිළිතුරු නොවීය. හිස් බැල්මකින් ඇය ඉවත බලාගත් ලෙසම උන්නාය.
            ජයවර්ධනගේ ව්‍යාපාරික මිතුරෙක් මෙන්ම පාසල් මිතුරෙකුද වන ව්ක්‍රමරත්න තම වැඩිමහල් පුතු වන කවීශගේ අනාගත සහකාරිය ලෙස තම මිතුරු ජයවර්ධනගේ නිවුන් දියණියන්ගෙන් කෙනෙක් තම පවුලට එකතු කර ගැනීමට සිතා ගත්තේ ජයවර්ධනගේ සුරතල් දියණිවරු උපත ලද බව දැන ගත් දා මය. එය ව්‍යාපාරික වශයෙන් ගත් කලද දෙපාර්ශවයටම වැදගත් වන බැඳීමක් විය හැකි වුවත් ඊටත් වඩා තම විශ්වාසනීය හිතමිත්‍රයා සමඟ ඤාති සම්බන්ධයක් ඇති කර ගැනීමට ඇති ආශාව වික්‍රමරත්න තුල විය. නමුත් වික්‍රමරත්න තම මිතුරු ජයවර්ධන සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ තම පුතු උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට පිටවීමට පෙරය. නමුත් ඊට පෙර සිටම ජයවර්ධනගේ සිතෙහිද මේ පිළිබඳව අදහසක් ඇති බව වික්‍රමරත්නට වැටහී තිබිණි.
                 මුරණ්ඩු ගති පැවතුම් ඇති දිලිනිත් තැන්පත් ගති පැව්තුම් ඇති තිළිනිත් රූපයෙන් නම් කිසිදු වෙනසක් නැති තරම් සමාන වූහ. වෙනත් නිවුන් දරුවන් මෙන් එකම ආකාරයේ ඇඳුම් පැළඳුම් විලාසිතා දිලිනිටත් තිළිනිටත් නොවුන තරම්ය. දිලිනි බොහෝ විලාසිතාවන්ට ප්‍රිය කරන දඟකාරියක වූවාය.නමුත් තිළිනි බොහෝ චාම් වූවාය. කතා බහින් මෙන්ම විලාසිතාවන්ගෙන්ද දෙදෙනා වෙන් කර හැඳිනීමට අපහසුවක් නොවූයේ එබැවිනි.  දිගු වරලසට පෙම් බැඳි තිළිනිට දනිස දක්වා වූ කෙස් කලඹක් වූවත් බටහිර පන්නයට ප්‍රිය කල දිලිනි උරහිස අසලට  වූ කෙටි කෙස් කළඹට ප්‍රිය කලාය. මවත් පියාත් නිතර නොමැති මහා විසල් නිවසේ මෙහෙකරුවන් සමඟ ගෙවන දිවියේ පාළුව නම් දෙදෙනාටම එක ලෙස දැනී තිබිණි. කලින් කලට මාරු වන මෙහෙකරුවන් අතරින් දැන් ඉතිරිව සිටින්නේද දිලිනිත් තිළිනිත් උපන් දා පටන් ඔවුන්ව බලාකියා ගත් සිරියා සහ නිවසේ රියදුරු ලෙස සේවය කරන සේදිරිස් සහ වතුපිට් බලාකියා ගන්නා සේන පමණි. ජයවර්ධන මහතාට තවත් රියදුරෙක් සිටියද ඔහු නිවසේ රැඳුනේ  නැත.  කෙතරම් පිරිසක් නිවසේ රැඳී උන්නද තමාගේ කියා කිසිවකුත් තමන් පිළිබඳව සොයා බලන්නට නිවසේ නොමැති වීම සොයුරියන් දෙදෙනාගේ සිතට මහත් පීඩාවක් ඇති කරන්නක් විය .
             මහනුවර නගරයේ උසස් පාසලක ඉගෙනුම ලැබූ දිලිනිත් තිළිනිත් උසස් පෙළ විහාගය හොඳින් සමත් වුවත් තවදුරටත් ඉගෙන ගැනීමට දෙදෙනාටම උවමනාවක් නොවීය. යහමින් මුදල් හදල් හා දේපළ ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන කිසිදු බියක් නොවේ යැයි සිතා ජයවර්ධන යුවලද දරුවන්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමට බල කිරීමක් සිදු නොකලහ. නමුත් දිලිනිත් තිළිනිත් නිවසේ ගෙවෙන පාළු ජීවිතයෙන් මිදීම සඳහාම උසස් පෙළ අවසන් වූ කාලයේ පටන්ම පරිඝනක ,ඉංග්‍රීසි මෙන්ම මැහුම් ගෙතුම් ,පන්ති පවා සොයා සොයා ගොස් සහභාගී වූහ. නිවසේ සිට මහනුවර නගරයට යෑමට ගත වනුයේ සුළු කාලයකි. සොයුරියන් දෙදෙනා පාසල් කාලයේ මෙන්ම නිවසේ වාහනය ප්‍රතික්ෂේප කොට බස් රථයෙන් නගරයට යන්නට ප්‍රිය කලහ.මුල් කාලයේ දේවිකා මේ පිළිබඳව අකමැත්තක් දැක්වූවත් ජයවර්ධන මහතා දරුවන්ගේ සිතැඟි වටහාගෙන ඒ සඳහා අවසර දුන් පසු දේවිකා ඒ පිළිබඳව සිතීම අතහැර දැමුවාය.
                 විසි තුන් හැවිරිදි දිලිනිත් තිළිනිත් අලුතින් සොයා ගත් ඉංග්‍රීසි පන්තියට සහභාගී වන්නේ සති අන්තයේ පමණි. මවත් පියාත් නිවසේ නැති නිසාම ඉඳහිට සතියේ දින වලත් පන්ති පැවැත්වෙන බව සිරියාට පවසා නුවර නගරයේ කඩසාප්පු වල ඇවිදින්නටත් යහළුවන් සමඟ ඇවිදින්නටත් දෙදෙනාම පුරුදුව උන්හ. මවක් මෙන් තමා හදා වඩා ගත් සිරියාට බොරු කියා ඇවිදින්නට යන්නට තිළිනි එතරම් කැමැත්තක් නොදැක්වුවත් තමන් වැරදි යමක් නිවසින් පිටතදී නොකරන නිසා ඊට කමක් නැතැයි සිතා හිත හදාගත්තාය. එහෙත් ඉංග්‍රීසි පන්තියේදී හමුවූ යහලු යෙහෙලියන් අතරේ උන් සාගර සමඟ තම අක්කා ප්‍රේම සබඳතාවක් පටන් ගත් දා සිට තිළිනිටද ඇති වූයේ මහත් වරදකාරි සිතකි. තරමක් උසැති සිරුරකට හිම්කම් කියූ සාගර කඩවසම් තරුණයෙකි. දිලිනිගේ සිත ඇදී ගියේ ඔහුගේ කඩවසම් බවට පමණක් නොවේ. මිත්‍රශීලී විනෝදකාමි අයෙක් වූ ඔහු පන්තියේ කැපී පෙනෙන සිසුවෙක්ද ව්ය. ආදරයට දුප්පත් පොහොසත් කම් බල නොපාන බව තිළිනිද දැන සිටියද තම දෙමව්පියන් කිසිම දිනෙක සාගරගේ පවුලට අක්කා භාර නොදෙන බවද තිළිනි දැන සිටියාය. දිලිනිටද ඒ පිළිබඳව වැටහීමක් තිබුනත් තමාත් නැඟනියත් ගැන කිසිම සොයා බැලීමක් නැති දෙමව්පියන් ගැන ඇයට තිබුනේ තරහකි. සාගරගේ පවුල ආර්ථික මට්ටමින් එතරම් පහළ තැනක නොසිටියත් තමා ඉහළ පැලැන්තියේ ව්‍යාපාරික පවුලක බැවින් සාගරගේ පවුලට තම පවුල සමඟ හැරෙන්නට වත් නොහැකි බව දිලිනි දැන උන්නාය.එය දෙමව්පියන්ට රිද්දන්නට හැකි හොඳම ආකාරය ලෙස දිලිනි සිතුවාය. පන්ති පැවැත්වෙන දින වලදී පන්ති අවසන් වූ පසුත් ඉඳහිට සතියේ දින වලත් සාගර හමුවන්නට දිලිනි ගියේ තිළිනිවත් කැටුවයි. සතියේ දින වල පේරාදෙණියේ පෞද්ගලික ආයතනයක කුඩා රැකියාවක් කරන සාගරට දිලිනි හමුවිය හැක්කේ කෑම පැයේදීය. කුඩා අවන්හලකට ගොස් තිදෙනාම ආහාර ගන්නට හෝ මල් වත්තට ගොස් කතා බහ කරන්නට ඔවුහු පුරුදුව සිටියහ.

" තව පැය කාලයි තියෙන්නෙ දිලී. යන්න හිතෙන්නෙත් නෑ මට" සාගර පවසන්නේ අහින්සක ලෙසිනි.

" මොනා කරන්නද අයියේ. හෙටත් මම එන්නම්ද..?"

" එපා ළමයෝ නිතර නිතර ටවුමට එන්න තියාගන්නෙපා! ගෙදරින් කොච්චර හොයන්නෑ කිවත් මෙහෙම නිතර හම්බෙනකොට ඕක නිකන්ම ආරන්චි වෙයි"
" ඉතින් මොකෝ ! ආරන්චි වෙන්න තමා ඕන."

" පිස්සු වැඩ කරන්නෙපා දිලී.. .අපිටමනේ පාඩුව එතකොට. මෙහෙමවත් හමුවෙන්න බැරි වේවි. "

අහිංසක ගති පැවතුම් තිබුනද දිලීනි ඉදිරිය ගැන නොසිතා කරන කියන ඇතැම් දේ නිසා සාගරට ඇතැම් විට කෝපයක්ද ඇති වේ. එවන් සමහර අවස්ථා වලදී දිලීනි සැබවින්ම තමාට ආදරය කරන්නේද නැතහොත් දෙමව්පියන් රිදවීමට තමන් ආයුධයක් කරගන්නේදැයි සාගරගේ සිතට සැකයක්ද ඇතිවෙයි. 

"හරි හරි අයියේ තරහා ගන්නෙපා. අනිද්දා ක්ලාස් එනවනෙ. එතකොට හම්බවෙමුකො එහෙනම්. "

දඟකාර සිනහවකින් දිලිනි පැවසුවත් සාගරගේ නොරිස්සුම් ගතිය තවමත් පහ නොවීය.

" අයියේ , නංගි කෝ අනේ කොහෙ යනවද මන්දා පේන තැනක ඉන්න කීවම."

සාගර තවමත් කෝපයෙන් බව දුටු දිලිනි කතාව වෙනතකට හැරවූවාය.

" අර එන්නෙ ළමයෝ .ඇස් පේන් නැද්ද. එයාටත් කවුරුහරි හොයලා දුන්නනම් හරි පාළුව යන්න."

සාගර එවර යන්තම් සිනහසෙමින් පැවසුවේය.

" අපෝ එයා ඔව්වට කැමති නැනෙ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා" දිලිනි හඬ නගමින් සිනාසුන අතර සාගරද සිනාවට එක් විය. අක්කාත් සාගරත් තමා දෙස බලමින් කුමක් හෝ  පවසා සිනාසෙන බව ඔවුන් දෙසට යමින් සිටි තිළිනි දුටුවාය.

" දෙන්නා මට නේද හිනාවුනේ මොනවද කියලා. මම දැක්කා. "

" අනේ නෑ පැට්යෝ අයියා කියනවා ඔයාටත් කවුරුහරි හොයල දෙන්නලු " තවමත් පහව නොගිය සිනාවෙන් යුතුව දිලිනි කීවාය.

" අනේ අනේ මේ.! මට නම් ඕන නෑ . මේ ඉන්න විදිහ හොඳටම හොඳයි මට"

" අන්න හරි ඔයා ඔහොම කියයි කියලම තමා අපි දෙන්න මේ හිනාවුනේ"  එවර තිදෙනාම සිනාසෙන්නට වූහ.

"හරි හරි මම දැන් යන්න ඕන දිලී... යන් අපි. අනිද්දා ක්ලාස් එන්නකෝ හොදේ. "

මල් වත්තෙන් පිටතට පැමිණි පසු සාගර ඔවුන්ගෙන් සමුගත් අතර සොයුරියන් දෙදෙන නිවෙස් බලා පැම්ණියහ.

 
මතු සම්බන්ධයි
පුෂ්පිකා විජේරත්න.