"අයියෝ කවුරුත් නැද්දෝ බේරගන්න අයියෝ මගේ ගේ ගිනි ගන්නවා"
කාන්තාවකගෙ විලාප හඬින් අසල්වැසියන් සියල්ලෝම දිව ආවේ සිදු වන්නේ කුමක්දැයි බැලීමට ය. ඒ හඬ ආයෙ අක්කර දහයක් පහළොවක් පමණ විශාල පොල් වත්තක මධ්යයේ පිහිටි පැරණි තරමක් විශාල නිවසකින්. ඒ දෙසට දිව ගිය පිරිසට දැකගත හැකි වූයේ මහා ගිනි ජාලාවක් එම නිවස වටකරගෙන ඇති ආකාරයයි. නිවසේ ගෘහණිය සෙව්වන්දි තම දරු දෙදෙනා ද තුරුළුකරගෙන මහ හඬින් විලාප දේ. ඇය විලාප ගසමින් පැවසුවේ සිය සැමියා සහ ඇගේ නිවසට පැමිණි අමුත්තන් දෙදෙනෙකුත් එම ගින්නට හසුවී ඇති බවයි.අසල් වැසියන් වහාම ඔවුන් බේරා ගැනීමට නිවසට යාමට උත්සාහ දැරූහ.එහිදී අසල් වැසි තරුණයන් කිහිප දෙනෙක් ද පිළිස්සී තුවාල ලැබූහ.ඒ සමගම නිවස තුළින් කාන්තාවකගේ විලාපයක් ඇසෙන්නට විය.අසල්වැසියන්ගේ උත්සාහයන් සියල්ලම ව්යාර්ථ කරමින් එම හඬ ද ක්රමයෙන් මැකී ගියේය.
අසල්වැසියකුගේ දැනුම්දීමකට අනුව ගිනි නිවන හමුදාව සහ පොලිසිය පැමිණ ගින්න නිවීමට යුහුසුළු විය. හැකි ඉක්මනින් ගිනි නිවන හමුදාව නිවසට ඇතුළුවූහ. නිවසට ඇතුළු වූ ජීවිතාරක්ෂකයින් වහාම නිවසේ සිටි අයවලුන් සොයා ගියත් එය නිෂ්ඵල කාර්යයක් විය. ඒ වන විටත් නිවසේ සිටි අනෙක් තිදෙනා ම දැවී අළුවී අවසානය. ගිනි නිවන හමුදාව එක් කාමරයකට ඇතුළු වූයේ එහි තිබූ යකඩ දොර කඩා දමමිනි. එම කාමරේ ජනේලය අසල කාන්තාවක් කුඩා දරුවකු ද තුරුළුකරගෙන දැවී මිය ගොස් සිටියාය .එම කාමරයේ දොර ජනේල අගුළු ලා තිබීම හේතුවෙන් ඔවුන්ට ගින්නෙන් බේරීමට තිබු අවස්ථාව මඟ හැරී ගොස් තිබුණි. තවත් කාමරයක දැවී ගොස් සිටියේ සෙව්වන්දිගේ සැමියාය .ඔහු සිටි කාමරයේ ජනෙල් දොරවල් අගුළු ලා තිබුණත් ඔහුට බේරීමට නොහැකි වීම මවිතයට කරුණක් විය.
නිවසේ දැවී හළු වී ගිය කාන්තාව හා දරුවා සෙව්වන්දීගේ සැමියා වූ සුනෙත්ගේ ඥාති සොහොයුරියක් හා ඇගේ දරුවා බවත් ඇගේ සැමියා ඈ හැර යාමෙන් පසුව කාත් කවුරුවත් නොමැති ව තනි වූ බැවින් දරුවා හා ටික කාලයකට එම නිවසේ නතර වීම සඳහා පෙර දිනක උදෑසන පැමිණි බවත් සෙව්වන්දි පැවසුවාය.එබැවින් එම කාන්තාවගේ හා දරුවාගේ අවසන් කටයුතු සැමියාගේ අවසන් කටයුතු සියල්ලම ඉටු කිරීමට සෙව්වන්දිට සිදුවිය .අසල්වැසියන්ගේ සුසුම් හා අප්රමාණ වූ සහයෝගය නොවඩුව ලැබූ සෙව්වන්දි විසින් ඔවුන්ගේ අවසන් කටයුතු එකම සුසාන භූමියක සිදු කරන ලදී. ඔවුන්ට සිදු වූ මේ විපත පිළිබඳව අසල්වැසියන් මහත් සේ කම්පාවට පත්ව තිබිණි.
සෙව්වන්දිගේ සැමියාගේ හා අනෙක් කාන්තාවගේ ත් දරුවගෙත් මරණයන් පිළිබඳව මෙන්ම නිවාසය ගිනි ගැනීම පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී පොලිස් සුනඛයන් ද යොදා ගන්නා ලදී. එහෙත් නිවැරැදි වූ තොරතුරක් සොයා ගැනීමට අපහසු වූ නිසා රහස් පොලිසියේ සහායද ඒ සඳහා ලබාගැනීමට සිදුවුණි. එම පරීක්ෂණය මගින් බලාපොරොත්තු නොවූ දෙයක් සොයා ගැනීමට හැකිවිය. එමගින් හෙළි වූයේ එම නිවස තුළ ගින්න හදිසියේ ඇති වූවක් නොව යම් කිසිවකු විසින් සිතා මතා සිදු කරන ලද ගින්නක් බවයි. පොලීසියේ සැකකටයුතු කරුණු පිළිබඳව පරීක්ෂණ දිගටම සිදුවිය. කාන්තාව සහ දරුවා සිටි කාමරයේ ජනෙල් හා දොරවල් අකුරු ලෑවේ කවුරුද? සැමියා සිටි කාමරය අගුලු ලා නො තිබුණත් ඔහුට ගැලවීමට නොහැකි වූයේ ඇයි? ඔහු ගින්නට හසුව මිය ගියාද? නැත්නම් ඊට පෙර ඔහු මරා පසුව නිවසට ගිනි තැබුවාද? එසේ සිදු කළ කවුරුන් හෝ සෙව්වන්දිට හා ඇගේ ළමයින්ට බේරීමට සැලැස්සුවේ ඇයි? වැනි කරුණු ගැන පොලිසිය විසින් වැඩි අවධානයක් දෙන ලදී. එමෙන්ම එම ගින්න ආරම්භ වී තිබුණේ සැමියා සිටි කාමරයේනි. එසේ වූයේ කෙසේද යන්නත් ගිනිගන්නා අවස්ථාවේ සැමියා එක වචනයක් හෝ කෑ නොගැසීම ගැනත් පොලීසියේ සැකයට භාජනය විය. ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කළේය. රහස් පොලිසියේ සහායද ඒ සඳහා යොදා ගන්නා ලදී.
මෙම සිදුවීමෙන් පසු සෙව්වන්දි තම දරු දෙදෙනාත් සමග මිත්තණියගේ නිවසේ පදිංචියට ගියාය. ඉන්පසු ඇය ඉතා ශෝකයෙන් කල් ගත කරන බව බලා සිටින වුන්ට පෙනුනත් පොලිසිය ඇතැම් සැකකටයුතු කරුණු නිසා ඇයව සැක කරන්නට විය .ඒ අනුව ඇගෙන් නිතර ප්රශ්න කිරීම් හා කට උත්තර ලබා ගැනීම් සිදු කළ අතර ඇයට නොදැනෙන්නට රහස් පොලීසිය ද ඇය ගැන සොයන්නට වූහ.
මිත්තණියගේ නිවසට ගිය සෙව්වන්දි තම දරුවන් සමග ඉතා කනස්සල්ලෙන් දින ගත කළාය .තම සැමියා නැතිව තනිව් ඇය ආර්ථික අතින් අසරණ නොවූයේ පරම්පරාවෙන් උරුම වූ වතුපිටි වල යම් ආදායමක් ලැබෙන නිසාය. මෙසේ සති කිහිපයක් ගෙවී ගියේ කිසිදු වෙනසකින් තොරව ය. මේ අතරතුර රහස් පොලිසියට විශේෂිත වූ යමක් දැනගන්නට ලැබිණි එනම් සෙව්වන්දිගේ මිතුරියක ගැනයි. ඇය කුඩා කල සිටම සෙව්වන්දිගේ අඹ මිතුරිය වූවාය. දෙදෙනාම එකම පාසලට ගිය අතර දෙදෙනාම ඉගෙනුමට ඉතා දක්ෂ විය .නමුත් උසස් පෙළ කරන කාලයේ සෙව්වන්දි සුනෙත් සමග ඇතිකරගත් ප්රේම සම්බන්ධයක් හේතුවෙන් ගැබ් ගත් අතර ඒ නිසාම ඇගේ පාසල් ගමන නැවතිණි. ඒ දැනගත් සෙව්වන්දිගේ දෙමව්පියන් ද එම රහස අන් අය දැන ගැනීමට පෙර දියණියව සුනෙත් ට ම විවාහ කර දීමට පෙලඹුණේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාවෙනි.සුනෙත් යනු සෙව්වන්දි ට කිසිසේත්ම නොගැලපෙන ගුප්ත චරිතයක් හිමි තරමක් වයසින් වැඩිමහලු පුද්ගලයෙකු විය. එම සම්බන්ධයට දෙමව්පියන්ගෙන් වැඩි කැමැත්තක් නොමැති වුවත් කළ හැකි අන් කිසිවක් නොවීය. සෙව්වන්දි හා ඔහු විවාහයෙන් පසු සෙව්වන්දිගේ දෙමාපියන් විසින් ඇයට ත්යාගයක් ලෙස ලබාදුන් පොල්වත්තේ වූ තරමක් පැරණි විශාල නිවසේ පදිංචි විය. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දූවරුන් දෙදෙනකු ගේ මවුපියන් වූහ.
සෙව්වන්දි ගේ මිතුරිය වූ නිරාශා හොදින් අධ්යාපන කටයුතු නිම කොට වෛද්ය විද්යාලයට ගියාය. මේ වෙන විට ඇය එහි අවසන් වසරෙහි ශිෂ්යාවකි .ඇය දැඩි ලෙස ඇලුම් කළේත් අධ්යනය කළේත් ශල්ය වෛද්ය විද්යාව හා නිර් වින්දනය පිළිබඳවය නිරාශා ද කෙතරම් කාර්යබහුල වුවත් සතියකට දිනක් හෝ තම සහෝදරියක් බඳු වූ මිතුරිය බැලීමට යයි. ඇගේ දුක සැප විමසා බලයි. ඒ අනුව සෙව්වන්දිගේ සුනෙත්ගේ ජීවිතයේ බොහෝ දේ සෙව්වන්දි විසින් නිරාෂාට පවසනු ලැබුවා ය. ඇයද ඈට හැකි අයුරින් ඔවුන්ගේ පවුල තුල සිදු වූ යම් යම් ගැටලු වලට පිළිතුරු සැපයීමට සෙව්වන්දිට උදව් වූවාය.
විවාහයෙන් මාස කීපයක් යනතුරු සෙව්වන්දි සුනෙත් ඉතා සතුටින් කාලය ගත කළෝය. හදිසියේ සිදු වූ විවාහයක් නිසා සුනෙත්ගේ පවුලේ කිසිවකු එයට සහභාගි නොවූයේ ඔවුන් විදේශගතව සිටින නිසා බව සුනෙත් විසින් සෙව්වන්දිට පවසා තිබුණි. මෙලෙස කාලය ගත කරන අතරතුර සෙව්වන්දි හට සුනෙත් ගේ යම් වෙනසක් පෙනෙන්නට විය. ඇයට නින්ද යනතුරු ඇය සමග සිටින සුනෙත් ඇයට නින්ද ගිය පසු නිවසින් බැහැරව ගොස් දුරකථන ඇමතුම් ලබා ගන්නා බව ඇය දුටුවේ ඇයට වැඩිමහල් දියණිය ලැබීමට ආසන්න කාලයේ හදිසියේ ඇතිවූ කොන්දේ කැක්කුමක් නිසා අවදි වූ දිනකය.
"සුනෙත් සුනෙත්"
යයි හඬ ගසමින් ඇය සුනෙත්ව සෙව්වත් ඔහු නිවස තුළ දක්නට නොවිණි. ඔහුව සොයමින් සාලයට ගිය සෙව්වන්දි ජනේලයක් මඳක් අර ඇති බව දැක එයින් එබී බැලුවාය. මිදුලේ අඹ ගස යට සිට සුනෙත් යමෙක් හා දුරකථන සංවාදයක යෙදෙයි. සෙව්වන්දි නැවතත් ඇඳට ගොස් ඇලවුනා ය. නින්ද ඇය අහලකවත් නැත .පැයකට පමණ පසු සුනෙත් ඇඳට පැමිණියේය.සෙව්වන්දි නිදි ලෙසම සිටියාය. පසුවදා ඒ ගැන සෙව්වන්දි සුනෙත්ගෙන් ඇසුවේ සිතේ ඇති වූ තරමක සැකය නිසාවෙනි.
"අයියෝ ළමයෝ ඒ අක්කා කතා කළේ. මේහේට රෑ උනාට එයා ඉන්න රටට දවල් නේ. ඒකයි .ඔයා ගැනත් ඇහුවා."
කීවේය.
" අපරාදේ මටත් කතා කරන්න තිබ්බා. අක්කත් එක්ක ."
"කමක් නෑ. සෙව්වන්දි ඔයා නිදි නිසයි මම කතා නොකළේ ."
දරුවා ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදීම සුනෙත් මෙලෙස රාත්රියේ යමකු හා දුරකථන සංවාදයේ යෙදෙන සෙව්වන්දි දුටුවාය. ඒ කවුරුන්දැයි සුනෙත් ගෙන් ඇසූ විට ඔහු පවසනුයේ අම්මා අක්කා තාත්තා වැනි කවුරුන් හෝ ඥාතියෙකු කියාය. නමුත් සෙව්වන්දිට ඔවුන් හා කතා කිරීමට කිසිම දිනෙක දුරකතනය ලබා දුන්නේ නැත. මේ නිසාම සෙව්වන්දිට ඔහු ගැන යම් සැකයක් විය. නිතරම පාහේ ඔහුගේ ජංගම දුරකථනයේ සියලුම දත්ත මකා දමා තිබිණි. එයද ඇගේ සැකය වැඩි කරන්නක් විය. දිනක් එලෙස ඔහු දුරකතනය ගෙන එළියට ගිය අවස්ථාවක හඬ නොනැගෙන සේ ඔහු පසුපසින් ගිය ඇය ඔහු කියනා දේ ඇසෙන මානේ පඳුරකට මුවා වී ඔහු කියන දේ අසා ගෙන උන්නාය.
"හරි හරි බබා මම ඉක්මනට එන්නම් දන්නවනේ බිස්නස් වල හැටි මේ ටික ඉවර කරලම එන්නම්"
"හා... හරි හරි"
"ඔව් මැණික මම කාලා ඉන්නේ. ඔයා කෑවෙ නැද්ද තාම."
මේ ආදී ලෙස පැයක් පමණ ඇදීගිය සංවාදය අතරතුර ඉතා ආදරණීය රාගික දෙබස් ද බොහෝ විය. සෙව්වන්දි ද ඒවා අසා සිටියේ කෝපයෙන් හා දුකෙන් වෙව්ලමිනි.
"හරි පැටියො නිදිමතයි හෙට රෑට ගන්නම්."
යැයි කියමින් සුනෙත් දුරකථනය විසන්ධි කොට නිවසට ඒමට හැරුණේය. දුටු දෙයින් ඔහු ගල් ගැසී ගියේය රාත්රී සීතලේ වුවත් දාඩිය බින්දු කිහිපයක් ඔහුගේ නලල ත තෙත් කරන්නට විය. ඉණට දෑත් තබා ගත් සෙව්වන්දි යක්ෂණියකමෙන් දෑස් රතු කරගෙන රවාගෙන ඔහු දෙස බලා උන්නාය.
"සෙව්වන්දි මේ...මේ.. අම්මා.. නෑ... අක්කා කතා කළේ."
සුනෙත් වචන පටලමින් ගොත ගසමින් ගලපන්නට අසාර්ථක වෑයමක යෙදුනි. කිසිත් නොදෙඩූ සෙව්වන්දි අත දිග හැර වැරෙන් පහරක් සුනෙත් ගෙ කණ හරහා ගස්සා ඒ ක්ෂණයෙන්ම හඬමින් කාමරයට දිව ගොස් දොර ජනෙල් අගුළු ලාගෙන දරුවාද තුරුළු කරගනිමින් දෑස් රිදෙන තුරු හඬා වැටුණාය. පසුදින උදයේ දරුවාද සූදානම් කරගත් ඈ සුනෙත් හා වචනයකුදු නොදොඩා දෙමාපියන්ගේ නිවසට ගියාය. හදිසියේම සුනෙත් නොමැතිව තඩිස්සි මුහුණකින් ද යුතුව සෙව්වන්දි නිවසට පැමිණීම ගැන දෙමාපියන් පුදුම වූ අතර එයට හේතුව ඇසුවත් ඇය මව්පියන්ට පැවසුවේ සුනෙත් ව්යාපාර කටයුත්තකට දින කීපයක් නිවසින් බැහැර වෙන නිසා තමා පැමිණි බවය.