ඉඳිආප්ප මුල දිගෑරගෙන පිඟානකට දාගෙන හොඳි පැකට් එක කඩාගත්ත ඒක උඩට. කවලම් හොද්දක් ඒක. මිරිස් මාලු හොඳි සහ පරිප්පු. කන ගමනුත් කල්පනා කලේ ජීවිතේ ඉදිරිය මොන වගේ වෙයිද කියල. පිඟානෙ අඩිය විතරක් අත ගෑවෙනකොට තමයි මතක්වුනේ ඉඳිආප්ප ඉවරයි කියල. එලියෙ ටැප් එකට යන්නත් අදිමදි තරමට හිත ගැස්සිලා.. තාත්තගෙ මරණෙන් පස්සෙ මම ගොඩක් පසුගාමී චරිතයක් වුනා. පිරිසක් මැද මට මහා බයක් දැනුනා. ඉස්කෝලෙදි වුනත් කවදාවත් කිසිම දෙයකට ඉස්සරහට ගිහින් නෑ. බාප්පලගෙ පුත්තු දෙන්නම ගියේ මං ගිය ඉස්කෝලෙමයි. සුපුන් අයියා අටේ. තාරක මල්ලි හතරෙ. සමහර දවසට මං ඉස්කෝලෙ යද්දි සුපුන් අයිය කතාවට ආවත් මං මගෑරල ගියේ ඇත්තටම බයට. ඒ බය කොහොම හිතට ඇතුළු වුනාද මන්දා. අපේ ගේ ඇතුලෙ බාත්රූම් තිබුනෙ නෑ. චූ කරන්නවත් රෑට පිළිකන්නට යන්න බය වුනා මං. පේමන්ට් එක දිගේ අයිනට ගිහින් පයිනස් කැලේ පැත්ත බලං ඉක්මනට චූ කරල ගෙට ආව. ඒක අදටත් මං ගෙදර ගියාම වෙන දෙයක්.
ඇතුලෙ බාත්රූම් එකෙන් ඉඳුල් හෝදන එක හරි නැති වුනත් ඒක කලේ මේ මුස්පේන්තු හැඟීම මාව අඩපණ කරල තිබුන නිසා. දවසෙම ටීවී එක බලන ගෙවල් අයිති අංකල් නමයට රේඩියෝව දානව ප්රවෘත්ති අහන්න. ඒක මහ අමුතු පුරුද්දක් වගෙ මට දැනුනට අවුරුදු හැත්තෑවක වගෙ වයසක ඉන්න කෙනෙක් තාම වඩාත් ලඟ විද්යුත් මාධ්යය රේඩියෝවට බව හිතල ඒ අමුත්ත මං නැතිකරගත්තා. එයාලගෙ වයසෙ අත් විඳපු ලොකුම තාක්ෂණ විශ්මය ඒකනෙ. අදත් ඒ තේමා නාදය ඇහෙද්දි තමයි ෆෝන් එක රිංග් වුනේ.
එදා කෝල් කරපු නම්බර් එක සර්ව් කරගන්න අමතක වුනා මට. ඒත් යන්තමින් දිනේ සහ ආපු වෙලාව අනුමානෙන් බලල ලියාගත්ත පොතක. අවසනෙට අනූ අට වගේ මතක් වුනත් මේ ඒක නෙවෙයි.
.... හෙලෝ..මල්ලි මං හේමන්ත අයියා.
ආ... ඔව් ඔව් අයියේ.. කියන්න..
ඔයාට පාර්සලේ හම්බුනා නේහ්?..
ඔව් අයියේ..
හරි... ඒකෙ තියෙන්නෙ අපිට මාසයක් ගානේ මුදල් ආධාර කරන කොම්පැණි කීපයකුයි ඔය බිස්නස් කරන කීප දෙනෙකුගෙයි ෆෝන් නම්බර්. දැන් මාස තුනකින් එයාලගෙන් ඒව ලැබුනෙ නෑ. ඔයාට තියෙන්නෙ චුට්ටක් රිමයින්ඩ් පාරක් දාන්ඩ කෝල් කරල... තේරුනාද කියපු එක...
ඔ.. ඔව් අයියේ ඒත් මං මොනවද කියන්නෙ..
ආ.. ඒකත් ප්රොබ්ලම් එකක්නෙ.. ඒකට තමයි ඔය අයිඩෙන්ටි කාඩ්ඩෙකක් එව්වෙ. මල්ලී.. ඔයා යන එන පාරෙ ඔය සිම් විකුණන එවුන් ඉන්නවනෙ. ඒ කුඩයක් යටින් ඕකට සිම් කාඩ් තුන හතරක් ගන්ඩ. දැනට ඒ ටික සැටල් කරගන්ඩකෝ.. ආහ්... ෆෝන් එක ඔන් එකේම තියන්ඩ ඕකේ....
හරි... හරි... අයියෙ.
වෙනද ආව ගමන් ඇඟ සෝදගන්න මම තාම උදේ ඇඳපු ඇඳුම පිටින්. අර පොඩි එකා හවස පාර්සලේ දීල ගිය වෙලේ ඉඳල තිබුනු අමුතු ගතිය ටිකක් වෙනස් වෙලා පොඩි ගැම්මක් ආව වගෙත් දැනුනා. අදට ආයෙ ප්රශ්නයක් නෑනෙ. ඒක වෙන්න ඇති. බාත්රූම් එකට රිංගල හොඳට ඇඟ හෝද ගත්තා. රෑට නෑවම නහය බර වෙන නිසා උදේට නාන පුරුද්ද මං මැරෙනකම් තියෙයි වගේ. කැම්පස් යන්න දවස් කීපෙකට කලින් අම්ම මාව තේමානිස් ගුරුන්නාන්සෙලගෙ ගෙදර එක්ක ගිහින් බැඳපු සුදුයකඩ සුරෙයි ඒක එල්ලපු කලු නූලයි මගෙ ඇඟේම කොටසක් වගෙ දැන්. කැම්පස් එකේ කාඩ් එකත් සුරේ.. ඒක නමේ කෑල්ලක් කියල තමයි ගොඩක් උන් හිතුවෙ. ඒකෙ තියන අජූත කාඩ් එක්ක බැලුවම මං ගොඩ ගියා සුරේ හින්ඳ.
ඒක මතක් වුනේ මේ වෙලාවෙ මං ලඟ අමතර දේකට තිබුනෙ සුරේ විතරයි.ඉකිලි කසන ලෙඩේ මට ලංකට් අඳින්න ගත්ත දවස් වලම හැදුනා. තාම මතු වෙනව කාලෙකට. ඒක කියල ඉල්ලුවම ෆාමසියෙන් දෙනව ක්රීම් එකක්. ඕක ගාන්නෙ රෑට නිසා ගාගෙන ඉන්න වෙලාව මේ..
දවසක් එක ඩොක්ට කෙනෙක් කිව්වා ඒ සමේ රෝග වලට මානසික ආතතියත් බලපානවලු. මං හිතන්නෙ මේ පාර ඒක මතු වුනේ මේ කෝල් එකෙන් පස්සෙ
බොහොම නිදහසේ ඇඳේ විට්ටමට හේත්තු වෙලා අර පොත් දෙකෙන් පරණ එක බලන්න ගත්තා මුල ඉඳන්. මේකෙ අග මුල ගැන මොකුත් අයිඩියා එකක් ගන්න වෙන්නෙ මේකෙන් තමයි. මුල්ම පිටු දෙක පුරාවට පෑන් වලින් ඇඳපු දළ සිතියමක්. ඒකෙ එක පැත්තක් පටන් ගත්තෙ නාරහේන් පිට පොල්හේන්ගොඩ පාලම ලඟ ඉඳන්. තව පැත්තක් මාලඹේ අයි ටී එක ලඟින්..තව බුත් පිටිය මුල්ලේරියාව පාරෙන්.. මෙහෙම බොරැල්ල කේන්ද්රය වෙන්න හතර වටේම ප්රධාන පාරවල් ටික කවර් වුනා සිතියමට.
පෑලියගොඩින් පටන් අරන් බේස්ලයින් පාරෙ බොරැල්ලට එනකොට දකින හැම හන්ඳියක්ම ලකුණු කරලත් තිබුනා. ඒ තැනින් තැන පාට පාටින් තිත් තියපු තැන් වලට නම්බර් එකක් දීල තිබුනෙ හරි පිලිවෙලට. ඒව හඳුනාගැනීමේ කෝඩ් වදියට තේරුම් ගන්න පුළුවන් වුනා කීප සැරයක් විමසිල්ලෙන් බැලුවාම.
මේ හැම පාරකම රතු කහ කොළ නිල් පාට ඩොට් සහ ඒ තැන් වලට අදාල නම් සහ නම්බර් ඊලග පිටු දෙක පුරාවට ලියල තිබුන නිසා මට දැන් මේ ප්රහේලිකාව ටික ටික වැටහෙන්න ගත්තා.
.. තොග කඩ, රෙස්ටුරන්ට්, ස්පා සහ හොටෙල්, ටියුෂන් පංති, නර්සින් හෝම් සහ චැනල් සෙන්ටර් ආදී නොයෙක් තැන්වලට වෙන වෙනම වර්ණයක් සහ අංකයක් දීල තිබුනා.
මෙන්න මේ වගෙ. කොටාපාර.. රතු.. දාහතර.. (K P/R/14) ඒක ස්පා එකක්. සහ ඒකෙ හිමිකාරයගෙ ෆෝන් නම්බර් එක.මේ විදියට මුල් පිටුවෙ සිතියමේ ලකුණු කල හැම ස්ථානයකටම අදාල කෝඩ් එකක් එක්ක නම්බර් දෙසිය ගණනක් තිබුන.
ඒකෙම දිගුවක් විදියට තමයි දෙවැනි පොත සකසල තිබුනේ.
අදට මේ අදහස ඔලුවට අරන් ඊ ලඟ පියවරට සිම් කාඩ් කීපයක් ගන්න යන්න හිත හදාගත්තා වෙන විකල්පයක් නැතිම නිසා. ඔන්න දැනුයි මතක් වුනේ දීපු අයි. ඩී එක බලන්න. මගෙ වයසට සමාන නොවුනත් පෙනුම ඒ තරම් වෙනසක් නැති නිසා ලොකු ප්රශ්නයක් වෙන එකක් නෑ වගෙ මේක දික්කරල සිම් ඉල්ලුවට.මට නොදැනෙන්න මාව සෑහෙන්න ෆලෝ කරල මේ ප්ලෑන් එක උන් ගහල තියෙන්නෙ. අනික පාරක ප්රමෝෂන් එකක් කරන ඒ අහිංසක කොල්ලො කෙල්ලො ඔය තරම් ගලපන එකක් නෑ..ඒ කරල තමන්ගෙ ලඟට එන බිස්නස් එක මගහැරගන්න තරම් උන් පෝසත් නෑ.
************************************************
අශෝක ලියනගේ