ආත්ම බන්ධන 13
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 426
13............................ .............................. ...............
දෙගිඩියාවෙන් වුවද අවසානයේ කවීශත් තිළිනිත් වෛද්‍යවරයකු හමුවීමට තීරණය කලහ. තම ජීවිතය අඳුරකට වැටුනද දරුවන්ට කිසිදු හානියක් නොවිය යුතු යැයි දෙදෙනම තීරණය කළහ.
වෛද්‍යවරයා හමුවීමට දින යොදාගත්තේ තවත් සතියකිනි. කවීශගේ අතපසු කල නොහැකි ව්‍යාපාරික හමු සහ පවුලේ සැමට යහලුවෙකුගේ විවාහ උත්සවයකට ආරධනා ලැබී තිබීම එය සතියකට කල් දැමීමට හේතු විය. නමුත් අන් සියල්ලටම පසුව දරුවන්ගේ කටයුත්ත යොදා ගැනීම ගැන සිරියා උන්නෙ අමනාපයෙනි.
" අනේ අනේ චූට් බේබි , දරුවන්ට වඩා ලොකුද අනිත් දේවල් මං අහන්නේ! ඕකට අද හෙටම දවසක් දාගත්තනං මොකද.."
" අනෙ සිරිය නැන්දෙ දරුවො ලොකු නැතිව නෙවේ.. මෙව්ව කලින් දාගත්තු වැඩනෙ. බිස්නස් වැඩ එහෙම හිතුමනාපෙ නවත්තල දාන්න බෑ. අනික අනිද්ද තියන වෙඩින් එකත් කවීශගෙ හොඳම යාලුවෙක්ගේ..ලබන සතියෙ උනත් අපි මුලින්ම දරුවො දෙන්න ගෙනියන්නෙ නෑ නැන්දෙ. අපි දෙන්න ඩොක්ටව හම්බෙලා ඉස්සරවෙල කතා කරල බලනව. අනිත් ලෙඩ වගේ නෙවෙයිනෙ මේක. "
තරමක නොරිස්සුමකින් මෙන් තිළිනි කියාගෙන ගියාය. තිළිනි අමනාපයට පත් වූ බව දැනගත් සිරියා ඉන් පසු නිහඬ වූවාය. තම ස්වාමිදියණියත් ඇගේ සැමියාත් කතා වූ පරිදි දරුවන් පෙන්වීමට සූදානම් වන්නේ මනෝ වෛද්‍යවරයෙකුට බව සිරියා දැන උන්නාය. නමුත් එය සාමාන්‍ය ලෙඩකට ප්‍රතිකාර කරනවාට වඩා වෙනස් දෙයක් බව සිරියා නොදත්තාය.
" අනේ මංදන්නෑ.ඕව ඉතින් අපිට තේරෙන එකක් යෑ. "
සිරියා තනිව සිතුවාය.
මංගල උත්සවයට යාමට අලුත්ම සාරි විලාසිතාවක් තෝරා ගත් තිළිනි එය මැසීමට ඇඳුම් මසන තැනකට දී තිබුනාය. කලකට පසු තම සැමියා සමඟ මෙවැනි උත්සවයකට යන්නට ලැබීම තිළිනිගේ සිතට එක් කලේ සතුටකි.
දරුවන් ලැබීමට පෙර එවන් සාද කිහිපයකට ආරාධනා ලැබුනත් කවීශ උන්නේ තමා සමඟ හිත හොඳින් නොවේ. කිසිදු විශේෂ උනන්දුවකින් තොරව ඇඳ පැළඳ එවන් උත්සවයකට සහබාගී වී අමුත්තන් දෙදෙනෙක් මෙන් හැසිරීම ඇයට මහත් කම්පාවක් ඇති කලේය. දරුවන් ලැබීමෙන් පසු කවීශ යම් තරම් දුරට තමා ගැන සැලකිල්ලක් දැක්වූවත් ආරාධනා ලැබූ සාද වලට ඔහු තනිවම සහභාගී වූයේ දරුවන් සමඟ තමාට එවැනි අවස්ථා වලට සහභාගී වීමට ඇති අපහසුව නිසාය.
දරුවන් දුව පැන ඇවිදින කාලයේ තම මවගේ මෙන්ම කවීශගේ මවගේද ඇවිටිල්ල නිසාම කිහිප වතාවක් දෙදෙනාගේම මහ ගෙදර ගියත් රැයක් හෝ නැවතී සිටියේ නම් නැත. තිළිනිගේ මහ ගෙදර යන සෑම අවස්ථාවකම කුඩා දියණිය බොහෝ හුරුපුරුදු ලෙස හැසිරුනාය. තිළිනිත් දිලිනිත් පාවිච්චි කල විසල් කාමරයටද ඈ බොහෝ ප්‍රියකලාය.
" අපි මෙහෙ ඉන්නෙ ඉමු. මං ආසයි මෙහෙට."
දියණිය සුරතල් බසින් තෙපලයි. තම සොයුරිය පාවිච්චි කල යම් යම් දෑ තවමත් ඒ කාමරයෙහි එළෙසම ඇත. කාමරය සුද්ධ පවිත්‍ර කලත් මව විසින් එහි තිබුණු බඩු කිසිවක් වෙනස් නොකර එළෙසම තබා තිබුණි. දියණිය කාමරයට ගිය වහාම සොයුරියගේ ඇඳට පනිනු දකින විට තිළිනිගේ සිතෙහි අමුතු ගැස්මක් ඇති වෙයි.
" මගෙ ඇඳ තාම තියනවා . ඔයාත මතකද..?"
දියණිය සිනහසෙමින් විමසයි.
එවන් අවස්තාවලදී ඇගේ නෙත් වල ඇති කාන්තිය දකින විට තිළිනිගේ හදවත දැවී යයි. තමාට නොතේරෙන කුමක්දෝ දැනෙන බව ඇයට හැඟෙයි. සිතට දැනෙන අමුත්ත නිසාම තිළිනි හිතාමතා තම මහගෙදර යාමද මඟහැරියාය. එහෙත් හැකි සෑම විටකම කවීශගේත් තිළිනිගේත් මව්වරු දරුවන් දැක ගන්නට නිවසට පැමින ගියහ. ඉඳින් හිතාමතාම නිවසට කොටුවූ තිළිනිට මෙම සාදය කලෙකින් ලැබුනු සතුටුදායක අවස්ථාවක් විය.
දරුවන් දෙදෙනම නිදි කරවා සිරියාට ඔවුන් පැවරූ තිළිනි මසන්නට දුන් සාරිය රැගෙන එන්නට ගියාය. සාරියද රැගෙන පැමිනෙන අතරතුර වෙළඳසැලකින් ඊටම ගැලපෙන කන කර ආයිත්තම් මිලදීගන්නටත් ඇය අමතක නොකලාය. තිළිනි නිවසට පැමිණෙන විටත් දරුවන් පසු වූයේ නිදේය. සිරියාට තේ එකක් සාදන්නට පැවසූ තිළිනි වහා කාමරයට වැදුනේ අලුත මැසූ සාරි හැට්ටය ඇඳ බැලිමටයි.
කර ගැඹුරට කපා පිටෙන්ද අඩකටත් වඩා විවෘත වන ලෙස මැසූ සාරි හැට්ටය නවීන පන්නයේ විලාසිතාවක් විය.. සිරියා තේ කෝප්පයද රැගෙන කාමරයට එන විටත් තිළිනි උන්නේ හැට්ටය ඇඳ කන්නාඩිය ඉදිරිපිට හැඩ බලමිනි. කාමරයට අතුලු වූ සිරියාගේ මුහුණ වෙනස් වී ගියත් හැඩ බලමින් උන් තිළිනි ඒ වෙනස දුටුවේ නැත.
" සිරිය නැන්දෙ ..., ලස්සනයි නේද මේක..? ඒ අක්ක හරි නීට් එකට මහල තියනව.."
කන්නාඩියෙන් බලමින්ම තිළිනි පැවසුවාය. තේ කෝප්පය මේසය මත තැබුවද හැට්ටයේ ලස්සන ගැන වචනයකුදු නොදෙඩූ බැවින් තිළිනි ආපසු හැරී සිරියා දෙස බැලුවාය.
" මොකෝ සිරිය නැන්දෙ..? කැතයිද මේක..?"
" න්..නෑ මේ චූට් බේබි ..මං කල්පනා කරේ චූටි බේබි කොච්චර වෙනස් වෙලාද කියල.."
තිළිනිට ඇති වූයේ විමතියකි.
" වෙනසක්..! ම්..මේ..මේ මොන වෙනසක්ද නැන්දෙ..!"
" නෑ ඉතිං චූටි බේබි කොච්චර වෙනස්ද ඉස්සර. අපේ ලොකු බේබි තමා ඔය වගේ නානප්‍රකාර විලාසිතා කරේ. මතකද ලොකු බේබි ඉස්සර විහිලු කරනව සිල් අම්ම කෙනෙක් වගේ කියල චූටි බේබි."
තිළිනිගේ සිරුර පුරා විදුලියක් දිව යන්නාක් මෙන් විය. සිරියාට මුහුණ දීමට අපහසුතාවයෙන් ඈ ඉවත බලා ගත්තාය. එතරම් කුඩා දේවල් පවා සිරියාගේ සිහියට එන්නේ කෙසේදැයි තිළිනිට සිතාගත නොහැකිය. තමා නොසිතූ තව කුමන කුමන දෑ සිරියා තමා වෙතින් දකින්නට ඇත්දැයි ඈ සිතන්නට වූයේ භීතියකින් සිත වෙලාගනිද්දීය.කල්පනාවේ ගිලී උන් තිළිනි පියවි සිහියට පැමිණියේ සිරියාගේ කටහඬිනි.
" මොනවද චූට් බේබි කල්පනා කරන්නෙ. මං බොරු නෙවෙයිනෙ කිව්වෙ .." සිරියාගේ මුහුනෙහි වූ නොපැහැදිලි සිනහව තිළිනි දුටුවේ නැත.
" න්..නෑ සිරිය නැන්දෙ අක්කව මතක් උනා... " තිළිනි අපසුවෙන් කියාගත්තාය.
" ඒකනෙ චූටි බේබි.. චූට් බේබි වෙනස් උනේ බැඳල ගිය දාමයි. මතකද..?"
" ඇ..ඇයි සිරිය නැන්ද එහෙම කියන්නෙ..? මං මොකුත් වැරැද්දක් කරාද ..?"
" අනේ නෑ චූට් බේබි. වැරැද්දක් නෙවේ. වෙඩින් එකෙන් පස්සෙ ගෙදර ආපු දවස මතකද... දිගට තිබ්බ කොන්ඩෙ ලොකු බේබි වගෙ කොටට කපල දාල ...
මමත් රැවටුනා හිතුවෙම ලොකු බේබි කියල. කොහොමද අප්පේ එච්චර ආදරෙන් තියාගත්තු කොනඩෙ කපා දැම්මෙ කියල මම හරියට විස්සෝප උනා.."
අතීතයේ යමක් සිහිපත් කරන්නාක් මෙන් කල්පනාවෙන් සිරියා කියවාගෙන ගියාය.
" ඉතින්...සිරිය නැන්දට කිවෙ නැද්ද අම්ම මං එහෙම කරේ ඇයි කියල. අම්මට මං කිව්වනෙ.."
" හ්ම්ම්.. කිව්ව කිව්ව... කවීශ මහත්තය ආස විදිහට කියල කැපුව කිව්වෙ..ඒ වගේ දිග කොන්ඩෙකට ආස නැති පිරිමියෙක් මං දැක්කමයි හැබැයි."
" සමහර විට මාව අක්කි වගේ දකින්න එයා කැමති වෙන්න ඇති සිරිය නැන්දේ..." තිළිනි සිරියාගේ දෑසට හසු නොවන්නට ඉවත බලාගෙන කීවාය.
" හ්ම්ම් අනේ මන්ද චූටි බේබි. කොහොමින් උනත් චූටි බේබිට නරකක් උනේ නෑනෙ. කවිශ මහත්තයත් ඒ දේවල් අමතක කරල ඇත්තෙ දැන්. අපි දරුවො දෙන්නත් ඉක්මනට සනීප කර ගමු එතකොට හැමදේම හරි."
" හ්ම්ම්"
දිවා ආහාරය සැකසීම සඳහා සිරියා කාමරයෙන් ඉවත්ව යාම තිළිනිගේ හිතට මහත් සැනසුමක් විය. සාරිය ගැන තිබූ අශාවද තිළිනිගේ සිතින් පහවිය. කුමක් කලත් සිරියාගේ නෙතට කුමන වෙනසක් හෝ අහුවෙන හැටි...! තිළිනිගේ සිත නොසන්සුන් වන්නට විය. සාරිය ඇඳෙහි පසෙකට විසි කෙරූ ඇය වෙනත් ඇඳුමක් ඇඟ ලා ගෙන කාමරයෙන් පිටවූවාය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න