21............................................................................ 
 
" කාවිංග අනේ කාවිංග මං කියන දේ තේරුම් ගන්න.... කවීශට අපි පස්සෙ තේරුම් කරමු .එයා තේරුම් ගනී... අනේ දිල්කා ඔයාට තේරෙනව නේද...! ඔයත් ගෑනුකෙනෙක්නේ. .මාව ආයමත් ගෙදරින් බාර ගන්නෙ නෑ දෙයියනේ... මට කවුරුත් නෑ දැන් අනේ මට උදව් කරන්න....!" 
 
දිලිනි කාවිංගත් ඔහුගේ පෙම්වතියත් ඉදිරිපිට මහා අසරණකමකින් බැගෑපත්ව හඬා වැටුනාය..කාවිංගට මේ ඉල්ලීම ඉටු කිරීම අපහසුවක් නැතත් තම මිතුරාගෙන් නොවිමසා එය කිරීමට සිදු වීම හිතට බරක් ගෙන එන්නට විය.. එක අතකින් ඔහුට දිලිනි ගැන පිළිකුලක්ද තවත් විටෙක අනුකම්පාවක්ද දැනුනි. මේ කුමන ආකාරයේ සහෝදරියක්ද ..මේ කුමන ආකාරයේ බිරිඳක්ද...පෙවතියක්ද ... කාව්ංගට මෙය අදහාගන්නට නොහැකි තරම්ය.මිනිසුන්ගේ හිත් වෙනස් වන ඉක්මන....! 
 
"කාවිංග..තාත්තට කියල බැලුවද ඔයා..?" 
 
කාවිංගගේ පෙම්වතිය විමසුවේ දිලිනි ගැන ඇතිවූ අනුකම්පාවෙනි..." 
 
" හ්ම්ම්...වාහනේ කේස් එක ශේප් කර ගත්තහැකි. මීඩියා වලට යන්න දෙන්නෙත් නෑ කිව්ව.... ඒත් මේක කියන්නෙ කොහොමද දිල්කා.... කවීශ මොනව හිතයිද...මට තේරෙන්නෙ නෑ..." 
 
" දැන් හිත හිත ඉන්න වෙලාවක් නෑ කාවිංග... දිලිනි දැනටමත් නම් මරුකරල හොස්පිටල් එකට විස්තර දීල ඉවරයි. කේස් එකක් ඇදෙන්න කලින් තාත්තට කියන්න මේක ශේප් කරන්න කියල.." 
 
"හ්ම්ම් ඉන්න එහෙනම් මං කෝල් කරල කියන්නම්.." 
 
කාවිංග දුරකතනය ඔබමින් මඳක් ඈතට ගියේය.. දිලිනි මඳක් එහායින් වූ බංකුවක වාඩි වී අඬමින් කල්පනා කරමින් උන්නාය.. මානසික වියවුල හැරෙන්නට ඇයට බාහිරින් සුළු සීරිම් හැර කිසිදු ආපදාවක් සිදු වී තිබුනේ නැත. දිල්කා හෙමින් සීරුවේ ඇයට ලං වී හිස අතගා ඇය සැනසුවාය. 
 
" කලබල නොවී ඉන්න. කාවිංග තාත්තට කතා කරනව. අපි කවීශට තේරුම් කරමු මේ ගැන..ම්ම්..සිහිය ඇවිත් තිබ්බට තාම බලන්න දුන්නෙ නෑනෙ... හෙමිට කියමු අපි...ම්ම්.අඬන්නැතිව ඉන්න..ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ අපි.." 
 
කාවිංගගේ ඉල්ලීම මත ඔහුගේ පියා සියළු කටයුතු සූදානම් කලේය. ප්‍රබල දේශපාලනඥයෙක් වූ ඔහුට එක ඇමතුමකින් සියල්ල තම මතයට කර ගැනීමේ හැකියාව තිබිනි...තිළිනිගේත් සාගරගේත් මෘත ශරිර මෝචරියෙහි තැන්පත් කර තිබිනි.. කවීශ පසු දින වන ව්ට යතා තත්වයට පත්ව සිටියේය.. නමුත් ඔහුට මේ සිදුවීම විස්තර කර දීමට කාව්ංග ඉදිරිපත් වූයේ තදබල අකමැත්තකිනි.. සියල්ල අසා සිටි කවීශට උන් හිටි තැන් අමතක විය. 
 
"කාවිංග....කාවිංග මොනවද යකෝ මේ කියන්නේ...  මගෙ තිළිනි... දෙයියනේ දවස් කීයද අපි සතුටින් හිටියෙ... ඒ මදිවට ....ඒ මදිවට උබල ඒකිගෙ හැමදේම වෙනස් කරල... උබ මොකටද අරකි කියන දේවල් අහන්න ගියේ.... කියපන්... උඹ මට දැන් කියන්නෙ ඒකි එක්ක පවුල් කන්න කියලද.... කියපන්...මාත් මැරුනනම් උඹ ඒකි බාරගන්නවද....!" 
 
කවීශ ආවේගශීලිව කියවාගෙන යන අයුරු කාවිංග බලා සිටියේ අසරණ ලෙසිනි. එවිටම එතැනට දිලිනි පැමිණියේ හඬා වැලපෙමිනි.. 
 
" අනේ කවීශ මට.... සමාවෙන්න...සමාවෙන්න දෙයියනේ...මං වෙන මොනා කරන්නද. මට පාරක් පාරක් ගානෙ හිඟා කන්නද කියන්නෙ.... මට බ්බැ කවීශ...හ්හ්..." 
 
පිළිතුරු වෙනුවට කවීශගෙන් දිලිනිට ලැබුනේ තදබල කම්මුල් පහරකි. කාවිංග වහා නැඟී සිටියේය. 
 
"ප්ලීස් මචං මෙතන රණ්ඩු කරන්නෙපා..!  මිනිස්සු ඉන්නව වටේ ..කතා කරල බේරගනිං මම ඉන්නව අරහේ..ම්ම්.." 
 
කාවිංග එතැනින් ඉවත් වී ඔවුන් පේන මානයේ බලා සිටියේය. 
 
"කවීශ.. මට දුකයි මං දන්නව මේක වැරදියි...මට් අනුකම්පා කරන්න... මට ..මට වෙන කිසිම දෙයක් එපා... ලෝකෙට පේන්න මම නංගි වගේ ලඟින් තියාගන්න... මට යන්න එන්න තැනක් නෑ කවීශ....ප්ලීස්...ප්ලීස්..." 
 
දිලිනි කවීශගෙන් අයැදුවේ දෑත එක් කොට වඳිමිනි.. කවීශට කිසිත් නොකියා හිස මත දෑත රඳවා හඬන්නට විය.. 
 
" උඹ ....උඹ පුදුම ජරා ගෑනියෙක් දිලිනි... උඹම හොයාගත්ත මිනිහා..., තමන්ගෙම නංගි....., දෙයියනේහ්...හ්.හ් ඒ ඔක්කොම තමුසෙ එක මොහොතින් අමතක කරා... තමුසෙ මගෙ ලඟ හිටියත් ඔය ටිකමයි...ඔය ටිකමයි කරන්නෙ...." 
 
දිලිනිට හඬනු වැලපෙනු හැර කිසිත් සිතා ගැන්මට නොහැකි විය. ඈ කවීශ ඉදිරියේ දනින් වැටුනාය. 
 
" අනේ කවීශ... අනේ..ඕන තරම් බනින්න.. මුලු ජීවිත කාලෙම උනත්... මං...මං...අහන් ඉන්නම්. ...මං පොරොන්දු වෙන්ව...මං ඔයාට  ..වෑරැද්දක් කරන්නෙ නෑ කියල... ප්ලීස් ...ප්ලීස්..." 
 
දිලිනි හැඬුම් අතරින් අමාරුවෙන් කියාගත්තාය. 
 
කෙතරම් පෙරැත්ත කලද කවීශ මෙම තීරණයට සිය කැමැත්තෙන් එකඟ නොවීය. නමුත් තමා පියවි සිහියට පැමිණෙන විටත් සියල්ල සිදුවී හමාරව ඇත. ඉඳින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙයට මුහුණ දීමට සිදුවී ඇත. කවීශ උන්නේ මහා මානසික පසුබෑමකය. දිලිනිද එසේමය. සියලු කටයුතු සොයා බලා සිදු කිරීමේ වගකීම අතට ගත් කාවිංග ඒ සියල්ල මනා ලෙස කලමනාකරනය කලේ පියාගේ දේශපාලන බලපුළුවන්කාරකම නිසාමය.. කවීශගේ සිරුරේ තැන් තැන් වල තැලුම් පහරවල් තිබීම නිසා තවදුරටත් පෞද්ගලික වෛද්‍යවරයකු යටතේ පරික්ෂණ සිදු කිරීමට තීරනය කරන ලදි.. මේ අතර කිසිවකුත් නොමැති අනාතයන් දෙපලක් මෙන් තිළිනි සහ සාගර රෝහල භාරයේ මිහිදන් කරන ලදි... ඒ සඳහා කවීශත් දිලිනිත් කාවිංග සහ ඔහුගේ පෙම්වතියත් සහභාගී වූ අතර කවීශ ඒ මුළු කාලය තුලම වදනකුදු නොදොඩා බලා ගත් අත බලා උන්නේය. ශරීරයේ තැනින් තැන රිදුම් දෙන වේදනාවන්ට වඩා හිතේ ඇතිවූ මේ තුවාලය ඔහුට වේදනාවක් ගෙන එන්නට සමත් විය.. 
 
කවීශගේ මෝටර් රථයේ කාර්මික දෝශයක් බැවින්  කාව්ංගගේ රථයක් තම කටයුතු සඳහා ලබා ගත් බව නිවෙස් වලට පවසන්නට සියලු දෙනා තීරනය කලහ.  සති දෙකක කාලයක් සඳහා නුවර එලියට පැමිනි මොවුන්ට සතුටින් ගත කිරීමට හැකි වූයේ දින තුනක පමණ කාලයක් පමණි.. ඉතිරි මුලු කාලයම මේ රහස සඟවා තබා ගැනීමට කල යුතු සියල්ල සැලසුම් කිරීමට සිදුව තිබුනි. කවීශ මේ කිසිවක් සඳහා වදනකින් හෝ දායක වූයේ නැත. නමුත් මෙතැනින් පිටවී යන මොහොතේ පටන් සියල්ල මේ සැලසුම් වලට අනුව සිදු කල යුතු බව ඔහු දැන උන්නේය. 
 
දිලිනි විසින් නවාතැන්පලෙහි තිබූ තිළිනිගේ ලියකියවිලි හැඳුනුම්පත  මෙන්ම ඇගේ පසුම්බිය හා ඇඳුම් පැලදුම් පවා  තමා සතු කර ගත්තාය . තමාගේත් නැඟනියගේත් ඇඳුම් පැලඳුම් විලාසිතා කතාබහ ගතිගුන සියල්ල පරස්පර වෙත්දී රුව පමණක් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි ලෙස සමාන වීම පුදුමයැක් බැව් දිලිනිට පලමු වතාවට හැඟිනි. කෙසේ උවද දැන් තමා සම්පූර්ණයෙන් තිළිනි බවට පත් විය යුතු බව ඈ තේරුම් ගත්තාය. එකම ගැටලුව වූයේ තිළිනිට කඩා හැලෙන දිගු කෙස් කළඹක් තිබුනත් දිලිනිට උරහිස අසලට වූ කෙටි කොන්ඩයක් තිබීමත් පමණි. එයට හේතු ලෙස කවීශගේ කැමැත්ත මත කොන්ඩය කපා දැමූ බව පවසන්නට දිලිනි තීරනය කලාය. නමුත් ඇයට තිබූ එකම සැකය නම් තමාත් නැඟනියත් කුඩාම අවධියේ සිට හදා වඩා ගත් සිරියා විසින් තමාව කෙසේ හෝ හඳුනා ගනී දැයි යන්න පමණි. ඒ පිළිබඳව සිහිවන විටත් දිලිනිගේ ගත වෙව්ලා යන්නට විය. කෙසේ වුවද මේ තත්වයට මුහුණ දීමට ඈ තරයේ අධිශ්ඨාන කර ගත්තාය. 
 
ඉදිරි දින කිහිපය තුල නුවර එලියේ දීම දිලිනි තම නැඟනිය ලෙස හැඩගැසෙන්නට උත්සාහ කලාය. නමුත් කවීශගේ බැල්මක් හෝ ඈ වෙත ලැබුනේ නැත..කවීෂ තවත් දෙවරක් පමණ පෞද්ගලික වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගන්නට ගියද කිසි විටක කාවිංග මිස දිලිනි කැඳවා ගෙන ගියේ නැත.. 
 
සති දෙකක කාලය අවසනදී කාවිංගගේ වාහනය ලබා ගත් කවීශත් දිලිනිත් නුවර එලියෙන් පිට වූයේ ගැහෙන හදිනි. කවීශ ගේ මුවින් පිටවන වචන ඉතා අල්ප විය. එක් දිනක විවාහ මංගල්‍යයක් සූදානම් කර නිමා කිරීම ගැන කවීශට වූයේ සැනසුමකි. එසේ නොවී නම් ව්වාහයට එක් මනාලියකුත් දෙවැනි ගමනට ඇගේ අක්කාත් රැගෙන යන්නට ඔහුට සිදුවන්නට තිබුනි. 
 
පැය කිහිපයක ගමනකින් පසුව ජයවර්ධන මහතාගේ නිවසට ලඟා වීමට ඔවුන් දෙදෙනාට හැකි විය... ගැහෙන හදින් යුතුව දෙදෙනා නිවසට ඇතුල් වූහ. වාහනය පිළිබඳව කල් තබාම නිවෙස් වලට දැනුම් දුන් නිසා කිසිවකුටත් ඒ පිළිබඳව ගැටළුවක් ඇති නොවීය. එහෙත් නිවසේ සියලු දෙනාගෙ ඇස් උඩ ඉන්ඳවන්නට සමත් වූයේ දිලිනිගේ පෙනුමයි. ආදරයෙන් රැක බලාගත් කොන්ඩය කෙසේ කපා දැම්මාදැයි සිරියාට නම් ඇති වූයේ මහත් පුදුමයකි.  ඇය මොහොතකට මේ තිළිනි නොවේ දිලිනි යැයිද සිතුවාය. තිළිනිගේ කොන්ඩයට බෙහෙවින් ආදරය කල සිරියා ඇගේ ලඟට පවා පැමින කොන්ඩය අතගාමින් දුක් වූවාය.  ආගිය කතා බහේදී බොහෝ ප්‍රවේසම් වීමට දෙදෙනාටම සිදුවිය. කවීශට නම් මේ වන විටත් මේ රඟපෑම තිත්ත වී තිබුනි. නමුත් ඔහුට කල හැකි යමක් නොවීය..තමා දිලිනිගේ බසට නටන රූකඩයක් වී ඇති බව කවිශට දැනුනි.
     කෙතරම් පෙරැත්ත කලද දිනක් හෝ එම නිවසේ රැඳී සිටිමට පවා කවීශ සහ දිලිනි අකමැති වූහ. එක් අංශු මාත්‍රයක සැකයකට සියල්ල විනාශ කල හැකි බව දිලිනි දැන උන්නාය. නමුත් ඒ වන විටත් කුහුලින් යුතු සිරියාගේ දෑස දිලිනි වටා කැරෙකෙමින් තිබුනි. දිලිනි තව දිනක් හෝ එහි පමා වීමට නොසිතූයේ ඒ බව දැනීමෙනි. 
 
කවීශගේ නිවසෙහි දින කිහිපයක් රැඳී සිටි දෙදෙනා කවීශ නමින් ඇති වෙනම නිවසකට පදිංචියට පැමිනියේ සියලු සම්බන්ධතා හැකි තාක් දුරට මඟහරවා ගනිමිනි.  එහෙත් මුල් කාලයේ විටින් විට දෙමව්පියන් පැමිණ සැප දුක් බලා යාම සිදුවිය .එය නිරන්තරයෙන් කල හැක්කක් නොවූයේ දෙපාර්ශවයම ව්‍යාපාරික ලෝකය තුල බෙහෙවින් කාර්යබහුල පවුල් වීම නිසාය . එය එක් අතකින් කවිශටත් දිලිනිටත් වෙස් වලාගත් ආශිර්වාදයක් විය. 
 
ඒ වන විටත් තිළිනිත් සාගරත් මෙලොවින් සමුගෙන මසක පමන කාලයක් ගතවී තිබිනි. කවීශත් දිලිනිත් වෙන කල හැකි යමක් නොවූයෙන් මේ ජීව්තයට අපහසුවෙන් වුව හුරු වෙමින් සිටියහ. දෙදෙනාගේ තීරණය මත මියගිය තිළිනිත් සාගරත් වෙනුවෙන් ආරාමයකට දානයක් පූජා කර පින් පැමිණවීම සිදු කෙරිනි. ඉන් පසු සෑම වසරකම  ලබන විවාහ සංවත්සර දිනයට එම දානමය පුණ්‍ය කර්මය මිය ගිය දෙදෙනා වෙනුවෙන් ඉටු කිරීමට ඔවුන් අමතක නොකලහ. 
 
මාස දෙකක ඇවෑමෙන් දිලිනිත් කවීශත් මේ ජීවිතය අසතුටින් වුව එක්ව ගත කරන්නට හුරු වූහ. කවීශගේ රැවුම් ගෙරවුම් දිලිනි උපේක්ෂාවෙන් යුතුව දරා ගත්තාය. යහනේදී වුව තම අවශ්‍යතා සපුරා ගන්නා ඔහු කිසිදු ආදරයක් කරුණාවක් නොමැතිවම අනෙක් පස හැරී නිදාගත්තේය.. දිලිනි දහවලෙහි නිවසේ තනි වන විට නිතරම හැඬූ කඳුලින් පසු වූවාය. ඇය කෙතෙක් තිළිනි මෙන් හැසිරෙන්නට අඳින්නට පලඳින්නට ගති ගුණ වෙනස් කරගන්නට උත්සාහ කලත් කවීශගෙන් ඇයට හිමිවූයේ සෝපාහාස සිනහවක් පමනි. 
 
මේ තත්වය මෙසේ පවතිද්දී මසක් ඇවෑමෙන් දිලිනිගේ කුසට දරුවෙක් පැමිණ ඇති බව දැන ගැනීම පවුලේ අසමඟිකම් දුරු කරන්නට හේතුවක් විය. කල් ගත වී පරීක්ෂණ තුලින් ඒ එක් දරුවෙක් නොව දරුවන් දෙදෙනෙක් බව දැන ගත්දී කවීශගේ මෙන්ම දිලිනිගේ ජීවිතය සතුටින් පිරී යන්නට විය. 
 
තම ජීවිතයේ කරදර සියල්ල නිම වී ගියේ යැයි සිතූ දිලිනි කුසට පැමිනි දරුවන්‍ට පින් දුන්නාය. එහෙත් කල පව් පසු පස ඉක්මනින්ම හඹා එන බව ඇය මොහොතකට වත් සිතුවේ නැත.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න