ආත්ම බන්ධන 10
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 425
10............................ .............................. ................
දිලිනිගේත් කවීශගේත් විවාහයට තවත් මාස එකහමාරක් වැනි සුළු කාලයක් තුලදී දින නියම විය. එයත් කවීශ ගේ සහ දිලිනිගේ කැමැත්ත මත සිදුවූවකි. තිළිනිට මේ සිදුවන කිසිවක් අදහාගත නොහැකි විය. අක්කා සිටින්නේ විවාහය ගැන ඉතා ප්‍රීතියකින් මෙනි. කවීශද එසේය. එක් අතකට කවීශ එසේ සිටිමේ වැරද්දක් නැත. ඔහු අක්කාගේ ප්‍රේමය ගැන කිසිවක් නොදනී.එහෙත් අක්කා එසේ හැසිරෙන්නේ කෙසේද. තිළිනිගේ හිස යකාගෙ කම්මල මෙන් අවුල් විය. තමාට වඩා දඟකාර වූවත් මුරණ්ඩු වූවත් මේ තරම් පහත් ලෙස තම සොයුරිය තීරණ ගනිවී යයි තිළිනි කිසිදා සිතුවේ නැත. ඇය එසේ කරනවා පමණක් නොවේ. ඒ පිළිබඳව තැකීමක් පවා නැති ගාණය. අවුරුදු ගණනක් එකට සිටියද තම එක කුස උපන් සොයුරියගේ සත්‍ය ස්භාවය හෙළිවන්නේ දැන් යැයි තිළිනිට සිතුනි.
දිලිනි නිතරම විවාහයේ වැඩ සඳහා කවීශ සමඟ එළියට යයි. ඔවුන් දෙදෙනා සිටින්නේ ඉමහත් ප්‍රීතියෙනි. තිළිනි නිවසේ තනිව හිඳියි. ඇයට වදනක් දෙඩීමට වත් කිසිකෙනෙකුන් නොවූ පාළුව තදින් දැනෙන්නට විය. දිලිනි විසින් වරක් දෙවරක් තිළිනිද කැටුව ගියේ දෙවෙනි මනාලියගේ ඇඳුම් පැලඳුම් සැකසීම සඳහා පමනමය.. එහෙත් ඒ තිළිනිගේ කැමැත්ත මත නොවේ. දෙවෙනි මනාලිය වීමට තබා විවාහයට සහභාගී වීමට වත් තිළිනිගේ සිතෙහි කැමැත්තක් නැත. කවීශ වැනි යහපත් තරුණයෙක් රවටා සාගර වැනි තවත් අහිංසක කොල්ලෙකුට දුක් දී අක්කා කර ගන්නට යන මේ විවාහය ගැන තිළිනිගේ සිතෙහි වූයේ මහත් පිළිකුලකි. හැරත් ඒ ගැන වචනයකුදු තිළිනි සමඟ ඈ කතා නොකරයි. දෙවෙනි මනාලියගේ අවශ්‍යතා වලට තිළිනි කැඳවා ගෙන ගිය වාර කිහිපයට අමතරව කවීශත් දිලිනිත් නිතරම තනිව ඇව්දින්නට ගියේ තිළිනි කැඳවාගෙන යාමට වචනයක හෝ අනුබල දීමක් නොමැතිවය. තම සොයුරියගේ තීරණ ගැන තරහින් උන්නද එළෙස තමා තනිකර ඔවුන් දෙදෙනා එක්ව හිඳින විට තිළිනිට දැනුනේ මහත් දුකකි. අක්කාත් තම අනාගත මස්සිනාත් නිවසින් පිටවී සතුටින් ඇවිදින්නට යන හැම දවසකම තිළිනි තනිවම යහනේ ඉකිබින්ඳාය.
රතු වී ගිය ඇස් මැලවුනු මුහුන දකින සිරියා සිතා උන්නෙ සොයුරියගෙන් වෙන් වීමට සිදුවීම ගැන තිළිනි දුකින් පසුවන බවයි. ව්‍යාපාරික කටයුතු සහ විවාහයේ කටයුතු වලට කාර්යබහුල බැවින් ජයවර්ධනට හෝ දේවිකාට කවදත් මෙන් දරුවන්ගෙ සෝ දුක් තැවුල් දැක ගන්නට කාලය තිබුනේ නැත. සිරියා නිතරම තිළිනි ගැන සොයා බලමින් ඇගේ දුක අඩු කිරීමට ළඟින් උන්නාය. වඩා දඟකාර දැඩි හිතක් ඇති දිලිනිට නම් මේ වෙන්වීම වුව දරා ගැනීමට අපහසුවක් නොවන බව සිරියා දැන උන්නාය.විවාහය තීන්දු වීමත් සමඟම හිතාමතා හෝ නොදැනුවත්වම දිලිනි විසින් තම නැගනිය මගහරින බවද සිරියාට වැටහී තිබිනි..
" චූටි බේබි මොකෝ මේ කොයි වෙලේ බැලුවත් මූන එල්ලගෙනනේ.."
"මොකුත් නෑ සිරියා නැන්දෙ .මේ නිදියල ඇහැරුන ගමන්නෙ.."
" ඔන්න ඉතින් චූටි බේබි මටත් බොරු කරනවනෙ.. මොකෝ මන් දන්නෙ නැතිවයැ..."
" මොනාද දැන් සිරිය නැන්ද දන්නේ..! "
" මන් දන්නෙද..! චූටි බේබි දුකින් ඉන්නෙ ලොකු බේබි නැති පාළුවට. එහෙම නේද..?"
" හ්ම්ම් ...ඔ..ඔව් සිරිය නැන්දෙ.. අක්කි ගියාම ඉතින් මට සිරිය නැන්ද විතරයි ඉන්නෙ මේ ගෙදර. දැන් උනත් එහෙමනෙ.."
" හ්ම්ම්... ඒකනම් එහෙම තමා. ලොකු බේබිත් මේ දවස්වල හරියට මහන්සි වෙනවනෙ වෙඩින් එකට. ඒක හින්ද චූටි බේබි එක්ක ඉන්න වෙලා නැත්තෙ. ඔව්ව ඉතින් අද හෙට නැතත් කවදාහරි වෙන්න තියන දේවල්නෙ චූටි බේබි. ගෑනු උනාම ඔහොම තමා. කවදහරි ගෙදර.. පවුලෙ අය ඔක්කොම දාල වෙන ගෙදරකට යන්න වෙනව. හරියට බැලුවොත් කවදරි තනිවෙන්නෙ මම තමා චූටි බේබිත් කසාද බැඳල ගියාම.."
සිරියාගේ වතෙහි වූයේ ශෝකයකි. සිරියා සමඟ වුව ඒ මාතෘකාව ඔස්සේ කතා කතා කිරීම තිළිනිට නීරස වී තිබිණි. ඒ නිසාම ඈ තවත් සුළු මොහොතක් කතාබහ කරමින් සිට හෙමින් සිරියාව මගහැර කාමරයට ගියාය.
කොතරම් මිල මුදල් සැප සම්පත් අඩුවක් නැතිව තිබුනද සතුටක් නැති මේ ජීවිත කෙතරම් අවාසනාවන්තදැයි සිරියා තනිව කල්පනා කරන්නට වූවාය. විවාහයකින් පසුව හෝ දරුවන් දෙදෙනාටම ආදරය කරුණාව ලැබෙන පවුල් ජීවිතයක් ලැබේවායි සිරියා සිතින් පැතුවාය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.