23............................................................................ 
 
දිලිනි සාගරගේ නිවසට කිසි දින ගොස් තිබුනේ නැත.  සාගර එක් දිනක නිවසට යන මඟ සලකුනු කීවා පමනි. සාගරගේ නිවසේ කිසිවෙක්ද සාගරට පෙම්වතියක් සිටින බව විනා කාගෙ කවුරුද කොහි කෙනෙක්දැයි දැන උන්නේ නැත. සාගර තම පෙම්වතිය සමඟ පැන ගිය දා නිවසට දුන් දුරකතන ඇමතුම හැරෙන්නට මෙතරම් කාලයක් ගත වී තිබියදීත් කිසිදු ආරන්චියක් නොලැබීම එම නිවසේ සියලු දෙනාගේ කලකිරීමට හේතු වී තිබිනි.. කලින් කලට ඔවුන් නොයෙකුත් උපකල්පන සාදා හිත සනසාගන්නට උත්සහ කලහ. රැකියා ස්ථානයට හෝ හිත මිතුරෙක් වත් මේ පිලිබඳව දැනුවත් කර නොතිබීම නිසා නිවැරදි තොරතුරක් සොයා ගැනීම අතිශය දුශ්කර කටයුත්තක් විය. 
 
සාගර පවසා තිබූ මං සලකුනු ඔස්සේ ගොස් නිවස සොයා ගැනීමට කවීශටත් දිලිනිටත් අපහසු වූයේ නැත... කවීශත් දිලිනිත් නිවැසියන්ට තමන් හඳුන්වා දුන්නේ දිලිනිගේත් සාගරගේත් නැගනිය සහ මස්සිනා ලෙසය.. නමුත් දිලිනි ඇතුලතින් දැවෙමින් උන්නාය .තමාගේ එක් තීරණයක් අහිංසකයන් කී දෙනෙකුගේ ජීවිත විනාස කර ඇත්දැයි සිතීම ඇගේ මනසට මහත් වදයක් විය..විවාහයෙන් සති දෙකකට පමන පසු දිලිනිත් සාගරත් ජීවිතයෙන් සමුගෙන ඇති බවත් තමන් දෙදෙනා ඒ වන විටත් රටින් පිට සිටි බැවින් කිසිවක් කල නොහැකි වූ බවත් කවීශ පවසා සිටියේය.. තම දෙමව්පියන්ද තරහින් සිටි බැවින් මෘත දේහ භාර ගැනීමට කිසිවකුත් නොමැතිව රෝහල මඟින් ඒ කටයුතු සිදු කර ඇති බවත් කවීශ තව දුරටත් පවසා සිටියේ තමාගේ මිතුරෙකුගෙන් තොරතුරු සොයා ගත් බව පවසමිනි..මේ මුළු කාලය තුලම දිලිනි සිටියේ බිමට නෙත් යොමා හැඬූ කඳුලිනි.
සාගරගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන්ගෙ හැඬුම් වැලපුම් ඇගේ සිතට පිහියකින් අනින්නාක් මෙන් දැනෙන්නට විය. මේ සියලුම දුක් අඳෝනා වලට එකම හේතුව තමාගේ ආත්මාර්තකාමී ක්‍රියාවන් බව ඇගේ යටි සිත නිතර නිතර ඈට සිහිපත් කරන්නට විය.. 
 
" අනේ මගෙ දරුව...අනේ මගෙ දරුව විහින් විනාස උනා දෙයියනේ. ... මලකඳ වත් දැක්කේ නෑ මගෙ රත්තරං කොල්ලගේ....දැන්ද මේව කියන්නෙ අපට අයියෝ..." 
 
මවකගේ සිතට නැඟෙන වේදනාව දරු දුක දිලිනි මේ වන විට අත්දැකීමෙන්ම දැන උන්නාය.. සාගරගේ මව සන්සුන් කිරීමට කිව හැකි සෑම දෙයක්ම කියූ ඔවුන් දෙදෙනා නිවැසියන්ගෙන් සමුගෙන ආපසු පිටත් වූයේ හිතේ තිබූ බර නිදහස් වූවාට වඩා තවත් බරක් එකතු වූවාක් මෙන් තෝන්තුවාවෙනි. 
 
ජයවර්ධන මහතාගේ එකම අරමුණ වූයේ දරුවන් දෙදෙනා සුවපත් කර ගැනීමයි.. ඔහු ඒ වෙනුවෙන් කල හැකි සෑම දෙයක් පිළිබඳවම සොයා බැලුවේය. කවීශගේ දෙමව්පියන්ට හෝ මේ කිසිවක් නොදන්වා සාමාන්‍ය පරිදි සිටීමට ඔහු ප්‍රවේසම් විය.. 
 
" කවීශ ..,දරුවො දෙන්නත් එක්ක ටික කාලෙකට වත් පිටරටකට යන එක හොඳයි මම කියන්නෙ...ඩොක්ට උනත් කීවනෙ පරිසරය වෙනස් කරන එකත් මනසට හොඳයි කියල.." 
 
" ඔ..ඔව් අප්පච්චි ඒත් මේ හදිසියේ...බිස්නස් වැඩ.." 
 
" ඒව ගැන මම බලාගන්නම් මනුස්සයෝ ඉස්සෙල්ල දරුවො ගැන හිතල වැඩ කරන්න ඕන.." 
 
" අප්පච්චි දිලිනි එක්ක තරහින්ද...!" 
 
එය කතාවට අදාල නොවූ බැවින් කවීශ එය විමසුවේ ජයවර්ධන මහතා දෙස යටැසින් බලමිනි. 
 
" දිලිනි ගැන අපි කතා නොකර ඉමු.. කවීශ ඕන හැටියකට එයා ලඟ තියාගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ...ඒත් මගෙ දුවෙක් කියල පිළිගන්නෙ නෑ මම තවත් ඕකිව...!" 
 
කවීශ නිහඬවම උන්නේය. ඔවුන් දෙදෙනා නොදැන උන්නත් දිලිනි උන්නේ කාමරයේ සිට සියල්ල සවන් දෙමිනි. ඇයට ඇති වූයේ මහත් ආත්මානුකම්පාවකි. තමාට කියා කිසිවකුත් නොමැති තරම්ය. සෑමදෙනාම තමා දෙස බලන්නේ මහා සැතිරියක දෙස බලන අයුරිනි. මව ලඟට යන විට නැඟනිය ගැන පවසමින් තමාට සාප කරනු ඇසේ... සිරියාගේ දෑසේ තිබූ සෙනෙහෙබර ගතිය පහව ගොසිනි.. සාගරගේ දෙමව්පියන්ද තමාට තවමත් සාප කරනු ඇත. කවීශගේ සිතෙහිද යලි කිසිදා තමා ගැන පැහැදීමක් ඇති නොවනු ඇත..සියලු දෙනා එකතුව දරුවනුත් තමාගෙන් ඈත් කල හොත් ...!  ඇයට ඉන් එහා සිතීමට පවා අපහසුය.
 
විදේශගත වන ලෙස පියා කවීශට කල ඉල්ලීමද ඇයට ඇසුනි. එහෙත් ඒ කිසි විටකදී තමා ගැන සඳහනක් වූයේ නැත. කවීශට තමා අනවශ්‍ය යැයි සිතුනොත් තමා තනි කර දරුවන් රැගෙන විදේශ ගත වේද...! ඔහු එවන් තීරණයක් ගත හොත් ඊට කිසිවකුත් විරුද්ධ නොවනු ඇති. 
 
ජයවර්ධන දෙපල පිටවී ගිය පසුත් දිලිනිගේ කල්පනාවෙහි වෙනසක් නොවීය. තනිවීමට බයෙන් සියල්ල තමාට ඕනෑ ලෙස හැසිරවූ ඈ දැන් සැබවින් තනි වීමට පටන් ගෙන ඇත.විදේශ ගමන පිළිබඳව වදනක් හෝ කවීශගේ මුවින් දිලිනි සමඟ කතා බහට ලක් වූයේ නැත. .සිතේ ඇති බය නිසාම සිඟිති දරුවන් දෙදෙනාද තමන් මඟහරිනවාක් මෙන් දිලිනිට දැනෙයි. 
 
කන්තෝරු කාමරයට ඇතුලු වූ කවීශ තවමත් ඉන් එළියට පැමිනියේ නැත. රාත්‍රී එකොලහට පමණ දිලිනි කන්තෝරු කාමරයේ දොර අසලට ගොස් යන්තමින් ඇරී තිබූ දොරින් ඇසක් යොමා ඇතුලත බැලුවාය. පුටුවක වාඩි වී උන් කවීශ උන්නේ දැඩි කල්පනාවකය..ඒ තමා හැර විදේශගත වීම පිළිබඳව වත්ද...! දිලිනිගේ සිත දැවී ගියේය.... ඈ සුසුමක් හෙලා ආපසු භැරුනේ සිහිනයෙන් මෙනි.. ඈ සෙමෙන් පියවර තබමින් ගොස් සිරියාගෙ කාමරයට එබුනාය. තමාගේ මේ මානසික වියවුල නිසා දරුවන්ගේ වැඩ කටයුතු මඟහැරෙන බව තේරුම් ගැනීමට ඇයට මේ මොහොතේ ශක්තියක් තිබුනේ නැත. අම්මාගේ අවධානය නොලැබුන කල කුඩා දරුවන් දෙදෙනා සිරියාගේ යහනට වී සුව නින්දක වැටී සිටියහ. එහෙත් දිලිනි මෙය තේරුම් ගත්තේ වෙනත් ලෙසකිනි. තම මව්පියන් කවීශ මෙන්ම සිරියාද එකතු වී දරුවන් තමාගෙන් ඈත් කරන්නට සූදානම් වන බව ඇගේ සිතට හැඟුනි. තමා කිසිවක් කර කියාගත නොහැකි තරමට අසරණ වන බව සිතමින්ම කාමරයට වැදුනු ඈ දොර වසා අගුලු දා ගත්තාය.. 
 
මැදියම් රැය වන විට හදිසියේ අවදිවූ සිරියා දුටුවේ නිවසේ විදුලි පහන් තවමත් දල්වා ඇති අන්දමයි. ඈ සෙමෙන් සෙමෙන් පියවර තබමින් සාලයට පැමිණියාය. කන්තෝරු කාමරයේ විදුලි පහන නිවා දමා විත් කවිශ සාලයේ වූ සෙටියේ නිදා උන්නේය.  සුසුමක් හෙලූ සිරියා සාලයේ විදුලි පහන් නිවා දැම්මාය. වෙනදා දරුවනුත් කවීශත් දිලිනිත් එක්ව නිදන කාමරයේද විදුලි පහන දැල්වෙන බව දොර යටින් වැටෙන එලියෙන් හඳුනා ගැනීමට සිරියාට හැකිවිය. එහෙත් ඒ අසලට ගිය විට දොර අගුලු ලා ඇති බව ඇයට වැටහිනි. කවීශ සෙටියේ නිදන්නේද දොර අගුල ලා ඇති බැවින් යැයි සිතූ සිරියා තම කාමරයට යාමට හැරුනාය.. 
 
"අනේ දෙයියනේ ...ලස්සන පවුලකට වෙච්ච දෙයක්..!" 
 
සිරියා සිතුවේ එපමනකි.
තම කාමරයට ගොස්  ඇඳ මත සුවෙන් නිදන සිඟිත්තන් දෙදෙනාගෙ හිස ආදරයෙන් අතගෑ සිරියා කාමරයේ විදුලි පහනද නිවා දරුවන් තුරුලු කරගෙන නින්දට වැටුනාය.
 
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න