14.......................................................................... 
 
"චූටි..., අනේ පුතේ අක්ක මොකද කරන්නෙ බලන්න තනියම. ඔයත් දැන් හුඟක් වෙලා කුස්සියෙනෙ." 
 
දේවිකා තිළිනිට පැවසුවේ කැවිලි සාදන අතරතුරය. මුළුතැන්ගෙට පැමිණි පසු තිළිනි තවමත් මොහොතකට හෝ එතැනින් ඉවත් වූයේ නැත. 
 
" අනේ ඔව් චූටි බේබි. දවල්ට කෑම කෑවෙත් නෑනෙ තව. මම ඉක්මනට මේසෙට අරින්නම්. චූටි බේබි ගිහින් ලොකු බේබිවත් එක්කරන් එන්නකො.." 
 
" අනේ සිරිය නැන්දෙ එයා තාම මල් කඩනව ඇති කවීශ අයියත් එක්ක... සිරිය නැන්ද කෑම අරින්න ලෑස්ති කරන්නකො මං උදව්  කරන්නම් අක්කි ඇවිත් කයි." 
 
තිළිනිගේ කතාවට දේවිකාට මෙන්ම උදව්වට පැමිණි අසල්වැසි කාන්තාවටද සිනා නැඟිනි. 
 
" චූට්ට ඉරිසියාවක් හිතිල වගේ මට පේන්නෙ නේද සිරිය. මෙයාටත් මල් කඩන්න කෙනෙක් හොයල දෙන්න වෙයි වගේ ඉක්මනට..." 
 
දේවිකා පැවසුවේ සිනාසෙමිනි.
  
" අනේ අනේ මටනම් එපා. ඉන්න ඉන්න මං බලන්නම් අක්කි කොහෙද කියල" 
 
තිළිනිට සියුම් ලැජ්ජාවක් ඇතිවිය. එහෙත් තම මව මෙලෙස සුහදව කතා කරමින් සිටිනු දැකීමට ඇය ප්‍රිය කලාය . පසු ගිය කාලය තුල ඇයට තම පවුල ගැන සෙවීමට ඉඩපහසුවක් නොතිබුනු තරම්ය. නමුත් දිලිනි සිතුවේ වෙලාවක් නොමැතිකමට වඩා උවමනාවක් නැති කම නිසා මව තමන් දෙදෙනා ගැන නොසොයන බවයි. එය එසේ නොවේ යැයි තිළිනි සිතුවාය. අක්කාගේ විවාහ යෝජනාවත් සමඟ අම්මා වගකීම් සහගත මවකගේ චරිතයට පණ පොවන බව තිළිනි දුටුවාය. ඈ තමාගේ සියලු සමිති සමාගම් ප්‍රජා සේවා වැනි බාහිර කටයුතු වලින් ඉවත් වී අක්කාගේ මංගල්‍යය වෙනුවෙන් ඇපකැප වී වෙහෙසෙන අයුරු තිළිනි දුටුවාය. තමන් සැමදා පැතූ ආකාරයේ මවක් දැන් නිවසේ සිටින බව තිළිනිට හැඟෙයි. නමුත් දිලිනිට නම් ඒ පිළිබඳ කිසිදු හැඟීමක් හෝ නොවීය. 
 
තම මවගේ වෙනස ගැන කල්පනා කරමින්ම තිළිනි උඩුමහලේ ඇති තමාගේත් අක්කාගේත් විසල් කාමරය දෙසට පියමැන්නාය. දිලිනි කාමරය තුල උන්නේ නැත. තව නොබෝ දිනකින්ම මේ විසල් කාමරය තුල තමාට සැමදා තනිවම කල් ගෙවන්නට සිදු වනු ඇත. කාමරය සිසාරා නෙත් යැවූ තිළිනිට මහත් පාළුවක් දැනෙන්නට විය. 
 
" ෆෝන් එකත් කනේ ගහන් මෙයා කොහෙ යනවද මන් දන් නෑ.." තිළිනි නොරිස්සුමෙන් තනිවම මුමුනමින් කාමරයෙන් පිට වූවාය.  
 
සාලයේත් මිදුලේත් අන් කිසි තැනකත් සොයුරිය නොදුටු තිළිනි කිහිපවරක්ම සොයුරියට උස් හඬින් කතා කලාය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන තිළිනි ඉක්මන් ගමනින් මුලුතැන්ගෙට පැමිණියාය. 
 
" අනේ අම්මේ.. ,මට බෑ අක්කි හොයන්න. කෝල් කර කර වත්ත වටේ යනව ඇති. කොහෙවත් නෑ ඉස්සරහ පැත්තෙ නම් . පස්සහ වත්තෙ ඉන්නවද දන්නෑ .." 
 
" අනේ චූට්.., ටිකක් බලන්න ඔය ටිකත්. අර සේන වැඩ ඔන්න ගේ පස්සහ එයාගෙන් අහන්නකෝ.." 
 
තිළිනිට ඇති වූයේ නොරිස්සුමකි. එහෙත් වචනයක් හෝ නොදෙඩූයේ මව කලින් කී වචන සිහිපත් වීම නිසාය. නිහඬවම ගේ පිටුපස වත්ත දෙසට ගමන් කල ඈ වැඩ කරමින් සිටින සේන දුටුවාය. 
 
" සේන .., අක්කිව දැක්කද? මං මේ හැමතැනම හොයනව.කොහෙද මන් දන් නෑ..." 
 
තිළිනි සියුම් කෝපයකින් අසා සිටියාය. කරමින් සිටි වැඩය නැවතූ සේන මඳක් හති අරිමින් තිළිනිට පිළිතුරු දුන්නේය. 
 
" අනේ... දැන් නම් දැක්කේ නෑ චූටි බේබි. උදේ වරුවෙ නම් මං ඉස්සරහට යනකොට ලොකු බේබි කෝල් එක්ක හිටිය. ගෙට්ටුවත් ඇරං හිටිය කවීශ මහත්තය එනව කියල.." 
 
" මොකද්ද...! කවීශ අයිය එනව කිව්ව..? එහෙනම් අපිට නොකියම ඇවිදින්න ගිහින්ද.. හරි සේන මං කියන්නම්කො අම්මට..!" 
 
තිළිනි වේගයෙන් නිවස දෙසට හැරුනාය. ලෙහෙසියෙන් කේන්ති නොගන්නා නිවුනු ගති ඇති ඇයට කුමක් වී දැයි සිතාගත නොහැකිව සේන උන් තැනම හිඳ බලා උන්නේය. 
 
" අම්මේ... අම්මේ... ඔන්න ඔයාම අක්කි ගිය තැන හොයාගන්න.මට නම් කියන්නෙපා. එයාට දැන් අපිව ඔන්නෑ ..!" 
 
" මොකද ළමයො වෙලා තියෙන්නෙ. කෝ ලොකූ..?" 
 
" කෝ තමා..! අන්න සේන කිව්ව උදේ වරුවෙ ගේට්ටුවත් ඇරන් කවීශ අයිය එනකන් කියල බලන් හිටියලු . දැන් නෑ. යන්න ඇති දෙන්නත් එක්ක. අපිට කියල යන්නවත් ගානක් නෑ දැන්.." 
 
තිළිනිගේ කෝපයට පත් කටහඬ ඇසුනු සිරියාද කෑම කාමරයේ සිට විගසින් මුළුතැන්ගෙට පැමිනියාය. 
 
" අනේ චූට් බේබි..මොකද මේ.. කවදාවත් නැතිව තරහින්..?" 
 
සිරියාට පිළිතුරු දීමට නොනැවතුනු තිළිනි වේගයෙන් මුළුතැන්ගෙයින් පිටවී ඉහල මාලයේ පිහිටි තම කාමරයට ගියාය. දේවිකා සිරියාට පිළිතුරු දුන්නේ කැළඹුනු සිතිනි. 
 
" සිරියා බලන්ඩකො ලොකූ කාටවත් නොකිය කවීශ එක්ක ගිහින් කියන්නෙ ඇවිදින්න..." 
 
" අනේ අප්පො කවුද කිව්වෙ ලොකු නෝනා..?" 
 
" මන්දන්නෑ සේන කියන්න ඇති චූටි පුපුර පුපුර ගියේ ඒකයි. ලොකූට දැන් අපිව මතක නෑ කියල.." 
 
" අනේ ලොකු නෝන මං මේ නොකීවට මේ ටිකේම බලන් හිටියෙ. චූටි බේබි හරි දුකින් ඉන්නෙ. ලොකු බේබි කෝමත් ටිකක් වෙනස්නෙ.හරි තදයි හිත. ඒ උනාට් චූටි බේබිට එහෙම දරාගන්න බෑ..හ්ම්ම්" 
 
" අනේ මන්ද සිරිය මේ ලොකුත් කරන වැඩ. ඉන්ඩකො මං කෝල් එකක් වත් දීල බලන්න. " 
 
දේවිකා පිටවී ගියේ දිලිනිට ඇමතුමක් ගැනීමටයි. දිලිනිගේ ජංගම දුරකතන අංකය දුරකතනයෙන් සොයා ගත් දේව්කා ඇමතුමක් ගත්තාය. එහෙත් දුරකතනය විසන්ධි වී ඇති බවට පටිගත කෙරූ පණිවිඩය ඇසීමත් සමඟ දේවිකාටද ඇති වූයේද කෝපයකි. 
 
" මේ ළමය මොනව කරනවද මන්ද. යන තැනක ගෙදර කෙනෙක්ට කියල යන්නෙ නෑ. ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙන.." 
 
" ලොකු නෝන.. කවීශ මහත්තයට අරන් බලන්නකො." 
 
සිරියා විගසින් පැවසුවේ කවීශ සමඟ දිලිනි පිටව ගිය බව තිළිනි කී නිසාවෙනි. දේවිකාද වහ වහා කවීශගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි කලෙක මෙන් කවීශ සැනෙකින් ඇමතුමට සම්බන්ධ විය. දේවිකා කතා කිරීමටත් පෙර කවීශ කතාව ඇරඹීය. 
 
" හෙලෝව් ආන්ටී... මම මේ ආන්ටිට ගන්න ලෑස්ති උනා විතරයි නංගිගෙ ෆෝන් එක වැඩ නෑනේ.  මොකද දන්නෑ..."
එක්වරම ඇසුනු ඒ වදන් වලින් දේවිකා කලබලයට පත් වූවාය. 
 
" මොකද්ද පුතේ කියන්නෙ! ලොකූ ඔයත් එක්ක නෙවෙද.ඔයා එනව කියල ගේට්ටුවෙන් එලියෙ හිටියලුනෙ .අපි හිතුව දෙන්න ඇවිදින්න ගිහින් කියල. ඔයා මොනවද මේ කියන්නෙ පුතේ..! " 
 
" මොකක්...මං ආවේ නෑ ආන්ටි නංගි ගෙදර නැද්ද ..?"
කවීශගේ කටහඬ පුදුමයෙන් සහ කලබලයෙන් පිරී තිබිනි. එහෙත් දේවිකාට එයට පිළිතුරු දෙන්නට අවකාශ නොලැබුනේ ඉහල මාලයේ සිට ඇසුනු තිළිනිගේ කෑ ගැසීම නිසාවෙනි. 
 
" අම්මේ..., අනේ අම්මේ..., සිරිය නැන්දෙ එන්නකෝ..." 
 
දුරකතනයෙන් මඳක ඈත් කල දේවිකා කලබලයෙන් ඉහල මාලය දෙස බැලුවාය. කෑම කාමරයේ උන් සිරියාද අසල්වැසි කාන්තාවද  තිළිනිගේ කෑගැසීම නිසා සාලයට දිව ආවාය.  කලබලයට පත් වූ දේවිකා සිරියාද සමඟ විගසින් ඉහල මාලයට දිව ගියේ විසන්දි කිරීමට අමතක වූ ඇමතුමද එලෙසින්ම පවතිද්දීය. දේවිකා ජංගම දුරකතන එලෙසින්ම මේසය උඩ තබා ඉහලට දිව ගියාය. 
 
තිළිනි සිටියේ භීතියෙන් ගල් වූවාක් ලෙසය. තම සොයුරියගේ ඇඳෙහි හිඳ ගෙන උන් ඈ සැලෙන දෑතින් අල්ලාගෙන සිටියේ දිලිනි ව්සින් තබා ගිය ලිපියයි. කාමරයට පැමිණි දේවිකා සහ සිරියා විදුලි වේගයෙන් තිළිනි වෙත ආවාය. 
 
" මොකද මොකද චූටි ... ! ඇයි දරුවෝ මේ යකෙක් දැකල වගේ මොකද්ද ඔය අතේ තියෙන්නෙ..?"
බියපත් දෑසින් දේවිකා දෙස බලා උන් තිළිනිගෙන් තවදුරටත් පිළිතුරු බලාපොරොත්තු නොවූ දේවිකා ලිපිය උදුරා කියවන්නට විය.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න.