ලේ බැම්ම
- Details
- අමාලි සෙල්වකුමාර්
- කෙටිකතා
- Hits: 1087
" අයියෝ. අම්මී තාම ලෑස්ති උනේ නැද්ද අම්මී. දැන් නිසල් තාත්තී එක්ක එනවාත් ඇති අම්මී." දෝණී කාමරයට ඇවිත් එහෙම කියද්දීයි මං කල්පනා ලෝකයෙන් මිදුනේ.අවුරුදු විසි පහකට එහා අතීතයකට ගිය මං දෝණීගෙ කටහඬට ගැස්සුනා. " ඇයි අම්මී මේ බය වෙලා වගෙ. අම්මීට අසනීපයක්වත්ද.? දෝණී එහෙම ඇහුවේ මගෙ නලලට අතක් තියන ගමන්. " අනේ නෑ දෝණී.මට ඇති අසනිපයක් නෑ. " එහෙනම් අම්මී ඇයි දුකෙන් වගෙ. නිසල් මට වඩා අවුරුද්දක් බාල එක අම්මීට ප්‍රශ්නයක්ද අම්මී." දෝණී මගෙන් එහෙම ඇහුවේ මං ලඟින්ම ඉඳගෙන මගෙ ලඟටම ලං වෙන ගමන්. " පිස්සුද දෝණී ඔයාට. ඔයාගෙ අම්මා ඒ තරමට මෝඩයි කියලා ඔයා හිතුවද දෝණී. " අම්මී මං මීට කලින් කිසිම කොල්ලෙක් එක්ක ලව් එෆෙයාර් එකක් පටන් අරන් නෑ කියලා අම්මී දන්නවානේ අම්මී.කොටින්ම මට පිරිමියෙක් ගැන කිසිම දවසක විශේෂ හැඟීමක් දැනිලා නෑ අම්මී.මං පිරිමි විශ්වාස කරන්නෙ නෑ අම්මී. ඒ අපේ තාත්තිගෙන් පස්සෙ අම්මී. ඒ උනත් මට නිසල් ගැන නම් මහ අමුතු විශේෂ හැඟීමක් දැනුනා අම්මී. සමහර විට ඒක සංසාර ගත බැඳීමක් වෙන්න ඇති." දෝණී එහෙම කිව්වේ හිනා වෙලා. ප්‍රතාප් මාව දාලා ගිය දවසේ ඉදන් මං දෝණීව හැදුවේ ඇහේ තියාගෙන කිව්වොත් හරි. ඒ තරමට මං දෝණීව රැක්කා. දෝණීයි මායි අතරේ කිසිම රහසක් තිබිලා නෑ. දෝණී හැමදේම ගිරවියෙක් වගෙ මාත් එක්ක කියන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා මං දන්නවා දෝණීට මීට පෙර කිසිම පිරිමි ලමයෙක් ගැන මේ තරම් උනන්දුවෙන් කතා කරලා නෑ කියලා. ඒ නිසාමයි වයසින් බාල උනත් මං ඒ ගැන නොහිතා නිසල් පුතාට කැමති උනේ. " අම්මී. " " හ්ම්." " ඇයි අම්මී ඇත්තටම තාත්තී රට ගියාට පස්සෙ අම්මී තාත්තී ගැන හෙව්වේ නැත්තෙ" මේ අවුරුදු විසිපහටම දෝණී මගෙන් අහලා නැති ප්‍රශ්නයක් තමයි අද මේ අහන්නෙ. දෝණී ඒ ප්‍රශ්නේ අහන්නෙ නැති තැනට මං වැඩ කලා. ප්‍රතාප් අපිව දාලා රට යද්දී දෝණීට හරියටම සතියයි. ප්‍රතාප් අවුරුදු ගානක් කැනඩාවට යන්න බලාගෙන හිටියත් ඒ හැම අවස්ථාවකම ඒ ගමන අසාර්ථක උනා. දෝණී හම්බ වෙලා දෙකකින් ප්‍රතාප්ට කැනඩා ගමන යන්න ලැබීම ප්‍රතාප් දැක්කේ අපේ දෝණීගෙ වාසනාව විදිහටයි. එදා මායි ප්රතාපුයි හිටියේ ගොඩක් සතුටින්. මාවයි දෝණීවයි මාස හයකින් කැනඩාවට ගන්න පොරොන්දු දීලා ප්‍රතාප් ගුවන්තොටුපලින් පිටත් උනත් අවුරුදු විසිපහක් යනකන් ඒ පොරොන්දුව ප්‍රතාප් ඉටු කලේ නෑ. ප්‍රතාප් ගිහින් මාස තුනක් මට කතා කලත් ඊට පස්සෙ ප්‍රතාප් ගැන කිසිම ආරංචියක් ලැබුනේ නෑ. ඊට පස්සෙ මං දෝණීවත් අරගෙන මගෙ අම්මා ලඟට ගියේ ආයෙමත් සුපුරුදු විදිහට රැකියාවට යන්න. මං රස්සාව කරන කලා අම්මා දෝණීව බලා බලා ගත්තා. දෝණී එන්න එන්න යොවුන් වියට ලංවෙනකොට මං රස්සාවෙන් අයින් වෙලා ගෙදර ඉදන් කේක් හදන්න පටන් ගත්තා. මගෙ කේක් ගැනුම්කරුවන් අතර ඉතාම ඉක්මනින් ප්‍රසිද්ධ වීමත් සමඟම " ජෙරමී කේක් " නමින් මගේම කේක් කඩයක් දක්වාම මට දියුණු වෙන්න හැකියාව ලැබුනා. මගෙ ව්‍යාපාරයත් මගෙ දෝණීගෙ අනාගතයත් ගැන හිතන්න මගෙ සම්පූර්ණ කාලයම යෙදෙව්ව නිසා මම ප්‍රතාප් ගැන හොයන්න තියන කාලය උවමනාවෙන්ම මඟ ඇරියා. මගෙ හිතට ප්‍රතාප් නැති වේදනාව අදටත් දැනෙනවා. ප්රතාප්ගෙ වෙන් වීමත් සමඟම මං තාමත් හිතේ සැනසීමෙන් එක පැයක් නිදාගෙන නෑ. ඒ නින්දට යන හැම මොහොතකම මං තනිවෙන හැම මොහොතකම මං ප්‍රතාප් එක්ක ගෙව්ව ඒ අතීතය මගෙ හිතේ සක්මන් කරන නිසා. " දෝණී දැන් වෙලාවත් හරි නේද. ඉන්න මං ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම්." මං දෝණීගෙ ප්‍රශ්නෙ මඟ ඇරලා ඇඳෙන් නැඟිටින්න හැදුවා. " අම්මී. අනේ අදවත් මට තාත්තීගෙ ෆොටෝ එකක් හරි පෙන්නන්න අම්මී." දෝණී මගෙ අතින් අදින ගමන් එහෙම කිව්වා. මේ වෙනකන් දෝණී එයාගෙ තාත්තාගෙ ෆොටෝ එකක්වත් දැකලා නෑ. මම මගෙ මගුල් ෆොටෝ ටික ඇල්බම් ඒ ඔක්කොම එකතු කරලා අම්මාගෙ මහ ගෙදරට ගිහින් දැම්මා. ඒ මට ඒ අතීතයෙන් මිදෙන්න ඕන නිසා. දෝණී අමුතුවෙන් තාත්තාගෙ ෆොටෝ බලන්න ඕන නෑ.දෝණීට තියෙන්නෙ තාත්තාගෙම හැඩරුව කියලා දෝණී දන්නෙත් නෑ. මම ප්‍රතාප්ව දෝණීට කවදා හරි පෙන්නන්නෙ දෝණී කසාඳ බඳින දවසට කියලා මං මටම පොරොන්දු වෙලයි තියෙන්නෙ. දැන්ම තාත්තාගෙ ෆොටෝ බලලා දෝණී දුක් වෙනවට මං කැමති නෑ. එයාගෙ ජීවිතෙ හොඳ ආදරණීය පිරිමියෙක්ට බාර දුන්න දවසට මේ හැම ප්‍රශ්නයකටම මං දෝණීට උත්තර දෙනවා. ඒ වෙනකන් හැමදේම රහසක්. මං ප්‍රතාප් වගෙ මගෙ හිතටවත් දුන්න පොරොන්දුවක් කඩ කරන්නෙ නෑ. " දෝණී. ඒකට තව කල් තියනවා. ඒ දවස වෙනකන් ඔයාට ඉවසගෙන ඉන්න වෙනවා දෝණී. මං ටිකක් සැරෙන් දෝණීට එහෙම කියලා නාන කාමරයට වැදුනා. ************ " අම්මී. කාර් එක ආවා අම්මී ඔයා ලෑස්තිද ? " මං සාරිය අඳින අතරෙදී දෝණී කාමරයට ඇවිත් කිව්වා. ඒ ඇස් දිලිසෙනවා මං දැක්කා. දෝණී හිටියේ සතුටින්. ඒ සතුටට බාධාවක් වෙන්න මට ඕන උනේ නෑ. ඇත්තටම මගෙ දරුවාගෙ ඇස්වල සතුට දකින්නයි මං මේ හැමදේම කලේ. " දෝණී. එයාලා ආපු ගමන් ඔයාට ඉස්සරහට යන එක හොඳ මදි පුතේ. ඔයා ආච්චි අම්මා එක්ක මං කියපු විදිහට එන්න ඕන. මං දැන් ගිහින් ඒ කට්ටිය පිලි ගන්නම්." මං දෝණීගෙ හිස හෙමින් පිරිමදින ගමන් කිව්වා. " මට අම්මී කියලා දුන්න ඒවා අමතක නෑ අම්මී. මං අම්මීට ආදරෙයි අම්මී." දෝණී එහෙම කියලා මාව තදින් වැලඳ ගන්නකොට මට දැනුනේ කියා ගන්න බැරි තරමේ දුකක්. මගෙ ඇස් කඳුලින් තෙත් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ. " හරි හරි. දැන් යන්නකො ආච්චි අම්මාගෙ කාමරයට. " මං කඳුලු දෝණීගෙන් සඟවගෙන එහෙම කිව්වා. මං ඉක්මනින් කොණ්ඩේ පීරගෙන පහලට ගියා. " ආන්ටි." මාව දැක්ක ගමන් නිසල් පුතා ඇවිත් මගෙ දෙපා වැන්ඳා. " කෝ පුතේ තාත්තා." මං නිසල් පුතාව නැඟිට්ටවන ගමන් ඇහුවා. " තාත්තී හරි ආසයි රෝස මල් වලට. ඒ නිසා ගෙදරට එන්නත් කලින්ම තාත්තී ආන්ටිගෙ රෝස පඳුරු ලඟ නැවතිලා බලාගෙන ඉන්නවා." නිසල් එහෙම කියලා හිනා උනා. මගෙ හිතට දැනුනේ මහ ලොකු අමුත්තක්.
ගේ ඉස්සරහ රෝස මල් වවන්න හේතුවක් තියන බව දන්නෙ මායි මගෙ අම්මායි විතරයි. මං මද සිනාහවක් පාලා මිදුල දිහාවට ගියා. මගෙ සුදු රෝස පාත්තිය ලඟ පිටුපාලා හිටිය ඒ රුව දැකලා මගෙ හිත ක්ෂණිකව ගැස්සිලා යනවා වගෙ මට දැනුනා. ඒ උස ඒ රුව මට මහ හුරුපුරුදු ගතියක් ගෙන ආවා. ඒත් එක්කම ඔහු මගෙ දිහාවට හැරුනා. " අනෝජා " ඒ වචන ටික මට ඇහුනේ හීනයකින් වගෙ. නිසල් මගෙ දෝණි එකම ලේ බැම්මක් කියලා මට සිහියට නැගුනේ මගෙ දෑස් නිලංකාර වෙනවත් එක්කමයි.