හීන
- Details
- පුෂ්පිකා විජේරත්න
- කෙටිකතා
- Hits: 1000
නෙතූගෙ හිත පුදුමාකාර සතුටකින් ඉපිළිලා. තමන් හැමදාමත් පැතුවෙ මේ ජීවිතේ නේද කියල සිහියට එද්දි නෙතූගේ දෑස් අග කඳුළු පිරෙනවා...ඔව්..සතුටු කඳුළු.
. තමන් කොයි තරම් නම් වාසනාවන්තද...!
මලින්ද එක්ක ගෙවන මේ සුන්දර ජීවිතයට කවදාවත් වෙනසක් අසතුටක් එක් වෙන්න එපා කියලා නෙතූ හදවතින්ම ප්‍රාර්ථනා කළා. පස් අවුරුදු ප්‍රේම කතාවකින් නෙතූත් මලින්දත් විවාහපත් උනේ දෙපාර්ශවයේම මව්පිය ආශිර්වාදයද මැදයි. තමන්ටම කියල හදාගත්තු සුන්දර පුංචි නිවසෙ ආදරයෙන් කල් ගෙවන නෙතූ- මලින්ද යුවලට වැඩි කල් නොයාම දරු සෙනෙහස විඳින්නත් වාසනාව උදා වුනා.
දරු දෙන්නෙකුගෙ මවක් වෙච්ච නෙතූ රැකියාවට සමුදුන්නෙ දරුවන් දෙන්නා වෙනුවෙන්මයි. එහෙම උනයි කියල නෙතූටත් මලින්දටත් ඒ තරම් අඟහිඟයක් නොදැනුනේ මලින්ද හොඳ රැකියාවක නියුතු උන නිසා. මලින්ද කොහොමත් බොහොම අරපිරිමැස්මෙන් මුදල් වියදම් කරන කෙනෙක්. එහෙමයි කියල මලින්ද කිසිම දවසක නෙතූටවත් දරුවන්ට වත් අඩුපාඩුවක් කළේ නැහැ.
මලින්දගෙ සමහර ම්තුරෝ වැඩ අවසන් වුණ ගමන් මත්පැන්හලට යන්න පුරුද්දක් ඇතිකරන් හිටියත් මලින්දගෙ ජීවිතේ ඒ වගේ දේවල් වලට ඉඩක් තිබුණෙ නෑ. වෙහෙසකර දවසක අවසානයේ මතෙන් සිහි විකල් කරගන්නවට වඩා තමන්ගෙ ආදරණිය බිරිඳත් දරුවො දෙන්නත් එක්ක එකට ගත කරන හෝරා කිහිපයට මලින්ද බොහොම ප්‍රිය කළා. පුළුවන් හැටියට පුළුවන් වෙලාවට නෙතූගෙ ගෙදරදොර වැඩකටයුතු වලටත් මලින්ද කැමැත්තෙන්ම සහය වුණේ රැකියාවක් නොකළත් ගෙදර දොරේ වැඩඩකටයුතු එක්ක ඔට්ටු වෙන ගමන් දරුවන් බලාගන්න නෙතූ අපමණ වෙහෙසක් දරණ බව දන්න නිසා.
මාසෙකට දෙතුන් වතාවක් නෙතූවත් දරු දෙන්නවත් අරගෙන කොහේහරි ටිකක් ඇවිදල පුංචි හෝටලේකින් කෑම කාලා ටිකක් විනෝද වෙලා එන්න මලින්ද ආස කරා. සමහර වන්දනා ගමන් වලටනම් අම්මල තාත්තලත් එකතු කරගෙනම යන්න නෙතූත් මලින්දත් අමතක කරේ නෑ. වෙනම ගෙදරක පදිංචි වෙලා හිට්යත් ළඟ පාතම ඉන්න මලින්දගෙ අම්මා නිතර දෙවේලෙ මලින්දගෙ නිවසට ගියා. මලින්දගෙ අම්මා නෙතූට සැලකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ. පුංචිම වත් හිත් රිදීමක් අද වෙනතුරුත් නැන්දම්මගෙන් නෙතූටවත් නෙතූගෙන් නැන්දම්මට වත් වෙලා නෑ...
දරුවො දෙන්නත් නිදි කරවලා ගෙදර වැඩත් අහවර කරලා ලැබුණ පුංචි ඉස්පාසුවේ තේ කෝප්පයක් රසවිඳින ගමන් නෙතූ කල්පනා කරමින් හිටියෙ තමන් කොයි තරම් වාසනාවන්ත බිරිඳක්ද කියලා.
සාලය දිහාවෙන් මලින්දගෙ කටහඬ ඇහෙනකොට නෙතූ පුදුමයට පත් වුණේ අද දවසේ වරුවක් කලින් නිවසට පැමිණෙන බවක් මලින්ද කලින් නොකී නිසා. ඒ එක්කම පුංචි හිනාවකුත් නෙතූගෙ මුවින් නික්මුනේ සමහර දිනවල නොකියාම තමන් පුදුමයට පත් කරන්න පුංචි පුංචි දේවල් මලින්ද මේ විදිහට කරන බව දන්න නිසා.
මලින්දව පිළිගන්න නොඉවසිලිමත් වුණ නෙතූ තේ කෝපපය මේසේ උඩින් තියලා ඉක්මනින් සාලය දිහාවට පියවර තිබ්බා. ඉක්මන් ගමනින් යන නෙතූගෙ ගමන එකපාරට නැවතුනේ තමන්ගෙ දිග කොන්ඩය කොහේහරි පැටලිලා ඇදෙන බව දැනුන නිසා.
ඒත් කොණ්ඩය ඇදුන තැනින් දැනුන වේදනාවත් එක්කම තමන්ගෙ ළඟින්ම කන් බිහිරි කරවන තරම් සද්දෙකින් මලින්දගෙ කටහඬ නෙතූට ඇහුනා.
" නැඟිටපන් ගෑණියේ....! "
මෙතෙක් වෙලා නින්දක ගිලිලා හිටපු නෙතූ අවදි උනේ ඒ සද්දෙට. මහන්සියටම මුණින් අතට වැටිල දරුවො දෙන්න ළඟ නින්ද ගිහින් හිටපු නෙතූගෙ හිස රිදෙන තරම් තදින් කොන්ඩයෙන් අල්ලගෙන හිටපු මලින්ද වේගයෙන් නෙතූගෙ හිස සෙලෙව්වා.
මතින් සිහිය විකල් වෙලා හිටපු මලින්දගෙ ඇස් ගොරක මද වගේ රතු පැහැ ගැන්විලා . ඒ ඇස් වලින් නික්මුනේ කියාගන්න බැරි තරමෙ කෝපයක්. බයේ ගැහෙමින් හිටිය නෙතූගේ නිදිමත එක් මොහිතකින් අතුරුදන් වෙලා ගියා. කොන්ඩයෙන්ම නෙතූව තමන් ලඟට ඇද ගත්තු මලින්ද නෙතූගෙ කම්මුල පුපුරා යන තරම් වේගයෙන් අතින් පහර දුන්නා.
" උ...ඹ... කා...ල බී...ල සැපට නිදි නේද ගෑණියෙ...! මෙ...මේ.. මං ගැන උඹට වගේ...වගක් නෑ නේ...මට...නැතත්....ම...ම...අර ඉන්න මගෙ අහිංසක අම්ම...ගැන වත් බලන්න බෑ නේද උඹට...! ඒ මනුස්සය මැ...මැරෙන්න වැටිල හිටියත් උඹ බලන්නෙ නෑ නේද...බලපන් කොච්චර අමාරුවෙන්ද ඒ මනුස්සය ඉන්නෙ...උයල පිහල දෙනකලුත් උඹ...බුදි නේද..?"
මත්පැන් නිසා මලින්දගේ වචන පැටලුනත් සද්දෙ නම් ගෙදර දෙදරවන තරම් උනා. නින්දෙ හිටපු දරුවො දෙන්නත් නැඟිටලා හැමදාම වගෙ ඇඳ කොනේ ගුලිගැහිල වෙව්ලමින් මේ දිහා බලාගෙන හිටියා.
නෙතූ ගෙදර දොර වැඩපල සේරම අහවර කරලා රෑ කෑමට බතකුත් සම්බෝලෙකුත් හැදුවෙ ගේ හරියෙ උයන්න කියල වෙන කිසිම දෙයක් නොතිබ්බ නිසා. කාටත් කලින්ම මලින්දගෙ අම්මට බත් පිඟාන බෙදල වෙන් කරපු නෙතූ දරුවො දෙන්නටත් වදෙන් පොරෙන් කෑම කැව්වත් තමන්ගෙ බඩට තේ උගුරු කීපයක් දාගත්තෙ තමනුත් කෑවොත් තියෙන බත් ටික මලින්දට මදි වෙයි කියල හිතලා. කිසිම වගේ වගක් නැතිව හරියට මාළු පිණි නැතිව කන්න බෑ කියල නෙතූටත් බනින ගමන්ම බත් පිඟානම හිස් කරපු මලින්දගෙ අම්මා රූපවාහිනිය ලඟින් හෙල්ලුනේ වත් නැත්තෙ ඇය ආසම කරන ටෙලි නාට්‍ය මඟ හැරෙයි කියලා.
එහෙම හිටපු අම්මට තමන් ඇඳට වැටුනු ඇය බාගයට එකපාරටම අසනීප උනේ කොහොමද කියලා නෙතූට හිතාගන්න බැරි උනා.මලින්ද තමන්ගෙ කෙස් වැටිය එක සැරෙම අතහරින මොහොතෙ කාමරේ දොර ලඟින් ඡායවක් එහා මෙහා වෙන හැටි නෙතූගෙ ඇස් වලට යන්තමට අහු වුණා.
නෙතූව තල්ලු කරල දාපු මලින්ද අහන් ඉන්න අමාරු කතා පටලව පටලව කියමින් කාමරයෙන් එළියට ගියා. තවත් මොහොතක් ගත වෙන්න කලින් මලින්දගෙ අම්මා අඬ අඬා මොනවාදෝ මලින්ද අතින් කියන හැටි නෙතූ අහගෙන හිටිය.
" අනේ පුතේ...මේ තියන කරදර මදිවට උඹත් බීගෙන ආවම මම කොහොමද ඉවසන් ඉන්නෙ. දවස තිස්සෙම ගේ වැඩපල කරල මගෙ කොන්දත් රිදෙනවා. ගේ තිබ්බ හාල් ටික අතපත ගාල අරන් බතක් උයල සම්බෝලයක් හැදුවෙ මගෙ පුතා මහන්සි වෙල ගෙදර එන නිසා ... අරකි කලින්ම කාල ළමයි එක්ක බුදියගත්තෙ...මං කෑවද බීවද බලන්නෙ නෑ පුතේ... ඉතිරි කරල තිබ්බ බත් ඩිංග පුතාට බෙදල තියනවා හොඳ එකා වගේ කාල නිදාගනින් රංඩු සරුවල් නොකර..."
තවත් මොන මොනවාදෝ මලින්දගෙ අම්මහෙ කටින් පිටවෙනව ඇහුනත් නෙතූගෙ කනට ඒ මොකවත් ගියේ නෑ. හෙමීට උගුර යටින් නැඟුන ඉකිය තද කරගත්තු නෙතූ ගැහි ගැහී ඉන්න දරුවො දෙන්න ආයෙමත් නිදිකෙරෙව්වා.
රෑ දෙගොඩහරියක් වෙනකල් අපැහැදිළි වදන් වලින් බැන බැන හිටපු මලින්ද නොදැනීම නින්දට වැටුනත් නෙතූගෙ ඇස් මොහොතකට වත් පියවුනේ නෑ.
පුපුරු ගහන කම්මුලේ වේදනාව අමතක කරපු නෙතූ පහුවදාත් සුපුරුදු විදිහටම ගෙදර දොර වැඩපල කරන්න පටන් ගත්තා.
ගුටි කන එක බැනුම් අහන එක හරියට නෙතූගෙ ජීවිතේ කොටසක් වෙලා වගේ. උදේ පාන්දරින් නිවසින් පිට වුණ මලින්ද ගෙදරට අවශ්‍ය කළමනා වලට නෝට්ටු කීපයක් කාමරේ මේසෙ උඩ තියල ගිහින් තිබුණා. ඒ ටික වියදමට මදි උනත් ඇති හැටියට පිරිමහගන්න නෙතූට සිද්ධ උනා. තමන්ගෙ අතට එන නෝට්ටු වලට වඩා වැඩි ගාණක් මලින්දගෙ අම්ම අතට යන බව දැනන් හිටියත් නෙතූ කවදාකවත් ඒ ගැන ප්‍රශ්න කරන්නවත් ඒවා වියදමට ඉල්ලන්න ගියේ වත් නෑ. ඒත් ඒ සල්ලි වලට වෙන දෙයක් ගැනත් නෙතූ දැනන් හිට්යෙ නෑ.
හන්දියෙ කඩේට ගිහින් පහුගිය නයත් ටිකක් බේරල හාල් තුනපහ ටිකක් ගෙනාව නෙතූ පුරුදු විදිහට ගෙදර වැඩපල සේරම තනියම කළා. මලින්දගෙ අම්මා හැමදාවත් වගේ මොකුත් නොවුන ගානට රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා ටෙලිනාට්‍යකට සමවැදිල හිටියා.
දරුවන්ට කවල පොවල නිදිකරපු නෙතූටත් දැනුනෙ පුදුමාකාර තෙහෙට්ටුවක්. කලින් දවසෙ හරි හැටි නින්දක් නොලැබුන නිසාම යන්තමින් වගේ ඇහැ පියවෙන්න ගත්තා. හැමදාම ප්‍රාර්ථනා කරපු ජීවිතය හීනෙන් දැකල හිත හදාගන්න හිතාගෙ නෙතූ හෙමිහිට ඇස් පියාගෙන දරුවො ගාවින් ඇලවුනා.
නිමි.
පුෂ්පිකා විජේරත්න.