ගින්න (2)
- Details
- මේනකා ජයසේකර
- ginna
- Hits: 302
දින දෙකක් පමණ දෙමවුපියන්ගේ නිවෙසේ සිටිය ඇයට තෙවන දින සුනෙත් ගෙන් ඇමතුමක් ලැබුණි. ඔහු කියා සිටියේ සියලු සත්‍යය හෙළි කරන බවත්, ඈ හා දරුවා නොමැතිව සිටීමට නොහැකි නිසා නැවතත් නිවසට පැමිණෙන ලෙසත්ය. නැත්නම් ඔහු ද ඇගේ මවුපියන්ගෙ නිවසට පැමිණෙන බවද කීවේය. සෙව්වන්දිගේ හිත උණු විය. කෙසේ වුවත් ඔහු තම දරුවාගේ පියා ය. එනමුත් ඔහු කර ඇත්තේ ද සුළුකොට තැකිය නොහැකි වරදක් ය. කෙසේ වුවත් ඇගේ හිතුවක්කාරකමට කරගන්නා ලද මෙම විවාහය මේ අයුරින් නිම වූ විට රටේ ලෝකෙ මිනිස්සු පමණක් නොව දෙමාපියන්ද ඇයට දෝෂා රෝපණය කළ හැකි බවද එය තම දරුවාට එතරම් සුබදායක නොවන බවද වැටහුනේ බැවින් ඈ, ව්‍යාපාර කටයුතු අවසන් කොට සුනෙත් නැවතත් නිවසට පැමිණි නිසා ඔවුන්ගේ නිවසට යන බව දෙමාපියන්ට පවසා දෙමාපියන්ගේ නිවසින් පිටව ගියාය.
එසේ දෙමාපියන්ගේ නිවසින් පිට වූ ඇය මගට ගොස් නිරාෂාට දුරකථන ඇමතුමක් ලබාදී සෙව්වන්දිගේ මිත්තණියගේ නිවසට පැමිණෙන්න යැයි ඉල්ලීමක් කොට සෙව්වන්දි ද එහි ගියා ය. ඒ වන විට සුනෙත් ද සෙව්වන්දිගේ මිතුරිය වූ නිරාශා ට දුරකථනයෙන් කතා කොට ඔවුන් අතර සිදු වූ සියල්ල පවසා මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට නිරාශා ගේ උදව් උපකාර ඉල්ලා සිටියේය. ඔහු නිරාෂාට පවසා ඇත්තේ ඔහු මෙහි පැමිණීමට කලින්ම මාපියන් විසින් සොයා දුන් තරුණියක හා විවාහ වී සිටි බවත් ව්‍යාපාර කටයුත්තකට මෙම ප්‍රදේශයට පැමිණි පසු හමුවූ සෙව්වන්දි කෙරෙහි හිත ගොස් තනි කැමැත්තට ඇය හා විවාහ වූ බවත්ය.එය ඇසූ සෙව්වන්දි ට දවල් තරු පෙනුනි. දැන් ඇය සුනෙත්ගේ අනියම් බිරිඳ ය. ඔහු විවාහ දෙකක් කරගත්තාට ලංකාවේ නීතියට අනුව වලංගු වන්නේ පළමු විවාහය පමණි. නිරාශාද පැවසුවේ
" දැන් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න නොහැකි නිසා දරුවා වෙනුවෙන් ඉවසාගෙන සුනෙත් හා හොඳින් ඉන්නා" ලෙසය.
ඉන්පසුව නිරාශා විසින්ම සුනෙත් හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුව ගෙන්වාගෙන දෙදෙනා සමාදාන කර දරුවාත් සෙව්වන්දි ත් ඔහු සමග ඔවුන්ගේ නිවසට පිටත් කැර යැව්වාය. එම ගැටලුව එලෙස අපහැදිලි ලෙස නිරාකරණය වුවත් එයින් පසු සෙව්වන්දි දැඩි මානසික කම්පනයකට පත්ව ගුප්ත චරිතයකට හිමිකම් කිරීමට සමත්වූවාය. කලින් කෙලිලොල් වූ ඈ එයින් පසුව ඉතා නිහඩ විය. අත්‍යවශ්‍යම දේකට හැරුණවිට සුනෙත් හා කතා-බස් නොකළාය. දරුවාට නම් ඈ ඉතා ආදරයෙන් පනමෙන් සැලකුවා ය. සුනෙත් කරන කියන දෑ පිළිබඳව ඈ වැඩි තැකීමක් නො කළා ය. කාලයාගේ ඇවෑමෙන් ටික කලකට පසු සුනෙත් ලිපි ගොන්නක් සෙව්වන්දියේ අත තැබුවා ය. ඒ කලින් විවාහයේ බිරිඳ ගෙන් ඔහු ලබාගත් දික්කසාද ලියවිලි ය. ඉන්පසුව තරමක් දුරට සෙව්වන්දිගේ තත්ත්වය යහපත්ව යථා අතට පත්වුණි. නමුත් සුනෙත් ගැන සැකයක් නොතිබුණාම නොවේ.
මෙසේ කාලයක් යන විට ඔවුන් අතරට තවත් අයෙකු එන බවට ලකුණු පහල විය. එනම් තුන්දෙනා හතරදෙනකු බවට පත්විය. එවරද ඔවුන්ට ලැබුණේ තවත් හුරුබුහුටි දියණියකි. දියණියන් දෙදෙනකුගේ දෙමාපියන් ඔවුන් ඔවුන්ගේ පෙර වැරදි අමතක කොට ගනිමින් සතුටින් සිටීමට මහත් වෙහෙසක් ගත්තේය. මේ අතර සුනෙත් විසින් නගරයෙන් අලුත් ඉඩමක් මිලදී ගැනුණි. එහි ඔහු විසින් තට්ටු හතරක බිල්ඩිමක් ගොඩනැගූ අතර දෙදෙනාගේම එකගතාවය මත එහි නිමි ඇඳුම් වෙළෙඳ සලක් විවෘත කරන්නට යෙදුණි.
එහි සමාරම්භක උත්සවය ද ඉතාමත් උත්කර්ෂවත් අයුරින් වත්වන්නට හෝ නැත අවශ්‍ය විය. ඒ සඳහා ඔහු මිතුරෙකුගේ මාර්ගයෙන් දිවයිනේ නළු නිළියන් හා ගායක ගායිකාවන් රැසක් ද වෙනත් ප්‍රසිද්ධ චරිත කිහිපයක් ද ගෙන්වන ලදී. එසේ පැමිණි චරිත අතර ඉතා සුළු චරිත පමණක් රගපෑ සුරූපී තරුණියන් දෙදෙනෙකු සුනෙත් හා සෙව්වන්දි සමග ඉතා කුළුපඟ වූ අතර ඔවුන්ගේ දරු දෙදෙනා ද එම තරුණියන් හා ඉතා ඉක්මනින්ම මිත්‍ර විය.
එලෙස දැන හැඳිනගත් එම තරුණියන් එම උත්සවයෙන් පසුව ද එම පවුල හා පැවැති මිත්‍රත්වය දිගට ම පවත්වා ගත්තා ය. අවුරුදු 19 හා 20 වයසේ පසු වූ එකම පවුලේ සහෝදරියන් වූ ඔවුන් දඟකාර සමාජශීලී රූමත් තරුණියන් විය. මෙම පවුල හා පැවැති මිත්‍රත්වයට අමතරව සෙව්වන්දිට හොර රහසේ සුනෙත් හා ඔවුන් නතර වෙන ම ආකාරයේ දැඩි මිත්‍රත්වයක් ද ගොඩනැගෙමින් පැවතුණි. එයද අසම්මත ප්‍රේමයක් දක්වාම දුරදිග ගියහ. ව්‍යාපාර කටයුතු වලට යැයි පවසා නිතරම පාහේ දුර බැහැර ප්‍රදේශ වල යන්නට හුරු වූ සුනෙත් ඒ ගමන් සඳහා මෙම තරුණියන් දෙදෙනා ද සහභාගී කරගෙන ඇත. මෙලස කාලය ගෙවී යන අතරතුර සෙව්වන්දිට නැවතත් සුනෙත් ගැන සැකයක් ඇති විය. පෙර වැරදිද තිබූ ඔහු දෙස සම්පූර්ණයෙන්ම සැක නොමැතිව බැලීමට ඇයට නොහැකි විය. ඒ අතර සුනෙත් නිවසේ රැඳෙන කාලය අඩු වූ අතර ඔහු මත්ද්‍රව්‍යයන්ට ද ඇබ්බැහි විය.
මේ අයුරින් ඔහු දුරාචාරයේ යෙදීම නිසාම ඔහු බලා සිටියදීම ඔහුගේ ව්‍යාපාර කඩා වැටෙන්නට වූ අතර ඔහු බංකොලොත් තත්ත්වයට පත්විය. ඒ අතර විටින් විට සෙව්වන්දිට අර තරුණියන් ගැන දැනගන්නට ලැබුණු කරුණු එතරම් යහපත් නොවූවාය. සෙව්වන්දි මේ සෑම දුකක්ම පීඩනයක් ම බෙදාගත්තේ නිරාශා හා පමණි. ඇගේ හිතුවක්කාරකමට වූ විවාහයක් නිසා මේවා දෙමව්පියන්ට ද පවසා ඵලක් නැත.
ඒ අතර දිනක් සුනෙත් කිසිවක් නොපවසා ම කලබලයෙන් නිවසෙන් පිටවී ගියේය. ඉන් පැය කීපයකට පසු සෙව්වන්දිට නිරාශා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.
(ඉතිරිය පසුවට)