නමක් සහ ගමක් (EP 5)
- Details
- අශෝක ලියනගේ
- namaksahagamak
- Hits: 474
ගේට්ටුවෙන් ඇතුලුවුන ගමන්ම ටී-ෂර්ට් එක ගලවල වැලට දැම්මා.ආපු පිම්මම වොෂ් රූම් එකට රිංගල කෑලි පහ ගහගත්තෙ දහදිය එක්කම වොෂ් එකක් දැම්මම ඇඟට ෆිට් හින්ඳා. ඇඳේ වාඩි වෙලා අලුත් ෆෝන් එක ගත්තෙ ගෙනාපු සිම් දෙක දාල ඔන් කරල බලන්න. ගෙදරට යවන්න තිබුන මුදලෙන් දෙදහසක් පන්සීයක් අඩුයි. දැන් ඒ ගැන හිතල වැඩක් නෑ. සිම් දෙක දාල ෆෝන් එක ඔන් කලා. ටික වෙලාවකින් සිග්නල් පෙන්නුව නිසා සීයෙ කාඩ් දෙක හූරල රීචාර්ජ් කලා. හරි දැන් ඒ වැඩෙත් OK.. එහෙමම ඇලට් එකක් දැම්මා තෙහෙට්ටුව නිසා.
ඇස් පියවුන ගමන් දෙන්නෙක් මාව හෙලවෙන්න නොදී අල්ලගෙන තව එකෙක් ඔලුවට පිස්තෝලයක් තියන මහ බය හිතෙන ඒව මැවෙන්න ගන්නව.මේ කරුමයක් හින්ඳා හරියට නින්දක්වත් නැති හැටි.
කොහොම හරි නින්ද ගිහින් පහමාරට වගෙ ඇහැරුනා. කරන්න වැඩකුත් නැති එකේ එහෙමම ඇඳේ ඉන්නකොට ආයෙම නාඳුනන කෝල් එක ආව.
මල්ලී.. වැඩේ හරිද..
ඔව් අයියේ..
හරි එහෙනං ඔන්න අපේ වැඩ වලට දැන් ඔයා රෙඩී...
අර පොත් බැලුවද..
බැලුවා අයියෙ.......
ඒකෙන් අයිඩියා එකක් ගත්තද... .
ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මේ අවට පලාතෙ තැන් වල නම්බර් ටිකක් බවනං තේරුනා. ඒව හඳුනගන්න කෝඩ් වගේ අර ලකුණු කල තැන්.
නියමයි.. ඒක තමයි වැඩේ. හරි මල්ලි දැන් ඔයා මුලින්ම ඔයා ඉන්න තැන ඉඳන් ඈතින්ම තියෙන තැනට කෝල් එකක් ගන්න. අරන් කියන්න තාර වත්තෙ සුද්දයියාගෙ මල්ලි මේ කතා කරන්නෙ. මං ඉතාලි ඉඳන් ආවෙ. අයියගෙ කන්ටෑක් ඔක්කොම මට දීල තියෙන්නෙ. අපි කලා වගේ වැඩ ටික කන්ටිනිව් කරමු කියල.. ඔය පරණ පොතේ ඇති ඔය තැන් වල ඕනර්ලගෙ මොබයිල් නම්බරෙයි නමයි. කෙලින්ම නම කියලම කතාවට එන්ටර් වෙන්ඩ හරි.. නිකං අයියෙ මල්ලි ගගා පදිරි වෙලා නැවෙන්ඩෙපා හරිද. ගන්ඩ කලින් පොඩි ට්රෑල් එකක් දාල බලනව නිකං..
අයියෙ තව විස්තර ඇහුවොත් මොනවද කියන්නෙ..
නෑ නෑ.. උන් මොනවද කියන්නෙ කියල අහං ඉඳල.. ඒමද මං අයියට කියන්නං කියල තියන්ඩ. ආයෙ ඌ ගත්තට උස්සන්ඩ එපා. හත් අට වතාවක් ගත්තම ඔය කෝඩ් නම්බරේ කීයන්ඩ.. ඒ ඇති.
මං හෙට ගන්නං එතකං හත් අට පොලකට කතා කරල ඒවයෙ උන් කියපු දේ තැන් පටල ගන්නැතුව ලියාගන්ඩ හරී..
මං කොතනින්ද පටන් ගන්නෙ. සිතියමේ මුල් පිටුවෙ එක කෙළවරක අංකයක් බලල ඒක මොකක්ද කියල හෙව්වා එතන තොග කඩයක්. ඒකෙ හිමිකරුවාගෙ නම සහ මොබයිල් නම්බර් එක ලියාගත්ත වෙනම පොතක
ඒ වගෙ තැන් හයක විස්තර ලියාගෙන හිතුවෙ ඒවට කතා කරන විදිය. හයියෙන් කතා කලොත් ධර්මෙ අංකල්ට ඇහෙනවා. හෙමින් කතා කලොත් ඒ මිනිස්සු බලයි මම බයෙන් කතා කරනව කියල. කෝකටත් මගෙ ෆෝන් එකයි අලුත් එකයි සාක්කුවේ දාගෙන විස්තර ලියපු කොලෙත් කඩාගෙන පෑනත් අරන් පාරට බැස්සෙ අරමුණකින් තොරවයි. ඇවිදගෙන ගිහින් බලද්දි මම සෑහෙන දුරක් ඇවිත්නෙ
හිර ගේ ඉස්සරහ කැම්බල් පිට්ටනිය අයිනෙන් පාර්ක් පාරෙ හැරිල ගියාම පරණ වලව්වක් තියෙනව ගරා වැටුනු. එතන ඉඳගෙන වටපිට බැලුවෙ කවුද ඉන්නෙ කියල. හවස හයට විතර ඇති. කවුරුත් නෑ මෙතන. තව රෑ වෙද්දිනම් එයි කුඩ්ඩො එහෙම. ඒත් දැනට කවුරුත් නෑ. මම කොලේ අරන් හිත හදාගෙන මුල්ම කෝල් එක ගන්න නම්බර් එක ගැහුවා... තුන් පාරක් විතර රින්ග් වෙලා එහා පැත්තෙන් කතා කලා...
හෙලෝ.. කවුද මේහ්..
මිස්ට වික්රම...
ඔව් කතාකරනවා..
හරි මං ඩිරෙක් කතාවට බහින්නං. මම තාරවත්තෙ සුද්දගෙ මල්ලි..
ක.. ක.. කවුරු කිව්වා.. එහා පැත්තෙන් කලබල වුනු බවක් දැනුනා.
හරි මිස්ට වික්රම කලබල වෙන්න දෙයක් නෑ. මම ආවෙ ඉතාලි ඉඳල. අයිය මට හැම විස්තරයක්ම කියල මේ කන්ටෑක් ඩීටේල්ස් දුන්නා. අයිය එක්ක කලා වගේම වැඩ ටික කරං යන්න මට ඔයාගෙ සපෝට් එක ඕන.
ඉතින් මං කෝමද ඔහේව විශ්වාස කරන්නෙ.
මම එතනට දීල තියෙන කෝඩ් නම්බර් එක කිව්ව ගමන් මිනිහා ලොකු හුස්මක් ඇදල රෑ වෙලා ගන්නද ඇහුවා.. මමත් හරි කියල කට් කලේ දෙන්නෙක් මං දිහා ඈත ඉඳන් බලං ඉන්න බව දැකපු හින්ඳයි.
නැගිටල එද්දි උන් දෙන්න ඉස්සරහට ආව. මමත් ගානක් නැතිවම ඔහේ ඇවිත් උන්ව පහු කරගෙන ගියත් අවදානෙන් ආවෙ පස්සෙන් මොනව හරි කරාවි කියන සැකෙන්. ඒත් දෙන්න එහෙමම දිගට යනව මම හොරෙන් හැරිල බැලුවා. මට මේ පරිසරයට හුරු වෙන්න වෙනව දැන්. ආයෙ ප්රෙසින් එක ඉස්සරහ හෝල්ට් එක පහු කරද්දි මාව පහු කරන් ගිය දෙන්න මම දැක්ක පාර එහා පැත්තෙන් යනව මං දිහා බල බල. සමහර විට උන්ට සැක ඇති මම නාකොටික් යුනිට් එකේ එකෙක් කියල.
මොකද මේ ප්රදේශයම කුඩු ගහන උන්ගෙන් සහ විකුණන උන්ගෙන් පිරිල. පාර අතුගාන නගරසබා කම්කරුවාගේ පටන් කෝටිපති පවුල් වල දරුවා දක්වා කුඩු පැකට් එකක් හොයං එන්නෙ වැලිකඩ බොරැල්ල වනාත පැත්තට තමයි. ඒක ධර්මෙ අංකල්ගෙන් දැනගත්ත කාරණාවක්. මට දරුවෙකුට වගෙ මේ කොළඹ ගැන ගොඩක් දේ කියා දෙන්නෙ ඒ මනුස්සයා.
මම ගියා වගෙම පයින්ම අවට බල බල නැවතත් නවාතැනට ආවෙ මේ පැත්තට මම වැඩිය නොයන නිසා ඒ අරුමයද විඳිමින්. එක එක හැඟීම් වලින් මූණු පුරවාගත් විවිධ මිනිස්සු ගැහැණු කඩි වගේ එහෙට මෙහෙට යන්නෙ වගේ වගක් නැතිව. හිර ගෙදර ඉන්න තමන්ගෙ නෑයා බලන්න ආපු අය, බලල යන අය, ලමා වාට්ටුවට තමන්ගෙ දරුව ගේන දෙමව්පියෝ, දේවි බාලිකාවෙ...ඩී එස් එකේ ලමයින්ව ගන්න ආපු දෙම්පියෝ මේ අතර ඉන්නවා. ටිකක් ඕන කමින් මේ මුහුණු දිහා බැලුවම තේරෙනව කුඩු සික් එකෙන් නහය කසන හොටු හූරන අකලට දිරාපත් වෙන රටේ ඉදිරි පරම්පරාවේ ඛේදවාචකයේ ජීවමාන සාක්ෂි තැන් තැන් වල වේලෙනව.
කෝල් ගන්න විස්තර ලියාගත්ත කොලේ සාක්කුවෙද බලන්න ආයෙ අතදැම්මෙ සැකේට. ඒ ඉරියව්වෙන්ම ඉතුරු ටිකත් ඇවිත් කාමරේට ආවෙ ටිකක් මහන්සියෙන්. මම කිලෝමීටර් හතරක් විතර ඇවිදලා එක කෝල් එකකට. මේක හරියන්නෑ. රෑට ධර්මෙ අංකල්ට හොරෙන් ස්ලැබ් එකට නගින්න වෙනවා නිදහසේ කතා කරන්න. ඒක උඩ වතුර ටැංකිය වැහෙන්න ගහපු පොඩි වහළ කෑල්ල යට ඉඳ ගත්තම අවට බල බලම කතා කලහැකියි. එතන මේ වැඩේට මරු. රෑ අටට විතර ටැංකියට පිටින් නගින යකඩ ඉනිමග දිගේ උඩට නැග්ගෙ කාඩ්බෝඩ් කෑල්ලකුත් එක්ක. කාමරේ දොර වහල උඩට ආවෙ කාටවත් සැක නොහිතෙන්න. ටැංකියට පිට දීල වාඩි වුනාම මාව කාටවත් පේන්නෙ නෑ. අනිත් බිල්ඩින් වලත් මේ පැත්තට ජනෙල් නැති නිසා මට හොඳ ආරක්ෂාවක් දැනුනා. හුලං පාර නිසා මදුරුවොත් නෑ වෙලාවට. මම දෙවෙනි කෝල් එකට සූදානම් වුනා. ඒක ස්පා එකක්. ඩයල් කරල කනේ තිබ්බ විතරයි ගැහැණු කටහඬකින් උත්තර දුන්නා. හෙලෝ ඩික්සන් ඉන්නවද..
මේ.. සර් නං වැඩක. කවුද කතා කරන්නෙ.
මං එයාගෙ යාලුවෙක් ෆෝන් එක දෙන්න එයාට...
කෙල්ල ටිකක් අදිමදි කරල බයෙන් වගෙ කියනව ඇහුනා සර්ගෙ යාලුවෙක් කියල.
හෙලෝ කවුද ඔය..
මම තාරවත්තෙ සුද්දගෙ මල්ලි..
ඈහ් මොකා.. මං දන්නෑ ඒම එකෙක්....
හරී.. මං ලගදි ආවෙ ඉතාලි ඉඳල අයියව දන්නවනෙ...
ඔව් වටේ යන්නැතුව කියමු ඒනං සීන්නෙක..
මේකයි.. අයිය මට විස්තර ඔක්කොම කියල තියෙන්නෙ. ඒ විදියටම වැඩේ කරමු කියන්න කිව්වා..
අඩෝ.. අඩෝ.. සුද්දා කෝමද ඩෝ කියන්නෙ. මේහ් උඹ හිතුවද මං ටිංකිරි කියල.. මාත් මේකෙ හොඳ කැ##යෙක් හොඳේ.. තාරවත්තෙ සුද්ද මිසින් වෙලා දැන් මාස තුනක් විතර. බොඩියවත් නෑ. උඹ කවුද ඩෝ ඒ නම විකුණල ගතමන්ට් එක හොයන්න හදන එකා.
ඩික්සන් කතා කරන හඬ ඒ කාමරේ පුරාම දෝංකාර දිදී ඇහුනා.ඒත් මම බය වෙන්නෙ මොකටද මාව දන්නෙ නෑනෙ මොකාවත්. මං හෙමීට කිව්වා පොතේ එතනට දීල තියෙන කෝඩ් එක. අන්න එතකොට අර මහා සද්දෙන් ගොරවපු එකා එක පාරටම සද්දෙ වහල කතා කරන්න ගත්තා. හෙලෝ.. ඇත්තටම ඔය කවුද..
ඒක තමයි මුලින්ම හඳුන්වල දුන්නෙ.. විශ්වාසද දැන්.
මේකයි මල්ලි අපි කෝමද එක පාරටම විශ්වාස කරන්නෙ. මගෙ බිස්නස් වලට සෑහෙන්න උදව් කලා සුද්දා. අපේ පොට් වලට කවුරුවත් අත දැම්මෙ නෑ සුද්දා ඉන්නකම්. ඒත් දැන් අලුත් පොරක් බැහැල රඟනව මේ ලයින් එකේම. ඌට ඕන වෙලාවට කොච්චර වැඩ තිබුනත් කෑලි දෙකක් යවන්න ඕන. වීල් එක එවනව. කෝල් එක දීල. ආයෙ උන් දෙන්නට දවසටම තව වැඩකට දාන්න බෑ. දැම්මත් කරන්න පණ නෑ.බාගෙන මරල එවන්නෙ. පවු මල්ලි උනුත් පණ තියෙන ජීවිතනෙ. අඬනව ඇවිත්. ඌ තිරිසනෙක්. සුද්දා ඒ අතින් ජෙනුවින්. ඒ සබ්ජෙට්ටෙකේ නෑ. අපි උදව් කලේ බෝම කැමැත්තෙන්. හරි අපි මීට් වෙලා කතා කරමු. එතනින් ඒ කෝල් එක ඉවර වුනේ මට සෑහෙන්න කල්පනා කරන්න දේවල් ඉතිරි කරල
එතකොට ඇත්තටම මට කතා කරන්නෙ කවුද. ඩික්සන් කියන විදියට තාරවත්තෙ සුද්දා මරලා. මිනියවත් හම්බවෙලා නෑ. ඒක නිසා අතුරුදහන් වෙලා කීවට කවුරුත් දන්නෑ හරියටම වුන දේ. එතකොට මං ලව්ව මේ වැඩ කරවගන්නෙ කවුද. ඒ රහසිගත සටහන් වල අයිතිකාරය සුද්දාමනං තමයි මොකද ඒ කෝඩ් එක කීව ගමන් අහන කෙනා බය වෙන බව දැනෙනවා. තව කාට ලැබුනත් මට දෙන්නෙ නෑ මේව. මේව මටම ලැබෙන්න සැලැස්සුවේ ලොකු ප්ලෑන් එකක් ඇතුවමයි. මේ ටිකට මාව මෙහෙයවපු හැටි හරි සූක්ෂමයි.
මම ජොබ් එකට ඇවිත් දෙවෙනි සතියෙ ඉරිද පත්තරේක මේ සිද්ධිය ගැන කියෙව්වා කියල දැන් ටික ටික මතකයට එනවා.. ඒ විශේෂාංගය මම රෑ කම්මැලි කමට කියෙව්වා එදා රෑ. දැන් මේ සිද්ධියත් එක්ක ඒක ආයෙ ගලපලා බලාගන්න මට ඕන වුනා. ආයෙ තව තැනකට කෝල් කරන්න කලින් මේ විස්තරය සහසුද්දෙන් හොයාගන්න දැන් මටත් අමුතු කුතුහලයක් ඇතිවෙලා. ෆෝන් දෙකයි කොලෙයි සාක්කුවෙ දාගෙන බහින්න හදනකොට ආයෙ සුද්දගෙන් කෝල් එක ආව.
මල්ලි කාටද කෝල් කලේ..
අඹගහවත්ත හංදියෙ තොග කඩේ වික්රමටයි.. නාවල කොස්වත්ත විද්යාල මාවතේ ඩික්සන්ගෙ තැනටයි..
එච්චරද..
ඔව් අයියෙ. වික්රම වැඩි කතාවක් නැතුවම ආයෙ කෝල් කරන්නම් කිව්වා. ඒත් ඩික්සන් මහ සද්දෙන් මට බැනගෙන ගියා.. ඉතින්.. මම කෝඩ් එක කිව්වම හොඳින් කතා කරල අයියගෙ හොඳ කියල අලුත් කෙනෙක් ගෙන් කරදරයිත් කිව්ව..
ඒක නෙවෙයි මට තියෙන ගැටලුව. මිනිහ කියන්නෙ ඔයා මරල දාල කියලනෙ. ඇත්තටම ඔයා කවුද අයියේ. මම මේ වැඩ කරන්නෙ කාටද එතකොට.
හරි හරි මල්ලි. කූල් වෙන්නකො. මේක බොරු නාට්ටියක්. මගෙම එවුන් ටිකක් දාල ගැස්සුව ගේමක්. මේ ගේම් ෆීල්ඩෙකේ එකේ ඉන්න එකෙක්ගෙ පොට් එකට බැහැල ගහනව කියන්නෙ ඌට පට්ට නෝන්ඩියි. ගහන්න බහින්නෙත් බ්රේව් වැඩ්ඩෙක්ම තමයි. නැත්තං යුනිට් එකෙන්. . මේ ඒරීයා එකේ එකෙකුටවත් තාරවත්තෙ මගෙ පොට් එකට බැහැල ගහන්න මොරාල් නෑ.. යුනිට් එකෙන් බහින්නෙත් නෑ. මොකද මං ඇමතිතුමාගෙ ගේම් කීයක් ගහල දුන්නද.. මට ඕන වුනා නිලේටම දෙන්න. ඒකයි මං මේම මිසින් වුනේ. මං ඇතුලෙ නෑ මල්ලි මං ඉන්නෙ ටිකක් ඈත. හැබැයි ලංකාවෙ. මගෙ කොල්ලොවත් දන්නෑ මං ඉන්න තැන. උන්ව අරන් අහන්න පුළුවන් නෙ. මැරුවත් උන් නොදන්න දෙයක් කියන්න බෑනෙ. දැන් මට ඕන අලුත් ඩෑල්ලෙකක්. පුරේ සාටර් නැති කීයටවත් හිතන්ඩ බැරි අලුත් පොරක්. ඒකයි මං ඔයාව මේ වැඩේට බැස්සුවෙ. බය වෙන්ඩෙපා මං ඉන්නව ඔයාගෙ රෙකී එකට.... ඒනං අදට තියන්නං ඈ.. එතනින් ඒ කතාව කට් කරල මං ආයෙ නෝමල් වුනා.
හෙට සඳුදා. වැඩ ගොඩක් කරන්න තියෙනවා. අවිස්සාවේල්ල සෝන් එකේ ෆැක්ටරියකින් එවපු මැෂින් ටික හෙට යවන්න ඕන. හදල ඉවරයි කියල ලිස්ට් එක දුන්නෙ සෙනසුරාදා උදේ. ඒකට දාපු ස්පෙයාපාර්ට්ස් සහ සර්විස් චාර්ජ් ටික බිල් සෙට්ල් කරල පෙටිකෑෂ් එක හදන්න ඕන. තව රෑ නොවී ඒ කෝල් එක ඉවර වුන සැනින් බැහැල කාමරේට ආව. ලයිට් එක දැම්ම ගමන් ධර්මෙ අංකල් ඇවිත් ඇහුවෙ එනව දැක්ක පුතා යනව දැක්කෙ නෑ. මම කීප සැරයක් ඇවිත් බැලුවෙ කාමරේ තාම කලුවරේ ඇයි කියල. මම ආයෙ පාරට ගියා අංකල් කියල කතාව කෙටියෙන් ඉවර කලේ ඔලුව අවුල් ගොඩක හිරවෙලා වගෙ අමාරුවෙන්..
***************************************************
අශෝක ලියනගේ