ශිවා (Ep 05)
- Details
- සුලේකා පෙරේරා
- Shiwa
- Hits: 553
ඒ තමා මන් ශිවාගේ කඳුලු දැකපු පළවෙනි වතාව..
ඒත් දෙවෙනි වතාව අන්තිම වතාව වෙයි කියලා මන් දැනන් හිටියේ නෑ කියලා මන් කියන්නේ නෑ ...
මොකද පුංචිකමට උනත් ඒතරම් දෙයක් බේරුම් කරගන්න බැරිතරම් බොළඳ වයසක නෙවෙයි මන් උන්නේ..
........................................................................
එදත් වෙනදා වගේම ඉර පෑයුවා..
මන් වෙනදා වගේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ලැයිම ගාවට ගියා..
ශිවා ආවා ..අපි වෙනදා වගේම පාර වෙන්වෙන තැනට යනකම්ම එකට ගියා..
ශිවා කීවා හවසට එද්දි එයාට මගේ පාට පෙට්ටිය අරන් එන්න කියලා..එයා එයාගේ චිත්ර පොත ගේන්නම් කියලා ..
ඒ මොන හේතුවකටද එදා ශිවාට පොත් ගේන්න හිතුණේ කියලා මන් අදටත් දන්නේ නෑ..
කවදාවත් මන් ශිවාගේ පොත් දැකලා තිබ්බේ නැති නිසාම මන් එදා ඉස්කෝලේ ඇරෙනකම් පුදුම නොඉවසිල්ලකින් උන්නේ..
අපි ඉස්කෝලේ ඇරිලා එන පාරෙදි කවදාවත් මුණගැහිලා නෑ..
වෙනදට මන් එන්නේ බතක්කලාගේ කඩේ ගාවින් ඇවිත් ඔයෙන් එගොඩ වෙලා..
සපත්තු අතේ අරන්...
බතක්කා කියන්නේ වයසක ආච්චි කෙනෙක් ..
එයා ඒකාලේ ඉඳන්ම කඩවල්වලට බත් මුල් දානවා..ඉතින් ගමේ අය එයාට බත් අක්කා කියලා තිබ්බ නම අපේ පරම්පාරාවට එනකොට බතක්කා වෙලා තිබ්බා..
ඒත් මොනහේතුවකටද මන්දා මන් එදා රබර් වත්ත මැදින්ම ආවා..
එනකොට ස්ටෝරුව හරියෙන් ලැයිමේ උන් කලබලෙන් මූර්ති මහත්තයාගේ වත්ත පැත්තට යනවා මන් දැක්ක..
ඒත් ඉතින් මන් හිතුවේ කිරි කපපුවාගේ පඩි බේරනවා වෙන්නැති කියලා..
මන් ගෙදර එද්දි කඩුල්ල ගාවදිම කවදාවත් නැතුව සීතා මගේ ඉස්කෝලේ බෑග් එක ගලවලා ගත්තා..
මන් දහ අතේ කල්පනා කරා කලින් දා මගේ අතින් වෙච්ච වැරදි මොනාද කියලා..
සීතා කීවා මට ඉක්මනට ඇඳුම් මාරු කරගන්න කියලා..
මන් ඇඳුමක් දාගත්තම සීතා මාව මූර්ති මහත්තෙලාගේ වත්තට එක්කන් ගියා..
යනකොට එතන කට්ටිය පිරිලා උන්නා..
සීතාව දැක්කාම සෙනඟ මෑත් උනායින් මාත් සීතා පිටිපස්සෙන් ගියා..රබර් කොට ගොඩක් විතරයි එකපාරම මන් දැක්කේ...
ඒත් මන් ආයේ බලපු පාරට චිත්ර පොතක කෑල්ලක් දැක්කා...
ශිවා...................................









මට කෑ ගහන්න ඕනි උනා..
එත් සද්දේ පිට උනේ නෑ..
ඇස් පුපුරන්න තරම් වේදනාවක් එක්ක මගේ කම්මුල් වලින් පහළට රස්නේ කඳුලු පේළි එක දිගට වැටුනා..
මන් ශිවා ගාවින් දණගහගත්තා ..ඒත් සීතා මාව ඇඳලා ගත්තා..
රබර් කඳ අයින් කරන එක ශිවාගේ ජීවිතේට වටින නිසා..
ඒත් ශිවා මොකක්ද කියන්න හදනවා වගේ මන් දිහා බලන් හිටියා කියලා හිතුවද..
නෑ ඒ වෙනකොටත් ශිවා මේ ලෝකේ අතෑරලා ගිහින් හිටියේ ...
ඒත් ඒ ඇස්වලින් පෙරුණු කඳුලු පාරවල් තූවාල වුණු කම්මුල් අතරින් මන් දැක්කා ..
ජීවිතේ මේතරම් දුකක් මට තාත්තා නැති වුණ දවසේවත් දැනිලා තිබ්බේ නෑ..
එද ශිවා මගේ ළඟ උන්නා..
ඒත් ආයේ කවදාවත්ම මගේ ළඟින් ඉන්න ශිවා එන්නේ නෑ කියලා දැනෙන හැමවෙලාවකම ඉස්සරට වඩා දැන් මන් අඬනවා..
මන් අදටවත් මූර්ති මහත්තයාගේ මූණ බලලා කතා කරන්නේ නෑ..
ඔහුගේ අත වැරැද්දක් නැතුවැති ..
ඒත් මගේ ශිවා මාව සඳහටම දාලා ගියේ මූර්ති මහත්තයගේ වත්තේ රබර් කඳක් නිසා..
.................................................................................
ඔබට කුමක් සිතෙනවාද..
කිසිම තේරුමක් නැති කතාවක්ද..
ඔව් ඇත්ත ජීවිතේ අපිට ඕනි විදියට ලියන කෙනාට ඕනි විදියට වෙනස් කරන්න බෑ.
ඉතින් සතුටුදායක නිමාවක් මගෙයි ශිවාගෙයි කතාවේ නෑ...
මට කවදාවත් ශිවාව ආයේ හම්බුණේ නෑ..
මන් ඉස්සර ඇඬුවේ නෑ..
ඒත් දැන් අඬනවා..
දුකක් දැනුනු හැම මොහොතකම..
සියලු දෙනාම මාව හැරයන හැම මොහොතකම මට අත්තාව වගේම මගේ මූණේ හිනා ඉරි ඇන්ඳ ඒ අහිංසකයාව මතක් වෙනවා..
අත්තා නැති දුක හඳ ගාව තරුව දිහා බලලා නිවා ගත්තට,.
ශිවා නැති දුක අඩුව පුරවන්න,නිවන්න,
අහස පුරා පීරුවත් විකල්ප නෑ..
ආයේ කවදාවත් දෙල් බල්ලන්ගෙන් නියපොතු මදින්න..
අඬ අඬා රඹුටන් කන්න.
මගේ ඔළුවේ බෝවිටියා මල් ගහන්න ,
නළලේ පොට්ටු තියලා හඬ බලන්න,
ඔය ඉවුරේ ගල් අහුලන්න..
සීනක්කගේ මහ එළුවට බය උනාම ළඟින් ඉන්න ශිවා එන්නේ නෑ..
.................................
දැන් අවුරුදු විස්සකටත් වැඩියි..
ඒත් අදටත් මන් මගේ නළලේ කළුපාට පුංචි පොට්ටුවක් තියනවා..
කවුරුත්ම නොදන්න මගේ ශිවා වෙනුවෙන් ..
........
......
....
ශිවා ගැන මන් ගැන තව ලියන්න තිබුණත් ,
ශිවා ගැන ඉස්සර තිබ්බ ලස්සන මතක ,,
දැන් මගේ පපුව හූරනවා...
ඉවරයි...
(සූSuuu )


