සොයුරන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණිය වූ නාලනී ගත කලේ උපරිම සැප පහසුකම් සහිත ජීවිතයකි. නාලනීට දස හැවිරිදි වියේදී හදවත් රෝගයකින් පෙළුන පියා මිය ගිය නමුත් පිය පාර්ශවයෙන් මෙන්ම මව් පාර්ශවයෙන්ද උරුම වූ වතුපිටි ඉඩකඩම් හා ව්යාපාර ඇති බැවින් ඔවුන්ට කිසිදු අගහිඟයක් ඇති වූයේ නැත. ඒ වන විට උසස් පෙළ හදාරා පාසල් ගමනත් අවසන්ව සිටි වැඩිමල් සොයුරන් දෙදෙනා වතුපිටි වල හා ව්යාපාර වල පාලනය අතට ගත්හ. ක්රමානුකූලව පාලනය කරමින් ඒවාගේ ආදායම් ලබාගත් සොයුරන් දෙදෙනා තම පවුල ගොඩ නැඟීමට කල හැකි සෑම දෙයක්ම නොපිරිහෙලා ඉටු කලහ. පවුලේ සියලු සොහොයුරන්ගේ මෙන්ම මවගේ ආදරයද නොඅඩුව ලැබුන නාලනී පවුලේ සුරතලිය වූවාය. ඇය ඉල්ලන යමක් වේද එය නොපමාව ලබා දීමට මවත් සොහොයුරනුත් සැදී පැහැදී සිටියහ. එබැවින් නාලනී වයසින් වැඩුනත් ලෝකය පිළිබඳ අවබෝධයක් නැති සරල සැහැල්ලු කෙළිලොල් ජීවිතයක් ගෙව්වාය. පාසලේ වැඩකටයුතු වලට පවා ඈ උනන්දුවක් දැක්වූයේ නැත. ගැහැණු ළමයෙක් වැඩි දුර ඉගෙනීමට අවශ්ය නැතැයි සිතූ මව මෙන්ම සොහොයුරන්ද පාසල් වැඩකටයුතු ගැන ඈට බල කරේද නැත. පාසලේදී වුව තම පවුලේ මුදල් බලය සහ තම සැප පහසුකම් වලින් හිස උදුම්මාගෙන සිටි නාලනී ඇසුරු කලේ තමා වැනිම මිල මුදල් ඇති පවුල්වල ළමයින් පමණි. දුප්පත් හෝ සාමාන්ය පවුල් වල ළමයින් ඇසුරු කිරීම තමාට ලජ්ජාවක් ගෙන එන්නක් ලෙස ඈ සිතුවාය.
පාඩම් කටයුතු වලට දක්ෂ නොවූ නිසාම නාලනී ගුරුවරුන්ගේ දෝශාරෝපනයට ලක් වූ වාර අපමණය.වරෙක පන්තියේ සිටින දක්ෂ ලමයෙකු පෙන්නා පාඩම් අසා ඉගෙන ගන්නා ලෙස ගුරුවරියක් නාලනීට අවවාද කලත් නාලනී ඒ ළමයා අසල වාඩි වීමට වත් නොගියේ ඈ දුප්පත් එකියක බැවිනි.
" අපෝ මොන ලැජ්ජාවක්ද ...ඔය වගේ දුප්පත් එවුන්ගෙන් පාඩම් අහගන්නවට වඩා හොඳයි විභාගෙ ෆේල් වෙනව. .. විභාග පාස් කරන්න ඕන ඔය වගේ එවුන්ම තමා. රස්සාවක් කරල වත් කීයක් හරි හොයාගන්නෙපාය.."
නාලනී සිතුවේ එලෙසය.
කෙමෙන් කෙමෙන් වැඩි වියට පත් නාලනී සුන්දර යුවතියක් බවට පත් වූවාය. ඇගේ පාසල් ගමනද සාමාන්ය පෙළ පන්තියෙන් අහවර විය. ඒ වන විට වැඩිමල්ම සොහොයුරා රාජ්ය අංශයේ රැකියාවක් ලැබ විවාහපත් වී සිටියේය. ඔහු වෙනම නිවසක් සාදා පදිංචියට ගිය අතර පිලිවෙලින් ඊලඟ සොහොයුරන් දෙදෙනාද විවාහපත් වී පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු වූ බැවින් සාමාන්ය පෙළ දක්වා පමනක් පාසල් ගිය බාලම සොහොයුරන් දෙදෙනා විසින් වතු පිටි පාලනය කරමින් ඒවා වැඩිදියුණු කළහ. එහෙත් ඒ කිසිදු කටයුත්තකට නාලනීගේ වචනයක හෝ උදව්වක් ලැබුනේ නැත. ඉවුම් පිහුම් කටයුතු තබා කොස්සක් ඉදලක් ඇල්ලීමට වත් නාලනී දැන උන්නේ නැත. .
වයසින් වැඩෙත්ම සොහොයුරන්ගේ සිත් තුලද නාලනීගේ කල්ක්රියාව පිළිබඳව ඇති වූයේ කළකිරීමකි. අලුතින්ම එන විලාසිතාවේ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ඊට ගැළපෙන රූපලාවණ්ය ආයිත්තම් මිලදී ගනීමට සැලකිය යුතු මුදලක් සෑම මසකම නාලනීට ලබා දෙන්නට සොහොයුරන්ට සීදු විය. හදිසියේ මවට අසනීපයක් සෑදුන විට නාලනීට බතක් මාලුවක් උයාගන්නට නොහැකි බැවින් එදිනට නිවසේ සියලුදෙනාට කඩ කෑම වල පිහිට පතන්නට සිදු විය. කඩ කෑමක් වුව ඉස්තරම්ම හෝටලයකින් නොගෙනාවොත් නාලනී එය කන්නට අදිමදි කලාය.
" අනේ පොඩි අයියෙ, අර පොඩි පොඩි කඩවලින් නම් කෑම ගේන්නෙපා. ඔය මිනිස්සු කොහොම හදනවද දන්නෑ ඕව.ජරාව .."
නාලනී ගැන දන්නා සොහොයුරන් කිසිවිටකත් පොඩි කඩයකින් කෑමක් ගෙනාවද නාලනීට පැවසුවේ ඉස්තරම්ම හෝටලයකින් ගෙනා බවකි. ඉන්පසු කෑම පාර්සලය දිග අරිමින් එහි රසවත් බව හා ගුණ වර්ණනාව කියමින් බිඳකුදු ඉතිරි නොවන්නට අනුභව කරන සිය නැඟනිය දෙස බලා සොයුරන් ඉඟිමරාගත්තා මිස කිසිවක් කියන්නට ගියේ නැත.
කල් යත්ම අනෙක් සොහොයුරන් දෙදෙනාද විවාහපත් වී තම බිරියන් කැන්දාගෙන ආවේ මහගෙදරටයි. බාලම සොහොයුරාට මහගෙදර ලියා දී ඇති බැවින් අනෙක් සොහොයුරාද නිවසක් සාදන තුරු තම බිරිය සමඟ රැදී සිටියේ මහගෙදරයි. අලුත් නෑනන්ඩියන් දෙදෙනාටද නාලනීගෙ ගති පැවතුම් නොරිස්සුවත් ඈ විවාහපත් කර දෙන තුරු ඒ දෙදෙනා ඉවසීමෙන් කටයුතු කරන්නට වග බලා ගත්හ .
මවගේද අනුදැනුම මත නිසි කල වයසේ උන් නාලනීට සුදුසු සහකරුවකු සෙවීම සොයුරන් විසින් ආරම්භ කර තිබුනි. කොතෙකුත් මංගල යෝජනා පැමිණියද නාලනීට ඒ මනාලයන්ගේ කුමක් හෝ අඩුවක් පෙනෙන්නට විය. වැඩිවශයෙන්ම නාලිනීට උවමනා වූයේ මිලමුදල් දේපල වැඩි වශයෙන් ඇති මනාලයෙක් හා විවාහ වන්නටය. සොහොයුරන්ට වඩා ඉහළ තැනක සිටින අයෙක් හා විවාහපත් වී ඔවුන්ටද ආඩම්බරකම් පෙන්වීමේ කුරිරු ආශාවක්ද නාලනීගේ සිත ඇතුලේ සැඟවී තිබිණි.
"අනේ අම්මා ඒ මනුස්සය රජයෙ පොඩි රස්සාවක් කරන්නෙ. ඔය පඩිය ඇතිද කාල ඇඳල ඉන්න. පේනවනෙ ලොකු අයිය..ලොකුවට රස්සාවට ගියාට අක්කත් ජොබ් එක කරේ නැත්තන් හරියට කන්න අඳින්නවත් නෑ..දරුවෙක් හදන්නෙත් නෑ ජොබ් එකෙන් උසස්වීමක් හම්බෙනකන් ඉන්නව ඒකටත්. වතු පිටි වත් නොතිබුනානම් බලන්න තිබ්බ වැඩේ.."
නාලනී සොයුරන් ඉදිරිපිට වුව ඔවුන්ව පහතට හෙලා කතා කරන්නට පසුබට නොවූවත් සොහොයුරන් තම නැඟනියගේ ස්භාවය දන්නා බැවින් මුව්න් නොබැන නිහඬවම පසු වූහ.
අවසානයේ නාලනීගේ ප්රාර්ථනා ඉටු කරමින් ඇය සොයන ආකාරයේ මනාලයෙක් නිවසට පැමිණියේය. කෝටිපති ව්යාපාරිකයෙක් වූ කඩවසම් පිරිමියකු වන දේවින්දගේ පතිනිය වන්නට නාලනී එක පයින් කැමති වූවාය. විවාහය සිදුවන්නටත් පෙර සිටම නාලනී තම මවට මෙන්ම සොහොයුරන්ටද තමා ඒ සියලු දෙනාට වඩා උඩින් සිටින බව හැඟවෙන ලෙස ආඩම්බරකම් ප්රදර්ශනය කිරීමට පටන් ගත්තාය.
සියල්ල මැදහත් සිතින් ඉවසූ සොහොයුරන් විවාහ දිනයේද තම නැඟනිය වෙනුවෙන් කල හැකි උපරිම යුතුකම් ඉටු කරමින් වතුපිටි දේපල වලින්ද සැලකිය යුතු කොටසක් ඈ වෙනුවෙන් ලබා දුන්හ. යටි සිතින් දේපළ පිළිබඳව කෑදරකමින් උන්නත් නාලනී හැසිරුනේ තම සැමියාගේ ධනස්කන්ධය හා සලකන විට තමාට නිවසින් ලැබුන කිසිවක් තුට්ටුවකට මායිම් කල නොහැකි බව අඟවමිනි.
දේවින්දගේ පතිනිය වී ඔහුගේ තෙමහල් නිවසේ පදිංචියට ගිය පසු නාලනීට හැඟුනේ තමන් රජමාළිගයක වෙසෙන රැජිනක් ලෙසයි. එහෙත් නිවසේ කටයුතු වලට මෙහෙකරුවන් යොදා ගැනීමට ප්රිය නොකල දේවින්ද මවත් සමඟ සැහැල්ලු සාමාන්ය ජීවිතයක් ගත කල අයෙක් විය. තම නිවසේදී ඇති කරගත් පුරුදු වලින් අත්මිදීමට නොහැකි වූ නාලනී සැමියාගේ නිවසේ සිටද තම කෙළිලොල් දිවිපෙවත එලෙසම පවත්වා ගත්තාය. මුල් දින කිහිපයේ දේවින්දගේ මව සිතුවේ විවාහයේ වැඩකටයුතු වලින් හෙම්බත් වී ඇති බැවින් තම ලේලිය ට්ක දිනක් විවේකයෙන් සිට්යාට කම් නැති බවයි.
පාන්දරම අවදි වී සිය ව්යාපාරික කටයුතු සඳහා නිවසින් පිටවී යන දේවින්දට උදෑසන තේ කෝප්පය මෙන්ම කෑම සාදා දුන්නෙද මව විසිනි. දේවින්ද පිටවී යනතුරුත් නිදි සුව විඳින නාලනී පිබිදෙන්නේ උදෑසන නවය හමාරත් දහයත් අතර තුර කාලයේදීය. ස්භාවයෙන්ම අහිංසක ගුණ යහපත් කාන්තාවක් වූ දේවින්දගේ මව කිසිවිටකත් තම ලේලියගේ සිත රිදෙන යමක් නොකීවාය. නාලනීගේ උදෑසන තේ කෝප්පයද දේවින්දගේ මව අතින්ම පිළියෙළ වූ අතර නිවස අතුපතු ගෑම ඉවුම්පිහුම් කටයුතු පවා දේවින්දගේ මව අතින්ම සිදු විය. දේවින්දගේත් නාලනීගේත් කාමරයේ කිලිටි ඇඳුම් ගොඩ ගැසෙන්නට වූ අතර අඳින්නට ඇඳුමක් නැති තැනටම පත් වූ විට පමනක් කිලිටි ඇඳුම් කිහිපයක් රෙදි සෝදන යන්ත්රයට දමා සෝදා ගන්නට නාලනී පුරුදුව සිටියාය. බොහෝ විට රෑ බෝවී පැමිනෙන දේවින්ද නිවසේ සියලු වැඩකටයුතු කරන මවට තම රෙදි සේදීමටද පැවරිය නොහැකි බැවින් රාත්රී නින්දට පෙර තම කිලිටි ඇඳුම් සෝදා දැම්මේ කළකිරුනු සිතිනි.
මසක් දෙකක් ගත වූ තැනත් නාලනීගේ හැසිරීමෙහි වෙනසක් නොවූ තැන දේවින්ද කිහිපවරක් ඇයට අවවාද කිරීමට උත්සාහ කලේය. එහෙත් නාලනී ඒ කිසිවක් කනකට ගත්තේ නැත.
"නාලනී..,ඔහොම නිදියන් ඉන්නෙ නැතිව අම්මට පොඩ්ඩක් උදව් කරන්න. අඩුම තරමෙ ගේ ම්දුල වත් අතුපතු ගාන්න. මේ බලන්ඩකො ඔයාගෙ කිලිටු රෙදි ගොඩ. නහයක් නැද්ද.කාමරේම ගඳගහනව."
" අනේ දේවින්ද. මට ඕව කරන්න කියන්නෙපා. මම වැඩකාරකමට නෙවේනෙ ආවෙ. ගෙදරදිවත් මම ඕව කරේ නෑ. අනික අම්ම ඒව කරන්නෙ කැමැත්තෙන් .ඔයාට බලන් ඉන්න බැරිනම් වැඩකාරයෙක් ගේන්න.."
දිගට වැවූ නියපොතු වල ආලේපන ගල්වමින් නාලනී සැහැල්ලුවෙන් දේවින්දට පිළිතුරු දුන්නාය. තවදුරටත් නාලනීට අවවාද කිරීමෙන් පලක් නොවන බව තේරුම් ගත් දේවින්ද නිහඬ විය. තම ලේලියගේ ක්රියාකලාපය නිසා පුතු දුක් විඳින බව මවට පෙනුනත් ලේලියට සැර වැර කිරීමට ඇයට සිත් දුන්නෙද නැත.
" ගෙදරදි සැපට හැදුන දරුවෙක්නෙ. කිසි දෙයක් කරල පුරුදු නෑ. මගෙ කොල්ලත් දුක් විඳිනව.මං නැති කාලෙක මොනව කරගනිද මන්දා.."
දේවින්දගේ මව බොහෝ වෙලාවට එසේ සිතමින් තනිවම කල්පනා කලාය.
නාලනීගේ කුසට දරුවෙක් පැමිණියේ විවාහයෙන් දෑ අවුරුද්දකට පසුය. දේවින්ද මෙන්ම මවද ඉන් බොහෝ සේ ප්රීතියට පත් වූයේ නාලනීගේ ක්රියාකලාපය මින් මතු හෝ වෙනස් වේ යැයි සිතමිනි. නාලනීගේ මවද ඒ ආරංචියෙන් බොහෝ සේ ප්රීතිමත් විය. සියලු දේ අමතක කොට දේවින්දත් වඩාත් ආදරයෙන් නාලනීට සැලකුවාය.නමුත් වෙනස් වූයේ නාලනී නොවේ. දේවින්දගේ මව තවදුරටත් මුණිවත රැක්කේ නාලනී දරුවෙකු කුස දරා සිටින බැවිනි. දරුවා ලැබීමෙන් පසු නිවසේ වැඩකටයුතු නැතත් මවගෙන් දරුවාට විය යුතු යුතුකම් නම් නාලනී පැහැර නොහරිනු ඇතැයි ඈ සිතුවාය. දරුවා කුසට පැමිණි පසු නිතර අමාරුකම් කියනා නාලනී තම කිළිටි ඇඳුම් සේදීම පවා දේවින්දගේ මවට භාර කලාය.
" දැන් ඉතින් අමාරුකම් ඇති. දරුව ලැබුනම වෙනද වගේ රෙදි ටික හෝද ගයි. "
දේව්න්දගේ මව එලෙස සිතමින් තවදුරටත් තම ලේලියට අනුකම්පා කළාය.
දස මසක් ඇවෑමෙන් නාලනීගේත් දේවින්දගේත් දරුවා මෙලොව එලිය දුටුවේය. ඒ රෝස මලක් වන් සිඟිති දියණියකි. දේවින්දත් ඔහුගේ මවත් කම්පාවට පත් කරමින් නාලනී දරුවාට මව් කිරි දීම ප්රතික්ෂේප කලේ තම සිරුරේ හැඩය රැකගැනීමට එය බාධාවක් බව පවසමිනි. දරුවාට කිරි දෙන ලෙස දේවින්ද කොතෙක් ආයාචනා කළත් නාලනී එය කනකට ගත්තේ නැත. අවසන අකමැත්තෙන් වුවද දරුවාට පිටි කිටි දෙන්නට දේවින්දට සිදුවිය. ඒ හැරුනුකොට දරුවාගෙ සියළු වැඩ කිරීමට සිදුවූයේද දේවින්දගේ මවටයි. දේවින්ද තම මව දුක් විඳින අයුරු බලා සිටියේ කලකිරුනු සිතිනි. වැඩි කල් නොගොස් මවත් දරුවාත් වෙනුවෙන් යම් තීරණයක් ගත යුතු බව ඔහු තනිව සිතුවේය.
කල් ගත වෙත්ම දේව්න්දගෙ වෙනසක් මවට මෙන්ම නාලනීටද දැනෙන්නට පටන් ගෙන තිබුනි. පෙර කොපමන වැඩ රාජකාරි බහුල වූවත් නිතර නිවසට පැමිනෙන දේවින්ද සති දෙක තුන රාජකාරි කටයුතු සඳහා බව පවසමින් නිවසින් පිටවි උන්නේය. නිවසට පැමිණියද වැඩි වේලා ගත නොකරන ඔහු මව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිට දරුවා සුරතල් කරමින් සිට ආපසු යනමුත් නාලනී පිළිබඳ තැකීමක් සිදු නොකලේය. ඔහු නිතරම මවගෙන් ඉල්ලා සිටියේ තවත් සුළු කාලයක් තමාත් දරුවාත් වෙනුවෙන් ඉවසන ලෙසත් ගතයුතු හොඳම තීරණය හැකි ඉක්මනින් ගන්නා බවත්ය.
"අම්ම තව ටික දවසක් ඉවසන්න. අම්මව හැම කැරදරේකින්ම නිදහස් කරනව මම . එතකන් මගෙ දුවව හොඳට බලාගන්න."
මව දේවින්දගෙන් ඊට එහා ප්රශ්න කරන්නට නොගියත් ඇගේ හිතේ පුතු කුමක් කරන්නට යන්නේදැයි ඇති වූයේ සාංකාවකි..
නාලනීට වියදමට අවශ්ය වන මුදලටත් වඩා වැඩි ප්රමානයක් නිර්ලෝභීව ඇගේ ගිණුමට තැන්පත් කළද එතනින් එහා කිසිදු සම්බන්ධයක් ඈ සමඟ නොපැවත්වීමට දේවින්ද වගබලා ගත්තේය. දේවින්දගේ මවට තම පුතුගේ මේ වෙනස ඉතා හොඳින් පෙනුනත් පෙර පැවති කළකිරුනු ස්භාවය වෙනුවට පුතුගේ මුහුණින් ප්රීතිමත් ස්භාවයක් දිස්වන බවද නීරීක්ශනය කලාය. තම පුතුගේ මේ වෙනස් වීම නාලනීගේත් ඔහුගේත් පවුල කැඩීයාමේ පෙර ලකුණක්දැයි දේවින්දගේ මවට යම් තාක් දුරට සැකයක් පහල විය. තම සැමියාගෙ වෙනසක් දැනුන බැවින් තම විවාහය බිඳී යාවිදැයි භීතියට පත් වූ නාලනීද දේව්න්දට ඇඟෑලුම් පාන්නට උත්සාහ කළත් දේවින්ද හැකි සෑම විගසම ඈ මගහැර ගියේය.
නාලිනීගේ හිස මත අකුණු සියයක් පුපුරා ගියාක් මෙන් දැනුනේ දේවින්ද තමාගෙන් දික්කසාදය ඉල්ලූ දාය. ඒ වන විටත් දේවින්ද තම මවට සියලු විස්තර පවසා තිබුනි. එහෙත් මවගේ උත්සාහය වූයේ තවදුරටත් ඉවසීමෙන් මේ විවාවහය රැක දීමටයි.
" අනේ පුතේ..අපි තව ටිකක් බලමු. මං දුවට කියන්නම් ගෙදර දොරේ වැඩකටයුතු ඉගෙන ගන්න කියල. කසාදයක් කැඩෙනව කියන්නෙ මහ විලිලැජ්ජ නැති වැඩක් පුතේ. ඔච්චර ලොකුවට මඟුල් කාල කරගත්තු දෙ කියල මිනිස්සු හිනාවෙයි..ඊටත් මේ දරුවා ගැන හිතපංකෝ.. අම්ම කෙනෙක් නමටවත් නැතිව කොහොමද ගෑනු දරුවෙක් හදන්නෙ."
"අනෙ අම්මෙ මිනිස්සුන්ට ඕන විදිහටද අපි ජීව්ත් වෙන්න ඕන. හැදෙනවනම් නාලනීට හැදෙන්න දීපු කාලෙ හොඳටම ඇති.අනික නමට විතරක් අම්ම කෙනෙක් මොකටද මගෙ දරුවට. මට වඩා හොඳට අම්ම දන්නවනෙ ඒක. අනික....මං අම්මට කියන්න හිටියෙ... මට වෙන සම්බන්ධයක් තියෙනවා...දරුවට කිසි වෙනසක් කරන්නෙ නෑ එයා. මට ඒක විස්වාසයි."
"අනේ පුතේ මොනවද මේ කියන්නෙ ...උඹ කසාද බැඳපු මිනිහෙක් නේද..ගෑනු දරුවෙක්ගෙ තාත්ත කෙනෙක් නේද..! ඒ දැරිවිගෙ ගෙදරින් දැනගත්තොත් විසුමක් නෑ. ඔන්න ඕක නතර කරල දාපං .අපි නාලනීට තව එක පාරක් කියල බලමු."
දේවින්දගේ මව කෙතරම් ආයාචනා කලද ඔහුගේ සිත වෙනස් වූයේ නැත. නාලනී කිහිපවරක් හැඬූ කඳුලින් දේවින්දගේ සිත වෙනස් කිරීමට උත්සහ කලද නාලනීගේ කඳුලු වලට ඔහුගේ සිත උණුවූයේ නැත.
කෝටිපති ව්යාපාරිකයෙකුගේ අතගෙන මහත් අභිමානයෙන් ගොඩ නඟා ගැනීමට සිතූ ජීවිතය නැති කර ගැනීමට නාලනී බිය වූවාය. මුලදී තම මවට හෝ සොහොයුරන්ට මේ පිළිබඳව පැවසීමට ලැජ්ජාවෙන් උන් නාලනී අවසන ලැජ්ජාව පසෙක තබා සොහොයුරන්ගේ පිහිට පතන්නට විය. කලබලයට පත් වූ සොහොයුරන්ද දේව්න්ද හමුවී කතාබස් කල පසු සියල්ල නාලනීගේ වැරැද්දෙන්ම සිදුවූ බව තේරුම් ගත්හ. නැඟනිය තම මහගෙදරට කැඳවූ සොහොයුරන් ඇගේ කල්ක්රියාව විවේචනය කරමින් තම වැරදි සාදාගන්නා ලෙස උපදෙස් ලබා දුන්හ. හදිසියේ දික්කසාද වන්නට සිදු වුව හොත් තමාට යන එන මං නැති වන බව නාලනී තේරුම් ගත්තාය.එසේ පැමිණියහොත් නෑනලාගේ රැවුම් ගෙරවුම් වලට ලක් වී වහලියක් ලෙස ඉන්නට වන බව ඇයට හැඟිනි. වැඩිමල් සහෝදරයන් තිදෙනාට පාසල් යන වයසේ දරුවන් වූ අතර අනෙක් සොහොයුරන් දෙදෙනාගෙ බිරියන් දරුවන් ලැබීමට උන්හ. විවාහ වී බොහෝ කල් ගත වුවත් සොහොයුරන් ජීවිතය ගත කලේ සැලසුම් සහගතවයි. තම ආරථිකය ශක්තිමත් වන තුරු දරුවන් සෑදීම පමා කල ඔවුන් දැන් දරුවන්ද ලැබ සතුටින් කාලය ගෙවති. ඔවුන් සියලු දෙනාම තමා අතහැර ප්රීතිමත් පවුල් දිවියක් ගත කරනු දැකීම නාලනීගේ නොමඳ ඊර්ෂ්යාවට හේතු විය.ඇඬූ කඳුලින් සියල්ල අසා සිටි නාලනී එදින නිවසින් පිට වූයේ තම විවාහය රැක ගැනීමට සොහොයුරන් පැවසු ලෙස තමා කෙසේ හෝ වෙනස් විය යුතු බව සිතට ගනිමිනි. ඒ වන විට සොහොයුරන් සියළු දෙනා නිවෙස් සාදා ගෙන සිටි අතර බාලම සොහොයුරා මහ ගෙදර වාසය කලේය. සොහොයුරන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේද සිත් තුල වූයේ නැඟනිය දික්කසාද වුවහොත් තමාට බාර ගැනීමට සිදුවේ යැයි බියකි. මහගෙදර වාසය කල සිරිමෙවන්ට සහ බිරියට එම බිය තදින්ම දැනෙමින් තිබුනි. නැඟනියගේ විවාහය බිඳී නොයේවායි යන්න ඔවුන්ගේ සිත් තුල වූ එකම පැතුම විය.
තමා වෙනස් විය යුතු යැයි
අදිටන් කරගෙන නිවසින් පිට වූවත් දේවින්දගේ නිවසට පැමිණි පසු ඇයට ඒ සියල්ල අමතක වී පරන දින චර්යාවටම කල් ගත කරන්නට වුවාය. තම පුතුගේ පවුල රැකගැනීමට දේවින්දගේ මව නොයෙකුත් ආකාරයට නාලනීට අවවාද කරත් අවසනදී සිදු වූයේ නාලනීට තම නැන්දනියද වහ කදුරු මෙන් තිත්ත වීම පමණි. අවසනදී පුතු ගන්නා තීරණයකට එකඟ වීම හැර විකල්පයක් ඇයටද ඉතිරි වූයේ නැත.
එක් දිනයක දේවින්ද හිටිහැටියේම කොළඹ සිට නිවසට පැමිනියේ තම පෙම්වතිය වූ තුශාරීද කැටුවයි. දේව්න්දගේ මව එය කිසිසේත් අනුමත නොකළද තුශාරි හා කතාබහ කල සැනෙකින්ම ඈ හා බැඳී ගියාය. දරුවා වඩාගත් තුශාරි ආදරයෙන් දරුවා සුරතල් කලාය.
"අම්මෙ මං දන්නව මං ආවෙ වැරදි ගමනක් කියලා. නාලනී ගෙදර ඉන්නව කියලත් මං දන්නවා. දේව්න්ද කියපු නිසාමයි මං මෙහෙම ආවෙ. කාටවත් නොකිව්වට දේවින්ද දරුව ගැන හිතල ගොඩක් දුක් වෙනවා. නාලනි වැරදි හදාගන්නවනම් මම අදම උනත් දේවින්දගෙන් අයින් වෙන්න කැමති.ඒත් ඉතිං...අම්ම දන්නවනේ..හ්ම්ම්..."
නාලනී උන්නේ ලැජ්ජාවෙන්ද කෝපයෙන්ද දැවෙම්නි කාමරයට වී දොර වසාගෙනය. හෝරා කිහිපයක් නිවසෙහි රැඳුන දේවින්දත් තුශාරිත් දිවා අහාරයද ගත් පසු නැවත නිවසින් පිටවී ගියහ. කාමරයේ මුළුගැන්වී උන් නාලනී හදිසියේම තීරණයක් ගත්තාය. තම ඇඳුම් පැළඳුම් කිහිපයක් බෑගයක ඔබා ගත් ඈ දේවින්දගේ මව බලා සිටියදීම නිවසින් පිට වූයේ ඇගේ මුහුණ දෙස වත් නොබලාය. තමාට කිරිදරුවකු සිටින බවටවත් හැඟීමක් ඈ තුළ නොවීය.
නිවසට පැමිණි නැඟනිය එළවන්නට බැරිකම නිසා බාර ගන්නට සිරිමෙවන්ට සිදුවිය. නාලනීගේ මව උන්නෙ සිදුවූ දෙය ගැන මහත් දුකකිනි. නඩු මඟට බැස වන්දියක් ලබා ගෙන දික්කසාදය ගන්නට නාලනී තීරණය කරගෙන උන්නාය. සිරිමෙවන්ගේ බිරිය කෝපයෙන් සිරිමෙවන් දෙස බලා මුව ඇද කරේ නඩු කියන්නට වියදම් දැරීමටද තමාට සිදුවන බව මතක් කර දෙන්නටය.
අවසන කෙසේ හෝ වන්දියක් ලබා ගනිමින් දික්කසාදය ලබාගන්නට නාලනීට හැකිවිය. නාලනිට ආදායම් මාර්ගයක් නොමැති බැවින් දරුවා දේවින්දගේ භාරයට පත් කෙරුණි. දේවින්දට අවශ්ය වී තිබුනේද ඉල්ලන ඕනෑම මුදලක් ලබාදී නාලිකාගෙන් ගැලවීමට බැවින් වැඩි දික්ගැස්සීමකින් තොරව නඩුව අහවර කර ගැනීමට හැකිවිය.
එයින් පසුව හෝ නාලනී තම ජීවිතය නිවැරදිව හැඩගස්වා ගනී යැයි බලාපොරොත්තුවක් සිරිමෙවන් මෙන්ම නාලනීගේ මව තුලද ඇති වී තිබුනි. සිරිමෙවන්ගේ බිරියනම් එම සිතිවිල්ල උපහාසයෙන් යුතුව බැහැර කලාය.
" අනේ සිරි.. ඔයාටයි අම්මටයි දෙන්නටම පිස්සු. මෙච්චර දේවල් වෙලත් හැදුනෙ නැති කෙනා දැන් හැදෙයිද. අන්තිමේට මෙ බඩත් උස්සන් මට තමා එයාගෙ වැඩත් කරන්න වෙන්නෙ දැන්. කරත් හොඳක් නෑනෙ. බඳින්න කලිනුත් මට මතකනෙ...අනික තමන්ගෙ දරුවටවත් නැති කොට..."
" මොනව කරන්නද සාරිකා..නංගිනෙ කියල ඉවසන්නෙ. ඔයා එයාට කියල උදව් ගන්න. නිකන් ඉන්න දෙන්නෙපා."
මහගෙදර වාසයට පමිනි නාලනී උන්නේ කොයි මොහොතේත් නොරොක් කර ගත් මුහුණෙන් යුතුවය. නෑනන්ඩියගේ දෙපිට කැපෙන කතා සහ තම මවගේ ඇනුම් බැනුම් වලින් ඇ හෙම්බත් වී සිටියාය. තව දුරටත් පෙර ලෙස ජීවිතය ගත කරන්නට ගියහොත් තම මව වුවද තමාට සමාවක් නොදෙනු ඇතැයි සිතූ නාලනී හැකි අයුරින් මවටත් නෑනන්ඩියටත් සහය වීමට උත්සහ කලාය. නමුත් කිසිදිනෙක වැඩක් පලක් කර නොතිබූ නාලනී උදව් කරන්නට යාමෙන් වැඩ එක දෙක වූ අවස්ථා බහුල විය. නලනී නිවෙස අතුගෑවත් මුල්ලක කුණු ඉතිරිව තිබුනි. අම්මාගෙන් අසා ගෙන හොද්දක් සෑදුවත් ලුණු අඩු හෝ වැඩි වී තිබ්නි. වැරදි පෙන්වා දුන් විට නාලනී සිතුවේ නිවසේ සැම දෙනාම තමා එළවාගැනීමට තැත් කරන බවයි.
තම දරුවාගේ මුහුණ වත් නොබලා අතහැර ආ නාලනීට අවසනදී සිදු වූයේ සිරිමෙවන්ගේ දරුවා බලාකියා ගැනීමටය. සිරිමෙවන්ගේ බිරියද රැකියාවක් සොයාගත්තේ නිවසේ සිටින පිරිස වැඩි බැවින් වියදම දරාගන්නට නොහැකි බව පවසමිනි. වන්දියක් ලෙස නාලනීට ලැබුනු මුදල් වලින් සතයක් වත් නිවසේ වියදමට ලබා දීමට නාලනී මැලි වූවාය. නෑනන්ඩියගේ අපවාද වලින් මිදෙනු පිණිස අකමැත්තෙන් වුවද දරුවා බලා ගැනීමට එකඟවන්නට නාලනීට සිදුවිය. තමාට නුරුස්නා යම් කිසිවක් සිදුවූ වහාම රෙදි කෑලි කිහිපයක් ඔතාගත් නාලනී අසල ඉඩම් වල වෙසෙන සොහොයුරන්ගේ නිවෙස්වලට යන්නට පටන් ගත්තාය. ඒ ගෙදරින් මේ ගෙදරට මේ ගෙදරින් ඒ ගෙදරට මාරුවන නාලනී එහෙටත් මෙහෙටත් වැරදි කියමින් යන යන තැන බොරු කේලම් ගොතන්නට පටන් ගත්තාය. නාලනීගේ ස්භාවය දන්නා සොහොයුරන් හා ඔවුන්ගේ බිරියන් ඈ කියන සියල්ල උපහාසයෙන් යුතුව බැහැර කළත් ඇයට ඒ බව අඟවන්නට ගියේ නැත. නාලනීගේ හිතේ වූ ඊර්ෂ්යාව දිනෙන් දින ඉහළ යන්නට විය. තමාට නැති සැපවත් සාමකාමී පවුල් ජීවිත තම සොහොයුරන් ගත කරනු දැකීම ඇගේ ඇසට කටු අනින්නාක් මෙන් විය. එහෙටත් මෙහෙටත් කේලාම් කියා කොටවන්නට උත්සාහ දැරුවත් ඔවුන් සියලු දෙනා එකතු වූ විට තමන් කරනා කියනා දේ ගැන කතා වෙමින් තමා උපහාසයට පත් කරන බව නාලනී දැන උන්නෙ නැත.
කෙතරම් කල් ගත වූවද වයසින් වැඩුනද නාලනීගේ ගති පැවතුම් වෙනස් කරන්නට සමතෙක් නම් නොවීය. කලින් කලට තැනින් තැනට මාරු වෙමින් තම තැන රැකගන්නට නාලනී අපමන වෙහෙසක් දැරුවාය. නාලනීත් ඇගේ සොහොයුරනුත් කෙමෙන් වයසට යද්දී සොහොයුරන්ගේ දරුවන් ටිකෙන් ටික උස් මහත් වී දැනුම් තේරුම් ඇති දරුවන් බවට පත් විය. නාලනීගේ මව මිය යනවිට නාලනී හතලිස් පස් වන වියට පත් ව උන්නාය. මවගේ ඇවෑමෙන් නාලනී පවුල තුල තවත් අසරණ භාවයට පත් විය. ඒ අසරණකම නාලනීගේ සිත තුල ඇති කුහක කම ආන්යන්ට ඊර්ෂ්යා කරන ස්භාවය තව තවත් වැඩි කරන්නට සමත් විය. සොහොයුරන්ගේ දරුවන් ගැනද නාලනීගේ සිත තුල වූයේ එවැනිම හැඟීම් සමුදායකි. දරුවන්ගේ යම් කිසි ජයග්රහයක් දියුනුවක් පවුලේ අන් අය එක්ව සමරද්දී නාලනී සිත යට වූ කෝපයෙන් දැවී ගියාය.
නාලනීගේ වැඩිමල්ම සොහොයුරාගේ පුතු වන රිද්ම ඒ වන විට විශ්ව විද්යලයේ අවසන් වසරෙහි ඉගෙනුම ලබමින් උන්නේය. ඔහු විශ්ව විද්යලයේම සිසුවියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවත් නිතර රිද්ම ඈ කැටුව නිවසට යන එන බවත් නාලනී දැනගත්තේ අන් අයගේ කතාබහෙනි.
" ඇත්තද ලොකු අයියෙ පුතා කෙල්ලක් එක්ක පැටලිලා කියන්නෙ. හොයල බලන්නැද්ද ඔයගොල්ල .හැදිච්ච ගෑනු ළමයෙක් ඔහොම ගෙවල් ගානෙ යනවද මං අහන්නෙ බඳින්නත් කලින්.."
" ඒ දරුවා බොහොම ගුණ යහපත් කෙනෙක් නාලනී. අනික නැවතිලා ඉන්න ආවෙ නෑ පුතත් එක්ක නිකන් ඇවිත් ගියා අපිට අඳුනගන්නත් එක්ක. දැන් කාලෙ වෙනස්නෙ..."
"මයෙ මොකෝ. මං කියන දෙයක් මේ ගෙවල් වල මිනිස්සු ගණන් ගන්නෑනෙ.. බලමුකො අපි ..අපෙ කාලෙ නම් ඔහොම නාඩගම් තිබ්බෙ නෑ"
නාලනීගෙ වචන වල කැටිවූ ඊර්ෂ්යාව සොහොයුරාටත් ඔහුගේ බිරියටත් හොඳින් තේරුම් හත හැකි විය.
"ඒක ඇත්ත. ඒ කාලෙ එහෙම දේවල් තිබ්බනම් නංගිට දික්කසාද වෙන්නවත් කසාද බඳින්න හම්බෙන් නෑ.."
නෑනන්ඩිය එසේ කියන විට නාලනීගේ මුහුණ හැකිලී ගියේ ලැජ්ජාව මුසු වූ කෝපයකිනි. තම සොහොයුරාද බිරියගේ වචන වලට උපහාසයෙන් සිනාසෙන අයුරු දුටු නාලනී තවත් ඒ නිවසේ රැඳී නොසිට පිටත්ව ආවේ කෝපයෙනි. මුහුණ නොරොක් කරගෙන පිටවී යන ඈ නවත්වන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත.
රිද්මගේ විවාහය සූදානම් කිරීම සඳහා තම සොහොයුරන් මනාලිය බලන්නට ගිය බව දැනගත්තද ඒ පිළිබඳව විමසා දැනගන්නට නාලනී අදිමදි කලේ ලොකු අයියාගේ නිවසේදී නෑනන්ඩිය කී වචන සිහිපත් වූ නිසාමය. විවාහය තීන්දු වූ නිසා පවුලේ සෑම දෙනාම මංගල්යයේ කටයුතු වලට කාර්යබහුල වූවත් නාලනීගෙන් කිසිවකුත් සුළු උදව්වක් හෝ ඉල්ලීමට පැමිණියේ නැත. උදව් කිරීමට කැමැත්තක් නැතත් නිතර සොහොයුරාගේ නිවසට ගොස් යමක් කර දීමට නාලනී උත්සුක වූයේ රිද්මගේ මනාලිය පිළිබඳ වගතුග සොයා බැලීමේ උවමනාව නිසාය.
නාලනීගේ උත්සාහය මුදුන්පත් වූයේ සොහොයුරාගේ නිවසේ කැවිලි පෙවිලි සාදන දිනයේ රිද්ම සමඟ පෙම්වතියද නිවසට පැමිණි විටයි. නාලනී ගස්සමින් මුහුණ නරක් කොටගෙන සෙමින් මුමුණමින් වැඩ කරමින් සිටි නෑනලා අසලට ගොස් කුටු කුටු ගෑවාය.
" මොන තාලෙකට හැදිච්ච උන්ද මන්දා. අයියටත් මොළයක් නෑනෙ. මඟුල හෙටානිද්ද තියෙද්දි මෙහෙ රිංගන් මොනව කරනවද. රිද්මටත් ඉගෙන ගත්තට මොලේ නෑ.."
නාලනීගේ වදන් වලට නෑනලා එකිනෙකාගේ මුහුන බලා ඉඟි කරගත්තද පිළිතුරු දෙන්නට ගියේ නැත. සාලය දෙසට ගිය නාලනී රිද්ම එහෙ මෙහෙ වන තුරු සිට ඔහුගේ මනාලිය කතාවට අල්ලාගත්තාය.
" ඈ ළමයො දෙමව්පියො දන්නවද අද මෙහෙම ආවයි කියල.."
"ඔව් ආන්ටි දන්නවා.රිද්ම ගෙදරට ඇවිල්ලනෙ මාව එක්කරගෙන ආවෙ.."
" අනේ මන්දා ඕව ඉතින්... දෙමව්පියො දැනගන්නෙපායෙ.."
"මොනවද ආන්ටි.."
"න්...නෑ නෑ... ඔය ළමයගෙ දෙමව්පියො මෙහෙ ආවෙත් නෑ නේද..."
" ආවා ආන්ටි...මං හිතන්නේ ....ආන්ටි නම් එදා හිටියෙ නෑ.."
නාලනී හිත ඇතුලෙන් පුපුරා හැලුනාය. තමාට හොරෙන් බොහෝ දේ සිදුවී ඇති බව ඇය තේරුම් ගත්තාය. මනාලිය ගැන හිතූ තරම් වැරැද්දක් සොයාගන්නට නොහැකි වීමත් නාලනීගේ සිත දවාලන්නට විය.
මංගල්යය දිනයේ ඊට සහභාගී වීමට නාලනී සූදානම් වූයේ නොයා බැරිකමටය. මනාලියගේ පාර්ශවයෙන් ලැවැත්වෙන උත්සවය කෙබඳුදැයි දැන ගැනීමටත් ඇගේ සිතේ උවමනාවක් ඇති විය. සමහර විට මනාලියගේ පාර්ශවයේ වැරැද්දක් මංගල්යයේදී සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඈ සිතුවාය.
විවාහය පැවැත්වූයේ සුපිරි පන්තියේ හෝටලයකදීය. මනාලයා පිළිගැනීමට හෝටලය ඉදිරිපිට වෙස් නැටුම් කණ්ඩායමක් පෙළ ගැසී සිටියහ. නැටුම් කණ්ඩායම විසින් මනාලයා හෝටලයේ පිවිසුම වෙත කැඳවාගෙන යන විට නාලනී ඇතුලු නෑදෑ පිරිසද සෙමින් සෙමින් ඊට පිටුපසින් ඇදෙන්නට විය.
වට පිට බලමින් හෝටලය ඇතුලට යන නාලනීට එකවරම හුරුපුරුදු මුහුණක් දුටු බව දැනී ආපසු හැරී බැලුවාය. නමුත් ඒ කවුරුන්දැයි පිරිස අතරින් නැවත සොයාගන්නට නොහැකි විය.
" මේ අක්කේ. කෝ මේ දැරිවිගෙ දෙමව්පියො.මං දැක්කෙත් නෑනෙ. ඔයාල ඔක්කොම මට හොරෙන්නෙ කරේ.."
" අනේ එහෙම දෙයක් නෑ නංගි. අර අතන පොල්තෙල් පහන ළඟ ඉන්නෙ නිල් සාරියක් ඇඳගෙන ඒ අම්මා.තාත්තත් ඔන්න හිටියා දැන් පේන්න නෑ ඒ පාර. අම්මා ළඟම අර ඉන්නෙ මනමාලිගෙ මල්ලි...පෝරුව චාරිත්ර කරද්දි නංගි බලන්නකො එතන."
සිරිමෙවන්ගේ බිරිය නාලනී දෙස බලමින් අමුතු සිනාවකින් යුතුව කීවාය.
නැකත් වේලාව ආසන්න විය පෝරුව අසලට රැස් වූ නෑදෑ පිරිවර අතරින් රිද්මගේ දෙමවියනුත් මනාලියගේ දෙමව්පියනුත් ඉදිරියෙන් සිටියහ. අතරින් පතර රිංගා ගොස් පෝරුව පෙනෙන මානයට ගිය නාලනී මනාලියගේ දෙමව්පියන් දැක ගල් ගැසී ගියාය.
"දේවින්ද... .! දෙවියනේ.....! එතකොට...මේ...මේ.... මනමාලී...මගේ..රිද්ම බඳින්නෙ මගෙ දුවද...නෑනයි මස්සිනයි.. "
නාලනී අසල වූ පුටුවක් තදින් අල්ලාගෙන අවසිහියෙන් මෙන් දේවින්ද දෙස බලා උන්නාය. වරක් හැරි නාලනී දෙස බැලූ දේවින්ද ඒ බැල්ම එලෙසින්ම පෝරුව මත සිටින මනාලිය දෙස රැඳවීය. නාලනී සත්ය දැනගත් බව දුටු සොහොයුරන් නිහඬවම පෝරුවේ චාරිත්ර නිම වන තුරු බලා සිටියේ ඒ යමක් තේරුම් කිරිමට සුදුසු මොහොත නොවන බැවිනි.
මනාලයා විසින් මවට කිරිකඩ හේල පිළිගන්වන මොහොතේ මනලියගේ බැල්ම එකවරම නාලනී වෙත යොමු විය. ඒ දැඩි බැල්මෙන්ම මනාලිය සත්ය දන්නා බව වටහා ගන්නට නාලනීට හැකිවිය. සෙමින් සෙමින් පුටු වලට වාරු වී ශාලාවේ ඈත කොනකට ගිය නාලනී පුටුවක හිඳ කඳුලු පිරුණු දෑසින් පෝරුව මත සිටින මනාල යුවල දෙස බලා උන්නාය. ජීවිතයේ ප්රථම වරට නාලනීගේ සිතෙහි දරු පෙමක් ඇති වන්නට විය. පෝරුවේ චාරිත්ර අවසන් වූ විගසම පොරුවෙන් බැසගත් මනාල යුවල තමා දෙසට එනු දුටු නාලනීට කිසිවක් කර කියාගත නොහැකි විය. ඒ සමඟ රිද්මගේ දෙමව්පියන් මෙන්ම දේවින්ද සහ ඔහුගේ බිරියත් පැමිණෙනු දුටු නාලනී පුටුවෙන් නැඟිට්ටේ අපහසුවෙන් මෙනි.
"නැන්දා...නැන්ද දැන් දන්නවනෙ මේ කවුද කියල නේද. "
රිද්මගේ පැනයෙන් නාලනී නිරුත්තර විය. මනාලිය නාලනී දෙස බලාගෙනම සිය කටහඬ අවදි කලාය
^ මං අම්ම කියන්න කැමති නෑ. ආන්ටි කියලම කතා කරන්නම්. ආන්ටි කීව නේද අම්ම මාව හදල තියනවා හොඳ නෑ කියලා. අම්ම නම් මාව හොඳට තියා කොහොමවත් හදන්න කැමති උනේ නෑ කියලා තාත්ත මට කියල තියනවා. ඒ උනාට මේ අම්මා මාව හැදුවෙ මලක් වගේ. එයා වදපු දරුවටත් වඩා ආදරේ කලේ මට. මේ තමා මට ඉන්න එකම අම්මා.මට දුක හැමදේටම අම්මට උදව් කරපු අත්තම්ම අද අපිත් එක්ක නැති එකට විතරයි"
රිද්මගේ බිරිය එසේ කියන විට දේවින්දගේ බිරිය බිම බලාගෙන කඳුලු සලමින් උන්නාය.
" නැන්දා..දැන් මෙහෙම කතා කරාට නංගිගෙ තරහක් නෑ නැන්ද ගැන. අපිත් යාළුවෙනකොට මේ දේවල් දැනන් හිටියෙ නෑ. ගෙවල් වලින් කතා කරද්දියි දැන ගත්තෙ. නොදැන උනත් මං ආදරේ කරලා තියෙන්නෙ මගෙ නෑනට."
රිද්ම පැවසුවේ තම මොහොතකට පෙර තම බිරිඳ වූ ඈ දෙස නෙත් හරවමිනි. නාලනීට වචනයක් හෝ කතා කිරීමට නොහැකි විය .ඒ වෙනුවට ඈ කලේ මනාලිය දෙස බලාගෙන කඳුලු සැලීම පමණි
"ආන්ටි අඬන්න එපා. මගෙ තරහක් වෛරයක් නෑ. ඒත් මට මං අම්මා කියන්නේ මාව ආදරෙන් හදපු අම්මට විතරමයි. ආන්ටිට වෛර කරන්න එපා කියල මට ඉගැන්නුවෙත් ඒ අම්මම තමා. ආන්ටි පුළුවන් නම් දැන් වත් වෙනස් වෙන්න බලන්න. මට එච්චරයි කියන්න තියෙන්නෙ.."
මනාල යුවල දන නමා නාලනීට වැඳ එතැනින් ඉවත්ව ගියේ ශාලාවේ සිටින අනෙක් ඤාතීන්ට ආචාර කිරීමටයි. දේවින්දත් ඇගේ බිරියත් නාලනී වෙත එක් බැල්මක් පමණක් හෙලා එතැනින් ඉවත්ව ගියහ.
සියළු දෙනාගෙන් වෙන්වී තනිවී කල්පනා කරමින් උන් නාලනී දහවල් ආහාරය ගන්නා තෙක් වත් නොසිට හෝටලයෙන් පිට වූවාය. ඇය නැවැත්වීමටද කිසිවෙකුත් උත්සාහ කලේ නැත.
මනාල යුවල මධුසමය ගත කිරීමට දින තුනක කාලයක් සඳහා නුවර එළිය බලා පිටත් ව ගියහ. නාලනීගේ සොහොයුරන් හා අනෙක් පිරිස නිවෙස් කරා එන විට කළුවර වැටෙන්නටද ආසන්න වී තිබිනි. සිරිමෙවන් ඇතුලු පවුලේ අයට නිවසට ඇතුල් වන්නට දොර විවර කල නාලනී කිසිවෙක්ටත් මුහුණ නොදී කාමරයට ගොස් දොර අගුල් ලා ගත්තාය.
නාලනී කාමරයෙන් පිටතට පැමිණියේ පසුදාය. උදෑසනම හැඳ පැලඳගත් ඈ බෑගයක්ද අතින් ගෙන නිවසෙන් පිටවනු සිරිමෙවන්ගේ ඇස ගැටුනත් යන ගමනක් කිසි දිනෙක නිවසේ අයට දන්වා යන පුරුද්දක් නැති නැඟනියගෙන් විමසීමක් කරන්නට නොගියේය.
නාලනී යලිත් නිවසට පැමිණෙන විට හවස් වී තිබිනි. ඊළඟ දින දෙකෙහිදීත් නිවසේ කිසිවකුත් සමඟ මුහුණට මුහුණ දී කතා කරන්නට නොහැකි අපහසුවකින් ඇය පෙළුනාය. ඇයට තම ජීවිතය පිළිබඳව විශාල කලකිරීමක් දැනෙමින් තිබුනි. ජීව්තයේ මෙතෙක් කල් ලැබිය යුතු හොඳම දේවල් තම දෙපා මුලටම ලැබී තිබියදීත් තමා ඒ දේවල් නැති කරගත්තා නොවේද..! තමාට හැදෙන්නට කොයිතරම් අවස්ථා ලැබුනාද..!එහෙත් ඒ සියල්ල තමන් විසින්ම මඟහැරගත් හැටි..! නාලනීගේ මනසේ සියළු අතීත සිදුවීම් ඇඳී මැකී යන්නට විය. පසු දින පැවත්වෙන මංගල්යයේ දෙවැනි දිනට සහභාගී වීමේ දැඩි අවශ්යතාවක් නාලනීට වූයේ වෙනදා මෙන් අන් අයගේ අඩුපාඩු දැකීමට නොවේ . දෙවන ගමනට සූදානම් වන තම කුසින් වැදූ සුන්දර දියණිය දැකීමට ඇති උවමනාවටයි. එහෙත් ඔවුනෙගේ මුනුණු ඉදිරියට යාමට නොහැකි ලැජ්ජාවකින්ද ඕ පෙලුනාය. කාමරයට වැදුන නාලනී පෙර දින තමා නිවසින් පිටතට යන විට රැගෙන ගිය බෑගය ගෙන හැර බැලුවාය. මොහොතක් ඒ දෙස බලා උන් ඈ නැවත එය වසා ඇඳ අසල වූ කනප්පුව මත තැබුවාය. හදිසියේම පපුවෙහි ඇති වූ සියුම් වේදනාව නිසා සෙමින් පපුව අතගාමින් නාලනී ඇඳෙනි ඇලවුනාය.
පසු දින සිරිමෙවන් ඇතුලු පවුලේ පිරිස පාන්දරින්ම අවදි වූයේ මංගල උත්සවයට යෑමට සූදානම් වීමටයි. බොහෝ වෙලාවක් යනතුරුත් නාලනී කාමර්යෙන් පිටතට පැමිණියේ නැත. ඒ ඇයගේ පුරුද්දයි. නිවසේ අය සමඟ නොහොඳ නෝක්කාඩු ඇති කර ගත් විට කාමරයට ගොස් දොර වසාගන්නා නාලනී කිසි විටෙකත් කවුරුන් කතා කලද නිහඬවම සිටියා මිසක දොර හැරියේ නැත.
"අනේ මේ සිරී... නිකන් ඉන්න. එයාගෙ මූසල වැඩ .අර දරුව අච්චර දේවල් කියල වත් මේ ගති අතැරගත්තෙ නෑ. අපි යන් ලෑස්ති වෙලා.පුතාට එන්න කියන්න එයත් ගිහින් දොරට ගහනව දැක්ක මම."
සිරිමෙවන්ගේ බිරිඳ සූදානම් වන අතරම තම සැමියාට පැවසුවේ නොරිස්සුමෙනි. සිරිමෙවන් ඇතුලු පවුලේ සැම නිවසින් පිටවූයේ නාලනී පිළිබඳව වූ කලකිරීමෙනි.
මංගල උත්සවය අවසන්ව මනාල යුවල රිද්මගේ නිවස වෙත කැඳවාගෙන එන ලදි. සිරිමෙවන් තම බිරිඳත් දරුවාත් සමඟින් නිව්සට පැමිණියත් නාලනී කාමරයෙන් එලියට පැමිණියේ නැත . සිරිමෙවන්ගේ සිතෙහි කෝපයක් මෙන්ම සැකයක් බයක් එකවැර ඇතිවිය. ඔහු නාලනීගේ කාමරයේ දොරට ගසමින් ඇයට කතාකලේ නාලනී මේසයට ඇර තිබූ ආහාර වත් ගෙන නොමැති බව බිරිය සැල කළ නිසාය. කුමක් හෝ නරක යමක් සිදුවී ඇතැයි සිරිමෙවන්ගේ සිත පවසන්නට විය. ඔහු පුතු සමඟ එකතු වී දොර කඩා දැම්මේය. සිරිමෙවනුත් බිරියත් කාමරයට ඇතුල් වන විට නාලනී නිදන ඉරියව්වෙන් ඇඳෙහි උන්නාය. එහෙත් වෙනසක් දැනුනු බැවින් සිරිමෙවන් වහා ඇඳ අසලට ගොස් නැඟනියට කතා කිරීමට ඇගේ අතින් අල්ලා සෙලෙව්වේය. එහෙත්.. පෙරදා රාත්රියේදී හෘදයාබාධයෙන් ම්ය ගිය නාලනීගේ සිරුර ඒ වන විටත් ගල් ගැසී සීතලව ගොස් තිබුනි. සිරිමෙවන් සහ බිරිය දැස් අදහාගත් නොහැකිව කම්පනයෙන් නාලනීගේ නිසල සිරුර දෙස බලා සිටින විට සිරිමෙවන්ගේ පුතු කන්ප්පුව උඩ තිබූ බෑගය හැර එයින් ගත් ලිපිගෙනුවක් කියවමින් උන්නේය.
" තාත්තේ මේ බලන්ඩකෝ... නැන්දා එයාගෙ දේපල කොටස ඔක්කොම එයාගෙ දුවට ලියලා..පොඩි කොලේක ලියුම් කෑල්ලකුත් තියනවා.."
කලබල වූ සිරිමෙවන් ඔප්පුවත් ලියුමත් තම අතට ගත්තේ පුදුමයකින් මෙනි. ඔප්පුව බලා අසෙක තැබූ සිරිමෙවන් කුඩා ලිපිය දිගහැරියේය.
" මගෙ දුව මට සමාවෙන්න. දුවට විතරක් නෙවේ මම හැමෝටම වැරදි කලා. මේ ඔප්පුවෙන් මගෙ නමට තිබ්බ හැම දේපලක්ම මගෙ දුවට පවරනවා. මං පොරොන්දු වෙනවා ජීවිතේ ඉතිරි කාලෙ හරි දුව කියපු විදිහට වෙනස් වෙනවා කියලා. මගෙ දුවට බුදුසරණයි.."
සිරිමෙවන්ගේ දෑසට කඳුලක් ඉනුවේය. ජීවිතය ඇයට තව අවස්ථාවක් ලබා දෙන්නට පසුබට වී ඇත. ඈ මීට පෙර ජීව්තය තේරුම් ගත්තානම්...! කඳුලක් පිස දැමූ සිරිමෙවන් කාමරයෙන් පිට වූයේ නාලනීගේ මරණය ගැන ඤාතින්ට දැනුම් දීමටයි.
නිමි.!
පුෂ්පිකා විජේරත්න .