ප්‍රේමයයි ,වෛරයයි අතරේ
- Details
- දිළිණි කාරියවසම්
- කෙටිකතා
- Hits: 1238
ප්‍රේමයයි ,වෛරයයි අතරේ…
=====================
මම මල් පඳුරක්. එක එක කාලෙට ,එක එක වර්ගයේ මල් පුබුදුවමින් , එක එක උයන්වල පිපෙන්න පුලුවන් මට.
එදා මල්පැල ප්‍රදර්ශනයක් තිබුණු දවසක්. උදේ ඉඳන්ම කට්ටිය ආවා මල් බලන්න. මං ඇඳලා හිටියෙ රෝස පඳුරකට. හැමෝත් එක්කම හිනාවෙලා , එයාලව වසඟයට ගන්න එකයි මගේ රාජකාරිය.
ඒ අතර හිටියා , සුන්දර සිනාවක අයිතිකාරයෙක්. මට ඕන වුණා , ඒ උයනෙ පිපෙන්න.
ඒ සිනාව මගේ ළඟට ඇවිත් , පෙති හෙමින් පිරිමදිද්දි , ඉක්මණින් මං එයාගෙ කමිසෙ පැටලුවා ,මගේ නටුවෙ කටුවක්.
එයා ඒ කටුව ගලවන්න කොච්චර මහන්සි වුණත් , මං හුරතල් වෙවී ,තව තවත් , කමිසෙ පැටළුණා.
අන්තිමේ දි , එයාට මාව ගෙදර ගෙනියන්නම වුණා.
" භද්‍රජී භවන් " අයිතිකාරයා වුණු , භද්‍රජී ගෙ උයනට මං ආවෙ එහෙම.
භද්‍රජී ,එයාගෙ උයනෙ ,හොඳම තැනක මට නවාතැන් දුන්නා. ආදරෙන් මාව බලාගත්තා. මගේ මල් වැළඳගත්තා. ඒ මල් වල පෙති පින්නෙන් වැහිලා ,හීතලෙන් ගුලිවෙලා ඉන්න වෙලාවට , ආදර වදන් කියලා ඒ මල් උණුසුම් කලා.එයාගෙ යාළුවන්ට මගේ ලස්සන පෙන්නලා සතුටු වුණා.
ටික දවසක් ගතවුණා.
භද්‍රජී , එයාගෙ යාළුවෙක්ගෙ උයනක පිපිලා තිබුණු , මානෙල් මල් දැකලා , එයින් පඳුරක් ගෙනත් , මං ළඟම තිබුණෙ පොකුණෙ ඉන්දුවා. කාලෙකට පස්සෙ ඒ පඳුරෙ මල් පිපුණා. රෝස මල් වගේ නෙමෙයි. හරි සුවඳයි. හරි මිහිරියි ඒ සුවඳ.
වෙනදා උදේම මගේ ළඟට ඇවිත් , ආදර වදන් මුමුණන භද්‍රජී , ටික ටික මානෙල් මල් විල පැත්තට යන්නත් , ඇස් පියාගෙන , හිමි හිමින් හුස්ම අරන් ,ඒ සුවඳ විදින්නත් ,ආදරෙන් ,ඒ පෙති අතගාන්නත් පුරුදු වුණා.
ඔව් , මානෙල් මට වඩා ලස්සනයි. සුවඳයි. ඒත් , එයාට පිපිලා ඉන්න පුලුවන් උදේ වරුවෙ විතරයි නෙ. එහෙම හිතලා මං හිත හදාගත්තා.
ඒ අතරෙ, උයනෙ අනිත් අන්තෙ , වැට අයිනෙ තිබුණු ,සේපාලිකා ගහෙත් මල් පිපෙන කාලෙ ආවා. ඒ ළඟම වැතිරිලා ඉඳපු , සමන් පිච්ච වැලත් , එයාගෙ කෙට්ටු පොහොට්ටු , පුබුදුවන්න පටන් ගත්තා හවසට. මං මේ උයනට එන්න කලින් , භද්‍රජී ගෙ ආදරේ දිනාගෙන ඉඳපු " බ්‍රයිඩ් ඇන්ඩ් බොකේ " පඳුර , මට ඔච්චටම වගේ හිනාවෙන්න ගත්තා.
භද්‍රජී , ටිකෙන් ටික මගෙන් ඈත්වුණා. මගේ හිතේ ඉරිසියාවක් , අත පය දිග ඇරලා , හිරි අරින්න පටන් ගත්තා.
මං ටිකෙන් ටික , රෝස පඳුරෙ වේශය අත ඇරලා , භද්‍රජී කැමතිම වර්ගයක,කහපාට මල් පඳුරක් වෙලා ඉපදෙන්න තීරණය කළා.
භද්‍රජී ගෙ උයන බලාගත්තු , සුනිමල් , මගේ පඳුරෙ අතු කපලා , මාව පිරිසිදු කරන්න ආපු වෙලාවක , මං මගේ නටුවල කටු කිහිපයක් එයාගෙ අතේ ඇනගෙන ඇනගෙන ගියා. එයා වේදනාවෙන් උඩ පැන්නා. ඒ වෙද්දිත් කපලා ,බිම දාලා තිබුණු රෝස අත්තක තිබුණු තරමක විශාල කටුවකින් මං ඒ වෙලාවෙ එයාගෙ විලුඹ තුවාල කලා.
එදායින් පස්සෙ , සුනිමල් මට වතුර , පෝර දාන්න ආවෙ නෑ. ටික කලකින් මං මැරුණා.
භද්‍රජී ගෙ ආදරවන්තිය වුණු , ආන්යා ගෙ උයනෙ ලස්සන කහපාට මල් පඳුරක් වෙලා මං ආවෙ , ගිය මාසෙ හඳ හෙමි හෙමින් , නැගෙනහිර අහසෙ මතු වෙවී ඉඳපු හවසක.
දවස් කිහිපෙකට පස්සෙ , ආන්යා මුණගැහෙන්න ආපු දවසක , කහපාට මල් පඳුරක් වෙලා ඉඳපු මාව පෙන්නුවා භද්‍රජී ට. මට මතක් වුණා ,මං රෝස පඳුරක් වෙලා ඉඳගෙන , භද්‍රජී ගේ ආදරය විඳපු හැටි. ආන්යා මගේ කහපාට මල් කිනිත්තක පින්තූරෙකුත් පෙන්නුවා , භද්‍රජීට.
"ආන්යා , මටත් පැළයක් දෙන්න "
මට විශාල සතුටක් දැනුණා. ආයිත් භද්‍රජී ගෙ ළඟට යන්න අවස්ථාවක් …..
භද්‍රජී ගෙ උයනට ඇවිත් වැඩි දවසක් ගත නොකර , පොහොට්ටු මතුකලා මං.
"කහපාට මල් පඳුරෙ , පොහොට්ටු ඇවිත්…. " සුනිමල් ,ඉක්මණින් ම ආරංචිය දුන්නා , භද්‍රජීට .
හවස් වෙද්දි, මල් එක එක පුබුදුවලා , මිහිරි ,හිත් වසඟ කරවන , හිත හැඟුම් බර කරවන , සුවඳක් විහිදුවමින් , මඟ බලාගෙන හිටියා මං.
"සුනිමල් , හරිම සුවඳයි නේද ආන්යා දීපු මල් පඳුරෙ මල් ? මගේ කාමරේ වාස් එකට දාන්නකෝ කිනිති දෙක ,තුනක් "
සතුටින් උඩ පනින්න පටන් ගත්තා ,මගේ හිත.
භද්‍රජී ගෙ අවමඟුලට සහභාගි වෙලා, ,ඇස් ටිෂූ වලින් පිහ දම දමා , ශෝක භරිත මූණු බිමට බර කරගෙන යන අය දිහා , එදා හවස මං බලාගෙන හිටියා. භද්රජීගෙ අම්මා ,ආන්යා වත්තම් කරගෙන ,මං ළඟට ඇවිත් නැවතුණා.
"දුව , මෙන්න මේ පඳුරෙ මල්වල සුවඳ එලිවෙනකම් ඉන්හේල් වෙලාලු පුතා නැති වෙලා තියෙන්නෙ "
ආන්යා සිහිසුන් වෙලා , මාව බදාගෙනම බිම ඇද වැටුණා.
" ආන්යා , මටත් පැළයක් දෙන්න "