ආත්ම බන්ධන 12
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 399
12............................ .............................. ..................
දිලිනිගේත් කවීශගේත් විවාහයට තවත් ඇත්තේ සතියක් පමණි. දිලිනි උන්නේ ඉවවහා ගිය මහත් ප්‍රීතියකිනි. එය ජයවර්ධන පවුලේ එක් අයෙක් හැරෙන්නට අනිත් සියලු දෙනාගේ සතුටට හේතුවක් විය. තිළිනි තවමත් අක්කාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඈ සමඟ තරහින් උන්නත් මුවින් නොදොඩා නිවසේ කටයුතු වලට සහය දුන්නාය. තම නැඟනිය තමා පිළිබඳව කිව නොහැකි තරම් පිළිකුලකින් තරහකින් සිටින බව දිලිනි හොඳින්ම දැන උන්නාය. නමුත් අද දිනයෙන් පසු...! අද දිනයෙන් පසු නිසැකවම තම නැඟනිය තමාට සමාව දෙනු ඇති බව ඈ දැන උන්නාය. දිලිනිගේ සිතෙහි යම් පසුතැවීමක් තිබුනානම් ඒ ,තම එක කුස උපන් සොයුරියටත් තමා කුඩා කල සිට තම දරුවකු මෙන් හදාවඩා ගත් සිරියාටත් ටික කලෙකට හෝ මෙවන් බොරුවක් කරන්නට සිදුවීමයි. ඒ හැරුනු කොට තමන් වැදූ දෙමව්පියන් ගැන ඈට හැඟීමක් වත් ඇති වූයේ නැත. පියා ගැන තිබූ කුඩා අනුකම්පාව පවා නැතිවී ගියේ තම කැමැත්ත අකමැත්ත නොවිමසා ව්‍යාපාරික ගණුදෙනුවක් මෙන් කරන්නට යන මේ විවාහය නිසාවෙනි. ඉතින් තමාගේ මේ බොරුව නිසා සිදුවන හානියද ව්‍යාපාරික වශයෙන් සිදු වූ හානියක් පමනක්ම වනු ඇතැයි ඈ සිතුවාය.
සිරියා උන්නේ දේවිකාත් සමඟ කැවිලි පෙවිලි සූදානම් කරමිනි. සහයට නිවස අසල කාන්තාවක්ද වැඩට කැඳවා තිබිනි. සොයුරිය සමඟ ගැවසීමට අකමැති තිළිනිද මුළුතැන්ගෙයට පැමිණියේ සහය වීම සඳහායි. නමුත් සිරියාගෙන් එයට අවසරයක් නොලැබුනි.
" චූටි බේබි උදව් කරන්න ඕන නෑ. ඔහොම බලන් ඉන්න. ඒ ඇති. මහා ගොඩක් කැවිලි හදන්නෑනේ..මේ... නිකන් චාරිත්තරේට ටිකක් හදන්නෙ. අනිත් ඔක්කොම නෝනල ඕඩර් කරලනෙ තියෙන්නෙ.."
" මට කම්මැලියි සිරිය නැන්දෙ නිකන් ඉන්න.."
" චූටි ඉතින් අක්ක එක්ක මොනා හරි වැඩක් කරන්නකෝ. අක්ක හරි කලබලේ මේ දවස් වල."
දේවිකා පැවසුවේ තෙල් තාච්චිය දෙස නෙත් යොමා බැවින් තිළිනිගේ මුහුණ වෙනස් වන අයුරු දැක ගන්නට ඇයට නොහැකි විය. එහෙත් සිරියා තිළිනිගේ මුහුනෙහි වූ වැහි අඳුර හොඳින්ම දුටුවාය. .
" අක්කි කවීශ අයිය එක්ක කෝල් එකක් මං දැන් එද්දිත්. එයාට ඇති වැඩක් නෑ කෝල් කරන එක තමා වැඩේ. ඒකට ඉතින් කරන හොඳම උදව්ව තමා මං පැත්තට වෙලා ඉන්න එක.."
තිළිනි අසීරුවෙන් නඟා ගත් සිනහවෙන් කියා සිටියාය.
" අනේ එහෙනම් චූට් බේබි ඔහොම ඉඳගෙන බලන් ඉන්ඩකෝ.. " සිරියා මහත් දයාවෙන් කියා සිටියාය.
මුළුතැන්ගෙයි වැඩ කටයුතු එසේ කෙරීගෙන යන අතරතුර දිලිනි තමාගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් උන්නේ නිවසේ කාටත් රහසිනි. ඈ බිත්තියේ රඳවා ඇති ඔරලෝසුව දෙස බැලුවාය. කතාකරගත් පරිදි වේලාව පැමිණ ඇත.මවත් සිරියාත් තම නංගිත් මුළුතැන්ගෙයි වැඩෙහි යෙදෙන බවත් පියා රියදුරු සමඟ නිවසින් පිටතට ගොස් ඇති බවත් අනෙකුත් කිසිදු සේවකයෙක් මිදුලෙහි පෙනෙන්නට නැති බවත් දිලිනි විසින් තහවුරු කර ගත්තාය. හෙම් හෙමින් අල්මාරිය වෙත ගිය ඈ හැකි ඉක්මනින් තම ඇඳුම් අතට අසුවන පරිදි ගමන් මල්ලකට ඔබා ගත්තාය. දෙමව්පියන් සාදා දුන් රන් අබරණ සහ තමාගේ සහතික පත් කිහිපයක්ද කලින් වෙන් කොට තබා ගෙන සිටි ඈ ඒ සියල්ල බෑගයට දමාගත්තාය. තවත් ගෙනයෑමට ඕනෑ තරම් දේවල් ඇති නමුත් දැන් කිරීමට කිසිවක් ඉතිරිව නොමැත. බෑගයට ඔබා ගත් දේ වලින් පමණක් සෑහීමට පත් වීමට සිදුවී ඇත. මෙතරම් සැප සම්පත් මැද හැදී වැඩුනු තමාට හෙට දිනයේ සිට කුමන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට සිදු වේ දැයි දිලිනිට අදහසක් හෝ නොවීය.බෑගය සූදානම් කරගත් දිලිනි නැවතත් පහල මාලයට ඉක්මනින් පැමිණ නිවසේ සියලු දෙනා කොහි සිටිත්දැයි තහවුරු කර ගත්තාය.පය ඉක්මන් කොට නැවතත් ඉහල මහලේ කාමරයට ගිය ඈ රෙදි බෑගය ගෙන පහලට බැස විසල් ගෙමිදුල වෙත දිව ගියාය. ගෙමිදුලෙහි තාප්පය අසල සරුවට වැඩී ඇති විසිතුරු කොල සහිත විශාල පඳුර ,පිටුපස එකවර දෙතුන් දෙනෙකුට වුව නොපෙනි සැඟව සිටින්නට තරම් විශාලය. කලින් සැලසුම් කරගත් පරිදි පඳුර පිටුපසින් බෑගය සැඟවූ දිලිනි ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් ඒ අවට ඇව්ද්දාය. ඈ වෙනසක් නොපෙනෙන ලෙස මිදුලේ ඇවිදිම්න් උන්නේ ඒ මොහොතේ හෝ කිසිවෙක් ම්දුලට පැමිණියහොත් සැකයක් ඇති නොවන්නටයි. එහෙත් විවාහයේ කටයුතු වලට කාර්යබහුල ඔවුන් කිසිවෙක් නිවස ඉදිරිපසට නොපැමිණියහ. දිලිනිගේ ඇමතුම එහා කොනෙන් සම්බන්ධ විය. කිසිවෙක් පෙනෙන තෙක් මානයේ නොවූවද ඈ කතාකලේ රහසින් මෙනි.
" ඔයා ආවද ..කවුරුත් එයි ඉක්මන් කරන්නකෝ.."
" හරි දිලී... මං ඔයා කියපු තැන බැම්මෙ එහා පැත්තෙ ඉන්නෙ. බෑග් එක දාන්න කෝල් එක කට් කරන්නෙපා..."
සාගරගේ හඬද කලබලකාරී විය. වහා බෑගය සැඟවූ පඳුර අසලට දිව ගිය දිලිනි වට පිට බලමින් බෑගය ගෙන අසල තිබූ කෙටි බංකුවට නැඟ බැගය තාප්පයෙන් එහා පැත්තට දැම්මාය. එසැනින් ඈ නැවතත් දුරකතනය කනෙහි තබාගෙනම බංකුවෙන් බිමට බැස්සාය.
"හරිද...?"
" හරි ළමයො කවුරුත් නැත්තන් ඉක්මනට ගේට්ටුවෙන් එලියට එන්න."
"පොඩ්ඩක් ඉන්න මට බයයි සාගර. හිටපු ගමන් සේන එනව මිදුලට. කොහොමත් ඔය මනුස්සය ගේට් එක අරින සද්දෙ ඇහුනත් මිදුලෙ..අන්න එනව කියද්දිම අයියෝ...."
වතුපිටි වැඩ බලාගනිමින් නිවසේ සේවයෙහි යෙදී සිටි සේන මැදිවියේ පසුවන්නෙකි. වතුපිටි බලාගැනීමට අමතරව නිවසේ ආරක්ෂක කටයුත්තද ඔහු මැනවින් ඉටු කලේය. නිවසේ පැවැත්වෙන විවාහයත් සමඟම සේනටද මිදුල සහ වත්ත අලංකාර ලෙස සකස් කරන්නට බොහෝ වෙහෙස වන්නට සිදුවිය. නිවසේ පසුපස වැඩක යෙදී උන් ඔහු හිටිහැටියේ ඉදිරිපස ම්දුලට පැම්ණියේ ගසක් යට දමා තිබූ උදැල්ල ගෙන යාමටයි. දිලිනි මිදුලෙනි දුරකතන සංවාදයක යෙදී සිටිනු දුටුවත් එහි සැක කිරීමට යමක් සේන දුටුවේ නැත. උදැල්ලත් රැගෙන ආපසු යන්නට සැරසෙන විට ඔහු දුටුවේ දුරකතනය කන තබාගෙනම ගේට්ටුව අරින්නට සූදානම් වන දිලිනිවයි. සමහර විට ඈ විවාහ වෙන්නට සිටින මනාලයා වෙනදා මෙන් පැමිනෙනු ඇතැයි ඔහු සිතුවේය.
"ලොකු බේබි මම අරින්නද ගේට්ටුව. ?මොකෝ බේබිගෙ මනමාල මහත්තය වත් එනව කිව්වද..?"
එසේ අසමින් සිනාවකින් යුතුව සේන ගේට්ටුව දෙසට ඇව්ද ගියේය.
"ආ ...ආ.. අන්නේ... ඔව්ව් .. කවිශ අයිය එනව කිව්වනෙ. මං මේක ඇරගන්නම් කමක් නෑ සේන යන්න.."
තතනමින් වුව දිලිනි ආයාසයෙන් කියා ගත්තාය. දුරකතන ඇමතුමෙහි උන් සාගර උන්නෙ මේ සියල්ල අසමිනි.
දිලිනි විසින් ගේට්ටුව විවර කරගත් බැවින් සේන උදැල්ලද රැගෙන නිවස පිටුපසට ගියේය. ගේට්ටුවෙන් පිටතට පැමිනි දිලිනි වහා එය වසා දැම්මාය. එසැනින් සාගරගේ යතුරුපැදිය පැම්ණ දිලිනිගේ දෙපා ලඟ නතර විය. සාගර සැනෙකින් දිලිනි දෙස බලා පිටුපසට නගින ලෙස දෑසින් ඉඟි කලේය. වහා යතුරුපැදියට නැඟුනු දිලිනි සාගරගේ ඔඩොක්කුවෙහි තිබූ තමාගේ බෑගය ලඟට ගත්තාය. සාගර දුන් හෙල්මටයද පැලඳගත් පසු සාගර යතුරුපැදිය වේගයෙන් පදවාගෙන එතැනින් ඉවත්ව ගියේය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.