16..................................................................... 
 
ආදරණීය චූටි, 
 
මං දන්නවා මේ ලියුම අතට ගන්න මොහොත වෙනකොටත් ඔයා ඉන්නෙ මගෙත් එක්ක ලොකු තරහකින් කියලා. ඒ උනාට ඔයා මේ ලියුම කියවලා ඉවර උනාම ඒ තරහා නැතිකරගනියි කියල මම හිතනවා. චූට්, මම යනවා.සාගර අයියත් එක්ක යන්නෙ. ඔයා පුදුම වෙයි මං දන්නවා. අක්කිට පිස්සු කියල හිතයි. අනේ චූටි මං කරේ රඟපෑමක්. මං කවීශ  අයියට ආදරේ නෑ. අම්මලා කවදාවත් සාගරට කැමති වෙන්නෙත් නෑ. ඉතින් මට වෙන කරන්න දෙයක් නෑ චූටි. ඔයාටවත් මේ ගැන නොකීවෙ ඔයා උනත් මේ ගමනට කැමති වෙන්නෙ නෑ කියල දන්න නිසා. මට සමාවෙන්න. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මගෙ සුදු නංගි කවදාහරි කොහෙදිහරි මට ආයෙත් හම්බවෙයි කියල හිතනවා. වැඩ්ය ලියන්නෙ නෑ. අම්මලාට මේක පෙන්නන්න. මම ගැන හොයන්නෙපා කියන්න. මම නවතින්නම්. බුදුසරණයි ! 
 
මීට
ආදරනීය 
අක්කා
දිලිනි 
 
දේවිකාගේ සියොලඟ ගැහෙන්නට විය. ඈ කපාහෙලුවාක් මෙන් ලිපියද ඇතැතිව ඇඳෙහි හිඳගැන්වුනාය. තිළිනිගේ ලඟ හිඳ ගෙන ඇගේ හිස අතගාමින් උන් සිරියාට ඇති වූයේ ගැටලුවකි. 
 
"ලොකු නෝනා...! අනේ චූටි බේබි කවුරුහරි කියන්ඩකෝ මොනවද වෙලා තියෙන්නෙ කියලා. ..! 
 
සිරියා විමසුවේ මහත් කලබලයෙනි. වදනක් හෝ දෙඩීමට ශක්තියක් නොවූ දේවිකා සිරියා දෙසට ලිපිය දිගු කර ඉකිගසා හඬමින් තිළිනි තුරුලු කර ගත්තාය. තවමත් කිසිවක් සිතාගත නොහැකි වූ තිළිනිට අක්කාගේ තීරනය පිළිබඳව සිනාසෙන්නදැයි හඬන්නදැයි සිතුවාය. ලිපිය කියවූ සිරියාගේ දෑසින්ද කඳුලු කඩා වැටුනි. 
 
"අනේ දෙයියනේ ලොකු බේබි.. මොකද්ද මේ කරගත්තේ.... හාන්කවිසියක් වත් දැනන් හිටියනම් මම මේ දේවල් වෙන්න දෙන්නෙ නෑ ලොකු නෝනා ... අනේ දෙයියනේ....!" 
 
" මගෙය් වැරැද්ද සිරියා මගෙයි.. මට බැරිඋනා මගෙ දරුවො බලාගන්න. ජයේ කිව්ව හරි. මං දැන් මොනවද ජයේට කියන්නෙ. දෙයියනේ... 
 
කොපමණ  වේලාවක් තිදෙනා එක්ව කඳුලු සැලුවේදැයි තිදෙනාටම නොදැනුනි. තිළිනි නිහඬවම කඳුලු සලමින් උන්නත් සිරියා සහ දේවිකා නොයෙකුත් දෑ කියමින් දොස් පවරාගනිමින් වැළපුනහ . නොබෝ වේලාවකින් නැගී සිටි දේවිකා සිරියා ඇමතුවාය. 
 
"සිරියා ... නැඟිටින්න... එක අතකට අපි මොකටද මෙහෙම අපිව එපා කියල දාල ගිය කෙනා හින්ද අඬන්නෙ. .." 
 
"අනෙ නෝනෙ කොහොමද එහම හිතන්නේ දරුවනේ  දෙයියනේ..!." 
 
දේවිකාගේ කඳුලු අලුත් විය. එහෙත් ඒ සමඟම පවුලේ ගෞරවය පිළිබඳව මාන්නය ඇගේ සිත කරා පිවිසියේය. හඬා දොඩා දුක් වීමට වඩා කල යුතු බොහෝ දේ ඇති බව ඇයට හැඟුනි.  වහාම සිරියා අස්වසා ඈ පහතට පිටත් කර හැරියේ කැවිලි සෑදීමට පැමිණි කාන්තාව පිටත් කර යැවීමටයි. ඉහල මාලයේම තිබූ තම කාමරයට ගිය දේවිකා සිරියා පහතට යාමට පෙර තරමක මුදලක්ද අතට දුන්නාය. සිරියා පහත මාලයට ගොස් අසල්වැසි කාන්තාවට සත්‍යයෙන් අඩක් පැවසුයේ දැනටමත් බොහෝ දේ ඇයට ඇසෙන්නට ඇතැයි සිතුනු නිසාය. මනාලිය විවාහයට කැමැත්තෙන් සිට නැති බවත් දෙමව්පිය බල කිරීම නිසා කැමැත්තෙන් මෙන් හිඳ නිවසින් පිටවී  ගොස් ඇති බවත් තතනමින් කියා දැමූ සිරියා පමනටත් වඩා වූ මුදල ඇගේ අත මිට මොලවා කෑම පාර්සලයක්ද බැඳ දුන්නේ කිසිවකුට මෙය නොපවසන බවට තරයේ පොරොන්දු කර ගනිමිනි. 
 
ඒ අතරතුර දේවිකා ජංගම දුරකතනය ගෙන සැමියාට ඇමතුමක් ගත්තාය. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි සැමියාට පණිවිඩය දුන් දේවිකා පවසා සිටියේ දියණිය නිවසේ නැති බවත් හැකි තරම් ඉක්මනින් පැමිණෙන ලෙසත් පමණි. එහෙත් තම බිරියගේ කටහඬෙහි වූ නොසන්සුන් බිඳුනු ස්වරය හේතුවෙන් පවසනවාට වඩා යමක් සිදු වී ඇති බව ඔහු වටහා ගත්තේය. 
 
ජයවර්ධන මහතා නිවසට පැමිණෙන ව්ට තවත් පැයක පමන කාලයක් ගත වී තිබිනි. ඔහු ගේට්ටුවෙන් වාහනය ඇතුල් කර අවසන් වීමත් සමඟම කවීශගේ වාහනයද ගේට්ටුවෙන් ඇතුල් වෙනු දුටු දේවිකාගේ ගත සීතල විය. දැන් ඉතින් කුමක් කරම්ද..! දුරකතන ඇමතුමෙන් කලබලයට පත් වී ඔහුද මෙහි පැමිණෙන්නට ඇත. තවත් සතියකින් අතගන්නට සිටි ඔහුගේ මනාලිය පෙම්වතෙකුත් සමඟ පැන ගොස් ඇති බව පවසන්නේ කෙසේද. එහෙත් කෙසේ හෝ එය සිදු කල යුතුව ඇත. වාහන දෙකම ගරාජයට දැමූ ජයවර්ධනත් කවීශත් කලබලයෙන් නිවස දෙසට පැමිණියහ. 
 
"අන්කල් ..මොකද්ද ප්‍රශ්නෙ..? මට හරියට කිවෙත් නෑ ආන්ට්.. කෝල් එක එහෙම්ම් තියෙද්දි කොහෙද ගියේ. මට කලබලයක් ඇහුනා ගෙදර...." 
 
නිවසට ඇතුල් වීමටත් පෙර කවීශ කලබලයෙන් නිවස ඉදිරිපිට සිටි සියලු දෙනාගේ මුහුණු දෙස බලමින් විමසුවේය. එහෙත් ඒ පිරිස අතර නොවූ තිළිනි උඩු මහලේ කාමරයේ ජනේලයෙන් මේ සියල්ල බලා උන්නේ ගැහෙන හදිනි. 
 
" පුතා කාම් ඩවුන් පුතා ..! ප්ලීස් අපි ඇතුලට ගිහින් කතා කරමු. දේවිකා මටත් හරියටම පණිවිඩය කිව්වෙ නෑ මං හිතන්නේ. අපි ඇතුලට ගිහින් කතා කරමු." 
 
දේවිකා දෙස යටැසින් බලමින් කවීශගේ පිටට තට්ටු කල ජයවර්ධන ඔහුත් කැඳවා ගොස් සෙටියේ අසුන් ගත්තේය. ඉට පසු පසින් සිරියාත් දේවිකාත් ඇදුනේ කුමකින් කුමක් සිදුවේදැයි සිතමිනි. 
 
"දේවිකා කෝ.. චූටි..?" 
 
" එයා ..එයා.. බයවෙලා ඉන්නෙ ජයේ ටිකක් එහෙම හිටපුදෙන්.." 
 
" හ්ම්ම්.. කියන්න දැන් කොහෙද ලොකූ ගියේ..!" 
 
ජයවර්ධනගේ දැඩි කටහඬට දේවිකා මෙන්ම සිරියාද වෙව්ලා ගියාය. කවීශ බලා උන්නේ කුතුහලයෙනි. වදනක් හෝ දෙඩීමට අසමත් වූ දේවිකා නිහඬවම අත තිබූ ලිපිය තම සැමියා ඉදිරියේ තැබුවාය. දැඩ් බැල්මක් දේවිකා දෙස හෙලූ ජයවර්ධන ලිපිය දිගහැර කියවන්නට විය. 
 
ලිපිය කියවම්න් මොහොතින් මොහොත රත් පැහැයට හැරුනු ජයවර්ධනගේ මුහුණේ මස් පිඬු නලියන්නට වූයේ කෝපයෙනි. එදෙස බලා උන් කවිශ ප්‍රශ්නාර්ථයකින් මෙන් දේවිකා දෙස බැලුවාය. කවීශගේ මුහුණ බැලීමට අපහසුවෙන් ඈ වහා බිම බලාගත්තාය. 
 
"ගෙයි හිටපු ළමය කොල්ලෙක් එක්ක පැනල යනකන් මොනවද ගෑනියෙ මේ ගෙදර එවුන් කරේ ! මෙච්චර හැතිකරයක් ඉඳල එකෙක් දැක්කෙ නැද්ද...! " 
 
ජයවර්ධනගේ හඬ නිවස දෙදරන තරම් විය. කවීශගේ ඇස් උඩ ගියේය. තම මනාලිය පෙම්වතෙකු සමඟ පැන ගොස් ඇත. කවීශ වේගයෙන් පුටුවෙන් නැඟී සිටියේය. 
 
"අන්කල් ..!මොනවද මේ කියවන්නෙ ඔයගොල්ල...! මට තේරෙන්නේ නෑ...! 
 
" අනේ ජයේ කියන දේ අහල වාඩි වෙන්න. මෙතන කෑ කෝ ගහල රටටම මේව කියන්න ඕන නෑ ...අනේ පුතේ ඔයත් ඉඳගන්න..අනෙ කියන දේ අහන්නකෝ..." 
 
දේවිකා උරහිස් දෙකින් අල්ලා කවීශ  වාඩි කරවීය. කේන්තියෙන් සාලයෙහි එහා මෙහා ඇවිදිමින් සිටි ජයවර්ධන  දෑස් දෙපස ඇඟිලි වලින් තද කරමින් පැමින කෝපයෙන් වාඩි ගත්තේය. 
 
" පුතා ...පුතා ...මට සමාවෙන්න... මට වෙන කියන්න දෙයක් නෑ... මෙ බැල්ලි.. අපෙ මූනෙ දැලි ගෑවා.. මෙන්න ලියුම...අපි මේ කිසි දෙයක් දැනන් හිටියෙ නෑ පුතේ... " 
 
බිම බලාගෙන එසේ කියූ ජයවර්ධන අත වූ ලිපිය කවීශ වෙත දිගු කලේය.  සැලෙන දෑතින් ලිපිය ගත් කවීශ නිහඬවම ලිපිය කියවා සුසුමක් හෙලුවේය..දෑතින් හිස බදාගත් ඔහු නිහඬවම බිම බලාගත් වවනම උන්නෙය. කලකිරීමෙන් උන් ජයවර්ධන නැවත දේවිකා දෙස බැලුවාය. 
 
"දේවිකා...!චූටිට එන්න කියනවා ඉක්මනට. මේකි ගියා කියල නොදන්නව උනාට මේ කොල්ල ගැන දන්නවනෙ චූට්. එන්න කියනව ඉක්මනට.." 
 
වදනක් හෝ නොදෙඩූ දේවිකා කඳුලු පිසිමින්ම ඉක්මන් ගමනින් ඉහල මාලයට දිව ගියේය. භීතියට  පත්ව උන් සිරියාද ඈ පසුපස වැටුනාය. තිළිනි පහලට එනතුරුත් නැවතී සිටීමට කවීශට නම් කිසිදු උවමනාවක් නැති විය. ඔහුට සිදුවිය හැකි නරකම දෙය සිදු වී හමාරය. තව දුරටත් කාගෙ කාගේ වුව කතා ඇසීමට කවීශට උවමනාවක් නොවීය. කවිශ වහා නැඟී සිටියේ නිවසින් පිටත් වීමටයි. 
 
" පුතා ..., පුතා නැඟිට්ටෙ..! " 
 
" මං යන්නම් අන්කල්. මට තව කාගෙවත් කතා අහල වැඩක් නෑනෙ. වෙන්න තියන ඔක්කොම වෙලානෙ. හැබැයි මේ දේවල් අපේ තාත්තලා අතින් කියන්න මට නම් බෑ. අන්කල්ම හොඳ විදිහක් බලල කියන්න. මේවා ඔයගොල්ල එකතුවෙලා ගත්ත තීරණනෙ..!"  
 
දැඩි ස්ථීර හඬකින් කියා සිටි කවීශ තවත් යමක් ඇසීමට හෝ ඉඩ නොතබා නිව්සින් පිටවිය. ජයවර්ධනගේ සිත ලජ්ජාවෙන් පිරී ගියේය. ඔහු  ජීවිතයේ කිසිදු දිනක මෙවන් ලජ්ජාවකට පත්ව තිබුනේ නැත. තම මිතුරාගේ පුතා ඉදිරියේ මෙසේ ලැජ්ජාවට පත් වී තව දුරටත් මිතුරා ඉදිරියේද ලැජ්ජාවන්නට සිදු වී ඇත. ජයවර්ධනගේ සිතට පිවිසියේ මහා කලකිරීමකි. 
ඒ අතරතුර දේවිකාත් සිරියාත් තිළිනිව පහලට කැඳවාගෙන පැමිනියහ. ඇඬීමෙන් ඇගේ මුහුණ ඉදිමී තිබිණි. ඈ උන්නේ පියා ඉදිරියට යාමට බියෙනි. තමා පිටද යම් වරදක් පැටවෙන බව ඈ දැන උන්නාය. 
 
"චූටි..!  මෙහෙ එනවා..! ඇවිත් මෙතන ඉඳගෙන කියනවා..!කවුද ඒ කොල්ලා..?" 
 
පියාගේ අණ දීම හමුවේ තිළිනි මුවැත්තියක සේ බියපත් විය. ඈ දැඩිව සිරියාගේ අත අල්ලාගෙන උන්නාය. තවත් නිහඬව සිටීමෙන් පියා තවදුරටත් කෝප ගැන්වේ යැයි සිතූ සිරියා අත මුදා හැර තිළිනි පුටුවෙන් වාඩිකෙරෙව්වාය. 
 
"අප්පච්ච්.. .මේ...මේ  .." 
 
" ඉස්සරවෙලා ඔය ඇඩිල්ල නතර කරගන්නව චූටි.. ! ඒකරල උත්තර දෙනව තටමන්නෙ නැතිව. නොදන්න දෙයක් නෙවෙනෙ ඇහුවෙ මං..!" 
 
ජයවර්ධන කෝපයෙන් කීවේය. තිළිනි විගසින් පහත් වී ගවුමෙන් කඳුලු පිසදා ආයසයෙන් හැඬීම නතර කර ගත්තාය. 
 
" අප්පච්චි... සා..ගර අයිය.. අපෙ පංතියකට ආව කෙනෙක්..." 
 
" අර පංති මෙ පංති ගගා ගියේ ඔව්වට තමා. ! මොකද ජොබ් කරන්න කියලද මෙච්චර සැප සම්පත් තියෙද්දි...!" 
 
"අනේ ජයෙ ළමයට කියන්න දිල ඉන්නකො ටිකක්.." 
 
දේවිකා බැගෑපත් වීමෙන් පසු ජයවර්ධන නිහඬ විය. ඉන් පසු දේවිකා පැමින තිළිනි අසලින් වාඩි වී ප්‍රශ්න කරන්නට වූවාය. 
 
"මොනව කරන කෙනෙක්ද පුතේ..? කොහෙ ළමයෙක්ද..?" 
 
" පේරාදෙණියෙ පොඩි කම්පැනි එකක ජොබ් එකක් කරන්නෙ අම්මෙ..ගෙවල් ගම්පොල දිහා.." 
 
" හ්ම්ම්...  ඔය පොඩි ජොබ් එකක් කරල ගන්න පඩියකින් පුළුවන්ද අපි දුන්න වගේ සැප දෙන්න...! දැන් තේරෙයි..ෆැමිලි එක කොහොමද..?" 
 
" තාත්ත පෝස්ට් ඔෆීස් එකේ කිව්ව වැඩ කරන්නෙ ..අම්ම නම් මොකුත් කරන්නෙ නෑ. අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නව කිව්ව.."  තිළිනි බිම බලාගෙන කියාගෙන ගියාය. 
 
" හරි අපූරුයි තෝරන් තියන පවුල. දේවිකා පේනව නේද මුන්ගෙ මෝඩකම. දේපලක් කියල වත් නැතිව ඇති හිඟන්නුන්ට..! මල්ලි කෙනෙක් ඉන්නව නම් මහ ගෙදර අයිතිය වත් නෑනෙ. හිඟාකන්න තමා වෙන්නෙ... !නැතිව ඔය පොඩි හිඟන පඩියකින් කාල ඇඳල ගෙවල් දොරවල් හදාගත්තහැකිද.... මේවා අහන්න සිද්ධ උනානෙ මට.."
 
කෝපයට පත් ජයවර්ධන වේගයෙන් නැගී සිට නිවසින් පිට වෙන්නට ගියේය. 
 
දේව්කා...!එකක් කියන්නම්...සිරියා..! තමුන්ටත් එක්ක මේක කියන්නෙ මම... මට මින් පස්සෙ ඉන්නෙ එක දරුවයි. තමුන්ලත් ඒක මතක තියාගත්තොත් හොඳයි... ගිය එකාගෙ සැප දුක් හොයල අහු වෙන්නෙපා එකෙක් මට...! එහෙම ඕන නම් මේ ගෙදරින් ඒ කෙනාටත් එලියට යන්න පුලුවන්...ආය මේ ගැන කියන්න තියන්නෙපා එච්චරයි..!" 
 
මඟට ගොස් හැරුනු ජයවර්ධන තම පසුපස පැමිනි දේවිකාටත් සිරියාටත් පවසා සිටියේ තර්ජනාත්මක ලෙසය. සියලු දෙනාම ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට අමතක වූවාක් මෙන් නිහඬව බලා සිටියහ. 
 
ජයවර්ධන එලියට එනු දුටු විට මිදුලේ සිට සේන සමඟින් කසු කුසු ගාමින් සිටි රියදුරු වහාම පැමිණියේය. සේන වහා නිවස පිටුපසට ඇදිනි. 
 
" සේදිරිස්..! ගන්නව වාහනේ." 
 
"හොඳමයි මහත්තය." 
 
" අනේ ජයේ ...මේ කලබලේ කොහෙද යන්නෙ දෙයියනේ. " 
 
"ඇයි...! දෝනියැන්දගේ හපන්කම දන්වන්න එපැයි මනමාලයගෙ ගෙදරට... මාව මැරුවනම් මීට වඩා හොඳයි..!" 
 
එසේ කියමින්ම වාහනයට නැඟ ගත් ජයවර්ධන රියදුරුට පිටවන ලෙස අනකලේ දේවිකාට වචනයක් වත් කීමට ඉඩ නොතබමිනි.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න 
 
 
 
 
ReplyForward