නමක් සහ ගමක් (EP 2)
- Details
- අශෝක ලියනගේ
- namaksahagamak
- Hits: 508
මුල්ම කෝල් එක ලැබිල දැන් දවස් දෙකක් වෙනව. අර තිබුන බය ටික ටික හිතෙන් ඈත් වෙලා දැන් පොඩි සැකයක් එනව මගෙ ඉන්න නසරාණි ෆ්රෙන්තෙක්ගෙ බයිටක්ද කියලත්.. මොකද අපි උන්ට දීපු බයිට් එක්ක රිටන් එක මොන මොහොතෙ වුනත් එන්න ඉඩ තියෙනවා. මොනව අමතක වුනත් උන්ට ඒව අමතක නෑ.. හොඳම අවස්ථාව එනකම් බලාගෙන ඉන්නෙ දෙනෝදාහක් මැද්දෙ රෙදි ගැලවෙන්නම දෙන්න. ඒතරම් සද්ගුණවත් පාප මිත්රයො ටිකක් මට ඉන්නෙ.. එහෙම හිතලවත් ටිකක් සැනසීමෙන් වැඩ ටික කරගෙන ඉන්න හිත හදාගත්ත නමුත් දෙගිඩියාව එහෙමමයි. අපේ කම්පණි එකෙන් කරන්නෙ ගාමන්ට් ෆැක්ටරි වලට මැෂින් සහ උපාංග සපයපු එක. ඉඳිකට්ටෙ බොත්තමේ ඉඳල ස්ප්රෙඩින් මැෂින්(රෙදි රෝල් එලන යන්ත්රය) එක දක්වාම ආනයනය කරල දෙන්න ඕඩර් බාරගන්නවා අපි. චීන ජපන් ජර්මන් මැෂින් වර්ග නෝමල්, ෆයිව් ත්රෙඩ් සහ ත්රී ත්රෙඩ් ඕවලොක්,ෆ්ලැට් ලොක්, ඩබල් නීඩ්ල්, ඩයි කටින්, බටන් ඇටෑච් මේ හැම මැෂින් වර්ගයක්ම හොඳම බ්රෑන්ඩ් වලින් ගෙන්නනවා.. අලුත් වැඩියාවට අවශ්ය අමතර කොටස් සහ සර්විස් එකත් මෙහෙන්ම කරනවා.. එහෙම බැලුවම ගාමන්ට් ෆීල්ඩ් එකේ බොහෝ සබඳතා අපි එක්ක තියෙනව සහ අපේ සේවය ඉතා අත්යවශ්ය බවද ඔවුන්ගේ නොකඩවා ලැබෙන ඕඩර් වලින් ඔප්පු වෙනවා. කුරුඳු වත්ත කොල්ලු පිටිය වගේ ප්රදේශ කීපයක් ඇරුනම කොළඹ නාගරික ජන ජීවිතය පුරාම තියෙන්නෙ ජීවත් වීමේ පුදුම අරගලයක්. වතුර බින්ඳුවේ ඉඳල හැමදේටම මිලක් නියම වුනු තැනක, හැමදේම විකිණෙන තැනක මනුස්සකම් රැකගන්නත් මහා අරගලයක් කරන්න වෙලා ඔවුන්ට.. .තොට ලඟ පාලමෙන් එගොඩ ඉඳල මාබෝල මහබාගෙට යනකම්ම තියෙන්නෙ මාර මිශ්ර සංස්කෘතියක්. සිංහළ බෞද්ධ සිංහළ කතෝලික, දෙමළ හින්දු සහ දෙමළ කතෝලික, ඒ අතර මුස්ලිම් ජා මැලේ ඒකනං නියම සහජීවන ඒරියා එකක්.ඕන තරම් වලි තිබුනා. ඒත් කවදාවත් ජාති බේද වලි දැකල නෑ... ඔරුගොඩවත්ත යාඩ් එකට වැඩි හරියක් වැඩට ආවෙ මෙන්න මේ පැති වල ජීවත් වෙන තැලෙන මිරිකෙන පංතියෙ කොල්ලො. උන්ගෙ මැකෑනික් ෆෝමන් එක්කනං සෙට් එකම අවුල්.. මෑන්ගෙ ලොකු ලයින් නිසාම කොල්ලන්ට දිරවන්නෑ ඌව. හැබැයි මිනිහ වැඩ්ඩා. ඕනම මැෂින් එකක් කොහොම හරි ගොඩ දානව. කෑලි නැත්තං ලියවලා හරි හදවන්න දක්ෂයා. ඔය අලුත් ගැදරින් ෆෝල්ඩර් එහෙම තනියම හිතල නිර්මාණය කරපුවත් පස්සෙ කම්පැණි එකෙන් මිනිහට ගෙවල ගාමන්ට් වලට හඳුන්වල දීල තියෙනව. ඒක නිසාම මිනිහ ටිකක් ඔලුවෙන් ඉන්නෙ. ඒත් ඉතින් ඒව මේ කොල්ලන්ට පෙන්නල වැඩක් තියේද කියල ස්ටෝරු ඔෆිසියේ ඉඳන් මමත් කල්පනා කරපු වෙලාවල් තිබුනා.. ඔරුගොඩවත්ත යාඩ් එකේ තියෙන්නෙ රෙපෙයාර් වලට එවන මැෂින්. එතන වර්ක්ෂොප් එක සහ ස්ටෝර්ස් එක වෙනුවෙන් අක්කරයක විතර ඉඩමක ලොකු බිල්ඩින් එකක් සහ කාර් පාර්ක් එකක් තමයි තියෙන්නෙ. වර්ක් ෂොප් එකේ වැඩට කොල්ලො විසිපහක් විතර එනවා. උන්ගෙ ෆෝමන් පෑලියගොඩ එකෙක්. ඒත් දෙගොල්ලොම තම තමන්ගෙ තරාතිරම් තේරුම්අරන් වැඩ කරගෙන හිටියා. මොකද රස්සාව තමයි කාටත් වඩාත්ම වැදගත් වුනේ. ඒකෙන් ඒ හැමෝගෙම දරු පවුල් නඩත්තු වුනා. ෆෝමන් කාරය අමුතු දර්ශන දැම්මට ආයතන ප්රධානීන් කවදාවත් ඕනවට වඩා මොන සෙක්ෂන් එකටවත් අත දැම්මෙ නෑ.. ඒ නිසා නිදහසේ තමන්ගෙ වැඩේ කලා අපි ඔක්කොම. එදත් සාමාන්ය විදියට දවස ගෙවිල ගියා. හවස එන ගමන් දෙමටගොඩ හංදියෙන් බැහැල ඉඳිආප්ප මුලක් ගත්තා බට්ට කඩෙන්. ඒකට බට්ට කඩේ කියන්නෙ ඩිමෝ බට්ටා ලොරියක කරන කෑම වෙළඳාමක් නිසා. කාමරේට එද්දි හතට වගෙ ඇති. දොර අරින්න හදද්දිම පුංචි කොලු පැටියෙක් ඇවිත් මාමට මේක දෙන්න කිව්ව කියල පොඩි පාර්සලයක් අතට දීල සුරුස් ගාල මාරු වුනා. වෙන මොනවත් විස්තරයක් අහගන්නකම් වත් හිටියෙ නෑ කොල්ලා. එහෙමම ඉඳන් වට පිට බල බලම බෑග් එක ඇරල බැලුවෙ තිබුන කුතුහලය නිසාම. පිටු අසූවෙ තරම පොත් දෙකක් සහ හැඳුනුම්පතක් තිබුනා..ඒවත් අරන් ඉක්මනට කාමරේට ගිහින් දොර වහගත්තෙ මරන්න පන්නද්දි බේරෙන්න හැංගෙන තරම් බයකින් පිට දිගේ දාඩිය මතු වෙද්දි. .ෆෝන් එකට එයි කියල බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක වෙනුවට පාර්සලයක් අතට ඇවිත්. ඉඳිආප්ප මුල මේසෙන් තියල ඇඳේ ඉඳගත්තෙ පොතක් දිගෑරගෙනමයි. පිටුවෙන් පිටුව නම් එක්ක ෆෝන් නම්බර් තියෙන ලෙජර් පොතක් ඒක.අනෙකත් ඒ ජාතියෙම පරණ පොතක්. ඒකෙ සටහන් කරපු අවසන් දිනය 2015/02/21...දැනට මාස තුනකට කලින්.. තවම හිතාගන්න බෑ මොකක්ද මං ලවා මුන්ට කරව ගන්න තියෙන වැඩේ ගැන. විනාඩි දහයක් පහළොවක්... නෑ මං හිතන්නෙ පැයක් විතර මම මොනවත්ම හිතාගන්න බැරුව ඇඳ උඩ එහෙමම ඉන්න ඇති.මට මතක් වුනා ඉස්සරම එක දවසක් මට මේ වගේම හිත ලොක් වුනා එක දවසක්. මට අවුරුදු එකොළහයි මගේම බාප්ප තාත්තව පිහියෙන් ඇනල මරල දාද්දි. අපේ සීය මහ ඉඩමෙ පාරට මායිමෙන් ඉඩම් බාගයක් තාත්තට ලියල දුන්න කියල ඇති කරගත්ත තරහකට ඒ පළි අරන් තිබුනෙ. බාප්ප එතන කඩයක් බඳින්නලු හිටියෙ. තාත්තා සීයව රවටටගෙන ලියවගත්ත කියල තමයි ඔය රණ්ඩු කරල තිබුනෙ. දවසක් මම ඉස්කෝලෙ ඉන්නකොට චූටිකලු අත්තම්මා අඬ අඬා ඇවිත් පංති බාර මිස්ට කියල මාව ගෙදර එක්කගෙන ආව. එනකොට අහළපහළ ඔක්කොම අපේ මිදුලෙ..හීංදෙල් ගහ ගාව සුදු සරමෙන් ඔලුවෙ ඉඳන් වහපු කෙනෙක් වැලි පොළොවෙම නිදිකරවල තිබුනා. තාත්තගෙ නිල් කොටු සරම මං අඳුනගත්තා.. සුදු සරමෙ උඩින් ලොකු රතුපාට පැල්ලමක් තිබුනා.. මං දැනගත්තා ඒ අපේ තාත්ත කියල. මං තාම කල්පනා කරන්නෙ ඇයි මට එවෙලෙ ඇඬුනෙ නැත්තෙ කියල.අම්මව මහ කාමරේ ඇඳේ නිදිකරවල පුංචම්මයි එහෙ අක්කල දෙන්නයි ලඟින් හිටියා. මං කාමරේට ගිය ගමන් පුංචම්මා හිර කරගෙන හිටපු මහා දුකක් පිපිරුනා වගේ අඬාගෙන බදාගත්තා මාව. අම්මත් ඒ කෑගැහිල්ලට ඇහැරිලා මාව බදාගෙන විලාප දුන්නා.ඒ පසු පසින් තව ඉකිගැසුම් ගණනාවක් ඇහුනා. ඒත් මට ඇඬුනෙ නෑ... මට තාත්ත සදහටම නැති වුනා කියන හැඟීම හොඳටම දැනුනා. මට අඬන්න ඕනකමත් තිබුනා. ඒත් එක කඳුලක් ඉනුවෙ නෑ........