8

............................................ 
 
කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි අදහාගත නොහැකි බවක් තිළිනිට හැඟුනි. දිලිනිගෙ මේ වෙස් මාරුව කෙසේ කුමක් උදෙසාදැයි දැන ගැනීමට තිළිනි තුල වූයේ මහත් උවමනාවකි. ඊයේ පෙරේදා වන තෙක්ම සාගරට පණ උනත් දෙන්නට මෙන් උන් දිලිනි අද කෑම මේසයේදී අම්මාටත් තාත්තාටත් පවසා සිටියේ තමා කවීශ  සමඟ විවාහයට කැමති බවයි. එයද මද සිනාවෙන් හා ලැජ්ජාවෙන් යුතුවයි. තම අක්කාට කවීශ ගැන මෙතරම් ප්‍රේමනීය හිතක් ඇතිවන්නටත් සාගර එපා වෙන්නටත් එකවර ඇති වූ හේතුව කුමක්දැයි සිතාගැනීමට වත් තිළිනිට නොහැකි විය. ඇරත් මේ කිසිවක් තමාට මින් පෙර නොකීවේ මන්දැයි තිළිනිට සිතුනි. කන්නට ගත් බත් කට අතේ තබාගෙනම ඈ ව්ක්ශිප්තව කල්පනා කරන්නට වූවාය. 
 
"අක්කි එතකොට සාගර අයියට මෙච්චර කල් කරල තියෙන්නෙ බොරුවක්ද..! දෙයියනේ කොච්චර පව්ද..අඩුම තරමෙ මටවත් කිසි දෙයක් කිව්වෙ නෑනෙ. " 
 
" චූටි මොනවද බත් එක දිහා බලන් කල්පනා කරන්නෙ. මොකෝ මං මැරි කරනවට කැමති නැද්ද.." 
 
දිලිනි විමසුවේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි. ගැස්සී ගිය තිළිනි දෑස ලොකු කර දිලිනි දෙස බැලුවේ ඈ කියන්නේ කුමක්දැයි නොවැටහෙන ලෙසිනි. එදෙස බලා උන් ජයවර්ධනත් දේවිකාත් සිතුවේ තම සොයුරියගෙන් වෙන් වීමට සිදුවීම පිළිබඳව බාල දියණිය දුකෙන් සිටින බවයි. නමුත් දිලිනි නම් තම නැගනියගේ මේ වික්ෂිප්ත භාවයට හේතුව හොඳින්ම දැන උන්නාය. 
 
"චූට්ට පාලු දැනෙයි තමා ලොකූ මැරි කරල ගියාම නේද ජයේ...අපි ඉක්මනට මෙයාටත් හොඳ තැනක් බලමු නේද..? " 
 
දේවිකා ජයවර්ධනට පැවසුවේ සිහින් සිනාවකිනි.එහෙත් නොසිතූ කතාවෙන් තිළිනි තවත් අවුල්ව ගියාය. 
 
"අනේ අම්මේ.... මට නම් දැන්ම ඕන් නෑ ඔන්න. අක්කි ගියාම නම් පාළුයි තමා .මං මේ හිතුවෙ ඒක ගැන "
 
තිළිනි වහා පැවසුවේ දිලිනි දෙස හොරහින් බලමිනි. ඒ බැල්මට හසුවූ දිලිනි සැහැල්ලු සිනාවකින් යුතුව කෑම කන්නට වූවාය. 
 
" චූටි කලබල නොවී ඉන්නකො. අක්කි කැමති උනා කියල අද හෙටම මැරි කරන්නෙ නෑනෙ..අනික ලොකූට ඕන නම් මැරි කරලත් දෙන්න එක්ක මෙහෙ ඉන්න පුළුවන්.ඒ උනාට කවීශ පුතාල ඒකට කැමති වෙන එකක් නෑ. එහෙත් ඉතින් සාගරයක් වගේ ගේනෙ. චූටි පුතත් බෝඩිමේ.එයත් ඕලෙවල් කරල ඔස්ට්‍රේලියා යයි. ඒක නිසා ඔයාලට එහෙ ඉන්න වෙයි.." 
 
" හරි හරි ජයේ. එව්ව පස්සෙ බලමුකො.තව කල් තියෙනවනෙ. කොහොම උනත් චූටිටත් කෙනෙක් හොයන්න ඕන දැන්.." 
 
දේවිකා සිනාසෙමින් පැවසුවත් තිළිනිට සිනාවක් නඟා ගැනීම අපහසු විය. සිව් දෙනාම කතා බස් කරමින් ආහාර ගත්තත් දිලිනි සිටියේ වෙනම ලෝකයක මෙනි. 
 
      මුළුතැන්ගෙයි වැඩ කරමින් සිටි සිරියාද දේවිකාගෙන් මේ සතුටුදායක ආරන්චිය දැනගත්තාය. තම දෑතින් හැදූ වැඩූ දරුවකුගේ විවාහයක් සිදුවන්නට යාම ඇයට ඉමහත් ප්‍රීතියක් ගෙන එන්නට විය. මුළුතැන්ගෙයි වැඩ රාජකාරි වලින් ඉස්පාසුවක් ලැබුන තැන දෙසොහොයුරියන් සොයා ආ සිරියා තම සතුට පෙන්වූයේ කඳුලු පිරි දෑසිනි .දෙසොහොයුරියන් උදේ ආහාරයෙන් පසු ගෙමිදුලේ ඇව්ද ඇවිද උන්හ. දිලිනිගේ වෙනස් වීම ගැන ව්මසීමට තිළිනි බල බලා උන්නත් සිරියා පැම්ණි නිසා එය මඟ හැරී ගියේය. 
 
" ලොකු බේබි.., ඔන්න මට ලොකු නෝනා කිව්ව හොඳ ආරන්චියක්. ඇත්තෙයි ඒක..?" 
 
" ඇත්ත ඇත්ත.. මොකෝ සිරිය නැන්ද හිතුවද මම බොරුවට කැමති උනා කියල" 
 
දිලිනි පහව නොගිය සිනාවෙන් පැවසුවත් තිළිනි හොරහින් එදෙස බලා බිම බලාගත්තාය. සිරියා දිලිනිත් තිළිනිත් දෙපසින් ලං කරගෙන හිස අතගෑවාය. කිසි කලෙකත් නිවසේ කිසිවකුත් ඈ නිවසේ මෙහෙකාරියක් කොට සැලකුවේ නැත. දේවිකා හා ජයවර්ධන පවා ඇයට සැලකුවේ තම වැඩිහිටි ඤාතිවරියකට මෙනි. 
 
" ලොකු බේබි බැඳල ටික කාලෙකින් චූටි බේබිත් බඳියි... බේබිලගෙ අම්ම තාත්තටත් වඩා මට තමා පාළුව දැනෙන්නෙ.." 
 
සිරියා කඳුලු පිරි දෑසින් පැවසුවාය. 
 
" අක්කි හදිස්සියෙ බැන්ඳට මම එහෙම නෑ සිරිය නැන්දෙ. මම ගියත් සිරිය නැන්ද එක්කන් යන්නම්කො.." 
 
තිළිනි වහා පවසා සිටියේ දිලිනි සමඟ ඇති නොරිස්සුමත් සිරියා ගැන ඇති වූ දුකත් එකවර පිට කරමිනි. 
 
" අනේ අප්පේ.. එක්ක නොගියට මොකෝ කිව්ව එකම මැදෑ... ඒත් ඉතිං දැන්ම බෑ කිව්වට ලොකු නෝනයි මහත්තයයි දෙන්න චූටි බේබිටත් කෙනෙක් හොයනව ඇති. නේද ලොකු බේබි. " 
 
" ඔව් ඔව් සිරියා නැන්දෙ .දැන් කනකොටත් අම්ම කිව්ව නංගිටත් ඉක්මනට කෙනෙක් හොයන්න ඕන කියල." 
 
දිලිනි පැවසුවේ සිනාසෙමිනි. තිළිනි තවමත් බිම බලාගත් ලෙසම උන්නාය. අක්කාගේ නොමනා වැඩ පිළිබඳව තිළිනිට සියුම් කෝපයක් දැනෙමින් තිබුණි. 
 
"අර අහිංසක කොල්ලව රවට්ටල එනව මෙතන මටත් මඟුල් ජෝඩු කරන්න." 
 
කෝපයෙන් දැවෙමින් උන් තිළිනි සිතෙන් තම සහෝදරියට බැන වැදුනාය.වඩා අහිංසක වූ තිළිනිගේ කුලෑටි බව හඳුනාගත්තාක් මෙන් සිරියා නැවත කතාව දිලිනි දෙසට හැරෙව්වාය. 
 
" ලොකු බේබි ඔන්න දැන් ඔය දැගලිල්ල ටිකක් අඩු කරගන්න වෙයි අපෙ චුටි බේබි වගේ." 
 
සිරියාගේ කතාවට දිලිනි හඬ නගා සිනාසුනාය. 
 
" අනේ සිරියා නැන්දෙ කොයි ලෝකෙ ගියත් මාව නම් වෙනස් කරන්න බැරිවෙයි හොඳේ..මං මේ විදිහම තමා.." 
 
" ඔය ඉතින් බලන්නකො චූටි බේබි. ලොකු බේබිට දෙයක් කියල තේරුම් කරන්න බැරි හැටි. " 
 
සිරියා නෝක්කාඩු හඬින් කියන විට තිළිනි සිනාසුනාය. 
 
" හරි මට තව වැඩ ටිකක් තියෙනව ගේ ඇතුලෙ.බේබිල කතා කර කර ඉන්නකො .මම යන්නං. " 
 
දිලිනිගේත් තිළිනිගේත් හිස අතගෑ සිරියා ඔවුන්ට නිදහසේ ඉන්නට හැර නිවස තුලට ගියාය. සිරියා ඉවත්ව යන තුරු තිළිනි සිටියේ නොඉවසිල්ලෙනි. තවදුරටත් තම අක්කාගේ මේ වෙනස දරා ඉන්නට තිළිනිට නොහැකි විය. දිලිනිගේ අතකින් අල්ලා ගත් තිළිනි ගෙමිදුලේ කොනක වූ ලී බංකුව වෙත ඈ ඇදගෙන ගියේ වේගයෙනි. 
 
"චූට්...!චූට්... මොකද මේ පිස්සුද.. වැටෙනව තව පොඩ්ඩෙන් මං ..."  දිලිනිගේ හඬෙහි වූයේ නොරිස්සුමකි. 
 
"මොකද තමයි..! අක්කි තමුසෙට පිස්සුද. මොකද්ද මේ නටන නාඩගම..? සාගර අයියට මොනව කියන්නද හිතන් ඉන්නෙ ඔයා..? " 
 
තිළිනිගේ වේගවත් කතාවට දිලිනි මඳකුදු සැලුනේ නැත.ඒ වෙනුවට විහිලුවක් ඇසූ කලෙක මෙන් ඈ මහ හඬින් සිනාසුනාය. 
 
" අනේ චූටි .., තරහ ගන්නෙ නැතිව ඉන්නකෝ. ඔයාට මේක තේරෙන්නෙ නෑ දැම්ම. මං සතුට්න් කියල නේද ඔයා හිතන් ඉන්නෙ..? ඒ උනාට එහෙම නෑ.." 
 
මුලින් උස් හඬ්න් සිනාසුනු කෙනාම දැයි සිතා ගත නොහැකි තරමට දුකින් කතා කරන දිලිනි දෙස තිළිනි බලා උන්නෙ මහත් පුදුමයකින් මෙනි. 
 
" මොනාද අක්කි ඔයා කියවන්නෙ..මට නම් තේරෙන්නෑ. මේ හිනාවෙනව ගේම හෙල්ලෙන්න. ඒකරල කියනව දුකින් ඉන්නවලු.. අනේ මං දන්නෑ.."   
 
දිලිනිට තිළිනිගේ නොරිස්සුම් බව හොඳින් වටහා ගන්නට හැකි විය. 
 
" ඔයාට හැමදේම දැනගන්න පුළුවන් නංගී. හැබැයි දැන්ම නෙවේ. මට දැනට ඔයාට කියන්න පුලුවන් මං කවීශට වත් සාගරට වත් බොරු කලේ නෑ කියල විතරයි..." 
නිවුනු හඬින් දිලිනි පවසන කිසිවක් තිළිනිට නම් වටහා ගන්නට නොහැකි විය.. 
 
" එතකොට ඔයා මේ කරන දේවල් සාගර අයියත් දන්නවද..? 
 
" ඔව් දන්නවා... මං කිවනේ ඔයාට හැමදේම දැනගන්න පුලුවන් කොහොමද මෙහෙම උනේ කියල.ටිකක් ඉවසල ඉන්නකො පැට්යෝ.." 
 
දිලිනි සෙමින් තිළිනිගේ අත අල්ලාගන්නට තැත් කලාය. එහෙත් තිළිනි උන්නෙ කෝපයෙනි. සොයුරියගේ අත ගසා දැමූ ඈ නොපැකිළව තම කෝපය පිට කලාය. 
 
"එපා...! එපා අල්ලන්න මාව. ඔයා ඉන්න හැමෝටම හැමදේම කියල..මට විතරක් නෑ. අඩුම තරමෙ මම දැන් ඇහුවට පස්සෙ වත් ඔයාට මොකද්ද උනේ කියල කියන්න බෑ. එහමනේ ...නේද... හරි හරි ඔයා ඔයාගේ දේවල් බලාගන්න මට කියන්න ඕන නෑ මං යනවා..." 
 
කෝපයෙන් තමා අතහැර ගෙතුලට යන සොයුරියට දිලිනි කෙතරම් ඇවිටිලි කරමින් පහදන්නට පසුපස ගියද ඈ ඒ කිසිවකට ඇහුම්කන් දුන්නේ නැත. එකම කාමරය බෙදා ගෙන එකට උන් දෙදෙනා එදින රැයේ පටන් කාමරයේ දෙපසට වී නිහඬවම කල් ගත කලහ. තම නැඟනියට සියලු සත්‍ය පවසන්නට හැකියාවක් නොවීම ගැන දිලිනි උන්නෙ මහා පසු තැවීමකිනි.  කාමරයේ එහා කෙලවරේ ඇදෙහි අනෙක් පසට හැරී නිදන තම සොයුරිය දෙස බලා දිලිනි සුසුමක් හෙලුවාය. 
 
" ඔයාට ඉක්මනටම දැනගන්න පුලුවන් වෙයි චූටි මම එහෙම කරේ ඇයි කියලා. ඔයා දන්නෙ නැති උනාට ඔයත් ඒකට හේතුවක් තමා..හ්ම්"
තනිවම මුමුනා ගත් දිලිනි සුසුමක් හෙලා අනික් පස හැරී නින්දට වැටුනාය
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න 
 
       
 
 
 
ReplyForward