ආත්ම බන්ධන 19
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 458
19............................ .............................. .......
වෛද්‍යවරයා හමුවීමට ගිය කවීෂත් තිළිනිත් පැමිණෙන විට ජයවර්ධන දෙපළ නිවසින් පිටත්ව තිබිණි. නමුත් සිරියා එය සැඟවීමට නොසිතුවාය. මන්ද කුඩා දරුවන් දෙදෙනාගේ මුවින් කොයි මොහොතක හෝ ආච්චිත් සීයාත් පැම්ණි බව පිට වීමට ඉඩ තිබුණු නිසාය. කුඩා දෘරුවන් එසේය . ඔවුන්ගේ සිත් මල් වැනිය. කිසිවකුට බොරුවක් කරන්නට ඒ සිත් තුළ කිසිවිටෙක අදහසක් නැත. දරුවන් නරක් වන්නේ දෙමව්පියන්ගේම වරදිනි. ඉතින් දරුවන්ට බොරු කීම උගන්වනවාට වඩා තමන් සත්‍ය පැවසීම අගනේ යැයි සිරියා සිතුවාය.
"චූටි බේබිලා යද්දිම වගේ ලොකු මහත්තයයි නෝනයි ආව...මොකද්ද වැඩකට යන ගමන් කියල කීවෙ ..."
තිළිනි තැතිගැන්වුනු දෑසින් සිරියා දෙස බැලුවාය. නිමක් නැති කරදර... මේ කරදර වලින් හිස නිදහස් කරගන්නට ඉඩක් ලැබෙන්නෙම නැති පාටය.
" අපි කොහෙ ගියා කියලද කීවෙ සිරිය නැන්දෙ..?"
"ආ....මං එහෙම විසේසයෙන් කියන්න ගියෙ නෑ. දෙන්නත් එක්ක ඇවිදල එන්න එළියට ගියා කිව්ව ..."
තිළිනිට සැනසුම් සුසුමක් හෙලිනි.එහෙත් ඒ තාවකාලික සැනසීමක් බව ඈ දැනන් උන්නාය.
වෛද්‍යවරයා සමඟ බොහෝ වේලාවක් කතා බස් කර මේ තත්වය කියා සිටි විට ඔහුගේ අදහස වූයේද මෙය පෙර භවයක මතකයන් විය හැකි බවයි. දරු දෙදෙනාගේ යහපත පිණිස මෙතෙක් කල් ලෝකයෙන්ම සඟවා සිටි රහස් කතාද තිළිනි හැඬූ කඳුලින් යුතුව කියා සිටියාය. කෙසේ වෙතත් දරුවන් නිසි ආකාරයෙන් පරික්ෂා කිරීමෙන් තොරව ස්ථීර නිගමනයක් ගැනීම නුවනට හුරු නොවන බව වෛද්‍යවරයාගේ අදහස විය.. කෙසේ වුවද තම සිත පවසන පරිදි තමාත් කවීශත් සිතා සිටින දෙය නිවැරදිම යැයි ඇයට හැඟෙයි.. එසේ නම්...! තමාගේ වෙස් මුහුණ ගැලවීමට කාලය පැම්ණ ඇත. ජීව්තය තොර කරගැනීමට පවා ඇයට සිතෙයි. එගෙත් මේ පාපයෙන් ගැලවෙනු කෙසේද...! පුංචි දරුවන් දෙදෙනා තනි කරන්නේ කෙසේද. තමාගේ පව් නිසා හෝ තවත් වරක් තමා ළඟට පැමිණ ඇත්තේ තමා බෙහෙවින්ම පෙම් කළ අයයි. තවත් වරක් ඔවුන්ව අතරමං කල හැකිද...!
තිළිනිගේ සිත යකාගේ කම්මල මෙනි.. කරන කියන කිසිදු වැඩක් ඔහේ පුරුද්දට කලා මිස සිහියක් නොවීය. දරුවන් සමඟ නැවත සායනයට යා යුතු දිනය ලං වත්ම හද ගැස්ම වැඩි වන්නාක් මෙන් දැනේ.. මුහුණේ ප්‍රභාව දියවී ගොස්ය. නින්ද නෙත් අසලක වත් නොවීය. කවීශගේ තත්වය මින් නොදෙවෙනි විය. නොයා බැරිකම නිසාවෙන් ව්‍යාපාරික ස්ථානයට ගියද ඒ පිළිබඳව ඇල්ම හීන වී ගොසිනි. කෙස් රැවුල් කැපීමට වත් උවමනාවක් නැති සේය. සිරියා මේ සියල්ල දෙස කම්පිත දෑසින් බලා උන්නාය. තමා සොයාගත් සත්‍ය කැමැත්තෙන් හෝ අකමැත්තන් ආසන්නම දිනයක හෙළි කිරීමට ඔවුන්ට සිදුවිය හැක . මරණයක් වසන් කිරීම සුළුපටු තත්වයක් නොවේ. එමෙන්ම මේ දෙදෙනා ඒ මරණයට යම් තාක් දුරට සම්බන්ධ වී තිබේ නම්....! සිරියාට එය සිතීම පවා බියජනක විය. ජීවතුන් අතර නැතැයි අනුමාන කෙරූ සත්‍ය තිළිනි පිළිබඳව සිතට නැගෙන වාරයක් පාසා සිරියාගෙ නෙතට කඳුලු උනයි. ඒ හා සමාන අප්‍රසන්න බවක් දිලිනි කෙරෙහි ඇති වේ. තමා ඇකයේ හොවා හැදූ දරුවෙක් මෙතරම් පාපිෂ්ඨ වීම ඇයට ඇදහිය නොහැක . මේ නිවසේ සිටීම පවා දැන් දැන් සිරියාට අප්‍රියජනක විය. එහෙත් ඉවසිය යුතුය. ජීවිතය හැර ගිය අහිංසක දැරුවන් දෙදෙනාට සාධාරණය ඉශ්ට කළ යුතුය. දිලිනි නිවසින් පැන ගිය දා තිළිනි තනි කරගත් සිරියා, සාගර පිළිබඳව විමසා තිබුණි. නම ගම සිහියේ නොරැඳුනද දුප්පත් වුවත් ඉතා ගුණගරුක දරුවෙක් බැව් සිරියා තිළිනිගෙන් දැන ගත්තාය. කිසි දිනෙක නොදුටු දරුවෙක් වුවද ඔහුටද නපුරක් වේ යැයි සිතීම සිරියාට වේදනාවක්ම විය.
දරුවන්ගේ කටින් කියවූ දේවල් සහ ජයවර්ධන දෙපල අනුමාන කල කරුණුත් තමා අනුමාන කල කරුණුත් එකට එක් කර සාදා ගත් මේ කතාව වැඩි වශයෙන්ම සත්‍ය කතාවට සමාන වන බව සිරියා දැන උන්නාය. එහෙත් ඇයට උවමනා වූයේ ප්රත්යක්ෂ ලෙසින්ම එය ඔප්පු කර ගැනීමටයි. නිවසේ කිසියම් හෝ ස්ථානයක මෙයට සම්බන්ධ සාක්ෂි ඇතැයි සිරියා තදින්ම විශ්වාස කළාය. නමුත් කවීශ ව්‍යාපාරික ස්ථානයට පිට වී ගියද තිළිනි දවස පුරා නිවසෙහි සිටීම සිරියාගේ අවාසියට හේතු විය. එහෙත් පසු බැස්සේ සිරියා නොවේ... ඈ නිවසේ වැඩ මැව්වාය.. ඉඳහිට කවීශ ව්‍යාපාරික කටයුතු සමඟ කාර්යබහුල වන විට ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු නිවසට පැමිණ සිදු කරයි. ඒ සඳහා කන්තෝරු කාමරයක් ලෙස සකසා ගත් කාමරයක් නිවසේ ඇත. එය අස් පස් කිරීම කවීශ කිහිප වතාවක් සිරියා ලවා කරගත්තේය.ඒ මෙවැනි ගැටළුවක් නොමැති කාලයේදීය. එකල අතුපතු ගා රාක්ක පුරවා ඇති ලියකිවිලි පිලිවෙලට සකසා තැබීම හැර ඒ ලේඛන කියවීමට උඩින් පල්ලෙන් බැලීමට වත් සිරියාට උවමනාවක් නොවීය. එහෙත් දැන් තත්වය වෙනස්ය . නොදැනුවත් කමකින් හෝ අමතක වීමකින් ඉතිරි වූ කුමන හෝ සාක්ෂියක් කොහි හෝ ඇතැයි සිරියාගෙ සිත කොඳුරයි. තිළිනි නිවසේ උන්නද තෝන්තුවාවෙන් මෙන් කල් ගෙවයි. එය සිරියාට වාසියකි. නිදන කාමරයේ සිට දරෘවන් නිදන දෙස බලා කඳුලු සැලීමත් හීල්ලීමත් ඇගේ ප්‍රථම රාජකාරිය වී ඇතිවා සේය. කන්නට බොන්නට පවා වැඩි උවමනාවක් නොමැති තිළිනිට වෙනදා මෙන් පෙරැත්ත කිරීමක්ද සිරියාගෙන් නොලැබුනි.
සිරියා කුස්සියේ වැඩපල අහවර කර නිවෙස අස් කරන්නට සූදානම් වූවාය. සැමදා පිළිවෙලට් පිරිසිදුවට නිවෙස තබා ගන්නා සිරියාට අමුතුවෙන් බොහෝ කල් ගත කර අස් පස් කිරීමට දෙයක් නැති තරම්ය. නමුත් සිරියා එයට උපායක් යෙදුවාය. පෙර දින දෙකක් පමණ නිවසේ අස් පස් කිරීම් ඈ සිදු කරේ උවමනාවකින් නොවේ. ඈ ව්‍යාජ අසනීපයක් මවා ගත්තාය.
" අම්මේ චූටි බේබි හරි අමාරුයි කොන්ද..දැන් දවස් කීපයක ඉඳන් ඇවිලෙනව. ගෙදර ජරා වෙලා. හරියට නැමිල පෙරලිල අස් කරන්න බෑනෙ. ඔය උඩින් පල්ලෙන් අතුගෑව... හොඳ උනාම දවසක් අරන් කරන්න වැඩ තියෙයි ඕන්.."
සිරියා පැවසුවේ වේදනාවෙන් මෙන් කොන්දෙහි අත තබා ගනිමිනි. නිවස අස් කිරීමට තබා වචනයක් කතා කිරීමට වුව හැකියාවක් නැති මානසිකත්වයක උන් තිළිනි ඒ පිළිබඳව හාරාඅවුස්සන්නට ගියේ නැත.
" හ්ම්ම්... ඔය ඇති සිරිය නැන්දෙ. මටත් බෑ ... පස්සෙ දවසක අස් කරල දාමු.."
එලෙසින් නිවස සෝදිසි කිරීමට ඉඩ පාදා ගත් සිරියා එය ක්‍රියාත්මක කලේ ඉන් තුන් වැනි දිනයේදීය. තිළිනිට ඒ පිළිබඳ හාන්කවිසියක් වත් නැති විය. ඇ දරුවන් අසලටම වී කවා පොවා නිදිකරමින් උන්නේ තව දින කිහිපයකින් දරුවන් තමාගෙන් වෙන්ව යනවාක් මෙනි.. එහෙත් ඈගේ ප්‍රධාන අරමුන වූයේ දරුවන්ගේ හැසිරීම සහ මුවින් පිට වන වචන ගැන තව තවත් අවධානය යොමු කිරීමයි. මේ අතර තුර සිරියා කාමරයෙන් කාමරයට අස් කරමින් පැමිණියාය. තිළිනි සහ දරුවන් සිටින කාමරයේ අස් කිරීමට කියා විශේෂ යමක් නොතිබුන තරම්ය. එහි මෙන්ම නිවසේ වැඩි හරියක් අස් කිරීමට කියා ඇත්තේ දරුවන්ගේ සෙල්ලබඩු පමණි. ඒවා එලෙස පිළිවලට පවතින්නේද ඔවුන් දෙදෙනා නින්දෙන් ඇහැරෙන තුරු පමණි. කාමරයට ආ සිරියා කාමරයේ වූ මේස පුටු පිස දමා සෙල්ලම් බඩු අසුරා බිම අතුගාගෙන වහා පිටව ගියාය. එහි ඇති අල්මාරියෙහි යමක් වේ නම් ඒ ලොකු බේබිගේ හැඳුනුම්පත බව සිරියා දැන උන්නාය. සිරියාගේ ප්‍රධාන ඉලක්කය වූයේ කවීෂගේ කන්තෝරු කාමරයයි.
කාමරයෙන් කාමරයට හැකි ඉක්මනින් අස් පස් කරමින් සිරියා කවීශගේ කන්තෝරු කාමරයටද රිංගා ගත්තාය. කොතැනකින් කෙසේ පටන් ගන්නදැයි සිරියාට නිච්චියක් නැත. තැන් තැන් වල කබඩ් පුරවා ෆයිල් කවර ගොඩකි. විවාහයට පෙර පොත් කියවීමට රුචිකත්වයක් දැරූ බැවින් එක් පසෙක රාක්කයක පිරවූ පොත්ය. ඒවායින් බොහොමයක් ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු ඒවා බැවින් ඒවා පිටරටින් එනවිට ගෙනෙන්නට ඇතැයි සිරියා අනුමාන කලාය. වටපිට බැලූ සිරියාගෙ නෙත යොමු වූයේ මේසයේ ඇති ලාච්චුව වෙතයි. එහි යතුරු කැරැල්ල එලෙසම තිබිනි. හදිසියක් වුවහොත් අතුගානා බවක් පෙන්වන්නට කොස්සත් අතින් ගත් සිරියා ලාච්චුව අසලට ගොස් එය ඇරියාය.
සිරියාගේ බලාපොරොත්තු සුන් වන බවක් දැනුනි. පැන්සල් කොට පෑන්,මකන දියර වැනි ලිවීමට අවශ්‍ය දෑ මෙන්ම කඩදාසි බන්ඩලයක්ද එහි විය. සිරියා ලාච්චුවේ පිටුපසට අත දමා බැලුවාය. පිටුපසටම වන්නට තිබුනු සිහින් ඝනකමින් අඩු කොලයක් වැනි යමක දාරයේ සිරියාගේ අත ගැටිනි. එතරම් සැකයක් නොවූවත් සිරියා එය එලියට ගත්තාය. එය කුඩා ලියුම් කවරයකි.. ඇතුලත යමක් ඇති බව දැනුනෙන් ඈ එය විවර කර එය එළියට ගත්තාය. දෙවියනේ... ඒ අහිංසක හුරුබුහුටි පෙනුමෙන් යුත් තිළිනිය. එය විවාහයට පෙර ගත් ජායාරූපයක් බව සිරියා හඳුනාගත්තේ කඩාහැලෙන දිගු වරලෙසෙනි... "හ්ම්ම් ... මේ තරං අපූරු කොන්ඩෙනෙ කපා දැම්මේ" යි සිතන විටම සිරියාගේ සිතට යමක් පිවිසියේය.
මංගල්‍යයෙන් පසු සති දෙකක කාලයකින් නිවසට පැමිනෙන විටත් තිළිනි කොන්ඩය කපා උන්නාය. දැන් පැන නැඟී ඇති ගැටලුව අනුව එදිනද නිවසට පැමිණියේ දිලිනිම විය නොහැකිද...! එහෙත් එවිට මංගල්‍යය ...! මංගල්‍යය දා සිටියේත් මදුසමයට පිටව ගියේත් තිළිනිම බව සිරියාට සක්සුදක් සේ පැහැදිළිය. එසේනම් ඒ කොන්ඩය කපා දැමීම සත්‍යක් වනු ඇත... "
සිරියාට මෙහි අගමුල නොතේරේ. ඈ සෙමින් ජායාරූයේ අනික් පස බැලුවාය. නිල් පැහැ කාබන් පෑනකින් ඉංග්‍රීසියෙන් ලියූ වාක්‍යයකි. දහයේ පන්තිය තෙක් ඉගෙන ගෙන තිබූ සිරියාට ඉංග්‍රීසි අකුරු කිහිපය එක් කොට කියවාගත හැකි වුවත් එහි තේරුමක් දැන උන්නෙ නැත.
"I Miss you " සිරියා කඩින් කඩ අකුරු ගැටගසා කියවාගත්තාය. ඉන් එහාට යමක් සිතා ගැනීමට ඈට නොහැකි විය. සෙමින් ජායාරූපය කවරයට දැමූ සිරියා එය ආපසු තිබූ තැනම තැබුවාය. එය ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇයට නොවීය . තිබූ තැන මතකයේ තබා ගත් විට අවශ්‍ය මොහොතේ ඉක්මනින් ලබා ගෙන ජයවර්ධන දෙපලට ලබා දීම ඇගේ අදහස විය. ජායාරූපය තිබූ තැනම තැබූ සිරියා මේසය මත වූ පොත් පත් කිහිපයක් හා ෆයිල් කවර කිහිපයක්ද දිග හැර බැලුවාය.නමුත් ඒවායේ සැක සහිත යමක් නොවිය. ඊළඟට ඇගේ නෙත යොමු වූයේ පොත් රාක්කය දෙසටයි. කලෙකින් පොතක් ඇල්ලූ බවක් වත් එහි පෙනෙන්නට නොවීය. අසුරා තැබූ ලෙසම පොත් එකිනෙක හා තදවී රාක්කයේ ඇසිරී තිබිනි. එහි යටම වසා තැබ්ය හැකි තරමක් විශාල ලාච්චු දෙකකි. සිරියා වහා ඒ කරා ගියාය. එය යතුරු ලා තිබිනි . එහි යතුර කොහි වෙත්දැයි ඈ වට පිට බැලුවේ අදහසකින් තොරවය. සැනෙකින් ඇගේ සිහියට නැගුනේ මේසයේ ලාච්චුවෙහි වූ යතුරු ගනනාවක් එක් කර සැදූ යතුරු කැරැල්ලයි. එය පිටතට ගත් සිරියාට අදාල යතුර සොයා ගැනීමට අපහසු නොවූයේ යතුරේත් කබඩ් එකේත් සොයා ගැනීම පහසුවනු පිණිස දමා තිබූ සලකුනු නිසාවෙනි.
සිරියා සෙමින් දොර පියන විවෘත කලාය. .. එහි වූයෙද ෆයිල් කවර වල දැමූ ලියකිවිලිය. මේවා එකින් එක බැලීමට සෑහෙන කාලයක් ගත වනු ඇත. එසේ සිතා මඟ හැර යන්නද ඇයට සිත් නොවීය.. තීරණයක් ගත් සිරියා වහා නැඟී සිටියාය. මේ සියල්ල බැලීමට පෙර තිළිනි කුමක් කරන්නේදැයි සොයා බැලිය යුතුය. වහා කාමරයෙන් පිටවූ ඈ තිළිනිත් දරුවනුත් උන් කාමරය කරා ගියාය. මුළු නිවසම නිසොල්මන්ය. සෙමින් දොර රේද්ද මෑත් කල සිරියා කාමරය දෙස බැලුවාය. ඇයට සැනසුම් සුසුමක් හෙලිනි. මව් සහ දරු දෙදෙනා එකට තුරුල් වී සුව නින්දකය. සිරියා සෙමින් සෙමින් නැවතත් කන්තෝරු කාමරය වෙත පැමිණියාය.
මෙය කොතැනින් කෙසේ පටන් ගන්නදැයි සිරියාට නොතේරුනි. සැඟවිය යුතු යමක් වේ නම් උඩම ෆයිල් ගොනුවේ තිබිය නොහැකියි අනුමාන කල ඈ යට සිට බැලීමට පටන් ගත්තාය ..
ෆයිල් කවර දහයක් පමණ පෙරලා බැලුවත් සිරියාට සැක සහිත යමක් නොවීය. බොහෝමයක් තුල වූයේ ඉංග්‍රීසි භාශාවෙන් සකසන ලද ලිපි ගොනුය. ඒවා තේරුම් ගන්නට තරම් දැනුමක් සිරියා තුල නොවීය. ඒ ලිපිගොනු ව්‍යාපාර සම්බන්ධ ඒවා යැයි සිතූ සිරියා තව තවත් අනෙකුත් ඒවාද පෙරලමින් බලන්නට විය. ඈ ෆයිල් කවර යට සිට අදිමින් බලන්නට වූ නිසා සමබරතාව ගිලිහුනු ඉහල තිබූ ෆයිල් කවර කිහිපයක් එක රොත්තට පෙරලී ගියේය. එවිට සිරියා දුටුවේ ඒවාට පිටුපසින් වෙනම ෆයිල් කවරයක් කබඩයේ පිටුපස ලෑල්ලට හේත්තු කර සඟවා තබා ඇති බවයි. සිරියා පෙරලුනු ලිපිගොනු පසෙකට කර එව ෆයිල් කවරය පිටතට ගත්තාය..මෙතරම් වේලා කිසිදු තොරතුරක් නොලැබුනු බැවින් සිරියා උන්නෙ උදාසීනවය. සමහර විට මෙය හිතාමතා එලෙස තැබුවා නොවිය හැකිය. කෙසේ වුවද එය පෙරලා බැලීමට සිරියා තීරණය කලාය.
පෙරළන විටම මෙතෙක් දුටු ලිපිගොනු වලට වඩා වෙනස් වූ පිටු දෙකක පමණ මුද්‍රිත ලියකියවිල්ලක් බව ඈ තේරුම් ගත්තාය. එය වෛද්‍ය සහතිකයක් බව ඇ තේරුම් ගත්තේ සිංහල භාශාවෙන්ද පෞද්ගලික රෝහලක නමක් ඉහලින් තිබූ බැවිනි. ඉහලින් මුද්‍රිත නම ඉංග්‍රීසි භාශාවෙන් තිබුනද අකුරු එකතු කර කියවාගන්නට ඇයට හැකිවිය. එහි වූයේ කවීෂගේ වෛද්‍ය වාර්තාවකි. එය කොතරම් දුරට මේ ගැටළුවට සම්බන්ධ වේදැයි නැත්දැයි සිරියාට සිතා ගත නොහැකි විය. කෙසේ වුවද එයත් පසුව ගන්නා අදහසින් සිරියා එය ෆයිල් ගොනුවේ යටින්ම තැන්පත් කලාය.
තව තවත් සොයා බැලුවද කිසිවක් සොයා ගැනීමට සිරියාට නොහැකි විය. වහා ලිපිගොනු සියල්ල අස් කර දැමූ සිරියා එතැනින් නැඟී සිටියාය. ඇගේ සිත තවමත් සැහීමකට පත්ව නැත. සොයා බලන්නට තවත් බොහෝ තැන් ඇත. ඈ සිතින් දෙව්යන්ට කන්නලව් කරන්නට වූවාය.
"අනේ දෙයියනේ... මට උදව් කරන්න..මේ පවුල මේ පුරස්නෙන් බේරගන්න ඕන දෙයියනේ...!"
සිරියා සිතෙන් අයදිමින් වටපිට බැලුවාය. තවත් ලිපිගොනු රාශියක් තිබුණත් ඒවා පෙරලමින් බැලීමට කාලයක් නැත. සිරියා කල්පනා කරමින් නැවතත් මේසය අසලට ගියාය. මේසය මත කුඩා ප්ලාස්ටික් රාමුවකින් වට වූ ජායාරූපයකි. ඒ දරුවන් දෙදෙනාගේ ජායාරූපයකි. සිරියා සෙමින් එය අතට ගෙන බලා උන්නාය. එය අවශ්‍ය විටෙක ජායාරූපය ගලවා ඉවත් කර වෙනත් එකක් දැමීමට හැකි ලෙස සදා තිබිණි. ඒ දෙස බලා සිටින සිරියාගේ නෙතට යමක් හසු විය. දරුවන් දෙදෙනාගේ ජායාරූපය පසෙකින් රාමුවට නිවැරදිව වැටී නැත. ඒ නිසා එක් පසෙකින් එය මඳක් ඇලවී ගොසිනි. ඇල වූ පැත්තේ රාමුවත් පින්තූරයත් අතර ඉතා කුඩා හිඩැසක් තිබිය යුතු වුවත් ඊට පසු පසින් තවත් ජායාරූපයක් තිබෙන බව ඈ දුටුවාය. කලබල වූ සිරියා සෙමින් සෙමින් රාමුවෙන් උඩ ඇති දරුවන්ගේ ජායාරූපය ඉවත් කලාය.
සිරියාට දෑස් අදහාගත නොහැකි විය. බොහෝ සුන්දර දිය ඇල්ලක් ඉදිරිපිට ගත් ජායාරූපයේ උන්නෙ එකිනෙකා වැළඳගෙන උන් කවීශ සහ තිළිනිත් දිලිනි සහ තවත් පිරිමියෙකුත් ය. තමා කිසිදා දැක නැති දිලිනිගේ පෙම්වතා ඔහු වන්නට ඇතැයි සිරියා ඉඳුරාම සිතුවාය. එහෙත් මෙය කෙසේ සිදුවීද...!එසේ නම් දිලිනිගේ පැන යාම පිළිබඳව මේ දෙදෙනා දැන උන්නා වත්ද ! ඔවුන්ගේ උදව් සහිතව මේ දෙය වූවාද. එසේනම් මේ තත්වය මත තිළිනිත් සාගරත් මිය ගියේ කෙසේද .. සිරියා කම්පනයෙන් අසල වූ පුටුවෙහි ඉබේම මෙන් හිඳගත්තාය. ඇගේ දෑසින් කඳුලු කැට කඩා හැලිනි. කුමකින් කුමක් වේදැයි සිතට ඇත්තේ බියකි.
එක් වරම තිළිනි ඇගේ කාමරයේ සිට තමාට කතා කරනු ඇසීමෙන් සිරියා පියවි සිහියට පැමිණියාය. වහ වහා ජායාරූප දෙකම තිබූ ලෙසම රාමුවට දැමූ සිරියා කොස්සත් රැගෙන කාමරයෙන් පිටවී දොර සෙමින් වසා දැම්මාය.
"චූටි බේබි ඇයි කතා කරේ.."
සිරියා කාමරයට එබෙමින් ඇසුවාය. සිරියාට දැන් චුටි බේබි යනුවෙන් ඇමතීමට වත් සිතක් නැත. නමුත් ඇගේ කටින්ම සියල්ල දැනගන්නා තෙක් සිටිය යුතු බැවින් ඇය බොහෝ ඉවසිල්ලෙන් කටයුතු කලාය.
" නෑ සිරිය නැන්දෙ..! නින්ද ගියානෙ ටිකක්. වෙලා ගිහින්ද. .. මේ දෙන්නත් තාම නිදිනෙ .මොකුත් කවන්නත් ඕන."
කාලය ගැන හැඟීමක් සිරියාටද තිබුනේ නැත. එහෙත් මහා වෙලාවක් ගතව නැති බව ඇය දැන උන්නාය.
" අනේ නෑ චූටි බේබි. මමත් මේ තාම ගේ අස් කරනව."
" එහෙමද ...?එහෙනම් මම රෙදි ට්කක් තියෙනව හෝදල එන්නම් සිරිය නැන්ද මේ දෙන්න නැඟිට්ටොත් බලනවද..?"
" ආ ...හා හා හෝදල දාල එන්ඩකෝ.."
සිරියා තවත් කිසිවක් නොදොඩාම කාමරයෙන් ඉවත් වූවාය.
තවත් දින දෙකක ඇවෑමෙන් දරුවන් වෛද්‍යවරයාට පෙන්වන දවස උදා විය. මහත් දෙගිඩියාවෙන් කවිශ තිළිනිත් ඒ සඳහා සූදානම් වූහ. දරුවන් දෙදෙනාද සූදානම් කර ගත් තිළිනි සිරියාගෙන් සමුගෙන වාහනයට නැඟුනත් ගමන අවසන් වන තුරුත් කවිශත් ඈත් අතර කතාබහක් සිදු නොවුන තරම්ය.
මේ අතරතුර සිරියා දේවිකාට ඇමතුමක් දී සියලු දෙනාම වෛද්‍යවරයා හමුවට ගිය බව දන්වා සිටියාය. පෙර දිනද ඒ බව දැනගෙන උන් නිසාවෙන් ඒ වන විටත් ජයවර්ධන දෙපල උන්නෙ කවීශ ගේ නිවසට පැමිණෙන අතරමඟය . සිරියා ගැහෙන සිතෙන් යුතුව කවීශගේ කන්තෝරු කාමරයට රිංගා පෙර දිනයක සඟවා තිබූ තැන් වලින් වෛද්‍ය වාරතාවක් යැයි අනුමාන කල ලිපියද ජායාරූපය දෙකද ලබා ගත්තාය. එය රැගෙන ගොස් ජයවර්ධන දෙපල පැමිණෙන තුරු තම කාමරයේ සඟවා ගත්තාය. නොඉවසිලිමත් බවින් යුතුව පෙර මඟ බලා උන්නත් ජයවර්ධන දෙපල නිවසට පැමිනෙන විට තවත් පැයක කාලයක් ගත වී තිබිනි. ඔවුන්ගේ මුහුණු තුල ඇති කනාගටුදායක බව සිරියා මැනවින් හඳුනා ගත්තාය. ඇගේ සිත තුල වූයේ මහත් දුකකි. තමාට බෙහෙවින් උදව් උපකාර කල වචනයකින් හෝ වරදක් නැති මේ දෙපලට සිදු වී ඇති දෙය ඇයට දරාගත නොහැකි විය.
තේ පැන් සංග්‍රහයකින් අනතුරුව සිරියා තමා සොයා ගත් නව තොරතුරු ජයවර්ධන දෙපල ඉදිරියේ පවසා සිටියේ හැඬූ කඳුලිනි. ඈ තමා ලඟ වූ ජායාරූප සහ අනෙත් ලිපිය ජයවර්ධන දෙපල අතට පත් කලාය. තිළිනිගේ තනි ජායාරූපය නම් එතරම් වැදගත් නොවූවත් දියණියන් දේපලම තම සහකරුවන් සමඟ එකට සිටින ජායාරූපය දැකීමෙන් ජයවර්ධන මහතා කෝපයට වඩා මහත් කලකිරීමට ලක් විය. දේවිකා නම් උන්නෙ හැඩූ කඳුලිනි.
" මුන් සේරම එකතු වෙලා අපිව රවට්ටලා දේවිකා...මුං සේරම !...අපට කොයි තරම් ලැජ්ජාවක්ද උනේ. !"
ජයවර්ධන පුටුවෙ ඉදිරියට නැවී හිස මත දෑත් තබා පැවසූයේ මහත් කලකීමකිනි.
" අපි මොකද්ද ජයේ කරන්නේ... අනෙ මට තේරෙන් නෑ දෙයියනේ.. ලොකූ එහෙම උනත් චූටි එහෙම කරයි කියල මං කවදාවත් හිතුවෙ නෑ... අන්තිමේට ....අන්තිමේට... ජීවිතෙනුත් වන්දි ගෙවල මේ දරුව. මං කොහොමද දරා ගන්නෙ ජයේ. දරුවගෙ බොඩි එකවත් අපි දැක්කෙ නෑනෙ දෙයියනේ. ."
දේවිකා හඬා වැලපෙන්නට වූවාය.
"එක අතකට නෝන එහෙම හිතන එකත් වැරදි වෙන්න පුළුවන්. . කවුද දන්නෙ චූටි බේබි මේව අන්තිම මොහොතෙද දැනගත්තෙ කියල. රැව්ටීමක් කරත් චූටි බේබි කොච්චර ලොකු කැපකිරීමක්ද කරේ පවුලෙ නම්බුව රැකගන්න.."
සිරියා තිලිනිගේ පැත්තට කතා කලේ ඈ ගැන ඇතිවූ දුකකින් මෙන්ම තවමත් කතාව හරි හැටි නොදන්නා බැවිනි.
"දේවිකා අදම අපි මේක විසඳගමු තවත් බල බල ඉන්න බෑ. මුන් මොන අපරාදයක් කරල මෙහෙම හංගන් ඉන්නවද කියල කවුද දන්නෙ.."
"ජයවර්ධන මහතාගේ හඬ ආවෙගශීලි විය. සියලු දෙනාම එයට එකඟ වුවත් කුමනාකාරයේ ඇත්තක් දැන ගන්නට වේදැයි තිදෙනාම තිගැස්මට පත්ව උන්හ.
ජයවර්ධන මහතාගේ නෙතට වෛද්‍ය වාර්තාව හසු වූයේ තවත් මොහොතකිනි. ඔහු වහා එය ගෙන පෙරලා බලන්නට විය. දේවිකා උන්නේ එදෙස බලාගෙනය. වාර්තාව බලන තම සැමියාගේ දෑස් ලොකු වෙන අයුරුත් මුහුනේ මස් පිඩු සැලෙන අයුරුත් දේවිකා දුටුවාය.
"ජයේ.... අනේ ජයේ. . ඒ පාර මොකද්ද... අනේ දෙයියනේ කියන්ඩකෝ...."
දේවිකා දෙස බැලූ ජයවර්ධන මහතාගේ මුහුන කේන්තියට විරූපී වී ගොස්ය. කිසිවක් නොකී ඔහු වෛද්‍ය වාර්තාව දේවිකා දෙසට විසි කලේය. දේවිකා වහා එය පෙරලා බැලුවාය.
දේවිකා එය කියවීමෙන් තව තවත් ව්‍යාකූල වූවාය. ඇගේ දැසේ කඳුලු යලිත් අලුත් විය. ෆයිල් කවරය පසෙකට විසි කල ඈ දෙඅත්ලෙහි මුහුණ හොවා ඉකිබින්ඳාය.
ඒ තුල සඳහන්ව ඇති දෙය දැන ගැනීමට සිරියාට වූයේ මහත් අවශ්‍යතාවකි. නමුත් ජයවර්ධන දේපලගේ ස්භාවය දුටු ඈ ඒ පිළිබඳව විමසීමට බිය වූවාය. කොයි මොහොතක හෝ දැනගන්නට ලැබේ යන සිතුවිල්ලෙන් ඈ නිහඬවම පසු වූවාය.
පස්වරු දෙකට පමණ කවීශගේ වාහනය මිදුලට ඇතුල් වන ශබ්ධය ඇසීමත් සමඟ දේවිකාත් ජයවර්ධනත් අමුත්තන්ගේ කාමරයට ඇතුල් වී දොර වසාගෙන නිසොල්මන්ව උන්හ. දෙදෙනාට දැන ගැනීමට උවමනා වූයේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කල දේවල් කවීශත් තිළිනිත් කතා බහ කරනවාදැයි දැන ගැනීමටය. සිරියා සාමාන්‍ය ලෙස ගේ දොර වැඩ කරන බවක් හැගෙව්වාය.
කවීශත් තිළිනිත් නිදාගෙන උන් දරුවන් දෙදෙනා වඩාගෙන නිවසට ඇතුල් වූයේ කළු වී විඩාපත් වූ මුහුනෙනි. තිළිනිගේ මුහුනේ හැඬුම සලකුනු පෙනෙන්නට විය. නිහඬවම කාමරයට ඇතුලු දෙදෙනා දරුවන් දෙදෙනා ඇඳෙහි තබා සාලයට පැමිණියහ.
" මහත්තය තේ ටිකක් බොමුද..? "
සිරියා කවීශගෙන් විමසුවාය.
"හ්ම්ම් ගේන්න.."
කවීශගේ පිළිතුර එපමණක් විය. තිළිනි උන්නේ අහක බලාගෙන දෑසට උනන කඳුලු පිටතට පනින්නට නොදී දෙඇස් පිසිමිනි.
පුදුමයෙන් මෙන් සිරියා ඈ දෙස බලා උන්නාය.
"චූටි බේබි..., ඇයි මේ..."
"මො..කු..ත් න් නෑ සිරිය නැන්දේ.. කුස්සියට යන් මාත් එන්නම්.."
කවීශ හිස ඔසවා තම බිරිය දෙස බලා සුසුමක් හෙලමින් නැවතත් හිස බිමට යොමා ගත්තාය.
සිරියා සමඟ මුළුතැන්ගෙට ගියත් තිළිනි පසෙකින් වාඩි වී සිට්යා මිස කතාවක් කලේ නැත. සැබවින්ම ඇයට යමක් කීමට අවශ්‍ය වූවත් මුව විවර කර ගැනීමට නොහැකි ලෙස හැඬුම් පැමිනීම නිසා නිහඬව උන්නාය. මේ යමක් විමසීමට අවස්ථාව නොවන බව වටහාගත් සිරියා වදනකුදු නොදොඩා තම කාර්ය ය කලාය.
"හරි චූටි බේබි යන් සාලෙට මම තේ ටික අරන් එන්නම්. ෆ්‍රිජ් එකේ කේක් වගයක් තිබ්බ ඒකත් අරන් එන්නං ..කෝ යන්කො.."
තිළිනි රොබෝවරියක මෙන් සිරියා පසුපස ඇදුනාය. සාලයට යන අතරතුර කාමරයට එබී දරුවන් නිදන්නේදැයි බැලීමටත් ඈ අමතක නොකලාය.
කිසිවක් කෑමට ප්‍රියතාවයක් නොවූ බැවින් දෙදෙනාම තේ කෝප්පය පමණක් බී අවසන් කලේ දැඩි පිපාසයක් දැනුන නිසාවෙනි. තේ බී අවසන් වූ පසු කවීශ වහා නැඟී සිටියේය.
" මං යනව ටිකක් නිදාගන්න .මහන්සි.."
කිසිවකුගේ මුහුන දෙස නොබැලු ඔහු බිම බලාගෙනම එතැනින් වහා ඉවත්ව ගියේය. ඒ අවසරයෙන් සිරියා තිලිනි ලඟින් වාඩ් වූවාය.
"චූටි බේබි...මොකද මේ..මට කියන්න බැරි දෙයක්ද.."
තිළිනි වහා හිස ඔසවා සිරියා දෙස බැලුවාය.
"සි..රිය..නැන්දේ . ...ඔයාට මාව විශ්වාසද.."
තිළිනි මුහුණ දෙස බලාගෙනම ඇසූවෙන් සිරියා මහත් අපහසුතාවට පත් වූවාය. මෙතරම් දේවල් සඟවාගෙන සිටිය මෑ කෙසේ විශ්වාස කරන්නද. සිරියා වදනක් හෝ නොදොඩා ඈ දෙස බලා උන්නාය. තිළිනි යන්තම් සිනහවක් නඟා ගත්තේ තමාටම සම්ච්චලයට මෙනි.එහෙත් එය හිනාවකට වඬා ඇඩුමකට සමාන විය.
" නෑ නේද... මං දන්..නව.. සිරිය නැන්දට මං ගැන සැකයක් තියෙනව කියල .."
සිරියා කිසිවක්ම කීවේ නැත. තිළිනි පුටුවෙන් ලිස්සා ගොස් සිරියාගේ දෙපා අස බ්ම හිඳ ගත්තාය. සිරියාගේ දෙදන මත තම දෑත තබා ඈ බලා උන්නේ කුඩා දරුවකු මෙනි.
"සිරිය නැන්ද මාව දාල යන්නෙ නෑ නේද.... මොන දේ උනත්..? මට ...මට අම්ම උනේ සිරිය නැන්දනේ ... මොන දේ උනත් යන්නෙ නෑ නේද කියන්නකො..." දැසින් වැටෙන කඳුලු ඔහේ වැටෙන්නට දී ඈ සිරියා දෙස බලා උන්නාය.
"මොන දේ උනත් කිව්වෙ බේබි...! මොනවද මගෙන් හැංගුවේ...මගෙන් විතරක් නෙවේ හැමෝගෙන්ම...ලෝකෙන්ම...!
සිරියාගෙ දැඩි කෙලින් වදන් ඇගේ දෙනෙත් විශාල කරන්නට සමත් විය ...
"සි..රි..ය නැ.න්දේ ....මේ .."
තවත් යමක් කීමට ඇයට අවස්ථාව ක් නොවීය. අමුත්තන්ගේ කාමරයේ සිට එළියට පැමිනි ජයවර්ධන දෙපල ඇයට බාධා කලහ.
" ඔව් ඔව් මොන දේ උනත් නෙවේ වුන දේ දැනගන්න තමා අපි හැමෝටම ඕන..!"
තිළිනි ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිට්යාය. පියාගේ රතු වූ ඇස් රෞද්‍ර පෙනුම ඈ භීතියට පත් කරන්නට සමත් විය..ඇගේ සර්වාංගයම වෙව්ලන්නට විය. සැනෙකින් කපා හෙලූ කඳක් මෙන් ඈ සිහිසුන්ව වැටුනාය සිරියාත් දේව්කාත් කෑගසමින් වහා ඈ වත්තම් කර ගත්තත් ජයවර්ධන මහතා බිඳකුදු නොසෙල්වී එදෙස බලා උන්නේය.
ශබ්දය ඇසීමෙන් කලබලයට පත් වූ කවීශද සාලයට දිව ආවේය. නින්දට යන බව පැසුවද ඔහුත් උන්නේ තවමත් ඇඳගෙන උන් ඇඳුම් පිටින්මය. ජයවර්ධන දෙපල දුටු ඔහුටද උන් හිටි තැන් අමතක විය. සිහිසුන්ව සිටින තම බිරිය නෙතට හසුවූයේ ඉන්පසුවයි. කුමක් හෝ දෙයක් සිදුව ඇති බව ඔහුට තේරුම් ගන්නට හැකි විය.
යතා තත්වයට පත් වුවද තිළිනි සිටින්නේ මානසිකව කඩා වැටුන ස්භාවයකින් බව බැලූ බැල්මටම පෙනෙන්නට ඇත. නමුත් ඒ කිසිවක් ජයවර්ධන මහතාගේ දැඩි සිත මෙල්ල කරන්නට ප්‍රමාණවත් නොවීය.
" කවීශ ....! ඉඳගන්නව තමුනුත් ඔතනින්. එකරල කියන්න තියෙන හැම දේම කිව්වොත් හොඳයි. අපි මේ ඇවිත් ඉන්නෙ තමුන්ලා ගොඩාක් දේවල් දන්නව වගේම ඒවට සම්බන්ධයි කියල දැනගෙන සාක්ෂි ඇතිව..."
කවීශ පත් වූයේ මහත් අසීරුතාවයකටයි. මෙතෙක් කල් සඟවා සිටි සියල්ල දැන් එකිනෙක වැමෑරිය යුතු බව ඔහුට දැනුනි. ඔහුගේ සියොලඟ දහදියෙන් තෙත්ව ගියේය. සිරියාට තුරුලුව තවමත් ඉකිබිඳින තම බිරිය දෙස මොහොතක් බලා සිටි ඔහු සැලෙන දෙතොලින් ජයවර්ධන මහතා දෙස බැලීය.
" මං.... මං ..හැමදේම කියන්නම් ..."
කවීශ දැඩි ආයාසයකින් යුතුව කියා සිටියේය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න