ආත්ම බන්ධන 15
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 420
15............................ .............................. .............
කවීශගේ මිතුරාගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට දරුවන් කැඳවා නොයා යුතු යැයි තීරණය කෙරුනේ හදිසියේ වෙනස්වන ඔවුන්ගේ හැසිරීම නිසාය. කුඩා පුතු සහ දියණිය සිරියාගේ රැකවරණයට භාර කල කවීශත් තිළිනිත් මනාව ඇඳ පැලඳ මංගල්‍යයට සහභාගී වූයේ කළෙකින් ලැබුනු මේ ප්‍රීතිජනක අවස්ථාව සතුටින් සැමරීමටයි.
සුව නින්දක පසු වූ දරුවන් දෙදෙනා සිරියා මුළුතැන්ගෙයි වැඩ අහවර කරත්ම නැඟී සිටියහ.
" අනේ... මගෙ චූටි මහත්තයයි චූටි මැණිකෙයි නැඟිටල කුස්සියටම ආවද..? දහයත් පහු වෙලා. අපි තේ චුට්ටක් බොමු නේද චූටි මැණිකෙ..? "
සිඟිති දියණිය තවමත් නිදිබර වූ දෑස් විදහා සිනාවකින් සිරියා දෙස බැලුවාය. පුතු කුස්සියේ පුටුවක් මත හිඳගත්තේය.
" නංනිටයි මටයි අක්කෝතු ඕන..නැත්තං තේ අපා.."
"අනේ අනේ මොකද මං චූටි මහත්තයට නොදී ඉන්නවද අක්කෝතු .." චූටි මැණිකෙත් ගිහින් අයිය ලඟින් ඉඳගන්න මං අක්කෝතු දෙන්නං.."
සිඟිත්තිය වහා දිව ගොස් සොයුරා ලඟ ඉඳ ගත්තාය. විස්කෝතු පෙට්ට්ය ගත් සිරියා කිහිපයක් කුඩා තසිමකට දමා දරුවන් අසල වූ මේසය මත තැබුවාය. තසිම ලං කර ගත් පුතු විස්කෝතුවක් ගෙන නැඟනිය අත තබා "කන්න" යැයි කීවේය. ඉන් පසු ඔහුද එකක් ගෙන කන්නට පටන් ගත්තේය. සිරියා සිනාවක් නඟාගෙනම වතුර කේතලය ලිප තැබුවාය. අම්මා නිවසේ නැතිවීම පිළිබඳව වත් තවමත් දෙදෙනාටම එතරම් තැකීමක් නැත. සෙමින් සෙමින් කමින් සිටි දියනිය එක් වරම තම සොයුරා දෙස බලා ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නාය.
" අයිය බබා හලී හොඳයි..නේද සිලිය නැන්නේ..?"
"ඒකනේ චූට් මැණිකෙ..! අයිය චූටි මැනිකෙට ඈදරෙයි නේද..?
" ම්ම් ... අක්කි නම් එහෙම නෑ..සිලිය නැන්දට මතකද...?"
සිරියාට සිනහවක් නැඟුනේ පුංචි දියණිය තමාට නැන්දා ලෙස ඇමතීම නිසාවෙනි.
" හා හා... මොනවද චූටි මැනිකේ...මොන අක්කද..?"
එවර මුහුණ ඔසවා හොඳින් සිරියා දෙස බැලූ දියණිය කතා කරන්නට වූවාය. එහෙත් පුතු නම් කිසිත් නොඇසෙන සේ බිස්කට් කමින් උන්නේය.
" ඇයි ..සිලිය නැන්නට මතක නෑ.. ?අක්කි නම් මට ඉත්තර ඔහොම අක්කෝතු කන්න දෙන්නෙ නෑනි. එයා නර..කයි. මාත් එක්ක රණ්ඩු කලනව අක්කෝතු කන්න.."
සිරියා සිතුවේ අක්කී කියා දියණිය පවසන්නෙ තම අම්මාට බවය.
" අනේ පැට්යො අම්මි කවද්ද චූට් මැනිකෙ එක්ක රණ්ඩු කලේ අක්කෝතු කන්න.. එහෙම කලේ නෑනේ..."
" නෑ....නෑ... අක්කි අක්කි...දිලී අක්කි... ඒ අක්කිනෙ... සිලිය නැන්නට මතක නෑ.. අපේ ගෙදර... ඉස්සර...අක්කිතයි මතයි උදේ අක්කෝතු දුන්නේ ... "
දියණිය වචන කඩමින් කියාගෙන ගිය දෙයින් සිරියා මඳක් තැති ගත්තාය. මේ කියන්නේ කුමක්දැයි ඇයට සිතාගත නොහැකි විය. එහෙත් එක් වරම සිරියාගේ සිහියට නැඟුනේ කුඩා කල දිලිනි සහ තිළිනිද මුළුතැන්ගෙට පැමිණ මෙලෙස විස්කෝතු කමින් තේ බොන්නට පුරුදුව සිටි අයුරුයි. වැඩිමල් දියණිය වූ දිලිනි කුඩා කල සිටම දඟකාර වූ බැවින් සෑම දවසකම පලවෙනි විස්කෝතුව තමන්ට ඉල්ලා රණ්ඩු කරන්නට වූවාය. එහෙත්.... මෙ සිඟිති දියණිය පටලමින් කියන්නේ ඒ කතාව වන්නේ කෙසේද. .. සිරියාට ඇති වූයේ මහත් ගැටළුවක් මෙන්ම බියකි.. එය සිතමින්ම සිරියා වතුර කේතලය ගෙන තේ සාදන්නට වූවාය.. මෙතෙක් වේලා නිහඬව උන් පුතුද එකවරම කතා කරන්නට පටන් ගත්තේය.
" දිලී නරකයි තමා නන්නි බබෝ..දිලී අපට ආදලේ නෑ..."
පුතු නැඟනියට පැවසුවත් බලා උන්නේ තසිම දෙසය. ඒ වතෙහි වැඩිහිට්යකුගේ මෙන් කල්පනාකාරී බව සිරියා දුටුවාය.
සිරියාට ඇති වූයේ මහත් කුකුසකි. වෙනදා ඇති නොවූ ආකාරයේ සැකයක සේයාවක් ඇගේ හිතේ ඇඳී ගියේය. සිරියාට එක් වරම සිහිපත් වූයේ පෙර දින රාත්‍රියෙහි නින්දට යන්නට පෙර ගුවන් විදුලියෙන් තමන් ශ්‍රවනය කල ධර්ම දේශනයයි. ධර්මකථික ස්වාම්න් වහන්සේ නැවත ඉපදීම ගැනත් පෙර භවයන් ගැන කී කුඩා දරුවන් ගැනත් යම් යම් දෑ දේශනා කල අන්දම ඇයට සිහිව්ය. මේ සිදුවන්නේත් එවැනි දෙයක්දැයි සිතන විට සිරියාගේ ගත භීතියෙන් වෙව්ලීය. සිතිවිල්ලෙන්ම කුඩා කෝප්ප දෙකට තේ සැදූ සිරියා ඒවා නිවෙන්නට හැර දරුවන් දෙදෙනාට දුන්නාය. වෙනසක් නැතිවම දරුවන් දෙදෙනා තේ පානය කරන්නට විය.
ඒ දෙස බලා උන් සිරියාට සිතාගත නොහැකි කාරනය වූයේ දියණිය පවසන්නේ පෙර භවයක් ගැන නම් තිළිනිගේ සහ දිලිනිගේ කුඩා කාලය ගැන පැවසූයේ කෙසේද යන්නයි. එහෙත් ඇගේ සිතට එක් වරම දෙයක් සිහිවිය...දෙවියනේ ... මේ කුඩා දියණිය අම්මාට අක්කා යැයි පවසන්නේ අම්මා යැයි නොකියවෙන නිසාම නොවේද ! සත්තකින්ම සිහිකර බැලූ විට දියණිය අම්මා කියා තිළිනිට ඇමතූ අවස්ථා නොමැතිව නොවේ ... එසේ නම් වරක අම්මා යැයි අමතන්නටත් වරක අක්කා යැයි අමතන්නටත් හේතුව.. !
"ලොකු බේබි..! " සිතිවිල්ලේ උන් සිරියා එක් වරම එසේ මුමුණා භීතියෙන් පපුවෙහි අත තබාගත්තාය.
" ඒත් ...එත්... ලොකු බේබිට එහෙම දෙයක් වෙලානම්.. අම්මට අක්කී කියන්නෙ මොකද ...! නංගි කියල කතා කරන්න එපැයි ...එතකොට මේ චූටි මහත්තයත් හිටපු ගමන් කියවන්නෙ මොනවද...! දෙයියනේ... මට පිස්සුද... මට මොකවත් තේරෙන් නැත්තෙ ඇයි...!
පපුවේ අත තියාගත් ලෙසම මුළුතැන්ගෙයි කවුලුවෙන් ඉවත බලා කල්පනා කරමින් උන් සිරියා පියවි ලෝකයට පැමිණියේ දරුවන්ගේ හඬිනි.
තේ පානය අවසන් කල දරුවන් දෙදෙනා සුරතල් බස් දොඩමින් එකා පසුපසින් දුවමින් සාලයට ගියේ සෙල්ලම් කිරීමටයි. සිරියාට සිත එකලාසයක් කොට වැඩක් කර ගැනීමට නොහැකි බව හැඟිනි. දවල් ආහාරය ඉවීමට නම් අවශ්‍යතාවක් නොවුනි. කවීෂ සහ තිළිනි පැමිණෙන විට කලුවර වැටෙනු ඇත. උදේ පිලියෙල කල ආහාර දවාලටත් සෑහේ. එබැවින් කිරීමට කියා මහලොකු වැඩක්ද තිබුනේ නැත. කුඩා දරුවන් දෙදෙනා සමඟ කතා බස් කර යම් තොරතුරක් ලබා ගත හැකි වේදැයි සිරියා සිතුවාය. එහෙත් එය එක් අතකට අවදානම් වැඩකි. කුඩා දියණිය කෙසේ වෙතත් පුතු දැනටමත් යම් යම් දෑ පවසන විට බලා හිඳින්නේ සිහිනයෙන් මෙනි. කෙසේ වුවද සිරියාට තවදුරටත් බලා හිඳීමට නොහැකි බවක් දැනුනි. ඈ සෙමින් සෙමින් ගැහෙන හදින් යුතුව සෙල්ලම් කරන දරුවන් සොයා සාලයට ඇදුනාය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න