22...........................................................................
 
 
දේවිකා උන්නේ හැඬුම පාලනය කර ගත නොහැකිවය. ඈ සිරියා බදාගෙන හඬමින් උන්නාය. සැබවින්ම මෙය සත්යක් ලෙස පිලිගන්නේ කෙසේද....! 
 
එතරම් ලොකු අනතුරක් වීත් තම දියණිය අනාතයකු ලෙස වල පල්ලට ගොස් තිබියදීත් මෙතරම් වසර ගනනක් ගත වන තුරුත් නොදැන සිටීම කෙසේ නම් වාවනු හැකිද.. 
 
" සිරියා ...සිරියා... අනේ සිරිය කියපු දේ එදා මටත් හිතන්න තිබ්බ... සිරියට සැකයක් තිබ්බ නේද මේකි දකිද්දිම...අනේ දෙයියනේ...." 
 
"අනේ නෝනෙ....සැකයක් තිබ්බයි කියල ඔහොම දේවල් හිතන්නෙ කවුද දෙයියනේ.... මඟුලක් කාල ගිය නංගි වෙනුවට හිතුමතේට ගෙදරින් ගිය අක්ක ගෙදර ඒව්ය කියල..." 
 
" උඹල කරපු අසමජ්ජාති වැඩේ අපිට පෙන්නන්නම තමා උන් දෙන්න උඹලගෙම දරුවො වෙලා ඇවිත් තියෙන්නේ..." 
 
ජයවර්ධන මහතාගේ හඬින් දිලිනි මෙන්ම කවීශද තිගැස්සී ගියහ... 
 
"අප්පච්චි...." 
 
දිලිනි යමක් කීමට උත්සහ කලද ඊට අවස්තාවක් ලැබුනේ නැත.. 
 
" දරුවො දෙන්නත් මරා ගනින් පුළුවන් නම්... අපිට එවත් හැංගුවෙ ඒකටනෙ..." 
 
"අනේ අප්පච්චි...එහෙම නෑ...අපි මේ හැමදේම කොහොමත් එලි කරනව කියල හිතාගෙනම තමා දරුවො දෙන්න ඩොක්ට ලඟට අරන් ගියේ... අපිට දරුවො මරාගන්න ඕන උනේ නෑ....!" 
 
දිලිනි එසේ පවසන විට කවීශද තම හඬ අවදි කලේය. 
 
"ඔ..ඔව් අප්පච්චි...ඩොක්ට පුතයි දුවයි චෙක් කලා.... ඒ දෙන්න වෙනම තියල ගොඩක් දේවල් ඇහුව...අපිට වෙනම කාමරේක ඉඳන් ඒ දේවල් එයාලට නොපෙනෙන්න අහන්න බලන්න හදල තියෙන්නෙ එතන...." 
 
" ඒක ඇත්තක් අප්පච්චි ... ඒ සාගරයි තිළිනියිම තමා ...." 
 
" ඒත් ඩොක්ට කියනවා දරුවො පුංචි නිසා ලොකු ප්‍රතිකර්ම වලට යන්න බෑ කියල.. ඩොක්ට කියන විදිහට ටිකෙන් ටික ලොකු වෙද්දි මේ දේවල් අමතක වෙන්න ඉඩ තියෙනව....ඉන්න පරිසරය ඒ මතක අවුස්සන දේවල් වලින් ටිකක් ඈත් වෙන්න කියල තමා කීවේ..." 
 
කවීශ බැරෑරුම් ලෙස කිවේය. 
 
" උන් දෙන්නට තියන අවලස්සනම මතකෙ උබල දෙන්න.. වෙන මොකුත් නෙවේ... උඹල දෙන්න දකින දකින වාරයක් ගානේ ඒ හය හතර නොතේරෙන පොඩි එවුන් ලෙඩ්ඩු වෙනව ..." 
 
ජයවර්ධන මහතා පැව්සුවේ දැඩි බවකින් මෙන්ම කලකිරීමෙනි.. හදිසියේ යමක් මතක් වූ ජයවර්ධන මහතා වහ වහා තවමත් ඉකිබිඳිමින් සිටින දේවිකා දෙස බැලුවාය.. 
 
" දේවිකා...!" 
 
" ම්ම්...හ් ඇයි...?" 
 
"තාම මෙ ප්‍රශ්නෙ ඉවර නෑනෙ... කොයි අර රිපෝට් එක දෙන්න.." 
 
දේවිකාට එය සිහිවූයේ එවිටයි. මේ කියන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට නොහැකි වූ කවීශත් දිලිනිත් දෑස් අයා පියා දෙස බලා උන්හ. 
 
"කවීශ.....මේ මොකද්ද...?" 
 
කවීශ ඉදිරියේ වෛද්‍ය වාර්තාව දමා ගසමින් ජයවර්ධන මහතා දැඩිව විමසීය..කවීශට එය එක්වර හඳුනා ගන්නට නොහැකි වූයෙන් අතට ගෙන පෙරලා බැලීය... 
 
ඔහුගේ සියොලඟ දහදියෙන් තෙත්ව ගියේය. හිස ඔසවා කිසිවකු දෙස බැලීමට වත් ශක්තියක් ඔහු වෙත නොවීය. දිලිනි දැල්වූ දෑසින් කවීශ දෙස බලා උන්නේ මේ කුමක්දැයි දැන ගැනීම පිණිසය.. 
 
" කවීශ ඔය මොකද්ද... මොන මෙඩිකල් රිපෝට් එකක්ද...කෝ දෙන්න..." 
 
දිලිනි එය උදුරා පෙරලා බලන්නට විය.. සැනෙකින් ඇගේ අත මුව දෙසට ගියේ අදහාගත නොහැකි යමක් දුටු ලෙසිනි...ඈ දෑස ලොකු කර එම බැල්මෙන්ම කවීශ දෙස බැලුවාය... 
 
"
කවීශ.....කවී..ශ...අපෙ දරුවෝ එතකොට.....එහෙම උනේ...කොහොමද....ඇයි...ඇයි මට කිවේ නැත්තේ...දෙයියනේ..."  දිලිනි ඇතුලාන්තයෙන් තව තවත් දැවී ගියාය. තම කුස පිළිසිඳගෙන ඇත්තේ සාගරගේම දරුවන් බව ඇයට වහා තේරුම් ගන්නට හැකි විය. නමුත්....නමුත් ... සාගරගම ලෙයින් ඔහුගේ ඊළඟ ආත්මය තම කුස තුළ පිළිසිඳගත හැකිද... මෙය අදහන්නේ කෙසේද... 
 
" මට ...මට සමාවෙන්න දිලිනි...මට ඒක කියන්න ශක්තියක් තිබ්බෙ නෑ...ඒක උනේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ... ටෙස්ට් වලින් හොයාගත්තෙ. ...මං...මං හිතුවා නොකිය හිටියත් දවසක මේක දැනගනියි කියල....ඒත්...හිතුවෙ නැති විදිහට ඔයා ප්‍රෙග්නන්ට් උනේ..... මට ...මට විශ්වාස කරන්න බැරි උනා...මම ආපහුත් ටෙස්ට් එකක් කරා...ඒත් ඒකම තමා කිවේ...මං දැනගත්තා... ඒ වෙනකොට ඔයා සාගර මැරි කරලත්...මාස දෙකයි...ඔයා සාගරව මැරි කරල සතියකින් වගේනෙ ඇක්සිඩන්ට් එක උනේ....ඒ සාගරගෙ දරුවො කියල මං දැනන් හිටිය දිලිනි... මට සමාවෙන්න....මං මගෙ දරුවො ...මගේ ලේ වලින් හැදුන දරුවො වගේ තාමත් ආදරෙයි ඒ දෙන්නට...." 
 
" ඒත් මට මුලදිම හිතාගන්න බැරි උනේ...සාගරගෙම දරුවෙක් වෙලා සාගර මැරිලත් ආය ආත්මෙකින් එන්න පුලුවන්ද කියල...එහෙම දේවල් මං...කවදාවත් අහල දැකල තිබුනෙ නෑ....! ඒත්...ඒත්....ඒක එහෙම වෙලා තියෙනව ...ඔයා දන්නෙ නැති උනාට මම ඩොක්ටර්ව මීට් වෙන්න තනියමත් ගියා. මං ඒ වෙලාවෙ ඩොක්ටර්ගෙන් ඔය ගැනත් ඇහුවා. ඩොකටත් ලොකූ විස්තරයක් කලා ඒ දේවල් ගැන. එහෙම වෙන්න පුළුවන් කියල තමා කීවෙ... "
 
 
මෙතෙක් වෙලාවක් මෙයට සවන් දී සිටි සිරියාට මෙය තේරුම් ගැනීමට අපහසුවක් නොවීය.. 
 
" සංසාරෙක හැටි . ...!" 
 
ඇගේ මුවින් නිතැතින්ම එය පිටවිය. 
 
දරුවන් නිදන කාමරය දෙසින් කතා හඬ ඇසුනෙන් සියලු දෙනාම නිශ්ශබ්ද වූහ. වෙහෙසකර ගමනකින් පසු සුව නින්දකට පත් සිඟිත්තන් දෙදෙනා අවදි වීමට කල් ගත වීමද වාසියක් වූයේ ඔවුන් සිටින තැන මේ දේවල් කතා කිරීමට අපහසු බැවිනි... 
 
සිරියා ඉක්මන් ගමනින් කාමරය වෙත ගියාය. දිලිනි උන් තැනින් නැඟිට්ම්දෝ නැත්දෝයි සිතමින් කල් මැරුවාය.. සිරියා කාමරයෙන් පිටතට පැමිනියේ දරුවන් දෙදෙනාගෙ දෑතින් අල්ලාගෙනයි.. තම මිත්තණිය දුටු දියණිය සිනහ නඟමින් ගොස් දේවිකාගෙ ඇකයට පැන්නාය.. දේවිකාට හැඬුම් පාලනය කරගැනීම ඉතා අපහසු විය.. ඈ සිඟිති දියණිය තම සිරුරට තද කරගෙන හිස සිම්බාය. පුතු තවමත් උන්නේ සිරියාගේ අතේ එල්ලී වට පිට බලමිනි.. කුඩාම කාලයේ සිටම පුතු තමාටත් බිරිඳටත් අමුතු බයකින් මෙන් පසු වූයේ මන්දැයි තේරුම් ගැනීමට ජයවර්ධන මහතාට අපහසු වූයේ නැත.. ඔහු සෙමින් නැඟිට විත් කුඩා පුතු වඩා ගත්තේය.. තම සීයාගේ මුහුණ දෙස බලා සිටි පුතු එක් වරම දෑසේ කඳුලු පුරවා ගත්තේය. 
 
" අනේ මගෙ චූටි පුතා මොකද අඬන්න හදන්නෙ.. සීයට බයද...? " ජයවර්ධන මහතා සෙනෙහසින් විමසීය.. 
 
"දිලීගෙ අප්පත්ති මාත් එක්ක තලහද...?" 
 
එක් වරම පුතු අහිංසක ලෙස ජයවර්ධන මහතාගේ මුහුණ දෙස බලා විමසීය. එවදන් ඇසුනු දිලිනිගේ හැඬුම යලිත් අලුත් විය. ජයවර්ධන මහතා මහත් අනුකම්පාවෙන් දරුවා දෙස බලා උන්නේය.. 
 
" මගෙ පුතා එක්ක ආච්චම්ම වත් සීය වත් කවුරුවත් තරහ නෑ.. පුතාට අපි හැමෝම ආදරෙයි..තේරුනාද.." 
 
ජයවර්ධන මහතා දරුවාගේ හිස සිඹිමින් පැවසීය.. අතීතය කුමක් වුවත් මේ දරුවන් දෙදෙනාගේ අනාගතය සුරක්ෂිත කල යුතු බැව් ජයවර්ධන මහතාගේ සිතට තදබල ලෙස දැනුනි.
මේ අතර සිඟිති දියනිය තම මිත්තනිය සමඟ සුරතල් වෙමින් සිටියාය.. 
 
අතීතය වමාරා අවසන් වී ඇතත් ඒ මඟින් අනාගතයට සිදුවන හානිය වලකා ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කල යුතු බව ජයවර්ධන මහතාට වැටහෙමින් පැවතිනි.. මේ ඒ පිලිබඳව කතා කල යුතු වේලාවද නොවේ.. 
 
"සිරියා මේ දරුවන්ට කෑම හදල දෙන්න.. මහන්සිත් ඇති.. අපි දැන් යනව. දේවිකා අපි යමු.." 
 
ජයවර්ධන මහතා හදිසියේම කියා සිටියේ තවදුරටත් ඒ මොහොතේ මේ ගැටලුවට පිළියම් සෙවීම සිදුකල නොහැකි බැවිනි.. සිරියාට වුව කීමට යමක් නොවීය. කවිශ ගෙන් සහ දිලිනිගෙන් සමු නොගෙනම ජයවර්ධන දෙපල නිවසින් පිටව ගියහ..එහෙත් වාහනයට නඟින අතරතුර කවීශත් දිලිනිත් ඔවුන් දෙදෙන පසුපසම සමාව අයදින ස්වරූපයෙන් පැමින සිටිනු දුටු ජයවර්ධන මහතා රිය පන ගන්වා කතාව ඇරබීය. 
 
" පොඩ් උන් දෙන්න සනීප කරගන්න මං ඕන දෙයක් කරනවා. හැබැයි උඹල දෙන්න නිසා නෙවෙයි. මගෙ පොඩි කෙල්ල නිසා.. අපි අකමැත්තෙන් හිටියත් අර දරුවත් කාගෙ හරි අම්මෙක් තාත්තෙක්ගෙ දරුවෙක්.. උන් දෙන්න වෙනුවෙන් මං ඕන දෙයක් කරනව..සාගරගෙ ගෙදරට මේ දරුව නැති වෙලා තියන බව දැනුම් දෙන්න ඕන. ඒක තමුන්ල දෙන්න මොන විදිහෙන් හරි කරන්න ඕන.. මට කමක් නෑ ඒ මිනිස්සුන්ට තමුන් අක්කද නංගිද කොහොම පෙනී හිටියත්. මට ඕන ඒ දෙමව්පියන්ට ඒ දරුවට වෙච්ච දේ දන්වන්න .. තමුන්ලා ඒ දේ කරන්න ඕන...හැකි ඉක්මනින්.." 
 
කවීශට හෝ දිලිනිට යමක් කීමට වත් ඉඩ නොතබා ජයවර්ධන මහතා රිය ඉදිරියට ධාවනය කලේය.. 
 
"අනේ කවීශ ...අපි මොකද කරන්නෙ.. අපි කොහොමද මේ දේවල් සාගරගෙ ගෙදරට කියන්නෙ දෙයියනේ... මෙච්චර කල් නොකිය ඉඳල..." 
 
කවීශට ඇති වූයේ නොරිස්සුමකි.. 
 
"මෙච්චර කල් නොකිය හිටපු හැමදේම එලි උනෙ දැන් ඔය...ඕකත් කියල දාන එකයි ඇත්තෙ..තවත් වෙන්ඩ දෙයක් තියනවද.. ඒ මිනිස්සුත් අපට සාප කරයි..එච්චර තමා.." 
 
අනේ කවීශ....මේ හැමදේම එයාලට කියන්න ඕන නෑ. .. අනෙ අපෙ දරුව සාගර කියල දැනගත්තොත්.....! එයාල දරුව පස්සෙ වැටෙයි දෙයියනේ. ." 
 
දිලිනි එකරුණ මතක් කරන තුරු කවීශට ඒ පිළිබඳ සිහි වූයේ නැත. නැති වූ පුතුගේ සෙනෙහස නැවත ඉපදුනු පුතුගෙන් සෙවීමට සාගරගේ දෙමව්පියන් උත්සහ කලහොත් එය මහා ගැටළුවක් වනු ඇත.. දිලිනිගේ පියා නොකියා කියන්නට ඇත්තේද මෙය වන්නට ඇතැයි කවීශ සිතුවේය. ඔහු පැවසුවේ අක්කා ලෙස හෝ නංගි ලෙස පෙනි සිටියත් තමාට කම් නැති බවයි.. සත්‍ය ඉදිරිපත් කලහොත් ඇතිවන ගැටළුව ඔහුටද දැනෙන්නට ඇතැයි කවීශ  සිතුවේය. කෙසේ වුවත් දැන් සියල්ල හෙලි වී හමාරය. සාගරගේ දෙමව්පියන් හමුව සුදුසු ආකාරයකින් හැකි ඉක්මනින් ඔවුන්ගේ දරුවාට සිදුවූ දෙය පවසා සිත නිදහස් කර ගත යුතු බව කවීශ ඉටා ගත්තේය.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න