අවසාන දිගහැරුම..
 
උදෙන්ම ධර්මෙ අංකල් ව එක්කගෙන ජෙනරල් හොස්පිටල් එකට ගිහින් අර ඩොක්ට ගෙ නම කියල ඇහුවම ඒ කාමරය පෙන්නුවා. ඊයෙ ගත්තු රිපෝට් ටිකත් එක්කම ආයෙ බලල නර්ස් කෙනෙකුට කතා කරල එයාගෙ වාට්ටුවෙ ඇඩ්මිට් කෙරෙව්වේ මාත් එක්කම ගිහින්. දවල්ට බලන්න එන්නම් කියල මම ආව කාමරේට.
හොස්පිටල් එකකට ගිහින් ආවම මට වොෂ් එකක් නොදා හරියන්නෑ හිතට. ඒ හින්ඳා ඒ ඇඳපු ඇඳුම් ටිකත් සෝදලම වොෂ් එකක් දාල ඇඳේ ඉඳගෙන කල්පනා කලා අද දවස ගෙවන විදිය. මතක් වෙන්නෙම අර භාණ්ඩෙ ගැනමයි. දවල්ට අංකල්ට කොට්ටෙකුයි ප්ලාස්ක් එකයි සරමකුයි ගෙනියන්න මට යතුර දීල එව්ව එකේ මට ඉවසන්න බැරි ආශාවක් ආව ඒ පිස්ටල් එක ආයෙ බලන්න.
දොර ඇරන් ඇතුලට ගිහින් දවල්ට අරන් යන්න අවශ්ය කලමනා ටික පැත්තකින් තියල මගෙ මෙහෙයුමට සූදානම් වුනා. ඊයෙ අංකල් ගිය කාමරේ මට මතකයි. ඒක පරී්ක්ෂා කරන්න පටන්ගත්තා. ඇඳයි අල්මාරියයි ඇඳුම් රැක් එකයි විතරයි කාමරේටම තිබුනෙ. අල්මාරිය වහල නිසා මගේ මහන්සියෙන් වැඩක් වුනේ නෑ කියල හිතන් යන්න හැරෙද්දි දැක්කා බිත්තියෙ ඇනේක එල්ලාපු ඊයෙ ඇඳන් හිටි ෂර්ට් එක. නිකමට සාක්කුව බලනකොට අල්මාරියෙ යතුර ඒකෙ තිබුනා. මුළු අල්මාරියම පෙරලුවත් මට ඒක හොයාගන්න බැරිවුනා. අංකල් තියන තැන වෙනස් කරන්න ඇති. ඒත් ඒම කරන්න හේතුවක් නෑනෙ. අද හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තියෙන නිසා හිතන්න ඇති මම හොයයි කියල.. බලාපොරොත්තු කඩ කරගෙන කාමරෙන් එලියට ආවෙ වෙන කොහේ තියයිද කියන අනුමානයෙන්. ඒ විදියට මුළු ගෙයම සෝදිසි කලත් මට පිස්ටල් එක හොයාගන්න බැරිවුනා. මම ආයෙත් මට සැක හිතෙන කාමරයෙ ඇඳ උඩ ඉඳගෙන සියුම්ව බැලුවා හැමතැනම
ඒ අතර තමයි දැක්කෙ ඇඳ විට්ටමට අඩි දෙකක් විතර උඩින් බිත්තියේ අලුත සටහන් වුන අඩි සටහනක්. අඩි සටහනක් කිව්වට වම් කකුලක ඇඟිලි ටික විතරයි බිත්තියෙ ලාවට හිටල තිබුනෙ. ඒ කෙලින් උඩ බලනකොට දැක්කා එතන තියෙන පරණ ලොකු බිත්ති ඔරලෝසුව ටිකක් සෙලවිලා වගෙ. එකම තැන තියෙද්දි හිටින පාර මතු වෙලා දශමයක වගෙ එහාට ගිය වගක්. අංකල් ඊයෙ රෑ ඔරලෝසුව බිත්තියෙන් ගලවල සවි කරල වගෙ. මමත් ඒක ගලවල අතට ගත්තෙ යම් සැකයක් හිතට නැගුණු නිසා. ඒත් බිත්තියෙ කවුලුවක් හෝ සිදුරක් තිබුනෙ නෑ. අවසාන නිගමනයත් වැරදුනු මම ඔරලෝසුව එතනම එල්ලන්න හදද්දි ඒකෙ අසමාන බර ගැන හිතුනා. පරණ ගෙවල්වල බට්ට වැනෙන පෙට්ටි ඔරලෝසුව ඇතුලෙ මම හොයපු පොඩි පෙට්ටිය බොහොම සූක්ෂමව හංගල තිබුනා. ඔරලෝසුව තිබුන විදියටම එල්ලල දවල්ට ගෙනියන්න ඕන ඇඳුම් කලමනා ටිකත් අරගෙන ඉක්මනට ඒ පැත්ත වහල කාමරේට ආවෙ මහා හොරකමක් කරල වගේ ගැහෙන හිතින්.
දොරයි ජනේලයයි ලොක් කරගෙන පෙට්ටියෙන් ඒ හුරුබුහුටි ගිනි අවිය අතට ගත්තෙ පොඩි එකෙකුට තමන් කැමති හොඳම සෙල්ලම් බඩුව අතට ලැබුනා වගේ සතුටකින්. හොඳට තෙල්ගාල පොලිතින් කොලයක ඔතල තිබුන නිසා අලුත්ම එකක් වගේ. මම පරන ටී ෂර්ට් එකකින් හොඳට පිහදැම්මා ඒක. අංකල් කියපු විදියට උඩ කොක්ක මහපටැගිල්ලෙන් පාත් කලාම බැරල් එක පැත්තකට පාත් වුනා. මං අර පිත්තල පාට පතුරම් හයක් දැම්මා ඒකට.. ගස්සල උඩට ගත්තම ටස් ගාල සද්දයක් එක්කම ලොක් වෙනවා. හතර පස් වතාවක් ඒක කරල බැලුවෙ අතට හුරු වෙන්න.. ඊලඟට අර බට කෑල්ල සවි කරලත් බැලුවා. ටිකක් හුරු වුනාම තේරුනා මේක ඒතරම් වැඩක් නෙවෙයි කියල. ඒත් දැන් මේකෙන් වැඩ ගන්න හුරු වෙන්න නම් ෂූට් කරන්නම ඕන. ඒක කරන්නෙ කොහොමද. මහ පාරෙ මේක අරන් වෙඩි තියන්න පුළුවන් පාලු තැනක් හොයාගෙන යන්නෙ කොහොමද. ඒ වැඩේ ටිකකට කල් දාල පෙට්ටිය පිටින් මගෙ ඇඳුම් බෑග් එකට දැම්මෙ දවල්ට ලෙඩ්ඩු බලන වෙලාවට අංකල්ව බලන්න යන්න සූදානම් වෙන්න ඕන නිසා..
මං යද්දි අංකල් නිදි. රෙදි ටික ඇඳෙන් තියද්දි නැගිටල ඉඳගත්තා. මාව බලන්න එන්න කෙනෙක් නෑනෙ පුතා. ඉතින් මං මෙහෙන් දෙන කෑම එක කාල නිදාගත්ත කිව්වම පපුවට අමුතු දුකක් ආව. මට මගෙ තාත්තට සළකන්න ලැබුනෙ නෑ.. දවස් තුනක් මට නිවාඩු නිසා මේ යුතුකම කරන්න හිතාගත්තා. අංකල් ඔපරේෂන් එකක් කරනවලු. ප්රෙෂර් ෂුගර් නෝමල් වෙනකම් දවසක් වගෙ කල් දාන්න වෙයි කියල වෝඩ් එකේ නර්ස්කෙනෙක්ගෙන් ඇහුවම කීවෙ. පේෂන්ට්ගෙ ලගම නෑය විදියට මාව දැනුවත් කලා එයාල..ආයෙ හවසට එන්න ඕන නෑ පුතා හෙට දවල්ට එන්න කියල අංකල්ම කීව නිසා එයාගෙ පරණ රෙදි ටිකත් බෑග් එකේ දාගෙන මම ආයෙම කාමරේට ආවෙ හවස කරන්න ඕන වැදගත් වැඩක් හිතින් ප්ලෑන් කරගෙන. දවසක් තිඹිරිගස් යායෙ පයිෆ් රෝඩ් එකේ පොඩියට කරන ගාමන්ට් ෆැක්ටරියක මැෂින් වගයක් බාරදෙන්න ගිය දවසක ඒ ලඟ නොතාරිස් කෙනෙක් අඳුනගන්න ලැබුනා. එයාගෙ මැෂින් දෙකක් මං හදවල දුන්නා කොල්ලෙක්ව අපේ වර්ක්ෂොප් එකෙන් යවල. ඒකට ඕන පාර්ට්ස් වගයක් නැතුව අපේ ලේත් මැෂින් එකෙන්මයි ලියවල දුන්නෙත්. සල්ලි දෙන්න හැදුවට මං ගත්තෙ නෑ. එයාව මුණගැහෙන්න යන්න ඕන කමක් තියෙනව අද.
වෙලාවට මං යනකොට කවුරුත් හිටියෙ නැති නිසා නොතාරිස් මහත්තය එක්ක නිදහසේ කතා කරන්න ලැබුනා. මටත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ආසාවක් තිබුන නොතාරිස් කෙනෙක් වෙන්න. ඒත් පහු වෙනකොට ඒ ආසාව අමතක වෙලාම ගියා. අපේ මහ ඉඩම් වල අවුල් නිසාම මට නොතාරිස් කෙනෙකුගෙන් දැනගන්න බොහොම කාරනා තිබුන නිසා විවේක වෙලාවට මෙතනට එන්න හුරු වුනා. ඒත් කවදාවත් මගෙ නම ගම විස්තර එයා ඇහුවෙත් නෑ මං කියලත් නෑ. මං ඔරුගොඩවත්තෙ මැෂින් කොම්පැණියක වැඩ කරනව කියල විතරයි කියල තිබුනෙ. අවශ්ය කාරණාව කියල ගණුදෙනුවත් කතා කරගෙන මං කෑම එකුත් අරන් කාමරේට ආවෙ මගෙ වදකාරයට කතා කරන්න හිතගෙන. දැන් මම අර පොතේ තියෙන නම්බර්වලින් බාගයකට වැඩිය කතා කරල සම්බන්ධ කරගෙන.
කොහොම වුනත් හිතට පොඩි බයක් තියෙනවා අර අලුතින් වැඩ පෙන්නන පාතාල කෙරුමා ගැන. උන්ගෙ ජාලය හරි සියුම්. හරියට තාරවත්තෙ සුද්දා මාව දැලක පැටලෙව්වා වගේ මූත් මාව කොහොම හරි හොයාගනීද කියල. රෑට කාල අංකල්ගේ පැත්තට ගිහින් නිදිමත එනකම්ම ටී වී එක බලල ඇවිත් ඇඳේ වැටිල විනාඩි ගානෙන් නින්ද ගියා.
අදත් උදේ අංකල්ගෙ පැත්තට ගිහින් එයාට ඕන ඇඳුම් ටිකකුත් අල්මාරියෙන් අරන් බෑග් එකේ දාගත්තෙ දවල්ට ගිහින් දෙන්න. කෑම මොනවත් ගේන්න එපා කියල වෝඩ් එකේ නර්ස් කියපු නිසා හදන්න මහන්සි වුනේ නෑ. හෙමීට සූදානං වෙලා යද්දි ලෙඩ්ඩු බලන වෙලාව හරි. අංකල් අදනං ඇඳේ ඉඳගෙන මග බලං හිටියා. ලඟට යද්දි ඒ ඇස් වල මහා අසරණ කමක් දැක්කෙ. ගෙදරින් ආවම ඩොක්ටව මීට් වෙන්න කිව්වලු. මම ගිහින් ඩොක්ටගෙන් ඇහුවම තමයි කීවෙ ලෙඩාව ඔපරේෂන් එකට හෙටම ගන්නව කියල. එයා අත්සන් කලේ නෑලු මං එනකං.ස්පෙෂලිස්ට් ව චැනල් කරලම ආපු නිසා විශේෂ සැළකිලි ඉතින්. මම ඩොකියුමන්ට් එක ඉල්ලගෙන ගිහින් මගෙ බෑග්එකේ තිබුන ෆයිල් එක ඇතුලෙ දාගෙන වෝඩ් එකට ආවෙ අංකල්ට ලෙඩේ සනීප වෙන්න නං මේක කරන්නම වෙන බව තේරුම් කරන්න හිතාගෙන. ඒත් අංකල් බය වෙලා ඔපරේෂන් එකට අත්සන් නොකලා නෙවෙයිලු. මම එනකම් හිටියලු වඩාත් හොඳනිසා. තමන්ගෙ කියල දැනෙන කෙනෙක් එක්ක කතා කරලම අත්සන් කරන එක හිතට සහනයක් කීවම මට මහා දුකක් දැනුනා.. ඒ කතාව අතර අංකල් අත්සන් කීපය දාල දැම්මා. මං ඒක ඩොක්ටට ගිහින් දුන්නා. ආයෙ හවසත් බලන්න ගියේ සුදු සරමක් ඕන කියපු නිසා ඒකත් අරගෙන.
පුතා මට සිහිය ඒවි නේද.. නාවොත් ඔයා අර අල්මාරියෙ ලොකු ලාච්චුවෙ තියෙන ඩයරියෙ රතු පාටින් ලියපු ඇඩ්රස් එකට ගිහින් මං ගැන කියන්න හැම විස්තරේම. ඒ මංතරුණ කාලෙ ආදරේ කරපු කෙනා. එයා විතරයි ඉඳහිටවත් මාව හෙව්වෙ. අල්ලපු වැටේ පන්සලේ හාමුදුරුවන්ටත් කියන්න පුතා. ඉස්සරහ කඩේ අයටත් කියන්න. මම ණයට බඩු ගන්නෙ එතනින්නෙ.. හරි අංකල් කියල මං ඒ අහිංසක හිත සනසල ආපහු කාමරේට ආවෙ බොහොම හිතේ වේදනාවෙන්..
කාලෙකින් ආවෙ නැති හිසේ කැක්කුම අවුරුදු ගාණකින් අද දැනෙනව මට. ඒත් පන්සලට ගිහින් කිව්වා ලොකු හාමුදුරුවෝ මුණ ගැහිල විස්තරේ. උන් වහන්සේ බොහොම දුක් වුනා ඒ ගැන. ඒ වගෙම මට ගොඩක් ස්තුති කලා කුලියක් ගෙවාගෙන හිටියත් දරුවෙක් ඤාතියෙක් වගේ කරන යුතුකම් වලට. බුදු ගෙට ගිහින් බුලත් කොලේක ඔතපු පිරිත් නූලක් දුන්නා හෙට ගියාම අතේ බඳින්න කියල. මම ඒක අරන් ඇවිත් අංකල්ගෙ පැත්තෙ බුදු පහණ ලඟින් තිබ්බේ බොහොම ගෞරවයෙන්.
රෑට කාල වේලපහින්ම කාමරේට වෙලා ටිකක් නිදාගන්න උත්සහ කලේ හිසරදේ නිසයි. එක පාරටම දොරට ගහන සද්දෙට උඩ ගිහින් ඇහැරුනා. මට නොදැනිම නින්ද ගිහින්. කවුද මේවෙලාවෙ. ඉසේ සිට දෙපතුලටම දාඩිය වැක්කෙරෙන්න ගත්තේ මට තියෙන තර්ජනය සිහිවෙලා. දෙවියනේ මුං මාව හොයාගෙනනෙ මේ අමාරුවෙ මාව දැම්මෙ අර පාතාලය. ඉබේටම බෑග් එකේ සයිලන්සර් එකත් සවි කරලම තිබුන ත්රී එයිට් එක අතට ආව. ඒකත් අරගෙනම ජනේලෙ හෙමීට ඇරල බලද්දි මගෙම ඇස් විශ්වාස කරන්න බැරි වුනා.. ධර්මේ අංකල් ඇවිත්. මේ මනුස්සයා හොස්පිටල් එකේ නේද ඉන්න ඕන. මං පහටත් බලලනෙ ආවෙ.
... පුතා දොර අරින්න.. මම මම.. ධර්මෙ අංකල්.. කටහඬත් හඳුනගත්තට පස්සෙ මම දොර ඇරියෙ හිතාගන්නත් බැරිව. මේ මොකද අංකල්... අනේ පුතා මට බෑ ඔපරේෂන් එක කරන්න. උං මාව මරන්න හදන්නෙ. මං පැනල ආව.. කිව්වා. එතකොට අංකල් ආවෙ කොහොමද. වාහන කීපයකම ආව. බස් එකෙන් කනත්ත හංදියට ආව. එතනින් කැන්ටර් එකක එල්ලිල බොරැල්ල හංදියට ඇවිත් පයින්ම ආව..
හා හා කතා කරමු පස්සෙ.. කියල මං ගිහින් ඒ පැත්ත ඇරල අංකල්ව ඇතුලට ගත්තා.. මොකක්ද අංකල් මේ කරපු මෝඩ වැඩේ.. ඔයාට ඉක්මනින් ඔපරේෂන් එක කරන්න ඕන කීව නේද. අවදානම් නිසානෙ එහෙම ඉක්මනට ගන්නෙ...
නෑ පුතා මට බෑ ඒක කරන්න. මේ හිටපු විදියටම ඉඳල මැරිල යනව.. වෙලාව රෑ එකොළහයි.. දැන් මොනවත් කරන්න දෙයක් නෑ. හෙට උදේම කතා කරල කරන්න ඕන දේ ගැන තීරණය කරන්න හිතාගෙන අංකල්ව ඇඳට දාල නිදාගන්න ඇරල මම කාමරේට ආවෙ මොනවත් හිතාගන්න බැරුව.
මේ කරදර ඉවර වුනාම අම්මව බලන්න යන්න ඕන.. මේ මාස පහ ඇතුලෙ මොන තරම් දේ වුනාද ජීවිතයට.. මේ කාමරේට ආපු මම නෙවෙයි මේ දැන් ඉන්නෙ.. මගෙ නම, මගෙ අනන්යතාවය සියල්ල අහිමි වෙනස්ම පුද්ගලයෙක් බවට මාව පත් වෙලා..
***වසර තුනකට පසු........
මිස්ට සම්පත්..
යර්ස් මිස්ට අතුකෝරල..
මේ ලෑන්ඩ් එකේ තිබුන පරන බිල්ඩින් එකට මොකද කලේ..
ආ.. ඒක ඒ දවස් වලම කඩල ලෑන්ඩ් එකම ඩෝසර් කරල ෆ්ලැට් කලානෙ...
ඒක ඒ තරම් පරණ නෑනෙ..
නෑ මිස්ට අතුකෝරල ඒකෙ මහ අමුතු බූත වැඩ වෙන්න ගත්ත කියල අවට මිනිස්සු කම්ප්ලේන් කලා පොලිසියට. සමහර විට ඩ්රග්ස් ගන්න කොල්ලො රෑට ඕක අස්සෙ ඉන්න ඇති. මෙච්චර ජනාකීර්ණ ටවුන් එකක මොන හොල්මන්ද...
අඩු තරමින් මේකෙ මරණයක්වත් වෙලා නෑ. මේකෙ මුල් අයිති කාරය හොස්පිටල් එකේදි නැතිවෙලා. කාත් කවුරුත් නැති නිසා ගවමන්ට් එකෙන්මයි කටයුතු කරල තියෙන්නෙ.. මරණෙවත් ගෙදරට ගෙනත් නෑ. බාරගන්න කෙනෙක් නෑනෙ. අපි ගත්තූ මහත්තයට විකුණල මැරෙන්න කලින්. මිනිහ ණය වෙලාලු ඉඳල තියෙන්නෙ වටේටම. කැෂිනෝ වලට ඇබ්බැහි වුන කෙනෙක්ලු.
හා.. හා.. මට මතකයි ඉස්සර මම මේ පාරෙන් පෙට්රෝලියම් එකට යද්දි මේක දකිනව ඒකයි ඇහුවෙ. හරි එස්කැවේටර් එක මෙතනට ගන්න කියන්න. බේස් වලවල් කපන නැකතට තව පැය බාගයක් වගෙ තියෙන්නෙ...
ඔව් ඔව්.. ඒක රෙඩී. ආකිටෙක් මහත්තයා ලෑන්ඩ් එකේ මාර්ක් කරපු තැන් වල කූඤ්ඤ ගහල ලණු ඇදලත් ඉවරයි...එන්න මිස්ට අතුකෝරල
අපි පහන පත්තු කරල ඒ වැඩ ටික පටන් ගමු...
මිස්ට සම්පත්, ඔයාලගෙ කන්ට්රක්ෂන් කම්පැණි එක ගැන මං වෙරි හැපි. ඔයාල මට මාර සර්විස් එකක් දෙනව මේ වැඩේට. තෑන්ක්ස් මිස්ට සම්පත්..ඒක මොකක්ද මිස්ට අතුකෝරල. අපේ කස්ටම කෙනෙකුට හොඳටම සැටිස් වෙන්න සර්විස් එක දෙන එකම තමයි අපේ බිස්නස් තීම් එක. එහා පැත්තෙ පන්සලේ හාමුදුරුවො වැඩමවලා ඉන්නෙ නැකතට පිරිත් දේශනාවට.. තව විනාඩි පහයි ඔබතුමා උදැල්ලෙන් පලවෙනි පස් පිඩැල්ල කපන්න..
හරි එහෙනම්.. මිස්ට සම්පත් මම යන්න ඕන බෝඩ් මීටින් එකක් අපේ කෝපරේෂන් එකේ.. ඔයා වැඩේ සුපවයිස් කරනවනෙ මෙතන..
ඕ.. කේ.. මිස්ට අතුකෝරල ඔයා යන්න. අපි මෙතන වැඩ ටික බලාගන්නං..
සර්... මෙතන පරන ටොයිලට් වලක් වගේ.එස්කැවේටර් රියැදුරුගේ හඬ ඒ.. බකට් පාර වදිනකොට කොන්ක්රීට් ලෑල්ලක් වගෙ දැනෙනව..
එක්ස්කැවේටර් එක කඩං බහියි ඒක පස්සට අරන් ආම් එක දික්කරල කඩන්න බලන්න.. ඔතන බේස් වලක් එනව නේද..
ඔව් සර්.. හරි. ඒක පරණ වලක් මොකද කරන්නෙ..
කෝ අර ටිපර් එක මෙතනට රිවස් කරන්න..
හා සර්..
දැන් බකට් එකෙන් කඩ කඩ අරන් ඔහොමම ටිපර් එකට ලෝඩ් කරන්න. වලත් ගන්න ඔහොමම. දැන් ගොඩක් පරණ නිසා ජරාවක් නැතුව ඇති..
සර්... සර්... ඔලු කට්ටක් වගෙ එකක් ආව බකට් එකට..නළල හරියෙන් සිදුරකුත් තියෙනව.
හා.. හා.. කෑගහන්න එපා බං. කෝ බලන්න.. ඇත්තනෙ.. තව බලන්න..
සර් ඇට සැකිල්ලම තියෙනව වගෙ.. දිරපු පෝර බෑග් එකක වගේ තියෙන්නෙ.. ටිපර් එකේ එකා දැක්කෙ නෑ නේද.. නෑ සර්.. එහෙනං ඔහොමම ලෝඩ් කරල තව පස් ටිකක් දාපං උඩින්.. අපේ අර ගොඩ කරන ඉඩමටනෙ දාන්නෙ. ඩ්රයිවර්ට නෝන්ඩි නොවී පටවපං හාරල හොඳට. ඕව දැක්කොත් අතුකෝරල කාරයට ප්රජෙක්ට් එකම එපාවෙයි.. ආ මේක තියාගනිං
සල්ලිනං මොනවද සර්.. සර්ලගෙ හැම සයිට් එකකම වැඩ මට දෙන එකම මදෑ..
මේව කවද වුන දේවල්ද දන්නෑ බං. ඕවෑ කාබන් ටෙස්ට් කරල නඩු ගිහින් වැඩ වවා ගන්නවට වඩා ඕව පස්වලටම යටකරල දාමු බං..
ඔව් සර්... අවුරුදු ගනං පරන වෙච්ච කවුරු හොයන්නද...
මේ ඉඩම අපේ බොසා ගත්තෙ කෝටි තුනකට.. බොරැල්ලෙ ගෝතමි පුර පැත්තෙ මහත්තේකුගෙන්.. රන්දික අමරසිංහ කියල.. ඒ මහත්තයත් මේක විකුණල රට ගියාලු. ඒ කාලෙ මේ පැතිවල හරි අපරාධ වුනාලු. මං හිතන්නෙ ඒ මහත්තයත් මේව විකුණල යන්න ඇත්තෙ ඔය කරදර එපාම වෙලා.. ඊටපස්සෙ අවුරුදු තුනක් විතර පාලුවට ගිහින් තිබුනෙ මේ ලෑන්ඩ් එක. ඒ අතර මොනව වෙන්න බැරිද නේහ්.....
ජයන්ත... හරි බං ලෝඩ් එක හරි.. රෙද්ද දාං පලයං පාර දිගේ පස් හලන්න එපා. මේ ලෝඩ් එක මාලඹේ අරංවල ගල්වල ගොඩ කරන තැනට බාපං. ගොඩින් බාල එන්න එපා වලටම ටිපර් කරපං පරෙස්සමට....
රායිට් මචං. මං එනකොට ලෝඩ් එකක් හාරල තියහං. කාලෙ කන්න බෑ වැඩිය.
හා හා පලයං කයිය නොගහ..
-----------------------------------------------------------------------------
භ්රාන්තිය යනු මනෝ ව්යාධියකි. එහි මූලික ලක්ෂණ ලෙස මායාත්මකව විවිධ ශබ්ද ඇසීම ගඳ සුවඳ දැනීම ආදිය අත් විඳිය හැකි අතර ඒ අවස්ථාවේ නිසි ප්රතිකාර මගින් යථා තත්ත්වයට පත්වීමට අසීරු නොවන අතර වඩාත් උග්ර වීම තුල රෝගියා වෙත පුද්ගල අණ කිරීම් මෙහෙයවීම් ආදී මායාවන්ට මුහුණ දීමෙන් මහා අපරාධ කිරීමට පෙළඹීමටද හැකියි.කෙනෙක් කුඩා කල මුහුණ දුන් අතිශය සසල වන සිද්ධියක පසු ප්රතිඵලය ලෙස මේ භ්රාන්තිය තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. තමන් හෝ තමන්ගේ සමීපතමයින් හට මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේනම් නොපමාව සුදුසුකම් ලත් මනෝ වෛද්ය ප්රතිකාර ලබා දීමට උත්සුක වන්න. එය අහිංසක ජීවිත අනතුරකින් ගලවාගැනීමකි..
ශාමින්ද හේරත් නම් තරුණයාගේ බාල වියේ තම පියාගේ මරණය නිසා ඇතිවූ මනෝමය පසුබෑම පසු කාලීනව භ්රාන්තිය තත්ත්වය දක්වා ක්රමිකව වර්ධනය විය. ඔහු තනිව කතා කිරීම, මවාගත් සතුරන් සමග යුධ වැදීම, තම පියා මැරූ ඝාතකයා සමග වෛරයෙන් පසු වීම, අවසානයේ මවාගත් චරිත සමග අදහස් හුවමාරුව දක්වා වර්ධනය වී ඒ චරිත වල අණ දීම් මත පුද්ගල ඝාතනයක් සිදුකරන තැනට පත් වී ඇත. ඔවුන් ඉතා සූක්ෂමව සැළසුම් කරමින් තම මනෝමය මායා ඉලක්ක අරමුණ කරා යන අයුරු කිසිවෙකුට සිතාගත නොහැකියි....
.. අවසානයි...
 
**අශෝක ලියනගේ **