3.............................................................................. 
 
තිළිනිගේ දරු ප්‍රසූතියෙන් පසුව සතියක් පමණ නිවසේ රැඳී සිටිමින් ව්‍යාපාරික කටයුතු වලට දුරකතනයෙන් පමනක් ප්‍රතිචාර දුන් කවීශ යලිදු තම ව්‍යාපාරික ස්ථානයට පිටවීමට සූදානම් විය. එහෙත් කිරිකැටි දරුවන් දෙදෙන දුටු විට කවීශට නිවසේම රැඳී සිටීමට සිත් දෙයි. පියෙකුගේ වගකීම මොනතරම්දැයි ඔහුගේ සිතට දැන් තදින් දැනේ. දරුවන් ළඟ රැඳී සිටින්ට කෙතරම් ආශා කලද රැකියාව සඳහා පිටවී යා යුතුමය. කවීශ සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තේය. පෙරදී හැකිතාක් නිවසින් පිටවී සිටින්නටම මඟක් සොයාගත් තමා දැන් නිවසට කෙතරම් තදින් බැඳී ඇත්දැයි ඔහු තනිවම සිතුවේය.
        
"තිළිනි..! මං යනවා.." ඔයාලගෙ අම්ම මඟ එනගමන් කිව්ව කෝල් කරලා...අන්න සිරියත් එනවලු . "   
 
කවීශ  පැවසුවේ යටැසින් තම බිරිය දෙස බලමිනි.  තිළිනි එක වරම ගැස්සී ගියාය. අම්මා කෙසේ වුවද සිරියාගෙ සැක සහිත දෑසින් මිදීම අපහසු බව ඈ දැන උන්නාය. මාළිගයක් වන් දෙමහල් නිවසේ රැඳී සිටීමට හැකියාව තිබියදීත් විවාහයෙන් පසුව කවීශත් සමඟ දුරින් පිහිටි නිවසක් මිලදී ගත්තේ ඒ දෑසින් මිදීම සඳහාමය. විවාහයෙන් පසුවද කවීශගේ හෝ තමාගෙ මහගෙවල් වල ගිය වාර ගණන තෙවරකට නොවැඩ් බව ඇයට සිහිවිය. දෙදෙනාටම අවැසි වූයේ එලෙස නොවූවත් අකමැත්තෙන් හෝ එලෙස කිරීමට ඔවුන්ට සිදුවිය. කවීශගේ මව්පියනුත් තම මව්පියනුත් කවීශත් ව්‍යාපාරික කටයුතු වලට නිතරම කාර්යබහුල වන බැවින් ඔවුන්ගේ මඟහැරීම දෙමව්පියන්ට එතරම් නොදැනුනි. එහෙත් තිළිනි නිවසට ගිය දෙතුන් වතාවේම සිරියාගේ දෑස සැකයෙන් කුහුලින් පිරී තිබෙනු ඈ දුටුවාය. එපමනක් නොව තම සිතට දැනුන අමුත්ත පිලිබඳව සිරියා  මව සමගද කතාබස් කර තිබුනාය. 
 
"මොකද බය වෙලා වගේ. .. දැන් ඉතින් පුලුවන් විදිහට රඟපාගෙන ඉන්න එකයි ඇත්තෙ. මම යනව..එද්දි ටිකක් රෑ වෙයි. කෑම තියන්නෙපා." 
 
කවීශගේ මෙවැනි සරදම් තිළිනිට හොඳින් හුරු පුරුදුය. නමුත් ඇයට කිව හැකි යමක් නොවීය. වරද තමාගේ බව දැන දැනත් කවීශ සමඟ එකට එක කියවීමට යාමෙන් ඔහුට තවදුරටත් තමා එපා කර ගැනීමේ අවදානම ගත නොහැක. එබැවින් ඇය මුනිවත රකිමින් කාරයට නැඟ පිටව යන තම සැමියා දෙස බලා උන්නාය. 
 
තම මුවින් නොදැනුවත්වම පිටවන කුරිරු වදන් ගැන කවීශද උන්නේ කලකිරීමෙනි. කොතරම් උත්සහ කලද තම බිරිය දකින දකිනා වාරයක් පාසා හිත යට ඇතී ඒ මතකය දිය යට ලූ රබර් බෝලයක් සේ ඉහළට ඇදී එයි. කවීශ කල්පනා සහගතවම මෝටර් රථය පදවාගෙන යන්නට විය.
    
            කාමරය දෙසින් තම සිඟිත්තන් පිබිදී හඬන හඬ ඇසීමෙන් තිළිනි වහා කල්පනාවෙන් මිදී කාමරයට පැමිනියාය. 
 
" අනේ.. මගෙ මැනික් කැට දෙක ඇහැරුනාද..? ආ...ආ..ආ අඬන්නෙපා ඉන්න... අපි කුක්කු බොමූ...එන්නකෝ... නංගි පැටියා ඉස්සරවෙලා... දැන් අත්තම්මෙකුත් එනවනෙ ඔයාල එක්ක ඉන්න.. ආ... කෝ කෝ අඬන්නෙපා. .. .ම්ම්ම්..." 
 
දරුවන් සුරතල් කරමින් කිරි දෙන අතරතුර තිළිනි කල්පනා කරන්නට වූවාය. තනිව දෙදෙනෙකුගේ වැඩ කිරීමට නොහැකි නිසා සමහරවිට අම්මා සිරියා නවතා යන්නට බැරි කමක් නැත. 
                                  දෙවියනේ...! සිරියාගේ තියුණු ඉවෙන් පැන යාම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඉපදුනු දින සිට අම්මාටත් වඩා තමන්ටත් සහෝදරියටත් මව් වූ සිරියාට යමක් සැඟවීම කෙලෙසක වත් පහසු නොවනු ඇත. ඉතින් කෙසේ වුවද මේ තත්වයට මුහුණ දීමට සිත හදා ගත යුතුය. කිරි දී අවසන් වූ කල දරුවන් නැවතත් සුව නින්දකට වන්හ. වහා යමක් සිහිපත් වූ කලෙක මෙන් තිළිනි විගස ඇඳෙන් නැගිට ගොස් නාන කාමරයට වැදුනාය. නානකාමරයේ කැඩපතට එබී බැලූ තිළිනි දුටුවේ බියෙන් හැකිලි ගිය තම මුහුණයි. මේ ආකාරයෙන් සිරියාට මුහුණ දීමට නොහැක. එය ඇගේ සැකය වැඩි කරන්නක් විය හැකිය. හැකි තරම් සැහැල්ලු සිතින් හැසිරිය යුතු යැයි සිහියට ගත් තිළිනි වහ වහා තම මුහුණ සෝදා ගත්තාය. 
 
මුහුණට පියරු තවරමින් සිටින අතරතුර නිවස ඉදිරිපිට වාහනයක් නවත්වන ශබ්ධය තිළිනිට ඇසිනි. මව පැමින ඇති බව වටහාගත් ඈ නැවත වරක් උවමනාවෙන් කැඩපත දෙස බැලුවාය. සියල්ල හොඳින් සිදු වේවායි පතමින් ඉදිරි දොර වෙත ගිය තිළිනි කදමලු බැඳගෙන වාහනයෙන් බසින මවත් සිරියාත් දෙස බලා උන්නාය. 
 
" සේදිරිස් බහින්න. තේ එකක් බීලම යන්" 
 
සේදිරිස් රියෙන් නොබැස රියදුරු අසුනේම සිටිනු දුටු තිළිනි කීවාය. 
 
" සේදිරිස් තාත්ත එක්ක ගමනක් යන්න දාගෙන තියෙද්දි ආවෙ චූටි. ඒකයි ඔය යන්න තදියම.  ... සිරියා , ආ ආ මේ බාස්කට් එකත් ගන්න." 
 
" අනේ ඔව් චූටි බේබි.ඇරත් අපි දැන් මඟින් තේ බීල ආවේ. චූට් බේබිටත් කරදරේනෙ. මං මෙහෙම්ම යන්නං.මහත්තය බලන් ඉන්නව. සෝමෙත් නෑ අද ඒක හින්ද මට එන්න කිවේ." 
 
" අනේ මන්ද . එහෙනං කැමැත්තක් කරන්න සේදිරිස්...සිරිය නැන්දා එන්න ගෙට එළියට වෙලා බලන් ඉන්නෙ නැතිව.." 
 
තිළිනි සැහැල්ලුවක් පෙන්වා සිනාසෙමින් කීවාය. 
 
" යන් යන් චූටි බේබි.. චූටි බේබිගෙ චූටි බේබිලා බලන්න මට හරි හදිස්සියි." 
 
සිරියා සිනාසෙමින් කිවාය. තිළිනි ආයාසයෙන් නඟා ගත් සිනහවකින් සිරියා අත තිබූ මලුද රැගෙන මවත් සමඟම නිවස තුලට ගියාය.
 
" දැන් සිරිය නැන්දට අලුත් චුටි බේබි කෙනෙකුයි ලොකු බේබි කෙනෙකුයි ඉන්න නිසා මට චූටි බේබි කියන්න බැරිවෙයි".. තිළිනි සිනාසෙමින් පැවසුවද සිරියාගෙ මුහුණෙන් සිනහව සැනෙකින් අතුරුදහන් විය. 
 
" අනේ මට පුරුදු විදිහනෙ චූටි බේබි. මේ වගේ වෙලාවට තමා ලොකු බේබිත් හිටියනම් කියල හිතෙන්නෙ..පව් අසරණ දරුවා කොහේ ඉන්නවද දන්නෑ..." 
 
" තිළිනිගේ පපුව ගිනිගෙන දැවුනි. දෑසට ඉනූ කඳුලු බිඳු ආයාසයෙන් නවත්වා ගත් ඈ මව දෙස බැලුවාය." 
 
" දැන් ඕව කතා කරල වැඩක් නෑනෙ සිරියා... ගිය කෙනා ගියා.. අපෙ මූනෙ දැලි ගාපු එවුන් ගැන කතා නොකලට කමක් නෑ... චූටි දූගෙ වාසනව තමා ඒකිට පින නැතිවට.." 
 
දේවිකාගේ හඬට තිළිනි වෙව්ලා ගියාය. තම දරුවෙක් කෙරෙහි මෙතරම් වයිරයක්!මෙතරම් කාලයක්..! දෙව්යනේ..! ඇය සත්‍ය  දන්නේ නම්... 
 
" දැන් ඔය කතා නවත්තලා ඉන්නකො අම්මෙ. දෙන්නම වොෂ් එකක් දාගන්න ගිහින්. කඩෙන් බීල ආවට කමක් නෑ ආයෙ තේ එකක් බොමු. මං හදන්නම්" 
 
තිළිනි වෙව්ලන හඬින් කීවාය. සිරියා තවමත් නිහඬව කදුලු පිසිමින් වෙනතක් බලා හිඳී. අල්මාරියෙන් තුවා දෙකක් ගෙනවිත් සිරියාටත් මවටත් දුන් තිළිනි වහා මුළුතැන්ගෙයට වැදුනාය. 
 
   දුකින් පසු වුවද සිරියාගෙ උකුසු ඇස් තිළිනි පසුපස ඇදුනු  බව ඈ දැන උන්නේ නැත. දිලිනි ගැන පවසන විට තිළිනිගේ අසාමාන්‍ය  කලබල ගතියක් ඇති වන්නෙ මන්දැයි සිරියා මීට පෙරද කල්පනා කලාය. මහා හොරයක් සඟවන්නාක් මෙන් තිළිනි නිතර දෑස සැගවීම සිරියාට සිතා ගැනීමට නොහැකි ගැටලුවක් විය. චූට් බේබිගේ තිබුනු අහිංසක ලාමක ගතිය වෙනුවට විවාහයෙන් පසුව මහා හෙරකගේ ගති පෙනෙන්නේ මන්දැයි සිරියා තනිව කල්පනා කලාය. සමහර විට හිටි හැටියේ සිදුවූ අනපේක්ෂිත විවාහය නිසා ඈ මෙසේ සිටිනවා වන්නට ඇතැයිද සිරියාට වරෙක සිතුනි.                    
                                          දිලිනි නිවසෙන් පිටවීත් තිළිනි විවාහපත් වීත් දැන් වසරකට ආසන්න වුවත් දිලිනි තවමත් එක් දුරකතන ඇමතුමකින් වත් කිසිවකු නොඇමතීමද සිරියාට ඉවසුම් නොදෙන්නක් විය. මව්පියන්ට වඩා දරුවන් දෙදෙන ඇහේ තබා හැදුවේ තමාය. හිතුවක්කාර වුවද මවටත් වඩා දුකක් තමාට දැන්නේ එබැවිනි. අඩුම තරමින් තමාගෙ සොහොයුරියට වත් එසේ කතා නොකර සිටිය හැකිද. එසේත් නොවේනම්..! තිළිනි මේ සියල්ල දැනුවත්ද. තම අක්කා සිටින්නෙ කොහිදැයි ඈ දන්නවා වත්ද..කාටත් නොකියා සඟවන්නේ එය විය නොහැකිද..එහෙත් ඇයි..! හිතුවක්කාරකම් කිරීම නිසා දෙමව්පියන් තරහින් උන්නද දරුවෙකුගෙන් දරුණු ලෙස පලිගන්නා අදහස් ඔවුන් ලඟ නැති බව සිරියා දනියි.මෙලෙස මෙතෙක් කල් සැඟවී සිටින්නට තරම් කාරණය කුමක්ද..! සිරියාගේ හිසට එකවර ගැටලු ගනණාවක් නැගිනි.. සියල්ල දෙස විමසිල්ලෙන් ඇස ගසා සිටිය යුතු බව ඇය තම සිතින් සිතාගනිමින් නානකාමරය දෙසට ඇදුනාය.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.
 
 
 
 
Attachments area
 
 
 
 
ReplyForward