9............................................................................ 
 
කාලය ගෙවී ගියේ බොහෝ ඉක්මනින් යැයි තිළිනිට හැඟෙයි. නමුත් එදා සිට තමා වින්ද දුක දිනෙන් දින වැඩි වූවාක් මිස අඩුවක් නැති බව ඈ දනියි.  පුංචි පුතුටත් දුවටත් දැන් තුන් අවුරුද්දකුත් සපිරී හමාරය.පුංචි පුංචි වචන ඇහිදිමින් කතා කරමින් පුංචි කකුල් වලින් වැටි වැටී ඇවිදින දරුවන් දෙස බලා ඉන්නා විට සතුටක් මෙන්ම තම සොයුරිය සිහි වීමෙන් දරාගත නොහැකි දුකක්ද ඇයට ඇති වෙයි. දැරුවන්ගේ දඟකාරකම් නිරතුරුව තමාගෙත් සොයුරියගේත් කුඩා අවදිය සිහිපත් කරවන බව සිරියා නිතරම පවසන්නීය. එය සැබෑවකි.කුඩා පුතුගේ අහිංසක හැසිරීම තමා කුඩා කල මෙන්ම දියණියගේ දඟකාරකම් සොයුරියගේ මෙන් යැයි කියන විට තිළිනිගේ සිතෙහි හටගන්නේ සිහින් රිදුමකි. සිරියා ගත වූ කාලය තුල වටින් ගොඩින් මෙන්ම එක එල්ලේද කිහිප වතාවක් සොයුරිය ගැන කිසිදු තොරතුරක් නැතිදැයි විමසා සිට් අවස්ථා වලදී තමා මිය යන්නේ නම් මීට වඩා අගනේ යැයි ඇයට සිතුණි. විටෙන් විට හිත පාරවන සොයුරියගේ මතකය සිරියා විසින් තව තවත් ඇවිස්සීම ඇයට ඉවසුම් නොදෙන්නකි. හැරත් ඈ අසන ප්‍රශ්න වලට කෙසේ නම් පිළිතුරු සපයන්නද..! 
 
            ගතවූ අවුරුදු දෙක තුල තිළිනි අතින් කිසිදු අඩුපාඩුවක් හෝ හිත් රිදීමක් සිදු නොවූ බව සිරියාට සහතිකය. එහෙත් තම සිතෙහි කුමක් හෝ කුහුලක් ඇති බව ඇයට දැනෙයි. පුංචි පුතු තිළිනිව ප්‍රතික්ෂේප කර නිසා තිළිනි මානසිකව ඇද වැටි සිට්යෙන් තමාට එවැනි වෙනසක් කුහුලක් දැනෙන්නට ඇතැයි විටෙක ඈ සිතුවාය. එහෙත් ඊට වඩා යමක් මෙහි ඇත්දැයි සිරියාට දැන් දැන් හැඟී යයි. පුංචි පුතු කුඩා කල මෙන් දැන් තම මව ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් දියණිය මෙන් වැඩි ඇඟෑලුම් පාන්නේද නොවේ. ඔහු නිතර කල්පනාවට බරය. තනිව සිටීමට ප්‍රිය කරයි. දියණිය දඟකාරය. ඈ මවට බොහෝ ආදරය කරයි. කවීශටද එසේය. කවීශ  තම දරුවන් දෙදෙනා වෙනුවෙන් අතීතය අමතක කර උන්නේය. නමුත් විටින් විට ඒ මතක හද පාරවමින් හිතට ගලා එයි. කවීශගේ මුලු ලෝකයම දරුවන් දෙදෙනාය. එහෙත් ඔහු තිළිනිට අඩුපාඩුවක් නොකරන්නටද වග බලාගත්තේය. කොතරම් වැරදි ඇතත් ඈ තම දරුවන් වැදූ මව් බව ඔහු අමතක නොකලේය. පුංචි දරුවන් දෙදෙන වචන ඇහිඳිමින් කතා කරන සුරතල් බස් ඇසීමට කවීශ මෙන්ම තිළිනිද ප්‍රිය කලාය. ඉඳහිට දරුවන් අතින් නොදැනුවත්ව කියවෙන ඇතැම් වචන ඔවුන් තිගස්සවන්නටද සමත් විය. 
එලෙස දිනක් සිරියා සමඟ මුළුතැන්ගෙයි වැඩක යෙදී සිටින විට කුඩා දියණිය සාලයේ සිට හඬාගෙන පැමිණියාය. 
" අක්කී ...අක්කී... අයියා නන්නිට ගැහුවා...." 
 
කලබල වූ තිළිනි උඩ බිම බැලුවාය. දියණිය අක්කී කියා අමතා තිබුනේ තමාටය. සිරියාගේ මුහුණේ වූයේ සිනහවකි. 
 
" අනේ අනේ චූට් මැනිකෙ කවුද අක්කි.." 
 
සිඟිති දියණිය වහා ඇඬුම නතර කර සිරියා දෙස බැලුවාය. දියනියගේ මුහුනේ සිනාවක් ඇඳී ගියේ අයියාත් සමඟ වූ රණ්ඩුව අමතක වූ ලෙසිනි. තිළිනි දෙසට අත දිගු කල ඈ සිනහ මුව්න්ම පිලිතුරු දුන්නාය 
 
" මේ ඉන්නෙ අක්කී... " 
 
"අනේ චූටි මැණිකෙ අක්කි නෙවේ අම්මිනේ ..." 
 
සිඟිත්තිය සිනා සෙමින්ම "ඔව් ඔව් ඒ තමා අක්කී අක්කී"කියමින් සාලයට දිව ගියාය. 
" ඕන් බලන්න චූටි බේබි දැන් අපි කතා කරනකොට උනත් පරිස්සම් වෙන්න ඕන. ඇහෙන ඇහෙන එක ඇහෙන විදියට කියනවා" 
 
සිරියා තිළිනිගේ මුහුණ දෙස ඇස් කොනින් බලමින් කීවේ පලා මිටියක් කපන අතරතුරය. එසේ උවද තිළිනිගේ මුහුනේ වූ අඳුර ඇය හොඳින්ම දුටුවාය. දරුවෙකුගේ නොදන්නාකමට කියවුන වචනයකට එතරම් අමනාපයක් කුමටදැයි සිරියා තනිව සිතුවාය. 
 
තිළිනිගේ සිතෙහි දරුවා පිළිබඳව අමනාපයක් වූයේ නැත. ඇයට වූයේ තැතිගැන්මක් පමණි. එය සිරියාගෙන් වසන් කරන්නට හැකිපමණ ඈ උත්සහ කලාය. මීට පෙරද දියණියගේ වචනයක් නිසා තමා කලබල වූ අයුරු ඇයට සිහිවිය. එදින කවීශ ව්‍යාපාරික ස්ථානයට පිට වන්නට සූදානම් වූයේ තරමක් පමා වීය. වෙනදා කවීශ පිට වන විට සුව නින්දේ පසුවන දරුවන් දෙදෙනා එදා උන්නේ අවදියෙනි. නිවසින් පිට වන්නට ප්‍රථමයෙන් දරුවන් දෙදෙනා සිප වැලඳගෙන සුරතල් කල කවීශ, තිළිනි අමතා පිටව යන්නට සූදානම් විය. 
 
"තිළිනි.. තිළිනි.. කෝ කෑම එක තාම හරි නැද්ද. මං යන්න ඕන.." 
 
" ආ ... ආ.. හරි මෙන්න දාගන්න බෑග් එකට..."තිළිනි මුළුතැන්ගෙයි සිට දිව එමින් කවීශට කෑම පාර්සලය දුන්නාය. අසල සිටි දියණිය වහා දිව විත් කවීශගේ කකුලෙහි එල්ලුනාය. 
 
"මං තිළිනි..අම්මි නෙවේ... " 
 
දියණිය කවීශ දෙස බලා කීවාය. තිළිනිගේ දෑස් උඩ ගියේය. කවීශ වහා තිළිනි දෙස බැලුවාය. පුතු සිටියේ තරමක් ඈතින් බිම හිඳ ගෙන සෙල්ලම් කාරයකින් සෙල්ලම් කරමිනි. වහා සිය නැඟනිය දෙස බැලූ ඔහු අත්පුඩි තලමින් සිනා සුනේය. 
 
"නන්නි තමා තිළිනි... නන්නි තමා තිළිනි.." 
 
පුතු අත්පුඩු තලමින් තාලයට කියන්නට විය. කවීශද තිළිනි උන් තත්වය මැනවින් තේරුම් ගත්තේය. 
 
" චූටි මැණිකෙ අම්මි වගේ වෙන්නද ආස...ම්ම්.. හරි ශෝක්නෙ..තාත්ති ගිහින් එනකන් එහෙනම් දඟ නොකර ඉන්න ඕන හොඳද.  " 
 
කවීශ දියණිය අස්වසා පිටවී ගියේය. එදිනද දවස පුරාවටම තිළිනි උන්නේ තැතිගැන්මෙනි. දරුවන් නොතේරුම් කමට කියන ඇතැම් වචන සිතාමතා තමාට කියනවාක් මෙන් තිළිනිට දැනුනි. එදා ඒ සිදුවීම් වෙද්දී සිරියා එහි උන්නේ නැත. කොතරම් උදව් කලත් සිත නොරිදුවත් සිරියාගේ සිතෙහි තමා ගැන යම් පමණක සැකයක් ඇති බව තිළිනි හොඳින්ම දැන උන්නාය.තම සොයුරිය නිවසින් පිටව යාම ගැන යම් තරමක හෝ සම්බන්ධයක් තමාට ඇතැයි සිරියා විශ්වාස කරන බව ඇගේ කතාව්න්ම තිළිනිට තේරුම් ගොස් තිබිනි. 
     
සැකය ඇති වූ තැන හාරා අවුස්සමින්  ප්‍රශ්න කිරීම වෙනුවට නිහඬවම ඒ ගැන සොයා බලා විසඳාගැනීම සිරියාගේ ක්‍රමය විය. නිවෙස අස් පස් කරමින් උන් එක් දිනෙක තිළිනිගේ අල්මාරිය අස් කිරීමටද සිරියාට සිදු විය. අල්මාරියේ ගොඩගසා ඇති ඇඳුම් පිළිවෙලට නවමින් තැන්පත් කළ ඈ ලාච්චු විවර කර ඒවා අස් කරන්නට විය. එක් ලාච්චුවක පොලිතින් බෑගයක දමා තිබූ දිලිනිගේ හැඳුනුම්පත සිරියාට හමුවූයේ එවිටය. පොලිතින් කවරයෙන් පිටතට ගෙන එය හොඳින් බලමින් සිටින විටම තිළිනි කාමරයට පැමිණියාය. හැඳුනුම්පත දෙසටම නෙත් යොමා සිටි සිරියාගේ නෙතට තිළිනි බියපත්ව ගැස්සෙන අයුරු හසුවූයේ නැත. වහා සන්සුන් වන්නට උත්සහ කල ඈ කිසිවක් නොදුටුව ලෙස සිරියා හා කතා කලාය. 
 
" සිරියා නැන්දේ..! මොකද්ද බලන්නේ..? " 
 
" චූ...චුටි බේ..බි..මං දැක්කෙත් නෑ එනව. මේ මේ ලොකු බේබ්ගෙ අයිඩ්න්ටිය චූට් බේබිගෙ අල්මාරියෙනෙ. ලොකු බේබි යනකොට ගෙනිහින් නැද්ද. ..?" 
 
" ආ... ඔව් සිරිය නැන්දෙ. අක්කි ඕකත් තියල තමා ගිහින් තියෙන්නෙ... ඒක නැතුව ඉතින් මොකුත් කරන්නෙ කෝමද. ආය හදාගන්න ඇති ඉක්මනටම." 
 
සිරියා දෑස ලොකු කර තිළිනි දෙස බලා උන්නාය. 
 
"ජෝඩු දාල ගෙවල් වලට හොරෙන් ගියාට මොකෝ නොතේරුම් කම තමා .අයිඩින්ටිය වත් නොගෙන යයිද නැතිව ..රෙදි ටිකත් ගෙනියන්න මතක් උන එකේ..අනේ අප්පෝ.." 
 
සිරියා කම්මුලේ අත තියාගෙන කියවයි. තිළිනි තම දෑස සඟවාගත්තාය. සිරියාට අල්මාරිය අස් කරන්නට පැවරීම ගැන ඇ සිතින් තමාටම දොස් පවරා ගත්තාය. 
 
"සිරියා නැන්ද ඔය ටික අස් කරල දාල එන්නකො එහෙනම්. මං බබාල එක්ක තව ටිකක් සෙල්ලම් කරන්නම්කො. " 
 
ආයාසයෙන් සිනාවක් නඟා ගත් තිළිනි වහා කාමරයෙන් පිටව ගියාය.
කාමරයෙන් පිටවී ගියද තිළිනිගේ සිත තිබුනේ කාමරය තුළමය. තවත් මෙවැනි අතපසුවීම් කොතරම් ඇත්ද...තමා සියල්ල සඟවා ගෙන හමාර යැයි සිතා සිටියත් හැඳුනුම්පත වැනි සුළු සුළු සාක්ෂි තව කොතරම් නම් සඟවන්නට නොහැකිව මඟහැරෙන්නට ඇත්ද...තිළිනිගේ නළලත මත සිහින් දා බිඳු නැගෙන්නට විය. මෙය නම් මහා පීඩනයකි. වැරදි කිරීමෙන් පසු කාගෙන් සැඟවුනත් තම සිතෙන් තමාට ගැළවීමක් නැති හැටි...
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.