අද ඉරිදා නිසා වැඩි කලබලයක් නැතුවම උදේ වැඩ ටික ඉවරකරගත්තා. එකතු වෙලා තිබුන කිලිටි රෙදි හදල වේලෙන්න දාල ධර්මෙ අංකල් එක්ක පොඩි චැට් එකක් දැම්මා. අංකල් තරුණ කාලෙ කරපු කියපු දේවල් කියවන්න මාර කැමතියි. ටිකක් කයිවාරු වුනත් ඒව හරි රසවත්. මමත් ඇත්තටම ආසයි ඒ කතා වලට. ධර්මෙ අංකල්ගෙ තාත්ත ඒ පැත්තෙ ප්රසිද්ධ වෙද මහත්තයෙක්ලු. බ්රැන්ඩිගම්පල වෙද මහත්තය කීවම කොලොන්නාව දෙමටගොඩ වැල්ලම්පිටිය විතරක් නෙවෙයි මුළු පලාතම දන්න හොඳ මනුස්සයෙක් බවත් ඒ කතාවලින් එලියට ආව. පුත්තු දෙන්නෙක් හිටපු පවුලෙ බාලය මේ. වැඩිමහල් පුතා ඩොක්ට කෙනෙක් වෙලා එංගලන්තෙ පදිංචියට ගිහින් එහෙදි නැතිවෙලා. ඒ පරම්පරාව ආයෙ ලංකාවට ආවෙ නෑලු..
අංකල් බැන්ඳෙ නැද්ද..
නෑ පුතා... ඒ කාලෙ මං හෙන මදාවියා.. යාලුවො එක්ක බිව්ව කෑව විනෝද වුනා මිසක් කසාදයක් ගැන හිතුවෙ නෑ... අනික පොඩි පොඩි කතන්දර දෙක තුනකුත් තිබුන නිසා ඒකෙ අඩුපාඩුවක් ඒ තරම් දැනුනෙ නෑ...
අංකල් එතකොට මේ මහ ගෙදරද..
නෑ නෑ.. අපි හිටියෙ කොටිකාවත්තෙ.. මහ පන්සල කිට්ටුව. තාත්ත නැතිවුනා එක පාරටම ඔලුවෙ නහරයක් පුපුරලා.. ඒකටත් රොම්පිය වැටුනෙ මට.. මගෙ කල්කිරියාවෙ දෝසෙට තාත්තට පෙෂර් ආව කියල අම්මා මැරෙනකම්ම මට බැන්නා තාත්ත මරාගත්ත නරුමය කියල. හැබැයි මං ඒ ෆියුනරල් එක කලා සනා මුළු කොටිකාවත්තම සරසලා. ඒකට බැස්සා වටේම බජාර් එකේ කකුල් ටික. ඒ වුනාට මගෙ අයිය තාත්තගෙ හොඳ පුතා අම්මගෙ දොස්තර පුතා තාත්තගෙ මිනිය බලන්න ආවෙවත් නෑ. ශෝකප්රකාශ ටෙලිග්රෑම් එකක් එවල තිබුනා. තාත්ත නැතිවුන දුකට අම්මත් මහ කාලයක් ඇල්ලුවෙ නෑ.. අන්තිමේ මං ඒ පරණ වෙද ගෙදර තනිවුනා සනා.. අක්කර දෙකක් විතර ඉඩමෙන් මං ටික ටික විකුණුවා. අන්තිමට ගෙදරයි ඉතුරු ඉඩමයි රුපියල් ලක්ෂ විස්සකට දීල මෙතන මේ පර්චස් විස්ස ගත්තා ලක්ෂ දොළහමාරක් දීල. දැන්නං කෝටි දෙකක් විතර වටිනවා.. . දැන් මේ පන්සලේ උදේ හවා ඇහෙන බණ පිරිත් ටික අහගෙන ජීවිතේ ගෙවනව පුතා..
එතකොට අංකල්ගෙ නෑයො කවුරුත් නැද්ද.
උන්ට මාව මතකත් නෑ මට උන්ව මතකත් නෑ දැන්.. මම කොහේ ඉන්නවද කියල දැන් ඒ අලුත් පරම්පරාව දන්නෙත් නෑ.. ඕන නෑ පුතා.. ඔය ඉස්සරහ කඩේ කුලියයි මේ කාමර කුලියයි ඇති මට ජීවත් වෙන්න.. ඉඳහිට අඩියක් ගහල ජොලියක් දානව පරණ යාලුවෙක් හම්බුනාම.. ඒ මදෑ නේහ්..
මට අංකල් ගැන ඇතිවුනේ අනුකම්පාවක්...
එහෙම තමයි. මුල් පරම්පරාව වෙහෙස වෙලා උපයන දේපල ඊ ලඟ පරම්පරාව අගයක් නොදැන කාබාසිනියා කරන හැටි අපේ ගම් වල පරණ වලව් වලිනුත් මං දැකල තියෙනවා. අද ධර්මෙ අංකල් තනිව උයාගෙන කාල බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන නිහඬ මනුස්සයෙක් වෙලා. හොයන්න බලන්න කෙනෙක් නැති දේපලක් තිබුනට අසරණයෙක් වුන නිසාම මම ධර්මේ අංකල් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න හිතුවා.. මටත් පුතෙකුට වගෙ සළකන මනුස්සයනෙ.
අංකල් එක්ක දවල්ට උයන වැඩේට හෙල්ප් එකක් දෙන්න බැස්සත් ඒක එයා තනියම කරන්න තමයි වැඩියම කැමති. මම නිකං ලූණු ගෙඩි තුන හතරක් මිරිස් කරල් ටිකක් තක්කලි ගෙඩියක් සෝදල තියල ෂේප් එකේ කාමරේට ආවෙ එයාගෙ කැමැත්තට ඉඩ දීල. උදේට දවල්ට කම්පැණි එකෙන් කන්න දෙන නිසා රෑ වේල විතරයි අංකල්ගෙන් කන්නෙ. ඒකටත් එක්ක මාසෙට අට දාහක් ගන්නව. ඒත් මට පාඩු නෑ මේ පැත්තෙ කාමර වල ගාන එක්ක බැලුවම. ඉරිදා පත්තරේ ගන්න එක මෙහෙ පුරුද්දක් ලංකාදීපෙ, දිවයින, සිළුමිණ.. කියන පත්තර තුනම ගන්නවා
දිවයින පත්තරේ මුල් පිටුව බලද්දිම කෝල් එකක්. නිවාඩු දවසෙ නිසා රාජකාරි වැඩක් නොවන වග හිතට ආවම ඊ ලඟට හිතට එන්නෙ සැඟවුන අමුත්තාවමයි. ඔව්.. මේ එයා. හෙලෝ අයියෙ..
මල්ලිට දැන් කටහඬ හුරුයි නේහ්... හරි.. අර වැඩේ හරිද මල්ලි..?
මොන..?
ඇයි ඩෝ මං කිව්වෙ සිම් තුන හතරක් ගන්ඩ කියල..
මගෙ කකුල් දෙකත් පණ නැති වුනා. ඒ ස්වරය එක පාරටම වෙනස් වෙලා ගියාම.. හරි හරි අයියෙ.. මේ දවස් දෙකම හරී බිසී ඔෆිස් එකේ. අද කොහෙටවත් ගියෙ නෑ. හෙටම ගන්නම්...
මල්ලී.. අපිට නාස්ති කරන්න කාලයක් නෑ.. අනික මං දෙයක් කිව්වම ඒක ඒ වෙලාවෙම ඒ මොහොතෙම වෙන්න ඕන. ඒක මගෙ සෙට් එකම දන්නව අරී... හරි මේම කරමු. දවල්ට කාලද..
නෑ අයියේ..
හ්ම්... කාල රෙස්ට් කරල තුනට විතර බොරැල්ලට යනවා. එතනින් එකසිය හැත්තෑ එක විදේශ සේවා බස් එකේ ගිහින් බත්තරමුල්ල සෙත්සිරිපාය ලඟින් බහිනවා.. ඒ හරියෙ පාරෙ ඉන්නව ඔය සිම් විකුණන එවුන්.. ජාති දෙක තුනකින් ගන්නව හරී..
දැන්නම් සුහද වචන වලින් තොරව මේ කරන්නෙ අණ දීමක් වගේ..
හරි අයියේ..
මල්ලි.. මං තමුංව මේ වැඩේට සිලෙක් කලේ හොඳට හොයල බලල. ඒ නිසා වංගු ගහන්ඩ හිතන්ඩවත් එපා. මේ පීල්ඩෙකේ සෙකන්චාන්ස් නෑ... මීට පස්සෙ දෙයක් කිව්වම ඒකෙම ඉන්ඩෝන.. හරි.. සිම් ටික අරන් ඉන්නවකො. මං කතන්දරේ කියන්නම්. තිබ්බ ඒනං..
ආ... මල්ලි.. අතේ කීයක් විතර තියෙනවද..
ලොකු ගානක් නෑ අයියේ.. අම්මට යවන්න තියෙන දහදාහ තියෙනවා..
හරි.. එහෙනං බත්තරමුල්ලෙන්ම ගන්නව පොඩි චයිනීස් පෝන්නෙකක්. ඔය රුපියල් එද්දාස් පන්සීයට දෙදාට තියෙන්නෙ.
එතකොට අයියෙ ගෙදරට යවන්න සල්ලි මදි වෙනවනෙ..
මේ ඕයි.. තමුෂෙ බබා වෙනවනෙ හැම තිස්සෙම. මං තමුංට සල්ලි එවන්නං අර පොත් එව්ව වගෙ. මේ ටිකේ උනුත් එලියට එන්නෑ වැඩිය. තුන් හතර දෙනෙක් බ්රදර් වෙලා ඉන්නෙ ඇතුලෙ.. එලියට බැහැල උන්ටත් කරත්තෙ නගින්න බෑ මේ වෙලාවෙ.. ප්රශ්න ආන්ඩෙපා.. කියපු දේ කරන්ඩ මල්ලී.. සොරි සද්දෙට. නෑ ඉතිං මල පයිනවනෙ මල්ලි..
එන්න එන්නම මං උන්ගෙ ග්රහණයට හිර වෙන බවක් දැනුනා. දැන් කොහොමත් මේකෙන් ගැලවීමක් නෑ මට. අම්බලන්ගොඩ රූකඩයක් වගේමයි. සියළු චලන පාලනය කරන නූල් ටික උන් අතේ බව පැහැදිලියි. උන් එවපු අයි ඩී එක බැලුව ආයෙම. උස් ලියනගේ රන්දික සමන්ත..අංක... ගෝතමී පුර රාජගිරිය.. වයස මට වඩා වසර කීපයක් වැඩී. ඒත් මුහුණුවරේ ලොකු වෙනසක් නෑ. මම රැවුල ටිකක් වවල. ඒ මූනෙ පොයින්ට් එක විතරයි.
උයල ඉවරයි පුතා...
හරි අංකල් කන්න මං එන්නං කියල මූණත් එක්කම අතත් සෝදගෙන බත් එක බෙදාගත්තෙ උදේ කාපු තනි බනිස් ගෙඩියෙන් නේද මෙච්චර වෙලා හිටියෙ කියල මතක් කරගෙනමයි. උණු උණුවෙන් කද්දි එක වෑංජනයක් වුනත් සෑහෙනව. අංකල් පෙෂර් වලට බෙහෙත් බොන නිසා ලුනු අඩුවෙන් කනවා. මං වෙනම ලුනු කුඩු ටිකක් තියාගෙන ඉන්නව බත් එකට ඉහගන්න
කාල ඉවර වෙලා ඔරලෝසුව දිහා බැලුවෙ පරක්කු වෙලාද බලන්න. තාම දෙකයි.. ඇඳේ හාන්සි වෙලා හිත නිදහස් කරගන්න පොඩි උත්සාහයක් ගත්තෙ මට බයක් තියෙනව මේ සිම් පත් ගන්න වැඩේට. හදිසියේවත් මං ගැන උන්ට සැක හිතෙයිද.. උන් ඊට පස්සෙ මොනව කියයිද.. මාව පොලීසියට අල්ලල දෙයිද.. මේවගෙ දේවල් ඔලුවට ආවත් කොහොම හරි කරන්නම වෙනවා. හිත හදං ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන පාරට ආවෙ බොරැල්ල පැත්තට යන බස් හෝල්ට් එකට එන්න. වෙනදට වඩා හිතේ චකිතයක් තියෙනව අද. වටපිට අය මං දිහාම බලනව වගෙයි මට දැනෙන්නෙ.ඉඳ හිට අවශ්යතාවකට කොළඹ ඇවිත් ගියාට නවතින්න ආපු මේ ගමන මේ තරම් ගැටලුවකට මූණ දෙන්න වෙයි කියල හිතුවෙ නෑ. හද්ද පිටිසරින් කොළඹ ආපු මට මේ පරිසරය මේ මිනිස්සු මේ හැසිරීම් රටා කොටින්ම මේ කොළඹම හරිම අමුතුයි. ඉස්සරහින් යන එකාගෙ රුපියලක් වැටුනත් දැක දැක අහුලං දුවන මනුස්සකම බොහොම සිල්ලරේට විකිනෙන තැනක් මේ කොළඹ.
බොරැල්ල පැත්තට ආපු බස් එකක නැගල ෆුඩ්බෝඩ් එක පැත්තෙම ඉඩ තිබුන සීට් එකක වාඩිවුනේ ඉබේටම. දෙමටගොඩ රේල් පාර ස්ටේෂම පහුවෙලා ටිකක් එද්දි සී. ජී. ආර්. පිටටනිය තියෙනව. එතන සෙල්ලම් කරන අය දිහා බලාගෙන යද්දි ඊලඟට මැගසින් එක පේනව. තාප්පෙ ලොකුවට ගහල "සිරකරුවෝද මනුශ්යයෝය" කියල.. මටනං ඒක ඇත්තක් කියල හිතුනෙ නෑ. ඕකෙ ඉන්න උන්ගෙ මනුස්සකමක් තිබුන නං ඔතන ඉඳීවියැ. බාප්ප හිටියෙත් වැලිකඩ කියල අම්ම කිව්වා ඉස්සර දවසක්.
අපරාධ කාරයො එක්ක මං පොඩි කාලෙ හරියට සටන් කරනව. පහල වත්තෙ කෙසෙල් ගස් ඒ දවස් වල මගෙ ලෝකෙ මිනී මරුවො හොරු මංකොල්ල කාරයො.. තාත්ත ඉන්නකොට තණකොළ කපන විසිකැත්ත පස්සෙ කාලෙක මගෙ කඩුව වුනා.. එක පාරින් කැපිල නොවැටුනාට මං හත් අට වතාවක් ගහල ගහල පැත්ත පෙරලුවා තඩි කෙසෙල් ගස්. අම්මා බනිනවා මූ එක්ක කෙසෙල් කැනක් කන්න වෙන්නෑ කියල..මූනට මුණගැහුනම මට බාල වුනත් බාප්පගෙ පුතාටත් මං බය වුනාට ඒ කෙසෙල් පඳුරු අතර බාප්පත් හිටියා..
මේ කල්පනාව අස්සෙ බස් එක බොරැල්ලට ඇවිත්. එතනින් බැහැල උමං පාරෙන් කොටා රෝඩ් පැත්තට මාරු වුනේ බෝ ගහ යටින් එකසිය හැත්තෑ එක බස් එක ගන්න. ටික වෙලාවකින් ආපු බස් එකෙන් බාගයක්ම එතනින් බැහැපු නිසා සෙනග නැති බස් එකේ වාඩි වුනා. ඉස්සර ඉඳන්ම මගෙ පුරුද්දක් තියෙනව රෝදෙ උඩින් ස්ටේජ් එක වගෙ ගහපු තැන සීට් එකේ යන්න. එතනින් ඉඳගෙන කකුලක් ඊට ටිකක් උඩින් තියෙන දාරෙන් තියාගත්තම ඒ මගෙ පහසුම ඉරියව්ව. පැය කාලක් විතර කොන්ඳා කෑ ගහ ගහ ඉඳල පිටි පස්සෙන් තව බස් එකක් ඇවිත් ඒකෙ කොන්ඳා ඇවිත් මෙතන තොපි අම්මට හැම£#@ද, අපි පාං කෑල්ලක් කන්නැද්ද හු#@..කියල ඇහුවටත් පස්සෙයි බස්සෙක ඇද්දෙ. ඉස්සරහට යන ගමන් මම අහම්බෙන් දැක්කා ගෝතමි පුර පාර කියන බෝඩ් එක. මේකද එතකොට මට දීපු අයි ඩී එකේ අයිතිකාරය ඉන්න පැත්ත.. ඉබේටම දාඩිය දාන්න ගත්ත මොකක්දෝ බයකින්. මේ අයිතිකාරය කොහේ ඇතිද සිම් එක ගන්න තැන කොල්ලො මෙයාව දන්න උන් වෙයිද බැරි වෙලාවත් මෙයාම වුනොත්.. දැන්නම් එන්න එන්නම අවදානම එක්ක බයත් වැඩි වෙනවා. ආපහු යන්නත් බෑ. ආපු වැඩේ කරන්න හිතේ හයියකුත් නෑ.. ඒ අතර දියත පාර්ක් එක පහු කරන බව පෙනුනා. උස බිල්ඩින් තුන හතරක් ලඟ සෙත්සිරිපාය බහින්නෝ.. කියල සද්දෙට ඉබේටම නැගිටුනා. එතනින් නොබැහැ ඊ ලඟ හෝල්ට් එකෙන් බැහැල ආපහු හෙමීට වටපිට බල බල ආවෙ සිම් විකුණන අය ඉන්නවද හොය හොය. ඒ අතර මතක් වුනා දවසක් සිම් එකක් ගන්න ගියාම අයි ඩී එකේ ෆොටෝ කොපි ඉල්ලපු බව. කෝකටත් මම මේකෙ කොපි දෙකක් ගත්තා ලගම තිබුනු කමිනිකේෂන් එකකින්. ඒකත් නවල සාක්කුවෙ දාගෙන තව ඉස්සරහට එද්දී ඩයලොග් විකුණන පොඩි කොලුගැටයෙක් හිටියා. අරකෙ පෙනුමට සහ විස්තර වලට කොහොමටවත් නොගැලපෙන පොඩි එකෙක්. මම ටිකක් ගණන් නොගෙන යද්දි ඌම ඇවිත් හෑල්ලක් කියවන්න ගත්තා. ටික වෙලාවක් අහන් ඉඳල උගේ පෙරැත්තෙටම වගේ සිම් දෙකක් ගත්තා. ඌ විස්තර අහද්දි අයි ඩී එක නැති වෙලා මල්ලි මේ හදන්න ආපු ගමන්. කොපියක් නං තියෙනව කීව. හා.. හා.. ඇති සර් කියල මෑන් ඒකෙ ෆොටෝ එකක් ෆෝන් එකටම අරන් මට සිම් දෙක දුන්නා.. රුපියල් සීයක් රී ලෝඩ් දැම්මම ඇක්ටිව් වෙනව කියලත් කිව්ව. මම කාඩ් දෙකකුත් අරන් ආපහු ඉක්මනින්ම බොරැල්ල බස් එකක නැග්ගා.බොරැල්ලෙන් ගත්තා පොඩි ෆෝන් එකක්. රුපියල් එක්දහස් නමසීයයි,
එතනින් බස් එකක නැගල මානෙල් එක ලඟින් බැහැල වට පිට නොබලම කාමරේට ආවෙ හොරකමක් අහු නොවෙන්න කරල බේරිලා ආව වගෙ දැනුනු පොඩි ගැම්මකින්...
**************************************************
අශෝක ලියනගේ