මම පයින්ම නිවස බලා යාමට සිතූවත් ,,මට එසේ කිරීමට නොහැකි විය...ඉබි ගෙදර ගාවදී ලොකු මාමා මුණගැසීම නිසා මට ඔහු සමඟ යාමට සිදුවිය...

ඉබි ගෙදර අසල නොනැවතී මම මහ පාලමින් හැරුණානම් මට ඔහු මුණ ගැසෙන්නේ නැත....

නමුත් මට ඉබි ගෙදර පහුවෙද්දි එන බනිස්,පාන්,කේක් සුවඳ ඉවසිය නොහැක..

දැනටත් මම කේක් කෑමට ඉතාම පෙරේත ය..

මාමා එතනට එනවිට මම ඉනො අක්කාගෙන් බනිස් ගෙඩියක් අරන් බංකුවෙන් ඉඳගත්තා විතර ය...

ඒ කාලේ අපේ ගමට තිබ්බ එකම බේකරිය තිබ්බේ ඉබි ගෙදර ය...

අලුතින්ම රස්නෙ පිටින්ම පාන් කන්න ලැබෙන නිසා කවුරුත්ම ටවුමෙන් පාන් ගන්නේ නැත..

ඉතින් දවසින් දවස ඔවුන් දියුණු විය...

ඉබි ගෙදර කීවාට එහි ඉබ්බන් නැත..

ඇතැම්විට ගෙදර දොරට ඉබ්බෙක් දමා සිටිය හැක..

ඔවුන්ගේ ආරයෙන් එන ලක්ෂණයක් ලෙස ඔවුන් සියල්ලෝම ඉතාම මිටි ය..

එනිසා ඉබි ගෙදර කියන බව මට කීවේ සීතා ය..

ඉස්සර ශිවාත් මාත් ස්ටෝරුවට කිරි අරන් යන්නෙත් මේ පාරෙන් ය...

රබර් වත්තේ ඉඳන් ස්ටෝරුවට බොහොම ළඟ වුවත්,,අප දෙදෙනාගේ සුඛිත මුදිත ප්රීතිය වෙනුවෙන් අප කිලෝමීටර් දෙකක් පමණ අමතර දුරක් ඇවිද යන්නෙමු..

ඔට්ටපාළු ගලවපුවාම ශිවාගේ අම්ම දෙන සල්ලි ශිවා එකතු කරන් ඉන්නේ,,ඉබි කඩෙන් රස ජාති කන්නට ය..

අත්තම්ම දෙන සූපිං සල්ලිත් එකතු උනාම අපි දෙන්නට හිතේ හැටියට බඩ පුරවා ගත හැක..

ඒ කාලේ බනිස්වල මීට වඩා රසක් තිබුණා යැයි මට හිතෙන්නේ,,ඔහු මා ළඟ සිටි නිසා ම විය යුතු ය...

මාමාට තැපැල් මහත්තලාගෙ ගෙවල් පාරින් වාහනය දමා යමු යැයි කීවත් ඔහු ගෙදරට ආවේ නැත..

ඔහු අම්මා සමඟ අමනාප වී සිටිදැයි මා දන්නේ නැත..

අපේ ගෙදර තිබ්බේ ඔයෙන් උඩ කන්දට වන්නට ය....ඒ හරියට වාහනයක් යන්න පුළුවන් පාරක් ඉස්සර තිබුණේ නැත...

නමුත් දැන් තැපැල් මහත්තයාලගේ ගෙවල් පාරෙන් කොන්ක්රීට් පාරක් කන්ද මුදුනටම ඇත..

නමුත් මාමා මාව කොරළි වල ගාවින් දමා ගියේය..

එතැනට කොරළි වල යැයි කියන්නේ තෙප්පිලි ගොන්නක් සිටින නිසා ය..

පාරේ යන එන අයද එතන නවතා උන්ට කෑම දමා යන්නේය..

වැඩියක්ම තෙප්පිලියන්ගේ කෑම වන්නේ ඉබි බේකරියේ බනිස් ය..

බොහෝ අය ඔයේ මාළුන් ඇල්ලුවත් ,,කොරළි වලේ මාළු කිසිවෙකු අල්ලන්නේ නැත...

ඒ නිසාම ඔවුන් නුවර වැවේ මාළුන් සේම විශාලව නිදහසේ සිටීති..

එන අතරමගදී මා ඔහුගෙන් නැන්දා ගැන නොවිමසා සිටීමට වග බලා ගතිමි..

සුදී අක්කා ආවාදැයි මා විමසූ විටත් ඔහු පැවසුවේ,,,

එයැයිටත් තමුන්ට වගේම ඔළුවේ අමාරුව කියා පමණක් ය..

තව දුරටත් ඔහු හා සුවදුක් විමසීම පසෙකලා මම ජනේලයෙන් ඉවතබලාගෙන ආවෙමි...

සීතා මියයනවිට සියලූම ඉඩම් දරුවන් අතරේ බෙදා තිබුණත්,,,අම්මාට වැඩි කොටසකුත් මහගෙදරත් හිමි වීම ලොකු මාමාට රුස්සන්නෙ නැත..

අම්මා සීතාගේ ලේලිය වුවත්,,ඇය ඔහුට සැළකුවේ තමාගේම පියාටත් වඩා සෙනෙහසකිනි...

ඒ නිසාම එය එසේ වන්නට ඇතැයි මම සිතුවෙමි..

අම්මාගෙන් පසු ඒවා බලාගත යුත්තේ මා යැයි පැවසුවත් මට ඒවා පිළිබඳ ඇත්තේ,,පරිසරයට ඇති ප්රියතාවය පමණක්ම වීම අම්මාට ඇති තව හිසරදයක් ය...,

ලොකු මාමා දැන් සිටින්නේ කඩෙ ගෙදර ය..

සීතා රේගුවෙන් විශ්රාම යන්ටත් පෙර අපට කඩයක් තිබුණි..

සීතා එය භාර දී තිබුණේ ලොකු මාමාට ය...

නැන්දා වෙනත් විවාහයක් කරගත්තේ,,ඔහු හා විසීම අපහසු බැවින් යැයි ගම්මු කියන කතාව ඇත්තක්ම විය යුතු යැයි මටද සිතේ,,

සුදී අක්කා කැනඩාවේ ස්ථීර පදිංචි කාරියකි..ඇය මා සමඟ ඇතැම්විට දුරකථනයෙන් අමතා ගමේ විස්තර අසන්නීය..

ඇය මාමගේ එකම දියණියයි..

නැන්දා විවාහ වුණේ අපේ කඩ කාමරයක කුලියට උන් වින්සන් නම් අයෙක් සමඟයි...

ඔහු විදුලිබල මණ්ඩලයේ සේවය කළ අයෙක් වූ අතර දුර පළාතකින් අපේ ගමට පැමිනියෙකි...

මට මතක විදියට ඔහු මාතර පැත්තෙ ය..

ඔවුන් දැන් කොහේ සිටිනවාදැයි අප කවුරුත් දන්නේ නැත...

එක් දිනක් මා මාළිගාවට ගිය දවසක මා නැන්දා දුටුවත් මා ඇයට කතා කිරීමට ගියේ නැත..

හමුවූ බවක් අම්මාටවත් කීවේද නැත..

අදත් පිටියෙ ඉඳන්ම පයින් ආවද,,

ඒ අම්මා ය..

නෑ ලොකු මාමගේ ජෙට් එකේ අවේ.....

අම්මා සිනා සී කුස්සියට ගියේ මට තේ එකක් හදන්නට බව මා දන්නේ ඉවෙන් ය...

(සූSuuu )🖤🙂

ඉවර නෑ තාම...

තව කොයිතරම් කාලයක් මම මේ ජීවිතේ මේ විදියට ගෙවන්න හිතන් ඉන්නවද කියලා,

මන් මගෙන්ම ප්රශ්න කරන්නේ,,

අම්මාගෙන් ආයෙත් මඟුල් ඇරයුමක පණිවිඩයක් ආවාම...

ඒකත් දැන් පුරුද්දකට ගිහින්...අම්මා කෝල් එකක් ගත්ත ගමන් කියන්නේ ,,ගෙදර එන්න,,අම්මේ මට වැඩ,,,හෙට කට් කරන්න බැරි ලෙක්චර් එකක් මට...උඹේ ඔය ඉගෙනිල්ල හින්දා තමා උඹට ඔහොම වෙලා තියෙන්නේ ,,අර පල්ලෙහා ගෙදර,,මාලාම්මගේ කෙල්ල,,උඩහ ගෙදර,,එපිටගෙදර ,කොණේ ගෙදර,,........ ඊ..ටී..සී..බලාන ගියාම සේරම බැඳලා,,මන් විතරයි ගෙදරට නාකි වෙන්නෙ...අම්මට අනුව එහෙමයි......................ඒත් මට අනුව නම්,,??????මන් තාමත් මගේ ශිවා එනකම් බලාන ඉන්න ,,එයාගේ පොට්ටු තංගච්චි...අම්මගේ කරච්චලේ නිසාම මම නිවස බලා පිටත් වූයෙමි..ශිවාගේ මතකය ඔහුගේ මරණයෙන් පසු සොහොන් කොතටම යටකර දමන්නට මට උවමනාවක් නොතිබ්බත්,,,ඔහුගේ මළ ගෙදරටවත් ඉන්න නොදී,,සීතා මාවබාලිකාවක නේවාසිකාගාරයක නතර කරන්නට ගත් තීරණය ගැන අදටත් මට කිසිම පැහැදීමක් නැත..මට කුඩා අවධියේ සිටම බොහෝ සෙයින් ආදරය කළේත් ළඟින් ම සිටියේත් සීතා පමණි...තාත්තා ගැන මට ඇත්තේ ඉතාම කුඩා.මතක කිහිපයක් පමණයි....අම්මාට වුවත් එතරම්ම ලැදියාවක් මසිතේ තිබ්බාදැයි මා අදටවත් දන්නේ නැත...අත්තම්ම මට සීතාට වඩා ආදරේ කළත්,,මා බොහෝ සෙයින් ආදරේ කළේ සීතාට ය...සීතා රේගුවෙන් විශ්රාම ගොස් නිවසේ නතරවීම තවත් ඒ බැඳීම තර වන්නට හේතු වන්නට ඇතැයි මට සිතේ....මා ඉපදුනු හැදුනු වැඩුණු ගමට බොහෝ ප්රිය කළත්,,,ශිවා නොමැතිව ගස් ගල් අතරේ හුස්ම ගන්නා විධියක් මට තවමත් තේරුම් ගත නොහැක.....ගමට යන හැම මොහොතකම ,,ශිවාගෙත් මගෙත් මතක මගේ හිතට පිහි තුඩවල්වලින් අනින එක මට අදටවත් නවත්වා ගත නොහැක...ශිවාගේ මරණයෙන් පසු මා ගමට ගියේ හදිස්සිම අවස්ථාවකට පමණයි...සීතාගේ මරණයෙන් පසු එය තවත් අඩු වුවා මිස වෙනසක් නොවීය...පිටියෙන් බසයෙන් බැස,, ඉතුරු ටික ත්රී වීලයක යා හැකිමුත්,,සෑම දිනකම කිලෝමීටර් දෙක තුනක් මා යන්නේ පයින් ය...තවමත් ඔහුගේත් මගේත් මතක සමඟ ඇවිදින්නට මම බොහෝ ප්රිය කරමි..මම තවමත් අඳින්නේ ඔහු ප්රිය පරිදි ය...ඔහු මගේ නළලත තබන පොට්ටුව මන් අදටත් වරද්දන්නේ නැත...ගැටපිච්ච නැතත් මා කොණ්ඩය බඳින්නේ කරලක් ලෙසය...ශිවා සිටියා නම් කොයිවගේ රූපයක් ඔහු සතුවේදැයි මම තවම සිතන්නෙමි.ඔහුට තිබුණේ කළු පැහැති සමක් නිසා,,ඔහු කන්නයියා ලෙසටම හිඳීවි යැයි මට සිතේ,,නමුත් ඔහු මගේ දෑතින්වත් අල්ලාවිද..ඔහු මා සිපගනීවිද,..........ඔහු මා අතැර දෙමළ කෙල්ලකු හා විවාහ වේවිද ,,,උභතෝ කෝටික ප්රශ්න වැලක මම අතරමං වෙමි...නමුත් ඔහු ජානුගේ ස්පර්ශය නිසා ක්ලාන්ත වන රාම් මෙන් මා ඉදිරියේ ලජ්ජාවෙන් සිටිනු ඇතැයි මට සිතේ....විකාර....මා පිස්සු ගැහැණියකැයි මට විටක සිතේ...මා ආදරය කරන්නේ පණ ඇති මිනිහෙකුට නොවේ...මා ශිවා ට ආදරේ කරන්නේ කවදා කොතනදීදැයි නොදනිමි...මේ ආදරයදැයි ද නොදනිමි ....නමුත් කිසිවෙකු ගැන ප්රේමණීය හැඟීමක් නොනැඟෙන ලෙස ඔහු මගේ හදවතම වසා සිටී...මේ මනෝ විකාරත් එක්ක මන් රබර් ස්ටෝරුවට හැරෙන පාලම ගාවටම පැමිණියෙමි....ශිවාත් මාත් පාලමේ යකඩ පොලුවලට මූණ තියාගෙන,,,කොරළි පීනන හැටි බලන්නේ මෙතන සිටය...අපි මාළුන්ට ඔට්ටු තියන්නේ ය..ඔට්ටුව සීනි දාපු ගජූර් එකක් ය...අපි මුලින්ම කැටියේ ඉන්න ලොකුම මාළු දෙන්නා තෝරා ගෙන ඉන්පසු වැඩිම වෙලාවක් එතන රැඳෙන මාළුවා තෝරන්නෙමු...ඉක්මනින්ම නොපෙනී යන මාළුව හිමි කෙනා අවුට් ය...එවිට පැණි ගජූරුව හිමිවන්නෙ අනිකාට ය...සුදු නෝනා,,,අප්පේ දැක්කා කාලයක්,,නිවාඩුයි මගේ නෝනේ...නෑ බතක්කේ,,,අම්මා හදිසියේ එන්න කීවා ,,ඒකයි ආවේ..එහේ හරියට නෝනෙට වැඩ වගේ ,,ගම් පැත්ත අමතක කොරලම ඉන්නේ ....මේ ගෑණුන්ටත් ඕනේ නැති එකක් නැති ය....ගමට ආවත් වැරදිය.නොආවත් වැරදිය.සිනාවක් පමණක් ඇය වෙත හෙළු මා රබර් වත්ත මඟ හැර තාර පාරට වැටුණේ,,මොහොතකට ඔහුගේ මතක මඟාරින්නට සිතමිණි....(සූSuuu )🖤🙂

ඉවර නෑ තාම...

අපේ ළමා කාලේ අපිටත් නොදැනීම ගෙවිලා ගිහින් කියලා දැන් නම් මට හිතෙනවා..
ඒ කාලේ හිතේ තිබ්බ සතුට ,නිදහස ඒ හැමදේම දැන් හිත්ව්ලින් මෑත් වෙලා..
මගෙත් ශිවාගෙත් මතක නොතිබ්බ තැනක් ගම පුරාම ඇවිද්දත් කාටවත් හොයාගන්න බෑ..
අපි දෙන්නා අපිට ආදරේ කළ තරම්ම ගමේ මිනිස්සුත් අපේ යාළුකමට ආදරේ කළා..
අපි දෙන්නා තනියම ගියා නම් ඒ ගමේ ඉස්කෝලෙටයි ලයිමේ ඉස්කෝලෙටයි යන්න පාර බෙදෙන තැනදි විතරමයි...
මම නැතුව ශිවා කවදාවත් සෙල්ලම් කළේවත් ,කොහෙවත් ගියේව්ත් නෑ..
මට රිදුණු හැම තැනකදීම ශිවා මටත් වඩා වේදනා වින්ඳා..
පුංචිකමට නොතේරුම්කමට උනත් මහ මිනිහෙක් වගේ හැම තැනකදිම ශිවා මාව පරිස්සම් කළා..
ශිවා අඬනවා මන් දැකලා තියෙන්නේ දෙපාරයි. . .
එක පාරක් අපේ සීතා අපට රඹුටන් කවපු දවසේ..
අපේ ගෙදර වටේටම මැංගුස් ,ගඩුගුඩා ,ගොරකා,ගස් පිරිලා තිබ්බත් රඹුටන් ගස් තිබ්බේ එකයි..
ගෙදරට එන්න පොඩි කඳු ගැටයක් නඟින්න තිබ්බා..
කන්ද ඉවරවෙන තැනම තමා රඹුටන් ගහ තිබ්බේ..
ඒ අප්රේල් කාලයක් නොවුනත් ගහේ රඹුටන් පිරිලා තිබ්බා..
අවාරෙට හැදුණුවා..
සීතා කියන්නේ අපේ අත්තට..
පොඩිකාලේ සීයාතාත්තා කියන එක මම ලේසි කරගත්ත විදිය තමා සීතා කියන්නේ ..
එයා පෙන්ෂන් ගියපු රේගු නිළධාරියෙක්..
එයාටම ආවෙණික වුණු නීති මාලාවක් අපේ ගෙදර තිබ්බා.
හැබැයි ඔය කිසිම නීතියක් මට අදාළ වුණේ නෑ..
මොකද අත්තම්මගෙයි සීතාගෙයි ලෝකේ උඩින්ම හිටියේ එයාලගේ සුදු දුව..
අවාරේ නිසා ගමටම රඹුටන් හැදිලා තිබ්බේ අපේ වත්තේ විතරයි ..
මොනා හැදුනත් බෙදා හදන් කන පුරුද්ද අපේ ගෙදර අයට ඉහළින්ම තියෙන නිසා ,
බණ්ඩා අයියාට කියලා රඹුටන් වලු බාලා සේරම එකවර කඩනකන් ,
ගහ විනාශ කරන්න එපා කියල සීතා කලින්ම අපිට දැනුම්දීලා තිබුණේ ..
ඒත් ඉතින් එදා සීතා ගෙදර හිටියේ නෑ..
උදේම පිටියට ගිහින් ,
බාප්පගේ වැඩකට.....,
එදා උදේම ශිවා අපේ ගෙදර ආවා මාව එක්ක යන්න..
ඒත් මගේ ඇඟ ටිකක් රස්නෙයි කියලා අම්මා කීවේ ගෙදරට වෙලා කරන සෙල්ලමක් කරගන්න කියලා..
මටත් වඩා ශිවා මාව පරිස්සම් කරන නිසාම ශිවා ඒකට උඩින්ම කැමති වුණා ..
අපි ඉතින් එදා උදේ වරුවම කළේ බට්ටෝ පැනපු එකයි කතන්දර කීව එකයි..
බත් එහෙම කෑවට පස්සේ මන් ශිවාට කීවා අපි රඹුටන් කමු කියලා..
ශිවා දන්නවැයි ඉතින් සීතාගේ නීති..
ශිවා ගහට නැගලා රඹුටන් කැඩුවා..
ඒ වෙලාවේ ලැයිමේ ශිවාගේ තව යාළුවෝ දෙතුන්දෙනෙකුත් ආවා..
එයාලටත් ගහට නැඟලා රඹුටන් කන්න කියලා මම කීවා..
ටික වෙලාවකින් ගහ යට ගෙඩියි කොළයි පිරිලා ..
සීතා කඩුල්ල පනිනවා අපි කවුරුත්ම දැක්කේ නෑ..
සීත ඇවිත් තිබ්බේ මඟදිම බණ්ඩා අයියාවත් එක්කගෙන පොල් කඩවන්න..
ඒත් එදා බණ්ඩා මාමට පොල් වෙනුවට කඩන්න උනේ රඹුටන් ..
ගහේ තිබ්බ සේරම රඹුටන් වලු සීතා කැඩෙව්වා..
අපේ ගෙදර වටේටම උස පිළක් තිබ්බා..එතන ඉඳගත්තාම යායම ලස්සනට පේනවා ...වෙනදට නම් හරි සනීපයි එතන..
ඒත් එදා සීතා එතන මාවයි ශිවාවයි ඉන්ඳෙව්වා..
එද නම් කිසිම සනීපයක් අපට දැනුනෙ නෑ..
ශිවාගේ ලැයිමේ අනිත් යාළුවොන්ව සීතා ගෙදර යැව්වා..
අර කඩපු රඹුටන් වලු සේරම අපි ඉස්සරහින් තිබ්බා..
හා හා මා පුතාලා දැන් කාපල්ලා....කීවා..
එකක් කෑවා,,දෙකක් කෑවා,,.
තුන හතර ,පහ ...
දහය ,
විස්ස විසිපහ,
තිහ උනා..
කන්න බෑ ..ඇස් දැවිල්ලයි..
ඇස් නම් ඉවසුවා කියමුකෝ..ඒත් චූත් දැවිල්ලයි..
ඔක්කෝම එකට..
ඒත් සීතා හාන්සි පුටුවේ හාන්සි වෙලා පත්තරේ බලනවා..
කණ්ණාඩි දෙකට උඩින් අපි දිහාත් බලනවා..
ඉතින් අමාරුවෙන් රඹුටන් ලෙලි අරිනවා අපි..
ශිවා හොරෙන් මන් දිහා බලනවා..
කතා කරාට සද්දේ එන්නේ නෑ..
එද අපිව බේරගන්න අත්තම්මටවත් බැරිවුණා ..
දවල් එකට විතර ඉඳගත්ත පාර හය වෙනකන් අපි රඹුටන් කෑවා..
පහ විතර වෙද්දී ,තමා මන් ශිවාගේ කඳුලු දැක්කේ ..
අපි දෙන්නම ඇඬුවා...
බැරිම තැන අත්තම්ම අපි වෙනුවෙන් ඉදිරිපත් උනා..
අති විශාල දේශනයකින් පස්සේ අපේ දඬුවම සීතා ලිහිල් කළා..
.................................................................................
ඉවර නෑ..
(සූSuuu )
🖤🙂
 
 
 
 
ඒ තමා මන් ශිවාගේ කඳුලු දැකපු පළවෙනි වතාව..
ඒත් දෙවෙනි වතාව අන්තිම වතාව වෙයි කියලා මන් දැනන් හිටියේ නෑ කියලා මන් කියන්නේ නෑ ...
මොකද පුංචිකමට උනත් ඒතරම් දෙයක් බේරුම් කරගන්න බැරිතරම් බොළඳ වයසක නෙවෙයි මන් උන්නේ..
........................................................................
එදත් වෙනදා වගේම ඉර පෑයුවා..
මන් වෙනදා වගේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ලැයිම ගාවට ගියා..
ශිවා ආවා ..අපි වෙනදා වගේම පාර වෙන්වෙන තැනට යනකම්ම එකට ගියා..
ශිවා කීවා හවසට එද්දි එයාට මගේ පාට පෙට්ටිය අරන් එන්න කියලා..එයා එයාගේ චිත්ර පොත ගේන්නම් කියලා ..
ඒ මොන හේතුවකටද එදා ශිවාට පොත් ගේන්න හිතුණේ කියලා මන් අදටත් දන්නේ නෑ..
කවදාවත් මන් ශිවාගේ පොත් දැකලා තිබ්බේ නැති නිසාම මන් එදා ඉස්කෝලේ ඇරෙනකම් පුදුම නොඉවසිල්ලකින් උන්නේ..
අපි ඉස්කෝලේ ඇරිලා එන පාරෙදි කවදාවත් මුණගැහිලා නෑ..
වෙනදට මන් එන්නේ බතක්කලාගේ කඩේ ගාවින් ඇවිත් ඔයෙන් එගොඩ වෙලා..
සපත්තු අතේ අරන්...
බතක්කා කියන්නේ වයසක ආච්චි කෙනෙක් ..
එයා ඒකාලේ ඉඳන්ම කඩවල්වලට බත් මුල් දානවා..ඉතින් ගමේ අය එයාට බත් අක්කා කියලා තිබ්බ නම අපේ පරම්පාරාවට එනකොට බතක්කා වෙලා තිබ්බා..
ඒත් මොනහේතුවකටද මන්දා මන් එදා රබර් වත්ත මැදින්ම ආවා..
එනකොට ස්ටෝරුව හරියෙන් ලැයිමේ උන් කලබලෙන් මූර්ති මහත්තයාගේ වත්ත පැත්තට යනවා මන් දැක්ක..
ඒත් ඉතින් මන් හිතුවේ කිරි කපපුවාගේ පඩි බේරනවා වෙන්නැති කියලා..
මන් ගෙදර එද්දි කඩුල්ල ගාවදිම කවදාවත් නැතුව සීතා මගේ ඉස්කෝලේ බෑග් එක ගලවලා ගත්තා..
මන් දහ අතේ කල්පනා කරා කලින් දා මගේ අතින් වෙච්ච වැරදි මොනාද කියලා..
සීතා කීවා මට ඉක්මනට ඇඳුම් මාරු කරගන්න කියලා..
මන් ඇඳුමක් දාගත්තම සීතා මාව මූර්ති මහත්තෙලාගේ වත්තට එක්කන් ගියා..
යනකොට එතන කට්ටිය පිරිලා උන්නා..
සීතාව දැක්කාම සෙනඟ මෑත් උනායින් මාත් සීතා පිටිපස්සෙන් ගියා..රබර් කොට ගොඩක් විතරයි එකපාරම මන් දැක්කේ...
ඒත් මන් ආයේ බලපු පාරට චිත්ර පොතක කෑල්ලක් දැක්කා...
ශිවා...................................😫😫😫😫😫
මට කෑ ගහන්න ඕනි උනා..
එත් සද්දේ පිට උනේ නෑ..
ඇස් පුපුරන්න තරම් වේදනාවක් එක්ක මගේ කම්මුල් වලින් පහළට රස්නේ කඳුලු පේළි එක දිගට වැටුනා..
මන් ශිවා ගාවින් දණගහගත්තා ..ඒත් සීතා මාව ඇඳලා ගත්තා..
රබර් කඳ අයින් කරන එක ශිවාගේ ජීවිතේට වටින නිසා..
ඒත් ශිවා මොකක්ද කියන්න හදනවා වගේ මන් දිහා බලන් හිටියා කියලා හිතුවද..
නෑ ඒ වෙනකොටත් ශිවා මේ ලෝකේ අතෑරලා ගිහින් හිටියේ ...
ඒත් ඒ ඇස්වලින් පෙරුණු කඳුලු පාරවල් තූවාල වුණු කම්මුල් අතරින් මන් දැක්කා ..
ජීවිතේ මේතරම් දුකක් මට තාත්තා නැති වුණ දවසේවත් දැනිලා තිබ්බේ නෑ..
එද ශිවා මගේ ළඟ උන්නා..
ඒත් ආයේ කවදාවත්ම මගේ ළඟින් ඉන්න ශිවා එන්නේ නෑ කියලා දැනෙන හැමවෙලාවකම ඉස්සරට වඩා දැන් මන් අඬනවා..
මන් අදටවත් මූර්ති මහත්තයාගේ මූණ බලලා කතා කරන්නේ නෑ..
ඔහුගේ අත වැරැද්දක් නැතුවැති ..
ඒත් මගේ ශිවා මාව සඳහටම දාලා ගියේ මූර්ති මහත්තයගේ වත්තේ රබර් කඳක් නිසා..
.................................................................................
ඔබට කුමක් සිතෙනවාද..
කිසිම තේරුමක් නැති කතාවක්ද..
ඔව් ඇත්ත ජීවිතේ අපිට ඕනි විදියට ලියන කෙනාට ඕනි විදියට වෙනස් කරන්න බෑ.
ඉතින් සතුටුදායක නිමාවක් මගෙයි ශිවාගෙයි කතාවේ නෑ...
මට කවදාවත් ශිවාව ආයේ හම්බුණේ නෑ..
මන් ඉස්සර ඇඬුවේ නෑ..
ඒත් දැන් අඬනවා..
දුකක් දැනුනු හැම මොහොතකම..
සියලු දෙනාම මාව හැරයන හැම මොහොතකම මට අත්තාව වගේම මගේ මූණේ හිනා ඉරි ඇන්ඳ ඒ අහිංසකයාව මතක් වෙනවා..
අත්තා නැති දුක හඳ ගාව තරුව දිහා බලලා නිවා ගත්තට,.
ශිවා නැති දුක අඩුව පුරවන්න,නිවන්න,
අහස පුරා පීරුවත් විකල්ප නෑ..
ආයේ කවදාවත් දෙල් බල්ලන්ගෙන් නියපොතු මදින්න..
අඬ අඬා රඹුටන් කන්න.
මගේ ඔළුවේ බෝවිටියා මල් ගහන්න ,
නළලේ පොට්ටු තියලා හඬ බලන්න,
ඔය ඉවුරේ ගල් අහුලන්න..
සීනක්කගේ මහ එළුවට බය උනාම ළඟින් ඉන්න ශිවා එන්නේ නෑ..
.................................
දැන් අවුරුදු විස්සකටත් වැඩියි..
ඒත් අදටත් මන් මගේ නළලේ කළුපාට පුංචි පොට්ටුවක් තියනවා..
කවුරුත්ම නොදන්න මගේ ශිවා වෙනුවෙන් ..
........
......
....
ශිවා ගැන මන් ගැන තව ලියන්න තිබුණත් ,
ශිවා ගැන ඉස්සර තිබ්බ ලස්සන මතක ,,
දැන් මගේ පපුව හූරනවා...
ඉවරයි...
(සූSuuu )🖤🙂
ස්ටෝරුවේ අයිනේ තිබ්බ කාණුව විවෘත වෙලා තිබ්බේ පාරටමයි..කාණුවක් කීවට එහෙම ලොකුවට කපපු කාණුවක් තිබ්බේ නෑ..
කිරි පාට දිය සීරාවක් ස්ටෝරුව ඉස්සරහ තිබ්බ පාරෙන් පාර අයිනේ රබර් කණ්ඩියට හැම මොහොතකම එකතු උනා..
ඉතින් ස්ටෝරුව ළං වෙනකොට එන ඒ සැර කුවිල නිසා ගමට අලුත් අයෙකුට උනත් රබර් ස්ටෝරුව ළඟ බව හැඳින ගන්න ඒක උදව් වෙන්නැති ..
ශිවා රබර් කිරි දීලා එනකම් මන් හිටියේ හරිම අපුලෙන්..
ස්ටෝරුව ඉස්සරහින් රබර් කණ්ඩියෙන් පහළට බැස්සාම ඔයට යන්න අඩි පාරක් හැදිලා තිබුණා..
ඒ පාරේ වැඩිපුරම තියෙන්න ඇත්තේ මගෙත් ශිවාගෙත් අඩි ..
ඔයට බහිනකම් ශිවාගේ අතොරක් නැති කතාවලින් මට ඉගෙනගන්න බොහෝ දෑ තිබුණා ..
කොටින්ම් ශිවා බොරුවක් කීවත් මන් කට ඇරන් අහන් හිටියා..
හැබැයි කවදාවත් ශිවා මට බොරු දේවල් කියලා දුන්නේ නෑ..
අත්තම්මට පස්සේ මගේ දැනමුත්තා උනේ මගේ ශිවා..
ඉස්කෝලේ වැඩ නැති දවසට අපි දෙන්නට කරන්න දේවල් එමට තිබුණා ..
ඔය ඉවුරට එකතු වෙලා තිබ්බ පාට පාට රවුම් ගල් එකතු කරන එක අපි දෙන්නගෙම පුරුද්දක් ..
ඒකට මටනම් අත්තම්ම පිටියේ පොළෙන් ප්ලාස්ටික් බාල්දියක් ගෙනත් දීලා තිබ්බා..
ඒත් ශිවා ගල් එකතු කරේ එයාගේ අප්පගේ පරණ හම් බෑග් එකකට..
හම්බෙන හැම ලස්සන පාටක ගලක්ම ශිවා දැම්මේ මගේ බාල්දියට..
හුඟක් දවස් වලට හවස තුන හතර වෙනකන් කවුරුත්ම ඔයට එන්නේ නෑ..
අපි දෙන්නට හිතූ මනාපෙට සෙල්ලම් කරන්න ඉඩ එහේ තිබුණා ..
හැබැයි ලොකු අයියලා ඉසි බෙහෙත් දාලා ඉස්සෝ අල්ලන දවස්වලට නම් ඔය ඉවුර දිගටම අයියලා හිටියා..
අපේ ගමේ අය ඇරුණාම වෙන ගම්වලිනුත් අය ඒ දවස්වලට එනවා..
ඉසි බෙහෙත් වැලිවලට කළවම් කරලා දාපුවාම ටික වෙලාවක් යනකොට ඉස්සෝ ගොඩට ගහන්නේ රා බීපු දාට බාප්පා යන යන තැන වැටෙනවා වගේමයි..
උන්ට හොඳටම වෙරි...
ඉසි බෙහෙත් කලවම් කරලා ටික වෙලාවක් ගියාම ඔය දිගේ ඇවිද්දාම වේල් දෙක තුනකට ඉස්සෝ එකතු කරගන්න පුළුවන් ..
ඒ වගේ දවසට ගමේ හුඟක් ගෙවල්වල දවල් බතට ඉස්සෝ වරදින්නේ නෑ..
ලොකු ඉස්සෝ වගේම පොඩි පැටවුනුත් මත් වෙලා ඉවුරට ගහනවා..
එදාට මටයි ශිවාටයිත් වෙන වැඩක් නෑ..
අපි දෙන්නත් මගේ ප්ලාස්ටික් බාල්දියට වතුර පුරවන් ඉස්සෝ එකතු කරනවා..
හැබැයි අපි එකතු කරන්නේ පොඩි පැටව් විතරයි...
ඒත් කන්න නෙවෙයි ..
අපි උන්ට සිහිය එනකම් වතුර එකට දාලා හෙවනක තියලා බලන් ඉන්නවා..
හුඟක් එවුන් සිහිය ආව ගමන් බාල්දියෙන් එළියට පනිනවා.
සිහි නැතුව ඉද්දි අතින් ඇල්ලුවාට ඒ වෙලාවට නම් මන් අං තියෙන මහ එළුවට තරම්ම ඉස්සෝ පැටව්න්ටත් බයයි...
...................................................................................
ඉවර නෑ..
(සූSuuu )
🖤🙂