නමක් සහ ගමක් (EP 6)
- Details
- අශෝක ලියනගේ
- namaksahagamak
- Hits: 495
උදෙන්ම නැගිටල නාල පාරට බැස්සෙ ටිකක් කලින් ඔෆිස් එකට යන්න. අද වැඩ ගොඩක් කරන්න තියෙනවා. අවිස්සාවේල්ල සෝන් එකට යවන මැෂින් ටික රී චෙක් කරල ගේට් පාස් දාන්න ඕන. හෙඩ් ඔෆිස් එකට වවුචර් යවල පෙටිකෑෂ් සෙට්ල් කරගත්තම ඔලුව නිදහස්. ලංකෙම් එක පහුකරන් යද්දි අපේ වැඩ ෆෝමන් මාත් එක්ක එකතු වුනා ගමනට.Good morning මිස්ට හේරත්...ආ.. ෆෝමන් මහත්තය.. Good morning..
උදෙම්ම එනවද අද..
ඔව්.. එදා ඕගොල්ලො වැඩ ඉවරකරපු මැෂින් ටික අද යවන්න ඕන.
ඔය වැඩේ ගන්න මට මාර කට්ටක් කන්න වුනේ හේරත් මහත්තයා. අර ඇලකන්දෙ ඉඳන් එන මදාවියෙක් ඉන්නව ඌට දාපු මැෂින් එක අතගගා හිටිය දවස් තුනක්. නැත්තං බදාදම වැඩ ඉවරයි. ඕකුන්ට කෑ ගහලත් බෑ. නලවලා වැඩ ගන්නත් බෑ..
ඒකනං ඇත්ත. ෂේප් එකේ වැඩේ ගන්න තමයි තියෙන්නෙ..
හේරත් මහත්තයට කියන්න එක දවසක් ඌ මට ගේම ඉල්ලුව කවුද පාතාල පොරක් අරන් ඇවිත්. පස්සෙ මම කෝල් කලා අපේ ජී. එම්. මිස්ට ජෙරාඩ්ට.. එවෙලෙම ආව. කෝම හරි ජෙරාඩ් මහත්තය වාහනේට නග්ගගෙන කතා කරල වැඩේ ෂේප් කලා. එදා ඉඳන් තවම කරදරයක් නෑ..
කෝම හරි අපිට පාඩුවෙ රස්සාව කරං ඉන්න ලැබුනොත් ඇති.
ඒ තරම් කරදරද ඒ ලමයගෙන්.. නිකම් ඉන්න වෙලාවක එන්නකො ඒ පැත්තටත් කියාගෙනම මම ගේට්ටුවෙන් ඇතුළු වෙලා මගේ ඔෆිස් එක පැත්තට හැරුනා. අත්සන් කරල ගාඩ් රූම් එකෙන් යතුර ඉල්ලගෙන ඉක්මනින් වැඩ පටන් ගත්තෙ නමේ වෙනකොටවත් මැෂින් ටික යවන්න බලාගෙන.එහෙන් එවපු ලිස්ට් එකට අනුව මැෂින් ටික ආයෙම බලල ට්රාන්ස්පෝර්ට් එකට බාරදුන්නා පොතෙන්... අදාල බිල් ටික සෙට්ල් කරල ඒ වැඩේ ඉවර කරද්දි නොදැනීම එකොළහත් වෙලා. කොග්ගලින් එවපු මැෂින් දොළහක් රෙපෙයාර් වලට බාරගත්තා ස්ටෝර්ස් වලට. ඒව මෙතනින් මැකැනිකල් එකට බාර දෙන්න ඕන ෆෝමන්ගෙන් අත්සන් අරන්. එයාට එන්න කියල පණිවිඩේ දීල බලං හිටියෙ පොඩි විවේකයක් ලැබුන නිසා..
ඔය අතරෙ සෙකියුරිටි අංකල් ත්රීවිල් එකකින් ආපු කවුදෝ කෙනෙක් එක්ක කතා කරල මිකැනිකල් එක පැත්තට ගිහින් වැඩ කරන කොල්ලෙක්ව එක්කගෙන ආව. කොල්ල අතේ පාර්සලයක් තිබුන නිසා මම ටිකක් විමසිල්ලෙන් බලං හිටියෙ. මගෙ ඔෆිස් එකේ ජනෙල් ටින්ටඩ් හින්ඳ උන්ට මාව පේන්නෙ නෑ. පාර්සලය අතට ගත්ත ත්රීවිල් මෑන් ගාඩ් අංකල්ටත් තට්ටුවක් දාල කීයක් හරි අතේ තියල ගියේ මගෙ හිතේ සැකේකුත් පැලකරලයි
.දවල්ට කාල හවස තිබුනු පොත් වල වැඩ ටිකත් ඉවර කරල කාමරේට එද්දි හය හමාරට විතර වුනා. ධර්මෙ අංකල් ටිකක් අසනීපෙන් වගෙ දැනුන නිසා ඒ පැත්තට ගිහින් බැලුවෙ මගෙන් මොනවහරි වෙන්න ඕනෙනම් කරන්න බලාගෙන. මේ කොළඹට ආපු දවසෙ ඉඳල මට ගොඩක් දේ කියා දෙන දැනට මගෙ ලඟම හිතවතා අංකල්. මේ කාමරය හොයා දුන්නු සංඛත් මේ මාස හතරටම ආවෙ දවස් දෙකයි.මිනිහත් ප්රයිවෙට් බෑන්ක් එකක මාතර බ්රාන්ච් එකේ වැඩ. ගෙදර එන්නෙත් සති අන්තෙ නිසා වෙලාවක් නෑ. හැමෝටම තම තමන්ගෙ වැඩ කරගහගෙන රේස් එකක දුවනව ඇරෙන්න මග හැරුණු තැන් ගැන හැරිල බලන්නවත් වෙලාවක් නැති තරම්. තව ටිකක් කලුවර වුනාම අදත් පටන්ගන්න ඕන තව නම්බර් කීපයකට කතා කරන්න. ආයෙ කියනකම් ඉඳල බැනුම් අහන්න බෑනෙ. දැන් තව දවස් ගානකට ඉවර නොවන පවරපු වැඩක් තියෙනවනෙ. එන ගමන් කඩෙන් තනිරූල් පොතක් ගත්තෙ මේව සටහන් කරගන්න හිතාගෙන..
ඒව හිත හිත අංකල් ඉන්න පැත්තෙන් ඇතුලට ගියේ පිට ඉඳන් කතාකරගෙනමයි.
... මොකෝ අංකල් කහිනව ඇහුන තුන් හතර වතාවක්...
... ඔව් පුතා දැන් දවස් හතර පහක ඉඳල පොඩි සෙම ගතියක් තියෙනව අද ටිකක් වැඩියි වගේ..
ඉතිං බෙහෙත් ටිකක් ගමු. යමුද..
බලමු පුතා තව දවසක්. මං මේ පස් පංගුව පැකට් එකක් ගෙනාව තම්බන්න. සිංහල බෙහෙත් වලට ඇඟ පත්තියං වෙලා පෙති කරල් අරහං මට..
හරි එහෙනං.. අංකල් ඕනකමක් වුනොත් කෝල් එකක් ගන්න. මං යනව ටෙරන්ස් එක ලඟ යාලුවෙක් ඉන්නව මීට් වෙන්න. අංකල්ට කෑම කොහොමද..
උයන්න කම්මැලියි පුතා. එනගමන් මටත් එක්ක ගේන්න එහෙනං.
ඉන්න මං කෑම ගෙනත් දීලම යන්නං. එනකොට රෑ වුනොත් අංකල් බඩගින්නෙ නෙ.
එහෙමම හංදියෙ රයිස් කඩෙන් චිකන් රයිස් දෙකක් දාගෙන එකක් දීල මං කාමරේට ආවෙ තව රෑ නොවී උඩට යන්න. එවපු පොත් දෙකෙන් පරණ පොත සහ මං ගෙනාපු තනිරූල් පොතයි පෑනයි ෆෝන් දෙකයි රයිස් එකයි වතුර බෝතලේකුයි බෑග් එකකට දාගෙන උඩට නැග්ගා
මේ බිල්ඩින් එකේ පිහිටීමත් මගෙ වැඩේට උවමනා විදියටම තිබීම මගෙ ආරක්ෂාවට ගොඩක් වැදගත් වුනා. ප්රධාන පාරෙ ඉඳන් අඩි දොළහක් විතර පළල පාරකින් මේ ඉඩමට එන්න තියෙන්නෙ. මීටර් විස්සක් විතර දුරක් ආවම පරණ තනි මහල් නිවෙසක් වන නමුත් පිටුපස කොටසේ නිවසටම යාව උස අඩි විසි පහක විතර කොන්ක්රීට් කණු මත අඩි දහය දොළහ වගේ ස්ලැබ් එකක් දාල ඒකෙ උඩ වතුර ටැංකිය තියන්න හදල එතනට ගොඩවීමට යකඩින් බිත්තියම සවි කරපු ඉනිමගක් තිබීම මගේ කාර්යයට ගොඩක් පහසු වුනා..
උඩට නැගල සුව පහසු විදියට කාඩ්බෝඩ් එකත් එලාගෙන ඉඳගත්තෙ අද්භුත ලෙස පවරන ලද මෙහෙයුම පටන් ගන්න හිතාගෙන. තවම බඩගින්නක් නැති නිසා තව පැයකටවත් කෑම ගැන වදවිය යුතු නැහැ. ෆෝන් දෙක වයිබ්රේට් ඇලර්ට් දාගත්තෙ එන කෝල්ස් ඇවිත් මං ඉන්න තැන ගැන අවට අයට අවධානය යොමු වෙන බව මතක් වුන නිසයි.
තවත් හතර දෙනෙකුට කතා කල අතර ඒ සියළු දෙනාම ඒ ගැන වැඩි දුර කතා කිරීමේ එකඟතාව මත සබඳතා අලුත් කරගත්තා. දැන් මටත් දැන ගන්න ඕන මේ මොකක් වෙනුවෙන්ද මම මේ කෝල් කරන්නෙ කියල. කුමක් හෝ නීති විරෝධී කටයුත්තක ඉත්තෙකු වී ඇති බව නම් පැහැදිලියි.
අද ඔහුගෙන් ඒමට පෙර මම කෝල් එක ගත්තා.හත් අට වතාවක් රින්ග් වීමෙන් පසුව ෆෝන් එක ගත්තා ඔහු.
හෙලෝ අයියෙ...
කියන්න බ්රදර්..
දැනට මම හත් දෙනෙකුට කතා කලා කවුරුත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ. මට මේ ගැන උන් එක්ක කෙලින් කතා කරන්න වෙන්නෙ මොනවද කියල මම දන්නෙත් නෑ.. විස්තරයක් නොදැන තව දුරටත් මේක කතා කරල වැඩක් නෑ අයියේ.. එක්කො මාව මේ වැඩෙන් අයින් කරන්න. නැත්තං මට හරියටම කතන්දරේ කියන්න...
පුළුවන් තරම් හිතට දහිරිය අරන් කියල දැම්මෙ මටත් මේ වැඩේ ඇති වෙලා නිසයි.. වෙන ඕනම දේකට මූණ දෙනව කියල හිතං කියල දැම්මට ජීවිත අවදානම මතක් නොවුනා නෙවෙයි
මල්ලී... දැන් සතියක් තිස්සෙ මම මේක ගානට කරං ආවනෙ. පොඩ්ඩක් කලබල නැතුව ඉන්නවා. මං අවශ්ය වෙලාවට තමුසෙව දැනුවත් කරන්ඩ තමයි ඉන්නෙ. හරි දැං තමුන් මැදින් පැන්නනෙ. මං පොඩියට කියන්නං ඒකෙන් නිකං අයිඩියා එකක් ගන්ඩ... හරි.. මේකයි වෙන්නෙ. ලංකාවෙ හැම ටවුන් එකකම එක එක ඉල්ලීගල් බිස්නස් කරන සෙට් දෙක තුනක් ඉන්නව.ඒවගෙම ඒ ඒ ඒරියා රන් කරන අන්ඩවර්ල්ඩ් පොරවලුත් ඉන්නව. උන්ට ඒවට බැක් කරන ඇමති වරු මන්ත්රී වරු ඒමත් ඉන්නව. ඒ වගෙම ඒ තගර්ලට ඔය ටවුන් වල හැම බිස්නස් කාරයම මාසෙට ගානක් දෙන්න ඕන. ඒකට ලෑලි තට්ටුවෙ පේමන්ට් එකේ පොඩි එකාගෙ ඉඳන් ෆුඩ් සිටි කාරය වෙනකං යටත්. නොදී නං බිස්නස් එක කරන්න වෙන්නෑ.. ඒම මග හැරපු දෙතුන් දෙනෙකුට මහපාරෙ මැරෙන්න උනාම අනිත් උන් බයටම දෙනවා.. මං ඔය මුළු ඒරියා එකේම ඒම කෂිලි වැඩ කරපු එවුන්ට ගේම ඉල්ලුවා. මේමයි මල්ලී.. ඕන සක්කිලි වැඩක පොඩි ජෙන්ටල්මන් ගතියක් තියෙන්න ඕන.ඒක නිකං හිඟන විදියට කලාම මේ ෆීල්ඩෙකම නෝන්ඩිනේ. ඉතිං මං ඒම මස්ත වැඩ කරපු හත් අට දෙනෙක් අයින් කලා සදහටම. ඊට පස්සේ ඔය බිස්නස් කාරයො මට කැමැත්තෙන් දෙන්න ගත්තා උන්ගෙ ආරස්සාව වෙනුවෙන්.. අන්තිමට මගෙන් ගේම ඉල්ලුවා ඒරියා තුන හතරෙම එවුන් එකතු වෙලා. උන් ඔක්කොටම මාව තමයි අයින් කරන්න ඕන වුනේ. මොකද උන්ගෙ කුජීත වැඩ වලට මං මාර ඇණේ වුනානෙ. අර මසාජ් පොට් එකේ ඩික්සන් කිව්ව කතන්දරේ ඇත්ත.. අලුතින් කෙල්ලො බස්සපු ගමන් උන්ට දීල ඉන්න ඕන. අන්තිමට පොට් එකට බිස්නස් එක කරගන්න නෑ උන් උස්සං යනව සැරින් සැරේට.. කොහුවල ඇග්නස් අක්කගෙ පොට් එක එතකොට බොරලැස්ගමුවෙ දහය කණුවෙ මාලක්කගෙ පොට් එකේ හැමදාම මේ පැමිණිලි. ඒව කවර් කරල දුන්නෙ මං.. මං මිසින් වුන ගමන් අලුත් පොරවල් ටිකක් බැහැල රඟනව දැන්. උන්ට ගේම ගහන්න තමයි මේ ප්ලැන් එක.. දැන් තේරුනාද
කෙනෙක් රවල බැලුවත් මුත්රා බර හැදෙන මගෙන්ද මේ ගේම ගස්සන්න හදන්නෙ කියල හිතද්දි මටම හිනා.. එහෙම පුළුවන් කමක් තිබුනනං මුලින්ම කරන්නෙ මගෙ ලෝකෙ වීරය මට අහිමි කරපු බාප්පව පරලොව යවන එක මං. මොකද අවුරුදු හතරක් යද්දි ඌ එලියට ඇවිත් තාත්තට අත්තා ලියාදීපු ඉඩමෙ කඩයක් බැන්ඳා. අපි මහ ඉඩමෙ පහළ කෙලවරේමයි තාම..
ඉතින් අයියෙ මම කොහොමද තනියම ඒව නවත්තල ඒ තැන් වලට ආරක්ෂාව දෙන්නෙ.. මම බොහොම අහිංසක මනුස්සයෙක්නෙ.
මලලී.. මේමනෙ. මම මේ ගේම් එකට ආයෙ එන්ටර් වෙලා කියල දැනගත්තම බිස්නස් කාරයො ෆෝම් වෙනවා. උන්ට ඒක තහවුරු වෙන්න තමයි මම උන්ගෙ හැම පොට් එකකටම කෝඩ් එකක් දුන්නෙ.. මොකද ඉස්සරත් මගෙ නම කියල ගාන කපන්න දෙතුන් දෙනෙක් සෙට් වුනා. උන් නෝන්ඩි වුනා කෝඩ් එක නිසා. ඔයා හෙට යන්න කිරුළපන පොලීසිය ලඟ බැංකුවට. ඒකෙ ඉන්නව සමරසිංහ කියල මහත්තයෙක්. ඔය අයිඩින්ටියට ඔයාට එකවුන්ට් එකක් හදාදෙයි. ඒකට කාඩ් එකක් ගන්න. අරන් ඔය කතා කරන උන්ට දෙන්න එකවුන්ට් නම්බර් එක. අපි බලමු මොකද වෙන්නෙ කියල.. සල්ලි දාන උන්ගෙ විස්තර ලියන්න අර පොත් දෙකෙන් අලුත් එකේ.. දිනේ දාල ගාන එක්ක වැඩේ පිළිවෙලට කරන්න... දැනට ඇති ඈ..
හෙට හරියටම දෙකට බැංකුව ලඟට ගිහින් ඉන්න.මං මෑන්ට කෝල් කරන්නං මල්ලි එනව කියල. තිබ්බ එහෙනං..
හරි අයියේ බුදු සරණයි..
එහා පැත්තෙන් පල් එකට දාන හිනාවක් ඇහුනා. බුදු සරණයි. හහ් හහ්..
හෙට දිනයේ විශේෂ රාජකාරියක් දැනට නෑ. අද කොග්ගල සෝන් එකෙන් ආපු මැෂින් ටික මැකැනිකල් එකට දාල ආපු නිසා ඒ වැඩේ තව දවස් තුන හතරක් ඇදෙනවා. හෙට අලුතින් ආපු මැෂින් ටිකක් පානදුරේ මාස් ලංකා එකට යවන්න තියෙනවා. ඒක උදෙන්ම යවල දැම්මම හදිසි වැඩ ඉවරයි. බත් එකත් කාල එතනම ඉඳන් කල්පනා කලේ මගෙ ජීවිතයේ වෙන්න යන මේ පෙරළිය ගැන. අම්මා මාව කැම්පස් යවන්න සෑහෙන්න දුක් වින්ඳා.. තාත්තට උරුම වුනු ඉඩම් වල ආදායම පවා බාප්පා බුක්ති වින්ඳා. අත්තා වවල තිබුනු කරාඹු ගස් වල ආදායම තාත්තා දෙකට බෙදල දුන්නට බාප්ප ඒව තනියම විකුණගත්තා.. පහළ බෑවුමේ තේ දලු ටික අම්මා කඩාගත්ත නිසා යන්තම් අපේ වියදම් පිරිමැහුනා... ඒ අතර මම විටින් විට අසනීප වුනා. අම්ම කියනව මම තනියම කතා කරනවලු ඉස්සර තාත්ත එක්ක. මුලින් ඒකට ගුරුකම් වැඩ කරන්න පිළිමතලාවෙ ගුරුණ්නාන්සේ කෙනෙක් ලඟට ගියා මතකයි මටත්. හෑපානෙ දවුලගල පැත්තෙ තවම ඒ ගුරුකම් පරම්පරාවල් තියෙනවා. පස්සෙ පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා මේ මෑතක් වෙනකම්ම.
මේව කල්පනා කර කර ඉන්නැද්දි නිදිමතයි. පොත්පත් ඔක්කොම බෑග් එකට දාල ටැංකිය අස්සෙ ගහල ෆෝන් දෙක විතරක් අරන් ආයෙ ආව කාමරේට. ධර්මෙ අංකල් නිදි වගේ.. හීනියට ගොරවනව ඇහෙනව ඇතුලෙන්.. අද දවසත් ගෙවුනා මේ විදියට
උදේම ඇහැරිලා නාල එහෙම අංකල්ට කතා කලේ මෑන්ගෙ අසනීපෙ ගැන අහන්න. දෙතුන් පාරක් දොරට ගැහුවම නැගිටල ඇවිත් දොර ඇරියා.
මොකද අංකල් මූණත් එක්ක තඩිස්සි වෙලානෙ.
නෑ පුතා මේ සෙමට..
සෙම කිය කිය බලං ඉන්න බෑනෙ. මං දවල්ට එන්නං හාෆ් ඩේ දාල. බෙහෙත් ටිකක් ගමු. කියල මම ගෑස් එක ගහල වතුර එකක් තිබ්බෙ පස් පංගුව ටිකක් තම්බල බොන්න දීලම යන්න.
ඔෆිස් එකේ අද එහෙමට හදිසි වැඩක් නැති නිසා හෙඩ් ඔෆිස් එකට කතා කරල වරුවක නිවාඩුවක් දැම්මෙ දෙක වෙද්දි කිරුළපනට යන්න ඕන නිසා. එකට කාලක් තියා බෝඩිමට ඇවිත් බලද්දිත් ධර්මෙ අංකල් නිදි. ඇත්තටම මේ මනුස්සයා ඉන්න තත්ත්වෙ ඒ තරම් හොඳ නැති බවනං පේනවා. හවසට බලෙන් හරි එක්කගෙන යන්න ඕන බෙහෙත් ටිකක් අරන්දෙන්න
කොහුවල කැළණිය බස් එකක නැගල කිරුළපන හංදියෙන් බහිද්දිම දෙකට පහයි. බස් වල ගමන එපා වෙනව ඉතින්.. YMBA එක ලඟයි RMV එක ලඟයි නාරහේන්පිට ආසිරි එක ලඟයි විනාඩි හතලිස් පහක් නවත්තගෙන හිටියා.. තිඹිරිගස්යායෙන් එකසිය විස්සට දැම්මමයි ටිකක් ස්පීඩ් කලේ.. දැන් ටිකක් කොළඹ පාරවල් හුරුයි ස්ටෝර්ස් එකේ ඩිලිවරිය ගිහිල්ලම. ඈත යන එවට කට්ටිය යැව්වම ලඟ ලඟ බඩු බාර දෙන්න මමත් යනව.
අදාල බැංකුවට ගිහින් සෙකියුරිටි කෙනෙක්ගෙන් සමරසිංහ මහත්තයාව අහගෙන එයාගෙ ඉස්සරහින් වාඩි වුනා
මිස්ට සමරසිංහ.. මම අර තාරවත්තෙ හේමන්ත...
ආ හරි හරි.. මට කෝල් එක ආව. මට මෙන්න මේ ෆෝම් දෙක ෆිල් කරල දෙන්න. මේ කාඩ් එක පුරවනකොට ඒකෙ එක වරකට ගන්න මුදල ලක්ෂ දෙකක් කියල දාන්න..
මං එතනම තියල ඒක පුරවල දුන්නා. එයාම ගිහින් ඒ වැඩ ටික කරල මට ATM කාඩ් එකත් අතටම ගෙනත් දීල මගෙන් අත්සන අරන් වැඩේ ඉවර කලා. දැන් මට උස් ලියනගේ රන්දික අමරසිංහ නමින් බෑන්ක් එකවුන්ට් එකක් සහ බෑන්ක් කාඩ් එකක් තියෙනවා. අයි ඩී එකක් තියෙනවා.. එන්න එන්නම මගෙ අනන්යතාව නැති වෙලා රන්දික උඩට එනවා. සුද්දා කියන විදියට මම මේ ගේම් එකේදි කොළඹ සියළු දෙනා සමග සබඳතාව පවත්වන්න ඕන මේ නමින්.
කාමරේට ගියත් වැඩක් නැති එකේ ඔලුවට ආව නාවල පැත්තට යන්න ඕන කියල. කොස් වත්ත හංදිය කිට්ටුවනෙ ඩික්සන් ගෙ තෙරපි සෙන්ටර් එක තියනව කීවෙ.
කවදාවත් ඒකක් ඇතුලට ගිහින් නැති මං ඒ ලග තියෙන තේ කඩේකට ගොඩ වැදිල බීම එකකුයි රෝල්ස් දෙකකුයි ගත්තෙ එතන ටිකක් රැඳෙන්න ඕන නිසා. ඔෆිස් බෑග් එකක් එක්ක පිලිවෙලට ඇඳපු මං ගැන සැක හිතන්න කාරනාවක් නැති නිසා මට බයක් දැනුනෙත් නෑ.. මම හිටපු විනාඩි පහලොවක් විස්සක් වගෙ කාලයට එතනින් ඇතුලට හෝ පිටට කවුරුත් ආවෙ ගියෙ නැති නිසා මං ආපහු යන්න නැගිට්ටේ මටම හිනා වෙමින්. කිසිම තේරුමක් සහ අරමුණක් නැති ගමනක් මේ ආවෙ කියල. හෙමීට ඇවිදගෙන ප්රධාන පාර පැත්තට ආවෙ එතනින් බොරැල්ල බස් එකක් ගන්න හිතාගෙන. ඒ එද්දිම වේගෙන් ආපු ත්රීවිලර් එකක් මං බලාගෙන හිටි ස්පා එකෙන් කලබලෙන් එලියට ආපු කෙල්ලක් නංවාගෙන ඉගිලුනා. මට සැනින් මතක් වුනා ඩික්සන් කියූ සිද්ධිය. මම හෝල්ට් එකට ටිකක් එහාට ගිහින් කෝල් එකක් ගත්තා ඔහුට. හෙලෝ. ඩික්සන්..
ඔව් කතා කරනවා..
මං රන්දික.. තාර වත්තෙ
ආ හරි බොස්... මේ වෙලාවෙ
මොකද වෙන්නෙ ඔතන.. දැන් මොනා හරි සීන් එකක් වුනාද
ඔව් බොස් මේ දැනුත් වැඩකට දාල හිටපු එකක් ඉස්සුවනෙ. ආයෙ මේ වෙලාවෙ හිටපු එක කස්ටම කෙනෙක්වත් එන්නෑ ඕම වුනාම.....
මම මේ ගේම් එකේ ඉන්නෙ දැන්.. අපේ පරණ නෙට්වර්ක් සිස්ටම් එක ආයෙ හදන ගමන් මේ.. මට දැන් ආව විස්තරේ.. කතන්දරේ ඇත්තද බලන්න ගත්තෙ..
ලොකු දෙයක් බොස්.. ඕම ඇලට් එකේ ඉන්නව කියන්නෙ අපි සේෆ් කියල දැනෙනව දැන්..
හරි මම රෑට ගන්නං..
එහෙම කියල කට් කලේ බස් එකක් ආපු නිසා. මම පොඩි රඟපෑමක් දාල බැලුවෙ ඩික්සන්ගෙ විශ්වාසය මං ගැන තහවුරු කරගන්න.
වටේ දාල කාමරේට එද්දි පහත් පහු වෙලා. බලෙන් වගෙ සූදානම් කරවගෙන ධර්මෙ අංකල්ව හංදියෙ ඩොක්ට ගාවට අරන් ගිහින් බෙහෙත් අරන් දුන්නෙ ඒක මගෙන් මේ වෙලාවෙ වෙන්න ඕන යුතුකමක් කියන හැඟීමෙන්. ඩොක්ට කියපු විදියට සෙම නරක් වුනොත් ටිකක් සීරියස්. මොකද මෑන් දවසට සිගරට් දහයකට වඩා බොනව.බෙහෙත් දෙන්න තියෙන්නෙ උදේටයි රෑටයි විතරක් හින්ඳ මං ගාවම තියාගත්ත. නැත්නම් ශුවර් නෑ බොයිද කියලත්. අදත් රෑට කඩෙන්ම තමයි. ස්ටේෂන් එක ලඟ මුස්ලිම් හෝටලෙන් රයිස් ඇන් කරි පාර්සල් දෙකක් ගෙනාව අංකල්ට කටට සැරට කන්න ඕන කිව්ව නිසා. එතන මිරිස් කරල් තුන හතරකුත් බැදල දෙන හින්ද අල්ලල ගියා කෑම එක. කනකං ලඟම ඉඳල බෙහෙත් ටිකත් බොනකම් ඉඳලම කාමරේට ආවෙ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන....
***************************************************
අශෝක ලියනගේ