11............................................................................ 
 
තවමත් බහ තෝරන වියේ පසුවන දරුවන් දෙදෙනාගේ කතා බහේ හැසිරීමෙහි වෙනසක් ඇති බව දැන් දැන් කාටත් හොඳින් තේරුම් යමින් පවතී. විටින් විට පුංචි කටවල් උල් කරමින් හුරතල් බසින් කියන අමුතු කතා සිරියාට නම් විසඳාගත නොහැකි ගැටළුවකි. නමුත් විටින් විට පටලවමින් කියන මේ ඇතැම් කතා තිළිනි පමණක් නොවේ කවීශද තිගස්සන්නට සමත් විය. කුඩා දියණියගේ මුවින් පමණක් මුල් කාලයේ කියවුනු මේ කතා පසු වන්නට පුතුගේ මුවින්ද නික්මෙන්නට පටන් ගත්තේය. කියන කිසිවක් පැහැදිලි නොවූ සිරියාගෙ අදහස වූයේ දියණිය කියන දෑ අසා සිටින නිසා පුතුද එවැනි කතා කීමට පෙළඹි ඇති බවයි. සිරියාගේ එවන් කතාබහකදී ඊට පිලිතුරු නොදී නිහඬවම සිටින්නට තිළිනි මෙන්ම කවීශද වගබලා ගත්තේය. නමුත් එසේ සිටීමම සිරියාගේ සැකය වැඩි කරන්නක් බව ඔවුන්ට නිකමට හෝ සිතුනේ නැත. 
 
"සිලිය නැන්නේ... සිලිය නැන්නේ..."  කුඩා දියණිය සිරියා සොයා එන්නේ එලෙසය. සිරියා ඈ පිළිගන්නේ මුහුණේ පිරුනු සිනා සහිතවය. 
 
"අනේ අනේ චූට් මැනිකෙ.. නැන්න නෙවේ ආත්තම්ම කියන්න. මං ආත්තම්මනෙ පැටියගෙ.." සිරියා කුඩා දියණිය සිපගනිමින් ආදරයෙන් පැවසුවාය. 
 
"නෑ නෑ ඔයා නැන්නා තමා. නේ අක්කී ..?  " 
 
සිඟිති දියණිය තිළිනි දෙස බලා විමසන්නීය. තිළිනිගේ සිත දැවි යයි. කුමක් කියන්නදැයි ඇයට සිතාගන්නටවත් නොහැකි වෙයි. 
 
"ඒ පාර අක්කිලු. අක්කි නෙවේ අම්මි පුතේ ..." සිරියා පවසන්නේ ආදරයෙනි. 
 
"අක්කි තමා ..අක්කි..මං තිලී නේ ..නේ අක්කී. .." 
 
කුඩා දියනිය තතනමින් කියවයි. තිළිනිගේ ගතට සිහින් දහදියක්ද වැටුනි . 
 
"ඇහෙන ඇහෙන වචන කියනව...අනේ මන්දා මේ ළමයි නම් සිරිය නැන්දෙ.." 
 
තිළිනි වෙව්ලන දෙතොලින් අපහසුවෙන් කියාගත්තාය. 
 
තවත් වරෙක කුඩා පුතුට තිළිනි බත් කවමින් සිටින විට ඔහු තිළිනිගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටින්නට විය. 
 
" ඇයි පුතේ බයවෙලා වගේ ..?මොකද උනේ.." 
 
තිළිනි විමසුවේ විමතියෙනි.
එහෙත් පුතුගේ බැල්ම නම් වෙනස් වූයේ නැත. එක්වරම ඔහු විහිලුවක් ඇසුනු සේ සිනාසෙන්නට විය. තිළිනි බලා උන්නේ වික්ෂිප්තවය. 
 
" පුතේ කියන්නේ ඇයි ඔයා..?" කුඩා පුතු සිනහසෙමින්ම විමසයි. 
 
" ඇයි පුතේ.., මොකද මේ.!" 
 
" ඔයා කවන බත් රසයි" 
 
පුතු ඈත ලොවක සිට පැමිණියාක් මෙන් කියවයි. 
එක්වරම ඔහුගේ මුහුනට මහා දුකක සේයාවක් ඇඳිනි. 
 
" ඒ උනාට ඔයා හොඳ නෑ දිලී"  පුතුගේ වදනින් තිළිනි ත්‍රස්තව ගියාය. කවීශ සමඟ එක් වහලකට පැමිණි මුල් කාලයේ ඔහුද අමතක වීමෙන්  තමාට දිලිනි කියා ඇමතූ අන්දම තිළිනිට සිහිවිය. අකුරක වෙනසක් නමුත් එහි බරපතලකම මැනෙවින් වටහාගත් කවීශ සිතාමතා දිලිනි යන නමට සමුදුන්නේය. 
 
නමුත් පුතුගේ මුවින් එය ගිලිහුනේ කෙසේද.. ! පුතු දෙස බලාගත්වනම තිළිනි බොහෝ දේ සිතන්නට වූවාය. මේ ඔහුද...!  එවිට දියණිය.... එසේ විය හැකිද.....ඇගේ හිස අවුල් ජාලයක් බවට පත්විය. පුතුද කල්පනාවක ගිලී සිට පියවි ලොවට පැමිණියාක් මෙන් එකවරම නැඟිට මව අසලින් ඉවත්ව ගියේය. කල්පනා කරමින් වුව පුතුට කෑම කැවීමට උත්සහ කරත් පුතු තවත් බත් කටක් හෝ කෑවා නොවේ. මුළුතැන්ගෙයි වැඩ කරමින් සිටි සිරියා වෙත දිව ගිය කුඩා පුතු ඇගේ චීත්තයෙහි එල්ලී සැගවෙන්නට උත්සහ කලේය. ඔහු නැවතත් මව තමා ලඟට පැම්නීමට කැමැත්තක් දැක්වූයේ නැත. හැඬීමට ආසන්න මුහුනෙන් සිටින කුඩා දරුවා වඩාගත් සිරියා ඔහු සුරතල් කරමින් සනසන්නට විය. තිළිනිට හීල්ලිනි. දරුවන්ගේ නොතේරුම් කමකට වුව කරන මේ වෙනස්කම් තවදුරත් කෙසේ දරාගන්නද. ඊටත් දරුවන් දෙදෙනාගේ මේ අමුතු හැසිරීම් තමාට සිහිපත් කරවන්නෙ අතීතයයි. ඒ ඔහුත් ඇයත් නම් නිශ්චිතවම ඔවුන් දෙදෙනා තමා ඉදිරියටත් පිළිකුල් කරනු නියතය. තවදුරටත් ඔවුන් යතා තත්වයට පත්වේ යැයි බලා සිටීමෙන් දරුවන්ටත් තමන්ටත් නපුරක් වේ යැයි තිළිනි බියපත් වූවාය. මේ පිළිබඳව කවීශ සමඟ නොපමාව කතා කල යුතු බව තිළිනි ඉටා ගත්තාය.
  
සිතුවිලි වල නොසන්සුන් බව නිසාම තිළිනි හවස් වරුවම පසු වූයේ කවීශ එන මඟ බලමිනි. දරුවන්ගේ වෙනස් වීම සමඟ තිළිනිගේ සිදුවන නොසන්සුන්කම දෙස සිරියා බලා උන්නේ මහත් කම්පාවෙනි. කවීශ  නිවසට පැම්ණි  පසුව වහ වහා තේ සාදා දුන් තිළිනි හෙමින් සීරුවේ කතාවට පැමිනියාය. 
 
" කවීශ ...ඔයාට දෙයක් කියන්න තියනවා.." 
 
" මොනාද තිළිනි ..? ඇයි කලබලෙන් වගේ.." 
 
" කලබලෙන් තමා.. ඇයි කවීශ මේ දරුවන්ගෙ ප්‍රශ්නෙ නිසා අපි දැන් හැමදාම කලබලෙන් කියල හිතෙන්නැද්ද ඔයාට..?"
" හ්මිම් ..මොකො..අදත් මොනව හරි කියෙව්වද.."
කවීශ ගේ හඬ කල්පනා සහගත විය. 
 
"අනේ ඔව් කවීශ .. මට හරි බයයි.. අපිට හිතෙන දේ ඇත්ත උනොත්..!" 
 
" අනේ මන්ද තිළිනි. කල පව් පස්සෙ පන්නනව කියන්නෙ මේව තමා.. එහෙම දේවල් වෙන්න පුලුවන්ද ඇත්තටම. අහල තිබුණට ඒ වගේ දේවල් විස්වාස කරන්න පුළුවන් තරමේ දේවල් දැකල නෑ මං නම්.." 
 
" අනෙ එහෙම කියන්නෙපා කවීශ  ..පුතා මට දිලී කියල කතා කරනව. දුව අක්කි කියල කතා කරනව. මට හිතෙන්නෙ නෑ ඒව්ව මේ නිකන් පොඩ් අයට වචන කියවෙන්නැති කමට කියන වචන කියල. ..ඔයාට තේරෙනව නේද.. අනික ..අනික... මේ ගෙදර අපි අක්කි කියල වත් දිලී කියලවත් කාටවත් කතා කරන්නෙ නෑනේ කවීශ ..අනේ තේරුම් ගන්නකො.."
තිළිනිගේ හඬ බැගෑපත් විය. 
 
"හරි හරි තිළිනි මට තේරෙනව. මොකද්ද කරමු කියන්නෙ දැන් ..? මටත් බයක් නැතිව නෙවේ. දරුවො දෙන්නට කරදරයක් වෙයි කියල මටත් ලොකු බයක් තියනවා." 
 
"හොඳ ඩොක්ටර් කෙනෙක් බලල පෙන්නමු දරුවො දෙන්නම. තව බලන් ඉඳල කොහොමද ..! " 
 
තිළිනිගේ හඬ දුක්බර විය. කවීශ සිතිවිල්ලෙන් යුතුව තිළිනි දෙස බලන් උන්නේය. 
 
"ඇ..ඇයි කව්ශ..?" 
 
"හ්ම්ම්. නෑ අපි පෙන්නමු. හැබැයි ඊට පස්සෙ අපි හිතන දේම උනොත් ඔයා ඒකට ලෑස්තිද..? 
 
කවීශගේ දැඩි හඬටත් බැල්මටත් තිළිනි තිගැස්සී ගියාය. එය ඇත්තක් නම් තමා කෙසේ එයට මුහුණ දෙන්නද..! තිළිනිගේ සිතිවිලි අවුල් ජාලයක් විය. ඈ කිසිවක් නොදොඩාම කවීශගේ දෑස් මඟහැර ඉවත ගියාය.
           තිළිනිට එල්ල කල පැනය තමාටද බලපාන බව කවීශ නොදැන උන්නා නොවේ. එහෙත් මේ සිදුවූ කිසිවක් ඔහුගේ සිතෙහි කොනක වත් තිබූ දේවල් නොවේ. ඇගේ තනිමතයට ඇගේ අසරණ කමට තමා යට වූවා නොවේද...! තමා පිරිමියෙකු ලෙස එදා ගත් තීරනය නිවැරදි දැයි කවීශට තවමත් ඇත්තේ පැනයකි.  නමුත් දැන්.. වැරදි හෝ වේවා නිවැරදි හෝ වේවා එක්ව පව් ගෙවීමට කාලය පැමිණ ඇතැයි කවීශගේ යටි හිත පවසන බව ඔහුට දැනෙයි. 
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.