17................................................................... 
 
වෛද්‍යවරයා හමුවීමට යොදා ගත් දින එළඹිනි. කවීශත් තිළිනිත් ඒ සඳහා සූදානම් වූයේ කැළඹුනු සිතිනි. වෛද්‍යවරයා තමාගේ පෞද්ගලික රහස්‍ය  භාවය ආරක්ෂා කරන බවට නම් කිසිදු සැකයක් නැත. ඔහු හැඳුනාගත්තේද හොඳම යහළුවකුගේ මාර්ගයෙනි. කවීශ මිතුරා සමඟ තනිවමද එක් වරක් ඔහු හමුවීමට ගිය බව තිළිනිද නොදත්තාය. එහිදී රෝගය පිළිබඳව කරුණු එතරම් කතා නොකලත් ඔවුනොවුන් හඳුනා ගැනීමට මහඟු අවස්ථාවක් විය. ඒ නිසාම වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයක් කවිශ තුල ඇතිවී තිබිනි . වැඩිදුර සොයාබැලිම සඳහා පුනර්භවය , මනෝ විද්‍යාව, අන්තරාභවය වැනි මාතෘකා ඔස්සේ ලියවුනු පොත් කිහිපයක්ද කවීශ විසින් කියවා බලා තිබුණි. ඒවායේ සඳහන් කරුනු කියවීමෙන් කවීශට ඇතිවූයේ විමතියකි. තම දරුවන්ගේ තත්වයට සමාන තත්වයන් ඇතිවූ වෙනත් දරුවන් ගැන සත්‍ය තොරතුරු පවා කවීශට එම පොත් මඟින් දැන ගන්නට හැකිවිය. එමෙන්ම මිතුරා කියූ පරිදි වෛද්‍යවරයාද එවැනි සිදුවීම් රාශියක් පිළිබඳව පර්යේෂණ පවා සිදු කර ඇත්තෙකි. නමුත් සිතට දැනෙන්නේ බියකි. මෙය දරුවන්ගේ පෙර ආත්මය හා සම්බන්ධ නම් අනිවාර්යෙන්ම එය තමාගේත් බිරියගේත් අතීතයට සම්බන්ධ බව නොරහසකි. 
 
මංගල්‍යයට සහභාගී වූ දින සිට සිරියා සිටින්නේ එතරම් හිත හොඳකින් නොවන බව තිළිනිට දැනුනි. දරුවන්ගේ කටයුතු පසෙක දමා විනෝද වන්නේ යැයි සිතා සිටින නිසා එසේ වන්නට ඇතැයි ඈ සිතුවාය. සිරියා අතින් කියවූ දෙපිට කැපෙන වචන නිසාද තිළිනි දෙගිඩියාවෙන් පසුවූවාය. වෛද්‍යවරයා හමුවන්නට යන්නට සූදානම් වී සිරියා හමුවන්නට මුළුතැන්ගෙට ගිය විටද ඈ තිළිනි දෙස බැලුවේ සැක සහිත දෑසිනි .
" ලොකු බේබි මොකද බයවෙලා වගේ..?" 
 
එක්වරම සිරියා ඇසූ පැනයෙන් තිළිනි ගැස්සී ගියාය.. 
 
" සිරි..ය නැ..න්දෙ.. මං චූටි බේබි.." තිළිනි කියාගත්තේ අපහසුවෙනි. 
 
"අනේ දෙයියනේ... මට ලොකු බේබි මතක් වෙලා ඒ ගැන හිත හිත හිටියෙ ඒකයි එහෙම කියවුනේ.. චූටි බේබි යන්නද .. මහත්තය ලෑස්තිද..?" 
 
" ඔ..ඔව් යන්න කියලා. බබලා දෙන්න නිදි තව ටිකකින් නැඟිටියි අපි යන්නං සිරිය නැන්දෙ.." 
 
සිරියා පැවසූ කතාවෙහි කෘතිම බවක් දැනුනෙන් තිළිනි තවදුරටත් සිරියා සමඟ කතාවට ගියේ නැත. සිරියා හොරැහින් තමා දෙස බලන බව වත් තිළිනි දුටුවේ නැත. කවීශත් තිළිනිත් පිටව ගිය පසු සිරියා වහා ඉදිරි දොර අගුල් ලෑවාය. ඉන් පසු දරුවන්ගේ නිදන කාමරයට එබුන ඈ දරුවන් සුව නින්දේ පසුවන බවපසක් කර ගත්තාය. ඇගේ නෙත් ඉන්පසු වූයේ කාමරයේ වූ විශාල අල්මාරිය දෙසටයි. කලින් දිනෙක අල්මාරිය අස් කරන විට හමුවූ ලොකු බේබිගේ හැඳුනුම්පත ඇයට සිහි විය. 
 
" ඇත්තටම ලොකු බේබිට  ඒක අමතක වෙලා ගියාද ..! නැත්තං.. .." 
 
ඉන් එහා සිතීමට පවා සිරියා බියවූවාය. සාලය දෙසින් දුරකතනය නාද වනු ඇසුනු සිරියා වහ වහා සාලය වෙත ගියාය. මේ කතා කරන්නේ කවුරුන්දැයි ඈ දැන උන්නාය. 
 
" හෙලෝ... හෙලෝ..." 
 
" ආ ඔව් ලොකු නෝනා.දෙන්න දැන් ටිකකට කලින් ගියේ. නෝන එන ගමන්ද..?
" ඔව් ඔව් දෙන්නම නිදි. මහත්තයත් එනවද.... හරි හරි මං තියන්නං නෝන. පරිස්සමට එන්න .බුදුසරණයි..!  
 
ඇමතුමට පිළිතුරු දුන් සිරියා සුසුමක් හෙලා දුරකතනය විසන්ධි කලාය. 
 
" හ්ම් මහත්තයයි නෝනයි ඉක්මනට ආවොත් හොඳයි." 
 
සිරියා තනිව සිතුවාය. කුඩා දියනියගේ මෙන්ම පුතුගේ හැසීරීමෙහි මෙන්ම කියන කතා තුලද බරපතල යමක් ඇති බව සිරියා තේරුම් ගත්තේ තිළිනිත් කවීශත් මංගල්‍යයට සහභාගී වූ දිනයේදීය. එදින සාලයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් කතතාවට පොළඹවා යමක් දැන ගැනීමට ඇති වූ උවමනාව ඉවත දමන්නට සිරියාට හැකි වූයේ නැත. සෙමින් සෙමින් දරුවන් හා සෙල්ලම් කරමින් ඔවුන්ට එකතු වූ සිරියා සෙල්ලම් කරමින්ම දරුවන්ගෙන් ප්‍රශ්න අසන්නට වූයේ සිතේ සැකයෙන්මය. 
 
"අම්මේ චූටි මැණිකෙ දැන් නම් අත්තම්මට මහන්සි....අත්තම්ම සෙල්ලමෙන් අයින් වෙන්නද.." 
 
සිරියා අත්තම්මා යන වචනය හිතාමතාම පැවසූයේ කුඩා දියනිය පවසන්නේ කුමක්දැයි බැලීමටය. ඇගේ උත්සහය සාර්ථක විය. 
 
" අත්තම්ම නෙවී ....ඔයා සිලිය නැන්නා..."  දියණිය හුරතලයෙන් පැවසුවාය. සිරියා හොඳින් ඈ දෙස බලා උන්නාය. 
 
" ඒක තමා.. චූට් මැණිකෙ කවුද එතකොට..? 
 
"මං.. චූටි මැණිකෙ නෙවී.... මං චූටි බේබි..." 
 
සිරියා දෙස දීප්තිමත් දෑසින් බැලූ දියණිය සිනහසෙමින් පිළිතුරු දුන්නාය.
"ඇයි ...සිලිය නැන්නට මතක නෑ....?
දියණිය නැවත වරක් ප්‍රශ්න කලාය. 
 
සිරියාගේ ගත සීතල විය. එසේ වන්නේ කෙසේද..! තමා සිතූ ලෙස මේ පෙර ආත්මයක් කියවීමක් නම් චූටි බේබි...! ඈ ජීවතුන් අතර නැති විය යුතුය. එය එසේමනම් මෙහි චූටි බේබි ලෙස සිටින්නේ... ලොකු බේබිද...!දෙවියනි ඒත් එසේ වන්නේ කෙසේද... මනාලයාට හොරෙන් පැන ගිය ඈ නැවත ඔහුටම හමුවීමට හැටියක් නැත...! 
 
" බොරු නේද චූටි මැණිකෙ කියන්නෙ...? චූටි බේබි කියන්නෙ අම්මිනෙ...!" 
 
තමා කරනා දෙය අවදානම් බව දැන උන්නත් ප්‍රශ්න ඇසීම නතර කිරීමට සිරියාට හිත හදාගත නොහැකි විය. එහෙත් ඒ ප්‍රශ්නයෙන් පසු පිළිතුරු ලැබුනේ දියණියගෙන් නොවේ .කුඩා පුතුගෙනි.. 
 
"නන්නි බොරු කියන් නෑ. නන්නි හොඳයි.. නන්නි කියන්නෙ ඇත්ත. නන්නි ගුඩ් ගර්ල්..!" 
 
" චූටි මහත්තය කොහොමද ඒක දන්නේ.? අම්මිනෙ චූට් බේබි.." 
 
" නෑ ඒ දිලී.. මට අදුලන්න පුලුවන්.." 
 
පුතු සෙල්ලම නොනවත්වාම කියයි. සිරියාගේ භීතිය තවත් වැඩි විය. දිලී කියා අමතන්නේ දිලිනිට බව ඈ දැන උන්නාය . 
 
"එහෙම දන්නෙ කොහොමද..?  චූට් මහත්තය කවුද..? 
 
සිරියා එම පැනය විමසූයේ කුමන පිළිතුරක් ලැබේදැයි ගැහෙන සිතිනි. 
 
" මං සාගර.. ඔයා දන්නෑ... දිලී දන්නව.. නන්නිත් දන්නව.. " 
 
"සාගර ...සාගර ..සාග.ර...ඒ කවුද..!"
සිරියා කිහිපවරක්ම සාගර යන නම මතුරමින් මතක් කලද එවැනි කෙනෙක් ඇගේ මතකයට පැමිණියේ නැත. අඩුම තරමින් නිවසේ එවැනි කෙනෙක් පිළිබඳව කතාබහ කරනු හෝ සිරියාට මතකයක් තිබුනේ නැත.එහෙත් සිරියාගේ සිතෙහි වූ බය දෙගුණ තෙගුණ විය.  තිළිනි මුළු පවුලෙන්ම සඟවනා බරපතල  ගැටලුවක් ඇති බව ඇයට මනාව වැටහුනි.  එය අනිවාරියෙන්ම දිලිනිත් තිළිනිත් සම්බන්ධ දෙයක් බවත් ඇයට වැටහිනි. තව දුරටත් මෙවැනි තත්වයක් සඟවා සිටීම බරපතල තත්වයක් වනු ඇත. මේ ගැන වහාම ජයවර්ධන මහතා මෙන්ම දේවිකා දැනුවත් කල යුතුම බව  සිරියා තීරණය් කලාය. මෙතෙක් කල් දරුවන්ගේ මේ වෙනස්කම් පවා ඔවුන්ගෙන් වසන් කර ඇති බව ඈ දැන උන්නාය. වහාම දුරකතනය වෙත ගිය සිරියා දේවිකාගේ අංකය පොතෙන් සොයා ගෙන ඇමතුමක් ගත්තාය.
                      දුරකතනයෙන් බොහෝ දේ පැවසිය නොහැකි වුවද බරපතල යමක් සිදුවෙමින් පවතින බව දේවිකාට ඒත්තු ගන්වන්නට කිව හැකි කරුණු සිරියා විසින් පවසන ලදි. දේවිකා පත් වූයේ මහත් කලබලයකටය. අවුරුදු ගණනක් තම සැමියා දරුකමින් පවා ඉවත් කල දියණිය පවා මේ ගැටළුවට සම්බන්ධයක් ඇතැයි සැක සිතෙන බව සිරියා පවසයි. සිරියා කෙරෙහි අව්ශ්වාසයක් ඇති කර ගැනීමට උවමනා නොවේ. තමාටත් වඩා ඉහේ නලලේ තබා දරුවන් දෙදෙන සෑදුවේ ඇය බව දේවිකා දනී. තමාට වඩා හොඳින් ඒ දෙදෙනා තේරුම් ගත හැක්කේ ඇයටයි. ඉඳින් මේ තවත් බලා සිටිය යුතු තත්වයක් නොවේ. දේවිකාට වහාම දරුවන් දැකීමට අවශ්‍ය විය. එහෙත් සිරියා පැවසූ පරිදි තව දින කිහිපයකින් තිළිනිත් කවීශත් වෛද්‍යවරයකු හමුවට යයි . ඔවුන් නැති ඒ මොහොතේ දරුවන් දැකීමට යා යුතු යැයි දේවිකා තීරණය කලාය. 
ඉන් පසු කිහිප වතාවක්ම සිරියා සමඟ දුරකතනයෙන් රහස් කතා හුවමාරු කර ගත් දේවිකා වෛද්‍යවරයා හමුවට ගිය දිනයේ මේ පැමිණෙන්නේ කවීශත් තිළිනිත් පිටව ගිය පසුවයි. 
 
දරුවන් දෙදෙනා තවමත් නින්දේය. ගේට්ටුවෙන් ඇතුලට වාහනය ගන්නා ශබ්ධය ඇසීමෙන් සිරියා වහා දුව ගොස් ඉදිරි දොර හැරියාය. වාහනය පදවාගෙන පැමිණ තිබුනේ ජයවර්ධන මහතා විසින්මය . ගරාජයට දැමීමට පෙර රථයෙන් බැස දේවිකා නිවස දෙසට පැමිණියාය.  ඉදිරියට පැම්ණි සිරියා දේවිකා විසින් වැලඳගත්තේ තම ඥාතිවරියක මෙන් සෙනෙහසිනි. 
 
" සිරිය අපට හම්බුනේ අපේ වාසනාවට. පවුලෙ කෙනෙක් වත් අපිට මේ තරම් ලැදි නෑ.." 
 
දේවිකා හැඟීම්බර ලෙස කීවාය.
" අනේ නෝනා එහෙම කියන්නෙපා. අනික මටත් කිසිම දවසක නෝනලා වචනෙකින් වත් හිත රිද්දල නෑනේ. කාත් කවුරුත් නැති මාව මෙහෙම විස්වාස කරල තියාගත්ත එකම මඳෑ..අපි යන් ඇතුලට ...අන්න මහත්තයත් එනව..." 
 
"කෝ සිරිය දරුවො නිදිද  . ?" 
 
"ඔව් මහත්තය. ඇතුලට යන් දැන් ඇහැරෙයි.." 
 
තේ පැන් සංග්‍රහය අතරතුර සිරියා තමා දුටු දේ දරුවන් කල කී දෑ සියල්ල ජයවර්ධන දෙපල ඉදිරිපිට පැවසුවේ කඳුලු පිරි දෑසිනි..දේවිකා මෙන්ම ජයවර්ධනද මේ කතා වලින් බොහෝ කලබලයට් පත් වුහ. 
 
" අනේ දෙයියනේ සිරියා .... මොකද්ද මේ පැටලිල්ල. චූටි මැණිකෙ එහෙම කියනවනම් මගෙ දරුවට කරදරයක් වෙලා වෙන්නෙපයි.. අනේ දෙයියනේ..."
දේවිකා කඳුලු සැලුවාය. ජයවර්ධන සාලයේ එහා මෙහා ඇවිදිමින් උන්නේ නොසන්සුන් ලෙසිනි.  
 
"ඒ විතරක් නෙවෙ දේවිකා .ඔයාට තේරෙන්නෙ නැද්ද මේකෙ බරපතල කම. චූට්ට කරදරයක් වෙලා නම් මේ ඉන්නෙ ලොකූ. ..! එහ්ම දෙයක් හිතන්නෙවත් කොහොමද...! 
 
ජයවර්ධනගේ හඬ දැඩි විය. සිරියා යමක් මතක් වූ කලෙක මෙන් දේවිකා ඇමතුවාය. 
 
" ආහ්...නෝනා මට අහන්න බැරි උනා.. .. චුට් මහත්තයත් එදා එයා කවුද කියල අහද්දි නමක් කිව්ව..මං ඒ කවුද කියල දන්නෙ නෑ...ම්ම්ම්.මේ.මේ සාලිය ..නැ..නෑ...  සාගර සාගර අන්න හරි.... ඒ කවුද එතකොට....? 
 
" එය ඇසීමත් සමඟ ජයවර්ධන දෙපලගේ දෑස් උඩ ඉන්ඳිනි. දේවිකා ඉඳ සිටි තැනින් ඉබේම නැඟිට්ටුනාය. 
 
" සිරියා....!සිරි..යා. ... අනේ දෙයියනේ මේ ඇත්තද ... අනේ ජයේ මොනා හරි වෙලා තියනවා... අනේ දෙයියනේ අපි මොකද කරන්නේ.. ..! " 
 
දේවිකා තම සැමියා වැළඳගෙන හඬන්නට වූවාය. ජයවර්ධනගේ සර්වාංගයම වෙව්ලා ගියේය .. දේවිකාගේ හිස අත ගෑ ඔහු සෙමින් ඇයව සෙට්යේ වාඩි කරවීය. සිරියා උන්නේ කිසිවක් සිතා ගත නොහැකිවය. සාගර යනු කවුරුන්දැයි ඈට සිහිවූයේ නැත. සිරියා ගැටළුවකට මැදිවූ බව දැන ගත් ජයවර්ධන ඈ ඇමතුවේය. 
 
" සිරියා..., මේක අපි හිතනවට වඩා ගොඩක් බරපතලයි ... සිරියට මතක නැතිව ඇති සාගර කවුද කියල... සාගර කියන්නෙ  .... ලොකූ එක්ක පැනල ගිය කොල්ලා ..!"
            ජයවර්ධන මහතා කියූ දෙයින් සිරියාගේ ගත වෙව්ලා ගියේය.. ඇය හෙමින් සීරුවේ පුටුවක වාඩි වූයේ මේ සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිවය.. 
 
" නෝ..නා...අනේ දෙයියනේ....දැන් නම් මට හිතෙනවා මේ ඉන්නෙ ලොකු බේබිම තමයි කියලා... අනේ දෙයියනේ... අම්මෙක් වගේ හදපු වඩපු මට අඳුරගන්න බැරි උනානේ...." 
 
සිරියා ඉකිගසමින් හැඬුවාය.  මේ අවස්ථාව කලබල වෙමින් තීරණ ගත යුතු අවස්ථාවක් නොවන බැව් ජයවර්ධන මහතාට තේරුම් ගියේය... දරුවන්ගේ කාමරයට සෙමින් එබී බැලූ ඔහු දුටුවේ ඇඟමෑලි කඩමින් තවමත් සෙමින් අවදිවන දරුවන් දෙදෙනාය. තමාගේම දියණිය මිණිබිරිය ලෙසින් පැමිණ ඇත. ඒ සමඟම තමා වෛර කල අයෙක්ද තම මුණුපුරෙක්ව පැමිණ ඇත. මෙය කෙලෙසක නම් අදහන්නද.. නැවත ඉපදීම සත්‍යක් විය හැකිද...දරුවන් දෙදෙන පිබිදෙමින් සිටිනු දුටු ඔහු වහාම සාලයට ගියේ පුංචි දරුවන් නැඟිට පැමිනෙන්නට පෙර කාන්තාවන් දෙදෙනාට කඳුලු පිසදාගන්නටැයි කීමටය.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න