රන්දිමා තම දිවා ආහාර පාර්සලයත් සමඟින්ම බෑගයේ සුරක්ෂිතව රැගෙන ආ පොතද ඉවතට ගත්තාය. පොත මිලදී ගත්තේ පෙර දින සවස කාර්යාලය නිමවී නිවසට යන අතරතුර වුවත් තවමත් එහි පිටුවක් හෝ පෙරළන්නට විවේකයක් නොවීම රන්දිමාගේ හිතට පසුතැවිල්ලක් එක් කර තිබිණි. රන්දිමා පොතෙහි පිටු කිහිපයක් පෙරළා එහි වූ නැවුම් සුවඳ විඳින්නට මුහුණ වෙත ලං කළාය. කෑම පාර්සලයෙන් එන සුවඳින් බඩගින්න වැඩිවෙනවාක් මෙන්ම පොතෙහි පිටු අතර සුවඳින් ඇගේ මනසද කැළඹී ගියේ පිටුවක් දෙකක් හෝ ඉක්මනින්ම කියවිය යුතුය යන ආශාවෙනි. කාර්‍යාලයේ දිවා ආහාර ගන්නා වේලාවට හැකි පරිදි පොතක පිටුවක් දෙකක් හෝ කියවන්නට කාර්‍යබහුල නොවන ඕනෑම දවසක රන්දිමා පසුබට නොවූවාය. සත්තකින්ම වටේ පිටේ බලා සිටින අයවලුන්ට, පිස්සුවක් යැයි සිතෙන තරමටම ඇය පොත පත කියවීමට ඇලුම් කළාය. කාර්යාලයේ වූ කෑම කාමරයේ මේස වලට වටවී ඕපාදූප කියමින් සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නවා වෙනුවට ආහාර ගන්නා අතරතුරම පොතක පිටුවක් හෝ දෙකක් කියවීම රන්දීමාගේ සිතට සැනසීමක් ගෙන එන්නට සමත් විය. පොතක් පතක් නැති මොහොතක නම් බත් පාර්සලය ඔතාගෙන පැමිණි පත්තර පිටුවට වුව ඇගෙන් ගැලවීමක් ලැබුණේ නැත. පොතට ප්‍රිය කළද කාර්යාලයල මිතුරු මිතුරියන් ඇසුරේද උදාසීන කමක් නොදැක්වූ බැවින් කාර්යාලය තුළද රන්දිමා ප්‍රියජනක චරිතයක් වූවාය. ඇතැම් විටක මිතුරු මිතුරියන් "පොත් ගුල්ලී"  යනුවෙන් කවටකම් කළද රන්දිමා සිනාමුවින් යුතුව ඒවා දරාගත්තාය. රූමත් කමින්ද ගති ගුණ වලින්ද අඩුවක් පාඩුවක් නොවූ රන්දිමා සුන්දර තාරුණ්‍යයේ උන්නද තවමත් කිසිවකුගේ වුව ප්‍රේමාරාධනාවකට සිත යොමු කරන්නට මැළි වූවාය.

" හැමදාම පොත් කියව කියව ඉන්නද කල්පනාව...කසාදයක් එහෙම බඳින්නෙ නැද්ද...? "

මිතුරු මිතුරියන් කවටකමින් අසන ප්‍රශ්න වලට කුමක් හෝ හිතට නැගෙන යමක් කියා කවටකමින්ම පිළිතුරු බඳින රන්දිමා එවන් කතාවක් කිසි විටෙකත් දුර දිග නොගෙනියන්නට වග බලා ගත්තාය.

සැබැවින්ම පාසල් කාලයේ  සිටම ප්‍රේමාරාධනා වලින් රන්දිමාට අඩුවක් වූයේ නැත. නමුත් ඔවුන්ගේ කුමක් හෝ අඩුපාඩුවක් දකින රන්දිමා තව තවත් පොත පතටම පෙම් බඳින්නට වූවාය.

             නව පත්වීමක් ලැබ කාර්යාලයේ සේවයට පැමිණි දිලන්තට සේවය කරන්නට ලැබුණේද රන්දිමා සේවය කරන කොටසේමය. මිත්‍රශීලි ප්‍රියමනාප තරුණයකු වූ දිලන්ත ද ඉතා ඉක්මනින් කාර්යාලයේ සියළු දෙනා සමඟින් කුළුපග වන්නට විය. නිතර රන්දිමා සමඟ කාර්යාලයේ කටයුතු කරන්නට සිදු වූ නිසා රන්දිමාත් දිලන්තත් ඉක්මනින්ම මිතුරු වූ නමුත් බොහෝ දෙනෙකුට සේම දිලන්තටත් රන්දිමාගේ මේ කියවීමේ පුරුද්ද පිස්සුවක් මෙන් දැනෙන්නට විය.

"රන්දිමා ඔයාට එපා වෙන්නෙ නැද්ද ඔහොම නිවාඩුපාඩුවෙ ඉන්න හැම වෙලේකම පොත් කියවන්න...මට නම් දකිද්දිත් කම්මැලියි..."

"අනේ නෑ දිලන්ත...මම හරිම ආසාවෙන් කියවන්නෙ... වැඩට එන හින්දා ලොකුවට වෙලාවක් නෑනෙ. ඒකයි පුලුවන් හැම වෙලේම පිටුවක් දෙකක් හරි කියවන්නෙ..."


" මම නම් ඉස්කෝලෙ යන කාලෙවත් ඉස්කෝලෙ පොතක් වත් හරියට කියවලා නෑ වෙන්න...හහ් හහ් හා..."

දිලන්ත හඬ නඟා සිනාසී කියන විට රන්දිමාද එම සිනහවට එකතු වූවාය. නමුත් දිලන්තගේ වුවමනාව වූයේ රන්දිමා තරහ ගන්නා අයුරු දැකීමය. එසේ නොවුන කල දිලන්තට තරමක පුදුමයක්ද දැනෙන්නට විය. සමාන්‍යයෙන් ඔහු දන්නා ලෙස තමා කැමතිම දෙයක් පිළිබඳව වෙනත් කෙනෙක් විරුද්ධව හෝ එය පහත හෙළා  කතා කරනු දැකීම ඕනෑම කෙනෙක් තරහ ගැන්වීමට සමත් වන දෙයකි. නමුත් රන්දිමා හැසිරෙනුයේ ඊට පරස්පරවය. ඇය කියවීමට පොත පතට බොහෝ ප්‍රිය කරයි. එනමුත් එයට අකමැති යම් කෙනෙක් කියනා කිසිම දෙයකට ඇය තරහ නොගනියි. දිලන්තට ඇගේ හැසිරීම් ගැන ඇතිවූයේ පුදුමයකි.
             කල් ගතවත්ම රන්දිමාගෙ ඇවතුම් පැවතුම් පිළිබඳව දිලන්තට ඇති වූයේ මහත් පැහැදීමකි. ඈ කියවන්නීය...කට කියවනවා නොවේ...පොතක හිස ඔබාගෙන පොත් කියවන්නීය...නමුත් ඈ සුහදශීලීය. පාසල් සමයේ පොත පතටම හිස ඔබාගෙන රොබෝ වරුන් මෙන් හැසිරෙමින් සමාජ ආශ්‍රයෙන් තොර වූ ඇතැම් මිතුරන් මෙන් නොව, ඇය  සැබවින්ම විනෝදකාමී වූවාය. ඇගේ මේ තැනක් නොතැනක් නැති කියවීම කිසිවකුටත් ගැටළුවක් නොවූයේ එබැවින් වන්නට ඇත. දිලන්තගේ දෙනෙත කාටත් හොරා රන්දිමා අසල වැඩිපුර ගැවසෙන්නට ගත්තේ ඇගේ මේ ඇවතුම් පැවතුම් වලට ඔහුගේ සිත බැඳුනු නිසාමය.

නමුත්....ඒ වගක් ඇයට පවසන්නේ කෙසේද...!තමා අසා ඇති පරිදි ඈ වෙත ලැබුණු සියළු ප්‍රේමාරාධනා අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඈ විසින් පිළිකෙව් කර ඇත. මෙතරම් ව්නෝදකාමි තරුණියක් එසේ වන්නේ ඇය කුමන ආකාරයේ තරුණයෙක් පතනා නිසාද..! දිලන්තගේ සිතුවිලි දහරාව නොනැවති ප්‍රශ්න කරන්නට වූයේ ඇගෙ සිත දිනාගන්නා ආකාරය පිළිබඳවය...

රන්දිමා සමඟ කතාබහේදී වටින් ගොඩින් ඒ පිළිබඳව අදහසක් ගන්නට තැත් කලද විවාහයක් ප්‍රේමයක් පිළිබඳව ඇගේ කතාවෙන් පවා පෙනෙන්නට වූයේ උදාසීන බවක්මය.

"රන්දිමා මැරි කරාමත් යාලුවො කියනව වගේ හඩ්බන්ඩ්ට ඔක්කොම වැඩ කරන්න දීල පොත් කියවනවද...?"

" අනේ නෑ දිලන්ත...මම ඉතින් ඔෆිස් එකේ වැඩත් එහෙනම් අතපහු කරන්නෙපැයි. අනික මම තව මැරි කරන්න හිතලවත් නෑ..."

රන්දිමාගේ එවදන් වලින් සිත මඳක් සැලුනත් ඉන් පසුබට වන්නට නොහැකි තරමේ ප්‍රේමනීය හැඟුම් කන්දරාවක් දිලන්තගේ හිත ඇතුලේ ඇවිලෙමින් තිබිනි.

"ඔයාව ලැබෙනවනම් පොත් කියවන්න කියල වැඩ ටික ඔක්කොම මමම කරන්නම්කො.."

යැයි මුවින් නොකීවද සිතෙන් මුමුණාගන්නා තරමටම බොලඳ ප්‍රේමවන්තයෙක් බවට දිලන්ත පත් වී සිටියේය.

දස අතේ කල්පනා කලද පිළිතුරක් සිතට නොපැමිනි බැවින් මිතුරකුගේ පිහිට පතන්නට දිලන්ත ඉටා ගත්තේය. කාර්යාලයේ මිතුරන්ට මේ බව පැවසුවහොත් තමන් ඔවුන්ගේ සිනහවට ලක්වනු නොඅනුමාය. එබැවින් ගැටළුව නිරාකරණය පිණිස දිලන්ත උපකාර ගන්නට ගියේ තමා ළඟින්ම ඇසුරු කළ පාසල් මිතුරා වූ දේවකගෙනි.

" අයියො බන් ...ඒක වත් හිතාගන්න බැරිද උඹට. ඒකි ආසම දේ දැන දැනම උඹ ඒකිට ලං වෙන්න ක්‍රම හොයන්නෙ..."

දේවකගේ කතාවෙන් දිලන්ත මඳක් පුදුමයට පත් විය.

"උඹ කියන්නෙ පොත් ගැනද...? ඉතින් මං මොනවද කරන්න ඕන...?"

"කරන්න ඕන මේකයි. උඹල දෙන්නට ලං වෙන්න තියන ක්‍රමේ පොත් වෙන්න ඕන..."

දේවක සමඟ කතා බහින් පසුව දිලන්ත ඔහුගෙන් සමුගත්තේ නව පනක් ලැබුනාක් මෙනි. සැබවින්ම දේවක පැවසූයේ සත්‍යක් නොවේද...! තමාගේ ජීවිතයේ උපන්දිනය වැනි සුවිශේෂි සෑම අවස්ථාවකදීම තමාගේ සමීපතමයන්ගෙන් ලැබුණේ ව්විධ විශයන්ට අදාල පොත් බව වරක් රන්දිමා කියූ බව දිලන්තට සිහිපත් විය...

ඉඳින් පොත් පත් තෑගි කර ඇගේ ජීවිතයේ සුවිශේෂ පුද්ගලයෙක් වන්නට තමාටත් නොහැකි මන්ද.. !  දිලන්තගේ මුහුණ පුරා සිනා රැල්ලක් ඇඳී යන්නට විය.

පසුදා දිලන්ත කාර්යාලයට ගියේ පෙර දින පොත් අලෙවිසැලකින් මිළදී ගත් අලුත්ම පොතක්ද අතැතිවය. පොත් පිළිබඳ දැනුමක් නැති දිලන්තගේ පිහිටට පොත් සැලෙහි සේවකයෙක් ඉදිරිපත් වූයේන් ඉතාම මෑතකදී නිකුත් වූ ලේඛන කලාවේ ප්‍රවීනයකුගේ පොතක් මිළදී ගන්නට ඔහුට හැකිවිය. තමා වෙනදාටත් කලින් කාර්යාලයට පැමිණ ඇති බව දිලන්තට හැඟුනේ වෙනදා තමා පැමිණෙන විටත් වැඩ ආරම්භ කර සිටින රන්දිමාගෙ පුටුව තවමත් හිස් වූ බැව්නි. රන්දිමා පැමිණෙන තුරු දිලන්ත සිටියේ නොඉවසිලිමත් හැඟීමෙනි. කාර්යාලයේ ඉදිරි කෙළවරින් රන්දිමා මතුවනු දුටු දිලන්තගේ හදගැස්ම පවා වේගවත් විය.

"ආ දිලන්ත ගුඩ් මෝර්නින්... මොකද අද කුකුළත් කරින් අරගෙනම..."

" ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්...කලින් එන්න හිතුනා නිකමට අද..."

රන්දිමාගෙ පැනයට පිළිතුරු දුන්නද එතනින් එහා කුමක් කියන්නදැයි දිලන්තට සිතා ගන්නට නොහැකි විය. උදෑසන ආහාර ගන්නට යන මොහොත තෙක්ම කුමක් කියන්නද කුමක් කරන්නදැයි සිතා ගන්නට නොහැකිවූ දිලන්ත මුණිවත රැක්කේය.

" දිලන්ත මොකුත් ප්‍රශ්නයක්ද...අද හරි කල්පනාවකනෙ...තේ බොන්න යන්නෙ නැද්ද...?"

රන්දිමාගේ පැනයෙන් කොහේදෝ ලොවක පාවෙමින් සිටි දිලන්ත පියවි ලෝකයට පැමිණියේය. කාර්යාලයේ තැන් තැන් වල කිහිපදෙනෙක් හැර බොහොමයක් දෙනා තේ බොන්නට ගොස් ඇති නිසා තමාගේ කාර්යට මේ සුදුසුම අවස්ථාව බව දිලන්තට හැඟුණි.

" ආ...ආඅ.. මේ රන්දිමා ...පොඩි කල්පනාවක හිටියෙ. තේ බොන්න යමු...ඊට කලින් පොඩි බඩුවක් තියනව දෙන්න නැත්තං ඕක පස්සෙ අමතක වෙනවනෙ..."

" අප්පේ ඒ මොනවද දිලන්ත ඒ..."

" ආ බලන්නකෝ..."

බෑගයෙන් එළියට ගත් කවරයක ඔතා තිබූ පොත රන්දිමා අතට පත් කරමින් දිලන්ත කියා සිටියේය. කවරය නොපෙනුනද තම අතට පත් වූයේ පොතක් බව වටහා ගන්නට රන්දිමාට අපහසු නොවීය..

"දිලන්ත....!පොතක් නේද ...මටද...කොහෙන්ද...?"

රන්දිමාගේ ප්‍රීතිමත් කටහඬත් දිදුළන දෑසත් දිලන්තගේ හදවතෙහි ගැස්ම පවා වැඩි කරන්නට සමත් විය.

"ඔ...ඔව් ඔව්...,බලන්නකො කියවල තියන එකක්ද දන්නෙ නෑනෙ. ම්මේ...මගෙ යාළුවෙක් ඉන්නව බුක් ශොප් එකක. ඉස්සර නම් මට පොත් දුන්නත් ගන්නෑ. ඊයෙ හම්බුන පාර අලුත් පොත් වගයක් තියනව ඕන නම් ගන්න කීවා. මට ඉතින් ඔයා මතක් උනා. චොයිස් එක දන්නෙත් නැති නිසා එකක් අරන් ආවා.. බලන්නකො..."

දිලන්ත පෙර දින රැයේ පුරුදු පුහුණු වී පැමිණි වාක්‍ය සියල්ල රන්දිමා ඉදිරියේ මුදා හැරියාය. රන්දිමා සිටියේ සතුටින් ඉපිළෙමිනි.

" අනේ එහෙම යාලුවෙක් ඉන්න එක කොයි තරං වටිනවද දිලන්ත.මේක මම ගන්නම හිටපු පොතක් .මේයාගෙ පොත් හරිම ලස්සනයි. ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි දිලන්ත..."

"අයියො ඕක සුළු දෙයක්. ඔයාට ඕන පොත් තිබ්බොත් කියන්න. මං බලල ගෙනත් දෙන්නම්. එයා කොහොමත් මගෙන් සල්ලි ගන්නෙත් නෑ.."

පොත පෙරළමින් සිටි රන්දිමාගෙ දෙනෙතේ කාන්තිය තවමත් පහව ගොස් නැති බව දුටු දිලන්ත තම ප්‍රථම පියවර සාර්ථක බව වටහා ගත්තේය.

දිලන්ත දිනෙන් දින තම අරමුණ වෙත පියවර නඟන්නට විය. ඉඳහිට පොතක් තෑගි දෙන්නට මෙන්ම පොත කොහොමදැයි ව්මසන්නටත් කතාව මොනවගේදැයි අසන්නටත් දිලන්ත කාර්යාලයේ වැඩ අතරතුරේ වුව අමතක කලේ නැත. ඇතැම් විස්තර අසා සිටින්නට ආසාවක් නොවූවත් ඒ බව රන්දිමාට නොපෙන්වන්නට දිලන්ත වගබලා ගත්තේය.

"මටම පොත් ගෙනත් දෙන එකේ දිලන්තත් නිවාඩු පාඩුවෙ වෙලාවක පොතක් කියවලා බලන්නකෝ..."

පොත් කතාබහ අතරතුරේදී රන්දිමාගෙන් ආ ඉල්ලීම ඉවත දමා ඇගේ සිත රිදවන්නට දිලන්තට උවමනා නොවීය. මිතුරු හැඟීමෙන් සිටි කලෙක නම් "අපෝ මට නම් බෑ පොත් අස්සෙ ඔළුව ගහන් ඉන්න" යැයි කියමින් ඒ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය. එහෙත් දැන් තත්වය වෙනස්ය.

" ආ...මම කියවන්නෙම නෑනෙ. ඉතින් මොකද්ද කියවන්න පටන් ගන්නෙ කියලවත් හිතාගන්න බෑ..."

හාත් නොකියා බෑත් නොකියා ප්‍රශ්නයෙන් ගැලවෙන්නට දිලන්ත උත්සහ කළේය.

" අයියෝ...ඒකට කමක් නෑ. මගෙ ලඟ තියනව ලස්සන පොත්...මම ඔයාට ගෙනත් දෙන්නම් එකක්...හැබැයි හොඳට පරිස්සම් කරල ආපහු ඕන.මම එහෙම කාටවත් පොත් දෙන්නෙ නෑ . ඔයාට කියවන්න උනන්දුවක් ආව නිසා මම දෙන්නම්..."

රන්දිමා පැවසුවේ තම ඇසුර නිසා දිලන්තට පොත් කියවීමට රුචියක් ඇතිවිනැයි සිතා ඇති වූ සතුටෙනි. පොත් වලට බෙහෙවින් ආදරය කළ ඈ තම පොත් කිසිවකුටත් භාවිතයට නොදුන්නේ බොහෝ දෙනා ඒවා නිසි පරිදි පරිහරණය නොකරන බැවිනි.පෙර  කිහිපදෙනෙකුටම පොත් දී අවසනදී පොතත් නොමැතිව හිත් නොහොඳකම් ඇති වූ අවස්ථාද තිබුණ බැවින් කිසිවකුටත් පොත් දීම නවතා දැමීමට ඇය තීරණය කළාය.
දිලන්තට ඇගේ යෝජනාව පිළිකෙව් කරන්නට නොහැකි විය. කාටවත් නොදෙන පොත් තමාට දෙන්නට රන්දිමා උත්සාහ කරනූයේ තමා ඇයට සුව්ශේෂි අයෙක් නිසාද... !

ඊළඟ දිනයේ රන්දිමා දිලන්ත අත තැබූයේ තම පොත්ගුලෙන් ගෙන ආ එතරම් විශාල නොවූ පොතකි.
දිලන්ත ඉරියව්වකින් වුව එය තමා අකමැති දෙයක් බව නොහඟවන්නට විය.

"වැඩිය පිටු නැති සරල කතාවක් දිලන්ත. ඔයා හෙමීට කියවල බලන්නකෝ..."

රන්දිමාට සිනහවකින් පිළිතුරු දුන් දිලන්ත ඇය ඉදිරියේම පොත හරව හරවා පිටු පෙරළමින් බලන්නට වූයේ තමාගේ උනන්දුව ඇයට පෙන්වන්නටය.
සති අන්තයේ විවේක සුවයෙන් කල් ගත කරන අතරතුර දිලන්ත තම බෑගයේ තිබූ කුඩා පොත එළියට ගෙන බැලුවේය. එය එතරම් විශාල පොතක් නොවේ. මෙය කියවා ඒ ගැන අදහසක් රන්දිමාට පැවසුවහොත් තමා පොත කියවූ බවට ඇය විශ්වාසයක් ඇති වනු ඇත.

දිලන්ත කාමරයට වැදී පොත කියවාගෙන ගියේය. එය ආදර කතාවකි. ඒ බව වැටහුණ පසු තවත් උනන්දුවෙන් පොත කියවන්නට දිලන්ත උත්සාහ ගත්තේය. ඇය ආදර කතාවක් මා වෙත දුන්නේ යම් කිසි හැඟීමකින් යුතුවද...! දිලන්තගේ සිත ඒ ඔස්සේ  සිතමින් වෙහෙස වන්නට විය. සිත එහේ  මෙහේ දුවන බැවින් උනන්දුව තිබුනද දිලන්ත උඩින් පල්ලෙන් පොත කියවා දැමූවේ කතාව පිළිබඳ යම් අදහසක් සිතේ රඳවාගනිමිනි. සැඳෑ වරුවේ ජංගමය අතට ගත් දිලන්ත රන්දිකාගේ දුරකතන අංකය සොයා ගත්තේය. අත්‍යාවශ්‍ය කටයුත්තකදී හැරෙන්නට රාජකාරි වෙලාවෙන් පසු දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් රන්දිමා සමඟ කතා බහ කිරීමට මෙතෙක් කලක් දිලන්තට අවකාශ ලැබුනේ නැත. දැන් දැන් ඒ දුරස්කම මඟහරින්නට හේතු කාරණා දිලන්තගේ සිතේ මතු වී තිබ්ණි. පොත ඉතාම රසවත් බව කියා කෙටි පණිවුඩයක් ලියූ දිලන්ත එසැනින් එය රන්දිමා වෙත යොමු කළේය. හැරෙන තැපෑලෙන් දිලන්තට පිළිතුරු පණිවිඩයක් ලැබීම සිතට සියුම් සතුටක් එක් කරන්නට විය.

" ඔයා පොත කියෙව්වද ?පුදුමත් හිතෙනවා. මමත් පොතක් බලන ගමන් හිට්යේ..."

රන්දිමාගේ පණිවිඩය දිලන්තගේ මුවගට සිනහවක් එක් කරන්නට විය. තමා කෙමෙන් කෙමෙන් තම ඉලක්කයට ළඟා වන බව දිලන්තගේ සිතට දැනෙන්නට විය.

ඊළඟ කාර්යාල දිනයේදි දිලන්ත පොත නැවතත් රන්දිමා අතට පත් කළද නැවතත් පොත් ඉල්ලා සිටියේ නැත. එනමුත් කියවන්නට හෝ නොකියවන්නට , ඇය පොතක් දෙයි නම් එපා නොකියන්නටත් ඔහු සිතාගත්තේය.

දිලන්ත සිතූ සේම රන්දිකා ඊළඟ දිනයෙහි පොත් කිහිපයක්ම ගෙනවිත් ඔහු අත තැබුවාය. සිනාවකින් යුතුව ඒවා පිළිගත් දිලන්ත ඒ සියල්ල බෑගයේ දමා ගත්තේ මහා බරක් හිස මත පැටවූවකු ලෙසිනි.

" හදිසි නෑ දිලන්ත. හෙමීට කියවල දෙන්නකෝ..."

රන්දිමා සිනාවකින් යුතුව කීවාය.

හවස් යාමයේ නිවසට පැමිණි දිලන්ත ඇඟපත සෝදා තේ කෝප්පයක්ද රැගෙන තම කාමරයට වැදුණේය. බෑගයෙන් ගත් රන්දිමාගේ පොත් කිහිපය දෙස ඔහු බලා උන්නේ පැහැදිළි හැඟීමකින් නොවේ. එළෙසින්ම එක් පොතක් අතට ගත් ඔහු නිදහසේ පිටු පෙරළාගෙන ගියේය.

"හැමදාමත් පොත් දෙන්නයි පොත් ගන්නයි ගියොත් එතනින් එහාට මට මොකුත් කරගන්න වෙන් නෑ..."

දිලන්තගේ යටි සිත හඬගා කියන්නට විය.

" ඉක්මනට මේක කියල ඉවරයක් කරන්න ඕන...ඒත් කොහොමද...!"

පොතෙහි පිටු පෙරළ පෙරළා සිතමින් උන් දිලන්තගේ ඇස පොතෙහි වූ එක් වචනයක් ළඟ නැවතී තිබිණ.

"ආදරෙයි..."

දිලන්ත ඒ වචනය අඩංගු ඡේදයම නැවත කියවා බැලුවේය. ඔව්...එයත් යම් කිසි ආදර කතාවකි. ක්ෂනිකව නැඟුන සිතිවිල්ලකින් දිලන්ත මුල පිටුවේ සිට උඩින් පල්ලෙන් බලමින් කියවාගෙන ගියේ තමාට අවශ්‍ය වචන කිහිපය සොයා ගැනීමටයි. මේසය මත තිබූ හිස් කොළයක් ගෙන තමන්ට කීමට අවශ්‍ය පණිවිඩය වාක්‍ය කිහිපයක් ලෙස කුරුටු ගෑ දිලන්ත පොතට එබුනේ පොතේ කිහිප තැනෙකින් ඒ වචන සොයා ගන්නා අරමුණෙනි.
           දිලන්තගේ උත්සහය සාර්ථක වීය. ආදරය ප්‍රකාශ කිරීමට උචිතම ක්‍රමය මෙය යැයි තීරණය කරගත් ඔහු මේසය මත තිබූ රතු පෑනක් තම අතට ගත්තේය. තමා තෝරාගත් වචන සහිත පිටු සොයා ගැනීමේ පහසුව පිනිස මුල්ලකින් කොටසක් නවා තිබූ නිසා නැවතත් ඒ පිටු සොයාගැනීමට ඔහුට අපහසු නොවීය. රතු පෑන ගත් ඔහු තමා සොයා ගත් වචන යටින් ඉරි අඳින්නට විය. තමාගේ සම්පූර්ණ පණිවිඩය තේරුම් ගැනීමට නම් රන්දිකා විසින් මුළු පොතම කියවා වචන එකතු කර ගත යුතු ලෙස දිලන්ත තම පණිවිඩය සැකසුවේය.

අවසනදි දිලන්තගේ සිතට දැනුනේ මහත් සැහැල්ලුවකි. තමාගේ නිර්මාණශීලිත්වය ගැන ඔහු සිතෙන් උදම් විය.
ඊළඟ දිනයේ ඔහු කාර්යාලයට ගියේ මහත් ප්‍රබෝධයෙනි. තමාගේ පණිවිඩය සහිත පොත බෑගයේ තිබෙන බව දැන දැනත් කිහිප විටක්ම බෑගය හැර පොත තිබේදැයි පරික්ෂා කරන්නට තරම් ඔහු නොඉවසිලිමත් විය. වෙනදාට වඩා සතුටක් ප්‍රබෝධයක් දිලන්තගේ මුහුණේ ඇති බව රන්දිමාද නිරීක්ෂනය කළාය. එහෙත් කාර්යබහුල දිනයක් වූ නිසා කතා බහ කිරීමට ලැබුණේ දිවා ආහාර ගැනීමට යන මොහොතේදිය.

" අද හරිම බිසී නේද දිලන්ත. ඒ උනාට ඔයානම් සතුටින් වගේ වෙනදට වඩා..."

" මේ...මේ මමද ...ආ මෙ විශේෂයක් නෑ...ඒක නෙවේ පොඩ්ඩක් ඉන්න ඊයේ අරන් හිය පොතක් ආපහු ගෙනාවා..."

"මොකක්...! ඊයේ රෑම කියෙව්වද පොත...? "

රන්දිමා පුදුමයෙන් විමසූයේ පොත් කියවීමට එතරම් උනන්දුවක් දිලන්ත වෙත ඇතැයි නොසිතූ නිසාය.

"ම්ම්ම් කියෙව්වා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ... හැබැයි මේක ඇතුළෙ මම ඔයාට පොඩි මැසේජ් එකක් දාල තියනවා ගෙදර ගිහින් ඔයා පොත කියවන් යන්නකෝ...

රන්දිමාගේ දෑස පුදුමයෙන් විශාල විය. පොත අස්සේ තමාට පණිවිඩයක්...!දිලන්තගෙන්...! කිහිප දවසක සිට තමාට දැනුන හැඟීම සත්‍යක් වීදැයි රන්දිමාට සිතා ගැනීමට අපහසු විය. තමාද එය බලාපොරොත්තුවෙන් සිටියා නොවේද. දිලන්ත තමා තේරුම් ගත් අයුරු අපූරුය. තමාගේ පොත් කියවීමේ පුරුද්ද විවේචනය කරනු වෙනුවට ඔහු ඒ වෙනුවෙන් තමාට උදව් කලා පමණක් නොව තමා නිසාම පොත් කියවීමටද පෙළඹුනේය. ඒ හැරුණු විට ටික කළෙක සිට ඔහු ගැන තමාට දැනෙන විශේෂත්වය...ඔව් එය සත්‍යක් විය හැකිය. රන්දිමා විගසින් තම දිළිසෙන දෑස දිලන්තගෙන් සඟවා ගත්තාය. තම මුහුණෙන් මතුවන අමුතු සතුටක් ඔහුගේ දෙනෙතට අසුවේ යැයි බියකින් මෙන් ඈ බිම බලාගත්තාය.

" ආ...මේ මේ...මටද...හරි මම බලන්නම්කො ගෙදර ගිහින්..."

අමාරුවෙන් වචන ගළපාගත් රන්දිමා වහා පොත බෑගයට දමා දිලන්ත පිටු පසින් විවේක කාමරය වෙත ඇදුනාය. එදින දවස පුරාම දිලන්තත් රන්දිකාත් අතර වචන හුවමාරු වූයේ බොහෝ අඩුවෙනි. රන්දිමා මෙන්ම දිලන්තද සිටියේ දෙගිඩියාවකිනි.

හවස් යාමයේ කාර්යාලය නිම  වූ  පසු නිවසට යාමට කාර්යාලයෙන් එළියට බසින මොහොතේ දිලන්ත නැවත වරක් රන්දිකාට මතක් කිරීමක් කළේය.

" මතක් කරලා පොත බලන්න..."

රන්දිකා ලැජ්ජාශීලි සිනාවකින් යුතුව "හා"කියන්නට හිස වනා බිම බලාගෙනම කාර්යාලයෙන් පිට වූවාය. දිලන්තහේ සිත සතුටින් ඉපිළෙමින් තිබිණි. අද රාත්‍රියේ ඇය පොත බලනු ඇත. තමාගේ පණිවිඩය සොයා ගනු ඇත.

රාත්‍රිය උදා ව්ය. දිලන්තට ආහාර ගැනීමට පවා රුචියක් නොවූයේ මේ මොහොතේ රන්දිමා කුමක් කරනු ඇත්දැයි සිතීමෙනි. ආහාරත් නොගෙනම නින්දට ගියද නින්ද ඔහුගේ අහලකටවත් පැමිණියේ නැත. රාත්‍රී දොලහේ කණිසමටත් ඇඳේහි පෙරළි පෙරළී උන් දිලන්ත මේ වන විට නම් රන්දිමා පොත කියවා අවසන් කර ඇතැයි නිගමනය කරන්නට විය.
දිලන්තගේ දෑස් යන්තමට හෝ පියවුනේ පාන්දර යාමයේදීය. 

           පසුවදා උදෑසනම දිලන්ත ප්‍රබෝධයෙන් යුතුව කාර්යාලයට යාමට සූදානම් වූයේ පෙර දින නිදි වැරූවකුගේ කිසිදු ලකුණක් වත් මුහුණෙන් පළ නොකරමිනි. දුරකතනය දෙසත් කිහිප වරක්ම විමසුම් දෑස යොමු කලද රන්දිමාගෙන කිසිදු පණිව්ඩයක් ලැබී තිබුනේ නැත.

"ගිහිල්ලම බලනවා..."

අන්තිමේදී දිලන්ත සිතා ගත්තේය.

කාර්යාලය අසලටම ගිය පසුවත් දිලන්තගේ සිතේ කුඩා චකිතයක් ඇති වන්නට විය. රන්දිමා මේ වන විටත් පැමිණ ඇත්ද...! ඇගේ ප්‍රතිචාරය කුමක් වේද...! ඇය තමාට අකමැති වුවහොත්...! දෙගිඩියාවෙන් යුතුව කාර්යාලයට ඇතුළු වූ දිලන්ත තම අත්සන සටහන් කර වහා තමාගේ අසුන වෙත පියමන් කළේය.

ඔව්...ඇය පැමිණ ඇත...ඇය පෙනෙන්නට නොසිටියත් මේසය මත වූ ඇගේ බෑගය ඇය පැමිණ ඇති බවට සාක්ෂි දරන ලදි.  දිලන්තගේ හදගැස්ම වේගවත් වන්නට විය. කාර්යාලයට පැමිණි ඇය බෑගය තබා කොහි ගියේද. වෙනදානම් උදෑසන ආහාර ගන්නට තමා කැටුව යන්නට ඇය බලා සිටි...

දිලන්ත සැලෙන දෑතින් යුතුව තම බෑගය මේසය මත තැබුවේය. එක් ක්ෂනයෙන් ඔහුගේ දෑස යොමු වූයේ පරිඝනක යතුරු පුවරුවට කොනක් යට කර තිබූ සුදු පැහැ කඩදාසිය වෙතටයි.  තමා ඊයේ පිටත් වන විට මෙවන් කඩාදාසි කිසිවක් මේසය මත නොතිබූ බව දිලන්තට විශ්වාසය. ඔහුගේ දෙනෙත එක් මොහොතකින් කාන්තිමත් විය. එය රන්දිමාගේ පිළිතුර විය යුතුය. වහා ලිපිය අතට ගත් දිලන්ත වට පිට බැලුවේ කවුරුන් හෝ තමා දෙස බලා සිටින්නේදැයි දැන ගැනීමටය. තවමත් කාර්යාලයට පැමිණ ඇත්තේ කිහිප දෙනෙක් පමණි. වහා පුටුව පසෙකට කර එහි හිඳගත් දිලන්ත ලිපිය විවර කළේය.

ඔව් ...එහි වූ අකුරු රන්දිමාගේ බව හඳුනාගන්නට දිලන්තට අපහසු නොවීය.

හිතවත් දිලන්ත,
               
                මා ඊයේ රාත්‍රියේ පොත බැලුවා. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ලිපියක් එහි නොවීම කණගාටුවට කරුණක්. ඔබ පෑනකින් ඉරි ඇඳි පළමු වචනයෙන්ම පණිවිඩය තබා ඇතිතේ කෙසේදැයි මා තේරුම් ගත්තා. එතැනින් එහාට මට ඒ පණිවිඩය දැන ගැනීමේ උවමනාවක් පවා තිබුනේ නැහැ. ඉන් පසු මා පොත පෙරළමින් සොයා බැලුවේ ඒ අයුරින් පොතේ පිටු කීයක් නම් ඔබ විසින් විනාශ කර ඇත්ද යන වගයි. ඉරි ගසා පිටු විනාශ කරනවාට අමතරව පිටුවල කොන් නමා තිබෙනුද මම දුටුවා. ඒ ගැන මගේ සිතේ ඇති වුනේ කළකිරීමක්ම පමණයි. පොත් ඉතා හොඳින් ප්‍රවේසම් කරන ලෙස මා ඔබට පවසා සිටියා. ඉතිරි පොත් කිහිපයත් මෙවැනි තත්වයට පත් නොකර ලබා දෙන්නැයි මම ඉල්ලනවා. ඔබ පොත් කියවන්නට කැමත්තක් පෙන්වූයේ කුමන අරමුනෙන්දැයි මා දැන් දන්නවා. මේ වතාවේ මම ඔබට සමාව දෙනවා. එහෙත් අප තවදුරටත් යහළුවන් පමණයි. මේ සිද්ධිය මා මෙන්ම ඔබත් මෙතැනින් අමතක කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

                       මෙයට,
                       හිතවත්,
                       රන්දිමා.


ලිපිය කියවූ දිලන්තගේ දෑත වේගයෙන් ගැහෙන්නට විය. පිරිසක් මැද නිරුවත් වූවාක් මෙන් හැඟීමක් ඔහුගේ සිත වෙලාගනිමින් තිබිණි. තම යාබද අසුනේ සිටින රන්දිමාට තවදුරටත් මුහුණදෙන්නෙ කෙලෙසදැයි සිතමින් දිලන්ත තම අත වූ ලිපිය එක් අතකින් ගුලිකර ගනිමින් මේසයට හිස ඔබා ගත්තේය.

නිමි

නිරූපා ඇග හෝදනකොට රෑ දොලහත් පහුවෙලා. පිටි ටික තම්බ ගන්න හිතුවටත් වඩා වෙලා ගිය හින්දා ඔකොම වැඩ අවුල් උනා. ඒ මදිවට පොඩි දරුවත් නැගිට්ටනෙ. දරුවා නිදි කරන්නත් සෑහෙන්න වෙලාවක් ගියා. කොහෙද ඉතින් ගෙදර මනුස්සයෙක් හිටියට හදිස්සියට ලමයව වත් නිදි කරන එකක් යෑ. කොච්චර ලෙඩ ගානෙ හිටියත් නැන්දම්මා තමයි පොඩි එකාවවත් බලල දෙන්නෙ. මේ වෙලාවට කීයටවත් ඇග හෝදන්න දෙන්නෙ නෑ ගෙදර හිටියනම්. ඇග හේදුවත් රෑ දොලහට අම්මා හරි තාත්තා හරි එලියෙ ඉදීවි ඉවර වෙනකම්. හීතල වතුරෙන් හෝදන්න ටිකක් අමාරු උනාට ඇග හේදුවාම තෙහෙට්ටුව ඔක්කොම හෝදල ගියා වගේ දැනුනා. කොහොම උනත් රෑට පොඩි දරුවට දාඩිය පිටින් කිරි දෙන්න බැරි නිසා කොච්චර අමරු උනත් ඇග හෝදනවා. නිරූපා කාමරේට යනකොටත් පත්මෙ නිදි නැති බව ඈට දැනුනා. කිසිම කතා බහක් නැතුව ඉක්මනට ඇදට ගොඩ උනේ පාන්දර හතරට නැගිටින එක මතක් කරගෙන. ඉදි ආප්ප පන්සීයක් හදන්න වංගෙඩිය කරකවන කියන එක ලේසි වැඩක් නෙමෙයි. මුලදි මුලදි ඉදිආප්ප හදපු දවසට උරිස් කකියන්න ගත්තා. දැන් නම් ලොකුම ඕඩරයකදි ඇරෙන්න එහෙම්මම අමාරුවක් නෑ. කොහොම හරි කරල මේ ඉන්න නරා වලෙන් ගොඩ එන්නයි නිරූපට ඕන කලේ. ඇදට ගියාට එක පාරට නින්ද නොගියෙ දරුවා ආයිත් නැගිට්ට නිසා. තාම අවුරුද්දයිනෙ. කිරිත් හොයනව රෑටත්. පත්මෙගෙ අතකුත් එක පාරටම ඇගට දාපු නිසා නිරූපා බොරුවට නින්ද ගිය විදියටම හිටියා. උදේ හතරට ඇහැරෙයිද මන්දා ඇගේ හිතේ තිබ්බෙ එච්චරයි. ටික වෙලාවකින් පත්මසිරිගෙ අත අහකට ගන්නවා නිරූපට අඩ නින්දෙන් වගේ මතකයි. නිරූපා පාන්දරම නැගිටල ඉදි ආප්ප තම්බන්න පටන් ගන්නකොට හතර වෙලත් නැද්ද මන්දා . දානෙකට හින්දා උදේම දෙන්නත් එපැයි. කොච්චර පාන්දර උනත් වාහන වල නම් අඩුවක් නෑ පාරෙ. තේ පෙට්ටි ගෙනියන ලොරි, කොටන් ලොරි, කොලඹ බස් උදේ තුනේ ඉදන්ම යනවා. ඉදි ආප්ප ටික කාඩ්බෝඩ් පෙට්ටිවල අඩුක් කරන්න කියල පෙට්ටිත් දීලයි ගියේ. හත වෙනකොට එනව කිව්වනෙ . නිරූපා පත්මසිරි එක්ක ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. ඒත් තාම එතනමයි. තාත්තා ඉන්න කාලෙ හදන්න ගත්ත ගෙයි බාගෙට නග්ගපු බිත්තියකට තව එකම එක ගඩොලක්වත් වැඩිපුර තියන්න පත්මසිරිට බැරි උනා. නිවාඩු දවසටත් කිසිම වැඩක් නොකර ඔහේ ඉන්න තමයි හිත. නිරූපලගෙ ගෙදරින් නිතර විස්සෝප උනා ඈ ගෙවන මේ ජිවිතේ ගැන. " මක් කරන්නද දරුවො. උඹට මේකම ඕන කිව්ව මිසක් අපි නම් හිතකින් උඹව දුන්නෙ නෑ මෙතනට. " පහුගිය දවසක තාත්තා ඇවිල්ලා යනකොට නිරූපා වැන්ද වෙලාවෙ කිව්වා. අම්මා නම් කියන්නෙම ගෙදර ඇවිල්ල ඉන්න කියල ජෝඩුව එක්ක. ඒ මිනිස්සු දෙන්න හම්බකරන එක කතෑකිද රෙද්දක් ඇදගෙන. ආව දවසෙ ඉදන්ම මේ පිලිවලක් නැති ජීවිතේ ඈට තිත්ත වෙලයි තිබ්බෙ. කොටින්ම කිව්වොත් ලැට් එකට දොර හයි කරෙත් මම ආවමනෙ කියල නිරූපා හිතුවා. ඒක හයි කරන්න ආවමත් බාසුන්නැහේ කිව්වා උලුවස්ස දිරල නිසා දොරහයි කරන්න අමාරුයි කියලා. තාවකාලිකව කියල තමයි ඔය දොරත් හදල දීල ගියේ. දැන් ඉතින් ඕකට දොරවල් දාල වැඩක් නෑ. අලුත්ම එකක් හදවන්න තමයි ඉන්නෙ. තාත්තා මිනිස්සු එක්කන් එන්නම් කිව්වනෙ වල කපන්න. ඒවත් කරන්න ඉදිරිපත් උනේ අපේ ගෙදර මිනිස්සු. ඒ මිනිස්සුන්ට ලැජ්ජ ඇති දූ ඉන්නෙ හරියට ලැට් එකක් වත් නැති ගෙදරකයි කියන්න. ඒත් ඒකට ගෙදර ඉන්න මිනිස්සු. වහින වෙලාවට තෙමෙන්නෙ නැත්නම් කොහේ උනාම මොකද කියල ඇහුවම කිව්වෙ. නිරූපා ඉදි ආප්ප ටික අඩුක් කරල ඉදලත් අරන් මිදුලට බැස්සෙ පාර හරිය පොඩ්ඩක් අතු ගාලා දාන්න. පිට මිනිහෙක් ගෙදරට එනකොට මිදුල උනත් අතුගාල නොතිබ්බොත් ලැජ්ජාව ගෙදර ඉන්න ගෑණිට කියල ඉස්සර ඉදන්ම නිරූපලගෙ අම්මා කියනවා. ඒත් ගෙදරනම් මිදුල අතු ගෑවෙ තාත්තා තමයි. පොල් අත්තට මිදුල අතු ගානවා දැක්කත් හිතට පිරියයි. උදේට නැන්දම්මා දරුවව බලාගන්න නිසා ලොකු කරදරයක් නෑ. අනේ උන්දැ නම් ආව දවසෙ ඉදන්ම කිසිම කරදරයක් නෑ. වැඩක් කරොත් උදව්වක් තමයි. පොඩ්ඩක් කන ඇහෙනව අඩු එකයි පරහකට තියෙන්නෙ. දැන් මාස දෙක තුනක ඉදන් තමයි ඉදි ආප්ප තම්බන්නෙ. බෝඩ් එකක් ඇදල දෙන්න කියල පත්මෙට කොච්චර කිව්වත් තාම බොඩ් එකක්වත් ඇදල දුන්නෙ නෑ. අන්තිමේදී නිරූපම සුදු පාට ඉටි කොලේක කලු පාට ලැකර් ටිකක් ගාල " හවසට ඉදි ආප්ප" කියල ගහල ගෙට හැරෙන තැන ලයිට් කණුවෙ ගැහුවා. ඒක ගහපු වෙලාවෙ ඉදන්ම කියවිල්ල බෝඩ් එක පාරට වැඩී කියලා. එහෙනම් හරියට ගහල දෙනවකො කියල නිරූපා කිව්වත් ඒ ගැන වැඩි තැකීමක් කරේ නෑ. ඉදලත් අතේ තියන් වටපිට බලනකොට තමයි නිරූපට තේරුනේ බෝඩ් ලෑල්ල නෑ කියලා. ඒක එහාට වෙන්න කානුවට වැටිල තිබ්බා. කවුරුහරි මේක කඩල කාණුවට දාල. ඈට හිතුනෙම මේ වැඩේ කරන්න ඇත්තෙ එහා ගෙදරින් කියලා. එහා ගෙදරයි පත්මෙලගෙ අම්මලයි ඉස්සර ඉදන්ම නයි මුගටි වගේ කියල පල්ලෙහා ගෙදර සුදු අක්කා කිව්ව. කොස් ගහක හුටපටයක්. නිරූපා ඉදි ආප්ප තම්බන්න ගත්තට පස්සෙ ඒ මිනිස්සුත් පාර අද්දර කඩයක් දාල හවසට කෑම විකුණන්න ගත්තා. මුලදි තිබ්බ බිස්නස් එකෙන් ගොඩක්ම කැඩිල ගියා ඒ හින්දා. " පත්මේ පත්මේ ඒයි. පොඩ්ඩක් එන්නකෝ. කවුද මේ බෝඩ් එක කඩල විසි කරලනෙ. එන්නකො පොඩ්ඩක් " නිරූපා පාර අයිනෙ ඉදන් කෑ ගැහුවා. " කවරු විසි කරන්නද ඕයි ඕක. වාහනේක වැදිල විසි වෙන්න ඇති. මම ඕක හයි කරනකොටම කිව්වනෙ තමුසෙට" පත්මසිරි ගෙයි ඉදන් කෑ ගැහුවා. " නෑ නෑ මේකනම් ගලවල විසි කරලමයි. මම ඔහෙට කිව්වනෙ මේක හරියට ගහල දෙන්න කියලා." නිරූපා හැඩුම් ස්වරයෙන් කතා කරා. "'හරි හරි මම බෝඩ් එකක් අන්දල දෙන්නම්. හැබැයි අදනම් නෙමෙයි. " ඔය මිනිහ ඔයිට වඩා උත්තරයක් නොදෙන බව නිරූපා දන්නවා. ඉදි ආප්ප ගෙනියන්න කට්ටිය ආව නිසා නිරූප ගෙදරට යන්න අනිත් පැත්ත හැරුනෙ පෙට්ටි ටික පාරට ගෙනත් දෙන්න. ------- අදත් උදේ පරක්කු වෙලා ආව එකට ටී මේකර් මහත්තයා දොස් කිව්වා. " මොකද්ද මනුස්සයො මේ වැඩේ තේරුම. ලෝඩ් එකක් ගෙනියන්න තියෙන දවසට ඉස්සරින්ද රෑට ෆැක්ට්රියෙ ඉන්නවකො. පරක්කු උනාම දැන් හවසට යවන ලෝඩ් එක යවන්න වෙන්නෙ නෑනෙ. අලුත බැදපු මිනිහෙක් වගේනෙ ගෙදර දුවන්නෙ" අලුත බැදපු මිනිහෙක්ම වෙන්න ඕනද හැමදාම ගෙදර යන්න. සර් නම් ඉතින් සතියට දවසනෙ යන්නෙ. වීරසිරි හිතින් හිතුවා. " හරි හරි සර් මම ලෝඩ් එක බාල එන්නම්.හයි වේ යනව නම් මහ අමාරුවක් නෑ. හැබැයි ගල් වලේ යන්න බඩු ගන්න අරව මේවා තිබ්බොත් නම් බෑ සර්. " මුන් හිතන් ඉන්නෙ කොලඹ ගිහින් ටෙන් වීල් එකක් කරකවන එක හරි ලේසි වැඩක් කියලා. යකඩ ගේන්න ගල් වලේ යන්න කියයි. පෝර ගේන්න බවර් එකට යන්න කියයි. එක වැඩක්ද. ඔය කියන උන් කොලඹ ෆුට් සයිකලයක්වත් පැදල නෑනෙ. හිතන් ඉන්නෙ මේක හරි ලේසි රස්සාව කියලා. වීරසිරි මේකෙ පරණම ඩ්රයිවර් කෙනෙක්. කවුරුවත් මුකුත් කියන්න ආවෙ නෑ. කොටින්ම කිව්වොත් බෝනස් ලිස්ට් එකෙත් මුලින්ම තියෙන්නෙ මිනිහගෙ නම. මගදි තෙල් ඇදිලි. බඩු හොරකම් කිරිලි ඔය එකකටවත් කවදාවත් මිනිහගෙ නම ඈදුනේ නෑ. පාන්දර ලොරිය මොර ගහ කන්ද පල්ලමේ එන කොට ඉස්සරහින් ආව බවුසරේකට ඉඩ දෙන්න ගිහිල්ලා ලොරියෙ සයිට් කන්නාඩිය වැදිල පොඩි ගෙදර ඉස්සරහ ගහල තිබ්බ බෝඩ් ලෑල්ල ගැලවිලා ගියා. වෙන වෙලාවකනම් බැහැල අරන් දෙනවමයි. හොදටම පරක්කු වෙලා නිසා බෝඩ් එක ආයිත් ඇහිදින්න වෙලාවක් තිබ්බෙ නෑ. හැමදාම හවසට ඔතන මැස්ස උඩ තියාගෙන තරුණ ගෑණු කෙනෙක් ඉදි ආප්ප විකුණනවා වීරසිරි දැකල තියෙනවා. ගොඩක් වෙලාවට පොඩි දරුවෙකුත් වඩන් තමයි ඉන්නෙ. ඒ දරුවගෙ වයසෙ වගේමයි වීරසිරිගෙ මද්දුම දරුවත්. පොඩි එකෙක් එක්ක ඉදි ආප්ප සුමෙත් ලේසි නම් නැතුව ඇති කියල වීරසිරිට හිතුනා. " මොකෝ වීරසිරි අයියා අද බර කල්පනාවක. ටී මේකර් මහත්තයා බැනපු එකද?" ලොරියෙ ගෝලය කුමාර ඇහුවා. මිනිහා තනමල්විල පැත්තෙ. ගොවිතැන් නැති කාලට මේවයෙ වැඩට එනවා. " පිස්සුද මල්ලි . මම ඔය කාවවත් කෙයාර් කරන මිනිහෙක් නෙමෙයි බව උඹ දන්නවනෙ. මම ඔතනින් සලකන්නෙ සුදු මහත්තයාට විතරයි. " සුදු මහත්තයා කිව්වෙ අයිතිකාර මහත්තයා. වීරසිරි හා හා පුරා කියල ලයිසන් එක ගත්ත ගමන්ම වැඩට ආවෙ සුදු මහත්තයා ලගට තමයි. " මං හිතුවෙ ලොකු කල්පනාවක හිටපු හින්දා" . " නෑ නෑ බං ඔලුවෙ පොඩි වැඩක් තියෙනවා. ලෝඩ් එක ඉක්මනට බා ගත්තොත් කරගෙන එන්න. ආයි දවල් ලෝඩ් එකකුත් තියෙනවනෙ. ඒ හින්දා බලමුකො." කුමාර වැඩිය මුකුත් අහන්න ගියේ නැත්තෙ හාර හාර අහන්න නොගියෙ වීරසිරි වැඩිය කතා නැති මිනිහෙක් හින්දා. දෙවනි ලෝඩ් එකත් බාල එනකොට හොදටම හවස් වුනා. ඉදි ආප්ප ගෙදරට ගොඩ වෙන්න හිතන් හිටියට අද ඉදි ආප්ප විකුණුනේ නෑ. පේන්න කවුරුවත් හිටියෙත් නෑ. " අද ඉදිආප්ප විකුණන්නෙ නැද්ද දන්නෙ නෑ නේද ?" වීරසිරි පල්ලෙහා ගෙදර ගෑණු කෙනාගෙන් ඇහුවා. " නෑ මං හිතන්නෙ. අල්ලපු ගෙදර එක්ක රණ්ඩුවක් ගිහින් පොලිසි ගිහිල්ලා" කියාගෙන ඒ මනුස්සයා ගේ ඇතුලට ගියා. අල්ලපු ගෙදර කඩෙත් වහල තිබ්බ. කීයට ඒවිද දන්නෙ නෑනෙ. අනෙක මිණියක් මරලයෑ . බෝඩ් කෑල්ල කැඩුන එකනෙ. ඒකට කමක් නෑ දැන් ගෙදර යනව කියල හිතපු වීරසිරි ලොරියෙන් රෝල් කරපු පාර්සලයක් එකක අරන් මැස්ස උඩින් තියලා යන්න ගියා. ඊලග දවසෙ දවල් ලෝඩ් එක අරන් කොලඹ යනකොට " හවසට ඉදි ආප්ප " කියල දාපු අලුත් බැනර් එක මිදුලෙ ගහල තියෙනව දැක්කම වීරසිරිට හීන් හිනාවක් ගියා.

 

බුද්ධිකා අබේසුන්දර

අකුණු. ( කෙටි කතාව )
රාධිකා කවමදාවත් තිවංකට පෙනෙන්න ඇඬුවෙ නෑ. ඔව්... එදත්...! ගුවන්තොටුපලෙන් උදේ හතකුත් ගාණකට ගුවන් යානයට නැඟිලා දුරකට යන වෙලාවෙවත් රාධිකාගෙ ඇස් වලින් කඳුලක් වැටුනෙ නෑ... ඔව්...ඒ ඇස් වලින්...හිතෙන් නෙවෙයි...! අලුත් ජීව්තයකට අලුත් අනාගතේකට අලුත් පාරක් හොයාගෙන යන තිවංකට හිනාවෙලා ආශිර්වාද කරා හැරෙන්න තමන්ගේ ඇස් වලින් කඳුලු වට්ටලා සුබ ගමන මූසල කරන්න රාධිකාට ඕන උනේ නෑ. තිවංක විදෙස් රටකට යන්න ඕන කියපු දවසෙමයි රාධිකාගෙ හිත ඇතුලෙන් පළවෙනි අකුණ කෙටුවෙ. එච්චර ලොකු කාලයක් එච්චර ලොකු දුරක් ඈත් වෙලා ඉන්නෙ කොහොමද කියල රාධිකාට හිතුනත් මුවින් එක වචනයක් පිටවුනේ නෑ. හිතේ තියන ආදරේ බැඳීම් වෙනුවෙන් තිවංකගෙ දියුණුවට අකුල් හෙලන්න රාධිකාට හිත දුන්නෙ නෑ. දුරක හිටියත් බැඳීම් නැති වෙන්නෙ නැති බව හිතලා රාධිකා හෙමීට හිත හදාගත්තා.
විවාහ වෙලා අවුරුද්දකුත් ගත වුන තැන තිවංක විදෙස් ගත වුන එක රාධිකාගෙ දෙමව්පියන්ට නම් ඒ හැටි සතුටක් උනේ නෑ. තිවංකත් රාධිකත් ජීවත් වුන නිවසේ තනියම ඉන්නවට වඩා ගෙදර ඇවිත් ඉන්න එක වැඩිය හොඳ බව රාධිකාගේ අම්මා පුන පුනා කීවත් තිවංකගෙත් තමන්ගෙත් සුන්දර මතක කැටිවුන තමන්ගෙ නිවස දාල යන්න රාධිකාට හිත දුන්නෙ නෑ. ලඟ පාතම අම්මලා ඉන්න නිසා රාධිකාට බයක් දැනුනෙත් නෑ. කොහොම උනත් රාධිකාගේ දෙමව්පියො නිතර දෙවේලෙ රාධිකාගෙ නිවසෙම ගත කරන්න හුරුවුනේ තමන්ගෙ දරුවා තනි කරන්න තියන අකමැත්තට. තිවංකගෙ දෙමව්පියො හිටියෙ ටිකක් දුර උනත් පුළුවන් හැටියෙ රාධිකාව බලල යන්න ඒ උදවිය අමතක කලෙත් නෑ.
මුල්ම කාලේ තිවංකගෙන් නිතර නිතර ඇමතුම් ලැබුණත් කාර්යබහුලත්වය නිසාම අකමැත්තෙන් උනත් ඇමතුම් වලට කාලය සීමා කරන්න තිවංකට සිද්ධ වුනා. රාධිකා රැකියාවෙන් මිදිලා හැම හවස් වරුවකම වගේ ලහි ලහියෙ නිවසට ඇවිත් සේරම වැඩකටයුතු අහවර වුනාම දුරකතනය දිහාම බලන් හිටියෙ කොයි මොහොතක හරි තිවංකගෙන් ඇමතුමක් ලැබෙයි කියලා. සමහර වෙලාවට ඇමතුම් ගන්න නොලැබෙන බව කලින්ම තිවංක දැනුම් දුන්නත් රාධිකා පුරුද්දට වගේ මඟ බලන් හිටියා. ඇමතුමක් නොලැබෙන තැනදි සුසුමක් හෙලල හිත හදාගන්න රාධිකා, එළියට එන්න හදන කඳුළු වලට ඉඩ නොදී මුණ කොට්ටයට තද කරගත්තා.
දෙන්නම එකතු වෙලා එකට ගත කරපු ජීවිතය රාධිකාගේ හිතේ හැමතිස්සෙම හොල්මන් කරා. යන එන හැම තැනකදිම පරණ මතක අලුත් වෙද්දි හමුවෙන දකින හැම කෙනාගෙන්ම ලැබුණ එකම ප්රශ්න ගණනාව රාධිකාට කටපාඩම් උනා.
"මහත්තයා මොකද කරන්නෙ ? "
"කොහෙද රට...මොකද කරන්නෙ...කවදද එන්නෙ... කොච්චර කල්ද ගිහින්...?"
රාධිකා රොබෝ කෙනෙක් වගේ එකම උත්තර ටික හැමෝටම කියාගෙන ගියා. පාඩම් කරගෙන ගිහින් විභාගෙට උත්තර ලියනවා වගේ ලේසියෙන් උත්තර දුන්නත් ඒ ප්රශ්න රාධිකාගේ ඔලුවට වෙහෙසක් එක් කරා.
ගෙදර දොරේ මහලොකු වැඩපලක් නොතිබුණ නිසා රාධිකා හැමදාමත් රැකියාවට නියමිත වෙලාවට වාර්තා කලා. නිවසේ ඉවුම් පිහුම් දරුවන්ගෙ වැඩ සැමියගෙ වැඩ සේරම එකලාසයක් කරලා පරක්කු වෙලා වැඩට එන පිරිස අතරෙ රාධිකාට එහෙම අපහසුවක් තිබුණෙ නෑ. සමහර වෙලාවට පැවරුන වැඩක් තමන්ගෙම පහසුව වෙනුවෙන් හවස් වෙන තෙක්ම ඉඳල අවසන් කරල යන්නත් රාධිකා දෙපාරක් හිතුවෙ නෑ.
" මිනිහත් රටනෙ....රෑට රෑවෙලා එන්නෙ රස්සාවට යනව කියල මොන මඟුලෙ යනවද කවුද දන්නෙ...! "
රෑ බෝවෙලා ගෙදරට එන එහෙමත් දවසක හන්දියෙ කඩපිල ලඟ පිරිසක් ඒ විදිහෙ කතාවක් කියල තියන බව රාධිකාගෙ අම්මා කියපු වෙලාවෙ රාධිකාගෙ හිත ඇතුලෙන් අකුණක් පිපුරුවා.
" ඔයාට නම් මොකද කරන්න වැඩක් තියනව කියලද. මහත්තයත් නෑ දරුවොත් නෑ... ජොලියෙ කාල බිලා ඉන්නවා...අපිට ඒ වගේද ඉතින්..."
කාර්යාල මිතුරියක් ඉස්සරවෙලාම එහෙම කිව්ව දවසෙ රාධිකාගෙ හිතේ ආයෙමත් අකුණක් පිපුරුවා.
" රාධිකාගේ හස්බන්ඩ් මොකද කරන්නෙ...?"
පුරුදු ප්රශ්නෙම ආයෙමත් වතාවක් රාධිකාට යොමු වුනේ ආයතන කළමනාකරුගෙන්.
" හස්බන්ඩ් රට සර්...! "
ඔලුව උස්සලා රාධිකා දිහා බලපු කළමණාකරුගෙ මුවින් ඊළඟට පරණ පුරුදු ප්රශ්න ටිකම ඇහෙනකොට රාධිකා කටපාඩමින් වගේ උත්තර දීගෙන දීගෙන ගියා.
" මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් දාල හස්බන්ඩ් කොහොම රට ගියාද මන්දා..."
හුරුපුරුදු ප්රශ්න ටික අවසානයෙ අලුත් ප්රශ්නයක් කනට වැටෙනකොට රාධිකාගේ හිත ඇතුලෙ අලුතින් අකුණක් පිපුරුවා.
කළමණාකරුගෙ දිළිසෙන ඇස් දෙක රාධිකාගෙ ඇඟ පුරා දුවනකොට ඒ නොදැක්ක ගාණට එතැනින් ඉවත් වෙලා ගියත් රාධිකාගේ ඔලුව ඇතුලෙන් රතු එළියක් දැල්වෙමින් තිබුණා.
හවස් වරුවෙ ලහි ලහියෙ නිවසට දුවගෙන එන රාධිකා කියන්න තියන හැමදේම කියල හිත සැහැල්ලු කර ගන්න තිවංකගෙ ඇමතුමක් ලැබෙනකන් මඟ බලාගෙන හිටියා. රෑ අඳුර එබිකම් කරන වෙලාවට තිවංකගෙ මූණ දුරකතන තිරයෙන් දකිනකොට රාධිකාගේ හිත ආයෙමත් පහුබහිනවා. මහන්සිය නිදිමත බේරෙන ඇස් දෙක අමාරුවෙන් ඇර ගෙන විනාඩි පහකට හරි තමන්ට ඇමතුමක් ගන්න තිවංකට තමන්ගෙ කාර්යාලයේ ප්රශ්න කියල තවත් වෙහෙස කරවන්න රාධිකාගෙ හිත අදි මදි කරා. සේරම ප්රශ්න හිත අස්සෙ හංඟගන්න රාධිකා ලස්සන හිනාවක් මූණට එක්කරගෙන ඒ මොහොතෙ තිවංකත් එක්ක ජීවත් වුනා. කතා කරන අතරතුරම දෑස් පියවෙලා නින්දට යන තිවංක දිහා බලාගෙන සුසුමක් හෙලන රාධිකා දුරකතන ඇමතුම විසන්ධි කරලා කොට්ටයට මුණ තද කරගත්තා.
ආයෙමත් දවසක හිතේ තදකරගෙන ඉන්න හැම දෙයක්ම කියන්න හිතාගෙන තිවංකගෙ ඇමතුමට සම්බන්ධ උනත් රාධිකාගෙ මුව ආයෙමත් ගොළුවුනා. කියන්න තියන හැමදේටම විසඳුම එකම දෙයක් නිසා හැම දුකක්ම හිතේ තියාගෙන රාධිකා එකම ප්රශ්නයක් හැමදාම තිවංකගෙන් ඇහුවා.
" ඔයා කවද්ද එන්නෙ...? "
" දැන්ම ඇවිත් බෑනෙ තව ටිකක් ඉවසලා ඉන්න..."
හැමදාම අහපු ප්රශ්නෙට හැමදාම දෙන උත්තරේ අවුරුදු හතක් තිස්සෙම වෙනසක් නොවුන එක ගැන රාධිකා කවදාවත් ප්රශ්න කලේ නෑ.
තිවංක කාර්යබහුල වෙන්න වෙන්න ලැබෙන ඇමතුම් ප්රමාණය අඩු උනා. වැඩ කරන අතරතුර ලැබෙන පුංචි විවේකයේ කෑම කන අතරතුර විනාඩ්යක් දෙකක් කතා බහ කරත් රාධිකාත් කාර්යාලයේ වැඩ කරන නිසා බොහෝ වෙලාවට ඒ ඇමතුම් මඟ හැරුනා.
රාධිකා මිතුරු මිතුරියන්ගෙන් ඈත් වුනා. ඒ හැම කෙනෙක්ම තමන්ගෙ පෙම්වතා හෝ සැමියා එක්ක ගත කරන ජීවිතේ ගැන කතා කරන වෙලාවට රාධිකා ගොළුවුනා. මගුල් උත්සව ප්රිය සම්භාෂණ වගේම පිරිස එකතුවෙන කොයි තැනත් මඟ හරින්න රාධිකා දෙපාරක් හිතුවෙ නෑ. පිරිස ගැවසෙන හැම තැනකම තනිකම වැඩිපුර දැනෙන බව රාධිකාට තේරුම් ගියා. හැමතැනින්ම නැඟෙන එකම ප්රශ්න ටික පිටින් බලන කෙනෙකුට සාමාන්යයි වගේ පෙනුනට රාධිකාගේ හිතේ පීඩනය දෙගුණ තෙගුණ කරන්න ඒවට පුළුවන් උනා. ඒ ප්රශ්න වලින් බේරෙන්න ඕන නිසාම හැමදෙයක්ම මඟහරින එක හොඳම දේ කියල රාධිකා තීරණය කලා.
විදේශගත වෙලා හිටපු ගමේම කෙනෙක් උන සමන්ත ලංකාවට ආපු ආරංචිය රාධිකාගෙ කන් වලටත් වැටුණා. ඔහුත් හිටියෙ තිවංක ඉන්න රටේම වුනත් එකම ප්රදේශයෙ නෙවෙයි වෙන්න ඇති කියල රාධිකා හිතුවෙ එහෙම දැනන් හිටිය නම් තිවංක ඒ ගැන තමන්ට කියන බව දන්න නිසයි.
තවත් දින කීපයකින් නිවාඩු පාඩුවෙ රාධිකා තමන්හෙ අම්මත් එක්ක ගෙදරට වෙලා ඉන්න මොහොතක සමන්තගෙ අම්මා තමන්ගෙ ගේ දිහාවට එනවා දැකපු රාධිකා ටිකක් නොසන්සුන් උනා. ඒ වෙනකොටත් මාසයකින් විතර තිවංකගෙන් කෙටි පණිවිඩ කීපයක් හැරෙන්න රාධිකාට ඇමතුමක් නොලැබුන තරම්.
රාධිකාගේ අම්මත් එක්කත් ටික වෙලාවක් කතා කර කර හිටපු සමන්තගෙ අම්මා රාධිකා දිහාවට හැරුනෙ ලොකු කතාවක් කියන්න බව රාධිකාට තේරුණා.
" දුවේ..., මේව කිව්වයි කියල කලබල වෙන්නෙපා. තිවංක පුතා ලඟදි කතා කරේ එහෙම නැද්ද...?
" ඇ...ඇයි නැන්දෙ...? වැඩ නිසා තිවංක කතා කරනව ටිකක් අඩුයි..."
" හ්ම්ම්...මේවා කතා බහ කරල විසඳගන්න කලබල නොවී. අපෙ පුතා කීප වාරයක් දැකල තියනව තිවංක පුතා ලංකාවෙන් ගිය ගෑණු පරානයක් එක්ක එහෙ මෙහෙ ඇවිදිනවා. පුතාට ආරංචි උන හැටියට නම් දෙන්නත් එක්ක පවුල් කනවලු එහෙ...කෝකටත් ඩිංගක් හොයල බලන්න දුවේ..."
සමන්තගෙ අම්මා කියපු කතාවෙන් රාධිකා අන්දමන්ද වෙලා එතැනම බිම ඉන්දවුණා. ලොකු අකුණක් හිස මුදුනෙ ඉඳන් දෙපතුල වෙනකන් ඇඟ පසාරු කරගෙන ගියා වගේ රාධිකා සලිත වෙලා ගියා.
.....................................................
අවුරුදු ගාණකින් තමන් ඉස්සරහට හිනාවෙවි එන තිවංකගෙ සුන්දර මුහුණ වෙනදාටත් වඩා ලස්සනට රාධිකාට පෙනුනා. කී දෙනෙක් කීයක් නම් කතා කිව්වත් තිවංක කවදාවත් තමන්ට වැරැද්දක් නොකරන බව දැනන් හිටපු රාධිකා හැමදාමත් බලන් හිටියෙ තිවංක තමන් ළඟට ආපහු එනකන්. ඉතිං ඒ මොහොත මේ වෙද්දි උදාවෙලා කියලා රාධිකාට දැනුනා.
රාධිකාට මහ හඬින් ඇඬුනා. කවාදවත් තිවංක ඉස්සරහ කඳුලක් හෙලලා තමන්ගෙ දුක නොකීව රාධිකා මහ හඬින් අඬාගෙන තිවංකට තුරුලු උනා.
" තිවංක ...තිවංක...මම ..මම දැනන් හිටියා ඔයා එනවා කියලා...මම දැනන් හිටියා ඔයා මට බොරු කරන්නෙ නෑ කියලා...මම දැනන් හිටියා මිනිස්සු කියන්නෙ බොරු කියලා..."
හිතේ තියන ඔක්කොම දුක් ගැනවිලි කියමින් මහ හඬින් වැළපෙමින් හැමදාමත් වගේ වාට්ටුවට එන දොස්තර මහත්තය බදාගෙන වැලපෙන රාධිකා සන්සුන් කරන්න හෙදියො දෙන්නෙක් ඉක්මන් ගමනින් රාධිකාගෙ ඇඳ ළඟට ආවා.
නිමි.
පුෂ්පිකා විජේරත්න.
 

නෙතූගෙ හිත පුදුමාකාර සතුටකින් ඉපිළිලා. තමන් හැමදාමත් පැතුවෙ මේ ජීවිතේ නේද කියල සිහියට එද්දි නෙතූගේ දෑස් අග කඳුළු පිරෙනවා...ඔව්..සතුටු කඳුළු.
. තමන් කොයි තරම් නම් වාසනාවන්තද...!
               මලින්ද එක්ක ගෙවන මේ සුන්දර ජීවිතයට කවදාවත් වෙනසක් අසතුටක් එක් වෙන්න එපා කියලා නෙතූ හදවතින්ම ප්‍රාර්ථනා කළා. පස් අවුරුදු ප්‍රේම කතාවකින් නෙතූත් මලින්දත් විවාහපත් උනේ දෙපාර්ශවයේම මව්පිය ආශිර්වාදයද මැදයි. තමන්ටම කියල හදාගත්තු සුන්දර පුංචි නිවසෙ ආදරයෙන් කල් ගෙවන නෙතූ- මලින්ද යුවලට වැඩි කල් නොයාම දරු සෙනෙහස විඳින්නත් වාසනාව උදා වුනා.
           දරු දෙන්නෙකුගෙ මවක් වෙච්ච නෙතූ රැකියාවට සමුදුන්නෙ දරුවන් දෙන්නා වෙනුවෙන්මයි. එහෙම උනයි කියල නෙතූටත් මලින්දටත් ඒ තරම් අඟහිඟයක් නොදැනුනේ මලින්ද හොඳ රැකියාවක නියුතු උන නිසා. මලින්ද කොහොමත් බොහොම අරපිරිමැස්මෙන් මුදල් වියදම් කරන කෙනෙක්. එහෙමයි කියල මලින්ද කිසිම දවසක නෙතූටවත් දරුවන්ට වත් අඩුපාඩුවක් කළේ නැහැ.
                 මලින්දගෙ සමහර ම්තුරෝ වැඩ අවසන් වුණ ගමන් මත්පැන්හලට යන්න පුරුද්දක් ඇතිකරන් හිටියත් මලින්දගෙ ජීවිතේ ඒ වගේ දේවල් වලට ඉඩක් තිබුණෙ නෑ. වෙහෙසකර දවසක අවසානයේ මතෙන් සිහි විකල් කරගන්නවට වඩා තමන්ගෙ ආදරණිය බිරිඳත් දරුවො දෙන්නත් එක්ක එකට ගත කරන හෝරා කිහිපයට මලින්ද බොහොම ප්‍රිය කළා. පුළුවන් හැටියට පුළුවන් වෙලාවට නෙතූගෙ ගෙදරදොර වැඩකටයුතු වලටත් මලින්ද කැමැත්තෙන්ම සහය වුණේ රැකියාවක් නොකළත් ගෙදර දොරේ වැඩඩකටයුතු එක්ක ඔට්ටු වෙන ගමන් දරුවන්  බලාගන්න නෙතූ අපමණ වෙහෙසක් දරණ බව දන්න නිසා.
             මාසෙකට දෙතුන් වතාවක් නෙතූවත් දරු දෙන්නවත් අරගෙන කොහේහරි ටිකක් ඇවිදල පුංචි හෝටලේකින් කෑම කාලා ටිකක් විනෝද වෙලා එන්න මලින්ද ආස කරා. සමහර වන්දනා ගමන් වලටනම් අම්මල තාත්තලත් එකතු කරගෙනම යන්න නෙතූත් මලින්දත් අමතක කරේ නෑ. වෙනම ගෙදරක පදිංචි වෙලා හිට්යත් ළඟ පාතම ඉන්න මලින්දගෙ අම්මා නිතර දෙවේලෙ මලින්දගෙ නිවසට ගියා. මලින්දගෙ අම්මා නෙතූට සැලකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ. පුංචිම වත් හිත් රිදීමක් අද වෙනතුරුත් නැන්දම්මගෙන් නෙතූටවත් නෙතූගෙන් නැන්දම්මට වත් වෙලා නෑ...

දරුවො දෙන්නත් නිදි කරවලා ගෙදර වැඩත් අහවර කරලා ලැබුණ පුංචි ඉස්පාසුවේ තේ කෝප්පයක් රසවිඳින ගමන් නෙතූ කල්පනා කරමින් හිටියෙ තමන් කොයි තරම් වාසනාවන්ත බිරිඳක්ද කියලා.

සාලය දිහාවෙන් මලින්දගෙ කටහඬ ඇහෙනකොට නෙතූ පුදුමයට පත් වුණේ අද දවසේ වරුවක් කලින් නිවසට පැමිණෙන බවක් මලින්ද කලින් නොකී නිසා. ඒ එක්කම පුංචි හිනාවකුත් නෙතූගෙ මුවින් නික්මුනේ සමහර දිනවල නොකියාම තමන් පුදුමයට පත් කරන්න පුංචි පුංචි දේවල් මලින්ද මේ විදිහට කරන බව දන්න නිසා.
 
මලින්දව පිළිගන්න නොඉවසිලිමත් වුණ නෙතූ තේ කෝපපය මේසේ උඩින් තියලා ඉක්මනින් සාලය දිහාවට පියවර තිබ්බා. ඉක්මන් ගමනින් යන නෙතූගෙ ගමන එකපාරට නැවතුනේ තමන්ගෙ දිග කොන්ඩය කොහේහරි පැටලිලා ඇදෙන බව දැනුන නිසා.

ඒත් කොණ්ඩය ඇදුන තැනින් දැනුන වේදනාවත් එක්කම තමන්ගෙ ළඟින්ම කන් බිහිරි කරවන තරම් සද්දෙකින් මලින්දගෙ කටහඬ නෙතූට ඇහුනා.

" නැඟිටපන් ගෑණියේ....! "

මෙතෙක් වෙලා නින්දක ගිලිලා හිටපු නෙතූ අවදි උනේ ඒ සද්දෙට. මහන්සියටම මුණින් අතට වැටිල දරුවො දෙන්න ළඟ නින්ද ගිහින් හිටපු නෙතූගෙ හිස රිදෙන තරම් තදින් කොන්ඩයෙන් අල්ලගෙන හිටපු මලින්ද වේගයෙන් නෙතූගෙ හිස සෙලෙව්වා.

මතින් සිහිය විකල් වෙලා හිටපු මලින්දගෙ ඇස් ගොරක මද වගේ රතු පැහැ ගැන්විලා . ඒ ඇස් වලින් නික්මුනේ කියාගන්න බැරි තරමෙ කෝපයක්. බයේ ගැහෙමින් හිටිය නෙතූගේ නිදිමත එක් මොහිතකින් අතුරුදන් වෙලා ගියා. කොන්ඩයෙන්ම නෙතූව තමන් ලඟට ඇද ගත්තු මලින්ද නෙතූගෙ කම්මුල පුපුරා යන තරම් වේගයෙන් අතින් පහර දුන්නා.

" උ...ඹ... කා...ල  බී...ල සැපට නිදි නේද ගෑණියෙ...!  මෙ...මේ.. මං ගැන උඹට වගේ...වගක් නෑ නේ...මට...නැතත්....ම...ම...අර ඉන්න මගෙ අහිංසක අම්ම...ගැන වත් බලන්න බෑ නේද උඹට...! ඒ මනුස්සය මැ...මැරෙන්න වැටිල හිටියත් උඹ බලන්නෙ නෑ නේද...බලපන් කොච්චර අමාරුවෙන්ද ඒ මනුස්සය ඉන්නෙ...උයල පිහල දෙනකලුත් උඹ...බුදි නේද..?"

මත්පැන් නිසා මලින්දගේ වචන පැටලුනත් සද්දෙ නම් ගෙදර දෙදරවන තරම් උනා. නින්දෙ හිටපු දරුවො දෙන්නත් නැඟිටලා හැමදාම වගෙ ඇඳ කොනේ ගුලිගැහිල වෙව්ලමින් මේ දිහා බලාගෙන හිටියා.

නෙතූ ගෙදර දොර වැඩපල සේරම අහවර කරලා රෑ කෑමට බතකුත් සම්බෝලෙකුත් හැදුවෙ ගේ හරියෙ උයන්න කියල වෙන කිසිම දෙයක් නොතිබ්බ නිසා.  කාටත් කලින්ම මලින්දගෙ අම්මට බත් පිඟාන බෙදල වෙන් කරපු නෙතූ දරුවො දෙන්නටත් වදෙන් පොරෙන් කෑම කැව්වත් තමන්ගෙ බඩට තේ උගුරු කීපයක් දාගත්තෙ තමනුත් කෑවොත් තියෙන බත් ටික මලින්දට මදි වෙයි කියල හිතලා. කිසිම වගේ වගක් නැතිව හරියට මාළු පිණි නැතිව කන්න බෑ කියල නෙතූටත් බනින ගමන්ම බත් පිඟානම හිස් කරපු මලින්දගෙ අම්මා රූපවාහිනිය ලඟින් හෙල්ලුනේ වත් නැත්තෙ ඇය ආසම කරන ටෙලි නාට්‍ය මඟ හැරෙයි කියලා.

එහෙම හිටපු අම්මට තමන් ඇඳට වැටුනු ඇය බාගයට එකපාරටම අසනීප උනේ කොහොමද කියලා නෙතූට හිතාගන්න බැරි උනා.මලින්ද  තමන්ගෙ කෙස් වැටිය එක සැරෙම අතහරින මොහොතෙ කාමරේ දොර ලඟින් ඡායවක් එහා මෙහා වෙන හැටි නෙතූගෙ ඇස් වලට යන්තමට අහු වුණා.

නෙතූව තල්ලු කරල දාපු මලින්ද අහන් ඉන්න අමාරු කතා පටලව පටලව කියමින් කාමරයෙන් එළියට ගියා. තවත් මොහොතක් ගත වෙන්න කලින් මලින්දගෙ අම්මා අඬ අඬා මොනවාදෝ මලින්ද අතින් කියන හැටි  නෙතූ අහගෙන හිටිය.

" අනේ පුතේ...මේ තියන කරදර මදිවට උඹත් බීගෙන ආවම මම කොහොමද ඉවසන් ඉන්නෙ. දවස තිස්සෙම ගේ වැඩපල කරල මගෙ කොන්දත් රිදෙනවා. ගේ තිබ්බ හාල් ටික අතපත ගාල අරන් බතක් උයල සම්බෝලයක් හැදුවෙ මගෙ පුතා මහන්සි වෙල ගෙදර එන නිසා ... අරකි කලින්ම කාල ළමයි එක්ක බුදියගත්තෙ...මං කෑවද බීවද බලන්නෙ නෑ පුතේ... ඉතිරි කරල තිබ්බ බත් ඩිංග පුතාට බෙදල තියනවා හොඳ එකා වගේ කාල නිදාගනින් රංඩු සරුවල් නොකර..."

තවත් මොන මොනවාදෝ මලින්දගෙ අම්මහෙ කටින් පිටවෙනව ඇහුනත් නෙතූගෙ කනට ඒ මොකවත් ගියේ නෑ. හෙමීට උගුර යටින් නැඟුන ඉකිය තද කරගත්තු නෙතූ ගැහි ගැහී ඉන්න දරුවො දෙන්න ආයෙමත් නිදිකෙරෙව්වා.

රෑ දෙගොඩහරියක් වෙනකල් අපැහැදිළි වදන් වලින් බැන බැන හිටපු මලින්ද නොදැනීම නින්දට වැටුනත් නෙතූගෙ ඇස් මොහොතකට වත් පියවුනේ නෑ. 

පුපුරු ගහන කම්මුලේ වේදනාව අමතක කරපු නෙතූ පහුවදාත් සුපුරුදු විදිහටම ගෙදර දොර වැඩපල කරන්න පටන් ගත්තා.

ගුටි කන එක බැනුම් අහන එක හරියට නෙතූගෙ ජීවිතේ කොටසක් වෙලා වගේ. උදේ පාන්දරින් නිවසින් පිට වුණ මලින්ද ගෙදරට අවශ්‍ය කළමනා වලට නෝට්ටු කීපයක් කාමරේ මේසෙ උඩ තියල ගිහින් තිබුණා. ඒ ටික වියදමට මදි උනත් ඇති හැටියට පිරිමහගන්න නෙතූට සිද්ධ උනා. තමන්ගෙ අතට එන නෝට්ටු වලට වඩා වැඩි ගාණක් මලින්දගෙ අම්ම අතට යන බව දැනන් හිටියත් නෙතූ කවදාකවත් ඒ ගැන ප්‍රශ්න කරන්නවත් ඒවා වියදමට ඉල්ලන්න ගියේ වත් නෑ.  ඒත් ඒ සල්ලි වලට වෙන දෙයක් ගැනත් නෙතූ දැනන් හිට්යෙ නෑ.
හන්දියෙ කඩේට ගිහින් පහුගිය නයත් ටිකක් බේරල හාල් තුනපහ ටිකක් ගෙනාව නෙතූ පුරුදු විදිහට ගෙදර වැඩපල සේරම තනියම කළා. මලින්දගෙ අම්මා හැමදාවත් වගේ මොකුත් නොවුන ගානට රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා ටෙලිනාට්‍යකට සමවැදිල හිටියා.

දරුවන්ට කවල පොවල නිදිකරපු නෙතූටත් දැනුනෙ පුදුමාකාර තෙහෙට්ටුවක්. කලින් දවසෙ හරි හැටි නින්දක් නොලැබුන නිසාම යන්තමින් වගේ ඇහැ පියවෙන්න ගත්තා. හැමදාම ප්‍රාර්ථනා කරපු ජීවිතය හීනෙන් දැකල හිත හදාගන්න හිතාගෙ නෙතූ හෙමිහිට ඇස් පියාගෙන දරුවො ගාවින් ඇලවුනා.


නිමි.
පුෂ්පිකා විජේරත්න.

පාන්දරින්ම අවදිවුන නිර්මලී කුප්පි ලාම්පුව පත්තු කරල අබලන් වෙච්ච මේසෙ උඩින් තිබ්බෙ මූණ කට සෝදගෙන එළිපහලියට ගිහින් එන්න. කුස්සි කෑල්ලෙ ලදරන් දොරට හේත්තු කරල තිබුන වංගෙඩිය එහාට මෙහාට කරල අගුලක් නැති දිරල ගිය දොර ඇර ගත්තු නිර්මලීට එළියට අඩිය තියන්න වුනේ නෑ.  දොර ලඟම හේත්තු වෙලා ගුලි වෙලා වෙව්ලන පුංචි පුලුන් කැටියක් වගේ බළල් පැටියෙක් කබ කඳුලු පිරිච්ච ඇස් දෙකෙන් නිර්මලී දිහා බලන් හිටියෙ තමන්ට උදව් කරන්න කියන්නාක් වගේ.
                     
" කවුරුහරි පාරට ගෙනත් දාල ගිහින්ද කොහෙද...කාලකන්නි මිනිස්සු...! "

නිර්මලීගේ එහෙම ම්මුනුවේ හිතෙන් විතරයි. කරන්න ගිය වැඩේ අමතක කරපු නිර්මලී කුණු දූවිලී වලින් පිරුණ පුංචි බළල් පැටියව දෝතින්ම ගත්තෙ කිසිම හිරිකිතයක් නැතිව. ලා රස්නෙ වතුර ටිකකින් පිහදල දාල පිරිසිදු කරපු මාස තුන හතරක පෙනුම තියන බළල් පැටියට කිරි ටිකක් හදල බත් කටක් අනල දුන්නම මහා සාගතේකින් හිටිය එකෙක් වගේ කන දිහා නිර්මලී බලාන හිටියෙ අනුකම්පාවෙන්.
                   නාවල කරල ගත්ත බළල් පැටියාගෙ බොහොම අහිංසක හුරතල් පෙනුමට නිර්මලීට ආදරේ හිතුනා.

" ගැණු සතෙක් හින්ද වෙන්න අතරමං කරල දාල ගියේ. නැත්තං මෙච්චර ලස්සන පැටියෙක් හදාගන්න බැරි මොකද..."

නිර්මලී තනිවම හිතුවා. පුංචි බළල් පැටියගෙ මුහුණ , රවුම් ඇස් බෝල දෙක දකින වාරයක් ගානෙ නිර්මලීගෙ සිහියට ආවෙ තමංගෙ පුංචි නංගිගෙ අහිංසක මූණ...ඒත් එක්කම නිර්මලීගෙ මූණ කපරාරු නොකරපු ගඩොල් බිත්තියෙ එල්ලල තිබුණ කැලැන්ඩරේ දිහාවට ඇදිල ගියා...

" හ්ම්ම්...හරියටම මාස හයයි අදට..."

නිර්මලී සුසුමක් හෙළමින්ම කල්පනා කරා...
.
නිර්මලී දෝතින්ම බළල් පැටියව වඩාගත්තෙ තමංගෙ නංගි ආපහු තමන් ළඟට ඉන්නව කියල හිත හදාගෙන. බළල් පැටියත් නිර්මලීගෙ උණුහුමට ගුලි උනේ ආරක්ෂාවක් දැනුන නිසා වෙන්න.

කිරි කපන්න රබර් වත්තට යන්නත් පමා උනත් නිර්මලීට බළල් පැටියා දාල යන්න හිතට දුකක් දැනුනා. නොයා බැරි හින්දම බතක් උයල හොද්දකුත් හැඳිගෑව නිර්මලී මුට්ටිය අතගාල හාල්මැස්සො ඔලු ටිකක් හොයාගෙන බත් ටිකකට අනලා පොල්කට්ටකට දාල තියල කිරි කපන්න යන්න ලැහැත්ති උනා. ඒ වෙනකන් නිර්මලීට කරදරයක් නොකරපු බළල් පැටියා , ගවුම් කඩමාල්ලක් උඩින් චීත්තයක් ඇඳගෙන පන් මල්ලක් කිහිල්ලෙ ගහගෙන වත්ත පහලට යන නිර්මලී දිහෑවෙ බලන් හිටියෙ දුකෙන් වගේ.  බළල් පැටියට එළිපහලියට යන්න උවමනා වෙයි කියල නිර්මලී ගියේ යන්තං දොර අඩවල් කරලා. සතෙක් සරුපයෙක් රිංගයි කියන බය හැරුනාම හොර
හතුරෙක්ට රිංගලා ගන්න දෙයක් තමන්ගෙ පැල්පතේ නෑ කියල නිර්මලී දැනන් හිටියා. රැකගන්න කියල තිබ්බ තමන්ගෙ එකම වස්තුව වෙච්ච නංගිවත් තමන්ට රැකගන්න බැරි උනානෙ කියල නිර්මලීට මොහොතකට හීල්ලුනා...
කිරි කපන ගමනුත් නිර්මලීට සිහිවුනේ දොරමුල්ලට වෙලා තමන් එන දිහාවෙ බලන් හිටපු බළල් පැටියව. කාලෙකට කලින් දවසක තමන් කිරි කපන්න යනකොට ජනේලෙ එල්ලිලා බලන් හිටිය නංගිවත් ඒ එක්කම නිර්මලීගෙ සිහියට ආවා...

"හ්ම්ම් ඒ අන්තිම දවස..."

නිර්මලී ආයෙමත් සුසුමක් හෙලුවා. කිරි කපන ගමන්ම නිර්මලීගෙ හිත අතීතයට දුවගෙන ගියේ තමන්ටත් නොදෑනීම.
         නිර්මලීගෙ අම්ම කරෙත් කිරි කපන රස්සාව.  තාත්ත කියල කෙනෙක් කවදාවත් දැකල නොතිබුනත් නිර්මලී කවදාවත් අම්මගෙන් තාත්ත ගැන ඇහුවෙ නෑ. ටික ටික ලොකු වෙද්දි නම් නිර්මලීට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනේ ගමේ මිනිස්සුන්ගෙ කසුකුසු වලින්. නිර්මලී ඉස්කෝලෙ යන වෙලාවට අම්මත් නිර්මලී එක්කම කිරි කපන්න ගියත් සමහර දවස් වලට ඉස්කෝලෙ ඇරිල ගෙදර එන මහ දවාලෙ අම්ම ගෙදර හිටිය. නිර්මලී පුංචි කාලෙදි නම් අම්මා කලින් ගෙදර එන්න එක එක හේතු නිර්මලීට කියල තිබුණා. කොණ්දෙ ඇව්ලිල්ල අතේ අමාරුව පපුවෙ දැවිල්ල වගේ ලෙඩ ගොඩක් එක එක දවසට ගෙදර එන වෙලාවට අම්මගෙ කටින් පිටවෙනකොට පුංච්  නිර්මලීට අම්ම ගැන දැනුනෙ අනුකම්පාවක්. ඒත් ටිකෙන් ටික ලොකු වෙනකොට දවල් ගෙදර එද්දි අම්ම ගෙදර ඉන්න හේතුව නිර්මලීට තේරුම් ගියා. උදේ යද්දි නොතිබුනාට දවල් එද්දි මිදුල පුරා තිබුන බුලත් කෙළ පහරවල් දෙන්නෙක්ට තේ වත් කරපු කෝප්ප , ගෙදරටම තිබ්බ එකම අබලන් ඇඳේ පොඩිවෙච්ච රෙදි නිර්මලීට ඕනවටත් වඩා සාක්කි දුන්නා. ඒත් නිර්මලී කවදාවත් අම්මගෙන් ඒ ගැන ඇහුවෙ වත් අම්ම ඒ ගැන මොකුත් කීවෙ වත් නෑ. හරියට ඒක නිහඬ ගිවිසුමක් වගේ.
                      
අම්මට රසිකා නංගි ලැබෙනකොට නිර්මලීට අවුරුදු දාසයයි. අම්මටත් වඩා ගමේ ම්නිස්සුන්ගෙ අවලාද අහන්න උනේ නිර්මලීට.

"ඕකිත් තව ටික දොහකින් බඩක් උස්සගෙන යන්නෙ නැතිවෙයිද බලමුකො අපි..."

ඒ කියන කතා නෑහුන ගානට ඉන්න එක නිර්මලී පුංචි කාලෙ ඉඳලම පුරුදු වුන දෙයක්.  නිර්මලීට එක වෙලාවකට අම්ම ගැන අනුකම්පාවකුත් තව වෙලාවක අප්පිරියාවකුත් නොදැනුනා නොවෙයි. අම්ම නැතිවෙනකොට නංගිට අවුරුදු දහයක් පිරුන විතරයි. අම්ම ලෙඩ ගානෙම හිටපු නිසා නිර්මලී ඒ වෙද්දිත් වත්තෙ කිරි කපන්න පුරුදු වෙලා හිටියෙ. අම්මගෙ මරණෙට මිනිස්සු ආවෙ නෑවිත් බැරිකමට. ඉස්සර ඉස්කෝලෙ ඇරිල ගෙදරට එන වෙලාවට පෑල දොරෙන් පිට වෙලා ගිය සමහරු අම්මගෙ මරණෙට ඇව්ල්ල අම්ම නරක ගෑණියෙක්ය කියල එක එකා එක්ක කුටු කුටු ගානව නිර්මලීට ඇහිල තිබුනා.   
                 කොහොමින් කොහොම හරි තනි පංගලමේ නංගිව බලාගෙන ජීවත් වෙනව හැරෙන්න වෙන විකල්පයක් නිර්මලීට තිබුණෙ නෑ.  අම්මගෙ ගාණට තමන්වත් ඇදල දාල මඟ තොට යද්දි කතා කියපු මිනිස්සු හවස් යාමෙ එහෙන් මෙහෙන් එබිකම් කර කර නිර්මලීගෙ පැල වටේ කැරකුනෙ නිර්මලීගෙන් අවසරයක් ලැබෙනකන්. දෙතුන් වතාවක් කුස්සියෙ තිබ්බ කැත්ත අරගෙන එළියට බැහැල ගමටම ඇහෙන්න කෑගහල  කීපදෙනෙක්ව එළවගත්තට පස්සෙ හවසට වත්ත වටේ කැරකෙන හෙවනැලි අඩු වුනා.

              අඟහිකම් මැද හරි නංගිව ඉස්කෝලෙට යැව්වත් නංගිගෙ හිතේ නම් ඉගෙනීමට මනාපයක් තිබුණෙම නැති තරං. ගේ දෙර වැඩපල මොකුත් නොකරපු නිර්මලීගෙ නංගි නැතිබැරිකම් තිබුණට සුදියට ඉන්න කැමති වුනා. රබර් වත්තෙ ඉඳල මහන්සි වෙලා හවසට එන නිර්මලීට තේ ඩිංගක් හදල දෙන්න තරං වත් උවමනාවක් නංගිට තිබුනෙ  නෑ. ඒ උනත් නිර්මලී නම් නංගිට පණ වගේ ආදරේ කරා.

අවුරුදු දාසයක් වෙච්ච නංගිව තනිපංගලමෙ ගෙදර හිටවල යන එක ගැන ඒ හැටි මනාපයක් නිර්මලීගෙ හිතේ නොතිබුනාට කරන්න වෙන දේකුත් නිර්මලීට තිබුනෙ නෑ...  නිර්මලී හැමදාමත් නංගිට දහසකුත් අවවාද දීල කිරි කපන්න පිටත් වුනා...නංගිට නම් ඒක මහා කන්කරච්චලයක්..සෙනසුරාද දවසක් වෙච්ච එකේ නංගිට ඉස්කෝලෙත් නිවාඩු තිබුන නිසා දවසම ගෙදරට වෙලා තනියෙන් ඉන්න වෙන බව නිර්මලී දන්නවා. ඒ හින්දම ඉස්කෝලෙ නිවාඩු දවස් වලට ඉස්පාසුවක් ලැබුන හැටියෙම ගෙදරට දුවල ඇවිත් යන්නත් නිර්මලී අමතක කරේ නෑ. නංගිත් දවස තිස්සේම ගේ අස්සට වෙලා ඉස්කෝලෙ  පුස්තකාලෙන් ගෙනාව නවකතා පොතකට ඔලුව ඔබාගෙන හිටියෙ වට පිටේ ඇවිදින්න යන්න ආසාවක් නැතිව නෙවේ. ගමේ හැම  පවුලක්ම වගේ තමන්ගෙ දරුවන්ට නිර්මලීලා ආස්සරේ කරන්න තහංචි දාල තිබුන හින්දා... නිර්මලීටවත් නංගිට වත් එහෙමට කියල යාලුවෙක් වත් හිට්යෙ නැති හිංදා. ..

එදත් සෙනසුරාදාවක්... නිර්මලී කිරි කපන්න යන දිහෑවෙ නංගි බලාගෙන හිට්යෙ ජනේලෙ එල්ලිලා. එදා නංගිගෙ හැසිරීමෙ වෙනසක් දැනුනද කියල නිර්මලී තාම කල්පනා කරනව. දවල් කෑමට කියල ඉස්පාසුවක් ලැබුන හැටියෙම නිර්මලී ගෙදරට දුවගෙන ආව.දොර අඩවල් කරල තිබුනට නංගි ගෙදර නෑ කියල නිර්මලීට හිතුනෙ දෙතුන් සැරේ මිදුලෙ ඉඳන් කතා කරද්දි ගේ ඇතුලෙ කිසිම හැලහොල්මනක් නැති නිසයි. ආ පයින්ම නංගිට කතා කරල යන්න ආපු නිර්මලීට දෙලොව රත් උනා.

" මේකි මේ වෙලාවෙ කොහාට උනාද.."

තරහින් තමන්ටම කියාගත්තු නිර්මලී දොරත් තල්ලු කරගෙන ගෙට ගියා. ගෙදරටම තිබ්බ එකම කාමරේට ගිය නිර්මලීට වෙනසක් දැනුනා. නිර්මලීටත් රසිකටත් කියල මහ ඇඳුම් ගොඩක් තිබෙනෙ නෑ. තිබුන ඇඳුම් කෑලි දෙක තුන අබලන් ඇඳේ කෙලවරක ගොඩගහලයි තිබුනෙ. ඇඳුම් ටික ඇඳ පුරා විසුරුවල දාල තියන හැටි නිර්මලීගෙ ඇහැට ඇහුවුනා. නිර්මලී ඒ ටික ඇවිස්සුවෙ කලබලෙන්. රසිකාගෙ තිබුණ ඇඳුම් කෑලි ටිකත් නෑ. තමන්ගෙ තිබුණ හොඳයි කියල කියන්න පුළුවන් චීත්ත ගවුම් දෙකත් නෑ. රසිකා ඉස්කෝලෙ ගෙනියපු තැන් තැන් වල හිල් හැදිච්ච පොත් බෑග් එකත් නෑ. හැබැයි පොත් ටිකනම් බිම එළපු පැදුරෙ තිබුන විදිහටම... නිර්මලී කලබලෙන් කුස්සියට දිව්වා. කුස්සියෙ කබල් මේසෙ උඩ හතරට නවපු කොළ කෑල්ලක්... නිර්මලී කොළ කෑල්ල දිග හැරියෙ වෙව්ලන අත්දෙකෙන්.
"අක්කෙ මං සුමනසිරි අයියත් එක්ක යනවා.මාව හොයන්නෙපා. මට සමාවෙන්න."

ලියුමෙ තිබ්බෙ එච්චරමයි. නිර්මලීට කෑගැස්සුනා. ඔලුවෙ අතගහගෙන බිම ඉඳගත්තු නිර්මලී ඉකිගගහ අඬන්න පටන් ගත්තා. සුමනසිරි....සුමනසිරි අයියා...! රසිකට වඩා වයස දෙගුණයකටත් වඩා වැඩිමල් සුමනසිරි නංගිව දැලේ දාගත්තෙ කොහොමද කියල නිර්මලීට හිතාගන්නවත් බැරි උනා. නංගි පොඩි කාලෙදි තමන් ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට සුමනසිරි අම්ම හොයාගෙන ඇවිත් පෑල දොරෙන් පිටවෙලා යනව නිර්මලී ඕන තරං දැකල තියනව. නිර්මලීට දැනුනෙ හිරිකිතයක්..අඬා වැළපුන නිර්මලී එදා ආයෙමත් කිරි කපන්න ගියේ නෑ.
              සුමනසිරිගෙ ගෙදරට මේ සිද්ධිය ආරංචි උනේ එදා හවස් වෙලා. සුමනසිරිගෙ යාළුවෙක් තමයි පණිවිඩේ කියල තියෙන්නෙ. සුමනසිරිගෙ ගෙදර උදවිය ඇවිත් අහන් ඉන්න බැරි තරං කතා කියල දෙස් දෙවොල් තිබ්බත් ගෙටම වෙලා අඬ අඬා ඉන්නව ඇරෙන්න නිර්මලීට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අම්මගෙත් නංගිගෙත් පව් සේරම තමන්ගෙ කරපිටින් යන්නෙ ඇයි කියල නිර්මලී විස්සෝප උනා.
                   කල්පනාවෙන්ම කිරි කප කප හිටපු නිර්මලී පියවි සිහියට ආවෙ ගෙදරට ආපු බළල් පැටිය සිහිවෙලා. වෙනද නංගි බලන්න යනව වගේ දවල් කෑම වෙලාවට පූස් පැටිය බලල එන්න ඕන කියල නිර්මලීට හිතුනා.
                     නිර්මලී දාවල් වරුවෙ අඩිය ඉක්මන් කරල ගෙදරට ආවෙ බළල් පැටියා ගෙදරින් ගිහින් වත්ද කියල හිත හිත. දොර පලුව තල්ලු කරගෙන ගෙට ගිය නිර්මලී නිකමට වගේ කාමර කෑල්ලට එබුනා. නිර්මලීට ආයෙමත් පපුව හෝස් ගාල ගියේ බළල් පැටිය දැක්කම. ඉස්සර නංගි ඉන්නකොට ඇඳේ බිත්තිය අයිනෙම නිදාගත්ත වගේ බළල් පැටියත් ඇඳේ බිත්තිය අයිනට වෙලා නිදන් හිටියා. හෙමීට ඌ ළඟට කිට්ටුකරපු නිර්මලී බළල් පැටියගෙ ඔලුව හෙමින් අතගෑවා. හෙම්බත් වෙලා හිටපු බළල් පැටියා හිටියෙ තද නින්දෙ...කුස්සි කෑල්ලට ගිය නිර්මලී හිස් වෙලා තිබ්බ පොල් කට්ටට ආයෙමත් බත් හැන්දක් අනල දැම්ම.
පුංචි දරුවෙක් වගේ ගුලිවෙලා නිදාගෙන ඉන්න බළල් පැටියා දිහා තවත් ටිකක් වෙලා බලන් ඉඳපු නිර්මලී ආයෙමත් හෙමින් සැරේ රබර් වත්ත දිහෑවට ගියා.

එදා ඉඳන් නිර්මලීගේ පාළුව මැකුවෙ පුංචි බළල් පැටියා. "සුද්දී" ..., නිර්මලී බළල් පැටියට දාපු නම.

සුද්දිත් හරියට නංගි වගෙයි.නිර්මලීට නිතරම එහෙම හිතුනා. වැඩක් නොකර ඔහේ කකා බිබී වැටිල ඉන්න එක රසිකගෙත් පුරුද්ද. එක අතකට සුද්දි නම් මොන වැඩක් කියල කරන්නද කියල හිතපු නිර්මලීට තමන්ගෙම සිතිවිලි ගැන හිනා පහළඋනා. ඒත් ඉතින් වැඩක්පොලක් නොකර ඉඳපු රසිකා කොහොම දීග කනව ඇත්ද කියල හිතෙනකොට නිර්මලීට ඉබේම සුසුමක් පිට උනා.

කාලය හෙමි හෙමින් ගෙවිල ගියත් නිර්මලීගෙ මතකෙන් නංගිව අයින් කරන්න පුලුවන් උනේ නෑ. නංගි නැති පාළුව මැකුව සුද්දිත් ලොකු උනේ බලාන ඉද්දි වගේ. සුද්දි දැන් නිතරම අහල පහල ඇවිදින්න යන බව  නිර්මලීට හිතුනත් මනුස්සයෙක් වත් වැටකඩුලු දාල හිරකරගෙන ඉන්න බැරි තැන සත්තු කොහොම තියාගන්නද කියල නිර්මලී තනියම කල්පනා කලා. වත්ත උඩහ ගෙදරට පැනල හොරෙන් කරවල කෑල්ලක් උස්සන් ආවයි කියල දවස් කීපයක්ම ඒ ගෙදර මිනිස්සු නිර්මලීට ඇහෙන්න ආඩපාලි කිවෙ නිර්මලීගෙ අම්මයි නංගිවයිත් මතක් කරලා බනින ගමන්. අම්මටයි නංගිටයි වැරැද්දක් කියන්න ඇරුනෙ නැති කට සුද්දි වෙනුවෙනුත් වැහිලම තිබුනා. ඒකත් මගෙ පිටින්ම ගියාවෙ කියල නිස්සද්දව හිටපු නිර්මලී සුද්දිගෙ ඔලුව අතගාල ගෙට ගියා.

සුද්දි ගෙදර ඉන්න වෙලාවට අහල පහළ ඉන්න බළල්ලු ඇවිත් ගේ වටේ කෑගගහ කැරකෙන හැටි නිර්මලීට සිහිකලේ අතීතයේ තමන්ගෙ ගේ වටේ රහසින් කැරකුන මිනිස් හෙවනැලි...
ඒ අතීතය එක්ක තරහ ගත්තු නිර්මලී ඒ තරහින්ම කෑ ගගහ වටේ කැරකෙන බළල්ලුන්ව එළවල දෑම්මෙ සුද්දිටත් තරවටු කරන ගමන්ම.

කොහොම කරත් තවත් ටික දොහකින් සුද්දි රෑ දවල් නැතිව ගෙදරින් පිට වෙලා ඉන්න පුරුදු උනාම නිර්මලී හිත හදාගත්තේ දැනුම් තේරුම් තියන නංගිව වත් නවත්තගන්න තමන්ට බැරි උනානෙ කියල හිතන ගමන්ම. ඉඳල හිටල හරි ගෙදර ඉන්න සුද්දි එක පාරම ගෙදර නෑවිත්ම ඉන්නකොට නංගි ගෙදරින් ගිය දා වගේම නිර්මලීගෙ ඇස් වල කඳුලු පිරුණා.  නිර්මලී රබර් වත්තට යන අතරමඟත් අහල පහල වතු වලට එබිකම් කරල සුද්දි ඉන්නවද බැලුවෙ හරියට කෑමක් බීමක් වත් ලැබෙනවද දන්නෑ කියන හිතේ සාංකාවෙන්.

නිර්මලී ආයෙමත් තනි උනා. ආදරෙන් ළඟ හිටපු හැමෝම ඉක්මනින්ම ඈත් උනේ මොන කරුමෙකටද කියල නිර්මලී නිතර දෙවේලෙ කල්පනා කරා. හරියට අගුල් නොවැටෙන දොර පලුව ඉටිරෙදි ගහපු ජනෙල් මේ හැමතැනකම තිබුනෙ තනිව ඉන්න නිර්මලීට අනාරක්ෂිත බවක් උනත් නිර්මලීගේ ගිණි පුපුරු පිටවෙන බැල්මට රතිඤ්ඤා වගෙ පුපුරන වචන වලට පුලුවන් උනා තමන්ව ආරක්ෂා කරගන්න.

කාගෙවත් එක්ක වැඩි ආස්සරේට ගියෙ නැති නිර්මලී තවත් මාස ගාණක්ම තමන්ගෙ පැල්පතේ තනියම ජීවිතේ ගත කරා. පුර පෝය දවසක උදේම නැඟිටපු නිර්මලී පන්සලට යන්න හිතාගෙන උයල පිහල ලක ලෑස්ති උනත් මිදුල දිහාවෙන් ඇහුන කටහඬින් එක පාරටම ගැස්සිලා ගියා.
" අක්කේ...අක්කේ..."

"රසිකා...මගෙ නංගියේ....! "

පුපුරා හැලෙන තරහවක් නංගි ගෙදරින් ගිය දවසෙ තිබුණත් මාස ගාණක බඩකුත් උස්සගෙන දොර ඉස්සරහ හිටගෙන උන්නු නංගිව දැක්කම නිර්මලීගේ හිතේ තරහ සේරම මැකිල ගියා.

නිර්මලී රසිකාව ගෙට එක්කරගෙන ගියේ ඇස් වල කඳුලු පුරවගෙන. කන්න අඳින්න නැතත් ලස්සන රූප සොබාවක් තිබ්බ නංගි ඇදිල ගිහිල්ල කියල නිර්මලීට පෙනුනා. අත් වල තිබ්බ තැලුම් පාරවල් රසිකා ගෙවන ජීවිතේ ගැන නිර්මලීට සාක්කි දුන්නා. මහා දුක් කන්දරාවක් හිතේ තියන් හිටපු රසිකා මහා හඬින් වැළපි වැළපි තමන් ගෙව්ව දුක්බර දිවිය ගැන කියනකොට නිර්මලීට ඉවසුම් නැතිඋනා.

"ඒ මිනිහා මාව අතෑරිය අක්කෙ... බෝඩිං කාමරේක මෙච්චර කල් උන්නෙ. සති ගාණකින් ආවෙ නෑ... ගෙදරින් මංගල්ලයක් හොයල. ඒකට කැමති වෙලා දැන් ගෙදර ඉන්නව කියල යාළුවෙක් හම්බවෙලා කිව්ව. මං මොනා කරන්නද අතේ සතේ නැතිව. කන්ඩ බොන්ඩ ටික වත් නැතිව...."


හති ඇර ඇර හිතේ දුක නිවෙනකන්ම අඳෝනා කියපු රසිකා , නිර්මලී බෙදල දුන්න පත්පත අතට ගත්තෙ කඳුළු පෙරාගෙන. පන්සලට යන අදහස ඇතෑරල දාපු නිර්මලී කෑම කාල අහවර උන රසිකට අබලං ඇඳට චීත්ත කෑල්ල එළල දුන්නෙ ටිකක් හාන්සි වෙන්න කියල.

කාමරෙන් පිටවෙනකොටම ඉස්සරහ මිදුල දිහාවෙන් තවත් පුරුදු හඬක් ඇහෙනකොට නිර්මලී ඉක්මනට මිදුලට දුවල ගියා. නිර්මලීගෙ මූණේ මතුවුනේ හීන් හිනාවක්.

නිර්මලී දිහා බලාගෙන සමාව අයදින්න වගේ පුරු පුරු ගෑව සුද්දි ළඟට ඇවිත් කකුල් දෙකේ පැටලෙනකොට නිර්මලී හෙමීට පාත් වෙලා සුද්දිගෙ ඔලුව අතගෑව. එතකොටයි නිර්මලීගෙ ඇස් දෙකට අහු උනේ සුද්දිත් ඇවිත් ඉන්නෙ බඩකුත් උස්සගෙන කියලා.

"උඹල දෙන්නම ආපහු ආව එහෙනම් තෑගිත් අරගෙනම..."

එහෙම කියපු නිර්මලී කුස්සිය දිහාවට ගියේ සුද්දිටත් බත් අහුරක් අනල දෙන්න. ගෙට එන්න අවසර ලැබුණ සුද්දිත් නිර්මලීගෙ පස්සෙ වැටිල කුස්සියට ගියේ බඩේ ඇවිලුනු ගින්න ඉවසගන්න බැරිව කෑ ගහගෙන.

නංගිට දවාලට කන්න බත් පංගුවක් වෙන් කරපු කරපු නිර්මලි මුට්ටිය අඩියෙ ඉතිරි උන බත් ටිකට හාල්මැස්සො ඔලු ටිකක් අනල සුද්දිට කන්න පොල් කට්ටට දාල දුන්නා.

ඉස්සරහට තමන්ගෙ බත් පත බෙදන්න තියන කටවල් ගාන වැඩි වෙන බව නිර්මලීට තේරුම් ගියත් නංගිත් සුද්දිත් තමන් ළඟ ඉන්න එකේ සතුටට බඩගින්නට යටපත් කරගත්තු නිර්මලී අඬුව කැඩුනු කෝප්පෙට මැටි කළයෙන් වතුර එකක් පුරවගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියා


නිමි.