නමක් සහ ගමක් (EP 1)
- Details
- අශෝක ලියනගේ
- namaksahagamak
- Hits: 591
ඊයෙ රෑ ඇඟපත සෝදාගෙන ඇඳට වැටුනේ නිදහසේ නිදාගන්න. හෙට ආයෙ වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ඇඟ රිදෙන්න ගන්නෙ ඒ සනීපෙ මතක් වෙලා.. කොච්චර දුක් වින්ඳත් මාසෙ අන්තිමට අතට ගන්න රුපියල් තිස්පන්දාහ කඩේ කෑම ණයයි බෝඩිමටයි ගෙව්වම අම්මලට යවන්න ඉතුරු වෙන්නෙ රුපියල් දහ දාහකටත් අඩු ගාණක්. ඔව්ව මතක් කර කර ඉබේම නින්ද ගියෙ කීයටද මන්දා.. එක පාරටම උඩ ගිහින් ඇහැරුනේ ෆෝන් එකේ මල ඇඬියාවට....නින්ඳෙන්ම වගෙ මම හලෝ කිව්වා.එහා පැත්තෙන්,
මල්ලී ඔයා මාව දැකල නෑ ඒත් මට මේ වෙලාවෙ උඹ ලොකු උදව්වක් කරන්න ඕනෙ...
මාත් වැඩිය හිතුවෙ නැතුවම, කියන්න අයියේ කිව්වා.
මල්ලි මං හේමන්ත. හේමන්ත රංගනාත්.. හැබැයි මාව ගොඩක් අය දන්නෙ "තාර වත්තෙ සුද්දා "කිව්වම.
ඒ නම ඇහුන හැටියෙ මට අමුත්තක් දැනුනත් වෙනසක් නොපෙන්නා හරි ඉතින් මගෙන් මොනවද අයියට කරගන්න තියෙන්නෙ.. කොහොමද මාව දන්නෙ කියල ඇහුවෙ නිදිමතේමයි.
මේකයි මල්ලි.. මං ඉන්නෙ වැලිකඩ ආණ්ඩුවෙ බෝඩිමේ. අපේ කොල්ලො සෙට් එකම මේ දවස්වල ෆුල් සයිලන්ට් එකේ. ඒට මේට විසිරිලා ගිහින්. ඒත් ඇලර්ට් එකේ ඉන්නෙ. ඔයා අපේ සම්තිං ටික හැන්ඩ්ල් කරල දෙන්නෝනෙ මේ ටිකේ.. ඔයාව තෝරගෙන තියෙනව වැඩේට. මොකද කියන්නෙ.
අයියෙ මං කල්පනා කරල හෙට කියන්නද...
මල්ලි කල්පනා කරපං. හැබැයි හා මිසක් බෑ කියල වැඩක් නෑ. මොකද දැන් උඹ අපේ නෙට් එකට සෙට් වෙලා ඉවරයි
ඊට පස්සේ එලි වෙනකං නින්ද ගියේම නෑ . එක පාරටම කඩා වැටුනු මරාලය මොකක්ද කියල හිතාගන්න බැරුව කල්පනා කලා දහ අතේම.
පහුවදා උදේ ඔෆිස් එකට ගියත් වෙනදා වගේ ෆිට් එකේ වැඩක් කරන්න බෑ.ඔලුව තෝන්තුවෙන් වගේ. ඊ ලග කෝල් එක කවදා කීයට එයිද. ඒකෙන මොන වගෙ උපදෙසක් ලැබෙයිද වගේ දාහක් ප්‍රශ්න
ඔලුවට පොල්ලකින් ගැහුව වගෙ සීන් එකක් තියෙන්නෙ මට. අරක්කු සිගරට් වත් පාවිච්චිය නැති මාව කොහොමද මුන්ට සෙට් වෙන්නෙ කිය කිය මං දහ අතේ කල්පනා කලාට ඔලුවට එන්නෙම නෑ. ඌ මට කතා කලේ මගෙ සියළු විස්තර අතේ තියන්. ගම, පවුලෙ විස්තර හැමදේම.රස්සාවෙන් අස් වෙලා ගමේ ගියොත් පවුලම අනතුරේ දෑමක් වෙන්නෙ. පොලීසියට සී අයි ඩීයට කිව්වත් උන්ට තොරතුරු එන ක්‍රම තියෙනවා. තවම මම කරකවල අතෑරිය වගෙ.
කියන්න බැරි වුනානෙ.. මම ශාමින්ද... ශාමින්ද හේරත්. ගම නුවර පේරාදෙණියෙ. ගලහෙන් බැහැල දොලුව පාරෙ ගියාම තියෙන කලුගල.. හන්තාන හරි ලස්සනට පේන ටිකක් දුෂ්කර ගමක්.
කැම්පස් අවුට් වෙලා හොඳ ජොබක් සෙට් වෙනකං කියල පත්තරේ බලල දාපු ඇප්ලිකේෂන් එකකට අලීමා බ්‍රදර්ස් කම්පැණි එකට ඉන්ටවිව් කරල ගත්තෙ එකවුන්ට් සෙක්ෂන් එකට. ඒකෙ ඔරුගොඩවත්තෙ ස්ටෝර්ස් එකට මාව වැටුනෙ. කැම්පස් එකේ යාලුවෙක් ඉන්නව දෙමටගොඩ. ඌට කෝල් කරල විස්තර කිව්වෙම නවතින්න තැනක් හොයාගන්නමයි. පහුවදාම ඌ සෙට් කරල දුන්න තැනක් විද්‍යාලංකාර පන්සල ලඟම.
වයසක අන්කල් කෙනෙකුගෙ ගෙදරක මට කාමරයක් හොයල තිබුනෙ යාලුවා. ඌ හොඳ එකා. මං වෙනුවෙන් අංකල්ට ටිකක් බැගෑපත් වෙලත් තිබුණා. පලාතෙම තරුණ පරම්පරාව කුඩු ගංජ වලට නන්නත්තාර වෙලා නිසා අංකල් කැමති වෙලා නෑ. පස්සේ මගෙ ගම සහ අධ්‍යාපන පසුබිම කියල යන්තම් කැමති කරගෙන වැඩේට. අවුරු පහ හයක් බෝඩිම් ජීවිතය හුරු මට මේක තවත් එක නවාතැනක් විතරයි. අවශ්‍ය අඩුම කුඩුම ටික ට්‍රැවලින් බෑග් එකකට දාගෙන අම්මට වැඳල පිටත් වුනේ එදා පාන්දරමයි. මම පිට කොටුවෙන් බහිද්දි සංඛ ඒ කියන්නෙ මගෙ යාලුව ඇවිත් හිටිය බයික් එකෙන් ගුණසිංහ පුර බස්ටෑන්ඩ් එකට. නමය වෙද්දි කම්පැණි එකේ ඉන්ටවීව් එකට මූණ දීල ඇපොයින්මන්ට් ලියුමත් අතට අරන් පහුවදා ඉඳල එන්න අවසර අරන් කෙලින්ම ආවෙ යාලුවත් එක්ක බෝඩිමටමයි.
එදා ඉඳන් හැමදාම උදේ හවා දෙමටගොඩ ඉඳන් ඔරුගොඩ වත්තට කරන මේ ගමන් කෙරිල්ල ජීවිතයට පුදුම අත්දැකීම් ගොඩක් ගෙනාව.මුල් දවස් වල බෝඩිම ලග කඩේට ගියත් යටින් බලපු සමහරු ටික දවසකින් මාව ගණන් ගත්තෙවත් නෑ. උන් හොයාගන්න ඇති මම කවුද මොකද කරන්නෙ කියල. පොලිස් ඔත්තු කාරයෙක් හරි සී අයි ඩී කාරයෙක් හරි කියලයි මේ පැත්තෙ හැම කෙනාම අලුත් කෙනෙක් ගැන හිතන්නෙම.
.........
රටක් හොල්ලපු නමක් හදාගත්ත චරිතයක් වටා ගොණු වුනු සිද්ධි මාලාවක් සමග කොටස් වශයෙන් ලියන්න හිතුන කතාවෙ මුල කොටස මෙහෙම පටන් ගත්තා. දිගටම ලියන්න නම් ඔබේ අදහස් වටිනව මට......
අශෝක ලියනගේ *****